කඩදාසියක් පෑනක් ඇති පමණින් නවකතා ලිවිය හැකිද? | සත්මඬල

කඩදාසියක් පෑනක් ඇති පමණින් නවකතා ලිවිය හැකිද?

පොත් කවර සැලැස්ම දැන් වෙන ම කලාවක් බවට පරිවර්තනය වෙමින් පවතී. පොත් ප්‍රකා‍ශකයෝ ඒ සඳහා වෙන ම මුදල් ‍ආයෝජනය කරති. හොඳ කවර නිර්මාණයෙහි ලා නම් දිනා ගත් චිත්‍ර ශිල්පීහු දැන් සිටිති. ඔවුහු කලා කෘතියක් නිර්මාණය කරන්නා සේ සැලකිල්ලෙන් වර්ණ සංයෝග කරමින් කවර නිපදවති.

සිංහල නවකතාකරුවාගේ ගමන මෙරටින් අවසන් විය යුතු නොවේ. අපේ හොඳ කෘති ප්‍රවීණ පරිවර්තකයන් විසින් ඉංග්‍රීසියට නංවනු ලබන්නේ නම් ‘බුකර් සම්මානය’ (Booker prize) වැනි ජාත්‍යන්තර සම්මානයකට වුව හිමිකම් කියන්නට ද අද අවකාශ ඇත. බුකර් සම්මානය ලැබූ නවකතාකරුවන් හතර දෙනකුට ‘නොබෙල් සාහිත්‍ය සම්මානය’ (Nobel prize Literature) ද හිමි වී ඇත.

කොළඹ උපන් මයිකල් ඔන්ඩච්චි ‘The Enlish patient’ නමැති ඉංග්‍රීසි නවකතාව ලියා 1992 දී බුකර් ත්‍යාගය දිනා ගන්නා විට ඒ සම්මානය හැඳින්වුණේ ‘Booker prize’ යන නමින් වුවත් අද එය හැඳින්වෙන්නේ මඳක් වෙනස්ව Man Booker prize යන නමිනි. අද ඊට අනුග්‍රහය දක්වන්නේ Man Group නමැති ප්‍රකාශන සමාගම බැවිනි.

‘මෑන් බුකර්’ සම්මානය ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ නවකතාවලට පමණක් වුවත් නොබෙල් සම්මානය සඳහා පරිවර්තන ද ඉදිරිපත් කළ හැකිය. 2006 දී ‘My Name is Red’ නමැති නවකතාව සඳහා නොබෙල් සම්මානය දිනාගත් ඔර්හාන් පාමුක් (Orhan pamuk) නවකතා ලියන්නේ ඔහුගේ මවුබසින් හෙවත් තුර්කි භාෂාවෙනි.

‘මෑන් ග්‍රෑප්’ ප්‍රකාශන සමාගම 2007 දී ආසියානු ලේඛකයන් උදෙසා පමණක් සම්මානයක් පිහිටුවීය. එය හැඳින්වෙන්නේ Man Asian Literary prize යන නමිනි. ආසියානු ලේඛකයකු විසින් කලින් අවුරුද්දේ ඉංග්‍රීසියෙන් ලියන ලද හෝ ඉංග්‍රීසියට නංවන ලද විශිෂ්ට නවකතාවකට මේ සම්මානයට හිමිකම් කිව හැකිය.

නවකතාව සිංහල සාහිත්‍යයට නව මුහුණුවරක් දෙමින් බටහිර සාහිත්‍යයෙන් එක් වූවකි. බණ කතාවට හුරු වී සිටි සිංහල පාඨකයාට නවකතාව නව මං පෙත් විවර කරන්නට සමත් විය. පසුගිය අඩ සියවසක පමණ කාලයක් තිස්සේ නොයෙක් ආකාරයේ නවකතාවලින් සිංහල සාහිත්‍යය පෝෂණය විණ.

අද බටහිර සාහිත්‍යයෙන් ආභාසය ලබන සිංහල සාහිත්‍යකරුවා එදා ආභාසය ලැබුවේ භාරතීය සාහිත්‍යයෙනි. ‘කව්සිළුමිණ’ වැනි පද්‍ය කාව්‍යත්, ‘අමාවතුර’ වැනි ගද්‍ය කාව්‍යත් නිර්මාණයෙහි ලා කුසලතාවක් දැක්වූ පැරණි සාහිත්‍යකරුවෝ කාව්‍යයේ ‘ආත්මය’ කුමක් දැයි සොයමින් විවිධ මතවාද ගොඩනැඟූහ.

සමහරු කාව්‍යයේ ආත්මය ‘රසය’ යැයි කියූහ. සමහරු ‘රසය’ වෙනුවට ‘අලංකාරය’, ‘ධ්වනිය’, ‘වක්‍රොක්තිය’ හෝ ‘රීතිය’ ආදේශ කරමින් තවත් ආචාර්ය වාද බිහි කළහ. මේ අනුව රසවාදය, අලංකාර වාදය, ධ්වනි වාදය, වක්‍රොක්ති වාදය හා රීති වාදය යනු විසින් මතවාද රාශියක් ම බිහි විණි.

