දකුණු මායිමේ ජීවිතය සමඟ පන්දු කෙළින සිත | සත්මඬල

දකුණු මායිමේ ජීවිතය සමඟ පන්දු කෙළින සිත

‘නවකතාව යනු ජීවිත විවරණයකි’ එවැනි (බොහෝ විට) පට්ට ගසා ඇති නිර්වචන කෙසේ වෙතත් සැබෑ නිර්මාණකරුවකුගේ නිර්මාණයක් කියවාගෙන යන පාඨකයා එහි නවතාවක් මෙන්ම ඊට ආවේණික සමකාලීන ස්වාභාවිකත්වයක් ද ග්‍රහණය කර ගනී. කවර රටක්, කුමන මහාද්වීපයක් නියෝජනය කළ ද මිනිසාගේ ස්වාභාවික කලවම් වීම් පිළිබඳ සංඥා එබිකම් පාන්නේ ඒවායේ චරිතයන්ගෙනි.

නූතනවාදී නවකතාකරුවකු ලෙස විචාරකයන්ගේ පිළිගැනීමට ලක්ව සිටින ජපානයේ හරුකි මුරකාමිගේ ඒ අතිනූතනත්වයට හේතුව ඔහු තමාගේම කාලාවකාශයක් නිර්මාණය කරගෙන සිටීම විය හැකිය. මේ අද්විතීය නිර්මාණකරුවා ජීවිතය නිරුවත් කරන තරමට ම භෞතික සිරුර ද නිරුවත් කරන්නෙකි. යම් යම් සංස්කෘතික පිළිගැනීම්වලට අනුව අශ්ශීල ලෙස, අසභ්‍ය ලෙස හැඳින්විය හැකි ලෛංගික ජීවිතයේ විවිධ අවස්ථා ඔහු අභීත ව නිරූපණය කරයි. එහෙත් මුරකාමිගේ නවකතාවක් ගැඹුරින් පරිශීලනය කරන කිසිම පාඨකයකු ඒවාට අසභ්‍ය ලේබලය ඇලවීමට තරම් සැහැසි වන්නේ නැත.

හරුකි මුරකාමිගේ ‘South of the Border,West of the sun’ කෘතිය සිංහලට පරිවර්තනය වී ඇත්තේ ‘දකුණු මායිමේ’ නමිනි. පරිවර්තකයා ඉන්දික ගුණවර්ධන යි. හජිමේ නම් වූ පුද්ගල චරිතය කුඩා කාලයේ පටන් තාරුණ්‍යයේ ඉම දක්වා කැඳවාගෙන යන මේ නවකතාව, හෙණ මෙන් ඔහුගේ ජීවිතයට කඩාපාත්වන අහඹු අවස්ථා, ඔහුගේ අහිමි වූ ප්‍රේමයේ කාංසා ඔස්සේ පාඨක සිත් කුහුල් සහගත කරන්නේ ‘ප්‍රේමය යනු කුමක් ද’ යන ප්‍රශ්නය ද ඉස්මතු කරමිනි.

සීත දේශගුණයක ඇති වන ආදර කතාවක් වන මේ නවකතාව ඇසට කඳුළු නැංවෙන තරමේ ප්‍රබල වූත්, සුන්දර වූත් නවකතාවකි. ... විස්මිත වෙනසකින් යුතු සැබෑ ම ස්වීය නිර්මාණයකි.

(Guardian)

