කෘෂි වන වගාව | සත්මඬල

කෘෂි වන වගාව

 ලෝක ජනගහනය දිනෙන් දිනම ඉතා ශීග්‍රයෙන් වර්ධනය වන්නේය.එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර පාන , වාසස්ථාන ආදී මිනිස් මූලික අවශ්‍යතාවයන් සහ වුවමනාවන් ද ඉහළ යන්නේය.එහෙත් පවතින සීමිත සම්පත් හමුවේ ලෝකයේ සියලු රටවල් මුහුණ පා සිටින පොදු ගැටලුවක් නම් එකී අවශ්‍යතා සහ වුවමනාවන් සාක්ෂාත් කරගැනීමයි.මෙහිදී එම අවශ්‍යතා සහ උවමනාවන් සපුරාලීම සඳහා ස්වභාවික වනාන්තර පද්ධතිය එළිපෙහෙළි කරමින් කෘෂිකාර්මික වගා කටයුතුවල නිරත වීම නිතැතින්ම සිදුවන්නකි.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන් ලද ආසන්නතම ආවරණ ඇස්තමේන්තු සමීක්ෂණයට අනුව වර්තමානයේ ශ්‍රී ලංකාවේ වන ආවරණය හෙක්ටයාර1,951,472කි.දිනෙන් දින මේ වනසම්පත විනාශය කරාම ළඟා වන්නේය.එමඟින් පාරිසරික හානි පමණක් නොව ආර්ථිකමය පාඩුද ගෙනදෙයි. මේ නිසා එකී පාඩු මඟහැර ගැනීමේ අරමුණින්ම 2016 වසරේ දී මුළු භූමි ප්‍රමාණයෙන් සියයකට 29.7ක් වූ ශ්‍රි ලංකාවේ වන ආවරණය 2019 වන විට සියයට 32.0ක් දක්වා වැඩි කිරීමේ දැක්මක් සහිතව වන ආවරණය වැඩි දියුණු කිරීමේ වැඩසටහනක් ද දියත් වේ. වනාන්තර සහ කෘෂිකාර්මික වගාවන් යන දෙකම එක විට සාර්ථකව පවත්වා යා හැකි විසඳුමක් ලෙස කෘෂි වන වගාව හැඳින්විය හැකිය.

කෘෂි වන වගාව යනු කෘෂිකාර්මික වගාවන් හේතුවෙන් වනාන්තර විනාශ වීම වැළැක්වීමට යොදා ගත හැකි සාර්ථකම තිරසාර විසඳුමකි.සැබවින්ම මෙය මෙරටට නව සංකල්පයක් නොවන්නේය.එය ඈත අතීතයේ පටන්ම මෙරට කෘෂිකාර්මික වගා කටයුතු හා බද්ධ වූවකි.සාම්ප්‍රදායික උඩරට ගෙවතු වගාව මෙයට කදිම උදාහරණයකි. කෘෂි වන වගාවේ ප්‍රධාන සංරචක ත්‍රිත්වයකි.එනම් ශාක (කාශ්ඨීය බහු වාර්ෂික ශාක),ගොවිපළ සතුන්,බෝග සහ තෘණ(අකාශ්ඨීය ශාක ) ය. එහෙත් වර්තමානයේ ගොවීන් සතුව ඇත්තේ මේ සංරචක මනා කළමණාකරනයකින් යුක්තව යොදා ගැනීමේ අල්ප දැනුමකි. බොහෝ විට ගොවියෝ තනි බෝගයක් පමණක් වගා කිරීමට යොමු වෙති.තනි බෝගයක් පමණක් වගා කළ බිමක පරිසර ස්ථායිතාවය අඩුය.එහෙත් කෘෂි වන වගා පද්ධතියක් තනි බෝග වගාවකට වඩා පරිසර ස්ථායිතාවයෙන් වැඩිය.තවද මෙහි ඇත්තේ අඩු යෙදවුම් සහ අවම පාලනයකි.ඒකීය බිමකින් ලැබෙන ඵලදාවද ඉහළය.වනාන්තර ආරක්ෂා කිරීමට ඉතා සුදුසුම වගා ක්‍රමයකි. මෙහි අන්තර්ගත වන සංරචක අනුව කාණ්ඩ හතරකට වෙන් කළ හැකිය.එනම් කෘෂි බෝග වනවගා(agrisilvicultural), තෘණ වන වගා(silvo-pastoral),කෘෂි තෘණ වන වගා (agro-silvo-pastoral) සහ අනෙකුත් පද්ධති(other systems) ය.

