ඇත්තට ම කියැවීම ඔබ වෙනස් කරනවා ද? | සත්මඬල

ඇත්තට ම කියැවීම ඔබ වෙනස් කරනවා ද?

“කියැවීම මිනිසකු සම්පූර්ණ කරවයි”

මේ මහඟු කියමන සිත්හි තබාගෙන මෙය හොඳින් කියවන්න.

රටේ බොහෝ තැන්වල පවත්වාගෙන යනු ලබන පුස්තකාල අපට දැකිය හැකිය. ගමේ නගරයේ පාසල්වල විශ්වවිද්‍යාලවල ආදි පුස්තකාල පවත්වාගෙන යයි. මේ සෑමතැනක ම තිබෙන්නේ ‍ලෝකයේ වැදගත් ම දෙයක් සේ සලකනු ලබන පොත් ය. කියැවීමට හුරුවූ තැනැත්තා, ‍පොත් තිබෙන විවිධ ස්ථාන සොයා යන්නේ ය. කියැවීමට නුහුරුව තැනැත්තා හට ඒ අය ගැන ඇති වන්නේ කුතුහලයකි. කෙනකු කියැවීමට ඇබ්බැහි වන්නේ කුමක් නිසාවෙන් ද? ඊට හේතු රාශියක් ඇත.

“ලද හැමවිට ම හැකිතරම් කියවන්න”

මෙය දස දිගින් ඇසෙන මහඟු කියමනකි. එසේ නම් කියැවීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවා ද?

කියැවීම වැදගත් වන්නේ ඉන් අපගේ මනස වර්ධනය වීම නිසා පමණක් ම නොව බුද්ධිය හා ලබන ආදර්ශ වර්ධනය කරවමින්, මනස ක්‍රියාකාරීව පවත්වාගෙන යා හැකි නිසා ය. අන් කවර දෙයකින්වත් ලබනවාට වඩා කියැවීමෙන් ලබන ආස්වාදය හා හැඟීම් සිතේ රඳවා ගැනීමේ ශක්තියක්, ලබාගැනීමට හැකි නිසා ය.

පොත්වල ඇති වචන, වගන්ති, ඡේද ප්‍රබන්ධ ආදියත් ඔබගේ ශරීර සෞඛ්‍යයට පවා හිතකර බව ඔබට හිතෙනවා ද?

සත්තකින් ම ඔව්. අතීතය පුරා ම කෙනකුට තොරතුරු ලබාගැනීමට හා සතුටු වීමට තිබූ එක ම මාර්ගය, කියැවීම පමණි. ඒ නිසා මයි දීර්ඝ කාලයක් පුරාවට පොත් කියැවීමේ පුරුද්ද නොකඩවා ම මිනිසුන් තුළ රඳවාගෙන යෑමේ වාසනාව ද උදාවී ඇත්තේ. පොත් කියැවීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන මඳක් විමසා බලමු. කියැවීම වනාහී සදාකාලිකව ම සතුට හා දැනුම ලබාදෙන මහඟු මඟකි.

කියැවීම සරල වින්දනයක් බව කෙනකුට සිතෙන්නට පුළුවන. එනමුත් ඔබ නොදැනුවත්ව ම ඉන් ඔබේ මනසට හා ශරීරයට සෙතක් වන බව, නොදන්නවා විය හැකිය. පහසුවෙන් වින්දනයත් ලබන්නට පුළුවන් වූ කියැවීම වැනි දෙයක්, ඔබේ ජීවිතයට ආලෝකයක් ලබාදෙන්නට පුළුවන් බව ඔබට මොහොතකට හෝ සිතෙනවා ද? ඔව්, සත්තකින් ම එය එසේ විය හැකියි. විවිධ අන්දමින් එය ඔබගේ ජීවිතයට ඵලදායි විය හැකිය. ඔබගේ මනස වඩා දියුණු කර ගැනීමට මෙන්ම කාය වර්ධනයට, මානසික වර්ධනයට, නිර්මාණ ශක්ති වර්ධනයට හා යහපත් පුරුදු ඇතිකර ගැනීමට කියැවීම මහත් සේ උපකාරී වේ. කියැවීමට රුචියක් නොදක්වන කෙනකු වුව ද පහත සඳහන් කරන කරුණු කියැවීමෙන් ඔහුගේ හෝ ඇයගේ අදහස් වෙනස් කරගනු ඇත.