ආත්මයක් ඇත්තේ ප්‍රාණියකුට හෙවත් ජීවියකුට ය. කාව්‍යයට ද ආත්මයක් ඇත්නම් එයින් ගම්‍ය වන්නේ කාව්‍යය ද ප්‍රාණියකු බවයි. පැරණි භාරතීය විචාරකයෝ කාව්‍යය ‘පුරුෂයෙකු’ සේ සලකා කාව්‍යයේ විශිෂ්ටතම ගුණය ඔහුගේ ආත්මය සේ නම් කළහ. කාව්‍යයේ සෙසු අංග ලක්ෂණ කාව්‍යය පුරුෂයාගේ ශරීරය සේ සැලකිණි. මෙහි ලා ‘පුරුෂ’ යන සංකල්පය යෙදුණේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ය.

එක් අතකින් බලන විට නවකතාව ද පුරුෂයකුට උපමා කළ හැකිය. මා සිතන විදියට පුරුෂයකුට ත්‍රිකායක් හෙවත් කායත්‍රයක් ඇත. ‘රූප කාය’ , ‘නිර්මාණ කාය’ හා ‘ගුණ කාය’ යනුවෙන් ඒ කායත්‍රය හැඳින්වීමට මම කැමැත්තෙමි. නවකතාව නමැති පුරුෂයාට ද එවැනි ම කායත්‍රයක් ඇත.

මේ අතුරින් රූප කාය අබිබවා නිර්මාණ කායක් ද නිර්මාණ කාය අබිබවා ගුණ කායක් ද ඇති පුරුෂයාත්, නවකතාවත් මම ඉමහත් සේ අගේ කර සලකමි. ගුණ කායෙන් අග්‍රගණ්‍ය පුරුෂයා ‘හොඳ මිනිසකු’ හෙවත් ‘හොඳ මනුස්සයකු’ හැටියට ද ගුණ කායෙන් පරිපූර්ණ නවකතාව ‘හොඳ නවකතාවක්’ හැටියට ද මම සලකමි.

පුරුෂයාටත්, නවකතාවටත් පොදු මේ කායත්‍රය හඳුන්වා සිංහල නවකතාවකට අපූර්ව නිර්මාණ කායක් හා ගුණ කායක් ආරෝපණය වන්නේ කෙසේ දැයි විමසා බැලීම මගේ අරමුණයි.

‘රූප කාය’ යනුවෙන් හඳුන්වන්නේ යමකුගේ හෝ යමක කායික හැඩ රුවයි. උපදින හැම කෙනකුට ම තමාගේ ම කියා රූප කායක් ඇත. එක් පුද්ගලයකු තවත් පුද්ගලයකුගෙන් වෙන් කර හඳුනා ගැනෙන්නේ ඔවුන්ගේ රූප කාය නිසා ය. කෙනකුගේ උස මහත, පෙනුම හෙවත් මුහුණුවර, සිත් ගන්නා බව ආදි දේහ ලක්ෂණ මේ රූපකායට අයත් ය.

පිරිමින්ගේ රූපකායට වඩා කාන්තාවන්ගේ රූප කාය කවදත් කලාකරුවාගේ සිත් දිනා ගැනීමට සමත් විය. දිට්ඨමංගලිකාව හැඳින්වූ ගුරුළුගෝමීන් ‘ඕ පැහැපත රූපත’ යැයි කීවේ ඇගේ රූප කාය වර්ණනා කරනු පිණිස ය. සැලළිහිණි කවියා ජයවර්ධනපුර කාන්තාවන්ගේ රූප කාය කවියට නඟමින්.

“සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින

නිසි පුළුලුකුල රිය සක යුරු තිසර තන”

යැයි කියයි.

නූතන ගීත රචකයකු සොඳුරු ළඳක දකින්නේ,

“නීල නුවන් මානෙල් මල්

ඇයගේ වත පුන්සඳ වේ” යනුවෙනි.

සිත්තරාගේ සිත ද ඇදී ගියේ සුන්දර කතුන් වෙත ය. සීගිරි ළඳුන්ගේ රූප ලාවණ්‍ය සීගිරි කවියන්ගේ සිත් කොතරම් මන්මත් කළේ ද යන්න එහි කුරුටු ගීවලින් පැහැදිලි වෙයි. ඒ ළඳුන් හැඳින්වීමට ‘දිගැස්සන්’ (දිගු නෙත් ඇති කතුන්), ‘මීලැස්සන්’ (මුවැත්තියකගේ වැනි ඇස් ඇති කතුන්), ‘මහනෙල්වනුන්’ (මහනෙල් පැහැති කතුන්), ‘රන්වනුන්’ (රන්වන් පැහැති කතුන්), ‘හෙළිල්ලඹුයුන්’ (සුදු පැහැති කතුන්) වැනි පද කුරුටු ගීවල යෙදී ඇත.

