සන්නිවේදන ජාලයේ අක්මුල | සත්මඬල

සන්නිවේදන ජාලයේ අක්මුල

සකල සත්ත්ව ප්‍රජාවම පාහේ සිය රැහේ පිරිස් දැන හඳුන ගැනීම මෙන්ම තම ශාරීරික මානසික ඇවැසිතා දැනවීම ආත්මකොටගත් කිසියම් ක්‍රමවේදයක් අනුගමනය කළහ. ඒවා හුදෙක්ම ස්වකීය “ආරගත” සුහුරුතා ලෙස සරලව දැක්විය හැකි නමුදු, ඉන් පැනෙන ‘දැනුවත් වීම්’ හා ‘දැනුවත් කිරීම්’ තුළින් ඉල්පී එනුයේ ඒ සුහුරුතා බෙහෙවින්ම සන්නිවේදන ක්‍රියාවලියේ ගතිකයන් බව ය. ඊට හේතුව සන්නිවේදන පද්ධතිවලට උපයෝගී වන ස්වභාවයේ ද ගැබ්ගෙන ඇත්තේ යථෝක්ත ‘දැනුවත් කිරීම්’ හා ‘දැනුවත් වීම්’ යන ප්‍රධාන ගුණාංග වීමයි. යමක් දැනුවත් කිරීමට හෝ දැනුවත් වීමට නම් යම්කිසි මෙවලම් භාවිත කළ යුතුමය. ඒ මෙවලම් වනාහි ‘හඬරටා’ හෝ ඊර්යා පද්ධති’ හෝ ‘සංකේත’ හෝ වන්නේ මයැ. එමඟිනි සන්නිවේදන ක්‍රියාවලිය දියත් වන්නේ.

මෙසේ වන සන්නිවේදන ක්‍රමවේද මානව වර්ගයා ඇතුළු සත්ත්ව සංහතියට මෙන්ම සොබා දහමට ද අදාළ වනු නියති. මිනිස් සත්ත්වයා හැරුණු විට සෙසු සත්වයන්ම තම හැඟීම් තම වර්ගයාට ප්‍රකාශ කිරීමට මෙන්ම තම සංහතියේ අන්‍යයන්ගේ හැඟීම් පසක් කර ගැනීමට සන්නිවේදනයන් ලෙස දිගෙලි කළේ සිය ‘හඬ’ හෝ ‘ඉරියව්’ හෝ ‘ස්පර්ශයන්’ ය. ඒ තුළින් ඔවුනොවුන්ගේ අභිලාස සනාථ කර ගැනීමට ඔවුහු සුහුරෝ වූහ. එහෙත් සොබාදහම් සන්නිවේදන ක්‍රියාවලියට යොදාගෙන ඇත්තේ, හඬරටා හෝ චුම්බක ක්‍රියාවලි‍ හෝ නොවේ. සොබාදහම නිරතුරුවම ප්‍රකාශන පිළිබිඹු කළේ ‘සංකේත’ මාර්ගයෙනි. ඒවා හුදෙක්ම නිහඬ ප්‍රබල සන්නිවේදනයන් ම විය. එසේ ගොළුවතින් සංකේත කර දක්වන සංකේතයෝ බෙහෙවින් ම සත්‍යය මත පදනම් වූ ‘අනාවැකි’ වන්නාහ.

මානවයාගේ සන්නිවේදන ජාලය ප්‍රාරම්භවකව ‘හූවෙන්’ හෝ සංකේතයන්ගෙන් ජනිත වූවද සමාජ ප්‍රගමනය අනුව ඒ සන්නිවේදන ජාලය විවිධ විද්යුත් මෙවලම් මඟින් ක්‍රියාත්මක වෙයි.

මනුසතාගේ සන්නිවේදන ක්‍රියාවලියේ ප්‍රාථමික අවධිය පිළිබඳ තොරතුරු මඳක් පසුබාවමින් සොබාදම් සන්නිවේදනයන් පිළිබඳ තතු බිඳක් ප්‍රථම කොට දැක්වීමට රිසිමි.

එමඟින් දැනවෙන අනාවැකි බහුතරයකටම කේන්ද්‍රගතව ඇත්තේ කාලගුණ වාර්තාම වීමත්, පෙර නිමිති වීමත් අන් සන්නිවේදන ජාලයන්ට වඩා සුවිශේෂ වන කාර්යභාරයක් “සොබා සන්නිවේදන’ ගෙනහැර දක්වන බව නොරහසකි.

