වාරි කර්මාන්තයේ මහා පරාක්‍රමබාහු ලකුණ | සත්මඬල

වාරි කර්මාන්තයේ මහා පරාක්‍රමබාහු ලකුණ

අහසින් වැටුණු වැසි බිඳක් පවා මනුෂ්‍ය ප්‍රයෝජනයට භාජන නොවී මුහුදට ගලා නොයා යුතුය” යන ඒ සුප්‍රසිද්ධ ප්‍රකාශය එතුමන් විසින් කරන ලදැයි දැක්වෙන්නේ ස්ව රාජ්‍ය සංවර්ධනය පිළිබඳ මේ මූලික අවස්ථාවේ ය

මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් අරඹන ලද බොහෝ වූ ද විවිධ වූ ද ප්‍රතිසංස්කරණ සංවර්ධනය සහ නව නිර්මාණ කාර්යයන්ගේ විධානය සහ කරවීම එකකට එකක් වෙනස්, එහෙත් ළඟ ළඟ ම ඇති කාලපරිච්ඡේද දෙකකට අයිති වෙයි. මින් පළමුවැන්න නම් “සරජ්ජ සමිද්ධිකරණ” නම් වූ චූලවංශයේ 68 වැනි පරිච්ඡේදයෙන් විස්තර කරන ලද එතුමා දක්ඛිණ දේශාධිපතිව සිටි කාලයයි. දෙවැන්න වන්නේ, එතුමා මුළුමහත් දිවයිනට අගරජව සිටි කාලයයි. සිය සුළුපිය කීර්ති ශ්‍රී මේඝයන් ඇවෑමෙන් දක්ෂිණ දේශ නම් වූ සාමාන්ත රාජ්‍යයේ අධිපති පදවියට පත් පැරැකුම්බා කුමාරයෝ, සංඛනායකත්ථලී හෙවත් සංඛනාථත්වලී හෙවත් සංඛත්ථලී නුවර සිය අගනුවර කර ගත්හ. මේ කාලයේදී දක්ඛිණ දේශය උතුරින් කලා ඔයෙන් ද නැ‍ඟෙනහිරින් මාතලේ දිස්ත්‍රික්කයේ නැ‍ඟෙනහිර භාගයෙන් හා උඩදුම්බර සිට ශ්‍රී පාදය දක්වා පෙදෙසින් ද, දකුණින් බෙන්තර ගඟින් ද මායිම් වූ භූමි භාගයක් විය.

ප්‍රථම යෞවනයෙහි පටන් ම ලංකාවෙහි අගරජ වීමේ ආශාව පරාක්‍රමබාහු කුමාරයන් තුළ බල පැවැත්වූ බව චූලවංශයෙන් පැහැදිලිව පෙනෙයි. එතැන් සිට ඔහු කළ ආර්ථික, දේශපාලනමය හෝ ප්‍රචාරමය සෑම කටයුත්තක්ම ඒ අරමුණ සඳහා එල්ල කරන ලද්දේ ය. දක්ඛිණ දේශයේ අධිපති බවට පත්වීමෙන් පසු හෙතෙම රජරට සහ රුහුණු යන ඉතිරි දෙරාජ්‍යය ජය ගැනීමට සංග්‍රාමයක් කළ යුතු බැවින් ඒ සඳහා ස්වකීය රාජ්‍යය ධනධාන්‍යයෙන් සමෘද්ධිමත් කිරීමෙහි නිරත වූයේ ය. පළමුවෙන් සිය රාජ්‍ය සීමාව වටා බළකොටු ඉදිකරවූ කුමාර තෙමේ ඉන් පසු වාරි කර්මාන්ත තැනවීමට පටන් ගත්තේ ය.

“අහසින් වැටුණු වැසි බිඳක් පවා මනුෂ්‍ය ප්‍රයෝජනයට භාජන නොවී මුහුදට ගලා නොයා යුතුය” යන ඒ සුප්‍රසිද්ධ ප්‍රකාශය එතුමන් විසින් කරන ලදැයි දැක්වෙන්නේ ස්ව රාජ්‍ය සංවර්ධනය පිළිබඳ මේ මූලික අවස්ථාවේ ය. දක්ඛිණ දේශයේ මිනිස් අතින් තැනූ වාරිමාර්ග හෝ මහ වැව් නිසා පැවති කෙත් ස්වල්ප ය. කුඹුරුවලින් වැඩි කොටසකට ජලය ලැබුණේ ගම්බද කුඩා වැව්වල එකතු කර ගනු ලබන වැසි දියරෙනි. විශේෂයෙන් පෙදෙසේ ඉඩම්වලින් සැලකිය යුතු කොටසක් මඩ වගුරු, ඝන වනාන්තර හා කඳු හෙල්වලින් යුක්ත විය. පරාක්‍රමබාහු කුමාරයන් වෙත පැවැරුණු ප්‍රථම මහා කාර්යය වූයේ ලොකු ගඟක් බැඳ දිය රැඳවීමයි. මේ සඳහා එතුමා ජජ්ජර නදිය (දැදුරු ඔය) තෝරා ගත්තේ ය.

මේ ගඟ හරස්කර තුන් පළකින් අමුණු බැඳ මොවු ඇළවල් තුනක් තනවන ලද්දේ ය. මින් ප්‍රථම වූ ද ග‍ඟේ පහතින් ම පිහිටියා වූ ද අමුණ “කොට්ඨ බද්ධ” නමින් හඳුන්වන ලදී. නෂ්ටාවශිෂ්ටව පැවැති පුරාණ කර්මාන්තයක් වූ මෙය නඩත්තු කරලීම පෙරකල් සිංහල නරපතියන්ට දුෂ්කර කාර්යයක් විය.

