සාහිත්‍යය හා දර්ශනයට නව දෙබසක් | සත්මඬල

සාහිත්‍යය හා දර්ශනයට නව දෙබසක්

සාහිත්‍ය න්‍යාය හා විචාර සිද්ධාන්ත යථායෝග්‍ය ලෙස පරිශීලනය කළ හැක්කේ ඒවාට යටින් විහිදී යන දාර්ශනික චින්තන පසක් කරගත් විට පමණි. එබැවින් සාහිත්‍යයත්, දර්ශනයත් අතර පවත්නා සම්බන්ධය වෙත අපගේ විචාරක්ෂිය යොමු විය යුතුය.

පුරාතන යුගවල පටන් පෙර’පර දෙදිග රටවල සාහිත්‍යයත්, දර්ශනයත් අතර සමීප සම්බන්ධයක් පැවැතිණ. පැරණි ග්‍රීකයන් අතරින් බිහි වූ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැනි දාර්ශනිකයෝ සාහිත්‍යය පිළිබඳ මත පළ කළහ. මේවා අද දක්වාත් සාහිත්‍යවේදීන්ගේ චින්තනය දැල්වීමට සමත් ව ඇත. චිරන්තන භාරතීය කාව්‍යවේදය දර්ශනය සමඟ වෙළී තිබේ. ඩෝගන් වැනි ජපන් චින්තකයකු භාෂාව හා දර්ශනය පිළිබඳ පළ කළ අදහස් සාහිත්‍යාවබෝධයට මහත් පිටුබලයක් වී ඇත.

මෙය සාහිත්‍ය මාසයයි. අපගේ අවධානය නිර්මාණාත්මක සාහිත්‍යයට මෙන්ම විචාරය ද කෙරෙහි යොමුවන සමයකි. වර්තමාන සාහිත්‍ය විචාරයට ගවේෂණය කරන විට සාහිත්‍ය න්‍යාය විචාර සිද්ධාන්තවලට මුල් තැනක් ලැබී ඇති අයුරු දැකගත හැකිය. මේ සාහිත්‍ය න්‍යාය හා විචාර සිද්ධාන්ත යථායෝග්‍ය ලෙස පරිශීලනය කළ හැක්කේ ඒවාට යටින් විහිදී යන දාර්ශනික චින්තන පසක් කරගත් විට පමණි. එබැවින් සාහිත්‍යයත්, දර්ශනයත් අතර පවත්නා සම්බන්ධය වෙත අපගේ විචාරක්ෂිය යොමු විය යුතුය.

සාහිත්‍යයත්, දර්ශනයත් අතර ප්‍රචලිත සම්බන්ධය විවිධ රටවල, විවිධ යුගවල, විවිධ ස්වරූප ගෙන තිබේ. අපි උදාහරණයක් වශයෙන් විසංයෝජනවාදය ගෙන බලමු. වර්ෂ එක්දාස් නවසිය අසූ ගණන්වල, අනූ ගණන්වල ලොව පුරා පතල වූ අලුත් ආධිපත්‍යයක් පළ කරන මේ විචාර වාදය බිහිවූයේ දර්ශනය තුළිනි. ජැක් චෙරිඩා නමැති ප්‍රංස දාර්ශනිකයා මාර්ටින් හෙයිඩෙගර් යන කීර්තිමත් ජර්මන් ජාතික චින්තකයාගේ ගවේෂණ රටාවලින් ද ආභාසයක් ලබමින් මේ විචාර සංකල්පය ඉදිරිපත් කළේය. මෙය පසුව සාහිත්‍ය විචාර ක්‍රමය බවට පරිවර්තනය විය. මේ පරිවර්තනය ක්‍රියාත්මක කිරීමෙහිලා පෝල් ද මෑන්, ජේ. හිලිස් මිලර්, ගයත්‍රි ස්පිවැක්, ජොනතන් ‍කලර් වැනි ඇමෙරිකානු සාහිත්‍යවේදීන්ගෙන් මහත් මහඟු සේවයක් ඉටු විය. ප්‍රංස විචාර සිද්ධාන්ත ඇමෙරිකානු නිෂ්පාදනයක් යයි ඇතැමුන් සාවද්‍ය ස්වරයකින් පවසන්නේ මේ නිසා ය.