අන්ද‍රේගේ වුවත් ඇස් ඇදී ගියේ රුසිරෙන් සුරඟනන් වැනි ලියන් වෙත ය.

“ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීර නා

බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආර නා”

අද මෙන්ම එදත් රූප සුන්දරියෝ මිනිසුන්ගේ සිත් දිනා ගත්හ. රූ රැජන එදා හැඳින්වුණේ ‘ජනපද කල්‍යාණි’ හෙවත් ‘දනවු කලණ’ යන නමිනි. එවැනි කාල්‍යාණියක වීමට දේහ ලක්ෂණ පහක් සංයෝග වූ නිසා ඇයට ‘පංච කල්‍යාණිය’ යන නම ද යෙදිණි.

ඇගේ නිල්වන් දිගු කෙස් කලඹ ‘කේශ කල්‍යාණය’ යනුවෙන් ද, ඇගේඅංග පුලාව ඉස්මතු කරන සේ පිහිටි මස් පිඬු ‘මාංස කල්‍යාණය’ යනුවෙන් ද, මුදු සුමුදු සමේ පැහැය ‘ඡවි කල්‍යාණය’ යනුවෙන් ද, මුතු ඇට සේ මනාව පිහිටි වැනි දත් දෙපෙළ ‘අස්ථි කල්‍යාණය’ යනුවෙන් ද, වයසට ගියත් එය නොපෙන්වන ගුණය ‘වයඃකල්‍යාණය’ යනුවෙන් එදා හැඳින්විණ.

අසමාන රූප කායත් ඇති පුරුෂයන් අතුරින් මුල් තැන ලැබෙන්නේ බුදුන් වහන්සේට ය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් ද අසූවක් අනුව්‍යංජනයෙන් ද හෙබි උන්වහන්සේ ‘මහා පුරුෂ’ යන භාරතීය සංකල්පයට අනුගත පුරුෂයෙක් වූහ. මේ දේහ ලක්ෂණ දුටු බමු‍ණෝ උන්වහන්සේ ගැන අනාවැකි පළ කළහ.

රූප කායෙන් හීන ගැහැනුන් හා පිරිමින් කිසිවකුගේ සිත් දිනා ගත්තේ කලාතුරකිනි. කුස රජුගේ විරූපී මුහුණ දුටු පබාවතිය ඔහු යකෙකැයි සිතුවා ය.

“විසුළු මුහුණ දකිමින් එම ස‍ඳේ යා

නැඹුළු යකෙක් මගේ අත ගති තදේ යා”

නවකතාව නමැති පුරුෂයාට ද රූපකායක් ඇත. නවකතාවක දිග, පළල, පිටු ගණන, කවරයේ සැලැස්ම, වර්ණ සංයෝගය, පිට කවරයේ නිමාව මෙන්ම නම ද මේ රූප කායෙහි කොටස් ය.

පොතක අක්ෂර වින්‍යාස‍ය හා පද බෙදීම ද එහි කායට ම අයත් අංගයක් සේ මම දකිමි.

පැරැණියන් පොතක් අතට ගත්තේ එහි රූපකාය බලා නොවේ. එහි නිර්මාණකායක්, ගුණ කායක් ගැන ලබා තිබූ දැනුම අනුවයි. එහෙත් මේ තත්ත්වය දැන් වෙනස් වී ඇත. නවකතාව දැන් වෙළෙඳ පොළේ තවත් වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වී ඇති බැවිනි. රූප කායෙන් පාරිභෝගිකයන්ගේ සිත් ඇද බැඳ ගැනීමට අසමත් වන නවකතාව විකිණෙන්නේ හෙමින් ‍සීරුවේ ය.

පොත් කවර සැලැස්ම දැන් වෙන ම කලාවක් බවට පරිවර්තනය වෙමින් පවතී. පොත් ප්‍රකා‍ශකයෝ ඒ සඳහා වෙන ම මුදල් ‍ආයෝජනය කරති. හොඳ කවර නිර්මාණයෙහි ලා නම් දිනා ගත් චිත්‍ර ශිල්පීහු දැන් සිටිති. ඔවුහු කලා කෘතියක් නිර්මාණය කරන්නා සේ සැලකිල්ලෙන් වර්ණ සංයෝග කරමින් කවර නිපදවති.

නවකතාවේ නමත්, කතුවරයාගේ නමත් යෙදිය යුත්තේ කවර ආකාරයෙන් ද යනු නූතන රූප කායට අයත් ප්‍රශ්නයකි. මෙවර සම්මානයට ඉදිරිපත් වුණු නවකතා අතුරින් සමහරෙක පොතේ නම උඩින් ද කතුවරයාගේ නම යටින් ද යෙදී ඇත. සමහර නවකතාවක කතුවරයාගේ නම උඩින් ද පොතේ නම යටින් ද යොදා ඇත. මේ නම් ලිවීමට යොදා ගන්නා අකුරු වර්ගය මෙන්ම අකුරුවල දිග පළල ද පාඨකයාගේ සිත් දිනා ගැනීමට සමත් වනු ඇත.

