ප්‍රශංසාව වගේමයි අපහාසයත් | සත්මඬල

ප්‍රශංසාව වගේමයි අපහාසයත්

වැහි බීරුම විසින් සිසිල් කරන ලද පරිසරය අලුයම වන පූර්ණ නිහඬතාවෙන් වෙළී තිබුණේය. සූර්යාලෝකයා මුළුමනින්ම උදාවීමට නම් තව හෝරාවක් පමණ ගත වනු ඇත. ගන අඳුර මියගොස් ප්‍රභාතයේ පළමු රශ්මි කදම්බයකට සිරස් මත වැටෙන අපේක්ෂාවෙන් තුඟු වෘක්ෂයෝ නොඉවසිලිමත් ව බලාහුන්හ. තුඟු වෘක්ෂයන්ගේ ඉහළ ම ළපලු පවා පළමු හිරුරැස් කදම්බය වැටෙන තෙක් අපේක්ෂාභරිතව බලා සිටිය ද ප්‍රභාතය උදා වන්නේ ඊට ම ආවේණික වූ වේගයකින් යුතුව ය. ලෝකය තවමත් නින්දේ ය.

රාත්‍රී ගැඹුරු නිහඬතාව මැදින් සෙමෙන් සෙමෙන් බොහෝ ඉවසිලිමත්ව ප්‍රභාතය ඇරැඹිණි. බස්සන්ගේ නාදය හා පොල්කිච්චන්ගේ නැළවිලි ගායනය අරුණැල්ලේ ගැඹුර බිඳ හෙළී ය. කඳු සහ ගස් අවදි වන්නට පටන් ගත්තේය. නිහඬතාව මැද මඳින් මඳ උදාවන ප්‍රභාතය පළමුව ම සිප ගත්තේ තුඟු තුරු ළපලු ය. පත්‍ර මත වන පිනි බිඳු සමඟින් මොහොතක් ඔට්ටු වන පළමු හිරුකිරණ දාහයෙන් තොර ය; සුවදායී බවින් යුතුය. පළමු හිරු කිරණ අල්ලා ගත් පැරැණි අඹගස පැරැණි බවේ ප්‍රෞඪත්වය විඳින්නේ මුල් ම හිරුකිරණ පහස ලබමිනි.

ඇට්ටෝනියා ගස මත සිටි මොනරු සෙමෙන් සිය පිල් ගසන්නේ ප්‍රභාතය විසින් උණුසුම් කරන ලද තම දිගු පියාපත් මඳින් මඳ සොලවමිනි.

සමහරුන් මේ ලස්සන දෙස බලන්නේ මහත් විමතියෙනි; සමහරු ආශාවෙනි;

තවත් සමහරුන්ට එය තවත් උදෑසනක් ම පමණි. එහෙත් සෑම උදෑසනක් ම නැවුම් ය; පුසුඹ ය; විස්මජනක ය. කලින් නොවූ විරූ සුන්දරත්වයක් ඒ හැම උදෑසනක ම වෙයි. මෙවැනි උදෑසන දහ දහස් ගණනක් දැක කුණාටු සහිත මොරසූරන වැහිවලට අඛණ්ඩ ව ලක් වූ චණ්ඩ හිරු කිරණ දිය සීරාව උරාගන්නා වියළි කටුක කාෂ්ටක කාල රැසක් දුටු පැරණි ම අඹ ගස පවා පසුගිය උදෑසන නැවුම් සුන්දරත්වයෙන් ප්‍රමුදිතව ප්‍රාණවත් වන්නේය.

සොබාදහමේ අඛණ්ඩ පැවැත්ම සේම අප සිත් ද සෑම උදෑසනකම අලුත් කරගත හැකි නම්. විකෘති වුණු, බිඳුණු, කොටස්වලට කැඩී ගිය සිතකට හැම දෙයක් ම පැහැදිලි ලෙසත් නිර්හිංසන ලෙසත් දැකිය හැකි ද? ඔබ මම, අපි සැම හිංසාවට පත් මිනිස්සු වෙමු. ඔබ බොහෝ දෙනාගේ සිත් හිංසාවට පමුණුවා ඇත; ඉදිරියේදී පමුණුවනු ද ඇත. එබඳු සිතකට කරුණු පැහැදිලිව දැකිය හැකි ද?