පසුගිය අඩ සියවස පමණ කාලයේ සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි දැඩි ප්‍රබෝධයක් ඇති විය. ජැක් ඩෙරිඩා, ජැක් ලැකෝන්, මිචෙල් ෆූකෝ, රෝලන්ඩ් බාත් වැනි චින්තකයන්ගේ නව සිතුවිලි ප්‍රමාණය මීට හේතුභූත විය. මේ සිතුවිලි ප්‍රවාහවලට යටින් දාර්ශනික ආලෝචනා දිවෙයි. ඉහත සඳහන් චින්තකයන්ගේ ප්‍රභාව හීන මෙන්ම නව චින්තන පරපුරක් පෙරබිමට පැමිණියේය. ඔවුන් අතර මේ කෙටි ලිපියෙහි කතා නායකයා වන ජියෝර්ජියෝ අගම්බෙන්ට (Giorgio Agamben) වැදගත් තැනක් හිමි වේ. ඔහුගේ සෙසු වයස අය අතර ජැක් රැන්සියේර්, ජෝන් ලුක් නන්සි, ඇලන් බේඩාටු, ප්ලාවොයි ශිෂෙක් වැන්නවුන් විශේෂයෙන් සඳහන් කළ මනා ය. මේ කෙටි ලිපියෙන් මා වෑයම් කරන්නේ සාහිත්‍යය හා දර්ශනය යන මාතෘකාව විමර්ශනය කිරීමේදී අගම්බෙන්ගේ ලිපි ලේඛන වැදගත් වන්නේ කවර හෙයින්දැයි පැහැදිලි කිරීමට ය.

අගම්බෙන් වර්ෂ 1942 දී උපත ලද ඉතාලි ජාතික දාර්ශනිකයෙකි. ඔහු දර්ශනය, නීතිය, දේශපාලනය, සාහිත්‍යය, ආගම, සෞන්දර්ය විද්‍යාව වැනි විෂයයන් පිළිබඳව ග්‍රන්ථ හා ලිපි ලේඛන සම්පාදන කර ඇත. ඔහු ලියූ ග්‍රන්ථ අතර The Cominc community – STANZAS – Hemo Sacer – The end of the poem වැනි කෘති විශේෂයෙන් ම මා සිත් ඇද ගැනීමට සමත් ව ඇත. ඔහුගේ ලිපි ලේඛන අතුරින් තුනෙන් එකක් පමණ සාහිත්‍යය විෂයය සඳහා වෙන්ව ඇත. සෙසු ලිපිවල ද සාහිත්‍යය හා සම්පර්කය මැනවින් සටහන් ව තිබේ.

ජියෝර්ජියෝ අගම්බෙන්ගේ සාහිත්‍ය විචාර ප්‍රයත්නවල එක් මුඛ්‍ය ගුණාංගයක් දිස් වේ. සාමාන්‍යයෙන් සාහිත්‍ය විචාරයේදී සිදුවන්නේ සාහිත්‍ය කෘතියක ගැබ් වූ අර්ථය විශද කර එහි සාහිත්‍ය ක්‍රමෝපායයන් හා රචනා විලාසය හා සන්දර්භය ගවේෂණය කිරීමෙන් ගුණාගුණ තුලනයක නියතු වීම ය. එහෙත් අගම්බෙන්ගේ අභිලාෂය මීට වෙනස් ය. ඔහුගේ අභිමතාර්ථය සාහිත්‍ය නිර්මාණයක නිරූපිත සත්‍යය දාර්ශනික පදනමක පිහිටා විවරණය කිරීම ය. මෙහිදී ඔහු තමාටම ආවේණික වූ කාව්‍ය විචාරණ පථයක් මතු කිරීමට යත්න දරා තිබේ.

දර්ශනය, නීතිය, දේශපාලන විද්‍යාව, සාහිත්‍ය, ආගම වැනි විෂයයන් පිළිබඳ අගම්බෙන් ග්‍රන්ථ විසිපහක් පමණ රචනා කර ඇත. මේවා දීර්ඝ ග්‍රන්ථ නොවේ. බොහෝවිට පිටු සියයකට පමණ සීමා වේ. එහෙත් ඒවා අවබෝධ කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු වේ. ඔහු විවිධ ගවේෂණ මාර්ගවලින් උකහාගත් අර්ථමාලා සම්පිණ්ඩනය කර දැක්වීම මීට එක් හේතුවකි.