මේ නම් වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සැබෑවකි. සෞන්දර්යාත්මක සංවේගයක් ද සමඟින් මෙය කියවන පාඨකයා සිතෙහි අවදිවන්නේ ‘හජිමේ’ යනු හරුකි මුරකාමි ම ද යන සැක සාංකාව ය. හජිමේගේ ජීවිතය මුරකාමිගේ ජීවිතය සමඟ සමපාත කිරීමට පාඨකයා යොමු වන්නේ කාලානුක්‍රමයේ මෙන්ම භූගෝලිය සාධකවල ද යම් යම් සමානකම් නිසා ය. හජිමේගේ උපන් දිනය 1951 ජනවාරි මාසේ හතරවැනිදා යැයි පොතේ ආරම්භයේදී ම සඳහන් වෙයි. (මුරකාමි ඉපදී ඇත්තේ 1949 දී ය) හජිමේට පෙම්වතියෝ කිහිප දෙනෙක් ම සිටිති. වරින්වර ඇතැම් විට මාස ගණනක් ඔවුන් සමඟ ජීවත්වන ඔහුගේ ඒ සබඳතා දීර්ඝකාලීන වන්නේ නැත. එහෙත් ඔහුට ද ස්ථාවර ප්‍රේමයක්, ස්ථාවර දිවි පැවැත්මක් අවශ්‍ය ය. එක ම ගැහැනියකට ප්‍රේම කිරීමට ද ඔහු කැමැති ය. කිසිවකුට රිදවීමේ අල්පමාත්‍ර වූ චේතනාවක් හෝ ඔහුගේ නොවේ. එහෙත් ඔහුට රිසි පරිදි ජීවත්වන්නට, ක්‍රියාකරන්නට ඉඩ නොදෙන්නේ කොහෙන්දෝ සිතට කඩාපනින ආගන්තුක හැඟීම් පොකුරකි. ඔහුගේ ජීවිතය කණපිට ගසන්නේ ඒවා ය. ඔහු සිතන්නට පටන් ගන්නේ පසුව ය. අලුතින් අවදි වන සිතිවිලි ඔහුට කියන්නේ ‘මේක නෙවෙයි මට අවශ්‍ය දේ’ කියා ය. ඔහු ගැහැනියකගෙන් සොයන්නේ කුමක් හෝ සුවිශේෂි වූ දෙයකි. ඒ තමාට පමණක් සුවිශේෂී වන කුමක්දෝ දෙය ගැහැනුන්ගේ ඇතුළාන්තයෙන් සොයා ගන්නට ඔහු අසමත් ය.

“මං සරසවියේ ගත කළ වසර පහක කාලය මුළුමනින් ම නාස්තියක්” යැයි ඔහු කියයි. විශ්වවිද්‍යාල ජීවිතය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔහුගේ ජීවිතයට අලුතින් යමක් එකතු කරන්නේ නැත.

“මගේ පන්තිවලින් බහුතරයක් මුළුමනින් ම නීරසයි. කිසි දෙයකින් මට සතුටක් ලැබුණේ නැහැ. ටික කලකට පසුව මගේ අර්ධ කාලීන රැකියාව නිසා මම බොහෝ කාර්යබහුල වුණා ඒ නිසා මම සරසවියට ගියෙත් කලාතුරකින්. අවුරුදු හතරකින් මට උපාධිය ලබන්න ඉඩ ලැබුණේ කුමක් හෝ වාසනාවකට. මම නවකයෙක් ව සිටි කාලේ, අවුරුද්දෙන් අඩක් පමණ මා සමඟ එකට සිටි පෙම්වතියක් හිටියා. ඒත් ඒ සම්බන්ධය පවා දිගට ගියේ නැහැ. ජීවිතයෙන් මම බලාපොරොත්තු වෙන්නේ මොනවා දැයි මට පැහැදිලි අදහසක් තිබුණේ නැහැ.

(දකුණු මායිමේ - 52-53 පිටු)

ජීවිතයෙන් අප බලාපොරොත්තු වන දෙය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් අප තුළ ද ඇඳී ඇත්තේ දැයි අපි නොදනිමු. එවැනි දෙයක් හඳුනා ගැනීමේ උත්සාහයක් අපට ඇත්තේ ද නැත. එහෙත් සිතන්නට දන්නා හජිමේ පවා කාලය ගෙවී යාම හඳුනා ගන්නට තැත් කරයි. නොදැනීම වාගේ තමා වියපත් ව සිටීම ඔහුට හැඟී යන්නේ අහඹු ලෙස ය. ගෙවී යන කාලය ගැන කීමට ඔහු යොදා ගන්නේ අපූරු යෙදුමකි.

