ඩයස්පෝරාව ගැන පසු සටහනක් | සත්මඬල

ඩයස්පෝරාව ගැන පසු සටහනක්

ඩයස්පෝරාව යන වචනය, එහි සැබෑ අරුත නොදැන හෝ සඟවා විවිධ පටු අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා එයට වැරැදි අර්ථකථන ලබාදීම නිසා, ලාංකේය ජන සමාජයේ භීතියක් ඇති කරන වචනයක් බවට පත්ව තිබේ. මේ අනුව නිතර ම පාහේ කොටි ඩයස්පෝරාව යන පාඨය විවිධ පුද්ගලයන් විසින් භාවිත කරන බව දැකිය හැකිය. එහෙත් කොටි ඩයස්පෝරාවක් ඇත්නම් අල්කයිදා ඩයස්පෝරාවක් තිබිය යුතුවාක් මෙන් ම තලේබාන් ඩයස්පෝරාවක් ගැන ද කතා කළ හැකි විය යුතුයි. එනයින් බලන කළ කොටි ඩයස්පෝරාව යනු වැරැදි යෙදුමකි. ත්‍රස්තවාදි කණ්ඩායම්වල සාමාජිකයන් ඒ කණ්ඩායම් නාම සහිත ඩයස්පෝරා ලෙස හැඳින්වීමක් ලංකාවේ හැර වෙනත් තැනකින් අසන්නට නො ලැබේ.

වර්තමානයේ ඩයස්පෝරා යන වචනය විවිධ අරුත් සහිත ව භාවිත කළ ද අතීතයේ දී එය නොයෙක් හේතු නිසා මවුරටින් පිට වී ජීවත්වන යුදෙව් ජාතිකයන් හැඳින්වීමට භාවිත කරන ලද්දකි. විසිවන සියවසේ දී මේ වචනය උපන් බිමින් පිටුවහල් ව ජීවත්වන ආමේනියානු සහ අප්‍රිකානු සම්භවයක් සහිත මිනිසුන් හැඳින්වීමට යොදා ගන්නා ලද බව ද නිරීක්ෂණය කළ හැකිය. නමුත් 1980 දශකය වන විට රටින් රට සංක්‍රමණය වන පිරිස අධික වූ හෙයින් සෑම සංක්‍රමණිකයකු ම හැඳින්වීම පිණිස ඩයස්පෝරා යන වචනය පොදුවේ භාවිත කරන්නට පටන් ගෙන තිබේ. එසේම මේ යෙදුම ඉතා පටු රාමුවක සිට මෙන්ම සීමා මායිම් රහිත ව අර්ථ දැක්වීමෙන් ඉන් ධ්වනිත වන සැබෑ අරුත හඳුනා ගැනීමේ ගැටලුවක් පැන නැඟී ඇත.

ඩයස්පෝරාව යන වචනයට සිංහල භාෂාවේ යෙදුමක් නැත. ඒ නිසා ග්‍රීක භාෂාවේ ඒ සඳහා ඇති ‘ඩයස්පිරයන්’ යන වචනයේ අර්ථයට අනූරූප ව විසිරි ජන යන වචනය මවිසින් මේ ලේඛණයේදී භාවිත කරමි. ‘ඩයස්පෝරා’ යන වචනය පැමිණ ඇත්තේ ග්‍රීක භාෂාවේ එන ‘ඩයස්පිරයන්’ යන වදනින් ය. එය ‘ඩය’ යන, උඩින් හෝ අතරින් සහ ‘ස්පියරියන්’ හෙවත්, විසිරුණු හෝ විසුරුවන ලද වචන දෙකේ එකතුවෙන් සෑදුණකි. මේ නිසා ඩයස්පෝරා යන්නෙන් යමෙක් එක් තැනක සිට වෙනත් තැනකට ස්ථානගත වූ අරුතක් ගෙනදෙන බව පෙනේ. ග්‍රීක භාෂාවට අනුව ඩයස්පෝරා යන්නෙන් මිනිසුන් කණ්ඩායමක් වෙනත් තැනකට පදිංචියට යෑමක් නොව යමක විනාශ වීමේ ක්‍රියාදාමයක් හැඟවීම පිණිස භාවිත කර තිබෙන බව ද පතපොතේ සඳහන් වේ. යුදෙව් ජාතිකයන් රට හැර යෑම, රටින් පිට වී ජීවත්වීම, රට අහිමිවීමේ වේදනාව වැනි දේ විග්‍රහ කරන අවස්ථාවලදී ඩයස්පෝරා යන වදන අතීතයේදී භාවිත කර තිබේ. නූතනයේ දී මේ යෙදුම පොදුවේ භාවිත කළ ද, ඩයස්පෝරා ප්‍රජාව පිළිබඳ පිළිගත් නිර්වචනයක් නැත. ඒ නිසා විවිධ අර්ථකථන හරහා විවිධ ලේඛකයන් තමන් විසින් ලියනු ලබන ලියැවිල්ලක කරුණු සනාථ කිරීම පිණිස මේ යෙදුම අරුත් ගන්වා ඇති බව දැකිය හැකිය.