ජියෝර්ජියෝ අගම්බෙන්ගේ කෘති වටහා ගැනීමට ඔහුගේ චින්තන රටා කෙරෙහි බලපෑ චින්තකයන් තිදෙනකු කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු විය යුතු යැයි සිතයි. ඒ චින්තකයන් තිදෙනා නම් හේගල්, හයිඩෙගර් සහ වෝල්ටර් බෙන්ජමින් ය. හේගල් ඉතිහාසයෙහි අගය තහවුරු කළේය. හයිඩෙගර් මානව ජීවිතයට භාෂාව වැදගත් වන අයුරු පෙන්නුම් කළේය. මිනිසා භාෂාත්මක නිර්මාණයක් බව ඔහු ප්‍රකාශ කළේය. වෝල්ටර් බෙන්ජමින් අභ්‍යන්තර පරාවාකයන්ට (contradictions) සිය විවරණවල මුල් තැනක් දුන්නේය.

භාෂාව යන මුඛ්‍ය තේමාව මේ ඉතාලි ජාතික දාර්ශනිකයාගේ චින්තනමය ව්‍යාඛ්‍යාන පුරා පැතිර ඇත. භාෂාවෙන් තොරව මිනිසාගේ අපේක්ෂා හා ක්‍රියා වටහා ගැනීම දුෂ්කර බව ඔහු අවධාරණය කළේය. මෙහිදී හයිඩෙගර්ගේ ආභාසය පැහැදිලි ලෙස දක්නට ලැබේ. භාෂාව යනු කෙබඳු ප්‍රපංචයක් ද? එය ක්‍රියාත්මක වන්නේ කවර ආකාරයෙන් ද? මිනිසා භාෂාව අත්විඳින්නේ කවර ලෙසට ද? අපට ප්‍රාග් භාෂික අනුභූති තිබේ ද? සංකල්ප රූප හා භාෂාව අතර ඇත්තේ කෙබඳු සම්බන්ධයක් ද? අගම්බෙන් සිය ශාස්ත්‍රීය ලේඛනවල මෙබඳු ප්‍රශ්න නිතර නිතර මතු කළේය. මෙබඳු ප්‍රශ්න සාහිත්‍ය නිර්මාණවල ගැඹුරු ව්‍යුහයක් වටහා ගැනීමට බෙහෙවින් උපකාරී වේ. එබැවින් අපගේ අධීක්ෂණ පරිශ්‍රමවලට මහඟු සේ අදාළ ය.

භාෂාව පිළිබඳ අගම්බෙන්ගේ චින්තන ලෝකය කොටස් තුනකින් සමන්විත ය. පළමුවැන්න භාෂාව මානව අස්තිත්වය සමඟ අභේදනීය ලෙස බැදී පැවැතීමයි. එබැවින් දාර්ශනික විවරණවල තර්කානුකූල ආරම්භක ස්ථානය මේ සම්බන්ධතාව බව ඔහු අවධාරණය කරයි. දෙවැන්න භාෂාව පාලනය කිරීමේ බලය හා වරප්‍රසාදය සමාජයේ ප්‍රභූවරුන් සතුව තිබීමයි. මේ හේතුව නිසා දේශපාලන විද්‍යාත්මක විවරණවලදී මේ ප්‍රපංචය පෙරබිමෙහි තිබිය යුතුය. තෙවැන්න සාහිත්‍ය නිර්මාණ පරිශ්‍රමයන්හි භාෂාව කේන්ද්‍ර ස්ථානය හිමිකර ගැනීමයි. එබැවින් භාෂාවෙහි අනේක විධත්වය සාහිත්‍ය විග්‍රහයේදී උතුම් කර සැලකිය යුතුයි. මේ චින්තන ධාරා තුන දර්ශනය, දේශපාලන විද්‍යාව හා සාහිත්‍යය යන ක්ෂේත්‍ර තුන නියෝජනය කරයි.