මෙය ප්‍රතිසංස්කරණය කර ස්ථිරව පවත්වා ගැනීමේ දුෂ්කරකම් පරාක්‍රමබාහු කුමරුන්ගේ කර්මාන්ත ශිල්පීන් විසින් එතුමාට විස්තර කර දෙන ලද නමුත් නොපසුබස්නා ධෛර්යයෙන් යුත් කුමාර තෙමේ ඒ කාර්යය කිරීමෙහි ඔවුන් යුහු කළේ ය. “පළමු කොට අමුණු බිමේ සිට රත්තකාර ජනපදය දක්වා පළල් වූ ද ගැඹුරු වූ ද තහවුරු වූ ද මොවු ඇළක් කප්පවා ඉන්පසු මනා ලෙස ද ශක්තිමත් ලෙස ද අමුණු බැම්ම බැඳවීමට පටන් ගන්නා ලදී. නොපෙනෙන්නා වූ ශෛල සන්ධි ඇති, ගන ගල්තලාවක් සේ ස්ථිර වූ එක ගන වූ මේ බැම්ම හුනු පිරියම් කර නිමවන ලද්දේ ය. මේ බැම්මෙන් අන් අතකට හරවන ලද වතුර ඇළ දිගේ මුහුදට ගලා බස්වන ලදී. ඇළ දෙපසෙහි මහා පෙදෙසක් එළිකර කෙත් කරවන ලදී. මින්පසු මේ මුළු මහත් පෙදෙස කොට්ඨබද්ධ යන නමින් ව්‍යවහාරයට පැමිණියේ ය. මෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ විස්තර පසුව සඳහන් වනු ඇත.

ගඟ සම්බන්ධ කර කරවන ලද දෙවන වාරි කර්මාන්තය වූයේ සංඛවඩ්ඪමානක (හක්වටුන ඔය) සහ කුම්භීලවාන (කිඹුල්වාන ඔය) යන අතු ගංගාවල සම්භෙද ස්ථානය වූ සූකර නිජ්ජරයෙහි අමුණක් බැඳවීමයි. මේ අමුණේ සිට ඇළක් මඟින් මහාගල්ලක වාපියට (නිකවැරටියේ පිහිටි මීට දැන් මාගල්ල වැව යයි කියනු ලැබේ) ජලය ගෙන යන ලදී. මේ වැව වූ කලි ඊට අවුරුදු 850 කට පමණ පෙර මහසෙන් රජු විසින් තනවන ලද්දකි. මේ වැවේ වේල්ල ශක්තිමත් කර, අලුත් ඇළෙන් ගෙන එනු ලබන ජලය රඳවා ගැනීමට හා පිට කිරීමට හැකි වන සේ එහි සොරොව්ව විශාල කරන ලදී.

දැදුරු ඔය සම්බන්ධ කර නිමවන තුන්වැනි වාරි කර්මාන්තය නම් දෝරදත්තික නම් ස්ථානයෙහි අමුණක් බැඳ, එතැන් සිට සූකර නිජ්ජරය (දෙවැනි අමුණ පිහිටි ස්ථානය) දක්වා පෙදෙස කෙත් කළ හැකි වන සේ ඒ අමුණේ ඇළක් තැනවීමයි. මේ නිසා මේ තුන්වැනි කර්මාන්තය පිහිටියේ දෙවැන්නට වඩා ග‍ඟේ ඉස් මත්තෙනි. (පාදෙණිය අනුරාධපුර පාරේ දැදුරු ඔය පාදිය මංකඩේ සිට පැතැපුම් 4ක් පමණ ඊසාන දිගින් පිහිටි කැඩී පාළුවට ගොස් ඇති තලගල්ල වැව යැයි කොඩ්රිංටන් සලකන) තිල ගල්ලක වැව ප්‍රතිසංස්කරණය කිරීම මේ තුන්වැනි කර්මාන්තයට අවශ්‍ය උප කර්මාන්තයක් විය. මේ වැවේ ප්‍රතිසංස්කරණය ද වංශ කතාවල සඳහන්ව ඇත්තේ ය.

යට කී දෙවැනි සහ තුන්වැනි කර්මාන්තවල නෂ්ටාවශේෂ මේ දක්වා දක්නට ඇති හෙයින් ඒ අමුණු කවරේ දැයි හඳුනා ගැනීම දුෂ්කර නොවේ. 1889දී පාකර් විසින් දැදුරු ඔය නිම්නය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සපයන ලදී. පාකර්ගේ පරීක්ෂණයට භාජන වූ කර්මාන්තවල අතීත හා මෑත ඉතිහාසය බ්‍රෝහියර් විසින් එක්කර සකස් කරන ලද්දේ ය. හක්වටුන ඔය සහ කිඹුල්වාන ඔයත් එක්වන දෙමෝදර අසල ම ඊට පහතින් පැරැණි අමුණු බැම්මක් විය. වංශ කතාවල “සූකර නිජ්ජර’ යනුවෙන් සඳහන් කරන ලද්දේ මේ ස්ථානයයි. 1889දී එය පැවැති තත්ත්වය පාකර් මෙසේ විස්තර කරයි.

“ගලින් කරන ලද ශක්තිමත් බැම්මක් වූ මෙහි දිග අඩි 280 කි. ගැඹුරු තැන්වල එහි උස අඩි 15 ක් වන අතර, පළල අඩි 33 සිට 57 දක්වා විවිධ වෙයි. ග‍ඟේ නැම්මක් නිසා, රළ පහර වැදීමට භාජන වන බැම්මේ දකුණු කොටසේ දික් වූ ද, උල් වූ ද ගල් පේළි 5ක් ඇත්තේ ය. මීට යටින් ඇත්තේ පිළිවෙළකට නැති රළු ගල් පේළි ය. බැම්මේ උතුරු කොටස මුදුනෙහි පිහිටි පැතැලි රළු ගල් පෙළ හැරුණු විට ලොකු රළු ගල් කුළු හා ඒ අතර අඩුක්කු කරන ලද කුඩා ගල්වලින් යුක්ත විය. මෙයින් ලොකු ගල් සමහරෙක් බරින් ටොන් 10 ½ ක් පමණ ය. බැම්මේ කවර කොටසක හෝ බදාමක් පෙනෙන්නට නැත. ග‍ඟේ උතුරු ඉවුරෙන් බැම්මට ‍මඳක් ඉහළින් ඇළක් කපන ලද්දේ ය. එය කොතැනකට වැටී තිබුණේ දැයි හරිහැටි නොදන්නා නමුත්, දැදුරු ඔයේ උතුරු පස පිහිටි තලගල වැවට ජලය ගෙන යෑමට ද, ඇළටත්, ගඟටත් අතර පිහිටි බිම් පෙදෙසට දියවර සැපැයීමට ද මෙය කරවන ලදැයි විශ්වාස කරනු ලැබේ. ජනශ්‍රැතියෙන් ද මේ විශ්වාසයට අනුබල ලැබේ.”

