තව වසර 2000 කින් පෘථිවිය වානර ලොවක් | සත්මඬල

තව වසර 2000 කින් පෘථිවිය වානර ලොවක්

දශක ගණනාවක් තිස්සේ ම අප ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳව සාකච්ඡා කරමින් සිටියි. එහෙත් ඒ පිළිබඳව කතා කරන්නේ ඇයි? එය අපට බලපාන්නේ කෙසේ ද කියා ඔබ විමසුවා ද?

ප්‍රංස ජාතික ලේඛක පියර් බුඅල් 1963 දී රචනා කරන ලද වානර ලෝකය නමැති කෘතිය පාදක කරගෙන අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ෆ්‍රැන්ක්ලින් ෂාෆ්නර් 1968 දී එනමින් ම සුවිශේෂ සිනමා කෘතියක් බිහි කළේය. එය විද්‍යා ප්‍රබන්ධයක් වුව ද එහි තේමා කරගෙන තිබුණේ යථාභූත සංසිද්ධියක් වන මිනිසාගේ ක්‍රියා හේතුවෙන් පෘථිවි තලය විනාශ වී යන බව ය. එහි අධ්‍යක්ෂවරයා ‍දක්ෂ ලෙස කැමරා කෝණයකින් ගත් ඔහුගේ අවසන් රූප රාමු පෙළ ඇසුරින් ස්වභාව ධර්මයට සාපේක්ෂව මිනිසා කෙතරම් කුඩාදැයි මනා ලෙස රූප ඥානයට හසු කර දක්වා තිබුණි. (පහත රූපයේ දක්වා ඇත්තේ ඉන් එක් රූප රාමුවකි.)

Planet of the Apes චිත්‍රපටයට වසර 50 ක් වී ඇතත් වත්මන් පරපුර ද තවම ඉන් ඉස්මතු කිරීමට තැත් කර ඇති පණිවිඩයෙහි බැරෑරුම් බව වටහා ගැනීමට සමත් වී නැති බව පෙනී යන්නේය. පෘථිවි තලය මේ වන විට ‍මුහුණපා තිබෙන දරුණුතම ගැටලුව ගෝලීය උණුසුම වර්ධනය වෙමින් පැවැතීම ය. මේ ලිපියෙන් ඒ පිළිබඳව යාවත්කාලීන තොරතුරු කිහිපයක් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමි.

පෘථිවියට කුමක් සිදුවෙමින් පවතින්නේ ද?

දශක ගණනාවක් තිස්සේ ම අප ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳව සාකච්ඡා කරමින් සිටියි. එහෙත් ඒ පිළිබඳව කතා කරන්නේ ඇයි? එය අපට බලපාන්නේ කෙසේ ද කියා ඔබ විමසුවා ද? එසේ නම්, මේ කරුණ පැහැදිලි කිරීමට සුදුසු ප්‍රවේශයක් ලබා ගැනීමට අමෙරිකානු ජාතික විද්‍යාඥයකු වූ රොජර් රෙවෙල්ගේ අධ්‍යයනයක් ඔබ හමුවේ තබමි. රෙවෙල් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් (CO2) වායුව පැවැති මට්ටම් පිළිබඳව වසර 650,000 ක ඉතිහාසයක් දක්වා අධ්‍යයනය කර ඇත.

ඒ අනුව පෘථිවි තලයේ උෂ්ණත්වය ද සලකා CO2 වායුවෙන් ඊට ඇති බලපෑම ද ඔහු පෙන්වාදී තිබේ.

