මනුෂ්‍යත්වයේ පරම සංධ්වනිය සොයන ලේඛකයෙක් | සත්මඬල

මනුෂ්‍යත්වයේ පරම සංධ්වනිය සොයන ලේඛකයෙක්

කලාකරුවකුගේ අභිමතාර්ථය වනුයේ සම්මාන හෝ හුදු ජනප්‍රියතාව යනාදිය පසුපස හඹායෑම නොව මානව වර්ගයාගේ ප්‍රගමනය උදෙසා සේවය කිරීම යන මහඟු ආදර්ශය නොවන්නේ ද?

 

පසුගිය වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමි වූ ‘ක්ෂුවෝ ඉෂිගුරෝ’

2017 වර්ෂයේ සාහිත්‍ය පිළිබඳ ව නොබෙල් සම්මානය (The Nobel Prize of Literature – 2017) පවුම් 832.500 ක පමණ මුදල් ත්‍යාගයක් ද සමඟින් හිමි කරගන්නා ලද්දේ ජපන් සම්භවයකින් පැවැත එන බ්‍රිතාන්‍යයේ නිත්‍ය පුරවැසියකු වන ‘ක්ෂුවෝ ඉෂිගුරෝ’ (Kazuo Ishiguro 1954) විසිනි.

1954 නොවැම්බර් මස 08 වැනි දින ජපානයේ නාගසාකි (Nagasaki) නම් වූ නගරයේ දී මෙලොව උපත ලද ඉෂිගුරෝගේ පියා (Shizuo Ishiguro) වෘත්තියෙන් සාගර විද්‍යාඥයෙක් වූයේ ය. තම පියාට ලැබුණු අධිශිෂ්‍යත්වයක් නිසා උපන් බිම අතහැර 1960 දී බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ ඉෂිගුරෝ පවුල එතැන් පටන් තම ස්ථිර වාසභූමිය ලෙස තෝරා ගන්නා ලද්දේ බ්‍රිතාන්‍යය යි. එහිදි තම මූලික හා ද්විතියික අධ්‍යාපනය ඉතා සාර්ථක අයුරින් නිමා කළ ඉෂිගුරෝ කෙන්ට් විශ්වවිද්‍යාලයෙන් (University of Kent) නූතන සාහිත්යය (Modern Literature) පිළිබඳ ව තම ශාස්ත්‍රවේදී උපාධිය (B.A) හිමිකර ගත්තේ ය. ඉක්බිති ව ඔහු ඊස්ට් ඇන්ගලියා විශ්වවිද්‍යාලයෙන් (University of East Anglia) තම ශාස්ත්‍රපති උපාධිය (M.A) හිමිකර ගන්නා ලද්දේ නිර්මාණශීලි ලේඛනය (Creative Riting) නම් වූ විෂයය වෙනුවෙනි.

ඉෂිගුරෝ නිර්මාණ සාහිත්‍යට පිවිසෙන්නේ 1982 වර්ෂයේදී ය. ඒ ‘A Pale View of Hills’ නම් වූ නවකතාව රචනා කරමිනි. දෙවැනි ලෝක යුද්ධයේදී (1938 – 1945) හිරෝෂිමා හා නාගසාකි නම් වූ නගරවලට ඇමෙරිකානු හමුදාව විසින් හෙළන ලද පරමාණු බෝම්බවලින් සිදුවූ ඒ මහා ඛේදනීය ඇත්දැකීම් ඉතා තියුණු අන්දමින් විවරණය කරමින් රචිත ‘An Artist of the Floating World’ (1986) නම් වූ නවකතාව ඔහුගේ දෙවැනි ‍නවකතාව විය. ඒ ඔස්සේ ජපන් ජාතිය ආමන්ත්‍රණය කරන ඔහු එවන් වූ අමිහිරි අතීතයක් යළිදු මේ ධරණිය තලය මත කිසිදා උදා නොවීමට දේශපාලන නායකයන්ගේ විදේශ ප්‍රතිපත්ති නිවැරැදි දිසාවට යොමු විය යුතු බව පාඨකයා හමුවේ මැනවින් අවධාරණය කරයි.