“ඔර්ලෝසුවේ කටු කැරකැවෙන්නේ එක් දිශාවකට පමණයි”

හජිමේ විවාහ වන්නේ වයස අවුරුදු තිහේදී ය. යුකිඔ නම් වූ ඇය රූප සුන්දරියක් නොවූව ද ඔහු සෙවූ කිසියම් දෙයක් ඇය සතුව ඇති බවක් ඔහුට හැඟෙයි.

ඇය හරි චාම් එකියක්, අඩු තරමින් යන යන තැන්වලදි මිනිසුන් ආකර්ෂණය වන වර්ගයේ කෙනෙක්වත් නෙමෙයි ඇය. ඒත් ඇගේ මුහුණේ යම් කිසි දෙයක් තිබුණා, මම වෙනුවෙන් ම පමණක් වෙන් වූ යම් දෙයක්. අපි හමු වූ හැම විටක ම, මම ඈ දෙස බොහෝ වෙලාවක් බලා හිටියා. මම ඒ දැකපු දෙයට මම ආදරය කළා.

(දකුණු මායිමේ - 71 පිටුව)

යුකිඔගේ පියා (මාමණ්ඩිය) විශාල සම්බන්ධතා ජාලයක් හඳුන්වා දෙමින්, වැදගත් තොරතුරු එක්රැස් කර ගනිමින් සහ ඒ සොයා ගැනීම් නිසි පරිදි ආයෝජනය කරමින්, විශාල මුදල් සම්භාරයක් උත්පාදනය කර ගන්නා සංකීර්ණ ක්‍රියාපටිපාටියක් හජිමේට (බෑණාට) හඳුන්වා දෙයි. නීතියෙන් සහ බදු දැලෙන් ලිස්සා යන අතරේ සැබෑ ක්‍රියාවලියේ ඒවා නිසි ලෙස සිදුවන බවට මවාපෑම් කරමින් පැවැත්ම තහවුරු කර ගැනීම පිළිබඳ ‘හුරුව’ හජිමේ හඳුනා ගන්නේ මාමණ්ඩියගෙනි. අලුත් ම ගොඩනැගිල්ලක ඉහළ පෙළේ ජෑස් බාරයක් අරඹන්නට ඔහු යොමු වන්නේ ඉන් අනතුරුව ය. මාමණ්ඩියගේ මූලධනයත්, ඔහු කියාදුන් ‘හුරුව’ පිළිබඳ පාඩමත් අනුව යමින් සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්වී සිටිය ද හජිමේ තුළ හටගන්නා ප්‍රතිවිරෝධතා බොහෝ ය.

“මේ වැඩපිළිවෙළ ගැන මගේ ඒ තරම්ම ප්‍රසාදයක් තිබුණේ නැහැ. මම දැන් මේ ඉන්න තැනට ආවේ, අයථා ලෙස කෙටි පාරකින්, අසාධාරණ විදියට ය යන හැඟීමක් මට දැනෙන්න ගත්තා. අනික, මම විප්ලවවාදී ශිෂ්‍ය සංගම් බිහි කළ, හැටේ දශකයේ අග, හැත්තෑව දශකයේ මුල් යුගයේ පරම්පරාවේ කොටස්කරුවෙක්. අපේ පරම්පරාව තමයි, පශ්චාත් යුද සමයේ ඉතුරු වී තිබූ යම් හෝ පුරුෂාර්ථ වනසා දැමූ, පැවැති ධනවාදයේ තර්කනය ‘අපට එපා!’ කියලා මුලින් ම හඬක් නැඟුවේ.