දෙමෝදරදී අමුණින් බැඳ රඳවා ගන්නා ලද ජලය, ඇළක් දිගේ තලගල්ල වැව දක්වා ගෙන යන ලදී. මෙහිදී වැඩි වතුර ඒ වැවේ පිටවානෙන් පිටව තලගල්ල ඇළ නමැති දිය පාර දිගේ එබවලපිටියේදී (පාදෙණිය - අනුරාධපුර පාරේ දැදුරු ඔය පාදිය මංකඩින් සැතැපුමක් පමණ බටහිරට මෙය පිහිටියේ ය) යළිත් දැදුරු ඔයට එක්වන සේ ගලා යෑමට සලස්වන ලදී. එහෙත් මෙහිදී වඩා විශාල අමුණු බැම්මකින් ඒ ජලය බැඳ රඳවා දැන් රිදීබැඳ ඇළ නමින් හැඳින්වෙන ඇළ දිගේ මාගල්ල වැව කරා ගෙන යන ලද්දේ ය. එබවලපිටියේ පිහිටි නෂ්ටාව ශිෂ්ට අමුණ පාකර් විසින් මෙසේ විස්තර කරනු ලබයි. “මෙය ලක්දිව විශිෂ්ටතම අමුණක්ව පැවැති බව දැනට දක්නා ලැබෙන නෂ්ටාවශේෂවලින් පැහැදිලි වෙයි. මිගල්ලා වැවට වතුර ගෙන යෑම අරමුණු කර තනන ලද මේ ඇළේ (රිදීබැඳි ඇළේ) දිග සැතැපුම් 8 ½ ක් වීය යනු මගේ විශ්වාසයයි. අමුණ දිගින් අඩි 360 ක් ද පළලින් අඩි 40 ක් ද වේ. ගඟ මැද අඩි 135 ක හරියක් සම්පූර්ණයෙන් ම සෝදා ගොස් ඇත්තේ ය.

මුදුනෙහි සහ පැතිවල ඇති ගල මනාසේ කපා හුනු බදාමෙන් සවිකර තිබේ. ගල් සන්ධි අඟල් 1 ¼ කට වැඩියෙන් පළල් වන්නේ කලාතුරෙකිනි. යටිගං පැත්තේ මුහුණතෙහි ගල් ඉතා පරිස්සමින් ද, අති දක්ෂ ලෙස ද පුරුද්දා ඇත. බැම්ම ඇතුළත වැඩ සාමාන්‍ය වූ ද ඔපමට්ටම් නොකළා වූ ද ගල් කැබැලි ඉතා ඉස්තරම් හුනු බදාමෙන් සවි කිරීමෙන් නිමවනු ලැබීය. මෙයින් පෙනී යන කරුණක් නම් මේ කාර්යය, එයින් ජලය සපයනු ලබන වැවට වඩා බොහෝ මෑත කාලයක කරන ලද්දක් බව ය.”

මාගල්ල වැවට ඇතුළු වන්නා වූ එක ම ඇළ නම් එබවලපිටිය අමුණෙන් නික්මෙන රිදීබැඳි ඇළයි. මේ නිසා මෙය ඒකාන්තයෙන් ම පරාක්‍රමබාහු මහරජතුමා විසින් දැදුරු ඔයේ කරවන ලද දෙවැනි වාරි කර්මාන්තය වෙයි. එහෙත් දෙවැනි කර්මාන්තය (සූකර නිජජ්ර අමුණ, ඇළ, මහාගල්ල වැව, එබවලපිටිය අමුණ, රිදී බැඳි ඇළ, මාගල්ල වැව) සහ තුන්වැනි කර්මාන්තය (දෝරදත්තික අමුණ - ඇළ - සූකර - නිජ්ජර - දෙමෝදර අමුණ - ඇ - තලගල්ල වැව - එබවලපිටිය) වෙන් වෙන් කර්මාන්ත වශයෙන් සලකන වංශකතාව දෙවැනි කර්මාන්තයේ අමුණ, හක්වටුන ඔය සහ කිඹුල්වාන ඔය එක්වන නදීසංගමය අසල පිහිටි බව දැක්වීමෙන් ඒවායේ ආරම්භ ස්ථාන පටලවා ගනී. ඩී. ඇස්. සේනානායක මහතා කෘෂිකර්ම අමාත්‍යව සිටි කාලයේ එතුමාගේ නියෝගයෙන් රිදී බැඳි ඇළ මෑතදී ප්‍රතිසංස්කරණය කරන ලදී. එහෙත් මේ නව ප්‍රතිසංස්කරණයට එබවලපිටියේ පැරැණි අමුණ ඇතුළත් නොකර, සැතැපුම් 2 ½ ක් පමණ ඉහළින් අලුත් අමුණක් බඳවන ලද්දේ ය. මාගල්ල වෑ කණ්ඩියේ දැන් දිග සැතපුමකට මඳක් වැඩි ය. වැවේ ජලය අල්ලන ප්‍රමාණය අක්කර අඩි 620 ක් වෙයි. ජලයෙන් වගා කළ හැකි වපසරිය අක්කර 5000 කි.

