රජයේ ලියාපදිංචි පළමු සිංහල පුවත්පත ලක්මිණි පහණ | සත්මඬල

රජයේ ලියාපදිංචි පළමු සිංහල පුවත්පත ලක්මිණි පහණ

කළුකොඳයාවේ ප්‍රඥාශේඛර හිමිගේ ‘සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය’ පොතේ සඳහන් පරිදි එහි ආරම්භක ප්‍රකාශකයා වන්නේ කොළඹ ඇතුන් බඳිනවත්තේ පදිංචි ජයසූරිය ආරච්චිගේ හෙන්ද්‍රික් පෙරේරා මහතායි.

රජයේ ලියාපදිංචි පළමු පුවත්පත වූ “ලක්මිණි පහණ” ආරම්භ කරන ලද්දේ 1862 සැප්තැම්බර් මස 11 දා යි. මේ පුවත්පත ආරම්භ කිරීමට මූලික වී ඇත්තේ සල්පිටි කෝරලේ මුදලිකම දැරූ ගාල්ලේ ගුණතිලක අතපත්තු මුදලිතුමා ය. එකල සිටි පැවිදි පඬිවරයකු වූ රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේ පරිවේණාධිපති වලානේ ශ්‍රී සිරිධර්ම හිමි ද දොන් අන්දිස් ද සිල්වා ශ්‍රී දේවරක්ෂිත බටුවන්තුඩාවේ රාජකීය පඬිතුමා හා ඒ වකවානුව වන විට ගිහිව සිටි ( කොග්ගල ධම්මතිලක හිමි) ජොහැන්නස් පණ්ඩිතතිලක කොග්ගල ගුරුතුමා ද මූලික වී ක්‍රියා කළහ.

ඉංග්‍රීසි ජාතිකයන් වූ පේද්‍රික් නැල්, ලුවිස් නැල්, චාර්ල්ස් ඇම්බ්‍රොස් ලෝරන්ස් මහත්වරුන්ගේ තාක්ෂණික දැනුම හා උපකාරයෙන් ලක්මිණි පහණ පත්‍රය ආරම්භ කිරීමට හැකි වී ඇත.

කළුකොඳයාවේ ප්‍රඥාශේඛර හිමිගේ 'සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය' පොතේ සඳහන් පරිදි එහි ආරම්භක ප්‍රකාශකයා වන්නේ කොළඹ ඇතුන් බඳිනවත්තේ පදිංචි ජයසූරිය ආරච්චිගේ හෙන්ද්‍රික් පෙරේරා මහතායි. ඔහු වොල් වොන්දාල් වීදියේ අංක 77 දරන ස්ථානයේ මේ ලක්මිණි පහණ මුල්වරට මුද්‍රණය කොට ඇත.

පිටුවක ප්‍රමාණය අගල් 18 x 12 කි; මුල් පත්‍රය පිටු හතරකි; මිල පනම් එකකි; දෙසතියකට වරක් මුල් වකවානුවේ නිකුත් කර ඇත.

ආරම්භයේ පටන් කර්තෘ වාක්‍යයට උඩින් යෙදෙන ලද කවියකි. මේ කවිය පත්‍රය 1934 කුමාරතුංග මුනිදාස මහතාගේ සංස්කරණයෙන් එළිදක්වන තුරුම වෙනස් නොවී පැවතිණි.

සත් හට මින් සුබ වැඩම කැමැත්තමු

යුත් තට කාටත් බැඳෙන සිතැත්තමු

අත් පිට නැණ දියුණුවෙහි නියුත්තමු

මෙත් කොට ලක්මිණි පහන් පවත්තමු

කොග්ගල

මේ කව පසුව පත්‍රයේ ඉහළින් ලක්මිණි පහණ නමට යටින් මුල් පිටුවේ යොදා කව රචනා කළ ආරම්භක කර්තෘ කොග්ගල ජොහැන්නස් පණ්ඩිතතිලක කොග්ගල ගුරුන්නාන්සේගේ නම වෙනුවට කොග්ගල යන නම යොදා තිබුණි.

මේ ලක්මිණි පහණ පරණ පත්‍ර පරීක්ෂා කරන ඇතමුන් මේ ඉහළින් යෙදූ කොග්ගල නම නිසා මේ පත්‍රය ගාල්ල කොග්ගල ප්‍රදේශයේ මුද්‍රණය කළ බවට වැරදියට වටහාගෙන තිබිණි.

