බණ පදයක් | සත්මඬල

බණ පදයක්

මේ දිනවල දසතින් ඇසෙන්නේ බණ හඬ ය; පිරිත් හඬ ය. උදෑසන සිට රෑ වනතුරුත්, රෑ සිට උදෑසන වනතුරුත් දිගින් දිගට ම ඇසෙන්නේ ජීවිතයේ අනියත බව කියන බණ පද ම ය. සුදුවතින් සැරසුණු උවැසි උවැසියන් මල් වට්ටි දෝතින් දරා සන්සුන් ගමනින් යන්නේ පන්සල ට ය. දසත ම නෙක වර්ණ සැරසිලිවලින් සජ්ජිත ය.

මේ සියලු බණ පදවලින් කියැවෙන අවසානාර්ථය කුමක්ද? ජීවිතයේ අනියත බව ම නොවේ ද? එහෙත් මේ උදේ හවා පන්සල් ම යන උවැසි උවැසියන් තේරුම් නොගන්නේ ද මේ යථාර්ථය ම නොවේ ද? ම සිත පැනයක් නඟයි. මේ සියල්ලන් ම යම් යම් හැඩ ගැසීම් අනුව ක්‍රියා කරනවා නොවේ ද? පන්සල් යා යුතු නිසා, තමා බෞද්ධයකු නිසා, ගමේ හැමෝම පන්සල් යන නිසා ආදී මේ ඕනෑ ම හෝ වෙනත් හේතුවක් නිසා හෝ ඔබ පන්සල් යනවා විය හැකියි. උපන් මොහොතේ සිට ම 'මම' යන හැඟීම මත පදනම් වූ පටු හැඟීමකින් හැඩ ගැසී ඇති බැවින් නියමාබෝධය ලබා ගැනීමේ මංපෙත් ඔබට ඇහිරී ඇතැයි මා කිවහොත් ඔබ එකඟ ද? අනේක ශත වර්ෂ කාලයක් තිස්සේ ජාතිය, කුලය, පන්තිය, සම්ප්‍රදාය, ආගම, භාෂාව, සාහිත්‍ය, කලාව, ආහාර, පවුල ආදී අපගේ ම අත්දැකීම්, විඳීම් ඇසුරෙන් බිහි වූ ජීවිතයකට, සිතිවිලි ජාලයකට අපි හැඩගැසී සිටින්නෙමු. එබැවින් සියලු ම ක්‍රියාවන්ට අප ප්‍රතික්‍රියා දක්වනුයේ හැඩගැසී ඇති ආකාරය අනුව ය. පන්සල් යෑම ද, අවබෝධයකින් තොර වන්දනාමාන, දානමානාදිය පිදීම ද මේ හැම, හැඩ ගැසීමේ ප්‍රතිඵල ය.

තමා කොතෙක් හැඩ ගැසීමකට ලක් ව ඇත්තේ ද යන්න තේරුම් ගත හැක්කේ ඔබ ගත කරන ජීවිතයේ යම් වෙනසක් ඇති වූ විට ය‍. තවත් හොඳට පැහැදිලි කරන්නේ නම් සැප විඳිමින්, දුක් නො විඳිමින් සිටින්නට ඉඩ නොදෙන අන්දමේ ගැටුමක් ඇති වූ විට ය. ඔබේ ජීවිතයේ සියල්ල ම ක්‍රමවත් ව හා ප්‍රසන්න ව ඉටු වන්නේ නම්, ඔබට සැපෙන් ජීවත් විය හැකි නිවෙසක් තිබෙන්නේ නම්, සැමියකු හෝ බිරියක මෙන් ම දූ දරුවන් ද සිටී නම් ඔබ කෙතෙක් හැඩ ගැස්මකට ලක් වූවකු දැ යි ඔබට දැනෙන්නේ නැත. එහෙත් යම් කිසි වෙනසක්, කැලඹිල්ලක් ඇති වුවහොත්...?

ඔබට මිල මුදල් හිඟ වන්නේ නම්, බිරිය හෝ සැමියා වෙනතක් කරා යන්නේ නම්, දූ දරුවන් නොසලකන්නේ නම් හෝ වෙන කිසියම් ම දුක් වේදනාවක් දැනෙන්නේ නම් ඔබට ඔබේ හැඩගැස්ම ගැන දැනෙන්නට පටන් ගනී.

කවර හෝ ආකාර අභ්‍යන්තර හෝ බාහිර කැලඹිල්ලකට ඔබ ලක්වෙන විට, බාහිර තර්ජනයකින් ආරක්ෂා වන්නට සිතන විට ඔබට, ඔබ කෙතෙක් පෙර ජීවත් වූ ආකාරයට හැඩගැසී සිටියා දැ යි දැනෙන්නට පටන් ගනී. අප බොහෝ දෙනා හැමවිට ම පාහේ පසුවන්නේ අභ්‍යන්තර හෝ බාහිර කැලඹිල්ලකින් ය. සිතේ ගතේ ඇතිවෙන ඒ කැලඹිල්ලෙන් ම පෙනී යන්නේ අප යටත් ව ඇති ඒ හැඩගැස්මයි. ධර්මය ගැන අවබෝධයෙන් තොරව පන්සල් වන්දනාමාන කරන්නේ මේ කැලඹිල්ලේ ප්‍රතිඵලයක් වශයෙනි.