සමස්තයක් වශයෙන් ගත් කල කුමක් හෝ හේතුවක් නිසා තමන්ගේ මවුරටින් පිට වාසය කරන්නන් විසිරි ජන ප්‍රජාව ලෙස පොදුවේ හැඳින්විය හැකිය. සමහර ලේඛකයන් විවිධ නිර්ණායක ඔස්සේ විසිරි ජන කණ්ඩායමක් යනු කවරෙක්දැයි හඳුනා ගන්නට උත්සාහ දරා තිබේ. උදාහරණයක් වශයෙන් ගන්නේ නම්, කිම් බට්ලර් විසින් නිර්ණායක හතරක් ඔස්සේ මේ සම්බන්ධයෙන් විසඳුමක් සොයන්නට උත්සාහ කර ඇති අතර ඔහුට අනුව ඩයස්පෝරාවක් හෙවත් විසිරි ජන කණ්ඩායමක් ලෙස තීරණය කිරීමට යම් ජන කණ්ඩායමකට අයත් පිරිසක් අවම වශයෙන් රටවල් දෙකක හෝ සැරිසරා තිබිය යුතුයි. ඔවුන් මනඃකල්පිත හෝ සෑබෑ මවුරටක් සමඟ සම්බන්ධකම් පැවැත්විය යුතුයි. එසේම තමන්ගේ අනන්‍යතාව ගැන වැටහීමක් තිබිය යුතු වේ. ඒ විසිරි ජන කණ්ඩායම අවම වශයෙන් පරම්පරා දෙකක් වත් තම මවුරටින් පිට ජීවත් ව සිටිය යුතුයි. එහෙත් වර්තමානයේ පවතින තත්ත්ව යටතේ මේ නිර්ණායක ඔස්සේ පමණක් විසිරි ජන කණ්ඩායමක් හඳුනා ගැනීමට දරන උත්සාහයක දී බොහෝ කණ්ඩායම් ඉවත ලා සැලකීමට සිදු වේ. මේ නිසා යම් කිසි ජන කොට්ඨාසයක් කුමන හේතුවක් නිසා හෝ තමන්ගේ මවුරටින් පිටමන් වී, තමන් දැනට පදිංචි ව සිටින රටේ සමාජයට සම්පූර්ණයෙන් ම අනුගත නොවී, තමන්ගේ අනන්‍යතාව රැක ගනිමින්, යම් දිනෙක තම මවුරට වෙත ආපසු යෑමේ අපේක්ෂාවෙන් තම මවුරට හා සම්බන්ධතා පවත්වනවා නම් ඔවුන් විසිරි ජන කණ්ඩායමක් වශයෙන් හැඳින්විය හැකිය, යන අදහස වඩාත් කාලෝචිත වේ. මේ නිර්ණායක උපයෝගී කරගෙන කිසියම් විසිරි ජන කණ්ඩායමක් ගැන අධ්‍යයනයක් කිරීමට ද හැකි වේ.