අගම්බෙන්ගේ දාර්ශනික ලිපි විමර්ශනය කරන විට පැහැදිලි වන එක් කරුණක් නම් ඔහු නිතර ම නිර්මාණාත්මක සාහිත්‍යයට වැදගත් තැනක් දුන් බව ය. ඔහු දාර්ශනිකයෙක් මෙන්ම කවියෙක් විය. දාර්ශනිකයකු වශයෙන් බැබළීමට ඔහු තුළ වෙසෙන කවියා මහෝපකාරී විය. අගම්බෙන් වරක් ප්‍රකාශ කළ පරිදි කවිය නියම ලෙස ජීවය ලබන්නේ දර්ශනය තුළිනි. මෙහිදී විසිවැනි සියවසෙහි විසූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු වන හයිඩෙගර්ගේ ලිපි ලේඛන සිහියට නැඟෙයි.

ජි‍යෝර්ජියෝ අගම්බෙන්ගේ සාහිත්‍ය ව්‍යාඛ්‍යාන විචාරකයෝ කොටස් සතරකට බෙදා දක්වති. පළමුවැන්න නාට්‍යය දර්ශනය හා විචාරය අතර පවත්නා අර්ථවත් සම්බන්ධයයි. මෙය ඉතා වැදගත් සිතුම් හුවමාරුවක් 

ලෙස ඔහු දුටුවේය. දෙවැන්න විශිෂ්ට සාහිත්‍ය නිර්මාණවල හමුවන සංකීර්ණ චරිතවල දෘෂ්ටිය, ආකල්ප, චර්යා පද්ධති සියුම් දාර්ශනික විමර්ශනයකට ලක් කිරීමයි.

 ඔහු විශේෂයෙන් ෆ්‍රාන්ස් කෆ්කාගේ චරිත මෙබඳු විග්‍රහවලට පාත්‍ර කිරීමට ඇල්මක් දැක්වූයේය. තෙවැන්න ගද්‍ය හා පද්‍ය අතර පවත්නා විශදෘශ්‍යතායි. අගම්බෙන් මෙය අත්‍යන්තයෙන් ප්‍රාථමික වූ විභේදනයක් ලෙස සැලකුවේය. ඒ තුළින් සිය භාෂාත්මක දර්ශනයෙහි ඇතැම් අංග ලක්ෂණ විශද කළේය.

සතරවැන්න දර්ශනය නාට්‍යය හා විචාරය අතර පවත්නා සම්බන්ධය මුල්කර ගෙන නව නාට්‍ය වේදයකට මං පෑදීමයි. අගම්බෙන් අගය කළ සාහිත්‍යකරුවන් අතර ඉතාලි ජාතික ඩාන්වේ, ජර්මන් ජාතික හෝල්ඩර්ලින්, චෙක් ජාතික කෆ්කා හා පෘතුගීසි ජාතික පෙසෝවා විශේෂයෙන් සඳහන් කළ මනා ය. අගම්බෙන් නිර්මාණාත්මක සාහිත්‍යය කෙරෙහි දැක්වූ ආකල්ප වඩාත් අර්ථ සම්පන්න සාහිත්‍ය සිද්ධාන්ත හා විචාර මූලධර්ම සංස්ථාපනය කිරීමට අපට අනුබලයක් දෙයි.

අගම්බෙන් භාෂාව හා සාහිත්‍යය සම්බන්ධ අර්ථවත් මූලධර්ම නිතර සාකච්ඡා කළේය. ඒ අතර ම සාහිත්‍ය කලාව හා බැඳුණු ඇතැම් විශේෂ මාතෘකා කෙරෙහි ද සිය විමර්ශනාක්ෂිය යොමු කළේය. ඔහු ගද්‍ය පද්‍ය අතර විද්‍යමාන අසමානතා දාර්ශනික පදනමක පිහිටා විශ්ලේෂණය කිරීමට ඇල්මක් දැක්වූයේය. මේ විෂයය ඔහු තරම් සියුම් ලෙස විවරණය කළ සාහිත්‍යවේදියකු සොයාගත නොහැකිය. දර්ශනයත්, කාව්‍යයත්, එකිනෙකට බැඳී ඇති අයුරු ඔහු Stanzas – The End of the poem වැනි ග්‍රන්ථවලින් විශද කළේය. දර්ශනයෙහි සීමා කාව්‍ය තුළිනුත්, කාව්‍යයෙහි සීමා දර්ශනය තුළිනුත් අතික්‍රමණය වන අයුරු ඔහු පෙන්නුම් කළේය. එක් විචාරකයකු පැවැසූ ආකාරයට ඔහුගේ සාහිත්‍ය විවරණ ජීවයක් ලබන්නේ දර්ශනයෙනි. කාව්‍යය අතර පිහිටා ඇති සංකල්පිත බිම් පෙදෙසක ය.