කියැවීම මිනිසුන්ගේ සිතට සතුටක් ගෙන දෙන්නක් වුව ද කියවන දෑ ගැන කල්පනා කිරීමට හා තේරුම් ගැනීමට දරන වෙහෙස නිසා මානසික වර්ධනයක් සිදු වේ. අන්තර්ගතයේ ඇති වචන හා කතාව කෙරෙහි දක්වන මානසික ඒකාග්‍රතාව, මොළය ශක්තිජනක කරවයි. එකී ඒකාග්‍රතාව හා විවේචනාත්මක විශ්ලේෂණ ශක්තිය ඇති කරවිම සඳහා උපකාරී වන මොළයේ ඒ කොටස ද ශක්තිජනක කරවයි. පිහියක් මුවහත් වනු යම් සේ ද මොළයේ ඒ කොටස ද මුවහත් වේ. කියැවීමෙන් ඔබගේ මනස තියුණු වන්නේ කෙසේ ද? පෙර පැවැසූයේ පොතේ ඇති අන්තර්ගතය කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට ගන්නා උත්සාහය නිසා ම මොළය දැඩි ලෙස ක්‍රියාකාරී වේ.

සිතුවිලි ක්‍රියාවලිය තියුණු වී මොළයේ ක්‍රියාකාරිත්වය දියුණු වේ. ඔබ දිනපතා ම ශරීරයේ ‍කිසියම් මාංශ පේශියක් ව්‍යායාමයට ලක් කරනවා නම් දිනෙන් දින එය වඩා වර්ධනය වේ.

කියැවීමෙන් මොළයට ද සිදුවන්නේ එවැන්නකි. එබැවින් කියැවීමෙන් ඔබගේ විශ්ලේෂණ හැකියාව දියුණු වනවා සේම මොළයේ ක්‍රියාකාරිත්වය ද වැඩිදියුණු වේ.

කියැවීමේදී බො‍හෝවිට තේරුම් නොදන්නා හුරුපුරුදු නැති වචන රාශියක් ඔබට කොතෙක්වත් හමුවී ඇත. ඒ අවස්ථාවලදී ඔබට අනිවාර්යයෙන් ම ශබ්ද කෝෂයක පිහිට පතන්නට සිදු වනු ඇත. මෙසේ කිරීමේදී ඒ වචනවල තේරුම් සහ වැදගත්කම් ඔබේ මතකයේ රඳවා ගැනීමට ද ඔබ වෙහෙසක් දරන්නේය. මේ අයුරින් ඔබ අලුතෙන් ඉගෙනගත් වචන‍ කොපමණක් ද යන්න විවේකීව සිතා බලන්න. දිනපතා ම කියැවීම යම් තරමකට හෝ පුරුදු කරගත් අයගේ වාග් මාලාව කෙතරම් වර්ධනයකට පත්වී ඇත් ද යන වග ගැන අමුතුවෙන් කිව යුතු නැත. මෙලෙස ඔබ විසින් ඉගෙනගත් අලුත් වචන, කතාබහ කිරීමේදී හා ලිවීමේදී ඔබට මොනතරම් උදව්වක් වුණා ද යන්න ගැන හොඳින් සිතා බලන්න. එය කියැවීම පුරුද්දක් කරගත් අයට ලැබෙන මහඟු දායාදයකි.