පුද්ගල සන්තානගත අඳුරු අහුමුලු මැනවින් අනාවරණය කරමින් පාඨකයන් තමා වෙත නම්‍යශීලී කර ගැනීමෙහි ලා සමත් වුණු ඉෂිගුරෝගේ තෙවැනි නවකතාව ‘The Remains of the Day’ (1989) යි. ඒ වර්ෂයේදී ‘ද මෑන් බුකර්’ (The Man Booker Prize – 1989) සම්මානය දිනාගත් මේ නවකතාව සුප්‍රකට හොලිවුඩ් චරිතාංග නළුවකු හා අධ්‍යක්ෂවරයකු වන ඇන්තනි හොප්කීන් (Anthony Hopkin) විසින් ‘Duty Obsessed’ යන නමින් තිරරචනය කර චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇත.

ජර්මනියේ පළවන සුප්‍රකට පුවත්පත් සඟරාවක් වන ඩස්ෆීගල් (Der Spiegel) නම් වූ සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ‘ක්ෂුවෝ ඉෂිගුරෝ’ මෙසේ පවසයි.

සමස්තයක් විදිහට ඔබේ අලුත් නවකතාව දොම්නසට බර එකක්. එහි එන තරුණ ජීවිත පුද්ගල පිටපත් අවාසනාවන්ත ඉරණම් සහිත ඉතා දරුනු අවස්ථාවන්ට මුහුණ දෙනවා. ඒත් පුදුමය ඒ තත්ත්වයන්ගෙන් ගැලවෙන්න ඒ චරිත කිසිවක් කරන්නේ නෑ. (ඔවුන් ඉරණමට තමන් බිලිගන්න ඉඩ දීලා බලා ඉන්නවා.) මනුෂ්‍යයාගේ ඉරණම පිළිබඳවත් ඔබ හිතන්නේ ඒ විදිහටද?

 

“මගේ සියලු නවකතාවල තියෙන්නේ මේ ගුණය කියලා මං හිතනවා.‘The Remains of the Day’ (1989) නවකතාවේ එන ප්‍රධාන සේවකයාගේ චරිතයට යමු. ඔහු දන්නේ නෑ තමන් යන්න හදන තැන. එංගලන්තයේ හා නට්සි ජර්මනියේ ඉතිහාසය මොකක් ද කියලා? ඔහු තමන්ට නියම වන දේ බාරගෙන ඒ තුළ අභිමානයකින් ඉන්න බලනවා. එච්චරයි දැන් ‘Never Let Me Go’(2005) නවකතාව බැලුවොත් එහි මුල ඉඳල ම මට තේරුණා මට පසුව කැරැලි ගහන්න, වෙන වහල්ගත හෝ සුරාකෑමට නතුවන පන්තිය ගැන කතාවක් ලියන්න ඕනේ නෑ කියලා. මගේ කිසිම කතාවක් අවසානයේ ආත්ම ශක්තිය ජයගන්න කතා නෙවෙයි. එහෙම වස්තුවිෂයයක් මට නෑ. මගේ උනන්දුව තියෙන්නේ සීමිත සහ ක්‍රෑර දෛවයක් වගේ දෙයක් පිළිගන්න තරම් මනුෂ්‍යයාට ඇති ශක්තිය ගැනයි.”

සත්‍ය සිදුවීමක් වස්තුවිෂය කර ගනිමින් මනුෂ්‍යත්වයේ පරම වූ සංධ්වනිය පාඨකයන්ගේ සිත් සතන් තුළ ධ්වනි නංවමින් රචිත ‘The Unconsoled’ (1995) නම් වූ නවකතාව හා විද්‍යාත්මක පසුබිමක් වස්තුවිෂය කර ගනිමින් රචිත ‘Never Let Me Go’ (2005) නම් වූ නවකතාව බ්‍රිතාන්‍ය සාහිත්‍ය සංගමයේ ඇගයීමට පාත්‍ර විය.