පරාක්‍රමබාහු විසින් දැදුරු ඔයේ කරන ලද ප්‍රථම කර්මාන්තය (කොට්ඨබද්ද - රත්තකර) පිහිටි ස්ථානය දැන් සලකා බැලිය යුතුය. ඉතා ශක්තිමත් වූ ද සහ තා තිර වූ ද බැම්මක් අවශ්‍ය වූ බව ද එයින් නික්මුණු ඇළ මුහුද තෙක් ජලය ගෙන ගිය බව ද චූලවංශය සඳහන් කරයි. මේ දෙකරුණ නිසා මේ අමුණු බැම්ම කුරුණෑගල, පුත්තලම් දිස්ත්‍රික්ක සීමාවෙහි ග‍ඟේ පහළ පෙදෙසේ ස්ථානයක පැවැති බවට නිගමනය කට හැකි වෙයි. බත්තුළු ඔය අවට (හලාවතට සැතපුම් 10ක් උතුරින්) පිහිටි වැව් “කලාගමු ඔයේ රත්තම්බල ඔයේ සහ අප විසින් සෙංගල් ඔය යැයි කියනු ලබන දැදුරු ඔයේ අත්තේ ජලයෙන් පිරුණු” බව ද “හලාවත සහ ගඟත් අතර පිහිටි මුළු බිම් පෙදෙසට ම දියවර සැපයීමට ප්‍රමාණවත් ජලයක් ගෙනා දැදුරු ඔයේ සිට මුන්නේස්සරම් වැවට ආවා වූ තවත් ඇළක් තිබුණු” බව ද බ්‍රෝහියර් පවසයි. කොට්ඨබද්ධ මහ අමුණෙහි කිසිදු නෂ්ටාවශේෂයක් දැනට දක්නට නැත. පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ ද එය කැඩී බිඳී තිබුණි. බැම්ම කල් නොපවත්නේ යැයි එතුමන්ගේ කර්මාන්ත ශිල්පීන් පළ කළ කුකුස අවුරුදු ස්වල්පයකදී සැබෑ වූවාක් සේ පෙනී යයි. අද සෙංගල් ඔය ‍යනුවෙන් හැඳින්වෙන්නේ යටකී ඇළෙන් කොටසක් යැයි හේතු සහිතව නිගමනය කළ හැකිය. මේ නිගමනය සැබෑ නම් රත්තම්බල ඔය සහ දැදුරු ඔය අතර භූමි භාගය පරාක්‍රමබාහු යුගයේ කොට්ඨබද්ධ ජනපදය බව ඔප්පු වන්නේ ය.

දැදුරු ඔයේ කර්මාන්තයන් අවසන් කිරීමෙන් පසු පරාක්‍රමබාහු රජ තෙමේ, සිය නව අගනුවර වූ පරාක්‍රම පුරය (හෙට්ටිපොළ අසල දැන් පඬුවස්නුවර නමින් හැඳින්වෙන පෙදෙස) වෙත සැලැකිල්ල යොමු කළේ එහි රජමැදුරක් කරවීය. මෙහි පාණ්ඩවාපී හෙවත් පාණ්ඩ වැව යනුවෙන් හැඳින්වුණු පුරාණ වැවක් විය. මේ වැව I වැනි විජයබාහු රජතුමන් විසින් ප්‍රකෘතිමත් කරවන ලදී. කොළමුණ ඔය හරහා සැතැපුම් 1½ පමණ එහි කණ්ඩිය දික්කර එය අඩි 24ක් උස් කිරීමෙන්, අක්කර 1000 සිට 1200 දක්වා බිම් ප්‍රමාණයක් යටවන සේ මේ වැව පැරකුම්බා රජු විසින් ‍බොහෝ සේ විශාල කරවන ලද්දේය. මේ වැව මැද පිහිටි දූපතක එතුමන් විසින් විනෝදය සඳහා තුන්මහල් රජ මැදුරක් ද ගලක් මුදුනෙහි සෑයක් ද කරවන ලදී. (1805 දී මහවතුරකින් කැඩී ගිය මේ බැම්ම තවමත් එසේම පවතී.) අභිනව අගනුවරෙහි පිහිටි මේ වැවට එතුමා, පරාක්‍රම සමුද්‍ර යන නම තැබීය. මේ වනාහි ප්‍රථම පරාක්‍රම සමුද්‍රයයි. මෙය බෑන සමුද්‍ර හෙවත් බෑන යන නමින් ද හඳුන්වනු ලැබේ. එතුමා ලක්දිව අග රජ වූ පසු මීට වඩා බෙහෙවින් විශාල වූ දෙවැනි පරාක්‍රම සමුද්‍රයක් පො‍ලොන්නරුවෙහි කරවීය.

දක්ඛිණ දේසයේ පිහිටි දියුණු කළ යුතු හෝ අලුත්වැඩියා කළ යුතු විශාලතර වැව්වලට ද පැරකුම්බා කුමර තෙමේ සිය අවධානය යොමු කළේ ය. එසේ ප්‍රතිසංස්කරණය ‍හෝ විශාල හෝ කරන ලද වැව් සංඛ්‍යාව 58 කැයි දක්වන චූලවංශය ඉන් 37ක නම් සඳහන් කරයි. මින් මහාගල්ලක සහ තිලගල්ලක වැව් ඉහතින් සඳහන් කරන ලදී. සෙසු වැව්වල නම් මෙසේ ය.

1. සෙට්ඨිවාපි-මෙය ශිරාතලාන කෝරලේ හෙට්ටිපොළ පිහිටියේ ය.

2. වත්තුන්වායි-මෙය කොතැනක පිහිටියේ ද යනු අවිනිශ්චිත ය.

3. තබ්බවාපි-රාජවන්නි පත්තුවේ තබ්බෝව වැව මෙය ය යනු කොඩ්රිංටන් මතයයි. වැව් කණ්ඩිය සැතැපුම් 1 1/8 ක් වන මෙය මහා කර්මාන්තයකි. අක්කර අඩි 7,900 ක ජල ප්‍රමාණයක් රඳවා ගැනීමෙහි පොහොසත් මෙයින් කුඹුරු අක්කර 1057 කට දියවර සැපයෙයි.

