පාපන්දුවට හුළං ගසමු ද? | සත්මඬල

පාපන්දුවට හුළං ගසමු ද?

21 වැනි ජගත් පාපන්දු ශූරතාවලිය ඇරඹීමට තවත් ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයකි. ජූනි මස 14 වැනිදා සිට ජුලි මස 15 වැනි දිනය දක්වා පුරා මසකට අධික කාලයක් රුසියාවේ පැවැත්වීමට නියමිත ජගත් පාපන්දු ශූරතාව, වෙනුවෙන් මහද්වීප පහක් නියෝජනය කරමින් රටවල් තිස් දෙකක් තරග වැදීමට නියමිත ය.

මෙවර තරගාවලියට සමගාමී ව ලෝක කුසලාන ජයග්‍රාහකයන් වෙනුවෙන් පිරිනමන ජූල්ස් රිමේට් රන් කුසලානය රුසියාවේ සිට ලෝකය වටා රැගෙන යමින් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබූ අතර එහිදී ලෝක පාපන්දු කුසලානය මුල් ම වරට ප්‍රදර්ශනය කළ රට වූයේ ශ්‍රී ලංකාව ය.

පාපන්දු යනු ලෝකයේ ජනප්‍රිය ම ක්‍රීඩාව වුවත්, ශ්‍රී ලංකාවේ එයට හිමි වී ඇති තත්ත්වය නම් ඉතා කනගාටුදායක ය. සුපැහැදිලි ලෝක මට්ටම හා අප අතර ඇත්තේ විශාල පරතරයකි. සියවසකට වඩා ඉතිහාසයක් පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති නමුත්, අප ජගත් පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට පසුවනුයේ ලෝකයේ අනෙක් රටවල්වලට සාපේක්ෂ ව ඉතාමත් පහළ තැනක ය. රටවල් 207 ක් අතරින් 200 වැනි ස්ථානයට ශ්‍රේණිගතව තිබීමෙන් ශ්‍රී ලංකාව ලෝක මට්ටමින් පාපන්දු ක්‍රීඩාවෙන් කෙතරම් දුප්පත් රාජ්‍යයක් ද යන්න මනාව පෙන්වයි.

අද මෙතරම් පහළ අඩියකට වැටී තිබුණ ද, 1998 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව ජගත් පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 122 වැනි ස්ථානයේ රැඳී සිටි බව අප අමතක නොකළ යුතුය. ඉන් පැහැදිලි වනුයේ දශක දෙකකට අධික කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවේ මේ පාපන්දු ක්‍රීඩාව කෙතරම් කඩා වැටීමකට ලක්ව ඇත්ද යන්න ය.

මාලදිවයින හමුවේ ගෝල දහයට බින්දුවක් ලෙස මෑතකදී දරුණු ලෙස පරාජයට පත් වූ ශ්‍රී ලංකාව මාස කිහිපයකට පෙර පැවැති දකුණු ආසියානු යොවුන් පාපන්දු ක්‍රීඩා තරගාවලියේදී බංගලාදේශය හමුවේ ගෝල හතරට බින්දුවක් හා භූතානය හමුවේ ගෝල හයට බින්දුවක් ලෙස පරාජයට පත්වීමෙන් පෙන්නුම් කරනුයේ මේ ක්‍රීඩාව ඇද වැටී ඇති ගැඹුරේ පරිමාව යි. එවන් පසුබිමක ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඉතා නිර්භීත තීන්දුවක් ගනිමින්, අපගේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස නිසාම් පාකීර් අලී ව කැඳවීමට පසුගියදා තීරණය කෙරිණි.

තාක්ෂණ රාමුවෙන් අග තැන්පත් පුහුණුකරුවකු ලෙස ජගත් පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රකට නිසාම් පකීර් අලී සතුව පුහුණුකරුවකු ලෙස ඉතා ම ඉහළ වාර්තාවක් තිබේ. කෙසේ වෙතත් ඔහු හමුවේ ඇති අභියෝගය සුළුපටු නොවේ.

ජගත් පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානයේ පසුවන කණ්ඩායම ඉන් ඉදිරියට රැගෙන ඒමේ අභියෝගය ඔහු කර මත පැටවී තිබේ.