සිදුවන දේ උසුලාගෙන ඒවාට පුරුදු වීමේ හා ඒවා වන්නේ බාහිර සිද්ධීන්ගේ වරදින් යැයි සැලකීමේ, සිතීමේ ප්‍රවණතාව අප සැම ළඟ ම ඇත. " එය මෙසේ නොවී මීට වඩා හොඳින් සිදු වූවා නම්", 'මට අවස්ථාව ලැබෙනවා නම්", " මට අසාධාරණයක් සිදු වුණේ නැත්නම්" යනාදී වශයෙන් අනුන් නැතහොත් වටපිටාව හෝ ආර්ථික තත්ත්වය දැක්වීමට බොහෝ දෙනා යොමු ව සිටින බැව් ම සිතට දැනේ.

එසේ සිතෙන්නට බලපෑම් කළ බොහෝ හේතු කාරණා ද තිබෙන්නට පුළුවන.

ඔබ සැමවිට ම අසාධාරණට ලක් වූ අයකු වන්නට ද හැකිය. එසේ වූ විට කලකිරීමට පත් වීම සාමාන්‍ය කරුණකි. ආයතනගත තත්ත්වවලදී මේ වැනි දෑ ‍බො‍හෝවිට සිදු වේ. අබ්දුල් කලාම් අග්‍රගනණ‍ය චින්තකයා පවසන පරිද්දෙන් මේ වැනි තත්ත්ව නිසා සමහර ආයතනවලට හොඳ ම සේවකයන් අහිමි වීමට ද ඉඩ ඇත. මේ සිතිවිලි අප සැමට පොදු වන්නා සේ ම, අපි සැම මේ වැනි තත්ත්වවලට මුහුණ දී ද ඇත්තෙමු.‍

ඔබේ සිතේ මඳ වශයෙන් හෝ සංවේදී බවක් තිබේ නම්, ගැඹුරින් කරුණු අවබෝධ කර ගන්නට මඳ වූ ‍හෝ කැමැත්තක් ඇත්නම්, ඔබ සිය හැඩගැස්ම කෙරෙහි අවදි වනු පමණක් ‍නොව ඉන් සිදුවන උවදුරු හා ඒ අනුසාරයෙන් හටගන්නා කුරිරුකම් මෙන්ම, ද්වේෂය ද දකිනු ඇත. එහෙත් එහි යථා ස්වරූපය දැක දැක ම බොහෝ දෙනෙක් ඒ සඳහා ක්‍රියාත්මක නොවනු ඇත. ඔබ යන මාර්ගයෙහි සර්පයෙක් දුටුවහොත්, ඉදිරියේ සිදුවන්නට යන භයානක අනතුරක් දුටුවහොත් ඔබට ක්‍රියාත්මක වීමේ හැකියාව උපරිමෙන් ම පවතී. එසේ නම් හැඩගැස්මේ වන භයානක බව දැක දැක ම ඔබ ක්‍රියාත්මක නොවන්නේ ඇයි? ජාතිවාදය ඔබගේ ම සුරක්ෂිත බවට බාධාවක් වුවහොත් ඔබ ක්‍රියාත්මක වන්නේ නැත්ද?

ඇත්තේ සරල තේරුම් ගැනීමකි. එනම් ඔබ උපද්‍රවය තේරුම් නොගන්නා බව ය. බුද්ධිමත් ලෙස බැලුවහොත් ජාතිවාදය ඔබ ව විනාශය කරා රැගෙන යන බැව් ඔබට පෙනෙන්නට හැකිය. එහෙත් හදවතින් එන හැඟීමක් නැතිව ඔබ සප්‍රාණික වන්නේ නැත. එය දුටුවේ බුද්ධිමය සංකල්පයක් ලෙස පමණක් බැවින් ඔබ එයට කිසිවක් ම හෝ නොකරනු ඇත.

අප බො‍හෝවිට අපේ ජීවිත ඇතුළත ගමන් කරන්නේ අනවධානයෙනි. නැත්නම් ඒ ඒ අවස්ථාවල අප සැඳුණු වැඩුණු පරිසරය අනුව කල්පනා විරහිත ලෙසින් ප්‍රතිචාර දක්වමින් ගමන් කිරීම ය. එවැනි ප්‍රතිචාර වලින් සිදුවන්නේ තව තවත් බැඳුම් හා හැඩගැසුම් නිර්මාණය වීම ය. මේ මව්පියන් එදා අපට කී දෑ ප්‍රායෝගික තලයේදී ක්‍රියාත්මක කරන්නට ගොස් අප අසාර්ථක වූවා දැ යි සිතෙන වකවානුවක් වී ඇත්තේ එබැවිනි. අප කරන කියන මේ සියලු දෑ නිශ්ඵල දැයි සිතෙන්නේ එවිට ය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.