ඒ තීරණාත්මක හැරවුම් ලක්ෂයෙදි මුළු රට ම නැඟී හිටියේ හරියට උණක් පැතිරෙනවා වගේ. නමුත් මෙන්න දැන් මම. මමත් ඒ ධනවාදී තර්කනයේ ම ගිලිලා, මගේ BMW රථයේ සුව පහසුවෙන් ඉඳගෙන, ෂූබර්ට්ගේ Winterreise රස විඳිමින්, සමෘද්ධිමත් ඕයාමා නගරයේ හන්දියක සංඥා එළි මාරු වෙනතුරු බලා ඉන්නවා. මම ජීවත් වෙමින් හිටියේ අනුන්ගේ ජීවිතයක්, මගේ ම ජීවිතය නෙමෙයි. “මම” කියලා හඳුන්වන මේ මනුස්සයගෙන් ඇත්ත මම කියන්නේ මොන තරම් ප්‍රතිශතයක් ද? බොරු “මම” මොන තරම් ප්‍රමාණයක්ද? සුක්කානම බදා සිටින මේ අත්දෙකෙන් - මගේ ම යැයි කිව හැකි ප්‍රතිශතය කොපමණක් ද? එළියේ පේන්න තිබෙන දර්ශනයෙන් - කොයිතරම් ප්‍රමාණයක් අව්‍යාජද?”

(හරුකි මුරකාමි - දකුණු මායිමේ - 76-77 පිටු)

පන්ති සටන් පිළිබඳ කතාබහ මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය සටන් ද මේ රටේ දියත් වන්නේ දශක ගණනාවක සිට ය. සටන් ව්‍යාපාර අවසන ඊට ප්‍රතිවිරුද්ධ අන්ත වෙත යොමු වන බහුතරයකට ඉන්පසු මේ ප්‍රශ්න යළි කරළියට නැංවීමේ අවශ්‍යතාවක් හෝ කාලවේලාවක් හෝ ලැබෙන්නේ නැත. සමාජ සම්මතයේ රාමුවෙන් බැහැර ව ජීවිතය දිගහැරීම ලේසිපහසු කරුණක් ද නොවේ. කලබැගෑනියකින් තොර වූ දිවිපැවැත්මක් සඳහා අවාසිදායක වන්නේ දේශපාලනය, ආගම, සංස්කෘතිය ආදිය ප්‍රශ්න කිරීමයි. නිවීසැනසිල්ලේ ජීවත්වන්නට නම් කළ යුතු වන්නේ ජීවිතය හකුළුවා ගැනීමයි. දාර්ශනික වශයෙන් ‘සත්‍යය’ සොයා යෑමේ ගවේෂණය ද මෙවැනි ය. සාපේක්ෂ සත්‍යය එකිනෙකා දකින්නේ, හඳුනා ගන්නේ, විවිධත්වයෙන් යුතුව ය. බුදුන්වහන්සේ සොයාගත් සත්‍යයේ පරමත්වය ගැන මෑතකාලීන ඉන්දීය චින්තකයකු වූ ක්‍රිෂ්ණමූර්ති තුමන්ගෙන් විමසූවකුට ලැබී ඇත්තේ මෙවැනි පිළිතුරකි.

“ගෞතම බුදුන් ඔහුගේ සත්‍යය සොයා ගත්තා. ඒත් ඔබ, ඔබේ සත්‍ය්‍ය සොයාගන්න” හජිමේගේ විශේෂත්වය වන්නේ මේ චින්තනය හා බැඳුණු ප්‍රශ්න කිරීමයි. තමාගේ විවාහ ජීවිතය සැපවත් යැයි සාර්ථක යැයි සිතා සිටින ඔහුට තමාට වැරදුණේ යැයි සිතෙන්නේ කුඩා කල තමා සමඟ සුහඳ ව ඇසුරු කළ ෂිමාමොටෝ නම් වූ රූමත්, බුද්ධිමත් ගැහැනිය යළි හමු වුණ විට ය. පුදුමය නම් ඇය හමුවීමෙන් අනතුරුව ඔහු බිරිය (යුකිඔ) සමඟ පවත්වන ලිංගික සබඳතා සංඛ්‍යාව නොසිතූවිරූ ලෙස ඉහළ යෑම යි. බිරිය වැලඳ ඇගේ සිරුර පිරිමදිමින් සිටින ඔහුට පහළවන කල්පනා මෙවැනි ය.

“මගේ අත්ලට යටින් මට ඇගේ ජීවිතය දැනෙන්න ගත්තා. ඒ ජීවිතය කෙතරම් කාලයක් පවතී දැයි කාටවත් කියන්න බැහැ. හොඳින් හැදුණු ඕනෑ ම දෙයක්, එක ඇසිල්ලෙන් නැති වී යා හැකියි. යුකිකෝ, මේ කාමරය, මේ බිත්ති, සිවිලිම, මේ ජනේල අපි දැනගන්නත් කලින් මේ හැම දෙයක්ම නැති වී යා හැකියි.”