මේ වනවිට ජාත්‍යන්තර තරග අහේනියකට මුහුණ පා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන සැප්තැම්බර් මාසයේදී බංගලාදේශයේ පැවැත්වෙන සාක් පාපන්දු ශූරතාවට සහභාගී වීමට නියමිත අතර පකීර් අලී ගේ මුල් ම රාජකාරිය වනුයේ ඒ සඳහා ජාතික කණ්ඩායම සූදානම් කිරීම ය.

දිගින් දිගට ම පරාජය මත කරණම් ගසමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ප්‍රාතිහාර්යයක් බංගලාදේශයේදී බලාපොරොත්තු විය නොහැකි නමුත් පාකීර් අලී උත්සාහ කළ යුත්තේ අඛණ්ඩ ව ලබමින් සිටින පරාජ වැළට විරාමයක් තැබීමට ය. ජයග්‍රහණය කෙසේ වෙතත් ඉන් අඩුම තරමින් පරාජයට පත් නොවී තරගය බේරාගත හැකි වුවහොත් 2022 වසර වන විට වඩාත් ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට ඇවැසි මාවත මේ අතර විවර කරගත හැකිය.

වඩාත් කනගාටුදායක කරුණ වනුයේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව මෙතරම් අගාධයකට වැටී තිබියදීත් අපේ පාපන්දු පරිපාලකයන් නම් තමන් නිවැරදි පීල්ලට වැටී ඇති බව පැවසීමයි. සහතිකයෙන් ම එය හිත සනසා ගැනීමට කරන ප්‍රකාශයක් විනා පදනමක් සහිත කතාවක් නොවේ.

ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ කඩාවැටීමට බලපා ඇති ප්‍රධාන හේතුවක් වනුයේ හුදු ලාබ සන්තානය මත ලාබ උපරිම කර ගැනීමේ අරමුණින් කටයුතු කරන මෙවැනි කුහක නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වයයි. ශ්‍රී ලංකාවේ ඕනෑ ම ක්‍රීඩාවක ජාතික සංගමයකට පත්වීම ස්වේච්ඡා මට්ටමේ රාජකාරියක් වුවත්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තත්ත්වය ඊට වඩා වෙනස් ස්වරූපයක් ගෙන තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඉහළ වගකීම් දැරීම යනු වැටුප් දීමනා ලබන පත්වීමක් බවට මේ වනවිට පත්ව ඇත. මේ වන විට දීමනාවක් ලෙස පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට හා ලේකම්වරයාට රුපියල් එක්ලක්ෂ පනස්දාහක මුදලක් මසකට ගෙවන අතර, විදේශ රටවල සිට පැමිණෙන අන්තර්ජාතික නියෝජිතයන් රැගෙන යෑමට මිලදී ගත් සුඛෝපභෝගී වාහනය ද මේ වනවිට සභාපතිවරයාගේ නිල වාහනය බවට පත්වී තිබේ.

ඊට අමතර ඉන්ධන දීමනාව වශයෙන් රුපියල් පනස්දහසක් ගෙවන අතර, ලේකම්වරයාටත් රුපියල් පනස්දහසක කුලියක් ගෙවමින් වාහනයක් ලබාදී තිබේ. ඔහුට ද ගෙවන ඉන්ධන දීමනාවේ වටිනාකම රුපියල් පනස්දහසකි.

මේ සියල්ලට අමතර ව දුරකතන බිල්පත් ද ආදී අවශේෂ බිල් ඔවුන් වෙනුවෙන් ගෙවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු කරමින් සිටී. සෑම වසරකදී ම ලොව ධනවත් ම ක්‍රීඩා සම්මේලනය වන අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් විශාල මුදලක් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ලැබෙන නමුත් ඒවා නිලධාරීන් තමන්ගේ පුද්ගලික සුඛ විහරණය වෙනුවෙන් භාවිතා කරන්නේ නම් එය පැහැදිලි බරපතළ ගැටලුවකි.