සෑම අත්දැකීමක් ම ලකුණක් ඉතිරි කර තබයි. එය ප්‍රිය හෝ අප්‍රිය මතකයක් විය හැකිය. අත්දැකීමක් යනු යමක් ලබාගැනීමයි.. එබැවින් එය ලකුණක් ඉතිරි කර තබයි. අප ලබා තිබෙන සෑම අත්දැකීමක් ම උඩු සිතෙහි හෝ යටි සිතෙහි මතකයක් ඉතිරි කිරීම නිර්හිංසක බවට බාධාවක් යැයි මා කිවහොත් ඔබ එකඟ ද? අත්දැකීම් ලැබීම වැළැක්වීමට නොහැකි ය. අත්දැකීම් නොලබන්නා තමා වටා පවුරක් බැඳ ගත් කෙනෙක් වෙයි. එනම් තමා ම තනි කරගත් අයයි. බොහෝ මිනිසුන් අත්දැකීම් ලැබෙනවාට ඇති බිය නිසා ම තමා වටා පවුරක් බැඳ ගනී.

අත්දැකීම් ස්වභාවයත්, ව්‍යූහයත් අපට තේරුම් ගැනීමට හැකි නම් උදෑසන පළමු ප්‍රභාතය උස ම ගස් මුදුන සිප ගන්නවා සේම, සවස අවසන් හිරු කිරණ දියඹ මත රතු පැහැය දිය කර බැස යනු ඔබ දැක ඇති. එහි සුන්දරත්වයෙන් ඔබ වශීකෘත වන්නට ඇති. ඒ සුන්දරත්වයෙන් ඔබ මන්මත් වූ නිසා ම එය තව කෙනකුට විග්‍රහ කරන්නට ද ඔබ කැමැති වනු නොඅනුමානයි. ඒ නිසා ම ඒ වේලාවට ම ඔබ ඊළඟ දවසේ ද ඉර බැස යනු නරඹන්නට ද ඇති.

එහෙත් ඔබ අද ඉර බැස යෑම දෙස බලන්නේ ඊ‍යේ ස්මරණ සමඟ ය. එනිසා ම එහි නවතාව ඊ‍යේ මතකයෙන් වැසී ගොස් ය. අප සැමට ම පොදු මේ අත්දැකීම මා ඔබ වෙත ගෙන ආවේ වෙන යමක් සිහිපත් කරවන්නට ය.

සිතන්න; ඔබ මට අපහාසයක් හෝ බොරු ප්‍රශංසාවක් කළා යැයි කියා. අපහාසයත්, බොරු ප්‍රශංසාවත් කටුක හා ප්‍රියජනක ලකණු මෙන් මගේ මතකයේ රැ‍ඳෙයි. මේ අත්දැකීම ඔබට, මට, අප සැමට ම පොදු ය. අපි සැවොම මේ පැල්ලම රැස් කර ගනිමින් සිටින්නෙමු. මේ බොහෝ අත්දැකීම සිය දහස් ගණනක් අත්දැකීම් හේතුවෙන් සිත ඝන වෙමින්; දළ වෙමින් වඩ වඩා බර වෙයි. එය අප සැමට පොදු කාරණයකි. මොහොතක් සිතන්න, ඔබ කළ අපහාසය අවධානයෙන් අසන්නට; වහා ම ප්‍රතික්‍රියා නොකර එය සලකා බලන්නට මට හැකි ද? ඔබ මට “මෝඩයකු” යැයි කියා කියන විට ඔව්, එය නිවැරදි විය හැකියි කියා ප්‍රතික්‍රියා නොකර සිටින්නට හැකි නම්... ඇත්තට ම එසේ වන්නට පුළුවන් නොවේ ද? මා මෝඩයකු වීම විය නොහැක්කක් නොවේ. එසේ ම ඔබ මට මා ගැන බොරු වර්ණනාවක් කරන විටත් මට එසේම උපේක්ෂාවෙන් බලන්නට හැකි නම් එවිට අපහාසයත්, වර්ණනාවත් දෙකින් ම පැල්ලම් ඉතිරි වන්නේ නැත. අපහාසය වේවා; වර්ණනාව වේවා; බොරු ප්‍රශංසාව ගැන වේවා; ඉර බැසීම, නැඟීම ගැන වේවා; මේ සියල්ල ම ගැන සිත අවදියෙන් නම්, පරීක්ෂාකාරී නම් අත්දැකීම් දහසක් ලැබුණත් සිත නිදහස් ය.

ඒ නිදහස් සිතට හැම දවසක ම ප්‍රභාතය නැවුම් ය; හැම පිනි බිඳුවක ම සිසිල අන් කවරදාටත් වඩා දැනෙයි; පොල්කිච්චා හැම දිනයක ම ගයන්නේ අලුත්ම ගීතයකි; සෑම නව දල්ලක් ම විස්මයජනක තරම් සුන්දර ය. කොටින් ම කියන්නේ නම් මේ ලොව සෑම දෙයක් ම අලුත් ම; නැවුම් ම දෙයක් සේ පෙනෙන්නේ ය. ඒ සිත කෙසේ ප්‍රභාස්වර දැයි දැනෙන්නට නම් ඔබ ඔ‍බේ සිත නිදහස් කර ගත යුතු ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.