කාබන්ඩයොක්සයිඩ් වායුව යනු හරිතාගාර වායුවකි. එනම් එය සූර්යතාපය අවශෝෂණය කරගන්නා වායුවකි. හරිතාගාර වායු සූර්ය කිරණ අවශෝෂණය කර ගැනීමෙන් පෘථිවියට අවශ්‍ය උණුසුම ලැබේ. නැතහොත් පෘථිවිය මත ජීවය පැවැතීමට නොහැකි තරමින් ශීත වී ජලය මිදෙයි. එනමුත් උෂ්ණත්වය අවශ්‍ය පමණට වඩා වැඩි වන විට අයිස් ලෙස පවතින ග්‍රීන්ලන්තය, ඇන්ටාක්ටිකාව වැනි දැවැන්ත අයිස් භූමි දිය වීමෙන් සාගර ජල මට්ටම ඉහළ නඟී. එවිට බොහෝ රටවල්වල මුහුදු තීර හා ඒ අවට පහත් භූමි යටවෙයි. ආර්ථික හේතු මත ඕනෑ ම රටක මධ්‍ය ප්‍රදේශවලට වඩා සාගර ආශ්‍රිත කලාපවල ජනාවාස බහුලව පවතියි. එබැවින් මුහුදු මට්ටම අඟල් කිහිපයකින් ඉහළ යෑමෙන් පවා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සිය වාසභූමි අහිමිව යා හැකිය. දැනට නාසා (NASA) ආයතනය ගණනය කර ඇති ආකාරයට ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් 2050 වන විට සාගර මට්ටම අඟල් 6 කින් ඉහළ යනු ඇත. ඉන් චීනයේ ශැංහායි හා හොංකොං නගර, වියට්නාමයේ, ඉන්දියාවේ, ඉන්දුනීසියාවේ, ජපානයේ, බංග්ලාදේශයේ හා නෙදර්ලන්තයේ පහත් මුහුදු තීර යටවීමේ අවදානමක් ඇත. ඊට ඊජිප්තුවේ නයිල් නදී තීරය හා අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් සහ වොෂිංටන් නගර ද ඇතුළත් ය.

එසේ සාගර මට්ටම ඉහළ යෑමෙන් ලංකාවේ යටවීමට ලක්වන ප්‍රදේශ ද ගෝලීය ජල ගැලීම් දැක්වෙන සිතියමේ දක්වා ඇත. ඒ අනුව 2050 වන විට සාගර මට්ටම අගල් 6 කින් ඉහළ ගියහොත් පුත්තලම, හැඳල, කොළඹ, මොරටුව, පානදුර, අම්බලන්ගොඩ, මඩකලපුව, කල්මුණේ, ත්‍රිකුණාමලය, වෙල්වැටිදුරයි, පේදුරු තුඩුව හා යාපනේ යන නගර යට වී යෑමෙන් ලක්ෂ දහසයකට වැඩි ජනතාවකට (1,622,022) බලපෑම් එල්ල වන බව දක්වා තිබේ.

අයිස් භූමි දියවීමේ තවත් බලපෑම් ඇත. විශේෂයෙන් ම ග්‍රීන්ලන්තය හා ඇන්ටාක්ටිකාව වැනි විශාල අයිස් භූමි සූර්ය කිරණ පරාවර්තනය කරයි. අයිස්වලින් සූර්ය කිරණ පරාවර්තනය කළ ද ජලය සූර්ය තාපය උරා ගනියි. අයිස් භූමි අඩු වන විට පෘථිවිය මත ජල පෘෂ්ඨය වැඩි වෙයි. එවිට සාගර ජලය වඩ වඩා රත්වීමෙන් සාගර ජෛව පද්ධතියට හානි විය හැකි මෙන්ම අයිස් භූමි දියවීමේ වේගය ද වැඩි කරයි. එසේම අයිස් භූමි හිඟවීමෙන් දැනටමත් හිම වලසුන් සාගර ජලයේ ගිලී මියගොස් ඇති අවස්ථා වාර්තා වී තිබේ. ඉන් හැ‍ඟවෙන්නේ අයිස් භූමි ආශ්‍රිත ගොඩබිම ජීවත්වන සතුන් ද වඳ වී යා හැකි බව ය.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව මෙතෙක් ඉතිහාසයේ ගෝලීය උෂ්ණත්වය වැඩිම වශයෙන් වාර්තා වී ඇත්තේ 2015, 2016 සහ 2017 යන වර්ෂවලදී ය. එයින් ද උෂ්ණත්වය අධික ම වසර වූයේ 2017 ය. එහි බලපෑම් මුළුමහත් පෘථිවි තලයට ම බලපෑවේ ය. අමෙරිකාවේ දරුණුම හුළං කෝඩ ඇති වූයේ 2017 වසරේදී ය. සිදු වූ මුළු පාඩුව ඩොලර් බිලියන 200 ක් ලෙස වාර්තා වෙයි. දකුණු ආසියානු කලාපය ගත් කල ඒ වසරේ ඉන්දියාවේ, බංග්ලාදේශයේ හා නේපාලයේ ගංවතුර හේතුවෙන් වාර්තා වී තිබූ මරණ සංඛ්‍යාව 1200 ඉක්මවා ගොස් තිබූ අතර ඉන් බලපෑම් එල්ල වූ පවුල් ගණන මිලියන 40 ක් පමණ විය.

