ස්වයං කාමය හෙවත් ‘සෙල්ෆි වයිරසය’ | සත්මඬල

ස්වයං කාමය හෙවත් ‘සෙල්ෆි වයිරසය’

මෙය ඔබත් මමත් හොඳින් දන්නා මෑතදී කරළියට ආ ජනප්‍රිය සෙල්ෆිය ගැන ය. මෙහිදි මා ඔසවා තබන කරුණ හෝ මතය වනුයේ “ඡායාරූප කලාවේ නිපුණත්වය, ගාම්භීරත්වය සහ ප්‍රභාව සෙල්ෆිය විසින් විනාශ කරමින් සිටී” ය යන්න ය. සෙල්ෆිය නිසා ඡායාරූප ශිල්පයට සිදුවන මේ විනාශය සහ ඒ නිසාවෙන් ම නුදුරු අනාගතයේදී ඡායාරූප ශිල්පය නමැති විෂයය අතුරුදහන් වීමේ ඉරණමකට මුහුණ පා සිටින්නේ ය යන්න කවුරු හෝ විසින් සමාජගත කළ යුතුය. මා මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනුයේ ඒ සඳහා ය. මා නිතර ම භාවිත කරන ‘සෙල්ෆියා’ යන වචනය මා භාවිත කොට ඇත්තේ ෆෝනයට සවිකොට ඇති ‘සෙල්ෆි’ කැමරාව මෙහෙයවන්නා යන අරුත දීමට ය.

අද සමාජය වාණිජ වී ඇති නිසා ඕනෑ ම දෙයක් විකිණේ. ඇත්ත මෙන්ම බොරුව ද විකිණේ. ඕනෑ ම ව්‍යාජයක්, ඕනෑ ම බරක් නැති දෙයක් මිලට ගැනීමට පාරිභෝගිකයෝ ද ඕනෑ තරම් සිටිති. Cocacola සමාගම ‘කොකාකෝලා පිපාසිතයන්’ බිහි කළා මෙන්, apple වැනි ධනපති ෆෝන් සමාගම් සෙල්ෆි පරිභෝජකයන් කෝටි ප්‍රකෝටි ගණනින් හදා ඇත. යම් හෙයකින් පාරිභෝගිකයෝ හිඟ නම් වාණිජ සමාගම් විසින් පාරිභෝගිකයෝ හදති. බොහෝවිට කෙරෙනුයේ භාණ්ඩයට පෙර භාණ්ඩයේ ‘භාවිත අගය’ වපුරා පාරිභෝගිකයෝ ගාල් කර ගැනීම යි. මෙය වාණිජ ධනවාදයේ රූපයයි; යාන්ත්‍රණයයි. (කාල් මාක්ස් එදා මේ බව නිවැරැදි ව ලියා තිබිණ.) 20 වැනි සියවසේදී ද මෙය දිර්ඝ ව පැහැදිලි විණි. (උදා:Agnus Heller. Theory of Need in Marx- 1974). බෙහෝවිට භාවිත අගය නිර්මාණයකි; ව්‍යාජයකි. අද සමාජය සැබෑ දෙය වෙනුවට මවනුයේ ව්‍යාජයකි. ව්‍යාජ මුදල් නෝට්ටු, ව්‍යාජ රත්තරන්, ව්‍යාජ මල් සහ වැල් ඕනෑ තරම් ඇත. ඕනෑ තරම් විකිණේ. සැබෑ දෙය සහ සැබෑ කලාව වෙනුවට වාණිජ ධනවාදය විසින් ඉස්මතු කර ඇත්තේ මේ ව්‍යාජය යි. සම්භාවනාවට පත්වූ කලා ප්‍රකාරයක් වූ ඡායාරූපකරණ කලාවේ ගුණාත්මක වටිනාකම කෙලෙසීමටත්, එහි ගම්භීරත්වය හීන කීරීමටත් මේ ලැයිස්තුවට අලුතින් ම එකතුව, ඡායාරූපී ශිල්පීය විෂය දේහය ආක්‍රමණය කරමින් සිටින වයිරසය සෙල්ෆිය යි.

සෙල්ෆියේ ඉතිහාසය 1839 තරම් ඈතට දිවෙයි. පළමු සෙල්ෆියා රොබර්ට් කොරනේලියස් ය. සෙල්ෆිය කුමක්ද යන්න වයස භේදාදියකින් තොරව අද ඕනෑ ම කෙනෙක් දනියි. එය ඡායාරූප ගැනීමේ ජනප්‍රිය ම ක්‍රමය යි. ලෝ පුරා දිනකට මිලියන 6ක් පමණ සෙල්ෆි අලෙවි වේ. ලෝකයේ තරුණ ජනගහනයෙන් සියයට 91ක් විසින් ෆෝන් කැමරාවෙන් ගන්නා ඡායාරූපවලින් 1/3 ක් සෙල්ෆි ය. නළු - නිළියන්, දේශපාලනඥයන් වැනි සුප්‍රකට පුද්ගලයන්ගේ නම්වලින් ද සෙල්ෆි හැඳින්වේ.

(උදා: ඔබාමා සෙල්ෆිය, පෝප් සෙල්ෆි ය). විශේෂයෙන් බටහිර රටවල සෙල්ෆිය ගැන පොත්පත් රාශියක් සතිපතා පළවෙයි; ලිපි ලේඛන ලියැවෙයි. ටී.වී. වැඩසටහන් විකාශනය වේ; සාකච්ඡා සහ වැඩමුළු පැවැත්වේ. එපමණක් නොව සෙල්ෆි පශ්චාත් මරණ පරීක්ෂණ ද මසකට එකක් හෝ දෙකක් සිදුවීමෙන් සෙල්ෆිය අපරාධ විද්‍යා ක්ෂේත්‍රයට ද ඇතුළත් ව ඇත.