එක් ඇමෙරිකානු විචාරකයකු ඔබේ ‘Never Let Me Go’ නවකතාව බෙකට්ගේ සහ කෆ්කාගේ කෘති එක්ක සසඳනවා?

“මං හිතන්නේ බෙකට්ගේ හෝ කෆ්කාගේ ප්‍රබන්ධ දිහා බලනවා වාගේ මගේ කෘති දෙසත් වඩා අමෘත ලෙස බැලීම වටිනවා කියලයි ඔහු කියන්නේ. ඔහු එහිදි නිවැරදියි. මගේ ලේඛන දිවිය පුරා ම මගේ ප්‍රබන්ධ පාරභෞතික තලයෙන් කියවන්න ඕන කියලා පාඨකයා උනන්දු කරවීම මට කරන්න බැරි වුණා. උදාහරණයකට සෝල් බෙලෝ වගේ මමත් මාගේ පසුබිම් පරිසරයට වහල් වෙන්නේ නෑ. (ලියන දේ එහි සැබෑ පරිසරය නිරූපණය වෙන්න ඉදිරිපත් කරන්නේ නෑ) මට නවකතාවක පසුබිම් පරිසරය කතාවේ තාක්ෂණයේ කොටසක්. මම එය තෝරාගන්නේ අවසානයේ යි.”

ඉෂිගුරෝ විසින් රචනා කරන ලද නවකතා පිළිවෙලින් මෙසේ ය.

A Pale View of Hills – 1982, An Artist of the Floating World – 1986, The Remains of the Day – 1989, The Unconsoled – 1995, When We Were Orphans – 2000, Never Let Me Go – 2005, Nocturnes: Five Stories of Music and Nightfall – 2009, The Buried Giant – 2015,

 

ඉෂිගුරෝ විසින් රචනා කරන ලද කෙටි නවකතා පිළිවෙළින් මෙසේ ය.

“A Strange and Sometimes Sadness”, “Waiting for J” and “ Getting Poisoned” (in Introduction 7: Stories by New Writers. 1981), “A Family Supper” ( in Firebird 2 : Writing Today, 1983 ) , “ The Summer After the War” ( In Granta 7, 1983), ‘October 1948’ ( in Granta 17, 1985 ), “A Village After Dark” ( in The New Yorker, 2001), “Crooner, “Come Rain or Come Shin”, “Malvern Hills”, “Nocturne” and “Cellists” (in octurnes: Five Stories of Music and Nightfall, 2009)

ඉෂිගුරෝ චිත්‍රපට හා ටෙලි නාට්‍ය තිරරචකයකු හා ගේයපද රචකයකු බව බොහෝ දෙනෙක් නොදනිති. ඔහු විසින් රචනා කරන ලද චිත්‍රපට හා ටෙලි නාට්‍ය තිරරචනා පිළිවෙළින් මෙසේය.

A Profile of Arthur J. Mason (Television film for Channel 4) (1984), The Gourment (Television film for Channel 4) (1987), The Saddest Music in the World (2003), The White Countess (2005)

ඉෂිගුරෝ විසින් ලොව දසත වෙසෙන විවිධ ගායකයන් වෙනුවෙන් රචනා කරන ලද ගේයපද රචනා සැලකිය යුතු සංඛ්‍යාවක් ඇත. ඒවා අතුරින් තෝරාගත් ගේය පද රචනා මෙසේ ය.