සියෙරා ලියෝන් චීනය, සෝමාලියාව, බ්‍රසීලය, ඉරානය ආදී රටවල් ද 2017 වසර තුළ භූමිකම්පා හා ගංවතුර ආදී ස්වාභාවික ව්‍යසනවල දැඩි බලපෑම්වලට ලක් විය. 2017 ලංකාවේ ගංවතුර සහ නායයෑම් පමණක් නිසා සිදු වූ මරණ ගණන 219ක් ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වාර්තා කර තිබිණි. ලෝකයේ ස්වාභාවික ව්‍යසන ගැන කතා කිරීමේදී මේ වසරේ එනම් 2018 මැයි මාසයේ හවායිහි පුපුරා ගිය කිලා වූ ගිනි කන්ද, ඒ කාලයේදී ම ඉන්දුනීසියාවේ පුපුරා ගිය මිරාප ගිනි කන්ද සහ ජූනි මාසයේදී සක්‍රීය වූ ගෝතමාලාවේ ෆුයේගෝ ගිනි කන්ද යන සිද්ධි ද අමතක කළ නොහැකි මුත් කාලගුණික විපර්යාස කෙරෙහි ඒවායේ ඍජු බලපෑම් නිසා අධික උණුසුම් කාලගුණික තත්ත්ව (Heat Waves) ඇති වෙයි. 2017 වසරේ ජූනි වනවිට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත කිහිපයක් ම උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවීය.

ඒ වසරේ ම අප්‍රේල් මාසයේ පාකිස්තානයේ සෙල්සියස් අංශක 51 ද, ඉන්දියාවේ සෙල්සියස් අංශක 43.7 ද, යුරෝපා කලාපයේ සෙල්සියස් අංශක 34ක් ද, ලංකාවේ ඇතැම් පළාත්වල ද සෙල්සියස් අංශක 35 ඉක්මවා ගියේය. 2015 වසරේ ඉන්දියාවේ අධික උණුසුම් කාලගුණික තත්ත්ව නිසා මියගිය ගණන 2000 ඉක්මවා ගිය බව වාර්තා විය.

2018 ජපානයේ ග්‍රීෂ්ම සෘතුවේ සෙල්සියස් අංශක 41 ඉක්ම වූ අධික උෂ්ණ කාලගුණ තත්ත්වය නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව මේ වනවිට 65ක් පමණ වන බව වාර්තා වෙයි. එසේ උණුසුම් කාලගුණික තත්ත්වලදී බහුල වශයෙන් මරණ සිදු වන්නේ විජලනය, ශරීරයෙන් ලවණ ඉවත් වීම හා ශරීරයේ උෂ්ණත්වය නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇති වන ආඝාත තත්ත්වයන් (Heat Strokes) වැනි හේතු නිසා ය.