1862 සැප්තැම්බර් 11 දින මුද්‍රණය කළ ලක්මිණි පහණ පත්‍රයේ ආරම්භක කර්තෘවරයා ජොහැනස් පණ්ඩිතතිලක කොග්ගල ගුරුතුමා ය.

එකල 1853 ශාස්ත්‍රාලංකාර සඟරාව මඟින් “සව්සත්දම්වාදය” මෙහෙයවූයේ මේ කොග්ගල ගුරුතුමා පැවිදිව සිටින අවදියේ ය.

එකල කොග්ගල ධම්මතිලක නමින් ප්‍රසිද්ධ ව සිටියේ මෙතුමා ය. දකුණු පළාත කේන්ද්‍ර කොටගෙන මෙරට ශාස්ත්‍රීය ප්‍රබෝධය වර්ධනය කිරීමට මෙතුමා මූලික විය.

මෙතුමාගේ සංස්කාරකත්වයෙන් ලක්මිණි පහණ පුවත්පත වසරකුත් මාස අටක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහුගෙන් පසු සී. පී. ජයසූරිය, බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා, ජේ. එච්. පෙරේරා, ඇම්. ධර්මරත්න පඬිතුමා ලක්මිණි පහණ පත්‍රයේ කර්තෘ ධුරය දැරූහ. ඉන්පසු 1934 ජූනි 26 දින මුනිදාස කුමාරතුංග මහතා ලක්මිණි පහන යළි අරඹයි.

“ලක්මිණි පහණ පසුකාලීනව පුවත්පත් රැසකට කීප ආකාරයකින් ගුරු වී ඇත. ලක්මිණි පහණ මෙන්ම ඉන්පසුව පළ වූ ලක්රිවි කිරණ, කවට කථිකයා, සරසවි සඳරැස, ලක්මිණි කිරුළ, එමෙන්ම ලක්මිණි පහන යන නමෙහි “ලක්මිණි” යන පද පසුකාලීනව පත්‍ර රැසක නමට එකතු වී ඇත. “ලක්රිවි කිරණ”, “ලක්මිණි කිරුළ” ලක්මිණ, සිළුමිණ, දිනමිණ ඊට නිදසුන් ය.

ලක්මිණි පහන පළමු පුවත්පතෙන්,

කරත්ත කුලී

කොළඹ සිට හිඟුලට පවුම් 1 සිලිම් 18

ගන්පලට පවුම් 2 සිලිම් 10

කොත්මලේට පවුම් 3 සිලිම් 10

“මේ වකවානුවේ ප්‍රධාන ගමන් මාධ්‍යයක් වී තිබුණේ කරත්තයි. දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් වැඩ 1858 අරඹා ඇති මුත් දුම්රිය මඟ මගීන්ට විවෘත වන්නේ (කොළඹ - අඹේපුස්ස) 1865 ඔක්තෝබර් 02 දින ය. මේ වකවානුව වන විට අශ්ව කෝච්චි හා කරත්ත මගීන්ගේ ප්‍රධානම ප්‍රවාහන මාධ්‍යයයි.”

කොළඹ ක‍ඩේ

පැරැළු බුසල සිලින් 2, කඩල පළමුවෙනි තරමේ ඒවා සිලින් 8, දෙවෙනි තරමේ ඒවා බුසල සිලින් 7 පැන්ස 6, නිල් කඩල බුසල සිලින් 6 පැන්ස 3, බඩඉරිඟු නැහැ. යව හාල් රාත්තල සිලිමයි, කොල්ලු බුසල සිලින් 4, උළුඳු සිලින් 5 පැන්ස 6, වී පළමුවෙනි තරමේ ඒවා සිලන් 3 පනමයි.

දෙවෙනි තරමේ ඒවා සිලින් 3, තුන්වෙනි තරමේ ඒවා සිලින් 2 පනම් 7, සුදුහාල් පළමුවෙනි ත‍රමේ ඒවා සිලින් 6 පනම් 4, දෙවෙනි තරමේ ඒවා සිලින් 6 පනම් 2, තුන්වෙනි තරමේ ඒවා සිලින් 5 පැන්ස 6, කාරහාල් පළමුවෙනි තරමේ ඒවා සිලින් 6 පනම් 3, දෙවෙනි තරමේ ඒවා සිලින් 6, පැන්ස 2 1/2, තුන්වෙනි තරමේ ඒවා සිලින් 5 පැන්ස 6, තිරිඟු පළමුවෙනි තරමේ ඒවා ගෝනිය පවුම් 1, දෙවෙනි තරමේ ඒවා සිලින් 18, තිරිඟු පිටි රාත්තල තුට්ටු 10, පාන් ගෙඩිය තුට්ටු 6, කළු පාන්ගෙඩිය පනමයි, විස්කෝත්තු මුල තුට්ටුවයි, රුලන් රාත්තල පනම් පහයි.”

