රට හරහා ආවේ මං තුරුලු වෙන්න ඔබට | සත්මඬල

රට හරහා ආවේ මං තුරුලු වෙන්න ඔබට

 

චීනයෙන් හරි අඩක් ගෙවාගෙන
ආවෙ මං
තුරුලු වී වැතිරෙන්න
ඔබ සමඟ

සිරුරු දෙකක් වෙළී
බලෙන් මල් කූද්දන
ඊට වැඩි දෙයක් කෝ?

අපි රැවටුණා
අලුතින් උපන්නා කියලා

බලාගෙන සිටිද්දී චීනය
සිඳී යයි ගංගා
සක්‍රිය වෙයි ගිනිකඳු
දේශපාලන රැඳවියන්
කම්කරුවන්
අතපල්ලේ....

ඉවරයක් නැති ලුහුබැඳීම්ය
පමණක් නැති තුවක්කු කඳන්ය

චීනය හරහා හැම දේ සිදුවෙයි...
සුළඟ දිගේ ඔබව සොයා

වෙඩි උණ්ඩ වරුසාවෙ ආවෙ මං
තුරුලු වෙන්ඩ ඔබ හා
සමනලයන්ටත් අපි
රැවටුණා වෙන්ඩැති
වසන්ත උදාවය කියාලා

මුවන් කොකුන් රැළ
තුවක්කු කට ළඟ
රතු ක්‍රේන් යන්ත්‍රවලට
මුව පොව්වන් යට වෙනවා
දිව්වා දිව්වා මං
පතුරු යන කල්
හිස හැරුණු අත
ඔබ සමඟ එක්වන්න

අනන්ත රාත්‍රි පහන් වෙන්ට ඇති
ඔබ සොයා ආ ගමනේ

සත්තයි මඟ දී
සම්ප්‍රදායනුත්
මාව මංමුළා කළා
මා ඔබ හා වැතිර ගත්තත්
ඔබ මා හා වැතිර ගත්තත්
වෙනසක් නැහැ අපි
කොහොම එක් වුණත්
ශරීර දෙකක්
ගැටෙන බලයක් විතරයි එය
අලුතින් ජීවත්වීමට දඟලන
බලයක් විතරයි එය

වසන්තයට ඇතුළු වන්න...
හෙන්ජෑන් ගමේ ගෙදර වගේ
වහලක් යට කූඩු වෙන්ඩ...

කො‍හොම වුණත්
ගැලවුමක් නැති මේ සේරම
හේතු නිසයි
මට ඔබට තුරුලු වෙන්ඩ ඕනෑ වුණේ...

යූ සියූහුආ චීනයේ විශිෂ්ටතම නව කිවිඳියයි. චීන සමාජය ඇය නිසැක ලෙස හඳුනාගෙන ඇත. ගොවිබිමක කිවිඳිය. (FARMER POET) ඇගේ ඉක්මන් පැමිණීම නූතන සාහිත්‍ය භූමියේ ද සිදු කළේ මහත් වූ පෙරළියක් ම ය.

2015 – 16 අවධියෙහි ඇය ලියූ කවි පොත් දෙක ම ෂැංහයි බෙයිජිංනගරවල මසකදී පිටපත් 15000 බැගින් විකිණී යෑම විචාරකයන්ට ද විස්මයක් විය. ඈ කවියට ආ ගමන් මඟ අරුම පුදුම ය. චීනයේ හිබුයි පළාතේ හෙන්ජින් (Hengdin) කැලෑබද ගමක උපත ලැබුවේ 1976 දී ය. උපතේදී සිදු වූ ඔක්සිජන් ඌනතාවකින් මොළයේ ස්නායු හානියකින් ඇය අංග විකලත්වයකට ‍ගොඳුරු වූවාය. උසස් අධ්‍යාපනය ද අඩාල විය. “...මගේ කවියේ ගමන් මඟ මේ ජීවිත ගමනම ය.”

2014 BTV චීන රූපවාහිනි වැඩසටහනකදී ඇය පැවසුවේ දකුණතින් සිය වමත මඳක් ඔසොවා පෙන්වමිනි. අදත් ඈ පරිගණකයෙන් කවිය ලියන්නේ අඩපණ වූ දෑතින් ය.

