අමෙරිකානු සම්භවයක් සහිත අපේ ගෙවත්තේ රජ | සත්මඬල

අමෙරිකානු සම්භවයක් සහිත අපේ ගෙවත්තේ රජ

 උතුරු ඇමරිකානු සම්භවයක් සහිත සොලනේසියේ කුලයට අයත් මාළු මිරිස් මෙරට සියලුම දේශගුණික කලාපවල පාහේ සාර්ථකව වගා කළ හැකි භෝගයකි.වාණිජ වගාවක් ලෙස මාළු මිරිස් ලාබ ඉපයිය හැකි වන්නා සේම ගෙවත්තේ සුළුවෙන් හෝ මෙය වගා කරන්නේ නම් නිවසේ පරිභෝජන අවශ්‍යතාව එමඟින් සපුරා ගත හැකිය.

පස සහ දේශගුණික අවශ්‍යතා

මනා පාංශු සැකැස්මක් තිබීම ඉහළ අස්වැන්නකට හේතුවේ. මාළු මිරිස් සඳහා සුදුසු වන්නේ සාරවත් ලෝම පසය.ජලය මැනවින් බැස යන පී.එච් අගය 5.5-6.8 වන කාබනික ද්‍රව්‍යයෙන් පොහොසත් පස වඩාත් යෝග්‍ය වේ.ශ්‍රි ලංකාවේ සියලුම කෘෂි දේශගුණික කලාප මාළු මිරිස් වගා කිරීමට සුදුසු වූවද මුහුදු මට්ටමේ සිට මිටර් 1500 දක්වා වූ බිම්වල වසර පුරාම මාළු මිරිස් වගා කිරීමේ හැකියාව ලැබේ.

ප්‍රභේද හංගේරියන් යෙලෝ වැක්ස් (H.Y.W)

මේ ප්‍රභේදයේ කරල් කහ පැහැති කේතු අකාර හැඩයකින් යුක්තය .කරල් වල මතුපිට පෘෂ්ඨය දිළිසෙන සුලු රැළි රහිත වූවකි .හෙක්ටයාරයකට බීජ ග්‍රෑම් 1750 ක් පමණ අවශ්‍ය වේ .ක්ෂේත්‍රයේ හංගේරියන් යෙලෝ වැක්ස් ප්‍රභේදයේ පැළ ස්ථාපනය කරන්නේ නම් ඒවා සිටුවිය යුත්තේ සෙ.මී.15×සෙ.මී.30 පරතරයකිනි .

මෙය බැක්ටීරියා හිටු මැරීමට එතරම් ප්‍රතිරෝධීතාවයක් නොදක්වයි. එහෙත් ගන්නෝරුව හයිබ්‍රිඩ් කැප්සිකම් 1 හෙවත් ගන්නෝරුව ප්‍රාර්ථනා නම් නිර්දේශිත දෙමුහුම් ප්‍රභේදයක්ද ඇති අතර එය බැක්ටීරියා හිටු මැරීමට මධ්‍යස්ථ ප්‍රතිරෝධයක් දක්වයි.

C.A.-8

මෙහි කරල් රැළි සහිත ලා කොළ පැහැති දිළිසෙන පෘෂ්ඨයකින් යුක්තය.කරලේ කෙළවර මදක් නැමී පවතී. හෙක්ටයාරයට ග්‍රෑම් 100ක් පමණ බීජ අවශ්‍ය වන අතර පැළ සිටුවිය යුත්තේ සෙ.මී.40×සෙ.මී.40 පරතරයකිනි.

තවාන් සැකසීම

ක්ෂේත්‍රයේ පැළ ස්ථාපනයට ප්‍රථම තවානක වගා කිරීම වඩා යෝග්‍ය වේ.තවාන සඳහා තෝරා ගන්නා ස්ථානය හොඳින් හිරු එළිය ලැබෙන දිය සීරාව රඳා නොපවතින ස්ථානයක් විය යුතුය.තවාන් පාත්ති සෙ.මී.15ක පමණ උසකින් සහ මී.3×සෙ.මී.90 ප්‍රමාණයකින් සැකසීම අවශ්‍ය වේ.පාත්ති ජීවානුහරණය කිරීමෙන් පසු බීජ තවාන් දැමීම මඟින් පසු කාලයේදී ඇතිවිය හැකි රෝග බොහෝමයක් වළක්වා ගත හැකිය .ඉන් පසුව සෙ.මි.20ක් පමණ ගැඹුරට පස පෙරළා සකසා ගත් ක්ෂේත්‍රයක පැළ සිටුවිය යුත්තේ නිර්දේශිත දුර ප්‍රමාණයන්ට අනුවය.