ගද්‍යයත්, පද්‍යත් අතර පවත්නා වැදගත් වෙනස වටහා ගැනීම සඳහා ඔහු Enjambent යන සංකල්පය මතුකර දැක්වූයේය. විරිත් හා සම්බන්ධ රටා ඉක්මවා කාව්‍යමය වින්දනය හා චින්තනය පැතිර යන ආකාරය ඔහු මේ සංකල්පයෙන් පැහැදිලි කළේය. පාදාන්ත යතිය යටපත් කරමින් කාව්‍ය චින්තා ගලා යන ආකාරය ඔහු දුටුවේ කාව්‍යානුභූතියෙනි. නෛසර්ගික ගුණාංගයක් හැටියට ය. ඔහුගේ පිළිගැනීමට අනුව මේ වූ කලි ගද්‍යත්, පද්‍යත්, අතර වෙනස මතුකර දක්වන්නකි. අපි ගුත්තිලයෙන් නිදර්ශනයක් ගෙන බලමු.

පරසතු මලින් පු ද

ලක් මුණිසඳුට දියන ද

වනපස මලින් පු ද

බඳයි පවසනු කරව වරද ද

මේ කාව්‍ය රචනයෙහි පාදාන්ත යතිය ඉක්මවා ‍කාව්‍යමය වින්දනය හා චින්තනය ඉදිරියට යන ආකාරය දැකගත හැකිය. කාව්‍යයක විරිත හා චින්තනය අතර සම්බන්ධය නව දෘෂ්ටි‍කෝණයකින් විශ්ලේෂණය කිරීමට ඔහු සමත් විය. අපි තවත් නිදසුනක් ගෙන බලමු. මෙය සැළලිහිණි සන්දේශයෙනි.

රන්වන් කරල් ගෙන එන ගිරවුන් අති න

යන්මන් තොසින් මඟ තොරතුරු නියම දැ න

අගම්බෙන් කවියක විරිත හා චින්තන ධ්වනිය (Flow) අතර සංකීර්ණ සම්බන්ධ‍යක් දක්වයි. මෙය පදයෙහි එක් සුවිශේෂ ලක්ෂණයක් ලෙස ඔහු දකියි. මෙය මුල් කරගෙන ඔහු පද්‍යයෙහි අනන්‍යතාව පිළිබඳ ගැඹුරු දාර්ශනික විවරණයක් සපයයි. මේ විවරණවලින් සිංහල සාහිත්‍යාභිලාෂීන් වශයෙන් අපට මහත් ආලෝකයක් ලද හැකිය.

ජියෝර්ජියෝ අගම්බෙන්ගේ විචාර ලිපිවල ඇතුළත් තවත් වැදගත් සංකල්පයක් නම් කාව්‍යයක සන්නිවේදනීය ආත්මයයි. මෙය අතිශයින් අමූර්ත සංකල්පයක් මේ සංකල්පයෙන් ද අපට උත්තේජනයක් ලැබිය හැකිය. කවියක ප්‍රකාශිතය මෙන්ම ප්‍රකාශන විධි ද වැදගත් බව ඔහු පැවැසීය. මීට අමතරව, වඩාත් ගැඹුරු විශ්ලේෂණාත්මක ප්‍රස්තුතයකට පිවිසෙමින් කාව්‍යයක සන්නිවේදනීයත්වය කෙරෙහි ඔහු සිය අවධානය යොමු කළේය. එනම් කවියක ඇති භාෂාත්මක ශක්‍යතාවයි. මෙය ගැඹුරු දාර්ශනික මනෝභාවයකි.

සාහිත්‍යයත්, දර්ශනයත් අතර බටහිර රටවල නව දෙබසක් පහළවී ඇත. මේ දෙබසෙහි එක් වැදගත් පැතිකඩක් අගම්බෙන් නියෝජනය කරයි. තරමක් වෙහෙසකර වුවත්, ඔහුගේ ලිපි ලේඛන පරිශීලනය කිරීමෙන් අපට නොයෙක් උත්තේජනය හා ආලෝචනා ලබාගත හැකිය. ඔහුගේ කෘති සිංහලට පරිවර්තනය වුවහොත් මැනවි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.