පුටුව මට ප්‍රශ්නයක් නෙවෙයි | සත්මඬල

පුටුව මට ප්‍රශ්නයක් නෙවෙයි

කාලයක් තිස්සේ පුවත් මවමින් තිබූ කැ‍බිනට් සංශෝධනය පසුගියදා සිදුවුණා. නව අමාත්‍ය මණ්ඩලය ගැන විවිධ කතා බහ නැගෙමින් තිබෙන මොහොතක ඔබ කැබිනට් සංශෝධනය දකින්නේ කෙසේද?

කැබිනට් සංශෝධන කියන ඒවා ඕනෑම ආණ්ඩුවක් විටින්විට කරනවා. මේවා අලුත් දේවල් ‍නොවේ. රටේ හැමදාම සිදුවු‍ණ දේවල්. අපේ ජනාධිපතිතුමාත් කාලෙක ඉදන් කියලා තිබුණා, කැබිනට් සංශෝධනයට අවශ්‍ය වෙලාවට යනවා කියලා. ඒක සිද්ධ වුණා. රටකට අලුත් මුහුණුවරක් දෙන්න, යම් යම් විෂයන් ගැන එක එක්කෙනාගේ අත්දැකීම් රටට ලබාගන්න ඒක හොඳ අවස්ථාවක්.

මෙතෙන්දි කිසිම‍ කෙනකුගේ ඇමැතිකමක් නැතිවෙලා නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂය ගත්තොත්, හැමෝටම ප්‍රබල අමාත්‍යාංශ තමයි ලැබුණේ. මුදල් ඇමති විදිහට හිටපු ර‍වි කරුණානායක ඇමැතිතුමා, විදේශ ඇමැති වුණාම එතුමාට කොහොම දැනුණ ද කියන්න දන්නේ නෑ. නමුත් මම දකින විදිහට නම් මුදල් අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය වගේ ඒවා තමයි රටේ ප්‍රබල අමාත්‍යාංශ. ඒ නිසා මම හිතන්නේ කාටවත් අයහපතක් නොවුණු රටේ ඉදිරියටත් හොඳ, අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් වේවි මේක.

ඔබ යටතේ පැවැති ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉවත් කර ඉඩම් අමාත්‍යාංශය එකතු කර තිබෙනවා?

ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස මම අවුරුදු දෙක හමාරක කාලයක් කටයුතු කළා. ඒ ජනමාධ්‍ය ඇමැතිවරයා විදිහට හිටපු මට රට වටේ ගිහිල්ලා ජනතාව අතරට ගිහිල්ලා කටයුතු කරන්න පුළුවන් භාරධුර අමාත්‍යාංශයක් හැටියට ඉඩම් අමාත්‍යාංශය ලැබීම ගැන මම සතුටු වෙනවා. ඉතිහාසය ගත්තම මේ රටේ ඉඩම් ඇමැතිවරයා ලෙස ඉඳලා තියෙන්නේ ප්‍රධාන‍ පෙ‍ළේ දේශපාලනඥයන්. ඩී.එස්. සේනානායක, ‍ඩඩ්ලි.සේනානායක, සී.පී.ද සිල්වා, හෙක්ටර් කොබ්බෑකඩුව, දි.මු ජයරත්න, ගාමීණී දිසානායක, රාජිත සේනාරත්න වැනි මහත්වරු මෙතැන ඉඳලා තිබෙනවා. අනික අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිහින් බැලුවොත් එහි මහජන දිනයෙදී එන ගැටලුවලින් 75%ක්ම තිබෙන්නේ ඉඩම් සම්බන්ධයෙනුයි. ඒ නිසා ජනතාව අතරට යන්න ලැබුණු අමාත්‍යාංශයක් ලෙස මම මේගැන සතු‍ටු වෙනවා. අපේ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ‍ පොරොන්දුවක් තියෙනවා. දශලක්ෂයක් සින්නක්කර ඔප්පු බෙදාදෙන ජාතික වැඩසටහන කියලා. එතකොට ජනාධිපතිතුමා, අගමැතිතුමා ලොකු වගකීමක් තිබෙන වැඩපිළිවෙළක් මට බාරදීලා තියෙන්නේ. මේ වැඩ පිළිවෙළ කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන, ඒ වැඩකටයුතු වලට අත ගැසීම තමයි මගේ මූලික ඉලක්කය. ඉඩම් අමාත්‍යාංශය කියන්නේ ජනතාවට සේවයක් කරන්න පුළුවන් විතරක් නොවේ. පිනක් ලබාගන්නත් පුළුවන් අමාත්‍යාංශයක්.