නානා ද්‍රව්‍ය

අලුත් වෙඬරු රාත්තල සිලින් 2, පොල් පළමුවෙනි තරමේ ඒවා 100 සිලින් 8, දෙවෙනි තරමේ ඒවා සිලින් 7, වේලිච්ච මිරිස් රාත්තල තුට්ටු 6, අමුමිරිස් 100 තුට්ටු 6, වේලිච්චි ඉඟුරු රාත්තල පනම් 3, අමු ඉඟුරු රාත්තල පනම් 1, සුදුළූනු පැන්ස 2, කොත්තමල්ලි පැන්ස 2, ලුණු බුසල සිලින් 4, වෙඩිලුණු රාත්තල පැන්ස 6 සිට සිලින් 1, මෙරට අබ සේරුව පනම් 2, ගම්මිරිස් සේරුව පනම් 4, කහ රාත්තල පනම් 2, රටළූනු රාත්තල පනම් 4 සිට පැන්ස 9, මෙරට ඒවා තුට්ටු 3, දෙහි 100 පනම් 2, අර්තාපල් රාත්තල පනම් 3 සිට 4. උම්බලකඩ 12 පනම් 3 සිට රිදී 5, පොල්තෙල් සේරුව පැන්ස 10 1/2, දුම්තෙල් සේරුව සිලින් 2 පනම් 2, පුනක්කු රාත්තල තුට්ටු 2.

ලක්මිණි පහණ පුවත්පත වරින්වර නැවතී 1936 ජනවාරි 21 දින කුමාරතුංග මුනිදාස මහතාගේ සංස්කරණයෙන් අවසන් පත්‍රය නිකුත් විය.

පළමු අවදිය - 1862 සැප්තැම්බර් 11 අරඹා වසර 1 යි මාස 08 ක් ප්‍රකාශයට පත්වී ඇත. ආරම්භක කර්තෘ ජොහැන්නස් පණ්ඩිතතිලක කොග්ගල ගුරුතුමා, පසුව බටුවන්තුඩාවේ රාජකීය පඬිතුමා- මිල පනමයි.

දෙවන අවදිය - 1864 මැයි 25 අරඹයි. ප්‍රමාණය අඟල් 12 ½ x 8 පිටු 08 යි. මිල පැන්ස 02 යි. ප්‍රකාශක ජයසූරිය ආරච්චිගේ හෙන්ද්‍රික් ප්‍රෙරේරා. 1865 ජනවාරි 07 දින මේ පුවත්පත නැවතිණි.

තුන්වන අවදිය - 1865 අගෝස්තු 27 යළි ඇරඹිණි. ප්‍රකාශක කොර්නෝලිස් ප්‍රෙරේරා අමරසිංහ අප්පුහාමි. මිල පැන්ස 02 යි. ප්‍රමාණය අඟල් 17 x 11 පිටු 04 යි. වසර තුනකට පසු 1867 මුද්‍රණය නවතා දමා ඇත.

හතරවන අවදිය - 1881 වසරේ ජූනි 22 දින පිටු අටකින් යුතුව ජේ. එච්. පෙරේරා මහතා පත්‍ර 14 ක් ප්‍රකාශයට පත්කර ඇත. ඔහු 1883 අභාවප්‍රාප්ත වූ අතර පත්‍රය නැවතිණි.

පස්වන අවදිය - ජේ. එච්. පෙරේරා මහතාගේ මරණින් පසු ඇම්. ධර්මරත්න රාජකීය පඬිතුමාගේ සංස්කාරකත්වයෙන් 1883 ජූලි මස 15 දින නැවත ඇරඹිණි.

ඔහු 1925 මියයනතුරු නොකඩවා වසර 42 මේ පුවත්පත ඔහු කර්තෘ ධූරය දැරීය.

හයවන අවදිය - 1925 ධර්මරත්න පහන් කතුතුමාගේ අභාවයෙන් පසු නැවතත් කුමාරතුංග මුනිදාස මහතාගේ කර්තෘකමින් 1934 ජූනි 26 දා සිට ප්‍රකාශයට පත් කිරීම ඇරැඹීය.