2018 ඒ වාර්තා බිඳ හෙළනු ඇති බවට මෑතකදී ලෝකය මුහුණ දුන් කාලගුණික තත්ත්ව මඟින් පෙනී යමින් පවතී. පසුගිය ජනවාරි මාසයේ උතුරු අමෙරිකාවට සහ යුරෝපා රටවල් කිහිපයකට බලපෑ අධික ලෙස උෂ්ණත්වය අඩුවීමේ තත්ත්වයන් වාර්තා විය. බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තයට බලපෑ මේ ශීත රැළි ‘පෙරදිගින් පැමිණි මෘගයා‘ ලෙස මාධ්‍ය මඟින් හැඳින්වූයේ එහි තිබූ දරුණු ස්වභාවය නිසා වෙන්ම ය. 100 කට ආසන්න පිරිසකට ඒ තත්ත්වය හේතුවෙන් මරු දකින්නට සිදු විය. එසේම උතුරු අප්‍රිකානු ‍ප්‍රදේශවල ගංවතුර, ජිබූතී, සෝමාලියාව, යේමනය හා ඕමානය යන ප්‍රදේශවලට බලපෑ නිවර්තන චණ්ඩ මාරුත ඉන්දියාවේ සිය ගණනකට මරු කැඳ වූ දූවිලි කුණාටු, පකිස්තානයට බලපෑ අධික උණුසුම, බංගලිදේශය මුහුණ දුන් පැයට සැතපුම් 70 ඉක්ම වූ අධික සුළං සහ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජූලි මාසයේ සිට තවමත් මැඬපවත්වා ගැනීමට නොහැකිව දැවෙන ලැව් ගිනි තත්ත්වය (wild fires) බරපතළ ගණයේ නිදසුන් කිහිපයක් පමණි. ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා පසුගිය දිනක සඳහන් කළේ ඕස්ට්‍රේලියාව ‘ඉඩෝර දේශයක්‘ බවට පත්ව ඇති බවයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ තවත් බලපෑම් ඇත. ඒ අතර තවත් එක් අවදානම් තත්ත්වයක් වන්නේ සෘතු විතැන් වීමයි. එසේ වන විට පරිසර පද්ධතියට දැඩි බලපෑම් සිදු වෙයි. උදාහරණ වශයෙන් සාමාන්‍ය ක්‍රියාවලිය නම් කුරුලු පැටවුන් උපදින කාලයට දළඹුවන් වැනි කෘමීන් ද බිහි වීමයි. එනමුත් උෂ්ණත්ව විපර්යාස නිසා සිදුවන සෘතු විතැන් වීමේදී කුරුලු පැටවුන් බිහිවන කාලයත්, දළඹුවන් වැනි කෘමීන් බිහිවන කාලයත් එකිනෙකට සමානුපාත නොවී යයි. එවිට කුරුලු පැටවුන් ආහාර නැතිකම නිසා මිය යනවා මෙන්ම දළඹුවන් හා කෘමීන් බිහි වන කාලයට උන්ව ආහාරයට ගැනීමට තරම් සතුන් හා කුරුල්ලන් නැති වීමෙන් කෘමි ගහනය වැඩි‍ වෙයි. දැනට ෆයින් ශාකවලට බලපෑම් කරන ෆයින් කුරුමිණි ගැටලුව උතුරු අමෙරිකාවේ මෙක්සිකෝ හා කොලරාඩෝ ප්‍රදේශවල උත්සන්න වෙමින් පැවැතීම යථෝක්ත සෘතු විතැන් වීමේ තත්ත්වයේ බරපතළකම පෙන්නුම් කරයි. එසේම ලංකාවේ ඩෙංගු මදුරු උවදුර සහ වෛරස් උණ මෑතකදී පෙර නොවූ විරූ ලෙස ව්‍යාප්තියටත්, හඳුනා නොගත් එවැනි පරිසර සාධක තිබිය හැකියි. ඒ සඳහා විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීමට ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන වාර්ෂික අය-වැයෙන් වෙන් කිරීමට රජය ක්‍රියා කළ යුතුව තිබෙනවා මෙන්ම ඒ පර්යේෂණ සිදු කිරීමට හැකි පිරිස් හා ආයතන ඒ සඳහා අදාළ පර්යේෂණ යෝජනා ඉදිරිපත් කළ යුතුය.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් ලෝකයේ වෙසෙන බොහෝ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන සහල් වගාවට ද අනිසි බලපෑම් එල්ල විය හැකි බව පර්යේෂණ මඟින් පෙන්වාදී තිබේ. ගෝලීය උණුසුම නිසා ඇති වන වර්ෂා බෝම්බ ද තවත් බරපතළ හානි පමුණුවන තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත.