 

“ The Ice Hotel “ ,“ I Wish I Could Go Travelling Again” , “Breakfast on the Morning Tram” ,

“So Romantic” , “Postcard Lovers”,

“The Summer We Crossed Europe in the Rain”,

“Waiter Oh Waiter” ,“The Changing Lights” , “Bullet Train”, “The lee Hotel’ , “The Ice Hotel” ,

“The Changing Lights”

 

ඉෂි‍ගුරෝ තම සාහිත්‍ය නිර්මාණ දිවිය සඳහා ආලෝකය ලැබුවේ රුසියානු මහා සාහිත්‍යධරයන් වූ ෆියදෝර් දෝස්තොයෙව්ස්කි (Fyodor Dostoyevsky 1821 – 1881), ලියෝ තෝල්ස්තෝයි ( Leo Tolostoy 1828 – 1910) හා අන්ටන් චෙකෝව් (Anton Chekhov 1860 – 1904) යනාදින්ගේ සාහිත්‍ය නිර්මාණ කියැවීමෙන් බව කියැවේ. ඒ පිළිබඳ ව ඉෂිගුරෝ මෙසේ කියයි.

“දෝස්තොයෙවුස්කි, තෝල්ස්තෝයි සහ චෙකෝෆ් මට බලපෑවා - මා පුංචි කාලේ කියෙව්වේ ඔවුන්ගේ කෘති යි. ඒ වගේ ම සමහර ඉංග්‍රීසි ලේඛකයන්ගේ කෘතිත් කි‍ෙයව්වා. ඒත් ජපන් ලේඛකයන්ගේ කෘති මම කියෙව්වේ නෑ. යසුජිරෝ ඕසු, අකිර කුරොසාවා වැනි 1950 ගණන්වල ජපන් සිනමාකරුවෝ මට විශාල බලපෑමක් කළා. ඒත් ජපන් පොත මට බලපෑමක් කළේ නෑ. ජපන් පොත් පරිවර්තවලින් කියවද්දී මට ඒවා තේරුම්ගන්න බැරි වුණා. දැන් මේ හරුකි මුරකාමිගේ කෘති කියවද්දියි ජපන් නවකතා මට තේරුම්ගන්න සහ ඉන් කියන දේ බෙදා හදාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මුරකාමි හුඟක් අන්තර්ජාතික වශයෙන් කීර්තියට පත් ලේඛකයෙක්.”

ඉෂිගුරෝගේ නවකතා බොහොමයක් සඳහා පාදක වී ඇත්තේ සාමාන්‍ය මිනිසුන් එදිනෙදා මුහුණදෙන ගැටලු හා දුෂ්කරතා ය. ජීවත්වීමේ සටනට මුහුණ දීමේදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන විවිධ ප්‍රශ්නවල ස්වභාවය ය. එහිලා ඔවුන්ගේ ජීවිතය තව තවත් දුෂ්කරතාවකට ඇද දමන අසාමාන්‍ය සිදුවීම් හා ජීවිතයේ නොයෙකුත් දුර්භාග්‍ය සමයන් පිළිබඳ ව ඉෂිගුරෝ තරම් තම නවකතාවෙන් ගැඹුරින් සාකච්ඡා කළ නවකතාකරුවකු වර්තමාන විශ්ව නවකතාකරුවන් අතර නොමැති බව සාහිත්‍ය විචාරකයෝ පවසති.

ස්විඩ්න් නොබෙල් සම්මාන කමිටුවේ ස්ථිර ලේකම්වරිය වන සාරා ඩැනියල් (Mrs. Sara Danius) මැතිනිය මෙසේ කියයි.

“ඇතැම් ලේඛකයන් අතීත සිද්ධි පුන පුනා කීමට මහත් කැමැත්තක් දක්වයි. එහෙත් ඉෂිගුරෝ අතීතයෙන් උගත් පාඩම් ඔස්සේ අනාගතයට යන දිශානතිය පෙන්වමින් සාහිත්‍යකරණයෙහි යෙදෙයි. ඔහුගේ ඒ අතිවිශිෂ්ට දෘෂ්ටිය ලෝකයට ම ප්‍රබල බලපෑමක් කිරීමට සමත් වී ඇති බව අප අවිවාදයෙන් පිළිගත යුතුය.”