දශකයටත් වඩා අඩු කාලයකින් සිදු වූ සෙල්ෆියේ මේ සමෘද්ධිය, ඡායාරූප ශිල්පීය කැමරා හෝ කැමරා කාච තාක්ෂණයෙන් බිහිවූ ගුණාත්මක ඉදිරි වර්ධනයක් නොව Samsung, Huawei සහ Apple වැනි ඩිජිටල් සමාගම්වල සහ L’Oreal සහ Unilever, Laura, avon, Mercier වැනි රූපලාවණ්‍ය සමාගම්වල ද වාණිජ අරමුණු ඉටුකර ගැනීමේ වුවමනාව හරහා සංස්කෘතියක් ලෙස මතු වූවකි. සෙල්ෆි සංස්කෘතියක් බිහිව ඇති නිසා ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය විසින් ද මෑතදී සෙල්ෆිය නිර්වචනය කර තිබීමෙන් මෙහි බලපෑම දැකිය හැකිය. සෙල්ෆිය යනු ‘යමකු විසින් Smart හෝ IPhone හෝ WeB- Cam ෆෝනයකින් තමන් ව ම රූපගත කරගෙන සමාජ වෙබ් අඩවියකට මුදාහරින ඡායාරූප ශිල්පයයි’ Oxford Dictionary,Webster ශබ්දකෝෂය විසින් සෙල්ෆිය නිර්වචනය කර ඇත්තේ ස්වයං-උත්පාදක ඩිජිටල් ඡායාරූපකරණය ලෙස ය. සාමාන්‍ය ජනතාව ද සෙල්ෆිය පිළිගනුයේ ඡායාරූපකරණ ක්‍රමයක් ලෙස ය. එය ශබ්දකෝෂ නිර්වචවලින් ඈත් ව සරල ව දැක්වුවහොත් ‘සෙල්ෆිය යනු තම පෞද්ගලික මුහුණ පොදු මුහුණක් කිරීම හෙවත් මුහුණ ජනසතු කිරීමේ කැමරාකරණයයි’. කැමරාවක භාවිතයෙන් කෙරෙන නිසා ඡායාරූපකරණයක් ලෙස සෙල්ෆිය හැඳින්වීමේ වැරුද්දක් නැති වුව ද සෙල්ෆිය ඡායාරූප ශිල්ප කලාවේ අරමුණ සහ කාර්යයේ වැදගත්කම සහ ගම්භීරත්වය විකෘති නැතිනම් සැහැල්ලු කරයි.

21 වැනි සියවසේ සෙල්ෆියේ ආගමනයට ශතක එකහමාරකට පෙර ඡායාරූප ශිල්පය බිහිවූ නිසා, ඡායාරූප ශිල්පියාගේ අරමුණ සහ කාර්යභාරය පළමු ව තේරුම් ගැනීම වටනේ යැයි සිතමි.

නූතන චිත්‍ර ශිල්පීන් මෙන් නිපුණ ඡායාරූප ශිල්පී කලාකරුවන් බොහෝවිට තම වස්තු-නිමිත්ත කරගනු ලැබුවේ සහ බෙහොමයක් විසින් අද ද කරගනුයේ බාහිර විෂයබද්ධ ලෝකයේ යමකි හෝ යමකු ය. ඔවුන් ස්වභාවයේ සුන්දරත්වය මෙන්ම මිනිසා විඳින දුක සහ පීඩනය ද තම කැමරා කාචයට හසුකර ගත්තා පමණක් නොව, ඉන් අනුරාගික ප්‍රබෝධයක් ද ලබා ගති. එපමණක් නොව ඔවුහු තම නිර්මාණාත්මක අභ්‍යාස දෘශ්‍ය කලාවේ වර්ධනයට පමණක් නොව පොදුවේ ලෝකය පිළිබඳ ජනතාවගේ දැනුම් වර්ධනයට විශාල මෙහෙයක් කිරීමට ද සමත් වූහ. ඡායාරූප ශිල්පීන් තම කැමරා කාච භාවිත කරනුයේ ගවේෂණයේ උපකරණ ලෙස ය; වස්තු අභ්‍යන්තරයට ප්‍රවිෂ්ට වීමේ ප්‍රවේශ පත්‍රයක් ලෙස ය; දෘශ්‍ය කලාවට වෙනසක් කළ හැකි උපකරණයක් ලෙස ය; ස්වභාව සෞන්දර්යයේ සහ සැබෑ මිනිසාගේ සාංදෘෂ්ටික ජිවිතයේ කැඩපතක් ලෙස ය.

ඡායාරූප ශිල්පයේ මුත්තා ලෙස සැලකෙන Ansel adams සහ ඔහුගේ සමකාලීනයන් වූ Edward Weston සහ Eliot Porte ස්වභාව ධර්මය පිළිබඳ සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පීන් ය. කඳුශිඛර සහ වනාන්තර කැමරා කාචයට හසුකර ගත් Galen Rowell, Philip Hyde; ගුවන් ඡායාරූප තාක්ෂණයෙන් පහළ භූ දර්ශන කාචයට හසුකර ගත් සංරක්ෂණ ජායාරූප ශිල්පී Robert Glenn සහ Ketchum කුරුල්ලන් සහ කුරුලු පාරාදීස ඡායාරූපයට ගත් Arthur Morris, කැමරා කාචයට හසුකර ගත් Henry Cartier –Bression, Robert Doisneau; අයිස් ස්ථර සහ කලාප කාචයට ගත් James Blogg, ස්වභාවය රේඛාවලට සහ හැඩවලට පරිවර්තනය කළ Andreas Gurskey; ළමයින්, මහල්ලන්, ස්ත්‍රීන් වැඩ කරන ජනතාව විෂයයබද්ධ නිමිත්ත ලෙස ගනු ලැබූ Walker Evans Bud Field & His Family, Gordon Parks; ධීවරයන් සහ තේ දලු නෙළන්නියන් කාචයට හසුකර ගත් ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන් වූ ලයනල් වෙන්ඩ්ට්, හෑගොඩ පිය පුතු ආදී මේ සියල්ලෝ ම කැමරා ලෙන්සය නැතිනම් කාචය යොමු කරනු ලැබුවේ විෂයයබද්ධව ය; තමන්ගෙන් පිටතට ය. ඡායාරූප ශිල්පියා ප්‍රධාන කාර්යය කළ ද ඡායාරූපයෙන් ඉස්මත්තට ගනු ලැබුවේ නැතිනම් ප්‍රේක්ෂක අවධානයට යොමුකළේ පින්තූරය යි. ජීවය කැවූයේ විෂයය නිමිත්ත වූ තමන්ගෙන් පරිබාහිර දෙයට යි; තමන්ගෙන් පරිබාහිර ව පවතින විෂයයබද්ධයේ පිටපතට යි; විෂයයබද්ධයේ සුන්දරත්වයට යි.