අලුතින් පත්වන ක්‍රීඩා අමාත්‍යවරයාට මේ සම්බන්ධ ව සොයා බැලීමේ විශාල වගකීමක් පැවරෙනුයේ එවැනි සන්දර්භයක ය. ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ මට්ටම කඩා වැටීමට බලපා ඇති තවත් ප්‍රධාන හේතුවක් වනුයේ අන්තර්ජාතික තරග අහේනියකට ජාතික කණ්ඩායම මුහුණ දී සිටීම ය. පසුගිය වසර දෙකක කාලය ගත් විට ශ්‍රී ලංකාව අන්තර්ජාතික මට්ටමේ පාපන්දු තරගයකට සහභාගි නොවූ තරම් ය. විශේෂයෙන් ම පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මට්ටමේ තරගයක් පවත්වා නොමැති අතර එය ක්‍රීඩකයන්ට පමණක් නොව ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ට ද කර ඇත්තේ සුළුපටු හානියක් නොවේ. අවම තරමින් කණ්ඩායම් කිහිපයක් හෝ ගෙන්වා වසරකට අන්තර්ජාතික තරග කිහිපයක අත්දැකීම් අපේ ක්‍රීඩකයන්ට ලබාදීමට පියවර ගත යුතුය. අන්තර්ජාතික අත්දැකීම් හිමිවීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩාත් විශ්වාසනීයත්වයෙන් යුතු ව අන්තර්ජාතික මට්ටමේ තරගවලට ඉදිරිපත් වීමේ හැකියාව හිමි වෙයි.

ඒ කෙසේ වෙතත් දකුණු ආසියානු යොවුන් පාපන්දු තරගාවලියේදී පෑ දුර්වල ක්‍රීඩා රටාව හමුවේ ශ්‍රී ලංකාව ආසියානු යොවුන් පාපන්දු ශූරතාවෙන් ඉවත්වීමට ගත් තීරණය එක් අතකින් ඥානාන්විත ය. එසේ නොවුණි නම් සවුදි අරාබිය, බහරේනය, උස්බකිස්තානය වැනි රටවල් හමුවේ නිසැකව ම අපට පරාජයට පත්වීමට සිදු වනුයේ ගෝල දුසිම් ගණනක පරතරයක් සහිත ව ය.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ දියුණුව උදෙසා සිදු කළ යුතු තවත් වැදගත් රාජකාරියක් වනුයේ පළමු ව පාසල් මට්ටමින් විධිමත් ව ක්‍රීඩාව දියුණු කිරීම උදෙසා නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීම ය. මේ වනවිට පාසල් මට්ටමේ පාපන්දු ක්‍රීඩාව පවතින්නේ එතරම් දියුණු මට්ටමක නොවේ. පාසල් කිහිපයක් පමණක් තරගකාරී මට්ටමකට සුදුසු තලයක ක්‍රීඩා කරන නමුත් අති බහුතරයකගේ තත්ත්වය කනගාටුදායක ය. එවැනි පසුබිමක් ඇතුළේ ක්‍රීඩාව දියුණුවීමට ඇත්තේ ඉතාමත් අඩු ඉඩකඩකි. පාසල් ක්‍රීඩාව දියුණු කරන වැඩපිළිවෙළක් නිර්මාණය කරගත යුත්තේ එබැවිනි. අනෙක් අතට අන්තර් සමාජීය මට්ටමෙන් ද පාපන්දු ක්‍රීඩාවේ තත්ත්වය දුර්වල ය. නිලවරණයේදී ඡන්ද ලබා ගැනීමේ පටු අරමුණින් නිලධාරීන් මනදොළ පුරවා ගනු පිණිස ගත් පටු අමනෝඥ තීරණ හේතුවෙන් දේශීය පාපන්දු ක්‍රීඩාවේ තත්ත්වය තවත් බාල වී එහි තරගකාරිත්වය පැහැදිලි ලෙස ම පහත් මට්ටමකට වැටී තිබේ. පැවැති පාපන්දු ලීග හතළිස් අට මේ වන විට හැත්තෑ දෙකක් දක්වා ඉහළ නංවා තිබුණ ද එමඟින් ක්‍රීඩාවේ ප්‍රමිතිය සෑහෙන මට්ටමින් බාල කර ඇත. සැබැවින් ම ශූර පාපන්දු ක්‍රීඩකයකු බිහි කළ හැක්කේ මුල සිට ම ඔපමට්ටම් කිරීමෙන් පමණි. එසේ නොමැතිව ශක්තිමත් පාදමක් රහිතව ගොඩනඟන ගොඩනැගිලි කිසිදිනක විරාජමාන වන්නේ නැත.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.