මෙවැනි තත්ත්ව ලංකාවට තවම බලපා නැති හෙයින් කනට නොගෙන සිටීම නම් නුවණට හුරු නොවේ. හරකා, ඌරා, කුකුළා සහ මීයාගේ කතාව ඔබ සිහි කර ගත යුතු වෙයි. ගම ගෙදර මී කතුරක් ගෙන ආ විට එය මීයාගේ ප්‍රශ්නයක් කියා අහක බලාගත් කුකුළා, ඌරා සහ හරකා ද ඒ මී කතුර ගෙන ආ හේතුවෙන් ම මරුමුවට පත් වූහ. එබැවින් මේ කිසිදු කාලගුණික විපර්යාසයක් අපට සෘජුව ම හෝ වක්‍රාකාරව බල නොපාන බවට තීන්දු කර ගැනීමේ දැනුමක් අප සතුව නැත ස්වාභාවික ව්‍යසන සිදුවන තෙක් ම එහි හානිය කෙතරම් වෙත්දැයි නිශ්චිතව ම නිර්ණය කිරීමට තරම් ජගතෙක් මෙලොව ඇත්තේ ද නැත.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ බරපතළකම සහ ඉන් අපේ රටටත්, පෞද්ගලිකව තමන්ටත් ඇති බලපෑම පිළිබඳව දැන් ඔබට යම්තාක් හෝ වැටහෙනවා ඇතැයි විශ්වාස කරමි.

මේ ගැටලුව පිළිබඳව ගවේෂණාත්මකව හා පුළුල්ව කතා කළ අයෙකි. අමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි උප ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඇල් ගෝර් නමැති ශ්‍රේෂ්ඨ මිනිසා. ඔහු 2000 වසරේදී ජෝර්ජ් බුෂ් සමඟ ජනාධිපති ධුරය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග වැදුණේ ය. එහිදී ඔහු ගෝලීය උෂ්ණත්වයේ ප්‍රශ්නය පුළුල්ව මුළුමහත් පෘථිවි තලය ම වෙනුවෙන් කතා කළත් ජයග්‍රහණය ලැබුවේ නැත. ඒ නිසා ඔහු පසුව මේ ප්‍රශ්නයට ප්‍රමාණවත් අවධානයක් ලබා ගැනීම උදෙසා 2006 දී An Inconvenient Truth (තිත්ත ඇත්තක්) නමින් වාර්තාමය සිනමාපටයක් නිර්මාණය කිරීමට දායක වූයේ ය. එහෙත් එය අද බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළීමට තරම් සමත් වන ජුරාසික් ලෝකය (Jurasik World) වැනි ප්‍රබන්ධ කතා දිනා ගන්නා යුතු බව මා සිතන්නේ එය පෘථිවිය නමැති අපගේ නිවහනට අප කරන විනයෙහි යථාර්ථය ගවේෂණාත්මකව පිළිබිඹු කරන චිත්‍රපටයක් වන බැවිනි. එහි දෙවැනි කොටස 2017 දී 'An Inconvenient Sequel: Truth to Power' නමින් එළිදැක්විණි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට බලපාන හරිතාගාර වායූන් විමෝචනය සීමා කරන්නේ කෙසේද? යන්න විමසා බලමු.