Smart Phone, IPhone හෝ Webcam ආදී ඕනෑ ම ජංගම දුරකථන උපකරණයක්, වාණිජ භාණ්ඩයක් වනුයේ ඒවා මුදලට පමණක් හුවමාරු වන නිෂ්පාදන භාණ්ඩ වන හෙයිනි. මේ උපකරණ මුදලට හුවමාරු කර ගත් කල පාරිභෝගිකයාට ඉන් භාවිත වටිනාකමක් ලැබේ. මෙසේ වනුයේ මේ භාණ්ඩ වේවා! වෙනත් ඕනෑ ම භාණ්ඩයක් හෝ වේවා! කෙනකු මිලදී ගනුයේ ම ඉන් පාරිභෝගිකයාට භාවිත වටිනාකමක් ලැබෙන හෙයිනි. එහෙත් සෙල්ෆියෙන් තමන්ගේ ම ඡායාරූපය ගනු ලබන්නා තුෂ්ණිම්භූත නවකතාවල එන හැරී පොටර් මවාගන්නා ලෝකය මෙන් නැතිනම් Leslie Carrol යන ව්‍යාජ නමින් චාල්ස් ඩොග්සන් විසින් ලියූ (Alice in Wonderland (1865) :1865) නමැති නවකතාවේ ප්‍රධාන චරිතය වූ ඇලිස් මවා ගන්නා ලෝකය මෙන් අතිශයින් ම පෞද්ගලික ය. ඒ නිසා කැමරාවක ආධාරයෙන් ගත්ත ද ගනු ලබන පින්තූරය ඡායාරූප කලා කෘතියක් නොවනුයේ එය අන්‍යයන් අතර සමාජගත නොවන නිසා ය. එය සමාජයේ තුළ සංසරණය නොවන නිසා ය. සෙල්ෆියා ගනු ලබන ඡායාරූපය පැරිස් කුලුන හෝ ටජ්මහල් හෝ කොළඹ ඇස්වාට්ටුව (1908) හෝ නල්ලූර් කෝවිල (1909) හෝ නුවර පෙරහැර හෝ හුවා දක්වන පින්තූර මෙන් ජනතාවට භාවිත වටිනාකමක් නොසපයන නිසා ය. සෙල්ෆි ඡායාරූපය ඉහත ඡායාරූප මෙන් පුළුල් සමාජය විසින් බෙදා හදා නොගන්නා නිසා ය; සෙල්ෆියට පුද්ගලික වටිනාකමක් මිස සමාජ වටිනාකමක් නොමැති නිසා ය. සෙල්ෆිය සමාජ සම්බන්ධතා ඉස්මතු කරන ඡායාරූපයක් නොව තමා සහ තමාගේ ම ඡායාව හෙවත් හෙවණැල්ල අතර ඇතිවන පෞද්ගලික සම්බන්ධතා වේ ස්වභාවය පෙන්වන බාල වර්ගයේ පිටපතක් වන නිසා ය.

චිත්‍ර ශිල්පියා මෙන්ම තම ඡායාරූපයට සෞන්දර්යය කැවීමට උත්සාහ කරන ඡායාරූප ශිල්පියාට ලස්සන සහ සුන්දරත්වය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතු බව, විශේෂයෙන් සෞන්දර්ය හරහා කරන ඡායාරූප ශිල්පය නිර්වචනය කරන්නෝ (උදා: Alfred Stieglitz‘) අවධාරණය කරති.

පරිසරය හෝ ආලේඛ්‍ය හෝ තම විෂයය නිමිත්ත කරගන්නා සෑම ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු විසින් ම තමන්ගේ ඡායාරූපයට මේ ගුණය බද්ධ කරගනු ලැබීය. එය ප්‍රගුණ කර ගැනීමෙන් තොරව කැමරාව දෑතට හසුකර ගත් පමණින් ඔහුට හෝ ඇයට සෙල්ෆියකු විය හැකිමුත්, ඡායාරූප ශිල්පී විශේෂණය සහිත කලාකරුවකු විය නොහැකිය. වෙනත් ඕනෑ ම අයකුට මෙන් සෙල්ෆියාට ද ලස්සන පිළිබඳ යම් අදහසක් නැතුවා නොවේ. කුඩා දරුවකුගේ සිට මහල්ලා දක්වා ඕනෑ ම අයකුට ලස්සන සහ කැත පිළිබඳ මොනයම් ම හෝ අදහසක් ඇත. සෙල්ෆියා ද මිනිසකු හෝ ගැහැනියක හෙයින් ඔහුට හෝ ඇයට ද මෙය වලංගු ය. එහෙත් සෙල්ෆියාට කාචය භාවිතයෙන් පින්තූරය ගැනීමට පෙර ‘රාමුව පිහිටුවීම’ සහ ආලෝකරණය ආදිය ගැන දැනීමක් හෝ විෂයය රාමුව දෑසින් විග්‍රහ කර බැලීමේ කුසලතාවක් නැත‍; තිබිය ද නොහැකිය. එහෙත් මෙය අත්‍යවශ්‍ය ම වනුයේ ඡායාරූපය අප සමඟ කතාකරන බැවිනි. චිත්‍රයක් (මොනෝලිසා වැනි), මූර්තියක් (රොඩින්ගේ ‘චින්තකයා’ වැනි), ගෘහ නිර්මාණයක් (ටජ්මහල් වැනි), රාගයක් (මල්කෞන්සේ වැනි) හෝ සංගීත සංධ්වනියක් (කේමදාසගේ ‘අග්නි’ හෝ බීතෝවන්ගේ positioning වැනි) මෙන්ම ඡායරූප ද අප සමඟ කතා කරන බැවිනි. කලාව භාෂාවක් නිසා සහ ඡායාරූප ශිල්පය ද භාෂාවක් නිසා කොතරම් පැරණි වුව ද ඡායාරූප අප සමඟ කථනයක යෙදේ. වියෝ වූ මව්පියන්ගේ ඡායාරූප සමඟ සමස්ත ලෝකයේ ම සජීව ඥාතීහු වරින්වර කතා කරති. ශ්‍රී ලංකාවේ 20 වැනි ශතවර්ෂයේ මුල් ඉතිහාසය සමඟ අප අද කතා කරන එක මාධ්‍යයක් වනුයේ ඡායාරූපයයි. (අල්කාෂි සහ ලයනල් වෙන්ඩ්ට් ඡායාරූප එකතු (Alkazi Collection & Lionel Wendt Collection ) අප සමඟ කරනුයේ මේ භාෂණයයි. ඡායාරූප ශිල්පියා හෝ ශිල්පිනිය අපේ ලෝකයෙන් සමුගෙන ශතවර්ෂ ගණනාවක් ගෙවුණ ද ඔහු හෝ ඇය ගත් ඡායාරූප ජීවත්වන අය සමඟ කතා කරන බව අපි දනිමු.