ඒ අනුව ග්‍රීෂ්ම සමයේ රාත්‍රි කාලය බෙහෙවින්ම සීතල ය. ඒ සීතලට හේතුව ලෙස සොබාදහම පවසන අනාවැකිය වන්නේ නියඟය දීර්ඝ වන සැබෑවයි. යම් හෙයකින් රාත්‍රිය උණුසුම් කාලගුණයකින් යුතු වී නම් ඉන් සලකුණු වන්නේ වර්ෂාවක් අත ළඟ බවයි. බටහිර අහස හා බැස යන හිරු ලෝහිත වරණින් සැහැසි වී ඇති බව සොබාදහම විසින් සංකේතවත් කර දැනුවත් කරනුයේ අධි ඉඩෝරයකට සූදානම් විය යුතු බව ය. එසේම නියඟලා මල් පීදීම, වීර, පලු, කෝන්, ගල් සියඹලා ආදි වන ඵල යහමින් ඵල දැරීම, “වලා වඳව ගිය” ගුවන් ගැබෙන් රාත්‍රි සමයේ බොල් පිණි වැටීම්, ආදිය නියං සායක පෙර නිමිති සොබාදම අපට කියාදෙයි.

නියඟය පිළිබඳ මෙවන් පෙර නිමිති සන්නිවේදනය කරන පරිසරය වර්ෂා සමයට පූර්වව ද සංකේත ගෙනහැර දක්වනුයේ මෙආකාරයෙනි. නියං කාලයේ නිල වර්ණ ගුවන පුරා සැරිසැරූ ඉතාම දුහුල්පටල වන් සුදු වලා යුවති‍යන් වැස්ස වලාහකයන් විසින් ගැබ් ගැන් වූ නිසාදෝ සිය ගැබ්ගත් කුස පුරා ‘වැහිබිජු’ හෙවත් මන්දාරම් ගුළි දරාගෙන අහස් තලයේ තිඹිරිගෙයක් සොයා හෙමින් සීරුවේ කඳු කරටි වෙත ඇදෙනාකාරය සංකේත කර ප්‍රදර්ශනය කරමින් සොබාදහම නිවේදනය කරනුයේ වර්ෂාවක් තදාසන්න බවයි. එපමණක් නොව සුළං රටාවේ පැතිමාරුව, ගිනිකොණ අහස අගැ විටින් විට විදුලි එළි දිස්වීම, වැහි බීරම (මන්දාරම, වැහි අඳුර) අහස පොළොව එළාගැනීම මේ සියලු සංකේතය ද වර්ෂාවක පූර්ව ගාමි නිහඬ සන්නිවේදන ය. සොබාදහම ගෙනහැර දක්වන සංකේතමය සන්නිවේදනයන් බොහෝ ඇතත් ඒවා එකිනෙක වැපිරීමට මේ ලිපියේ වපසරිය පටු බව නොකිවමනා ය.

මෙතෙක් දැක්වූයේ සොබාදහම දනවන සංකේතමය සන්නිවේදනයනුයි. ඒ අතර මනුසතාට අමතරව සෙසු සත්ත්ව සමුදාය විසින් මුදාහරින ලද සන්නිවේදනයන්ද බෙහෙවි. බොහෝකොට ඇතැම් සත්ත්වයෝ මේ මිහිපුරයේ වෙසෙන්නන්ට සිදුවිය හැකි දුක්ඛ දෝමනස්සයන් සේම, සුඛ සෝමනස්සයන් පිළිබඳ අනාවැකි නාද රටා මාර්ගයෙන් හෝ සංකේතයන් මඟින් සන්නිවේදනය කිරීමට තැත් දරති. ඒ සත්ත්ව ප්‍රයත්නයන් මිනිසා දැන නුවණින් පසක් කරගෙන ඊට මුහුණ දිය යුතු පෙරහුරුවන් දියත් කිරීම ප්‍රඥා ගෝචර ය. එපමණක් නොව කාලගුණික පණිවිඩ ප්‍රකාශනයේද ඇතැම් සත්ත්වයෝ යෙදෙති. එවන් සත්ත්ව සන්නිවේදන ක්‍රම රටාවන් පහදා දීමට මේ දුෂ්ටාන්ත ඉවහලි.