කොළඹ පංචිකාවත්ත අංක 123 පහන් යන්ත්‍රාලයේ මේ පත්‍රය මුද්‍රණය කර බෙදා හැරීය. 1936 ජනවාරි 21 අවසන් පත්‍රය නිකුත් වූ අතර කුමාරතුංග මුනිදාස මහතාගේ සංස්කරණය යටතේ “ලක්මිණි පහණ” යන නම “ලක්මිණි පහන” යනුවෙන් ණ අකුර වෙනස් විය. ඉතා කෙටි කලක වුවත් මේ සංස්කරණය යටතේ සිංහල භාෂාවට සිදුවූ සේවාව අතිමහත් ය.

ජොහැන්නස් පණ්ඩිතතිලක, කොග්ගල පඬිතුමා

හවුපේ විදානගේ ජොහැන්නස් පණ්ඩිතතිලක, කොග්ගල පඬිතුමා, කොග්ගල ගුරුන්නාන්සේ යන නම්වලින් ද පැවිදිවී සිටියදී කොග්ගල ධම්මතිලක හිමි නමින් ප්‍රසිද්ධ ව සිටි මෙතුමා 1830 දී කොග්ගල බොදුව ගමේ උපත ලබා ඇත.

කොග්ගල දේවගිරි විහාරයේ හිමි නමක් පිණ්ඩපාතය පිණිස බොදුව ගමට ගොස් ඇත. කජු ගසක සිට ඉතා මිහිරි ලෙස සිව් පදයක් ගායනා කළ ළමයකුගේ හඬක් ඇසී මේ ළමයා පිළිබඳ තම ආරාමාධිපති තල් අරඹේ හිමිට දැනුම් දුන් විට ඒ හිමියන් ළමයා ගෙන්වාගෙන කොග්ගල ධම්මතිලක නමින් පැවිදි කරවා ගෙන ඇත.

ඇම්. ධර්මරත්න ලක්මිණි පහන් කතුතුමා

මිහිරිපැන්නේ ධම්මරතන හිමියන් යටතේ අධ්‍යාපනයේ නිරතවී සිටි මේ හිමි ධර්මරතන හිමි අපවත් වීමෙන් පසු වලානේ සිද්ධාර්ථ හිමි වෙතින් ද ධර්මය හැදෑරීය. කාව්‍යකරණයට මුලසිට දක්ෂ මේ හිමිගේ ගුරු හිමිවරයකු වූ මිහිරිපැන්නේ ධම්මරතන හිමි වෙත 1807 වසරේ තෝම්ස් සමරසේකර දිසානායක, ගංගා රෝහණ වර්ණනාව රචනා කොට එහි දොස් ඇතොත් දන්වන ලෙස දැන්වීය.

එහි දොස් දන්වන ලෙස කිහිපවිටක් ඇවිටිලි කළ විට එහි එක් දොසක් පමණක් උන්වහන්සේ පෙන්වා දුන්හ. සරම් මුදලිතුමාගේ ගුණ පිළිබඳ වර්ණනා කොට ඇති සිලෝවක ඔහුගේ නම ‘සරම්’ නොව ‘සරදම්’ වන්නේ යැයි දැන්වීය.

අවුරුදු ගණනාවකට පසු ‘1851 දී සිදත් සඟරාව’ ඉංග්‍රීසියට පරිවර්තනය කොට පළ කළ ජේම්ස් අල්විස් මහතා ඒ ග්‍රන්ථයේ සංඥාපනයේ මේ ‘සව්සත්දම් වාදය’ පිළිබඳ නැවත සඳහන් කරමින් මිහිරිපැන්නේ ධම්මරතන හිමිගේ මතය වැරදි බව දැන්වීය. මෙයට පිළිතුරු දීමට ඒ වන විට මිහිරිපැන්නේ ධම්මරතන හිමි ජීවතුන් අතර නොසිටි බැවින් ඔහුගේ ගෝල හිමිනමක් වූ කොග්ගල ධම්මතිලක හිමි මෙයට ඉදිරිපත්වී 1854 ශාස්ත්‍රාලංකාර මාසික සඟරාව මගින් ලිපි කවි ඉදිරිපත් කරමින් පිළිතුරු දුන්හ.

මෙයට ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වූ පිරිස ‘යතලබ’ සඟරාව මඟින් ලිපි කවි සපයමින් පිළිතුරු දුන්හ. මේ වාදය ‘සව්සත්දම් වාදය’ නමින් එකල ගිහි පැවිදි උගතුන් අතර මහත් ප්‍රසිද්ධියකට ප්‍රබෝධයකට හේතු විය.