ජනමාධ්‍ය අමාත්‍යංශය ඔබ යටතේ පැවැති කාලය පිළිබඳ ඔබ තෘප්තිමත්ද?

මට අමාත්‍යාංශයක් ලෙස ලැබුණු පළමු වෙනි අමාත්‍යාංශය ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. එතැන මම අවුරුදු දෙක හමාරක විතර කාලයක් හිටියා. ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස පත්වෙන කොට, අපේ රටේ ජනමාධ්‍ය නිදහස ගැන විශාල කළු පැල්ලමක් තිබුණා. මාධ්‍යවේදීන් ඝාතනය වෙලා තිබුණා. පැහැරගෙන ගිහින් තිබුණා. රැවුල, කොණ්ඩෙ කපලා, අතපය කඩලා, සුදු වෑන්වල පැහැර ගෙන යන සංස්කෘතියක් ඇතිවෙලා තිබුණා. මාධ්‍ය ආයතන ගිනිබත් කරලා, ඒවාට පහර දීලා තිබුණු පරිසරයක් තිබුණේ, මාධ්‍යවේදීන්ට රටේ ජීවත්වෙන්න බැරිව රට අතහැරලා ගිහින් තිබුණා. එවැනි අඳුරු කාල පරිච්ජේදයක ඇමැතිවරයා විදිහට ඇවිල්ලා, එහි ගත කළ කාලය තුළ එවැනි ආකාරයේ කිසිඳු සිදුවීමක් රජ‍ය මැදිහත්වෙලා සිදු වුණේ නැහැ.

එතකොට රාජ්‍ය මාධ්‍ය ගත්තම ඒවා ආණ්ඩුවේ ‍හොරණෑ, පැය විසි හතරම ආණ්ඩුවට කඩේ යනවා කියලා‍ ජන‍තාව අතර මතයක් ඇති වෙලා තිබුණා.

ඒවගේම ජනමාධ්‍යයට සම්බන්ධ රාජ්‍ය ආයතන වුණු රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ගත්තොත් පාඩු ලබපු ආයතනයක්. ඒවගේම එහි සභාපතිවරයාව ඉවත් කරන්න කියලා කෝප් කමිටුවෙන් නිර්දේශ කරපු ආයතනයක්. මේ වගේ ගැටලු ගණනාවක් එක්කයි අමාත්‍යාංශය බාර ගත්තේ. එතකොට අපේ ආණ්ඩුවේ යහපාලන මූලධර්ම අනුව ක්‍රියා කරලා මාධ්‍ය ගොඩ නගන්න ඒ කාල සීමාවේ අපිට හැකියාව ලැබුණා. මාධ්‍ය මධ්‍යස්ථ වුණා. මාධ්‍ය නිදහස ස්ථාපනය වුණා. තර්ජන ගර්ජන, දූෂණ අඩුවුණා. ‍ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් තහවුරු වුණා.

ඒවගේම මේ රටේ පුරවැසියන්ට බලපාන ප්‍රධානතම පණතක් වුණු තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලබාදෙන පණත පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් වුණා. පාර්ලිමේන්තුවට පණත ගෙනල්ලා මාස හයක් වැනි කාලයක් තුළ එය ගැසට් කරලා අද වෙනකොට තොරතුරු නිලධාරීන් දෙදහස් ගණනක් රටපුරා හඳුනාගෙන අමාත්‍යාංශ 52න් 50කම තොරතුරු නිලධාරීන් පත් කරගෙන තිබෙනවා. මෙයින් ජනතාවට පුළුවන්කම ලැබෙනවා ජනතා මුදල් වලින් කරන වැඩ ගැන තොරතුරු දැනගන්න අයිතිය ලැබිලා තියෙනවා.

සරසවිය සම්මාන උළෙල, ජනාධිපති සම්මාන උළෙල අවුරුදු අටකින් පවත්වලා තිබුණේ නැහැ. ඒවා නැවැත පැවැත්වුවා. අපේ ‍රටේ කලාකරුවෝ පහුගිය කාලේ නිසි ඇගයීමකට ලක්වූණේ නැහැ. ඒ අයට සිද්ධ වුණේ විවිධ අය ගැන අගයමින් ඉන්නයි. ඒ තත්ත්වය වෙනස් කරලා මේ සම්මාන උළෙල නැවැතත් පැවැත්වූවා.‍

මේ ඇතුළු තවත් වැඩ වි‍ශාල ප්‍රමාණයක්, කෙටිකාලයකින් නිම කරන්න පුළුවන් වීම ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ.