නවකතාවක නාමය එහි කතුවරයාගේ නිර්මාණ ශක්තිය කියා පාන පළමු වැනි සාධකය යි. අද පොතකට නමක් දෙන්නේ එදා ‘සියබස්ලකර’, ‘සසදාවත’, ‘කව්සිළුමිණ’, ‘අමාවතුර’, ‘පූජාවලිය’, ‘ගුත්තිලය’ හෝ ‘හංස සංදේශය’ යනුවෙන් නම් දුන් ආකාරයෙන් හෙවත් ‘අප්‍රාණවාචී නාම පාදවලින් නොවේ.

වර්තමානයෙහි ලියැවෙන පොත් අරභයා ද ‘අප්‍රාණවාචී නාම පද’ යෙදිය යුතු යැයි නිර්දේශ කිරීමට පසුගිය දාක ‘සම්මත සිංහල වාර්තාව’ වෑයම් කළත්, අපි ඊට එකහෙළා විරුද්ධ වීමු. ‘කවුඩුව’, ‘වවුලුව’, ‘රුදුරු බලුව’ වැනි නම් වියරණය ගැන පමණක් සිතන ලේඛකයන්ට රුචි වුවත් පොදු පාඨකයන්ට රුචි නොවන හෙයිනි.

සිංහල නවකතාකරුවෝ සිය නිර්මාණ ශක්තිය යොදා ගනිමින් ‘අප්‍රාණවාචී නාම පද’ රීතියෙන් ඈත් වන්නට පටන් ගත්හ. ඔවුහු ‘අප්‍රාණවාචී නාම පද’ වෙනුවට නන් වැදෑරුම් ‘ප්‍රාණවාචී නාම පද’ යොදා ගත්හ.

ඒකවචන නියත නාම පද:

අලුත ගෙනා මනමාලි

සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා

නව යොවුන් මැහැලිය

සහතික කළ බිරිඳ

ඒකවචන පුද්ගල නාම පද

අයිරාංගණී, රෝහිණී

පුංචිරාල, සෙදෝනා

ඩිංගිරි මැණිකා, දෝන කමලාවතී

උන්මාද චිත්‍රා, මල්දෙණියේ සිමියොන්

ඒකවචන අනියත නාම පද

ගැහැනියක්

පස්වෙනියත් පුතෙක්

අපේ කාලයේ වීරයෙක්

ඒකවචන බහුවචන නාම පද

වහල්ලු - මළගිය ඇත්තෝ

කරුමක්කාරයෝ - දෙපා නොලද්දෝ

අටවක පුත්තු - ගැහැනු ළමයි

වාක්‍යාංශ

මළවුන්ගේ අවුරුදු දා

අලුත් මිනිහෙක් ඇවිත්

වාක්‍ය

හෙට එච්චර කළුවර නෑ

යළි උපන්නෙමි

සියල්ලෝ සතුටින් විසිර ගියහ

වාල්මිකී ඔබට කීවේ සීතා

බලන් හරිමි කඩතුරාව

ආවා යහපත යැ

පෙරුම් පුරා බෝසත් මෙදිනා

මගේ නඩුව ඉවරයි

දවස් ගෙවුණා මෙසේ

 

පද්‍ය පාඨ

සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

අත්ත බි‍ඳෙයි පය බුරුලෙන්

සදා මෙලෙස පුර දෙරණේ

 

රූප කාය නිසා කිසිවකුට සමාජයෙහි කැපී පෙනෙන තැනක් ලැබෙන බව ඇත්ත ය. සිනමාව හෝ ටෙලිනාට්‍ය සඳහා නළු නිළියන් තෝරා ගන්නා විට ඔවුන්ගේ රූප කාය නිසැකයෙන් ම බල පා ඇති සැටි පෙනෙයි. එහෙත් එය ඔහු හෝ ඇය ගුණවත් පුරුෂයකු බවට පත් කරන සාධකයක් නොවේ. විසුළු මුහුණක් ඇත්තකු වුවත් කුස රජතුමා පාරමිතා පුරාගෙන යන බෝධිසත්ත්ව ගුණෝපෝත පුරුෂයෙක් විය.

නවකතාවක කවරය හෝ නම ද කොතරම් සිත් ගන්නාසුලු වුවත් ගුණාත්මක නවකතාවක් වීමට එය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. අක්ෂර වින්‍යාසය හෝ පද බෙදීම කොතෙක් නිවැරදි වුවත් ඒ නිසා ම නවකතාවක් හොඳ නවකතාවක් නොවේ. අක්ෂර වින්‍යාසයේ සදොස් තැන් බහුල වුවහොත් එය ලප කැලැල් සහිත මුහුණක් වැන්න. ලප කැලැල් සහිත මුහුණක් ඇත්තකුට පවා හොඳ මිනිසකු වීමට බාධාවක් නැත. හොඳ මිනිසෙකු මෙන්ම හොඳ නවකතාවක් ද බිහි වන්නේ රූප කායට වඩා නිර්මාණ කායත් ගුණ කායත් නිසා ය.