සෙල්ෆිය ද ඡායාරූපයක් නිසා එය ද තමාත් ඇතුළු තවත් ස්වල්ප දෙනකු සමඟ කතා කරන බව ඇත්තකි. එහෙත් වෘත්තිමය හෝ වෘත්තීමය නොවුව ද දක්ෂ ඡායාරූප ශිල්පියකුගේ ඡායාරූපයට ගෝචර වන වස්තුව නැතිනම් නිමිත්ත පරම්පරා ගණනාවක් සඳහා ය. සමස්ත සමාජය සඳහා ය.

අධ්‍යාපන සහ ඓතිහාසික වටිනාකමකින් යුත් ඡායාරූපවලින් සමාජ පරාසය සහ විෂයයබද්ධ භූමිකාව පැහැදිලි වන හෙයින් සෙල්ෆියට ඇත්තේ පෞද්ගලික කක්ෂයක් ය යන්න සනාථ කිරීමට උද්ගමන තර්ක රාශියක් අනවශ්‍ය ය. සෙල්ෆිය කැරකෙනුයේ තමා වටා ය. සෙල්ෆියේ වාසි සහ පරිභෝජන හුවා දක්වන Iphone වැනි ජංගම දුරකථන සමාගම් ප්‍රවර්ධනය කරනුයේ ඡායාරූපයේ සමාජ සේවා වගකීම අවධාරණය කිරීමට වඩා සෙල්ෆියාගේ මනෝ-පෞරුෂයේ වර්ධනයට එය කරන බලපෑම යි. ඡායාරූප විෂයයේ විෂයයබද්ධ වැදගත්කම ඉවතලා මේ සමාගම් ඉලක්කය කරගනුයේ තම ප්‍රචාරණයෙන් වසඟයට ගත හැකි පාරිභෝගිකයා ව ය. ඒ සඳහා සමාගම් විවිධ ප්‍රයෝග භාවිත කරති. සෙල්ෆියා විසින් තමාගේ ඡායාරූපය මුහුණු පොත හෝ ‘ඉන්ස්ටග්‍රෑම්‘ මඟින් මුදා හැරීමේදී තමා පිළිබඳ ව තමා තුළ විශ්වාසයක් ඇති කරන බවත් පරිපූර්ණත්වය ඉල්ලා සිටින බැරෑරුම් මනෝභාවයෙන් ඉවත් ව සැහැල්ලු මානසිකත්වයකට සෙල්ෆිය, සෙල්ෆියා ව හුරුකරන බවත්, එසේම සෙල්ෆිය ස්වයං ප්‍රකාශන ශක්තිය වැඩිදියුණු කරන බව ආදිය ජංගම දුරකතන ‘වෙළෙඳුන්ගේ ‘ආකාර්ෂණීය perfection පණිවුඩ අතර ප්‍රධාන ය. මේ පණිවුඩයට වසඟ වන තරුණ තරුණියෝ උමතුවෙන් මෙන් ජංගම දුරකතන මිලට ගනිති. සියලු පෞද්ගලික සිදුවීමක් ම සෙල්ෆියෙන් පිටපත් කර ගනී. මේ ශිල්පීන් නොවන ‘සෙල්ෆීන්ට’ ඡායාරූපයේ ගුණය හෝ පරිපූර්ණත්වය අනවශ්‍ය ය. ගුණය සහ පූර්ණත්වය නොසලකා හැරීම සමාන කළ හැක්කේ කණ්ණාඩියෙන් තම රූපය දකින වඳුරකුගේ නොසන්සුන් සහ උමතු හැසිරීමේ තරමක් ඉහළ ප්‍රකාශනයක් ලෙස ය. හේතුව සෙල්ෆියා තමා ගත් ඡායාරූපයේ ගුණය ගැන දෙවරක් හෝ නොහිතා ගත් සැණින් මුහුණු පොත හරහා සමාජ ගත කිරීමට පෙලඹීම යි. සෙල්ෆියා සහ වඳුරා අතර දැකිය හැකි එක ම වෙනස නම් වඳුරාට මුහුණක් තිබුණද මුහුණු පොතක් නැති වීම යි. එසේම ස්වයං-ප්‍රතිරූපය (self-image) ඔසවා තැබීමට සෙල්ෆියෙන් විශාල මෙහෙයක් වන බව ද මේ සමාගම්කරුවන්ගේ ප්‍රචාරණ ඒජන්තයන් ප්‍රචලිත කරන තවත් අදහසකි. එහෙත් සෙල්ෆිය ඇත්තට ම කරනුයේ සෙල්ෆියාගේ ස්වයං-ප්‍රතිරූපය වර්ධනය කිරීමක් නොව තිබෙන ස්වයං-ප්‍රතිරූපය ද නිරෝධනය කිරීමකි; නැති කිරීමකි. තමාට පමණක් පෙම් බැඳීමේ මනෝව්‍යාධි අත්දැකීමකට සෙල්ෆියාව පුහුණු කිරීමකි.