පසු කලෙක සිවුරු අත්හරින කොග්ගල ධම්මතිලක හිමිට කොග්ගල පඬිතුමා ලෙස ජනයා ව්‍යවහාර කරන්න විය. මාතර, පඹුරණ සුසානා සේනාරත්න සමඟ විවාහ වී මාතර ප්‍රදේශයේ විසුවේය. මාතර ප්‍රදේශයේ බොහෝ දෙනකුට ධර්මය පිළිබඳ දැනුම ලබා දුන්නේ ය.

1860 ගාල්ලේ ලංකාලෝක පුවත්පත මුද්‍රණය කළ ද එය රජයේ ලියාපදිංචිවී තිබුණේ නැත. 1862 වසරේදී අරඹන ලක්මිණි පහණ පුවත්පතේ ආරම්භක කර්තෘ ධුරය ලැබෙන්නේ මේ කොග්ගල ජොහැන්නස් පණ්ඩිතතිලක ගුරුතුමාටයි. 1863 ජූලි මස 24 දින ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ‘සිංහල පණ්ඩිත නාමය මෙතුමාට පවරා ඇත. වසර 37ක් වැනි ඉතා කෙටි කාලයක් ජීවත්වූ කොග්ගල පඬිතුමා 1867 මාතර පඹුරණ දී අභාවප්‍රාප්තවී ඇත.

මෙතුමා සරදම් යාගය, සිරිවර්ධන ශතකය, සිරස පාදය, මංගලාෂ්ටකය යන සාහිත්‍ය කෘති හා විවිධ අවස්ථාවල රචනා කරන ලද කවි රැසකි.

1883 සැප්තැම්බර් 15 සිට පුරා වසර 42ක් ලක්මිණිපහණ පත්‍රයේ කර්තෘකම දරමින් ‘පහන් කතුතුමා’ යැයි ප්‍රසිද්ධියට පත් ඇම්. ධර්මරත්න පඬිතුමා වර්ෂ 1846 මැයි මස 1 දින මාතර පිළදුව ගමේදී උපත ලදී. වැවුරුකන්නල විහාරාධිපති වූ වැලිහිටියේ සිරිසුමන හිමි වෙතින් අකුරු ඉගෙනීම ඇරැඹීය.

පසුව හත් හැවිරිදි වියේදී හක්මන කැබිලියපොළ විහාරාධිපති මිරිස්සේ සංඝරක්ඛිත හිමි වෙතින් ‘මාතර ධම්මරතන’ නමින් පැවිදි බව ලැබීය. අඟුල්මඩුවේ ශ්‍රී ජිනරතන හිමි වෙතින් අධ්‍යාපනය හදාරා වැඩිදුර ඉගෙනුමට කොග්ගල සංඝතිස්ස හිමියන් වෙත ගොස් බණ දහම් ධර්ම ශාස්ත්‍ර හැදෑරීය.

වර්ෂ 1872 බුරුම රටට වැඩම කොට එරට භික්ෂූන් වහන්සේලා වෙතින් බුරුම භාෂාවත්, අභිධර්මයත් ඉගෙන එම විෂයන්ගෙන් පණ්ඩිතභාවයට පැමිණ ඒ හිමියෝ බුරුම රටේදී උපසම්පදාව ලැබීය. පසුව 1881 පෙරළා ශ්‍රී ලංකාවට වැඩම කළ අතර පසුව ගිහි ජීවිතයට පත්විය.

මේ කාලයේ භික්ෂූන් වහන්සේලාට හා ගිහියන්ට පාලි භාෂාව හා අභිධර්මය ඉගැන්විය. 1883 සැප්තැම්බර් 15 දින ලක්මිණි පහණ පුවත්පතහි කර්තෘ ධුරය භාරගන්නා මෙතුමා වසර 42ක් මිය යනතුරුම 1925 තෙක් එම පුවත්පත ප්‍රකාශයට පත් කරයි.

මොහු රත්මලාන ප්‍රදේශයේ වාසය කළ අතර දැනට ඔහුගේ මුනුපුරකු ඒ ගමේ වාසය කරයි.

1882-1925 වකවානුවේ ශ්‍රී ලංකාවේ තිබූ ප්‍රධානම පුවත්පත බවට පත්වන්නේ ලක්මිණි පහණයි.