උකුස්සන් අහස් කුස සැරිසරමින් තොරතෝංචියක් නොමැතිව හඩ තැළීම, වැහිලිහිණියන් ගුවන පුරා පියාසර කිරීම, කුහුඹුවන් ලහිලහියේ තමා එළියට ඇද ගොඩගසා තිබූ ආහාර යළි ගුල් කරා ගබාඩා කිරීම ආදී සත්ත්ව සූදානම්වලින් පැවසෙන්නේ වර්ෂාවක පෙර නිමිති ය. ඒවා ඔවුන්ගේ වැසි තොරතුරු ප්‍රචාරයන් ය. නිවසක මුදුන් පරාලයේ මී බැඳීම්, කාලවර්ණ පිපිලිකාවන් (කළු කුහුඹුවන්) සුදෝසුදු බිජු රැගෙන නිවෙසේ ප්‍රධාන දොරටුවෙන් නිවසට ප්‍රවිෂ්ට වීම්, නිවසක ‘තලාඳ’ මත ගේ කුරුල්ලන් කූඩු බැඳීම් ආදි සංකේත නිවසකට වාසනාව ගෙනදෙන පණිවුඩ වන අතර, මතු කී පරිදි මුදුන් පරාලයේ දෙඹරගෝටා හෝ ‘බඹර’ වද බැදීම නිවසේ හෝ ආයතනයේ ප්‍රධානියාගේ විපත් දනවන සංකේතයන්ය. මැදියම් රැයේ උලමාගේ විලාපය කණකොකුන් රංචු වශයෙන් ගම්හි පිහිටි ගස්වල ලැගුම් ගැනීම, නිරන්තරයෙන් සිවලුන්ගේ හෝ සුනකයන්ගේ උඩු බිරිලීම්, දිගුකලක් ගමෙහි විවිධ ආරක්ෂක ස්ථානවල ලැගුම් ගනිමින් සිටි ගේ කුරුල්ලන්, සුරතලේට ඇති කරන පක්ෂීන් ගම් ප්‍රදේශය හැරයෑම් යන අසුබවාදී සිද්ධීන්ගෙන් ප්‍රකාශ වනුයේ ගමට තදබල අපල කාලයක් බවයි.

ලේන්නුන්ගෙන් නොනවත්වා ඇසෙන හඬින් නිවේදනය වන්නේ නපුරු සතකුගේ ළඟාවීමකි. මෙසේ වූ සත්ත්ව සන්නිවේදන හා සංකේත ප්‍රදර්ශන යමක සුබ හෝ අසුබ පෙර නිමිති පහදයි.

මෙබදු සත්ත්ව ගනයේලා ගැනෙන තොරතුරු මඳකට යටපත් කිරීමට මා උත්සුක වනුයේ මිනිස් සතාගේ සන්නිවේදන හා සංකේත පිළිබඳවත් මෙතැන් සිට මෙහිලා දැක්විය යුතු නිසාම ය.

තාක්ෂණික මෙවලම්, සන්නිවේදන ජාලය වෙත මුදාහැරෙන්නට පෙර ප්‍රාථමික යුගයේ සිට මෑතක් වන තුරුම ගැමි ජන සමාජයේ ප්‍රබල ප්‍රධාන සන්නිවේදන ක්‍රමය වූයේ හූවයි. ‘හූව’ වුවද ඔවුන් උපයෝගී කර ගත්තේ අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණි. ‘සාක්ෂර’ දැනුමක් එදා ගැමියාට නොවුණි. ඒ නිසා වෙන්ම ඔවුන් යමකු දැනුවත් කිරීමට හෝ තමා දැනුවත් වීමට සරලවම භාවිත කළේ කටකතා ය. කටින්කට හුවමාරු කර ගත් පණිවුඩ ඔවුනට තත්ත්වාකාරයෙන් ග්‍රහණ කර ගැනීමට හැකි වූයේ ඒ කටකතා ඔවුනතර ශීඝ්‍රාකාරයෙන් ප්‍රචලිත වූ හෙයින්ම ය.