මනෝවිද්‍යාඥයන්ට අනුව ස්වයං-ප්‍රතිරූප වර්ධනයට සීමාවක් නොමැති හෙයින් සහ පාලනය කළ නොහැකි හෙයින් අවසානයේදී සෙල්ෆියා ප්‍රවර්ධනය කරගනුයේ ස්වරූප රාගයක් නැතිනම් ආත්මකාමයකි. (narcissm) මෙය මානසික රෝගී තත්ත්වයක් කරා වර්ධනය විය හැකිය. දැනටමත් ලෝ පුරා සෙල්ෆි මානසික රෝගීහු සිය ගණනින් විවෘත ව සහ රහසිගත ව වෛද්‍ය ප්‍රතිකාර ගනිති.

සෙල්ෆිය පරිහරණය කරන්නාගේ කලා මානසිකත්වය සහ සමහර විට තාක්ෂණික දැනුම, තමා ව ස්ථානගත කරගන්නා ආකාරය පිළිබඳ ඇති අවබෝධය උඩ ගුණාත්මක ඡායාරූප ගැනීමක් සිදු විය හැකිය. එහෙත් ෆෝන් සමාගම් විසින් සෙල්ෆිය හඳුන්වාදීමේ අරමුණ පාරිභෝගිකයාට ගුණාත්මක ඡායාරූප කලාව ඉගැන්වීම නොවේ. ඡායාරූප කලාවට හෝ තාක්ෂණයට එවන් ආදරයක් ඔවුන්ගේ නැත; තිබිය ද නොහැකිය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ෆෝන් විකුණා ගැනීම ය. ඒ නිසා තාක්ෂණ දැනුමකින් ගැණුණු සෞන්දර්ය ගුණයකින් සපිරුණූ සේල්ෆියක් හෝ දෙකක් තිබිය හැකි නිසාවෙන් සෙල්ෆිය ඡායාරූප කලාව ලෙස සැලකිය නොහැකි වන අතර එසේ දැක්වීමට උත්සාහ කිරීම පවා විහිළුවකි.

හේතු රාශියක් දැක්විය හැකිමුත් ප්‍රධාන හේතුවක් වනුයේ සහ ප්‍රධාන වශයෙන් සෙල්ෆිය ජනප්‍රිය වීමට ද හේතුවක් ද වී ඇත්තේ ගත් ඡායාරූපයේ අඩුපාඩු මැකීම සඳහා ද වෙන ම තාක්ෂණ ක්‍රමවේදයක් සමාගම් විසින් හඳුන්වාදී තීබීම ය.

එය වෙනම වාණිජ ව්‍යාපෘතියකි. සෙල්ෆි ඡායාරූප ගන්නා අය සියයට 50ක් ගත් සිය ඡායාරූපයේ පලුදු මැකීම සඳහා ‘අඩුපාඩු මැකීමේ’ තාක්ෂණයේ පිහිට පතති. ‘ෆිල්ටරින්’ (filtering) සහ වෙනත් නම්වලින් ද මේ තාක්ෂණය හැඳින්වේ. සෙල්ෆි සහ ෆිල්ටරිං එකිනෙකට සමීපව සම්බන්ධ ය. මෙහි ප්‍රමුඛතාව වනුයේ ද කලාව නොව සෙල්ෆියාගේ මුහුණ උපරිම ලස්සනින් හෝ බොහෝවිට උපරිම ලිංගික ආකාර්ෂණයක් කවමින් සමාජගත කිරීම ය. ගුණාත්මක ඡායාරූපකරණයේදී හොඳ ශිල්පීන් අතින් පලුදු මකමින් අඩුපාඩු මඟ හැරීමක් නොකෙරේ. ‘පශ්චාද් ඡායාරූප පෙනේරයන්’ (විවිධ තාක්ෂණ ක්‍රම ගැන ඔවුහු විශ්වාස නොකරති. එසේ කිරීම ඡායාරූප කලාව නොව ‘ඡායාරූප ටිංකරින්’ ය. ( සෙල්ෆිය ඡායාරූප ශිල්පයේ සහ කලාවේ ගුණය විනාශ කරන්නේත් නිපුණත්වය අවප්‍රමාණය කරන්නේත් මෙසේය.) මෙහිදී ඡායාරූප කලාව ගැන ප්‍රචලිත ව ඇති ආප්තය වන “ කැමරාව බොරු නොකරයි” යන්න සෙල්ෆිය නොසලකා හරියි. සෙල්ෆියා කැමරාවට ද බොරු කරයි. කැමරාව ද රවටයි. ස්වරූපකාමය ද ෆිල්ටර් කරයි. එමඟින් තමාව ද රවටා ගනී. හේතුව ඡායාරූපයේ අඩුපාඩු ඡායාරූපය ගන්නා අය විසින් ම මකා දැමිය හැකි තත්ත්වයේදී සෙල්ෆියා කරනුයේ ඉහත ආප්තයට පිටු පෑම යි. සෙල්ෆිය විසින් ඡායාරූප කලාවේ සාරධර්ම නොසලකා හරින එක් අවස්ථාවකට මෙය හොඳ උදාහරණයකි.