කෘෂි බෝග වන වගාව(agrisilvicultural) යනු එකම භූමියේ එකවිට කෘෂිකාර්මික බෝග සමඟ බහු වාර්ෂික ශාක හා පඳුරු වගා කිරීමයි.සාම්ප්‍රදායික මෙන්ම වැඩිදියුණු කළ ක්‍රම මෙහිදී දැකිය හැකිය.උඩරට ගෙවතු වගාව ,හේන් ක්‍රමය ආදීය සාම්ප්‍රදායික ක්‍රමයන්ට උදාහරණ වේ.වැටි පේළි අතර අන්තර් බෝග වගාව ,දෙවැටි ක්‍රමය, තේ සහ කෝපි අතර සෙවන වගාව, සුළං බාදන වැටි සහ තේ ,පොල් ,රබර් ආශ්‍රිත වන වගා ක්‍රම ආදීය වැඩිදියුණු කළ කෘෂි බෝග වන වගාය.පොල් වගාව ආශ්‍රිත වන වගා ක්‍රමයට උදාහරණයක් ලෙස මිශ්‍ර බෝග වගාව හැඳින්විය හැකිය.මෙහිදී පොල් සමඟ බහු වාර්ෂික බෝග වන කොකෝවා, කෝපි ,ගම්මිරිස්,කුරුඳු,කරාබු නැටි,නයිට්‍රජන් තිර කරන ශාක ආදිය වගා කරයි.මේ මඟින් ලැබෙන අමතර වාසි රැසකි.පොල්වලට මුල් කාලයේ අවශ්‍ය කරන මද සෙවණ , කොළ පොහොර සහ වසුන් ආදීය නොමිලයේම ලැබේ. පොල් ඵලදාව වැඩි කරයි.පොහොර සඳහා යන වියදම අඩු කරයි.වගා භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වේ.පොල් මිල උච්චාවචනයන් නිසා සිදුවන ආදායම වෙනස් වීම් අවම කරයි.ප්‍රධාන බෝගයට අමතරව අතිරේක බෝගයන්ගෙන්ද සැලකිය යුතු තරමේ ඉහළ ආදායමක් උපයා ගත හැකිය.

සෝල්ට් හෙවත් දෙවැටි ක්‍රමයද සාර්ථක කෘෂි බෝග වන වගා ක්‍රමයකි.මෙය තේ වතු වල ඵලදාව ඉහළ නැංවීමට යොදා ගත හැකිය. සමෝච්ච රේඛාවල ශීඝ්‍රයෙන් වැඩෙන නයිට්‍රජන් තිරකාරක ග්ලිරිසිඩියා ,එරබදු,වල් සූරියකාන්ත ආදි ශාක පේළි දෙකක් වැටි ආකාරයට සිටුවයි.ශාක මීටර 2 ක් පමණ වැඩුණු පසු කප්පාදු කර තේ ගස් අතරට වසුනක් ලෙස යෙදිය හැකිය .මෙමඟින් පාංශු ගුණාත්මක බව ඉහළ යන අතර එමඟින් තේ වගාවේ ගුණාත්මක බව නිතැතින්ම ඉහළ යයි.

සුළං බාදන වැටි යනු සුළඟ හමන දිශාවට ලම්බකව පුළුල් තීරයක් ලෙස කාශ්ඨීය ශාක සමූහයක් වගා කිරීමයි.කොහොඹ,කජු,කස ආදීය මෙලෙස වගා කළ හැකිය.එමඟින් සුළගේ වේගය අඩු කර පාංශු ඛාදනය අවම කරලයි.ක්ෂුද්‍ර පරිසරය වැඩි දියුණු කරයි.තවද සත්ත්ව ආහාර සහ දර සපයයි.හම්බන්තොට ,මන්නාරම ආදී ප්‍රදේශවලට මෙය වඩා යෝග්‍ය වේ.

තෘණ වන වගා (silvo-pastoral) යනු බහු වාර්ශික ශාක හෝ පදුරු සමඟ තෘණ වගා කිරීමයි.මේ තෘණ ගොවිපළ සතුන්ට ලබා දිය හැකිය.වගා භූමියෙන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගත හැකිය.කෘෂි තෘණ වන වගා (agro-silvo-pastoral) පද්ධතියක් යනු ගොවිපළ සතුන් ,තෘණ ,කෘෂිකාර්මීය බෝග යන සංරචක තුනම දැකිය හැකි වන වගා බිම්‍ ය. වගා කළ තෘණ ගොවිපළ සතුන් සඳහාත් සත්ත්ව වසුරු කෘෂි බෝග සඳහාත් යෙදිය හැකිය. මේ සංරචක ත්‍රිත්වයේ මනා සංයෝජනය හේතු කොටගෙන ඇතිවන අවසන් ප්‍රතිඵලය නම් ඉහළ ඵලදාවක් ගොවීන්ට හිමි වීමයි. අනෙකුත් පද්ධති(other systems) ලෙස කෘෂි වන ශාක අතර මී මැසි පාලනය , කෘෂි වන ශාක සහ මත්ස්‍ය පාලනය,කුඹුරු වටා ගස් සිටුවීම ආදීය දැක්විය හැකිය.

කෘෂි වන වගා පද්ධතියකින් ලැබෙන ආර්ථික , පාරිසරික සහ සමාජයීය වාසි රැසකි.වසර පුරා ආදායම ලැබිය හැකිය.යෙදවුම් අඩුය.අවම පාලනයක් යටතේ භූමියෙන් උපරිම ඵලදාවක් ලැබිය හැකිය.මිල උච්චාවචනයන් නිසා සිදුවන ආදායම වෙනස් වීම් අවම කරයි.කම්කරුවන්ගේ ඵලදායීතාව වැඩි වේ.නව රැකියා අවස්ථා ඇති වේ.ආහාර සුරක්ෂිතතාව, නිෂ්පාදන විවිධාංගිකරණය

ඇති කරයි.හදිසි අවස්ථාවන්වලදී ශාක සහ සතුන් විකුණා මුදල් ලබා ගැනීමේ හැකියාවක් ඇත. පරිසර හිතකාමීය වනාන්තර විනාශය අවම කිරීමට යොදා ගත හැකි තිරසාර වගා ක්‍රමයකි.

උමයංගනා පූජනී ගුණසේකර
කෘෂිකර්ම පීඨය - රුහුණ විශ්වවිද්‍යාලය. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.