‘නිර්මාණ කාය’ යනු කුමක් ද? පුරුෂයකුගේ ‘නිර්මාණ කාය’ යන්නෙන් මා අදහස් කරන්නේ සිත, කය හා වචනය යන තුන් දොරින් ඔහුට කළ හැකි දේයි. කළ හැකි නිර්මාණ යි. බැලූ බැල්මට සමහර නිර්මාණ කෙරෙන්නේ කයින් හෝ වචනයෙන් හෝ පමණ යැයි පෙනුණත් ඒ සියල්ලට මුල් වන්නේ සිත බව අපට අමතක වෙයි. එබැවින් හැම නිර්මාණයක මූල්‍ය සිත හා බැඳී පවතියි.

ධාවන ශූරයා, පිහිනුම්කරුවා ‍ හෝ ක්‍රිකට් ක්‍රීඩකයා යෙදී සිටින්නේ එක්තරා විදියක කායික නිර්මාණයක ය. එහෙත් ඔහුගේ හෝ ඇයගේ ජයග්‍රහණය රඳා පවතින්නේ හුදෙක් කායික ශක්තිය මත නොව සිත විසින් මෙහෙයවනු ලබන කායික ශක්තියක ය.

පන්දුවකට පහර දෙන්නේ අතින් ගත් පිත්තකින් වුවත් ඊට පහර දෙනවා ද නැද්ද යන්න එක් නිමේෂයකින් තීරණය කරන්නේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සිත යි.

වේදිකාවේ රඟන නළඟන සිය අඟ පසඟ නිර්මාණ කාර්යයක යොදයි. ඇය සිය සිරුර සලන සැටි දකින ප්‍රේක්ෂකයාට නැඟෙන්නේ සුළඟට සෙලවෙන පහන් සිළු යි.

“සැලෙන පහන් සිළු වැනි රඟන ලිය සැදී”

යනුවෙන් සැලලිහිණි සන්දේශකරුවා කීවේ එබැවිනි.

වීණා වාදකයා සිය ඇඟිලි තුඩුවලින් සත්සර රාවයක් නංවන්නට සමත් වන්නේ ඔහුගේ නිර්මාණ කෞශල්‍යය නිසා ය. ගුත්තිල ඇදුරන්ගේ වීණා වාදනය අසා හුරු පුරුදු අඳ මවු පිය දෙදෙනාට මූසිලයන්ගේ වීණා වාදනය ඇසුණු විට හිතුණේ ‘කතී වෙණ මීයෙන’ කියා යි. ගුත්තිල ඇදුරිඳුගේ වාද්‍ය කෞශල්‍යයට අසන්නන් කොතරම් වසඟ වූයේ ද යත් ‘නොදනිත් දරුවන් ඇකයෙන් වැටුණා’ යැයි ගුත්තිල කවියා කීවේය.

සිත්තරා රේඛා හා වර්ණ සං‍යෝගයෙන් අපූර්ව නිර්මාණයක් මවන්නා සෙයින් මූර්ති ශිල්පියා ද දෑසින් දෑතත් යොදා ගනිමින් ද අපූර්ව කලා කෘති නිපදවයි. අනුරාධපුරයේ සමාධි පිළිමයත්, අවුකන හිටි පිළිමයත් පොලොන්නරුවේ ගල් විහාර පිළිමත් සිංහල කැටයම් ශිල්පියාගේ අසාමාන්‍ය නිර්මාණ කුසලතා පිළිබිඹු කරයි.

බුදුන් වහන්සේගේ නිර්මාණ කුසලතා යොමු වූයේ ලෝකයේ යථාර්ථය පොදු ජනයාට අව‍බෝධ කරවා ඔහුට විමුක්තියක් ලබාදෙනු පිණිස ය. උන්වහන්සේ සත්‍යය සතර වැදෑරුම් කොට දක්වා සිත් හි ඇවිළෙන ගිනි නිවා ගන්නා මාර්ගය අංග අටකින් යුක්ත කොට දැක්වූහ. සිය නැණ නුවණ මෙහෙයවීමෙන් ම ලබා ගත් මේ දැනුම පොදු ජනයාට වැටහෙන අයුරින් කියා දීම ද උන් වහන්සේගේ නිර්මාණ කුසලතාවට දෙස් දෙයි. ඒ දෙසුමකට සවන් දුන් සැදැහැවත්තු දහස් ගණනින් නිවන් මඟට පිළිපන්හ.

මිනිසාට මෙන්ම නවකතාවට ද නිර්මාණ කායක් ඇතැයි මට සිතේ. නවකතාවක නිර්මාණ කාය ලක්ෂණ කීපයක් මත රඳා පවතියි.