(දකුණු මායිමේ - 150 පිටුව)

ෂිමාමොටෝ යළි හමු වූ පසුව ද ඔහු වෙනදා මෙන් ම සිය දෛනික කටයුතුවල නිරත වෙයි. දරුවන් මොන්ටිසෝරියට රැගෙන යයි. බාහිර වශයෙන් කිසිවක කිසිදු වෙනසක් සිදු වී නොමැති මුත්, ඔහුගේ ජීවිතය වෙළාගනිමින්, බිලි ගනිමින් ඇත්තේ වළක්වන්නට හෝ අතින් අල්ලා නවත්තන්නට බැරි ‘හැඟීම්’ ජාලයක් විසිනි.

“වසන්ත කාලයේදී, සුකිකොයි, මමයි නිතර ම වගේ හකොනේහි අපේ කුටියට දරුවන් රැගෙන ගියා.

ටෝකියෝවලින් මිදී, ඒ සුන්දර එළිමහනේ, යුකිකෝ සහ දරුවන් හිටියේ සැහැල්ලුවෙන් සහ සංතෝෂයෙන්. ඔවුන් මල් නෙළුවා; දුර දක්නවලින් කුරුල්ලෝ නැරඹුවා; ඔට්ටු සෙල්ලම් කළා; ගඟේ පැනලා නැටුවා; නැත්නම් ඔවුන් වත්තේ ඔහේ ඇල වී හිටියා. නමුත් ඔවුන් කිසිවෙක් ඇත්ත දැන සිටියේ නැහැ. හිම වැටෙන එක්තරා සිසිරයේ දවසක, මගේ ගුවන්යානය නොපැමිණියා නම්, ෂිමමොටෝ සමඟ එක්වන්ට, කිසිදු පැකිලීමකින් තොර ව ම, මම ඔවුන් සියලුදෙනා ම ඉවත දමා යා හැකිව තිබුණු බව, මගේ රැකියාව, මගේ දරු පවුල, මගේ මුදල්, සියල්ලක් ම, මෙන්න දැන් මම, තවමත් මුළුමනින් ම ෂිමමොටෝ ගැන මතක හිතේ පුරවගෙන. ඇයව තුරුලු කර ගැනීමේ, ඇගේ කම්මුල් සිප ගැනීමේ දැඩි උවමනාව කිසිදිනක මා හැර නොයාවි. ෂිමමොටෝගේ රූපය මගේ මනසින් ඉවත්කර, මගේ බිරියගේ රූපය ඒ වෙනුවට මවාගන්නට මට හැකියාවක් නැහැ.”

(දකුණු මායිමේ - 166 පිටුව)

නවකතාව යනු කුමක් ද යන ප්‍රශ්නයට හරුකි මුරකාමිගේ නවකතාවකින් නූතනමානී පැහැදිලි පිළිතුරක් සැපැයෙන බවක් බොහෝ විට අපට හැඟෙයි. නවකතාව යනු හුදෙක් කිසියම් කතාවක් ඔස්සේ කිසියම් සිද්ධිදාමයක් පෙළගැස්වීමක් නොවන බව තේරුම් යන්නේ මෙවැනි නවකතා සිහිකල්පනාවෙන් යුතු ව කියවන පාඨකයාට ය. බැලූ බැල්මට නම් මේ නවකතාවේ හජිමේගේ චරිතය ද සාමාන්‍ය මනුෂ්‍යයකුගේ සාමාන්‍ය ජීවිතය දිගහැරීමකි. වෙනස වන්නේ ඕනෑ ම කෙනෙකුට තමාගේ සංකීර්ණ ස්වභාවය වටහා ගැනීමට ඉන් සැපයෙන අපූරු ඉඟි හා සංඥායි. මුරකාමිගේ සෑම වියමනකට ම පාහේ ඔහුට ම ආවේණික වූ කාව්‍යමය හැඩහුරුකමක් මෙන්ම ඔහුගේ ම අර්ථකථනයක් ද තිබේ. ඔහු ඉතා සූක්ෂ්ම අයුරින් සොබාදහම සිය ග්‍රහණයට ගනියි.