4. අම්බවාසාවාපි-නිකවැරැටිය සමීපයෙහි පිහිටි වාසියාව ලෙස කොඩ්රිංටන් විසින් හඳුනා ගනු ලැබීය.

5. ගිරිබාවාපි-පාදෙණිය - අනුරාධපුර පාරේ කලාවැව පාදිය මංකඩින් සැතැපුම් 5ක් බටහිරින් පිහිටි ගිරිබාව මෙය ලෙස කොඩ්රිංටන් විසින් හඳුනා ගනු ලැබ ඇත.

6. පාටලවාපි - (සිංහලෙන් - පළොල් වැව) කොතැනක පිහිටියේදැයි සොයාගන නැත.

7. මංඩිකවාපි-මහවේ සිට සැතැපුම් 3ක් උතුරින් පිහිටි මඩියාව මෙය ය යනු කොඩ්රිංටන් මතයයි. ප්‍රධාන වාරිකර්මාන්තයක් වූ මෙහි කණ්ඩියේ දිග සැතැපුම් 3¼ කි. රඳා සිටින ජලය අකකර අඩි 2,475 කි. වගා කළ හැකි බිම් ප්‍රමාණය අක්කර 958 කි.

8. මෝරවාපි-උතුරුමැද පළාතේ නෑගම්පහ කෝරළේ වයඹ කොනේ කලා ඔයෙන් දකුණෙහි පිහිටි කැඩී ගිය විශාල වැව මෙය විය හැකිය. මෝරවාපි හෙවත් මෝරිය දනව්වට ඒ නම ලැබුණේ මේ වැවෙනි.

9. සාදියග්ගාමවාපි-මහ - නිකවැව පාරේ 20 වන සැතැපුමට සමීපව ඊට උතුරින් පිහිටි දැනට හානිගමුව මහවැව නමින් හඳුන්වනු ලබන වැවයි.

10. මාලවල්ලිවාපි-මාලවල්ලිය නමින් ද හඳුන්වන ලද මෙය හලාවත ආසනයේ පිහිටි මලයවෙල්ලිය විය හැකිය.

11. කාලිවාපි-පිටිගල් කෝරලේ පිහිටි විශාල වාරි කර්මාන්තයක් වන කලියවඩනය යැයි කොඩ්රිංටන් විසින් හඳුනා ගනු ලැබීය. වසභ (127 – 171) රජු විසින් කාලිවාපිය තනවන ලදී. කේලිවාස, කාලිවසා සහ කේළවසා යන නම්වලින් ද මෙය හැඳින්විණි.

12. කත්තකණ්ඩකවාපි-මෙය කුමක් දැයි හඳුනාගෙන නැත.

13. කණ්ණිකාරගල්ලකවාපි-ඉබ්බාගමුව - පොල්පිටිගම පාරේ 13 වන සැතැපුමෙන් සැතැපුම් 4ක් පමණ බටහිරින් පිහිටි කැඩී ගිය වැවක් වන වේලන්ගොල්ල මෙයයි.

14. බුද්ධාගමික නිජ්ජර-මාතලේ දඹුල්ල පාරේ 38 වන සැතැපුමෙන් සැතැපුම් 2ක් පමණ බටහිරින් පිහිටි මැණික්දෙණ මෙයයැයි හඳුනා ගන ඇත. මෙහි ප්‍රතිසංස්කරණ කරන ලද්දේ අමුණකි.

15. සූකරග්ගාමවාපි-කිනියම කෝරලේ දැදුරුඔයේ වම් ඉවුරේ පිහිටි ඌරපොත්ත මෙය යැයි කොඩ්රිංටන් විසින් හඳුනා ගනු ලැබීය.

16. මහාකිරාලවාපි-නිකවැරටියෙන් සැතැපුම් 5 ක් පම උතුරින් පිහිටි මහාගිරිල්ල මෙය ය යනු කොඩ්රිංටන් මතයයි.

17. ගිරියාවාපි-ගල්ගමුව - නිකවැව පාරේ 8 වන සැතැපුමින් නැ‍ඟෙන හිරි අතට පිහිටි ගල්ගිරියාව මෙය යැයි කොඩ්රිංටන් විසින් හඳුනා ගනු ලැබීය.

18. රක්ඛමානවාපි-නිකව ගම්පහේ කෝරළේ මොරගොල්ලාගම සමීපයෙහි පිහිටි දැන් රක්වාන නමින් හැඳින්වෙන වැවයි.

19. අම්බාලවාපි-කුරුණෑගල - පුත්තලම පාරේ 31 වන සැතපුම අසල පිහිටි අම්බාලේ මෙය යැයි කොඩ්රිංටන් කියයි.

20. කටුන්නරුවාපි-මෙය මීට ඉහතින් I විජයබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදී ගල්ගමුව - නිකවැව පාරේ 7 වන සැතපුමින් සැතපුම් 4 ක් පමණ උතුරින් පිහිටි කන්තෝරුව මෙය යැයි සිතිය හැකිය.

21. ජල්ලිබාවවාපි-කුමක්දැයි සොයා ගෙන නැත.

22. උත්තරාලවාපි-කුමක්දැයි සොයා ගෙන නැත.

23. තින්තිනිගාමවාපි-පාදෙනිය - අනුරාධපුර පාරේ 44 වන සැතැපුමේ සිට සැතැපුමක් නැඟෙන හිරින් පිහිට කැඩුණු වැවක් වූ සියඹලාගමුව ලෙස කොඩ්රිංටන් විසින් හඳුනාගනු ලැබීය.

24. ධවලවිත්තිකගාමවාපි (සිංහල: දෙවලවිටිය) කුමක්දැයි සොයා ගන නොමැත.

25. කිරාවාපි-හලාවතින් සැතැපුම් 10ක් නැඟෙනහිරින් පිහිටි කිරාවැවය යනු කොඩ්රිංටන් මතයයි.