තම පරිභෝජනය සඳහා බලශක්ති උත්පාදන කිරීමට භාවිතා කරන ක්‍රම හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට බලපාන හරිතාගාර වායු විමෝචනය කරන ප්‍රධාන රටවල් අතර දැනට ඉහළින් ම සිටින්නේ චීනයයි. දෙවනුව අමෙරිකා එක්සත් ජනපදය හා තෙවනුව යු‍රෝපා රටවල් මේ ලැයිස්තුවේ සිටී. එනමුත් ඔවුන්ගේ ක්‍රියාවල බලපෑමට මුළුමහත් පෘථිවි තලයම ලක්වන බැවින්, ඔවුන්ගේ බලශක්ති ප්‍රතිපත්ති ගැන අප වැනි භූගෝලීය වශයෙන් කුඩා රාජ්‍යයන් විශේෂයෙන් ම දැඩි අවධානයෙන් පසුවිය යුතුයි.

යථෝක්ත භූමි ප්‍රමාණයෙන් විශාල හා ආර්ථික වශයෙන් බලවත් රටවල් කළ යුත්තේ ෆොසිල ඉන්ධන වෙනුවට සූර්යා ලෝකය, සුළඟ, වැසි, උදම් තරංග, භූතාපය සහ ජෛවස්කන්ධ වැනි පුනර්ජනනීය බලශක්ති ක්‍රම භාවිතය වැඩි කිරීමයි. එහෙත් අමෙරිකාවේ ට්‍රම්ප් පාලනය 2020 වසර වනවිට හරිතාගාර වායු විමෝචනය අවම කිරීම ආරම්භ කිරීමට ඇතිකර ගත් පැරිස් ගිවිසුමෙන් ද ඉවත් වී ගල් අඟුරු භාවිතයට අනුග්‍රහය දක්වයි. ඔහු ගල් අඟුරු හඳුන්වන්නේ 'Clean Coal' ලෙස ය. එනමුත් ප්‍රංසය ඇතුළු බොහෝ යුරෝපා රටවල ප්‍රතිපත්ති බෙහෙවින් සතුටුදායක ය. චීනය පුනර්ජනනීය බලශක්ති සඳහා විශාල ආයෝජන කර ඇතත් ඔවුන්ගේ ගල් අඟුරු බලාගාරවල උපරිම ධාරිතාව ළඟා කර ගන්නේ 2025 වන විට බව ද සඳහන් වෙයි. ලංකාවේ බලශක්ති සැපයුම මූලිකව ම ජෛවස්කන්ධ, පෙට්‍රෝලියම් සහ ජල විදුලි බලාගාර යන තුන මත පදනම්ව ඇත. දැනට ලංකාවේ බලශක්ති ප්‍රතිපත්ති සහ ක්‍රමෝපාය සැකසෙන්නේ සහ ක්‍රියාත්මක වන්නේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා කාලගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය සහ බලශක්ති ඉල්ලුම් කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය යන ආයතනවල ප්‍රධානත්වයෙනි. ඒ අනුව වත්මන් රජය විසින් ‘සූර්ය බල සංග්‍රාමය‘ නමින් 2050 වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සම්පූර්ණ විදුලි ප්‍රමාණය දේශීය පුනර්ජනනීය මූලාශ්‍රවලින් ලබාගැනීමට වැඩපිළි‍වෙළක් දියත් කර ඇත. එහි පළමු අදියර ලෙස මෙගාවොට් 200 ක් 2020 වන විට විදුලි පද්ධතියට එක්කිරීමටත් දෙවන අදියර ලෙස 2025 වනවිට මෙගාවොට් 1000 ක් එක්කිරීමටත් අපේක්ෂා කෙරේ. එනමුත් මේ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ යාවත්කාලීන තොරතුරු සඳහා ප්‍රසිද්ධ මාධ්‍යවලදී අවැසි තරම් ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ නැත. ප්‍රසිද්ධ වේදිකාවල මේ පිළිබඳ කතා කරන පාලකයන් ද දක්නට නොලැබේ. ‍‍