‘සබ්ජෙක්ට්‘ ‘ඔබ්ජෙක්ට්’ කර ‘ඔබ්ජෙක්ට්’ ‘සබ්ජෙක්ට්’ කරන සෙල්ෆිය මා ඉහත ද පෙන්වා දුන් පරිදි ඡායාරූප ශිල්පය හෝ ඡායාරූප කලාව තරම් විෂයයබද්ධ බව ඉහළින් ම සහ නිවැරදි ව නිරූපණය කරන වෙනත් කලාවක් නොමැත. සෙල්ෆිය ද කැමරාවට හසු කරගනුයේ තමන්ගෙන් බාහිර දෙයක් බව ඇත්ත ය. එහෙත් කේන්ද්‍රයේ නැත්නම් න්‍යෂ්ටියේ ‘පොසිෂන්’ වනුයේ තමන් ය. තමන් වටා ඇති බාහිරත්වයට ලැබෙන්නේ දෙවෙනි තැනකි. ඇත්තෙන් ම සේල්ෆිය, සෙල්ෆිය වනුයේ ද මේ නිසා ය. මේ ක්‍රියාවලියේදී කැමරාව මෙහෙයවන්නා සහ විෂයයබද්ධ නිමිත්ත හෙවත් වස්තුව එකක් වේ. වස්තුව සහ කැමරාකරු අතර තිබිය යුතු යැයි ගුණාත්මක ඡායාරූප ශිල්ප කලාව අනුදකින නැතිනම් ඉල්ලා සිටින නිර්ණායකය මෙහිදී නො පිළිපැදේ. එනම් වස්තුව සහ පුද්ගලයා අතර තිබිය යුතු අවකාශ අන්තරය හෙවත් හිඩැස සෙල්ෆි රූපකරණයේදී පිරවෙයි; වැසී යයි. ඡායාරූපකරණයේ ප්‍රධාන විධික්‍රමානුකූල රීතියක් මෙහිදී උල්ලංඝණය වේ. මෙහිදී ඡායාරූපකරණයේ විෂයයබද්ධ මුඛ්‍ය අරමුණ ඉටු නොවී ඡායාරූප ශිල්පය මනෝවිද්‍යා විෂයයට බිඳීමක් සිදු වේ. විශේෂයෙන් තරුණ තරුණියන් අතර සෙල්ෆිය ජනප්‍රිය වීමේ හේතුව ඡායාරූප ගැනීම නැමැති කලාව නොව ‘ක්‍රියාව’ හෙවත් ‘ක්‍රියාව’ සෙල්ෆියාගේ හදවතට සමීප වීම යි. මෙවන් තත්ත්වයකදී ඡායාරූපකරණය රූපය ගනු ලබන්නාගේ මානසිකත්වය ඉස්මතු කිරීමේ හෝ අනාවරණය කිරීමේ මාධ්‍යයක් වනවා මිස ඡායාරූප කලාවේ රීති හෝ දැනුම හෝ ගුණය හෝ ප්‍රභාව ඉන් ඉස්මතු නොවේ. ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු අතින් සිදු වනුයේ කැමරා කාචයට හසුකරන වස්තුවට නිර්මාණශීලී අර්ථයක් සැපයීමයි. ඡායාරූපකරණය හුදු මනෝවිද්‍යාවෙන් සහ ග්‍රාම්‍ය යාන්ත්‍රිකත්වයෙන් මිදී කලාවක් වනුයේ මේ ලක්ෂයේදී ය. එනම් ඡායාරූපකරණය පටු යාන්ත්‍රික අභ්‍යාසයක් නොවීමට වග බලාගන්නා විට ය. එහෙත් සෙල්ෆිය කඨෝර ලෙස යාන්ත්‍රික වනුයේ නිර්මාණශීලීත්වය නොසලකා හරින හෙයිනි. නිෂ්පාදකවරුන්ට අවශ්‍යය වනුයේ ඒවා උමතුවෙන් මෙන් පරිභෝජනය කරන්නකු මිස නිර්මාණකරුවකු නොවේ. සෙල්ෆි පාරිභෝගික සංස්කෘතිය ඇතුළත ජීවිතය පරදුවට තබමින් වුවද සෙල්ෆි ශීඝ්‍රයෙන් ජනප්‍රිය වී ඇත්තේ මේ නිසා ය. (achery larapckett සංඛ්‍යා ලේඛනයට අනුව මේ වනවිට සෙල්ෆිය විසින් ලෝ පුරා ජීවිත සියයකට ආසන්න ප්‍රමාණයක් බිලි ගෙන ඇත. වැඩි ම ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තාවන අතර වයස 32කින් ඔබ්බෙහි සෙල්ෆි මරණ කොහේවත් සිදුව නැත.) ඡායාරූපකරණය යනු යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදනයක් ම නොවේ. Ansel Adams, Nicholas Samarasi, Timothy Hogan, Steeve Mccurry වැන්නන් යාන්ත්‍රික කැමරාකරුවන් නොවේ. මොවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඡායාරූප ශිල්පීන් ය; නිපුණ ඡායාරූප ශිල්පීන් ය. ‘අනෙකා’ හෝ අන්‍යයන් සඳහා තමා ගනු ලබන ඡායාරූපය හැකි පමණින් පරිපූර්ණත්වයට පත්කොට ඉදිරිපත් කිරීම ගුණාත්මක සහ මානවවාදී ඡායාරූප කලා ශිල්පීන්ගේ මුඛ්‍ය අරමුණ වුව ද ‘සෙල්ෆියයන්ගේ’ එක ම අභිප්‍රාය ඒ මොහොත වාර්තා කර ගැනීම පමණි. සෙල්ෆියාට ඡායාරූපකරණය යනු තමා සිටින ‘මොහොත’ තමාගේ ස්වයං පරිභෝජනය සඳහා පිටපත් කර ගැනීම පමණි. නමුත් මේ මොහොත ඡායාරූප ශිල්පියාගේ මෙහොත නොවේ. ඔවුන් අති විශාල උනන්දුවකින් තම නිර්මාණ පරිපුර්ණත්වයට පත්කර සංරක්ෂණය කර තැබුවේ ‘අනෙකා’, එනම් ඔබ සහ මා වෙනුවෙන් මිස ඔවුන් වෙනුවෙන් නොවේ.