“...මම හැමවිට ම අත්වාරුවෙන් ගමන් කරන්නේ නැහැ. කවිය ජීවත් වෙන්න වාරුවක් බව මට දැනෙනවා. සැබෑ ජීවිතයේ යථාර්ථය නොවේ. එය වාරුවක්. “යූ සියූහුආගේ ‘රට හරහා ආවෙ මං තුරුලු වෙන්න ඔබට’ මේ කවි ප්‍රබන්ධයෙන් රසිකයා දකින එක් පැහැදිලි සත්‍යයක් ඇත. එනම් එය තමන්ගේ වේදනාව ගැන හුදෙකලා අසරණ ලිවීමක් නොවන බව ය. කවියකුගේ පුද්ගල ලිවීමත්, සමාජ ලිවීමවත් එක්වන කේන්ද්‍රය විශිෂ්ට කවියක උත්පත්ති ස්ථානය බව ය. කම්පනවලින් විසි වෙවී ඇය ජීවිතය හරහා දුව එන්නේ ආදරය සොයා ගෙන ය.

“... ශරීර දෙකක් වෙළී බලෙන් මුල් කූද්දන”

යන ලිවීම ජීවිතය ලිංගිකත්වය නොවන බව කීමකි. “අපි රැවටුණා අලුතින් උපන්නා කියා.”

ආලයක් නැතිව 19 වැනි වයසේදී විවාහයකට තල්ලු වූ ඈ දෑවුරුද්දකින් සැමියාගෙන් වෙන්වන්නේ පුතකු ද සමඟ ය. පසු කලෙක පුතු ද දුරස්ථ විය. ඇගෙන් Shen Rui විචාරිකාව විග්‍රහ කරන්නේ ඇය එමිලි ඩිකින්සන් බටහිර කිවිඳියට සමාන බව ය.

“...මං එමලිව දන්නේ නැහැ. විවාහය මගේ ජීවිතේ පාපයයි. මගේ පුද්ගලික ජීවිතය ගැන නොසිතා කවි කියවන රසිකයන්ට මම ගරු කරනවා. මගේ ළතැවිල්ල මගේ අතට පෑනක් දුන්නා” යූසියූආ කියන්නී ය.

ආදරය සොයා ගිය ගමනේදී ඇය සමාජයේ පියවර හඬවල් හොඳින් අසාගෙන ඇති බව ඇගේ කවි කියවන විට අපට දැනෙයි. අධිපති දේශපාලනයේ කුණාටු මැද්දෙන් ආ සැටි කවියට නඟා ඇත්තේ ආත්මීය අත්දැකීම ද සමාජීය අත්විඳුම් ද දෙමුහුන් කර ගන්නා විලාසයකි. ඇයට දැනෙන්නේ තමා ජීවිතයේ මහා දිවිල්ලක් කළ බව ය.

“රතු ක්‍රේන් යන්තරවලට

මුව පොව්වන් යට වෙනවා...

බලාගෙන සිටිද්දී චීනය

සිඳී යයි ගංගා...”

මේ තාක්ෂණික ශිෂ්ටාචාරයේ ස්වභාව ධර්මයාගේ ජීවන දායාදය යටපත් වීමද? අද නව චීනය ලොව සෙලවූ ඇගේ මහා ආර්ථික ජයග්‍රහණයන් උදෙසා බිලිදී ඇත්තේ ඒ මිහි සංස්කෘතිය යි.

“ගැලවුමක් නැති

සේරමත් ‍හේතු නිසයි

මට ඔබට තුරුලු වෙන්න ඕනෑ වුණේ”

කවියකුගේ භාෂාව විප්ලවයක් වන්නේ මිනිස් හැඟීම් සමුදුර පිහිනා යෑමේදී ය. ඇගේ කවිවල යටින් ඉරි ඇඳිය හැකි වචන බොහෝ ය. ඒවා ඉතා පිරිසිදු ලෙස ම හැඟීම් කියාපාන බව රසිකයන්ට දැනී යයි. තමා ආදරය සොයා ගියේ, එය හැම ගැටලුවකට ම විසඳුම යැයි සිතාගෙන බවයි. කිවිඳිය කියා සිටින්නේ ය හැම ප්‍රේමවන්තයකුගේ ම සිතීමේ ගණිතයක් නොවේද?