කියැවීමෙන් සිතට සතුටක් ඇති වන බව බොහෝ අය දැන සිටියත් සිතේ ඇති වන ආතතිය මඳක් හෝ ලිහිල් කර ගැනීමට කියැවීම හේතුවක් වන බව ඔබ මෙන්ම අන් බොහෝ අය ද නොදන්නා කාරණයක් විය හැකිය. එදිනෙදා ජීවිතයේදී ඔබට මුහුණපාන්නට වන නොයෙකුත් ප්‍රශ්න නිසාවෙන් ඔබට ඇති විය හැකි සිත්තැවුල් ආදියෙන් මඳකට හෝ මිදී සිත වෙනත් දෙයක් කරා යොමුකර, ඇති වූ ආතතිය ලිහිල් කර ගැනීමට කියැවීම සැබවින් ම උපකාරී වේ. එවැන්කක් ගැන විශ්වාස කිරීමට පවා නොහැකි බවත් සමහරවිට ඔබට හැඟෙන්නට පුළුවන. ආතතිය ලිහිල් වන්නේ කෙසේ ද? මඳක් විමසා බලමු. කියනවිට ඔබගේ මොළය, ඔබව වෙනත් ලෝකයක් කරා වෙනත් පුද්ගලයන් කරා වෙනත් සිදුවීම් කරා යොමු කරවයි. මේ තත්ත්වය මානසික ආතතියකින් පෙළෙන කෙනකුට සිතගත සන්සුන් තත්ත්වයකට පත්කරන මහඟු ‍ඖෂධයක් හා සමාන වනු ඇත. එයින් ලැබෙන සුවය මෙතෙක් යැයි නිගමනය කළ නොහැකිය. එදිනෙදා ජීවිතයේදී ඔබට මුහුණපාන්නට වන නොයෙකුත් ප්‍රශ්න නිසා, දිගුකාලයක් ඉන් පීඩාවට හා අසහනකාරී තත්ත්වයකට පත්වීම හේතුවෙන් ඔබගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇති විය හැකිය. එවන් අවස්ථාවකදී නවකතාවක් හෝ ශාස්ත්‍රීය යමක් හෝ අවධානයකින් යුතුව කියැවීමේදී ඔබේ මනස ඒ කියවන කරුණු වෙත යොමුවීමෙන් පෙර ඇති වූ ආතති මට්ටම, ක්‍රමක්‍රමයෙන් ලිහිල් වී ගතට හා සිතට කියා නිම කළ නොහැකි සහනයක් උදා වනු ඇත. ඇත්ත වශයෙන් ම එය අත්හදා බැලීමක් ම මඟින් ඔබට පසක් වනු ඇත.

ජීවිතයේ ඇතිවන යම් යම් ප්‍රශ්න නිසා ඔබට ඇති වන සිත්තැවුල් හේතුවෙන් ඔබ මහත් කලකිරීමකට පත්විය හැකිය. එහි ප්‍රතිඵලය වන්නේ අවිනිශ්චිත භාවය, මන්දෝත්සාහය සහ අලස බව ඇති වීමයි. එසේ වූ විට නිතර ම කල්පනා කරමින් අතරමං වූ අයකු සේ කාලය ගත කරයි. කියැවීම මීට කදිම ඔසුවකි. මෙවන් අය සඳහා ම “ස්වයං සහාය” (Self half) පොත් පුස්තකාලවලින් හෝ පොත් සාප්පුවලින් හෝ අන්තර්ජාලය හෝ ‘ඔන්ලයින්’ (on line) හරහා ලබාගත හැකිය. වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට තරම් බරපතළ අසහනකාරි තත්ත්වයෙන් නොපෙළන අයට ඉහත සඳහන් පොත්වලින් සහනයක් ලබා ගත හැකිය. සිත්තැවුල් නිසා දැඩි කලකිරීමකට පත්ව සිටින අයට ඊට හේතු සහ ඉන් මිදීමට අවශ්‍ය පිළියම් ගැන මේ පොත්වල සඳහන් ව ඇත. වේදනා නාශකයකින් ලැබෙන සහනය හා සමාන සහනයක් කියැවීමෙන් ලැබේ.