අන්තර්ජාතික ලේඛකයකු වීම යන්නෙහි අර්ථය කුමක් දැයි යන්න පිළිබඳ ඉෂිගුරෝ මෙසේ කියයි.

“අන්තර්ජාතික ලේඛකයකු වූ වීමේ වැදගත් කරුණ මෙයයි. මම දැන් ජර්මනියේ හෝ වෙනත් තැනක ඉඳගෙන මගේ පොත්වල ඇතැම් පරිච්ඡේද ලිව්වේ ඇයි කියල ඔබට පැහැදිලි කරනවා කියලා හිතමු. එහෙම වුණා ම මං ආපසු මගේ රටට ගිහින් මගේ ඊළඟ කෘතිය ලියද්දි ම‍ෙග් ඔළුවේ තැනක මේ කෘතිය තවත් භාෂාවකට පරිවර්තනය වෙනවා කියන හැඟීම තියෙනවා. ඇත්තට ම ඉංග්‍රීසි ඉතා අපූරු ලෙස පෙනෙන දෙයක්, වෙන භාෂාවකදි අපූර්වත්වයක් ඇති කරන්නේ නෑ. හේතුව ලියන දේ ඒ භාෂාවේ ඇනුම් පද, වෙළෙඳ නාම, සංස්කෘතික අර්ථ සමඟ ඕනෑවටත් වඩා බැඳෙනවා. (එතකොට මං ඒ වචන වියමනට ඇතුළත් කරනවා ද නැද්ද කියල තවදුරටත් හිතනවා.) ඒත් ඒ වචන මං ලියන දේ අයින් කරන්න මට අමාරුකමක් දැනෙනවා. ඇත්තට ම ඒවා ඉවත් කිරීම හරිම අවදානම් දෙයක්.”

ඉෂිගුරෝ විසින් එදා මෙදාතුර තම සාහිත්‍යට නිර්මාණ වෙනුවෙන් දිනාගන්නා ලද විවිධ සම්මාන රාශියක් වෙයි. ඒවා පිළිවෙළින් මෙසේය.

1982 : Winifred Holtby Memorial Prize for A Pale View of Hills

1983 : Published in the Granta Best Young British Novelists issue

1986 : Whitbread Prize for An Artist of the Floating World

1989 :Booker Prize for the Remains of the Day

1993 : Published in the Granta Best Young British Novelists issue

1995 : Officer of the Order of the British Empire

1998 : Chevalier de l’Ordre des Arts et des Lettres

2005: Never Let Me Go named on Time magazine’s list of the 100 greatest English Language novels since the

Magazine’s formation in 1923

2008 : The times ranked Ishiguro 32nd on their list of ‘ The 50 Greatest British Writers Since 1945’.

2017: Nobel Prize in Literature’

ඉෂිගුරෝ තමාට සාහිත්‍ය පිළිබඳ ව නොබෙල් සම්මානයත් සමඟ හිමි වූ ත්‍යාග මුදලින් ¼ පමණ බ්‍රිතාන්‍යයේ වෙසෙන සාමාන්‍ය ජනතාවගේ සුබ සාධන කටයුතු වෙනුවෙන් යෙදවීමට තමා තීරණය කර ඇති බවට නොබෙල් සම්මාන කතාවේදී ප්‍රකාශ කරන ලදී. මෙය වූ කලී මානව හිතවාදී උත්තරීතර කලාකරුවකුගේ අභිමතාර්ථය වනුයේ සම්මාන හෝ හුදු ජනප්‍රියතාව යනාදිය පසුපස හඹායාම නොව මානව වර්ගයොගේ ප්‍රගමනය උදෙසා සේවය කිරීම යන මහඟු ආදර්ශයක් නොවන්නේ ද?

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.