ඒ අතරතුර යමකු මහ හිමේ කොළෑ වූ විටක් (අතරමං වූ විටක) හෝ අනතුරකට බදුන් වූ විටක ඒ බව තම ගැමියන්ට දැන් වූයේ ‘හූවෙනි’. හූව වුවද රටා කීපයකින් එදා මුදා හැරිණි. කෙනකු අනතුරකට බදුන් වූ බව දැනවීමට අනතුරට පත්වූවා වාතලයට මුදා හැරෙන්නේ දීර්ඝතම ‘හූ’ හඬකි. එය කන වැකුණු ගැමියෝ අනතුරට පත් වූවා සොයා ගියේ විටින් විට කෙටි “හූ” හඬ නිකුත් කරමිනි. ඒ කෙටි හූ හඬ හඳුනාගත් අනතුරට පත් වූවා ඊට ප්‍රති “හූ” හඬ වරින්වර නිකුත් කළේ කෙටි හූ වකින්ම ය. තම වගාවට හදිසියේ වන අලි පැමිණියහොත් ඔවුන් පළවා හැරීමට ගොවියා පැලේ සිට මුදාහැරියේ කඩින් කඩ ‘හූ’ හඬ වාරයන් ය. යම් අයුරකින් ‘හූ’ හඬක් අඩු හඬකින් පටන්ගෙන උච්චම හඬ දක්වා විහිදූ විටක ගමේ ගැමියන් වහා කලබල වී “හූ” හඩ නිකුත් වන වගාබිම කරා දල්වාගත් හුළු එළිය සහිතව ඝෝෂා කරමින් ළඟා වන්නේ පැලේ සිටින ගොවියාගේ වගා පාළුවට කඩා වැදුණු අලි රංචුව පලවා හැරීමට ය. එමෙන් වල්කොටා වියළී ගිය හේන් යායකට ගිනි තැබීමට ප්‍රථම ඒ යාය හිමි ගොවීහු තෙදිනක් ම ඒ වල්යායට පැමිණ සමූහ වසයෙන් හූ හඬ දිනකට දෙවරක් නිකුත් කළහ. ඉන් ගම්‍ය වනුයේ වියළි වල් යායේ රැඳී සිටින සියලු ම සතුන්ට ඉන් ඉවත්වීමට කැරෙන කාරුණික සන්නිවේදනයක් බවයි. තවද යායට ගිනි තබන දිනයේද කීප විටක් ම මෙසේ හූ හඬ නිකුත් කැරෙමින් ගිනි තැබීම අරඹනෝ ඒ යාය ගොවිහුම ය. මිනිස් ගණයාට පමණක් නොව සත්ත්ව ගණයාට ද ගිනි අනතුරින් ආරක්ෂා වීම සඳහා කැරෙන අවසන් ‘හූ’ ව ලෙසටයි ‘ගිනිහූව’ ගැමියන් අතර ප්‍රචලිතව ඇත්තේ. මෙසේ එදා සන්නිවේදන කාර්යයේ ප්‍රමුඛස්ථගත ‘හූව’ අද යමකුට හෝ පිරිසකට සමෙච්චල් කිරීම සඳහා යොදා ගැනීම ඛේදජනක ය.

‘හූව’ සෙයින් ම එදා සන්නිවේදන මාධ්‍යයක් ලෙස විවිධ සංකේත ද පරිහරණය විය. ඒ සංකේත සියල්ලෙන්ම ම අපේක්ෂා කරනුයේ යමකු දැනුවත් කිරීම සඳහා අතීතයේ සිට මැතක් වනතුරු ම ක්‍රියාත්මක වූ කිසියම් ප්‍රකාශන මාධ්‍යයක් බව ය. මෙසේ වූ සංකේත බොහෝ ඇතත් මෙහිලා දැක්වෙනුයේ සුළුතරයකි. ඒ සංකේත මෙසේ පෙළගැස්වෙයි.

‘බෝල’ ලෙස මෙහිදී දැක්වෙන්නේ කොළ අතු මිටි බව පසක්කර ගත යුතු මනා ය. බෝල බැඳීම්වලින් අපේක්ෂා කරනුයේ කෙනකුට හෝ බහුතරයකට යම්කිසි අයුතු ක්‍රියාවක් කිරීම් වළකාලනු ලබන සාම්ප්‍රදායික තහංචීන් ය. ජලය සිඳීගෙන එන වැවක අනවසරයෙන් මාළු ඇල්ලීම සපුරා තහනම් කැරෙන නිල දැනුම් දීම සිදු කරන ලද්දේ කොළ අතුමිටියක් වැවේ කාහටත් ප්‍රදර්ශනය වන පරිදි සිටුවීමෙනි. මෙය දැනුම් දීම වැව වෙල භාර නිලධාරියා වූ වෙල්විදානේ විසින් තම රාජකාරියක් ලෙස කළ යුතුවේ. එසේම ජලය පිරීපවතින වැවක ගැඹුරු දියඹේ කොළ අතුමිටියක් සිටුවා ඇත්තේ කුමක් නිසාදැයි අවබෝධ කර ගන්නා ගැමියෝ ගැඹුරු ජලයට සමීප නොවෙති. ඊට හේතුව ඒ බෝලෙන් (කොළ අතුමිටියෙන්) දැනවෙන්නේ කිඹුලන්ගෙන් ප්‍රවේශම් විය යුතු බව දන්වන අනතුරු නිවේදනයක් නිසාවෙනි.