පළමුවැන්න: නවකතාවක ගැබ් වන අනුභූතියෙහි ඇති අපූර්වතාව යි. මෙහි ‘අනුභූතිය’ (මෙහි නිවැරදි අක්ෂර වින්‍යාසය අනුභූතිය’ යැයි සංස්කෘත පඬිවරු කියති) යන්නෙන් අදහස් කෙරෙන්නේ නවකතාවෙන් ඉදිරිපත් ‍කෙරෙන අත්දැකීම් සමුදාය යි. අප කාට කාටත් අනන්තාපරිමාණ අත්දැකීම් සමුදායක් ඇත. උපන් දා සිට ලැබෙන මේ අත්දැකීම් අතරින් සමහරෙක් කාටත් පොදු ය. ඒවායෙහි කිසිදු අමුත්තක් හෝ අපූර්වත්වයක් නැත. එබැවින් නවකතාකරුවා වෑයම් කළ යුත්තේ දුර්ලභ අත්දැකීම් සමූහයක් පාඨකයාගේ අත්දැකීම් සම්භාරයට එක් කර ජීවිතය පිළිබඳ පාඨකයාගේ අවබෝධය තව තවත් පුළුල් කිරීමට යි.

‘ගෙන්ජි මොනොගතරි’ නම් ජපන් නවකතාව ලියූ මුරසකි ශිකිබු ආරි‍යාව කියා සිටියේ තමා ලැබූ කිසියම් අපූර්ව අත්දැකීමක් වෙනත් අයට නොකියා මිය යෑම නොයෙදේ යැයි තමාට දැඩිව සිතේ නම් ඒ අත්දැකීම සාහිත්‍ය නිර්මාණයක් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු බව යි.

ලෙඩෙක් මරණාසන්නව රෝහල් ඇඳක වැතිර සිටියි. ඔහුගේ ප්‍රාණය රඳා පවතින්නේ විදුලි උපකරණවලට පින් සිද්ධ වන්නට ය. ඔහු බලන්නට එන අමුත්තෝ ඔහු සිටින්නේ සිහි නැතුව යැයි සිතා නොයෙක් කතා කරති; ලෙඩා ගැන ම නොයෙක් දේ කියති. මේ සියල්ල ම ලෙඩාට ඇසේ. මේ දුර්ලභ අත්දැකීම වස්තු කොට ගත් හොඳ නවකතාවක් මම මෑතදී කියැවීමි.

දෙවැන්න : නවකතාකරුවා සිය අපූර්ව අත්දැකීම පාඨකයා වෙතට පමුණුවනු පිණිස අමුතුවෙන් ම නිර්මාණය කරන කතා වස්තුව යි. ඒ කතා වස්තුව ඇත්ත කතාවක් නොවේ. බොරු කතාවක් ද නොවේ. මහාචාර්ය සරච්චන්ද්‍ර කියන්නාක් මෙන් ‘ඇත්ත කතාවක් වගේ පෙනෙන බොරු කතාවකි.’ එනම් සත්‍යය ඇසුරින් නිර්මාණය කර ගනු ලබන අසත්‍යයකි. නවකතා අරභයා ‘ප්‍රබන්ධ’ යන නම ලැබෙන්නේ ඒ හේතුවෙනි.

මේ කතා වස්තුව මානව සම්බන්ධතා හෙළි කරන්නක් වුවත් එය මිනිසුන් පිළිබඳ කතා වස්තුවක් ම විය යුතු නොවේ. ඒ කතාවේ චරිත වශයෙන් සතුන් වුව තෝරා ගත හැකිය. නවගත්තේගම ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ නමැති කෙටි නවකතාව ලියුවේ මීයන් හා ගෙම්බබන් වැනි සතුන් පාත්‍ර වර්ගයා කර ගෙන ය.

නවකතා ලියන්නේ මානව සම්බන්ධතාවල අපූර්වත්වය හෙළි පෙහෙළි කිරීමට වුවත් ඒ කතා වස්තුව විකාශනය කිරීමෙහිදී ඊට ඉන්ද්‍රජාලික යථාර්ථයක් ආරෝපණය කිරීමට නිර්මාණශීලී නවකතාකරුවාට පුළුවන. නවගත්තේගම ‘සංසාරාරණයයේ දඩයක්කාරයා’ හා ‘සංසාරාරණ්‍ය අසබඩ’ යන නවකතා දෙක ම මේ මායා යථාර්ථය මැනවින් නිරූපණය කරයි.

එහෙත් සිංහල නවකතාකරුවන් බො‍හෝ දෙනකු සිය කතා වස්තු නිර්මාණය කළේ ගැහැනුන් හා මිනිසුන් ඇසුරු කර ගෙන ය. මාර්ටින් වික්‍රමසිංහ ‘ගම්පෙරළියෙහි’ මැවූ කයිසාරුවත්තේ මුහන්දිරම් මෙන්ම නන්දා හා පියල් ද සැබෑ පුද්ගලයන් නොව සැබෑ පුද්ගලයන් වැන්නෝ යි. ඔහුගේ ‘විරාගයෙහි’ එන අරවින්ද ද අපූර්ව නිර්මිතයකි.