මුනිදාස කුමාරතුංග

1934 ජූනි 26 – 1936 ජනවාරි 21 දක්වා කර්තෘ

‘ග්‍රන්ථ පරීක්‍ෂා’ යනුවෙන් වර්තමාන පුවත්පත්වල ‘පොත්පත් විවේචන’ පළමුව හඳුන්වා දුන්නේ ලක්මිණි පහනින් කුමාරතුංගයන් ය. කටවහර හා ව්‍යක්ත භාෂාව සකස් කර සරල ව පවත්වාගෙන යාමට කුමාරතුංගයන් මඟ හෙළි කළේ ය. ‘ලක්මිණ පහන’ ශාස්ත්‍රීය විශ්වකෝෂයක් බඳු විය. වාද විවාද කීපයක් ලක්මිණි පහනින් පාඨකයා අතට පත් විය.

තිසර මයුර වාදය

චීවර වාදය

අමද්‍ය වාදය

පාරුපන වාදය

සමකාලීන සෙසු පුවත්පත්වල පළ වූ වාද පෞද්ගලික එදිරිවාදිකම් ඔස්සේ ගලා ගිය ද ලක්මිණ පහනින්, එවැන්නකට ඉඩ නොලැබිණි.

 

කොග්ගල පඬිතුමා විසින් අරඹන ලද ලක්මිණි පහණ පත්‍රය ලක්මිණි පහන යැයි එක් අකුරක් වෙනස් කළ කුමාරතුංග මුනිදාසයන් ඒ හේතුව මෙසේ දැක්වීය.

“පහණ යනු ගලට නම් වේ. දම්රුවනුන් මේ පත්‍රය ඇතැම් උද්ධතයන්ගේ හිසට ගලක් මෙන් යෙදූ හෙයින් දෝ පහණ යනු මැ ගත්හ. අපි එතරම් සාහසික නොවම්හ. පහන නම් ප්‍රදීපයයි (ලාම්පුවයි). ප්‍රසන්න බව, පැහැදිලි බව, අඳුර නැති බව, එළිය ඇති බව පහන් යනුවෙන් හැ‍ඟේ‍. එකක් සිතා එකකු එක් ලෙසක් කී කලැ අනෙකක් සිතා අනකුට අන් ලෙසක් කියැ හැකි යැ.”

ලක්මිණි පහන යළි අවශ්‍ය කුමක් සඳහා ද යන්න කුමාරතුංගයන් ඉතා කෙටියෙන් දක්වා ඇත.

ජාතිය නඟාලීමට

භාෂාව නඟාලීමට

ආගම නඟාලීමට

අභිචාරය නඟාලීමට

ලක්මිණි පහනේ එකල පළවී තිබූ වෙළෙඳ දැන්වීමක්

අදහස් නඟාලීමට

බොරුකම් මකාලීමට

කුහකකම් මකාලීමට

දීන බව මකාලීමට

දාස බව මකාලීමට

බැරි බව මකාලීමට

පත්‍රයක් වුව මනා යැ. ඒ සඳහා යැ ලක්මිණි පහන.

ලක්මිණි පහනට එවන ලිපිවල ද භාෂාව කෙරෙහි ඉමහත් සැලකිල්ලක් දැක්වූ කුමාරතුංගයෝ භාෂාව වනසන අසාර ලියුම් මෙහි පළ කළ නොහැකි යැයි සඳහන් කරමින් රචකයාට ගුරුකම් යනුවෙන් කාරණා පහක් ‍ගෙනහැර දැක්වූහ.

1. වාක්‍යයෙහි දී “නමුත්” යනු යොදන්නට එපා

2. “ඇ” කාරය නුසුදුසු තැනැ යොදන්නට එපා

3. වාක්‍යයෙක උක්ත්‍යාඛ්‍යාත සම්බන්ධය දෙදරවන්නට එපා

4. ‘ණ, - න - ළ - ල” භේදය නොසලකා හරින්නට එපා

5. ගම් මැදි වහර යොදන්නට එපා.

සිංහල පුවත්පත් කලාවේ සිරස්තල යෙදීමේ නව රීතියක් කුමාරතුංගයන් ඇති කළේය. වර්තමාන කාලයෙත් ශීර්ෂපාඨ යෙදීම ඇරැඹුවාහු කුමාරතුංගයෝය.

 

ආශ්‍රිත ග්‍රන්ථ :-

කළුකොදයාවේ ප්‍රඥාශේඛර හිමි - සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය

ටී. ඇස්. ධර්ම බන්ධු - සිංහල වීරයෝ 1972,

ආචාර්ය සඳගෝමි කෝපරහේවා - සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ 2012)

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.