ගමේ කිසියම් නිවසක ප්‍රධාන දොර උළු අස්සේ කොහොඹ කොළ අත්තක් ඇස ගැටෙන ගැමීහු ඒ නිවස හා තාවකාලිකව සහසම්බන්ධතා නොපවත්වති. ඒ කොහොඹ කොළ අත්ත අන්‍යයන්ට කියා පානුයේ ටික දිනකට මෙහි යෑම් ඊම් නැවැත්විය යුතු බවයි. ඉන් දැනවෙන්නේ ඒ නිවසේ බෝවන රෝගයක් පවතින බවයි. ඒ අතර තවත් නිවසකට ඇතුළු වන කඩුල්ලේ තරමක් විශාල කඳුරු අත්තක් හෝ කඩුල්ල හරස්වන ලෙස කටු අත්තක් රඳවා තිබුණහොත් ඒ නිවැසියන් “කුලසෝලියකට”ගොදුරු වීමෙන් වරිග සභා තහංචි වැටී ඇති බව සෙසු ගැමීහු වටහා ගනිති. එහෙයින් ඒ නිවස හා කිසිම ගනුදෙනුවක් නොපවත්වති. මෙසේ වූ “බෝල බැඳීමේ” සන්නිවේදනයන් එදා සිකුරටම ක්‍රියාත්මක විය. මේ තහංචි නිසාම ගැමියෝ නිර්මල කුලැත්තෝම වූහ. ප්‍රධානියකුගේ නිවේදන නිහතමානීව, නම්‍යශීලීව පිළිගත්තෝ වූහ.

එවකට ගමනාගමනය සිදු කළේ පාගමනිනි. එසේම ඒ පාගමන් යෙදී තිබුණේත් වන දුර්ග හරහා කැලෑ පටු මාර්ගවලිනි. ඒ නිසා වනයේ සැරිසරන නපුරු සතුන්ගෙන් බේරීම සඳහා මඟීන් දැනුවත් කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිත කළ ‘කළුදං කෙටීම’ නම් වූ සන්නිවේදන ක්‍රමවේදය හුදෙක්ම මඟියා අතර ප්‍රචලිතව තිබිණ. ‘කළු දන් කෙටීම’ වසයෙන් දතයුත්තේ, නපුරු සතකු කිසියම් වනකඩක සැරිසරනවා නම් ඒ වනකඩට පිවිසෙන ස්ථානයේ ඇති ගසක ඒ නපුරු සතා හඳුන ගැනීමේ ලාංඡනයක් කෙටීමට ය.

කොටියකු සැරසරන වන කඩක පිවිසුම් මඟ අසල කොටියාගේ පාදයක සලකුණක් ගසක කොටා තැබීමෙන් මඟීන් ඒ මාර්ගයට නොපිවිසී විකල්ප මාර්ගයක් සඳහා යොමු වේ. අලියකුගේ පාද ලාංඡනයක් පිවිසුම් මාර්ගයේ ගසක දර්ශනය වී නම්, ඒ මාර්ගයේ ගමන් කළේ මඟීන් ඉතා ප්‍රවේශමෙනි. ඊට හේතුව ඒ වන පියසේ අලියකු හක්කලං කරන බව දැනුවත් වූ නිසාවෙනි. මිනිස් පාදයක ලාංඡනයක් ගසක කෙටී තිබේ නම් ඒ ඉසව්වේ සැරිසරනුයේ වලසෙකි. ඊට හේතුව වලසාගේ පා සටහන් මිනිස් පා සටහන්වලට සමාන නිසා ය.

ශිලාපත හෙවත් ගල්පතුරක නාගයකුගේ රූපයක් හුනුවලින් ඇඳ පිවිසුම් මඟක් අසල තිබීමෙන් මඟියා ඒ මගෙහි නපුරු නාගයකු සැරිසරන බව දැනගෙන ඉතා කල්පනාකාරීව ගමනෙහි යෙදේ. එසේම සිවල් රුවක් ගල් ලෑල්ලක දිස්වේ නම් ඒ ඉසව්වේ වියරු සිවලකු ඇති නිසා ප්‍රවේශම් විය යුතු බවයි ඉන් පැවසෙන්නේ.

පැරණි රජ දවසේ ශිලාපත ශිලා ටැඹ බවට යෙදී ඇති බව රටපුරා ඇති ශිලා ලේඛන දෙස් දෙයි. කෙසේ නමුදු එයින්ද දැනුවත් කිරීමක් හෝ දැනුවත් වීමක් සනිටුහන් වෙයි. මෙවන් ආකාරයේ සන්නිවේදන ක්‍රියාවලින් එදා සිටම ක්‍රියාත්මක වූ බව සැබැවි. එහි සමාරම්භය ‘හූව’ බව කිය යුතුමය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.