ජී.බී. සේනානායක මැවූ ‘වරදත්ත’, මහාචාර්ය සරච්චන්ද්‍ර මැවූ ‘නොරිකෝ’, මහාචාර්ය සිරි ගුනසිංහ මැවූ ‘ජිනදාස’, කේ. ජයතිලක මැවූ ‘ඉසා’, මඩවල එස්. රත්නායක මැවූ ‘සඳා’, මහගමසේකර මැවූ ‘අබිලිං’, කරුණාසේන ජයලත් මැවූ ‘දම්මි’, ඇරැව්වල නන්දිමිත්‍ර මැවූ ‘මල්දෙණියේ සිමියොන්, නවගත්තේගම මැවූ ‘දඩයක්කාරයා’ මගේ මතකයෙහි අදත් ජීවත් වෙති.

තුන්වැන්න - නවකතාකරුවා සිය කතා වස්තුව ඉදිරිපත් කිරීමට යොදා ගන්නා දෘෂ්ටිකෝණය යි. මෙවැනි දෘෂ්ටිකෝණ දෙකක් සිංහල නවකතාකරුවෝ උපයෝගී කර ගනිති. එකක්, උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය යි. අනික, ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය යි. සමහරවිට මේ දෘෂ්ටිකෝණ දෙක ම මාරුවෙන් මාරුවට භාවිත කළ අවස්ථා ද ඇත.

කිසියම් පාත්‍රයකුගේ චිත්තාභ්‍යන්තරයෙහි පහළ වන සිතිවිලි කියාපෑමට හොඳම මාර්ගය ‘මම’ යනුවෙන් උත්තම පුරුෂයෙන් කතාව කීම ආරම්භ කිරීමයි. අපට එදිනෙදා ජීවිතයේදී නොයෙක් දෙනා හමුවෙති. අපි ඔවුන්ට කතා කර ‍නොයෙක් දේ කියමු. අපේ කටින් ඒ වචන එළියට ආවත් එවේලෙහි අපේ සිතේ පහළ වන්නේ ඊට ‍වඩා වෙනස් හැඟීම් විය හැකිය.

සමහර නවකතාකරුවෝ එවැනි හැඟීම් ද පාඨකයා‍ වෙත ඉදිරිපත් කරනු පිණිස ‘විඥාන ධාරා’ ශෛලිය උපයෝගි කර ගනිති. සමාජ චර්යාව හා චිත්ත ස්වාභාවය අතර පවත්නා සහ සම්බන්ධතාව කියාපෑමට මේ ශෛලිය උපකාරී වෙයි.

සතරවැන්න: නවකතාකරුවා සිය නිර්මාණය බිහි කරනු පිණිස වචන මාධ්‍යය ‍කර ගන්නා විලාසයයි. භාෂාව නිර්මාණාත්මකව භාවිත කිරීමට දැනුමක්, නුවණක් හා පරිචයක් ඇති නවකතාකරුවකුට බසෙන් කළ හැකි දස්කම් අපමණ ය. සිංහල භාෂාවට නව මුහුණුවරක් දීමෙහිලා පුරෝගාමී වූවෝ නවකතාකරුවෝ යි.

නවකතා රචනය සඳහා රීති දෙකක් සමකාලීන සිංහලයෙහි වෙයි. පළමු වැන්න, ලේඛන රීතිය යනු ආදී කාලයෙහි සිට සම්භාව්‍ය සාහිත්‍ය නිර්මාණය සඳහා යොදා ගත් රීතියයි.

පියදාස සිරිසේන වැනි මුල් ම සිංහල නවකතාකරුවන් කෘතිය පුරා ම ලේඛන රීතිය යොදා ගත්තත් ඊට පසුව ආ නවකතාකරුවෝ සංවාද සඳහා පමණක් භාෂණ රීතිය ද ආඛ්‍යානය සඳහා පමණක් ලේඛන රීතිය යොදා ගත්හ. සංවාදය සඳහා ලේඛන රීතිය යෙදීමෙන් නවකතාවේ තාත්විකත්වය බිඳ වැටෙන බව කාටත් දැනුණු හෙයිනි. දැන් දැන් සමහර නවකතාකරුවෝ සංවාද සඳහා පමණක් නොව ආඛ්‍යානය සඳහා ද භාෂණ රීතිය ම උපයෝගී කර ගනිති.

නවකතාවක නිර්මාණ කාය සුවිශේෂ වන්නේ නවකතාකරුවා සතු ප්‍රතිභා ශක්තිය නිසා ය. ප්‍රතිභාව යනු අපූර්ව වස්තු නිර්මාණයෙහි ලා ඇති ප්‍රඥාව වශයෙන් පැරණි භාරතීය විචාරකයෝ හැඳින්වූහ. ජීවිතය නමැති තක්සලාවෙන් ලබන නැණ නුවණත්, කල්පනා ශක්තියත් නවකතාවේ නිර්මාණ කාය විශිෂ්ටත්වයට පත් කරයි.