ජල සම්පාදනය

ප්‍රමාණවත් තරමේ පාංශු තෙතමනයක් පවත්වා ගෙන යෑම ඉහළ ඵලදාවකට අනිවාර්ය වේ.පැළ ක්ෂේත්‍රයේ සිටුවා මුල් දින කිහිපයේ දී දින පහකට වරක් පමණ ජලය දැමිය යුතුය.ඉන් අනතරුව සතියකට වරක් බැගින් ජල සැපයීම අඛණ්ඩව පවත්වා ගැනීම වැදගත්ය. යල කන්නයේ බෝග වගා කිරීමේදී අතිරේක ජල සම්පාදනය අත්‍යවශ්‍ය වේ.

වගා නඩත්තුව

වගා ක්ෂේත්‍රය වල් පැළවලින් තොරව පවත්වා ගැනීම වැදගත් වේ.ක්ෂේත්‍රයේ වල් පැළෑටි බහුල වූ විට බෝග පැළ වලට එ්වා සමඟ හිරු එළිය ,පෝෂක ,ඉඩකඩ ආදීය සඳහා තරගකාරීත්වයක් ඇති කරගැනීමට සිදුවන හෙයින් බෝග පැළවල වර්ධනය හීන වේ.මුල් සති කිහිපයේ මෙන්ම සිටුවා සති දෙක, හතර සහ සති අට යන කාල වලදී වල් නෙලීම සිදු කිරීමෙන් වගාව වල් පැළවලින් තොරව මනාව පවත්වා ගත් හැකිය.

දියමළන් කෑම, ඇන්ත්‍රැක්නෝස්, හිටු මැරීම, කොල කොඩ වීම, පත්‍ර ලප හා පිටි පුස් රෝගය යන රෝග මාළු මිරිස් සිටවූ වගා ක්ෂේත්‍රයක සුලබව දැකිය හැකි රෝගි තත්ත්වය. මෙකී රෝගී තත්ත්වයන් ක්ෂේත්‍රය මැනවින් නඩත්තු කිරීම මඟින් ඉතා පහසුවෙන් මඟහරවා ගත හැකිය.විශේෂයෙන්ම හිටු මැරීම සහ දියමලන් කෑම යන රෝග තත්ත්වයන් ඇති වනුයේ ක්ෂේත්‍රයේ ජලය හොඳින් බැස නොයන අවස්ථාවන් වලදීය.තවද කොල කොඩවීම ,ඇන්ත්‍රැක්නෝස් ආදී රෝග වැළඳුණු පැළ ක්ෂේත්‍රයෙන් ගලවා ඉවත් කිරීම වැදගත් ය .එමෙන්ම පලිබෝධ හානිය ආර්ථික හානි ගෙන දෙන මට්ටමකට වැඩි වන්නේ නම් නිර්දේශිත පලිබෝධනාශකයක් භාවිත කිරීම යෝග්‍ය වේ.එමෙන්ම ක්ෂේත්‍රය පිරිසුදුව තබා ගැනීමත් අවශ්‍ය අවස්ථා වලදී වසුන් යෙදීමත් කළ යුතුය.

පොහොර යෙදීමේදී මූලික පොහොර ලෙස යූරියා හෙක්ටයාරයට කිලෝග්‍රෑම්100ක්ද ට්‍රිපල් සුපර් පොස්පේට් සහ මියුරේට් ඔෆ් පොටෑෂ් යන ඒවා පිළිවෙළින් හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 220 සහ 65 ලෙස යෙදිය යුතුය.ඉන් අනතරුව සති හතරකින් යූරියා සහ මියුරේට් ඔෆ් පොටෑෂ් හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 100 සහ 65 ලෙස යෙදීම වැදගත්ය.පොහොර පැළ වලට දැමීමට ප්‍රථමවත් ඉන් පසුවත් ජල සම්පාදනය කිරීම අවශ්‍ය වේ.

මැනවින් වගාව නඩත්තු කළ ද ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමට නම් නිවැරැදි සමයේදී අස්වැන්න නෙළීම කළ යුතුය.සාමාන්‍යයෙන් මාළු මිරිස්වල පළමු අස්වැන්න පැළ සිටුවා දින 75කින් පමණ ලබා ගත හැකිය.එහෙත් ඵලදාව නෙළිය යුත්තේ වැසි රහිත වියළි කාළගුණය තත්ත්ව යටතේදීය .මන්ද වැසි දිනවල නෙළන අස්වැන්න කල් තබා ගැනීමේ හැකියාව අඩු අතර ඉක්මනින් කුණු වීමට ලක් වීමේ ප්‍රවණතාවක් ඇත.එමෙන්ම නෙළන ලද අස්වැන්න වෙළෙඳපොළ කරා ප්‍රවාහනය කළ යුතු වන්නේ එයට සිදුවිය හැකි හානිය හැකිතාක් අවම වෙන අයුරිනි.මෙහිදී ප්ලාස්ටික් කූඩ වල බහා නොතැ­‍ෙළන පරිදි ප්‍රවාහනය කිරීම ඉතා වැදගත්ය.

උමයංගනා පූජනී ගුණසේකර
කෘෂිකර්ම පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.