ගෝලීයකරණය, සන්නිවේදන තාක්ෂණයේ දියුණුව, ශීඝ්‍ර ආර්ථික වර්ධනය හා රටවල් අතර ගමන් පහසුකම් පහසුවීමට සමාන්තර ව ලෝකය පුරා පැන නැඟී ඇති ගැටුම් නිසා බොහෝ රටවල් අද විසිරි ජන කණ්ඩායම් ගැන වැඩි වැඩියෙන් කතා කරන්නට පටන් ගෙන තිබේ. විශේෂයෙන් ම යම් කිසි විසිරි ජන කණ්ඩායමකට තමන්ගේ ආගන්තුක රටේ ඇති පිළිගැනීම හා ශක්තිය මෙන් ම තමන්ගේ මවුරටේ සිදුවීම් දෙස දක්වන සංවේදීතාව ගැන සෑම මවුරටක් ම අවධානයෙන් සිටියි. උදාහරණයක් වශයෙන් ගත් කල ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වන යුදෙව් විසිරි ජන කණ්ඩායම් ලෝකයේ ඇති ප්‍රබලතම විසිරි ජන කණ්ඩායම වශයෙන් පිළිගන්නේ ඔවුන්ට ඇමෙරිකාවේ දේශපාලන ව්‍යුහයේ කළ හැකි බලපෑම ඉතා ප්‍රබල වීම නිසා ය. මෙවන් හේතුන් නිසා තම රටට අයත් විසිරි ජන කණ්ඩායම් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යෑමට බොහෝ රටවල් අද විවිධ උපක්‍රම භාවිත කරේ. මේ අනුව ග්‍රීසිය හා තුර්කිය විදේශ රටවල සිටින තමන්ගේ විසිරි ජන කණ්ඩායම් තම රටේ නියෝජිතයන් සේ සලකා කටයුතු කරනු ලැබේ. අසල්වැසි ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයකට පැමිණි වහාම ඉන්දියානු විසිරි ජන කණ්ඩායම් හමු වී මව් රටේ සංවර්ධනයට අතහිත දෙන ලෙස ආරාධනා කරන ලදී. ඒ අතර දශක කීපයකට පෙර ඊශ්‍රායලය හා අයර්ලන්තය විසින් තමන්ගේ විසිරි ජන කණ්ඩායම් රටට විරුද්ධව රට හැර යන්නන් හෝ දේශද්‍රෝහීන් ලෙස හඳුන්වා තිබේ. එහෙත් වර්තමානයේ සෑම රටක් ම පාහේ තමන් ගේ විසිරි ජන කණ්ඩායම් තම රටට මුදල් සම්ප්‍රේෂණය කරන්නන් හා ආගන්තුක රට තුළ මවුරටේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් සේ හැඳින්වීම දැකිය හැකිය. විසිරි ජන කණ්ඩායම් තම මවුරටින් බැහැර ව සිදුකරන ක්‍රියා අනුව ඔවුන් යහපත්, අයහපත්, ගැටුම් නිර්මාණය කරන්නන්, සාම සාධකයන් හෝ සාමය බිඳ දමන්නන් වශයෙන් වර්ග කිරීමට ද පෙලැඹී තිබේ.

නූතන ලෝකයේ ඕනෑ ම රටක විසිරි ජන කණ්ඩායමක් තම මවුරටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සමාජීය කටයුතු කෙරෙහි සෘජු හා වක්‍ර අයුරින් බලපෑම් කිරීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ නිසා බොහෝ රටවල් විසිරි ජන කණ්ඩායම් හා ආණ්ඩු අතර සංහිඳියාවක් පවත්වා ගන්නට උත්සාහ දරයි. මේ වෙනුවෙන් සමහර රටවල් විසිරි ජන කණ්ඩායම්වලට යම් විශේෂිත සහන ලබාදී තිබේ. විදේශ රටවලදී තම මවුරටේ මැතිවරණයක දී තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමට විධිවිධාන සලසා දෙනු දැකිය හැකිය.

වත්මන් ඉන්දියානු රජය විසින් තමන්ගේ රටේ විසිරි ජන ප්‍රජාවට ඉන්දියාවේ දිගුකාලීන වීසා ප්‍රදානය කර තිබේ. ලංකාව අපේ විසිරි ජන කණ්ඩායම්වලට ද්විත්ව පුරවැසිකම් ලබා ගැනීමේ අවස්ථාව සලසා තිබේ. ග්‍රීසිය ඔවුන්ට තමන් වෙනුවෙන් පාර්ලිමේන්තු නියෝජිතයන් පත් කිරීමට අවස්ථාව ලබා දී ඇත. මේ ක්‍රියා නිසා ධ්වනිත වන වැදගත් කරුණක් වන්නේ නූතන ලෝකයේ විසිරි ජන ප්‍රජාව යනු රටකට පැත්තකට කර තැබිය හැකි පිරිසක් නොවන බවයි.