ඇගේ සිත තැවුලෙන් විඩාපත් වෙනවා. එහෙත් ඇගේ මනස ඊට උඩින් ගමන් කරනවා’යැයි යූ සියූහුආ ගේ කවි ගැන ‘Woshinton Frvinve‘නම් ඇමෙරිකානු විචාරකයා කියයි.

“නවීනත්වය ලුහුබැඳීමේදී උද්ගත වන ගැටලු කළමනාකරණය කර දෙන්නට සම්ප්‍රදායෙන් එතරම් පිහිටක් ලැබෙන්නේ නැහැ...

සම්ප්‍රදායනුත් මාව මංමුළා කළා යැ”යි

කිවිඳියගේ කියුම ඇගේ පරිණත සමාජ දැක්ම පළ කරන්නකි. දැඩි සාම්ප්‍රදායික මූල සහිත චීන සමාජයේ නවීන තරුණ පෙළ අද මහත් ගැටුමක ය. ආත්මය නැතිවී සතුටු විය යුතු දෙයක් කියන්නටත් හැර නැතිවී යන ජීවිත ගුණාංග ගැන නූතනයාට ඇත්තේ සැම හවුල් වන හැඬුමකි.

“...සක්‍රිය වෙයි ගිනිකඳු

දේශපාලන රැඳවියන්

කම්කරුවන්

අතපල්ලේ”

යූසියූආ කිවිඳිය මේ කවි ලියන්නේ අද මාවෝ සේතුංගේ රාජ්‍යයෙහිසිට ය. මාවෝගේ මහා ජනතාවාදී නායකත්වය යටතේ ලොවවිශාලතම මහජන රාජ්‍යයක් ගොඩනැංවීමේ අරගලයෙන් විසල් ජයග්‍රහණ ලැබුවේත්, ඒ සඳහා දිවි කැප කළේත්, වඩාත් පීඩනයට ගොදුරු වූයේත්, චීනයේ ගොවි කම්කරුවෝ ම යැ යි කියන්නට සිදුවන්නේ එය ඉතිහාසයේ තිබෙන්නා වූ සංකීර්ණ බව නිසා ය. දේශයේ විමුක්තිය උදෙසා දේශපාලන බලධරයන් විසින් දියත් කරන ලද සමාජවාදී අත්හදා බැලීම් නිසා අවධි ගණනාවකදී වැඩ කරන ජනතාව, විප්ලවයේ කොටස්කරුවන් ව, අධිපති පාලකයන්ගේ පීඩනයට ඝාතනයට හසු වූ සැටි ඉතිහාසයේ පිටුවල ලියැවී ඇත.

“ඉවරයක් නැති ලුහුබැඳීම් ය

පමණක් නැති තුවක්කු කඳන් ය”

කිවිඳියගේ හුස්මෙන් අද පෙරළෙන්නේ ඒ ඉතිහාස පිටු ය.

“...මුවන් ‍කොකුන් රැළ

ඒ තුවක්කු කට ළඟ”

දෑතින් අල්ලා ගත් උඩු පෙළක් හා යටි පෙළක් ය ඇය කවියට ඇද ගන්නේ.

“...දිව්වා දිව්වා මං

පතුරු යනකල්

හිස හැරුණු අතේ

ඔබ සමඟ එක්වන්න”

කිවිඳියගේ බසෙහි සංගීතය ප්‍රබල ය. ජීවිතය ඇයට ගමනක් නොව දිවිල්ලක් වියරුවක් වූ සැටි හැ‍ඟෙන්නේ ඒ ධ්වනියෙනි.

මාවෝගේ චීනය අද ලිබරල්වාදයත්, සමාජවාදයත් අත්වැල් බැඳ යන ගමනක් ගමන් මඟක් ලොව ඉදිරියට ගෙනැවුත් තිබේ. එහිදී කවීන්ට, ලේඛකයන්ට පෙර නොවූ චින්තන නිදහසක්, අවකාශයක් විවෘත වෙමින් ඇති බවයි, යූ සියූහුආගේ කාව්‍ය ප්‍රබන්ධවලින් අප දෑසට පෙනී යන්නේ. චීන රසික සමාජයේ ඇය සම්මානනීය වන්නට හේතුව, ඇය සමාජය ගැන ජීවිතය ගැන කරන පරිකල්පනය යි; එහි අවංක භාවය යි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.