26. නළන්නරුවාපි-කුමක්දැයි සොයා ගෙන නැත.

27.කරවිට්ඨවිලත්ථවාපි-බිංගිරිය අසල පිහිටි කරවිට සහ විලට්ටාව වැව් ලෙස කොඩ්රිංටන් විසින් හඳුනාගනු ලැබීය. පසු කලෙක විලට්ඨාඛණ්ඩයෙහි අමුණ පැරැකුම්බාවන් විසින් ප්‍රකෘතිමත් කරනු ලැබීය.

28. උදුම්බරාගාමවාපි-දිවුල් වැව නමින් වැව් කීපයක් ඇත්තේ ය.

29. මුනරුවාපි-මුහුන්නරු මෙයමයි. හෙට්ටිපොළ සිට සැතැපුම් 2ක් ඊසාන දිගින් පිහිටි මලගානේ යැයි හඳුන්වන ස්ථානයයි.

30. කසාල්ලවාපි-කලා වැව - ගලේවෙල පාරේ 18 වන සැතපුමින් සැතපුම් 1ක් බටහිරින් පිහිටි දැනට කහාල්ල නමින් හැඳින්වෙන ස්ථානයයි.

31. කලලභල්ලිකවාපි-කලින් I විජයබාහු රජතුමන් විසින් ප්‍රකෘතිමත් කරන ලද්දකි. කුරුණෑගල - දඹුල්ල පාරේ 16 වන සැතපුමින් සැතපුම් 5 ක් උතුරෙහි පිහිටි මඩහාපොල මෙය විය හැකිය.

32. මූලවාරිකවාපි-හඳුනාගෙන නැත.

33. ගිරිසිගාමුඛවාපි-වර්තමාන ගලගමුව වැවයි. වැව් කණ්ඩියේ දිග සැතපුම් 1½ පමණ ය. අල්ලන ජලය අක්කර අඩි 6450 කි. මෙය යටතේ වගාකළ බිම් ප්‍රමාණය අක්කර අඩි 403ක් වෙයි.

34. පොලොන්නරුතලවාපි. නිකවැරටියේ සිට සැතැපුම් 15ක් නිරිතදිගින් පිහිටි පොලොන්නරුව මෙය විය හැකිය.

35. විසිරාත්ථලවාපි-හඳුනාගෙන නැත.

අවසානකොට, පඤ්චයෝජන ජනපදය (පස්යොදුන් කෝරලය) වගුරු බිම් නිසා මිනිස් වාසයට නුසුදුසු වනදුර්ගයක් වීද ඒ මහා වගුරුබිම් සහ විල්හි ජලය ගංගාවලට බැස්සවීමෙන්, ඒවා ගොඩකරවාලූ පරාක්‍රමබාහු කුමාර තෙමේ ද එ මඟින් විශාල භූමි භාගයක් ගොවිතැනට යෝග්‍ය බවට පත් කළේ ය. මෙකී නොකී නොයෙක් නවකම් හා සංවර්ධන කාර්යවලින් තමා අයත් දක්ඛිණ දේශයේ සෑම කටයුත්තකට ම අවශ්‍ය ධාන්‍ය නිපදවාලූ කුමර තෙමේ, බෙහෙවින් සමෘද්ධියට පමුණුවන ලද සිය විජිතයෙන් ලැබෙන අයෙන් තර වී ගිය සමෘද්ධියට පමුණු වන ලද සිය විජිතයෙන් ලැබෙන අයෙන් තරවී ගිය භාණ්ඩාගාරය ද ඇත්තේ, ඉදිරියට ඇති යුද කටයුතු පිළිබඳව සූදානම් වීම නිමාවට පත් කළේ ය.

I පරාක්‍රමබාහු රජතුමා ක්‍රි. ව. 1153 සිට 1186 දක්වා රාජ්‍යානුශාසනා ක‍ළේ ය. මේ 33 වසර තුළ ජනතාවගේ කාය ශක්තිය යොදවා කරන ලද වැඩ ප්‍රමාණය විස්මයජනක ය. මේ රාජ්‍ය සමය ආරම්භයේදී ම රෝහණ ජනපදයෙහි බලවත් කැරැල්ලක් ඇති වූයේ ය. දීර්ඝ වූ ද තියුණු වූ ද සටන් වැලකින් පසුව මෙය මර්දනය කරන ලද්දේ ය. අවුරුදු කීපයකට පසු රුහුණේ ම තවත් කැරැල්ලක් ද ඉන්පසු මන්නාරමෙන් ආරම්භ වූ තවත් කැරැල්ලක් ද ඇති විය. මින්පසු දරන්නට සිදු වූ යුද්ධ ප්‍රයත්න අභ්‍යන්තර කැරැලි කෝලාහල මැඩලීමට වඩා ඉතා විශාල අන්දමේ ඒවා ය. විදේශාක්‍රමණය සඳහා එකක් බුරුමයට ද තවෙකක් දකුණු ඉන්දියාවට ද යන වශයෙන් හමුදා පිටත් කර හරින ලදී. අතිශය විස්මයජනක කර්මාන්ත ද කරන ලද්දේ ය. අද නෂ්ටාවශේෂ වශයෙන් දක්නට ලැබෙන පොලොන්නරු නගරය ප්‍රධාන වශයෙන් ඉදිකරන ලද්දේ පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ ය. එකලට නටබුන්ව පැවැති අනුරාධපුරය ද ප්‍රකෘතිමත් කරන ලදී.

සුවිශාල ස්තූප ද ඇතුළු නටබුන් වූ ද කැඩී බිඳී ගියා වූ ද වෙනත් කර්මාන්ත හා ගොඩනැගිලි පෙර පරිද්දෙන් ම කරවන ලද්දේ ය. මුළු රාජ්‍යය පුරා ම පැරැණි විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කරන ලද අතර අලුත් විහාරස්ථාන ද තනවන ලදී. එතුමන් විසින් කරන ලද වාරි කර්මාන්ත පිළිබඳව චූලවංශයේ අඩංගු සංඛ්‍යා විස්මය ඵලවන සුලු ය.