ලෝකයේ අන් රටවල් මෙන් ශ්‍රී ලංකාව ද තම රටේ ජනතාව වෙනත් රටවල් කරා සංක්‍රමණය වීම පශ්චාත් යටත් විජිත යුගයේ පටන් අත්දකින ලද්දකි. පළමුව 1970ට පෙර යුගයේ දී ධනවත් පවුල්වලට අයත් තරුණ කොටස් උසස් අධ්‍යාපනය උදෙසා බටහිර අර්ධගෝලයට සංක්‍රමණය වීම දක්නට ලැබිණි. සමහරු ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරුව හා මැලේසියාව වෙත රැකියා හා පදිංචිවීම පිණිස සංක්‍රමණය වූහ. දෙවනුව 1970 න් පසු ඛණිජ තෙල් ආදායම ඉහළ යෑම හරහා මැදපෙරදිග රටවල ඇති වූ ආර්ථික පිබිදීම හේතුවෙන් විශාල පිරිසක් පුහුණු, අර්ධ පුහුණු හා නුපුහුණු රැකියාලාභීන් ලෙස මැදපෙරදිග කලාපය වෙත ගමන් කළ අතර විශේෂයෙන් ම ගෘහ සේවිකාවන් ලෙස ලාංකික කාන්තාවෝ වැඩි වශයෙන් රැකියා සොයා ගියහ. ඊළඟ අවස්ථාව වාර්තා වන්නේ 1983 කළු ජූලිය නිසා විශේෂයෙන් ම ද්‍රවිඩ ජනතාව බටහිර ලෝකයේ පිළිසරණ පැතීම ය. මේ අතර ආර්ථික, සමාජීය හා දේශපාලනික හේතුන් කරණකොටගෙන සිංහල හා මුස්ලිම් ජන කොටස් ද බටහිර හා ඇමෙරිකානු මහද්වීපය කරා සංක්‍රමණය වන්නට පටන් ගත්හ. ප්‍රධාන වශයෙන් යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, කැනඩාව හා මැදපෙරදිග කලාපය මුල් කරගෙන ශක්තිමත් ශ්‍රී ලාංකික විසිරි ජන කොට්ඨාසයක් බිහි වී තිබේ. සෙසු රටවල් හා සසඳන කල්හි මැදපෙරදිග වෙසෙන ලාංකික විසිරි ජන කණ්ඩායම්වලට ඒ රටවල පුරවැසිකම් ලබාගත නොහැකිය.

ලාංකේය විසිරි ජන කණ්ඩායම් අතරින් දශ ලක්ෂ එකහමාරක්ට වැඩි දෙමළ විසිරි ජන කණ්ඩායම වඩාත් ඉස්මතු වී පෙනෙන්නට පටන් ගත්තේ, වෙන ම රාජ්‍යයක් උදෙසා එල්ටීටීඊ සංවිධානය විසින් ගෙන යන අරගලයේදී ඔවුන් වෙත දෘෂ්ටිමය, මූල්‍යමය හා ප්‍රචාරාත්මක සහාය දැක්වීම නිසා යි. මේ අතර සිංහල විසිරි ජන කණ්ඩායම් ප්‍රජාතාන්ත්‍රික හා ප්‍රජාතාන්ත්‍රික නොවන මාර්ග ඔස්සේ ලංකාවේ දේශපාලනික වෙනස්කම් ඇති කිරීම උදෙසා බලය යෙදීම ද දැකිය හැකිය. එසේ ම සිංහල මෙන් ම දෙමළ විසිරි ජන කණ්ඩායම් ලංකාවේ දේශපාලන වෙනස්කම්, නීතියේ ආධිපත්‍ය තහවුරු කරලීම, මානව අයිතිවාසිකම් හා නිදහස උදෙසා අන්තර්ජාතිකයේ බලපෑම ඉල්ලා සිටීම නිරීක්ෂණය කළ හැකිය. කෙසේ වෙතත් අවාසනාවකට මෙන් යුද්ධයේ අඳුරු වලාවල නිසා ශ්‍රී ලාංකික විසිරි ජන කොට්ඨාස පිළිබඳ ධනාත්මක පැතිකඩ වැසි ගොස් ඇත. ඒ හරහා පොදුවේ ලාංකේය විසිරි ජන කණ්ඩායම් නිරන්තරයෙන් ම මවුරට ට විරුද්ධ පිරිසක් යන අදහස අපේ සමාජයේ මුල් බැස ඇති සංකල්පයකි.