ඔබ තිරය මත දුටු ඉහත පින්තූර ඔවුන් ගත්තේ ඔවුන් වෙනුවෙන්ද?. ආත්මාර්ථකාමීත්වය ඉස්මතු වන නිසා එක අතකින් මේ ස්වයං ඡායාරූපකරණය ‘සෙල්ෆි’ (selfie) යන නමින් හැඳින්වීම අතිශයින්ම උචිත ය. කාර්යයේ ස්වභාවය පිළිබඳව සලකන විට ගැළපෙන ම නම ද එයමයි.

වාදාභිමුඛ වුවත් සෞන්දර්යක් අන්තර්ගත නිසා photography ඡායාරූපකලාව ලෙසත්, ශිල්පියා තාක්ෂණයකින් මෙහෙයවන නිසා photographyඡායාරූප ශිල්පය ලෙසත් දෝෂ විරහිත ව සිංහලෙන් හැඳින්විය හැකිය. කලාවක් ලෙස ගත්කල ඡායාරූපකරණය පියරේ බෝර්දෝ ප්‍රමුඛ බොහෝ අය හඳුනා ගනුයේ සංස්කෘතික ක්ෂේත්‍රයක්් වශයෙනි. (Photography:A Middle-Brow Art-1965) ඡායාරූපකරණය මූලික වශයෙන් වර්තමානය අනාගත පරම්පරාවේ පරිභෝජනය ඓතිහාසික දැනුම සහ සෞන්දර්ය වින්දනය වෙනුවෙන් සංරක්ෂණය කර තැබීමේ අභ්‍යාසයකි. ඡායාරූප කලාව පුළුල් සංස්කෘතික ක්ෂේත්‍රයක් වනුයේ මේ නිසා ය. රොබර්ට් The Americans නමැති සිය පොතින් 1950 ගණන්වල ඇමෙරිකානු සංස්කෘතිය ඡායාරූප භාෂාවෙන් සංරක්ෂණය කර නොතිබුණේ නම් අද ඇමෙරිකානු තරුණ පරම්පරාවලට පණස් ගණන්වල ඇමෙරිකාව පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීමේ ප්‍රධාන දෘශ්‍ය දොරටුවක් වැසී යන්නට තිබිණ. එසේම මෝස්තර ඡායාරූපශීලී අර්වින් පෙන්ගේ ‘සංරක්ෂිත මොහොතවල්’ Moments Preserved (1960) Evidence (1977) සහ ඇන්සල් ඇඩැම්ස්ගේ Sierra Nevada (1938) සහ අපේ ශ්‍රී ලංකාවේ ‘ලංකාපුර’ සහ ‘ලයනල් වෙන්ඩ්ට්’ වැනි ඡායාරූප සංරක්ෂණාගාර නොතිබිණි නම් මානව ඉතිහාසයේ පැතිකඩ අප නොදකින අතර අපට සිරිලක ඡායාරූප ඉතිහාසයයක් ද ඉතිරි නොවනු ඇත. සෙල්ෆිය ට මේ කර්තව්‍ය කළ නොහැකිය. ඇත්තට ම සෙල්ෆිය එය කළ යුත්තේ ද නැත.

ඕනෑ ම මිනිස් නිර්මාණයක හොඳ පැති ද නැතුවා නොවේ. සෙල්ෆිය ස්වයංරූපකාමයේ සැඟැවුණු පැති නිරාවරණය කරයි. තරුණ තරුණියන්ගේ චර්යාවේ ස්වභාවය තේරුම් ගැනීමට ද සෙල්ෆිය යම් දායකත්වයක් කරයි. ඒ නිසා මනෝවිද්‍යාඥන්ට සෙල්ෆිය දත්ත ආකරයකි. එසේම තරුණියන්ගේ මනස දුවන ආකාරය තේරුම් ගැනීමටත්, ස්ත්‍රීවාදයට ශක්තියක් ලබාගැනීමටත් සමහර ස්ත්‍රීවාදීන් සෙල්ෆිය යොදාගනී. මෙවන් ධනාත්මක වටනාකම් කිහිපයකුත් දැකිය හැකිමුත් සෙල්ෆිය ඡායාරූප කලාවට හානියක් කරන අතර සමස්තයක් වශයෙන් සමාජය ආත්මාර්ථ සහ භාණ්ඩ වන්දන සමාජයක් කිරීමේ ධනවාදී ව්‍යාපෘතියට විශාල සහයක් සපයයි. සෙල්ෆිය අවප්‍රමාණය කරනුයේ (ඇත්තට ම දූෂණය කරනුයේ) ඡායාරූප ශිල්පය සහ ඡායාරූප ශිල්පීන් විසින් අප්‍රතිහත කැපකිරීමකින් සහ දැනුමකින් ගොඩනඟා ගත් අද්විතීය දෘශ්‍ය කලා ප්‍රකාරයකි.

කෙටි ඉතිහාසයකට උරුමකම් කිව්ව ද ඡායාරූප ශිල්පය කලාවක් ලෙස වර්ධනය වූයේ ආලෝක ප්‍රමාණයෙන් ආරම්භව කාච වරණය (choice of lens), ආලෝක නිරාවරණය (exposure), ආකෘතිය (format), වර්ණ පරාසය (olor range), ඉරියව්ව හෙවත් ස්ථාපිතය (position), සැකිල්ල (framing), ආදී තාක්ෂණික උපාය මාර්ග සහ රීති නිවැරදි ව අනුගමනය කිරීමෙනි. ඡායාරූප ශිල්පය කලාවක් ද නැද්ද යන අද දියත් ව ඇති වාදය තේමානුරූප ව පසෙකින් තැබූව ද ඡායාරූප ශිල්පය කලාවක් ලෙස බොහෝදෙනා අද පිළිගනුයේ ඡායාරූපශිල්පය ඉහත රීති සහ තාක්ෂණික යාතුකර්ම හෙවත් අභිචාර (technical rituals) ඉහළින් ම රැකි නිසා ය. එහෙත් සෙල්ෆි ඡායාරූපකරණය සඳහා ඉහත කිසිවක් අනවශ්‍ය ය. අවශ්‍ය වනුයේ ෆෝනයේ ඉදිරිපසට සවිකරන ලද කැමරාවක් පමණි. ලිපිය දීර්ඝ වන හෙයින් සෙල්ෆි වයිරසය ගැන අදහස් කිහිපයකට ඔබේ අවධානය යොමු කරමි.