මීට පෙර සඳහන් කළ පරිදි කියැවීම නිසා ඔබගේ මානසික ඒකාග්‍රතාව හා විවේචනාත්මක සිතුවිලිවල වර්ධනයක් ගැන පැවසුව ද තවත් අංශයකින් ඔබගේ මානසික සෞඛ්‍යය තත්ත්වය වර්ධනය වේ. දිනකට සුළු වශයෙන් හෝ කියැවීමෙන් මතකය තැන්පත් කරන මොළයේ ඒ අවයව කොටස ක්‍රියාකාරී තත්ත්වයට පත්වීම හේතුවෙන් මතක ශක්තිය වර්ධනය වේ. ශාරීරික වර්ධන ව්‍යායාමයක් සේ කියැවීම ද මානසික වර්ධන ව්‍යායාමයකි. කියැවීම නිසා මානසික ඒකාග්‍රතාව ඇති වන්නේ කෙසේ ද? පිළිතුර නම් කියැවීම සඳහා ඔබ ඊට නිසි අවධානය යොමු කිරීමයි. යමක් කියැවීමට සැරසෙන ඔබට එහි ඇති අන්තර්ගතය ගැන කිසිදු පෙර වැටහීමක් නැත. ඒ වැටහීම ඇති වන්නේ කියවන දේ ගැන ඔබේ නිසි අවධානය යොමු කළහොත් පමණි. ඔබ කිසියම් ගණිත ගැටලුවක් විසඳන්නේ යැයි සිතන්න. එය සාර්ථක වීමට නම් ඊට ඔබේ සම්පූර්ණ අවධානය යොමු කළ යුතු වන්නේය. කියැවීම කෙරෙහි ද සත්‍ය වන්නේ මෙයයි. ඔබේ පාසල් සමයේදී කියවූ දෙය නැවත මතක් කර ලිවීමේ අභ්‍යාසය ගැන මතකයට නැංවු‍වහොත් මතක ශක්තිය වර්ධනය වන්නේ කෙසේ ද යන වග ඔබට වැටහෙනවා ඇත.

කියැවීම නිසා වර්ධනය වන්නේ ඔබගේ සෞඛ්‍යය තත්ත්වය පමණක් ම නොවේ. ඔබගේ ජීවිතයේ තවත් පැතිකඩ බොහොමයකට ප්‍රයෝජනය ලැබේ. මේවායින් කෙනකු පූර්ණ පුද්ගලයෙක් බවට පත්වෙයි. ලේඛකයන් විසින් කියැවීමේ පූර්ණ වැදගත්කම හොඳින් වටහා ගෙන ඇත. ඔබ රාජකාරි කටයුත්තක් සඳහා ලියූව ද, විනෝදාස්වාදය සඳහා ලියූව ද වඩ වඩා කියැවීම ඔබගේ ලිවීමේ හැකියාව දෙගුණ තෙගුණ කරවයි. එය ඔබ නොදැනුවත්ව ම සිදු වන ක්‍රියාවලියකි. ලේඛකයන් විද්වත් තත්ත්වයට පත්වන්නේ ඔවුන් වැඩි වැඩියෙන් කියවන නිසා ය. ලෝපතළ ලේඛකයන්ගේ ‍පොත් කියැවීමෙන් එවැන්නෙක් වීමේ ආශාවක් ඔබ තුළ පහළ වනු ඇත. ඒ සඳහා කියවා ලබාගත හැකි උපදෙස් රාශියක් අඩංගු පොත් නොයෙකුත් මාර්ග ඔස්සේ ඔබට ලබාගත හැකිය.

ඔබගේ කල්පනා ශක්තිය වැඩි දියුණුකර ගැනීමට ඉවහල් වන පොදු දේවල් වැඩිපුර නැතත්, කියැවීමෙන් එය උසස් මට්ටමකට ගෙන යා හැකි බව බොහෝ අය නොදන්නා කරුණක් විය හැකිය. ඔබ යමක් අවධානයෙන් යුතුව කියවන විට ඒ කලින් ඔබට හමුවන විවිධ පුද්ගලයන් හා මැවෙන වටාපිටාව ගැන මඳක් සිතා බලන්න. මෙසේ කරනවිට ඔබේ කල්පනා ශක්තිය ගබඩා වී ඇති මොළයේ කොටස, ක්‍රියාකාරී වේ. ඒ අනුව කතාවේ මුණගැහෙන පුද්ගලයන් හා දෙ‍වන පරිසරය පිළිබඳව ඔබේ සිතෙහි චිත්‍රයක් ඇඳෙයි.