වර්තමානයේ ආර්ථික වශයෙන් ගත් කල විසිරි ජන කණ්ඩායම්වල ප්‍රේෂණ ලංකාවට ඉතා වැදගත් ය. මුදල් අමාත්‍යාංශයේ වාර්තාවට අනුව 2015 වසරේදී ශ්‍රී ලාංකික විසිරී ජන කණ්ඩායම් විසින් ලංකාව වෙත ප්‍රේෂණය කරන ලද මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6980 කි. මෙය රටේ වාර්ෂික අපනයන අාදායමෙන් සියයට 62 ක් වේ. මේ අතර මැදපෙරදිගින් ලැබෙන ප්‍රේෂණ, සමස්ත ප්‍රේෂණවලින් සියයට 55 ක් ලෙස වාර්තා වේ. මේ මඟින් එළිදැක්වෙන කරුණක් වන්නේ රටක ජනතාව විදේශ රටකට සංක්‍රමණය වීම ඔවුන් නියෝජනය කරන පවුල්වලට පමණක් නොව සමස්ත රටේ ම ආර්ථිකයට විශාල තල්ලුවක් සපයන බව ය. මේ විසිරි ජන කණ්ඩායම් තමන්ගේ පවුල් සමඟ මෙන්ම, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික යන ස්තරවල සමාජ ක්‍රියාකාරකම් රාශියකට දායක වේ. මේ තත්ත්වය ශ්‍රී ලංකා විසිරි ජන කණ්ඩායම් සම්බන්ධයෙන් ද දැකිය හැකි සංසිද්ධියකි. විශේෂයෙන් ම රටේ දේශපාලන ස්තරයේ ඔවුන් දරන තෙරපුම සුවිශේෂී වැදගත්කමක් උසුලයි. උදාහරණයක් වශයෙන් ගත් කල දෙමළ විසිරි ජන කණ්ඩායම් එල්ටීටීඊ යේ බෙදුම්වාදී සටනට විවිධ ආකාරයෙන් දායක වෙමින් මසකට ඩොලර් මිලියන දෙකක් එල්ටීටීඊ ය වෙනුවෙන් ලබාදී තිබුණි. යුද්ධය පවත්වාගෙන යෑමට ඔවුන් දැරූ පිරිවැය නිසා රටේ දේශපාලන ව්‍යුහයේ දැඩි වෙනස්කම් රාශියක් ඇති විය. කෙසේ වෙතත් 2015 දී ඇති වූ වෙනසත් සමඟ දෙමළ විසිරි ජන කණ්ඩායම් ප්‍රජාතාන්ත්‍රික ප්‍රවාහය ඔස්සේ තමන් අරමුනු කර ගත් වෙනසක් බලාපොරොත්තු වීම සුබදායක ලකුණකි.

විශේෂයෙන් ම 2009 දී යුද්ධය අවසන් වන තෙක් හා 2015 දක්වා වූ කාලයේදී ඔවුන්ගේ ගතිකත්වය ලංකාව හා ලෝකය සමඟ පැවැති රාජතාන්ත්‍රික ගනුදෙනු කෙරෙහි දැඩි බලපෑමක් ඇති කෙළේ ය. ලංකාවට ලැබෙන ආධාර, සහනාධාර, යුද ආධාර සම්බන්ධයෙන් පමණක් නොව යුද්ධය නැවැත්වීමට මැදිහත්වීම දක්වා අන්තර්ජාතික ප්‍රජාව උනන්දු කරලීමට තරම් දෙමළ විසිරි ජන කණ්ඩායම් බලගතු විය. කෙසේ වෙතත් වර්තමානයේ දී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ජනතාව ගේ නිදහස තහවුරු කිරීම උදෙසා ජාත්‍යන්තරයේ මැදිහත්වීමක් ඔවුහු තවමත් අපේක්ෂා කරති. එහෙත් ලංකාවේ මේ අංශයේ ඇති වී ඇති ධනාත්මක වර්ධන හේතු කරගෙන ලෝක ප්‍රජාව ලංකාව කෙරෙහි වඩාත් සුබදායක ඇසකින් බැලීම අද සිදු ව තිබේ. ඒ මඟින් ලංකාවේ රාජතාන්ත්‍රික කටයුතු කෙරෙහි යම් දුරකට විසිරි ජන කණ්ඩායම්වල වක්‍ර බලපෑමේ ලිහිල් වීමක් පෙනේ.

පොදුවේ ගත් කල මිලියන එකහමාරක් පමණ වන දෙමළ විසිරි ජන කණ්ඩායම් ව්‍යාප්ත ව සිටින්නේ යුරෝපය, ඇමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, හා ඉන්දියාවේ ය.