‘ගුණ කාය’ යන්නෙන් මා අදහස් කරන්නේ පුරුෂයෙකු කෙරේ පිහිටන සදාචාර සම්පන්න ගුණ සමුදාය යි. ගුණ අතුරෙහි ‘සද්ගුණ’ මෙන්ම ‘දුර්ගුණ’ ද ඇතත් මෙහි ලා ‘ගුණ කාය’ යන පදය වෙසෙසින් ම යෙදෙන්නේ ‘සද්ගුණ කාය’ හඳුන්වනු පිණිස ය. හැම ආගම දහමකින්ම ම කෙරෙන්නේ මේ ගුණ කාය වර්ධනය කර ගැනීමට මඟ පෙන්වීමකි.

හැම පෘථග්ජන පුරුෂයකුගේ ම සිතේ ක්ෂණයක් ක්ෂණයක් පාසා මනෝභාව ඇති වෙයි; නැති වෙයි. මින් සමහෙරෙක් මිනිසාගේ හිත සුව පිණිස වෙයි. ආදරය, දයාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, අනුකම්පාව, මෛත්‍රිය වැනි මනෝභාව වැන්න. සමහර මනෝභාව මිනිසාට අහිතකර ය. අනර්ථකාරී ය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ද්වේෂය, වෛරය, පළි ගැනීම, අහංකාරය හා උද්ච්චකම වැනි මනෝභාව සමාජය වඩ වඩාත් අසහනයට පත් කරයි.

හිත සුව පිණිස වන මනෝභාව ‘සද්ගුණ’ යනුවෙන් ද එසේ නොවන මනෝභාව ‘දුර්ගුණ’ යනුවෙන් ද හැඳින්විය හැකිය. පෘථග්ජන පුරුෂයා වෑයම් කළ යුත්තේ දුර්ගුණ යටපත් කර සද්ගුණ ඔසොවාලීමට යි. සද්ගුණ කායෙන් හෙබි පුරුෂයා සදාචාරසම්පන්න පුරුෂයෙක් වෙයි. සමාජයේ සාමකාමී සහජීවනයක් ඇති වන්නේ සදාචාරසම්පන්න මිනිසුන්ගෙනි.

පැරණි සිංහල බණ කතාකරුවා වර්ණනා කළේ බුදුන් වහන්සේ කෙරේ පිහිටි අනන්‍ය සාධාරණ ගුණ කායයි. ‘බුදු ගුණ අනන්ත බැවින්’ ඒ ‘හැම කියත් නොපිළිවනින්’ ඉන් එක් ගුණයක් තෝරාගෙන ‘හුදී ජනන් සඳහා සියබසින්’ අමාවතුර ලියූ ගුරුළුගෝමීන් මෙනි. පොදු ජනයාගේ සිත් සතන්හි පහන් සංවේගය උපදවා ඔවුන් ‘හොඳ මිනිසුන්’ කිරීම සිංහල බණ කතා සාහිත්‍යයෙහි අරමුණ විය.

නවකතාවක ගුණ කාය ද එහි රූප කායත් නිර්මාණ කායත් අබිබවා නැඟ සිටිය යුතුය. මේ ගුණ කාය නවකතාවට පිවිසෙන්නේ එයින් ඉස්මතු වන ජීවන දර්ශනය අනුව ය. නවකතාකරුවා කතාවක් ‍ගොතන්නේ තමාට ලැබුණු අත්දැකීම් සමුදාය අරමුණකින් තොරව කියාපෑමට නොව ඒ අත්දැකීම් මඟින් සමාජය යහමඟට යොමු කරන කිසියම් ජීවන දර්ශනයක් පාඨකයා තුළ ඇති කිරීම සඳහා ය.

නවකතාව යැයි කියන්නේ තමා ලත් අත්දැකීම් සමූහයක් හෝ තමා දන්නා හඳුනන අයගෙන් අසා දැන ගත් අත්දැකීම සමූයක් හෝ එහෙන් මෙහෙන් අහුලා ගත් අත්දැකීම් සමූහයක් හෝ කතාවකට ගැට ගසා කීම පමණක් නම් කඩදාසියකුත් පෑනක් හෝ පැන්සලකුත් ඇති ඕනෑ ම කෙනකුට නවකතාකරුවකු විය හැකිය.

එවැනි නවකතා කියවීමෙන් හුදු විනෝදාස්වාදයක් විනා ඊට වඩා අර්ථවත් රසයක් ලැබිය නොහැකිය. මේ සමහර නවකතා කියවන පාඨකයන්ගේ සිත්වල වෛරය, ක්‍රෝධය හෝ ද්වේෂය තව තවත් කැකෑරෙන්නට පටන් ගනියි. සිත් සනසා ලනු වෙනුවට සිත් තුළ අසහනය උපදවාලීමට එවැනි කතා හේතු වෙයි.

හොඳ නවකතාකරුවා සිය පාඨකයාගේ සිතට අර්ථවත් ජීවන දර්ශනයක් කිඳා බස්සයි. එවැනි නවකතාවක් කියවන පාඨකයා ඒ නවකතාව කියවා අවසන් කරන්නේ සසල වූ හදවතක් ඇතිව ය; බලවත් කම්පනයක් ඇතිව ය; සමහර විට ඇසට නැඟුණු කඳුළක් ද ඇති ව ය.

 
 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.