*තනවන ලද හෝ ප්‍රකෘතිමත් කරවන ලද අමුණු -165

*තනවන ලද හෝ ප්‍රකෘතිමත් කරවන ලද ඇළවල් -3910

*තනවන ලද හෝ ප්‍රකෘතිමත් කරවන ලද මහවැව්-163

*තනවන ලද හෝ ප්‍රකෘතිමත් කරවන ලද සුළු වැව්-2376

*තනවන ලද හෝ ප්‍රකෘතිමත් කරවන ලද ගල් සොරොව්-341

*අලුත්වැඩියා කරන ලද බිඳුණු තැන්-1753

මෙතුමාගේ රාජ්‍ය කාලයෙහි කරවන ලද වාරි කර්මාන්ත අතුරෙන් පළමුවැන්නට වඩා අතිශයින් විශාල දෙවන පරාක්‍රම සමුද්‍රය, චූලවංශ කර්තෘ අග්‍රස්ථානයෙහි ලා සලකයි:

“කඳු අතරෙහි මහා බැම්මක් බැඳීමෙන් කාර ගංගාව අවුරා ජල ප්‍රවාහය අකාශගංගාව නම් මහා ඇළකින් මේ වැවට ගෙන එන ලදී. පැරැණි පරාක්‍රම සමුද්‍රයත්, මෑතදී ප්‍රකෘතිමත් කරනු ලැබූ ඒ නමින් ම හැඳින්වෙන පොලොන්නරුවේ පිහිටි ජලාශයත් එකක් ම බවට සැකයක් නැත.

“නිශ්ශංකමල්ල රජතෙමේ සිය පුරුද්ද ලෙස මේ වැවට ද තම නම තබමින් එය නිශ්ශංක සමුද්‍රය යැයි නම් කළේ ය. එහෙත් මේ නම් හෝ පරාක්‍රමබාහු මහීපාලයන් තැබූ නම හෝ සාහිත්‍යයෙහි මිස ව්‍යවහාරයෙහි නොපැවැතියේ ය. නව ප්‍රතිසංස්කරණයට පළමු පොලොන්නරුවේ පිහිටි තෝපා වැව ය, ඊට දකුණු දිගින් පිහිටි දඹුතුළු වැව ය වශයෙන් මෙහි වැව් දෙකක් තිබුණේ ය. එහෙත් කැඩී බිඳී ඇතැම් තැන්වල සේදී ගොස් ද තිබුණු නමුත් පැරණි වැව් කණ්ඩිය අඛණ්ඩව පැවැතුණි. පරාක්‍රම සමුද්‍රයෙන් නික්මුණා වූ ඇළවල් සතරක් ඇතුළු නුවරට ආසන්න විශේෂ ස්ථාන සතරක් අසලින් ගලා ගියා යැයි කියන චූලවංශ විස්තරයෙන් ද ඒ වැව පොලොන්නරුවේ පිහිටි බව පැහැදිලි ය. අමුණේ නෂ්ටාව‍ශිෂ්ටවලින් ද එතැන සිට පටන් ගන්නා ඇළෙන් ද (මෙය ද ප්‍රකෘතිමත් කර තිබේ) අඹන්ගඟේ අඟමැඩිල්ල අමුණු බැම්මත්, එයින් ඇවුරුණු ජලය ගෙන ගිය අඟමැඩිල්ල ඇළත් පරාක්‍රම සමුද්‍රයට ජලය ගෙන ගිය ප්‍රධාන මාර්ග බව ඔප්පු වෙයි.

කොඩ්රිංටන් හා ‍හෝකාට් තීරණය කළ පරිදි කාර ගඟ නම් අඹන්ගඟ ය. ආකාස ගංගාව නම් අඟමැඩිල්ල ඇළ ය. මිණිහිරි වැවට දිය යන ලෙසට මහසෙන් රජු විසින් කාර ගඟ අමුණු බැඳවූ බව පූජාවලි කර්තෘ කියයි. මෙයින් අඟවන්නේ ඇළහැර පිහිටි අඹන් ගඟේ බැම්මයි. මේ නිසා පුරාතන සහ මධ්‍යතන යුගවල අඹන්ගඟ “කාරගඟ” යන නමින් හැඳින්වූ බව පැහැදිලි වෙයි. තවත් සැතැපුම් 10 ක් පමණ ගඟ ඉහළින්, ගඟ ගලා යන පෙදෙස 12 වැනි ශතවර්ෂයේදී අම්බවන, සූර අම්බවන යන නම්වලින් හඳුන්වන ලදී. අද පවා මේ පෙදෙසේ කොටසකට අම්බන යන නම ව්‍යවහාර වෙයි. කාර ගඟ යන පැරැණි නම වෙනුවට අඹන් ගඟ යන නම ව්‍යවහාරයට පැමිණියේ එතරම් ඈත කාලයක නොවන බව පෙනීයයි. මෙහි ප්‍රධාන අතුගංගාවට දැන් කියන නම කළු ගඟ යනුයි. මේ වනාහි කාර ගඟ යන්නේ පර්යාය නාමයකි. පල්ලේගම අසල හත්තොටදී අඩි 500 ක මට්ටමේදී කළු ගඟ හරහා බැම්මක් බැඳ ඇළකින් උතුරු දෙසට ජලය ගෙන යන ලදී. දැනට නටබුන්ව ඇති මේ ඇළ සැතැපුම් 16 ක් පමණ ගිය තැන එකවරම අවසන් වූවා සේ පෙනී යයි. ප්‍රදේශයේ පවතින ජනප්‍රවාද අනුව, මේ ඇළ තවත් සැතැපුම් 12 ක් දුරගොස් ඇලහැර අමුණ එක්ක ම ඊට ඉහළදී යළිත් අඹන් ගඟට වැටී තිබිණි. එසේ වුව ද, මේ කොටසේ පොළොව මත දැන් දක්නට ලැබෙන්නේ පැරැණි බැම්මේ ඉතා කෙටි කොටසක් පමණකි. කඳු හෙල්වලින් ගහන වූ මේ භූමිභාගයේ වාරිමාර්ග පන්තියක් මඟින් ජලය ගෙන යන ලද බව ද දැන් ඒවායේ සියලු ම ලකුණු අතුරුදන් වී ඇති බව ද බ්‍රෝහියර්ගේ අදහසයි. මුඛ පරම්පරාගත කතාව සැබෑ නම් මින්නේරිය - ගිරිතලේ - කන්තලේ වාරිකර්ම පද්ධතියෙහි ජල සම්පාදන මාර්ගය වූයේ, ඇළහැර සිට සැතැපුම් 30 ක් ඉහළින් පිහිටි හත්තොට අමුණයි. එසේම, මෙය පසුව දැක්වෙන පරිද්දෙන්, පරාක්‍රම සමුද්‍ර ජල කර්මාන්ත පද්ධතියේ අතිරේක සම්පාදන මාර්ගයක් ද වූයේ ය.