නමුත් යම් අකාර්යක්ෂම සහ ගැටලු පැවැති අමාත්‍යාංශ ඉවත් කරන බවට කාලයක් ති‍ස්සේ ප්‍රචාරය වුණා. මෙවැනි තත්ත්වයක ඔබෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉවත් වුණේ, ඔබේ කාර්ය භාර්ය නිසි පරිදි සිදු නොවුණු නිසා බවට කියවෙනවා?

ආණ්ඩුව පත්වෙන කොට මේ රටේ මාධ්‍යවල තිබුණු තත්ත්වය මම ඔබට කලින් කිව්වා. ඒ තිබුණු තත්ත්වයේ හැටියට යහපාලන ප්‍රතිපත්තිවලට ගැළපෙන විදිහට මාධ්‍ය සංස්කෘතිය ඇති කිරීමයි මට කරන්න තිබුණේ. ඒක සිද්ධවුණේ නැහැ කියලා කාටවත් කියන්න බැහැ. තොරතුරු දැනගැනීමේ පණත ගෙනාවා. මාධ්‍ය නිදහස ආරක්ෂා වුණා. අද සමහරු මාධ්‍යයට තියෙන නිදහස වැඩියි කියලත් කියනවා.

අනික ඔය තර්කය අනුව ජනමාධ්‍ය මට බැරිවුණා නම් මට ඉඩම් දෙන්නත් නරකයි. මොකද මේක විශාල කාර්ය භාර්යක් කරන්න තියෙන අමාත්‍යාංශයක්. රටටම බලපාන වැඩ කටයුතු ‍බොහෝ ප්‍රමාණයක් තිබෙනවා කරන්න. ඒ හින්දා ඔය කතා ගැන මම දන්නේ නැහැ. හැබැයි මම ඔබට එකක් කියනවා. ඒ මම මාධ්‍ය ඇමැතිවරයා ලෙස මාධ්‍ය නිදහස වෙනුවෙන් කැපවුණා. ඒවගේම අකාර්යක්ෂම ආයතන ගණනාවක් ලාබ ලබන තත්ත්වයට ගෙනාවා. දූෂණයට තිත තිබ්බා. ඒවගේම ඉඩම් අමාත්‍යාංශයෙත් විශාල වැඩ ‍කොටසක් කරනවා කියන අධිෂ්ඨානයෙනුයි මම මේ පුටුවේ වාඩිවෙන්නේ.

නව අමාත්‍ය ධුර සම්බන්ධයෙන් විපක්ෂය එල්ල කරන්නේ දැඩි ‍චෝදනාවක්. ඔවුන් කියන්නේ මේ පත්කිරීම් කිසිම විද්‍යාත්මක බවක් නැති බවයි?

විපක්ෂය පැත්තෙන් ගත්තොත් ඒක හරි. විපක්ෂයේ ඉද්දී ආණ්ඩුව මොනවා කළත් විපක්ෂය මොකක් හරි කියනවා. හැබැයි විපක්ෂය කැබින‍ට් සංශෝධනය ගැන මුලදි කිව්වේ, ඕක කරන්න බැහැ. බාලගිරි දෝෂය, කවදාවත් කරන්න බෑ වගේ කතායි. ඔය මොනවා කිව්වත් අන්තිමේදී කැබිනට් සංශෝධනය වුණානේ. ඉතින් ඒ අයගේ අනික් කතාත් එහෙම තමයි.

ආසියාවේ හොඳම මුදල් අමාත්‍යවරයා කියලා පිළිගත් හිටපු මුදල් ඇමතිවරයා විදේශ ඇමැති ‍කිරීම ගැටලු සහගතයි නේද?

ඇයි ගැටලුවක් වෙන්නේ. හොඳම මුදල් ඇමැතිවරයා, හොඳම විදේශ ඇමතිවරයා වෙයි කියලා හිතුවද දන්නෙත් නෑනේ.

මුදල් අමාත්‍යාංශයට අයත් ‍ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය ආදිය විදේශ අමාත්‍යාංශයට ඇතුළත් කරලා කියලා වාර්තා වෙනවා?