“මම පිජාමාවට උඩින් ලොම් කබායක් ඇඳගෙන, කුස්සිය දෙසට ඇවිද ගොස්, කෝපි හැදුවා. කුස්සියේ මේසයෙන් වාඩි වී මිනිත්තුවක් පාසා අහස පැහැබර වෙන හැටි බලා හිටියා. මම අලුයම දැක්කේ බොහෝ කලකට පසුව. අහසේ එක් අන්තයක නිල් පැහැ රේඛාවන් මතු වුණා. හරියට කඩදාසියකට වැටුණු නිල් තීන්ත මෙන්, එය සෙමින් ක්‍ෂිතිජය පුරා පැතිර ගියා. නිල් පැහැයේ සියලු ම ප්‍රභේද එකට එක්රැස්කොට ඉන් නිල් පැහැයේ වඩාත් නිල් ම නිල් සංක්ෂේපය තෝරාගත්තා නම්, ඔබ මේ වර්ණය තෝරා ගනීවී. මම මගේ වැළමිටි මේසය මත තබාගෙන ඒ දර්ශනය දෙස බලා සිටියා. මගේ මනස හිස්. ක්‍ෂිතිජයට ඔබ්බෙන් හිරු දර්ශනය වන විට, සාමාන්‍ය හිරු එළියෙන් ඒ නිල් පැහැය ගිල ගත්තා. තනි වලාකුළක් සුසාන භූමියට ඉහළින් පාවුණා, එය දාර හොඳින් පැහැදිලි, තනි සුදු වලාකුළක්. ඒ මත ලියන්නට පවා හැකි සියුම් ලෙස කැටයම් කළ වලාකුළක්.”

(දකුණු මායිමේ - 231 පිටුව)

ජපන් ජාතිකයන් කෙරෙහි සාමාන්‍යයෙන් ප්‍රපංච ලෝකයේ පරමය සෙවීමේ නැමියාවක් ඇති බව ප්‍රකට ය. බටහිර සර්වාශුභවාදයෙන් වෙනස් වූ ජපන් සර්වාශුභවාදයෙහි පොදු ලක්ෂණය වන්නේ ව්‍යාකුල වූ සමාජ බන්ධන, සීමා කෙරෙහි කලකිරීමේ හා ඒවායින් ගැලවීමේ අපේක්ෂාව ම වනමුත්, ඒ සර්වාශුභවාදය දියවී යාමට අවකාශ විවර කරන්නේ මිනිස් සමාජයෙන් ඈත්ව සොබා අසිරියට සමීප වීම (මහාචාර්ය පී. බී. මීගස්කුඹුර විසින් පරිවර්තනය කරන ලද) ‘පෙරදිග මිනිසුන්ගේ චින්තන විධි’ නම් වූ කෘතියෙහි ඉතා පැහැදිලි ව දක්වා තිබේ. එහිලා තවුසන්, ඉසිවරුන් මෙන් ප්‍රකට ව සිටි පුද්ගලයන් පවා සොබා දහමෙහි ඇලී සිටියා පමණක් නොව ආරාමවල වසද්දී සොබා අසිරිය ආස්වාදයෙන් සිය සුහදයන් කෙරෙහි උණුවෙන හදවත් ඇති මිනිසත් බව කෙරේ ළැදියාව පවත්වා ගන්නා මනුෂ්‍යයෝ බවට පත් වෙති. යසුනරි කවබත ඇතුළු මුල් යුගයේ ජපන් සාහිත්‍යකරුවන් විෂයයෙහි ද බලපෑම් කර ඇත්තේ සොබාදහමින් ලද ආභාසය හා ආලෝකයයි. මුරකාමිගේ සෑම කෘතියක ම පාහේ තද පැහැති සායමක් මෙන් විසිරී පවතින්නේ ද මේ ලක්ෂණයයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.