සිංහල කණ්ඩායම් වැඩි වශයෙන් දැකිය හැක්කේ මැදපෙරදිග කලාපය ආශ්‍රයෙනි. එසේ ම යුරෝපය ගත් කල ඉතාලියේ වැඩිපුර වාසය කරන්නේ සිංහල කණ්ඩායම් ය. අනෙකුත් රටවල් ගත් කල දෙමළ පිරිසට සාපේක්ෂ ව සිංහල විසිරි ජන කණ්ඩායම ඉතා ස්වල්ප සංඛ්‍යාවකි. මොවුන්ගේ අපේක්ෂා විවිධාකාර වන අතර, ඔවුන් තමන්ගේ මවුබිම හා පවත්වාගෙන යන සම්බන්ධතාව ද වෙනස් ය. රටේ පැවැති යුද වාතාවරණය නිසා විදේශගත වූ දෙමළ පිරිස් හා ලංකාව අතර දැඩි සබඳතාවක් දක්නට නැති බව සඳහන් කිරීම සත්‍යයකි. මේ නිසා ම ඔවුන් ලංකාවට නැවත පැමිණීම ගැන දැඩි බලාපොරොත්තු ඇත්තෝ නොවෙති. ලංකාව සමඟ ඔවුන් පවත්වාගෙන යන සබඳතා හුදෙක් පෞද්ගලික වශයෙන් තමන් ගේ නැදෑ හිත-මිතුරන් අතරට සීමා වන බවක් පෙනේ. එහෙත් පොදුවේ රටේ පවතින දේශපාලන වෙනස්කම් සම්බන්ධයෙන් ඔවුන් දක්වන ප්‍රතිචාර අයහපත් ඒවා නො වේ. අනෙක් පැත්තෙන් ආර්ථික වශයෙන් ගත් කල ඔවුන් තවමත් රට තුළ විශාල වශයෙන් ආයෝජනය කිරීම වැනි කටයුතු සඳහා වැඩි බරක් දරන්නේ නැත. මීට පෙර ලංකාවට පැමිණීමට නොහැකි වූ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අද ලංකාවේ සංචාරය කිරීමට පැමිණීම ඉතා යහපත් ප්‍රවණතාවක් වේ.

මීට සාපේක්ෂව සිංහල විසිරි ජන කණ්ඩායම් නැවතත් මවුබිමට පැමිණීම ගැන ඇත්තේ දැඩි බලාපොරොත්තුවකි. ඒ නිසා ම ඔවුහු ලංකාවේ දේශපාලන හා ආර්ථික වෙනස්කම් ගැන දැඩි අවධානයෙන් සිටින්නා හ. එසේ ම රට තුළ ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් ඇති ව කටයුතු කරන බව ද නිරීක්ෂණය කළ හැකිය. මේ තත්ත්වය වැඩි වශයෙන් ම මැදපෙරදිග කලාපයේ වෙසෙන මිලියන එකහමාරක් පමණ වන සිංහල විසිරී ජන කණ්ඩායම්වල දැකිය හැකි ලක්ෂණයකි. මේ දෙපිරිස අතර වෙනසට ප්‍රධාන හේතුව වන්නේ යුද්ධය නිසා සමාජීය වශයෙන් දෙමළ විසිරි ජන කණ්ඩායම් ලාංකේය සමාජ පරිසරයෙන් ඈත්වීම සඳහන් කළ හැකියි. කෙසේ වෙතත් වර්තමානයේ මේ තත්ත්වය ක්‍රමික ව වෙනස්වීමට මාවතක් සකස්වීම සාධනීය ලක්ෂණයක් බව පෙනේ. යුරෝපා රටවල දී තමන් අත්දකින පහසු ජීවන රටාව නිසා මෙන්ම අධ්‍යාපන කටයුතුවලදී ලැබෙන පහසුකම් නිසා දෙමළ මෙන්ම සිංහල හා මුස්ලිම් විසිරි ජන කණ්ඩායම් ස්ථිර පදිංචිය පිණිස නැවත මවුරටට යාමක් ගැන කල්පනා නොකරන බව ලේඛකයා විසින් කරනු ලැබූ සමීක්ෂණයකට අනුව හඳුනාගෙන ඇත.

අනෙක් කරුණ වන්නේ ශ්‍රී ලාංකික විසිරි ජන කණ්ඩායම් විදේශ රටවලදී තමන්ගේ සංස්කෘතිය හා සිරිත්-විරිත්වලට අයත් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවධානයක් යොමු කිරීමයි. ඔවුන් ආගමික, සංස්කෘතික හා ජාතික උත්සව පවත්වන අතර සෑම දෙනා ම පාහේ තමන්ගේ මවුරටේ ආහාරපාන භාවිතයට ඇති කැමැත්ත ඉහළ මට්ටමක පවතී. මේ මඟින් ඔවුන් තව දුරටත් තම ලාංකික අනන්‍යතාව රැකගෙන කටයුතු කිරීම සිදු වේ. මේ නිසා ම ඔවුහු ලංකාව කෙරෙහි හා ලංකාවේ සිදුවන වෙනස්වීම් කෙරෙහි දැඩි සංවේදීතාවක් දක්වති. ඔවුන් සම්බන්ධ ලාංකේය උප සංස්කෘතියක් බොහෝ රටවල දැකිය හැකිය. මේ උප සංස්කෘතිය හරහා ඔවුන්ගේ අදහස්-උදහස් හා සිතුම්-පැතුම් ප්‍රක්ෂේපණය වේ.