ඔබ කියවන්නට සූදානම් වනවිට එවැනි චිත්‍රයක් ඔබගේ මනසේ ඇඳී තිබුණේ නැත. කියවා අවසාන වනවිට, ඒ කතාවට සම්බන්ධ පුද්ගලයන් හා වටපිටාව නිසා ඔබ ඒ කියැවූයේ මොනතරම් පරිපූර්ණ කතාවක් ද යන වග ඒ මැවුණ චිත්‍රවලින් ඔබට පසක් වේ. එවන් සියුම් හැඟීම් ඇතිව කතාව කියනවිට ඔබ සැරිසරන කල්පනා ලෝකය මොන තරම් සුන්දර ද? අවසානයේ ලැබෙන මානසික සුවය ද ඉමහත් සැනසීමක් වන්නේය. කල්පනා ශක්තිය වනාහි අපගේ ජීවිතයේ නොයෙක් අවස්ථාවලදී අපට ප්‍රයෝජනවත් වන ඉතා වටිනා වූ මෙවලමකි.

කල්පනා ශක්තිය දියුණු කළ විට තවත් කෙනකුගේ සිතුවිලි, සෘජු සම්බන්ධතාවකින් තොරව අපට දැනෙන්නට පුළුවන. (Empathy) මේ දැනීම අප රාජකාරි ස්ථානවලදී මෙන්ම නිවසේදී වුව ද අපට ප්‍රයෝජනවත් වේ.

කියැවීමෙන් සුව නින්දක් ලැබෙන බව ඔබ දන්නෙහි ද? මෙයින් අදහස් කරන්නේ කියවන්න පටන්ගත් විට නින්ද යෑමක් ගැන නොවේ. කියැවීම නිසා ඔබ දිනපතා සාමාන්‍යයෙන් නින්ද ලබන රටාව හා ලබන සුවය කෙරෙහි වර්ධනයක් ඇති කරගත හැකි බවයි. කියැවීම හේතුකර ගෙන මනස සංසුන් ස්වභාවයකට පත්වන නිසා රාත්‍රිය පුරා එක ම සුව නින්දක් ලබා ගැනීමට හැකි වෙයි. රාත්‍රි නින්දට යෑමට පෙර පොතක් අතැතිව සුවපහසුව ඇඳේ වැතිරෙන්නේ නම් එය ඔබේ හොඳ යහළුවෙක් ‍හෝ ‍යෙහෙළියක් බවට පත්කර ගත හැකි වේ. කාර්යබහුල වූ දිනෙක මෙවන් පිළිවෙතක් අනුගමනය කිරීමෙන් ඉතා සුවබර නින්දක් ලැබෙනවා නිසැකයි. සුළු වෙලාවක් හෝ කියැවීමෙන් ඒ සුවය ලබාගත හැකිය. මෙය ප්‍රත්‍යක්ෂ වන්නේ පසුව දා නින්දෙන් පිබිදුන විට ඔබගේ සිතට ගතට හා මනසට දැනෙන සුවය මොන තරම් සුන්දර ද යන වග වැටහීමක් සමඟ ය.

පොතක් කියැවීමෙන් ලැබෙන වින්දනය හරියාකාරව ම දන්නා අය නිරායාසයෙන් ම තවත් පොතකට අත තබයි. පොත් කියැවීමෙන් වින්දනයක් ලබාගැනීම, මෙතුවත් කල් පුරාවට ම සිදු වූ ක්‍රියාවලියකි. කියැවීමෙන් විනෝදයක් ලැබෙන මුත්, එහි පරමාර්ථය විය යුත්තේ එය ම නොවේ. කියැවීමට පුරුදු වූ තැතැන්තාට හෝ තැනැත්තියට ඉන් ලැබෙන වින්දනය පිළිබඳව හොඳ වැටහීමක් ඇත. එමෙන්ම ඉන් ලැබෙන මානසික හා ශරීරික සුවය ගැන ද හොඳින් දනී. හොඳ පොතක් අවධානයෙන් යුතුව කියැවූ විට මානසික හා ශාරීරික අපහසුතා වෙඬරු පිඩක් සේ දියවී යයි. වින්දනයක් ලබන අතර ම හෝ සුවතාවක් ලැබීම, කියැවීමෙන් ලැබෙන මහඟු දායාදයකි. වයස හෝ තරාතිරම්වල සීමාවලින් තොරව කාලාන්තරයක් පුරා කියැවීම ජනයා අතර නොකඩවා ප්‍රචලිතව පැවැතීම කියැවීමේ අගය මොන තරම් වටිනා දෙයක් ද යන වග මොනවට පැහැදිලි ය. බොහෝ විදග්ද ලේඛකයන් කියැවීමේ පුරුද්ද නිසා ඔවුන් ලබාගත් දැනුම මානසික සුවය හා වින්දනය ගැන බොහෝ දේ ලියා ඇත.