ඒක ගැන මට උත්තර දෙන්න බැහැනේ. තාම අමාත්‍යාංශවලට අයත් දේවල් ගැන ගැසට් එක පිට වෙලා නැහැ. එක එක්කෙනා කියන දේවල් බලලා මට ඒ ගැන කියන්න බැහැ. ගැසට් එක බලලාම අපි කතා කරමු.

මේ අතර ඔබතුමාත් චිත්‍රපට සංස්ථාව, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, රජයේ මුද්‍රණාලය ඔබගේ නව අමාත්‍යංශයට එක් කර දෙන මෙන් ඉල්ලීමක් කළ බව මාධ්‍ය මගින් වාර්තාවෙලා තිබුණා?

ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක්. ඉල්ලුවෙත් නැහැ. මම කිසිම දෙයක් ඉල්ලලා ගත්නෙත් නැහැ.

දූෂණ චෝදනා එල්ලවෙලා තිබුණු ඇමැතිවරුන්ට ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ අතරම ඔවුන්ට නව අමාත්‍යාංශ බාර දීලා තියෙනවා‍. ඔබ කියන ආකරයට තිබුණ ඒවට වඩා ඒවා ප්‍රබල අමාත්‍යාංශයි. එතකොට මේ දූෂණ විමර්ශනය කරනවා වෙනුවට ඔවුන්ට සැලකීමකුයි වෙලා තියෙන්නේ?

මම නම් ඔබ ඔය කියන චෝදනා ගැන දන්නේ නැහැ. චෝදනා ඕනෑම කෙනකුට නඟන්න පුළුවන්. නමුත් දූෂිතයෙක් වෙන්නේ පරීක්ෂණ තියල, ඒවා ඔප්පු වුණොත් පමණයි. ඉතින් එහෙම ඔප්පු වුණු චෝදනා තියෙනවද? එහෙම නැතිව දූෂිතයෙක් කියන්න චෝදනා වලින්ම බැහැනේ.

පැවැති ආණ්ඩුවේ දූෂණ වංචා ගැන කියලා බලයට පැමිණි මේ ආණ්ඩුව ඒවා ගැන හොයන්න අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නවා වෙනුවට අමාත්‍ය මණ්ඩලය තර කරගෙන බලය තහවුරු කරගන්න උත්සාහ කරන බව පේනවා?

ඔය දෙක දෙකක්. ආණ්ඩුවට නව මුහුණුවරක් දෙන්න කියලා ජනාධිපතිතුමයි, අගමැතිතුමයි කැබිනට් සංශෝධනයට ගියා. මේකත් එක්ක පැරණි ආණ්ඩුවේ දූෂණ චෝදනා සම්බන්ධ කරන්න බැහැ. හැබැයි ජනතාව බලාගෙන ඉන්නවා පසුගිය කාලයේ සිදුවුණු වංචා,දූෂණ ගැන ඉක්මනට ආණ්ඩුව කටයුතු කරයි කියලා. අපි කවුරුත් කැමැතියි ඒවා ඉක්මනට වෙනවට. නමුත් නීතිමය පැත්තෙන් යනකොට යම් යම් ප්‍රමාද වීම් වළක්වන්න බැහැ. අපිට සරත් ෆොන්සේකා මහතා බලෙන් අල්ලාගෙන ‍ගිහින් හිරේ දැම්මා වගේ, ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එකපාරටම තනතුරින් අයින් කරලා දැම්මා වගේ වැඩ කරන්න බැහැ. මේක යහපාලන ආණ්ඩුවක්. පරීක්ෂණ වෙන්නේ ක්‍රමාණුකූලව ස්වාධීනවයි. ඒවා නිසි පරිදි සිදුවෙනවා‍.

ඔබ නව ඉඩම් ඇමැතිවරයා. කාලයක් තිස්සේ උතුරු නැගෙනහිර ඉඩම් සම්බන්ධයෙන් විශාල ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. දෙමළ ජනතාව සතු ඉඩම් හමුදාව ග්‍රහනයේ තිබෙන බවට චෝදනාවක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ මොනවගේ ක්‍රියාමාර්ගයක්ද ගන්නේ?

මම වැඩ බාරගත්තට පස්සේ අදාළ නිලධාරීන් සමඟ කතා බහ කර, ඒ ගැන කටයුතු කරනවා. ඒ මූලික සාකච්ඡා ඉවර වුණාම අපි තීරණය කරනවා ඉදිරියට අපට කළ හැක්කේ කුමක්ද කියලා.

සංවාදය- මලික් චමින්ද ධර්මවර්ධන

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.