මේ සඳහා පෞද්ගලිකව ඔබට කළ හැකි දේ බොහෝ ය. ඔබගේ ජීවන රටාව මඳක් වෙනස් කර ගැනීමෙන් ගෝලීය උණුසුම ජයගැනීමේ ජාතික හා ගෝලීය මෙහෙවරට දායක වීමට පුළුවන. ඒ සදහා ‘මම විතරක් කරලා මොකටද?‘ යන පටු අදහසින් ඔබ්බට සිතා ඔබ දිනපතා වායුගෝලයට නිකුත් කරන කාබන් ප්‍රමාණය අඩු කිරීම කළ යුතු වෙයි. ඒ වෙනුවෙන්,

- එක වාහනයක එක්කෙනෙක් යෑම අවම කරන්න.

- මාර්ග තදබදය වැඩි වේලාවල වාහන පැදවීම අවම කරන්න.

(මඳක් වේලාසනින් පිටත්වීමෙන් හා ගෙදර සාමාජිකයන් සමඟ සැලසුම් සහගතව වැඩ යොදා ගැනීමෙන් මෙය කිරීම පහසු‍ වෙයි.)

- පෙට්‍රල් සහ ඩීසල් වාහන භාවිතය අවම කරන්න. (හැකිනම් දෙමුහුන් වාහනයක් ගන්න.)

- හැකි සෑම ගමනක් ම පයින් හෝ පාපැදියක යන්න.

- ඉන්ධන භාවිතයෙන් ආහාර පිසීම සීමා කරන්න (සලාද, මැල්ලුම් වැනි දෑ වැඩිපුර ආහාරයට ගැනීම එක් විකල්පයකි.)

- විදුලිය අවමව භාවිත කෙරෙන බල්බ හා විදුලි උපකරණ පාවිච්චි කරන්න.

- තම නිවෙසේ මාසික විදුලි පරිභෝජනය අවම කර ගැනීමට උත්සාහ කරන්න.

- ඔබගේ නිවසටත් සූර්ය බල පද්ධතියක් ලබාගැනීමට උත්සාහ කරන්න.

- ගෘහ නිර්මාණයේදී හැකිතාක් ස්වාභාවික ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන පරිදි නිවස සැලසුම් කරන්න. (හැකිතාක් භූමිය රැකෙන පරිදි නිවෙස් තනා භූමියේ රුක් රෝපණය කරන්න.)

- හැකි සෑම අවස්ථාවකදී ම පැළයක් සිටුවන්න.

- හැකිතාක් ප්‍රතිචක්‍රීකරණය කරන්න. (භාණ්ඩ මිලදී ගන්නා සෑම අවස්ථාවකම මේ පිළිබඳව සංවේදී වන්න)

- පුළුල් දැක්මක් ඇති, නිශ්චිත ප්‍රතිපත්ති හා ක්‍රමෝපායන් ඉදිරිපත් කරන දේශපාලන අපේක්ෂකයන්ට පමණක් ඡන්දය දෙන්න.

- ඔබට හැකිතාක් පිරිස මේ කරුණු පිළිබඳව දැනුවත් කරන්න.

- කාලගුණික ගැටලු හමුවේ නැඟී සිටින පිරිස් සමඟ සම්බන්ධ ‍වන්න.

- නිරන්තරයෙන් ගෝලීය කාලගුණික විපර්යාස පිළිබඳව දැනුවත් වන්න.

පෘථිවිය ඔබගේ නිවහනයි. එය රැකගැනීමට දායක වන්න.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.