කියැවීම මානසික හා ශාරිරික සුවය ලබාදෙනවා මෙන්ම පසු දින උදාවන දිනයද ආලෝකවත් වේ. බොහෝ කාර්යබහුල දිනයකට පසු, රාත්‍රියේදී හොඳ පොතක් සමඟ ඔබ යහන්ගත වූ විට සියලු ආතති හා සිත්වේදනා දුරුවී සුවබර නින්දකින් පසුව උදාවන ඊළඟ දිනය ඉතාමත් ම විචිත්‍රවත් ආලෝකමත් දිනයක් වේවි. භාවනාවකින් පසුව සිත් සන්සුන් වෙනවා සේම කියවීමෙනුත් ඒ සන්සුන් භාවය ලබාගත හැකිය. නිතර පොතක් අතැතිව යෑම අපහසු කාර්යයක් නොවේ. විවේකයක් ලැබෙන ඕනෑ ම අවස්ථාවක කියැවීම පුරුද්දක් කරගත හැකිය. ඔබ අලුයම වේලාසනින් අවදි වන කෙනකු නම් සුළු වෙලාවක් හෝ කියවීමෙහි නිරත වෙන්න. එවිට දීප්තිමත් දිනයක උදාවත් සමඟ සන්සුන් මනසකින් යුක්තව දවසේ වැඩ කටයුතු ආරම්භ කළ හැකිය. හොඳින් හුස්ම ගන්න හැකි වේවි. ගත සැහැල්ලු බවක් දැනේවි. හිතේ බරකින් තොරව රාජකාරිය සඳහා පිටත්ව යා හැකි වේවි. දවසේ ඕනෑ ම වේලාවක් තෝරාගෙන මඳ වශයෙන් හෝ කියැවීමට පුරුදු වන්න.

ඉහත දැක්වූ සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ කියැවීම, ශාරීරික සුවයට මෙන්ම මානසික සුවයට ද මහඟු ‍ඖෂධයක් බවයි. ඔබ කියැවීමට හුරුපුරුදු කෙනකු නොවේ නම්, පළමුව කළ යුත්තේ එක හොඳ පොතක් අවධානයකින් යුතුව කියැවීම පමණි. ඉන් ඔබ ලැබුවා වූ ඒ වින්දනය හා මානසික සුවය ඔබට තව තවත් කියැවීමට යොමු කරනවා නිසැක ය. කියැවීම සඳහා සුදුසු පොතක් හෝ සඟරා ලිපියක් තෝරා ගැනීම ඔබගේ අභිමතය පරිදි සිදු විය යුතුය. ඒවා ප්‍රේමකතා, වීරකතා, කෙටි කතා හෝ වෙනත් ඕනෑම විෂයයක් හා සම්බන්ධව විය හැකිය. ක්‍රමක්‍රමයෙන් කියැවීමට ඇති රුචිය වර්ධනය වේ. කියැවීම නිසා ඔබ අතිවිශාල ප්‍රයෝජන ලබන්නකු වූ විට ඒ පුරුද්ද කිසිවිටෙකත් අත්හැරිය නොහැකි දෙයක් බවට පත්වේ. ඉන් ලැබෙන සහනය වින්දනය සුවය අනන්තය; අප්‍රමාණ ය. ඒ නිසා කියැවීමට වඩා වඩාත් නැඹුරු වන්න. ඔබගේ දූ දරුවන් ද කියැවීමට පුරුදු කරවන්න. එය ඔබ කරන විශාල පුණ්‍ය කර්මයකි.

ඒ.ජී.සොනාලි සිල්වා විසින් ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරෙනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.