ඉහතින් අවධාරණය කළ පරිදි නූතන ලෝකයේ දී මිනිසුන් විවිධ හේතු නිසා වැඩි වැඩියෙන් තමන්ගේ මවුරටින් බැහැරවීම දක්නට ලැබෙන සංසිද්ධියකි. ඒ නිසා එක් පැත්තකින් බුද්ධිගලනයක් ගැන කතා කරන අතර තවත් පැත්තකින් ආගන්තුක රටක ආරක්ෂක, සමාජීය, ආර්ථික හා දේශපාලන ගැටලු පැන නැඟීම ගැන කතිකාවක් බිහි වී තිබේ. සමහර රටවල් සරණාගතයන්ට හෝ විසිරි ජන කණ්ඩායම්වලට වැට බඳිද්දී බොහෝ රටවල් ඒ ප්‍රවාහ දෙස සුබවාදී ව බලන්නට පෙලැඹී තිබේ. උදාහරණක් වශයෙන් ගත් කල සිරියානු යුද්ධය නිසා ජර්මනියට පමණක් පැමිණි සරණාගතයන් සංඛ්‍යාව මිලියනයකටත් අධික ය. මේ සරණාගතයන් නුදුරු දිනක විසිරි ජන කණ්ඩායමට එකතු වේ. එසේම සරණාගත ප්‍රශ්නය හරහා පැන නැඟී ඇති ගැටලු නිසා මුළු යුරෝපය පුරා ම දේශපාලනික, ආරක්ෂක හා සමාජීය සංකුලතාවන් ගොඩනැඟෙමින් පවතී. එහෙත් බොහෝ රටවල ජනගහනයේ සංකෝචනයක් සිදුවීමෙන් විසිරි ජන කණ්ඩායම් වැඩිවීම ඒ රටවලට අස්වැසිල්ලක් විය හැකිය. එහෙත් දිගුකාලීන ව ගත් කල විවිධ අහිතකර බලපෑම් ඇතිවීම සම්පූර්ණයෙන් ම නිෂේධනය කළ නොහැකිය. ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව ද විසිරි ජන කණ්ඩායම් ගැන විවිධ කෝණවලින් දැකීමට උත්සාහ කර තිබේ. ඒ අනුව පොදුවේ ගත් කල ශ්‍රී ලාංකික විසිරි ජන කණ්ඩායම් රටට වැදගත් යන මතය රජයේ හා දේශපාලන නායකයන්ගේ මනසේ ගොඩනැඟී ඇත. විශේෂයෙන් ම විදේශ ගත ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව විසින් එල්ටීටීඊ ය හරහා මෙන්ම විවිධ අන්තර්ජාතික බලවේග ඔස්සේ රට වෙත එල්ල කරන ලද පීඩනය නිසා ඔවුන් ගැන වැඩි අවධානයක් යොමු කිරීම හා ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමේ වැදගත්කම අවබෝධ කරගෙන ඇති බවක් පෙනේ. ඒ අතර අන්තර්ජාතිකයේ දී ලංකාවට අහිතකර ක්‍රියාදාමවලට අභියෝග කිරීම හරහා ලෝකයේ ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට ලාංකික විසිරි ජන කණ්ඩායම් කටයුතු කළ බව ද සැලැකිල්ලට ලක් වී තිබේ. මේ විසිරි ජන කණ්ඩායම් අතර විවිධ ක්‍ෂේත්‍රවලට අයත් විද්වත්තු සිටිති. ඔවුන්ගේ දැනුම රට වෙනුවෙන් යොදා ගැනීම ගැන අවධානය යොමු වී තිබෙන අතර සමහර පිරිස් ලංකාවේ ආයෝජනය කිරීම වෙනුවෙන් කැමැත්ත දැක්වීම ද දැකිය හැකි තත්ත්වයකි. මේ කරුණු නිසා ලංකාවට මේ විසිරි ජන කණ්ඩායම් ගැන සුළුවෙන් තැකිය හැකි නොවේ. එහෙයින් වර්තමානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තානාපති කාර්යාල හරහා ලාංකික විසිරි ජන කණ්ඩායම් හඳුනා ගැනීමට හා ඔවුන් සමඟ සක්‍රීය ව කටයුතු කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා වෙන ම ඒකකයක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇත. ඒ අතර ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පිරිස් හට ද්විත්ව පුරවැසිභාවය ලබාදෙමින් ඔවුන් ලංකාව වෙත ඇද බැඳ තබා ගැනීමේ කටයුතු ද සිදුවෙමින් පවතී.