අනික් අතට සෙල්ෆි නිර්මාපකයෝ ‘සීතල’ත්‍රස්තවාදීන් ය. ජංගම දුරකතනවලට ‘අභිමුඛ මුහුණ’ (front facing) කැමරාවක් සවිකර එහි ප්‍රයෝජන සහ වාසි ප්‍රචාරණය කර භාණ්ඩය විකුණ යි. කැමරාව ෆෝනයට සවිකර විකිණීම නිසා ම පාරිභෝජකයාට ‘සෙල්ෆියකු’ වීම හැර වෙන විකල්පයක් නැත. මෙය ‘තෝරා ගැනීම’ සඳහා සහ ‘යම් ක්‍රියාවක් කරා’ බලහත්කාරකමත් කිරීමකි : (forced choice).” මෙය සීතල හෙවත් ත්‍රස්තවාදයක් ලෙස මා හඳුන්වනුයේ මේ නිසා ය.

අනෙක් අතට සෙල්ෆියේ යෝජිත අනාගත වර්ධනය වුව ද යොමුව ඇත්තේ කැමරාවේ තාක්ෂණික වර්ධනයට හෝ ඡායාරූප කලාවේ වර්ධනයට නොව ඩිිජිටල් අවකාශය වර්ධනය කිරීමට සහ නව ආකාරයේ පාරිභෝගිකයන් නිර්මාණය කිරීමට බව සෙල්ෆි ප්‍රවර්ධක සමාගම් වෙබ් අඩවි හරහා ප්‍රචාරය කරමින් සිටිති.

ෆැන්ටසි ජනතා සිත්සතන්වල නිර්මාණය කිරීමේ සාර්ථක ඉතිහාසයක් වාණිජ ධනවාදයට ඇත. සෑම භාණ්ඩයක් සම්බන්ධයෙන් ම ධනවාදය අද කරන්නේ ද එය ම ය. සෙල්ෆිය එවන් ෆැන්ටසියකි. සූක්ෂම තාක්ෂණය තීක්ෂණ ලෙස හසුරුවමින් ෆෝන් සමාගම් කරනුයේ සෙල්ෆි ෆැන්ටසිය විචිත්‍ර ගතකර සමාජගත කිරීම ය.

අවශ්‍යය නම් ඩිජිටල් වෙළඳපොළෙහි ඇති ඒ හා සමාන පෙරහන් ක්‍රම (filtering methods) භාවිතයෙන් සෙල්ෆියක් වසර 40 හෝ 50කට එහා ගත් ඡායාරූපයක් බවට පත්කළ හැකි ක්‍රමයක් ෆෝන් සමාගම් විසින් හඳුන්වාදී ඇත. මෙය වර්තමාන ඡායාරූපී විෂයය වස්තුවට (photographic object) කරන වංචාවක් පමණක් නොව මෙසේ කිරීම සදාචාර විරෝධී ය. උදාහරණයකට වයස 40ක ‘සෙල්ෆි ශිල්පිනියක්’ වයස 20 ක තරුණියකට ‘හරවමින්’ තම රූප අනන්‍යතාව සමාජයට මුදාහැරීම යහ ක්‍රියාවක් නොවේ. මෙසේ කිරීම තමන් විසින් තමාට ම ආත්ම වංචාවක් කරගන්නා අතර ම සමාජයට ද කරන බොරුවකි. සෙල්ෆියට මෙය කළ හැකිය. ඒ බව සෙල්ෆිය සඳහා ම නිපදවා ඇති තාක්ෂණයෙන් පෙනේ. වර්තමානය අතීතය වන බව දන්නා වැදගත්, ශිලාචාර, කැමරා ශිල්පීන්, අතීතයේදී වර්තමානයේ මෙන් බාල ක්‍රම අනුගමනය කරමින්, යාන්ත්‍රිකව කටයුතු කළේ නැත.

ඕනෑ ම මිනිස් නිර්මාණයක හොඳ පැති ද නැතුවා නොවේ. මේ නිරීක්ෂණය සෙල්ෆිය සම්බන්ධයෙන් ද වලංගු ය. සෙල්ෆිය ස්වයංරූපකාමයේ සැඟැවුණු පැති නිරාවරණය කරයි. තරුණ තරුණියන්ගේ චර්යාවේ ස්වභාවය තේරුම් ගැනීමට ද සෙල්ෆිය යම් දායක්ත්වයක් කරයි. එසේම තරුණියන්ගේ මනස දුවන ආකාරය තේරුම් ගැනීමටත් ස්ත්‍රීවාදයට ශක්තියක් ලබාගැනීමටත්, සෙල්ෆිය යොදාගනී. එමෙන්ම සෙල්ෆිය ඡායාරූප කලාවට හානියක් ගෙනෙන අතර සමස්තයක් වශයෙන් සමාජය ආත්මාර්ථ සහ භාණ්ඩ වන්දන සමාජයක් කිරීමේ ධනවාදී ව්‍යාපෘතියට විශාල සහයක් සපයයි.

සෙල්ෆිය ගැන ඡායාරූප කලාවේ නිපුණයන් කුමන අදහසක් දරනවා දැයි මම නොදනිමි. එහෙත් ඉහත දැක්වූයේ සෙල්ෆිය ගැන මා දරන අදහසයි; සෙල්ෆිය ගැන මගේ ප්‍රතිචාරයයි; නැතිනම් කියැවීමයි.

“සෙල්ෆිය ඡායාරූප ගැනීමේ ක්‍රමයක් වුවද ඡායාරූප ශිල්පය යනු සෙල්ෆිය නොවේ”.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.