පරාක්‍රම සමුද්‍රයේ සොරොව් 7 ක ද, එයින් දිය ගෙන ගිය ඇළවල් 11 ක ද නම් වංශකතාවෙහි දැක්වෙයි. දඹදිව පුරාණ ස්ථාන නාම හා සිද්ධස්ථාන නම් වන මේවා ස්ථාන ගෞරවය පිණිස යොදාගත් බවක් පෙනී යයි. තෝයවාපි නම් වැවෙන් ද ඇළවල් දෙකක් නික්මුණු බව ද කියා ඇත. තුසවාපි යන නමින් ද හැඳින්වෙන තෝයවාපිය (තෝපා වැව) සිංහල වංශකතාවලට අනුව 4 වැනි සියවසේ රජ කළ රජකු විසින් තනවන ලද්දේ ය. පරාක්‍රම සමුද්‍රය නිම වූ පසු තෝපා වැව ද ඊට ම එක්වූවා විය යුතුය. එහෙත් අලුත් වැවේ ඉහළ කොටසට පැරැණි නම ම ව්‍යවහාර වූ බවක් පෙනී යයි.

ගිරිතලාක වාපියෙන් (ගිලිතලා වැව) නික්මී කද්දුරවඩ්ඪමානක හෙවත් (දැනට කැඩී ගොස් ඇති දඹල වැව විය හැකි) කදුරුවඩුන්නා වැවට ද, එයින් නික්ම (කැඩීගොස් ඇති දිවුලාන කඩවල වැව විය හැකි) අරිමද්දවිජයග්ගාම වැවට ද බැස ඉන් නික්ම ගිය ඇළකින් වයඹ දිගින් ද පරාක්‍රම සමුද්‍රයට අතිරේකව ජලය සැපැයුණේ ය. මේ ඇළෙන් අඹන් ගඟෙන් ම පටන් ගන්නා සුවිශාල වාරි කර්මාන්ත දෙකක් එක්වූයේ ය. මින් පුරාණතර එක ඇළහැර සිට (නැතහොත් හත්තොට සිට) පටන් ගැන මින්නේරිය, ගිරිතලේ, (දැන් කැඩී ඇති) කවුඩුල්ල සහ කන්තලේ වැව් ඇතුළත් වන සේ ද අනික අඟමැඬිල්ලෙන් පටන් ගැනී පරාක්‍රම සමුද්‍රය සහ ඊට අයත් ඇළවල් හා කුඩා වැව් අතුළත් වන සේ ද සකස් විය. වෙන් වෙන් දිශාවනට ගලා යන වෙන් වෙන් ගංගාවල ජලය කෘත්‍රිම ජල මාර්ග මඟින් එක් කරවීම පුරාණ සිංහල වාරි කර්මාන්ත පිළිබඳව ඇති අතිශයින් සිත් කාවදින ලක්ෂණයයි.

පරාක්‍රම සමුද්‍ර වැව් කණ්ඩියෙහි තැනින් තැන ලේඛන කෙටූ ගල් කණු සවි කරන ලද්දේ ය. මෙයින් කීපයක් දැන් සොයා ගෙන තිබේ. වැව් කණ්ඩිය I පරාක්‍රමබාහු නරපතියන් විසින් කරවන ලද බැව් කියන සංස්කෘත සහ සිංහල පද්‍ය පිළිවෙළින් ඒ කණුවල දෙපැත්තක කොටා තිබේ. තව පැත්තක ඒ ඒ කණු අතර දුර රියන්වලිනි. ඇතැම් සුප්‍රකට වැව් කණ්ඩිවල දිග හා ඒ සසඳා ඇත්තේ ය. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ නිදර්ශනයයි.

2 වැනි කණුවේ සිට 3 වැන්නට රියන් 1135 ගැටුප් වැව

3 වැනි කණුවේ සිට 4 වැන්නට රියන් 4300 ගඟතලා වැව (කන්තලේ)

4 වැනි කණුවේ සිට 5 වැන්නට රියන් 3200 පදි වැව (පදවිය)

5 වැනි කණුවේ සිට 6 වැන්නට රියන් 1700 කලාවැව

6 වැනි කණුවේ සිට 7 වැන්නට රියන් 1600 කණදියදර වැව (කන්දරා වැව)

එසේ දැක්වීමේ අරමුණ වූයේ, පරාක්‍රම සමුද්‍ර වැව් කණ්ඩියේ දිග, සුප්‍රකට මහ වැව් කණ්ඩිවල මුළුදිග එකතුවට ද වැඩි බව පෙන්වාදී වංශ කතාවෙහි දැක්වුණු පරිදි “වැව රජ” යන උප නාමය ඊට සුදුසු බව ඔප්පු කිරීම විය යුතුය.

ඉතිරිය ඉදිරි කලාපයෙන්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.