මේ සියලු කර්තව්‍ය හරහා රජය බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලාංකික විසිරි ජන කණ්ඩායම් රට හැර ගිය හා රටට වැඩක් නැති පිරිසක් ලෙස නොසලකා ඔවුන්ගේ දායකත්වය රට වෙනුවෙන් ලබා ගැනීම යි. විශේෂයෙන් ම මේ මඟින් විසිරි ජන කණ්ඩායම් සම්බන්ධයෙන් රටේ පොදුවේ පවතින සෘණාත්මක ආකල්ප නැති කරලීමට ද අවකාශයක් ලැබීම වඩාත් සුබදායක තත්ත්වයකි.

ශ්‍රී ලංකා විසිරි ජන කණ්ඩායම්වල අනාගත ප්‍රාර්ථනා ශ්‍රී ලංකා විසිරි ජන කණ්ඩායම් රටේ අභිවෘද්ධියට හා අන්තර්ජාතික වශයෙන් ලංකාවේ අයිති ආරක්ෂා කිරීමට හා ලංකාව පිළිබඳ යහපත් දැක්මක් ලෝකයාට ප්‍රක්ෂේපණය කිරීම උදෙසා අවශ්‍ය බව අවිවාදාත්මක යි.

ඔවුන් හුදෙක් රට හැර ගිය තවත් එක් පිරිසක් හෝ රටට වින කරන කණ්ඩායමක් ලෙස දැකීම ප්‍රඥාගෝචර නොවේ. ඒ නිසා ඔවුන් සමඟ කටයුතු කිරීම ලංකාවට හැම අතින් ම යහපත් ය. ඔවුන් සමඟ කටයුතු කළ හැක්කේ ඔවුන් රට සමඟ සිටිනවා ද යන්න ගැන පැහැදිලි අදහසක් ඇත්නම් පමණි. මේ ලියුම්කරු විසින් ජර්මනියේ සිටින ලාංකිකයන් 120 ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයක දී කරුණු 15 කට අදාළ ප්‍රශ්න ඔවුන් වෙත යොමු කරන ලදී. මේ පිරිස අතරින් 113 ක් දෙමළ ජනතාව වූ අතර ඔවුන්ගෙන් 47 දෙනෙක් අයත් වූයේ වයස අවුරුදු 41-60 අතර වයස් කාණ්ඩයට යි. ඔවුන්ගෙන් 28 දෙනෙක් යුරෝපයට පැමිණ ඇත්තේ 1980-1990 අතර කාලයේ වන අතර 46 දෙනක් 1991-2000 අතර කාලයේදී ලංකාවෙන් පිට වී තිබේ. ඉන් 41 දෙනෙක් යුද්ධමය වාතාවරණය හේතු කරගෙන රටින් පිටවී ඇති අතර, 44 දෙනක් තමන්ගේ පවුලේ උදවිය සමඟ ජීවත්වීම පිණිස යුරෝපයට පැමිණ තිබේ. ඉන් ධ්වනිත වන කරුණක් වන්නේ වැඩි පිරිසක් ලංකාවෙන් පිට වී ඇත්තේ යුද්ධය නිසා බව ය. මේ පිරිසෙන් 115 දෙනකුගේ පවුලේ කවුරුන් හෝ ලංකාවේ ජීවත් වේ. එසේ ම සමීක්ෂණයට සහභාගි වූ කණ්ඩායමේ 76 දෙනෙක් මෑතක දී ලංකාවට ගොස් තිබෙන අතර 82 ක් කුමක් හෝ කරුණක් වෙනුවෙන් ලංකාවට මුදල් යවන්නෝ ය.

ඉහත කරුණු අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා විසිරි ජන කණ්ඩායම් සම්පූර්ණයෙන් ම තම මවුබිම අත්හළ පිරිසක් නොවන බව යි. එසේ ම සමීක්ෂණයට භාජනය වූ කණ්ඩායමෙන් විදේශ පුරවැසිකම් ලබාගෙන ඇත්තේ 26 දෙනෙක් පමණි. එසේ නම් ඔවුන් ලංකාව සමඟ ඇති සම්බන්ධතා වඩාත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම නොපමාව කළ යුතු කාර්යයකි. ඒ හරහා ඔවුන් ලංකාවේ කටයුතුවලට සම්බන්ධ කර ගැනීමට හැකි වන අතර අන්තර්ජාතිකයේදී ලංකාව වෙනුවෙන් ඔවුන් පෙනී සිටින තත්ත්වයක් නිර්මාණය කළ හැකියි. වඩාත් වැදගත් කරුණ වන්නේ ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ද සාධනීය පිළිතුරු ලබාදීමයි. එය ලංකාව කෙරෙහි ඔවුන්ගේ සිතේ පවතින සෘණාත්මක ආකල්ප අවම කිරීමට බෙහෙවින් ම දායක වේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.