ප්‍රතිනිර්මාණය මූලාශ්‍රය ඉක්මවන්නේ ද | සත්මඬල

ප්‍රතිනිර්මාණය මූලාශ්‍රය ඉක්මවන්නේ ද

අපි මූලාශ්‍රයට ගරු කරමු. මූලාශ්‍රය නැතොත් ප්‍රතිනිර්මාණයක් කොහිද? එපමණක් නොවේ තවත් නිර්මාණයකට අමුද්‍රව්‍ය සැපයිය හැක්කේ උත්තරීතර නිර්මාණයකින් ම පමණකි. එනමුත් මුල් නිර්මාණකරුවාට වඩා පරිචයක් ඇති කතාකරුවා මුල් නිර්මාණයට වඩා වැඩි රසයක්, ජීවන දර්ශනයක් පිරිනැමීමට සමත් වන බව ද අවසාන වශයෙන් කිව යුතුය.

“උද්දාල බ්‍රාහ්මණයාගේ කතා වස්තුව” කුරුණෑගල රාජ්‍ය සමයේදී කිසිවකු විසින් “පාලි ජාතකට්ඨ කතාව” සිංහලයට ප්‍රති නිර්මාණය කිරීමේ මහඟු ඵලයකි. බුදු රදුන්ගේ ධර්මයට අලංකාරයක් ලෙස, ගම්පළ රාජ්‍ය අවධියේදී දෙවෙනි ධර්ම කිර්ති හෙවත් දෙවන ජයබාහු ධර්මකීර්ති හිමියන් “පාලි රසවාහිනී” කෘතිය සිංහලයට අනුවර්තනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස “සද්ධර්මාලංකාරය” බිහි විය. අනුරාධපුර යුගයත්, පැරණි දඹදිව පරිසරයත් සංකලනයෙන් නිර්මිත “ස්වර්ණතිලකා කතා වස්තුව” එහි පැනෙන එක් පුරාවෘත්තයකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අද්විතීය සංගීතඥයකු වූ ජයන්ත අරවින්දයන් සම්බන්ධ කොටගෙන සිංහල ප්‍රේක්ෂක ජනතාවට පිරිනැමූ උත්තර භාරතීය සංගීතය ඇසුරෙන් මෙරට නිෂ්පාදිත එක ම ගීත නාටකය (අපරදිග සංගීත ක්ෂේත්‍රයෙහි නම් ඔපෙරා) ලෙස විරුදාවලී ලැබූ “පෙමතො ජායතී සොකො” මේ සියල්ල මූලාශ්‍රය කරගත්තකි.

මෙහිදී අපගේ සිත 1968 වසරේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විරචිත “ජාතක කතා විමසුම” කෘතිය වෙත ඇදී යෑම වැළැක්විය නොහැකිය. ලෝක සාහිත්‍යයට ඇතුළත් විය යුතු සිංහල පොතක් වෙතොත් එය ජාතක පොත හැර අනෙකක් නොවේ. කවීන් තමන්ගේ ගද්‍ය පද්‍ය කාව්‍යයට වස්තු සොයනු පිණිස මහා මැණික් පතලයකට බසින්නාක් මෙන් බැස්සේ ජාතක කතා ආකාරයටයි.

භවාංග චිත්තය පිළිබඳ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් දර්ශන සූරී උපාධිය දිනූ සරච්චන්ද්‍රයන් සමඟ මේ කාරණය අත්‍යන්තයෙන් බැ‍ඳෙන්නකි. මනමේ, මහාසාර, වෙස්සන්තර, ලෝම හංස දෘශ්‍ය කාව්‍ය පමණක් නොව, විලාසිනියකගේ ප්‍රේමය නම් චම්පු කාව්‍ය ද මෙයට කදිම සාධක ය. වසරේ හොඳම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය පුද කළ මේ අවසානයට සඳහන් කළ කෘතියට පාදක වූයේ කණවේර ජාතකයයි. සිරිලාල් කොඩිකාර “කණේරුමල්” ආඛ්‍යාන කාව්‍ය රචනා කළේ ද මේ ජාතක කතාවට මූලාශ්‍රය කර ගෙන ය.

බුද්ධිමත් නිර්මාණකරුවා තමන් පදනමෙහි තබාගත් මූලාශ්‍රයට කිසිදු හානියක් නොකරයි. තමන් පිරිනැමීමට අපේක්ෂිත දෘෂ්ටියට අනුව එය යම් යම් වෙනස්කම්වලට පමණක් ලක් කරයි.

දෙවැනි ධර්මකීර්ති හෙවත් උපනාම විශේෂණ වූ ජයබාහු ධර්මකීර්ති හිමියෝ ස්වර්ණතිලකා කතා වස්තුව නිම කරන්නේ මෙපරිද්දෙනි.

“මෙසේ ඒ ස්වර්ණතිලකා තොමෝ පූර්ව ජාතියෙහි ඉඳුරා නුවණින් සලකා කුසල්කොට ගත නොහී අත නොසොදා නොදෙවි මලස්නෙහි මල් පුදා දුෂ්ට වූ ප්‍රාර්ථනාවක් කොට රූපත් ව ඉපද පවා ප්‍රිය මනාප අවස්ථාවෙහි මෙබඳු වූ මරණයකට පැමිණියාය. එබැවින් නුවණ පෙරදැරිව කුසල් කරන්නා වූ පින්වත් සත්ත්වයෙනි බුදු පසේ බුදු මහසවුවන් විසින් වර්ණනීය වූ නිවන් පුර සිරි පතාම කුසල් කළ මැනවි.”

අපගේ චිරන්තන ගද්‍ය පද්‍ය කාව්‍යයන් හි නිරතුරුව විද්‍යමාන මේ ඍජු උපදේශන නූතන සාහිත්‍යයෙන් විනිර්මුක්ත වූවකි. දෙවෙනි ධර්මකීර්ති හිමියන්ට මෙන් ජනතාව නිවන් මඟට පිවිසීමේ අධ්‍යාශයක් නොවූයෙන් සරච්චන්ද්‍රයෝ සිය ගීත නාටකයේදී එය සහමුලින් ම බැහැර කර ඇත්තාහ. එනමුත් පරිපාකයට ගිය නිර්මාණකරුවකු සතු කෘතහස්ත බව ප්‍රදර්ශනය කරමින් ආරම්භයේදී උපයෝගී කරගත් ධම්මපදයේ ගාථාවලියෙන්ම නාටකය සමාප්ත කර තිබේ. බෞද්ධ දර්ශනයෙන් ලද සැබෑ ප්‍රභාව,

පෙමතො ජායතී සොකො

පෙමතො ජයතී භයං

පෙමතො විප්පමුත්තස්ස

නත්ථි සොකො කුතොභයං

 

පියතො ජායතී සොකො

පියකො ජායතී භයං

පියතො විප්පමුත්තස්ස

නත්ථි සොකො කුතොභයං

 

රතියා ජායතී සොකො

රතියා ජායතී භයං

රතියා විප්පමුතස්ස

නත්ථි සොකො කුතො භයං

 

යනාදි ගාථාවල අරුතෙහි ගැබ්වී නැතැයි කාට කිව හැකිද? මෙයින් වස්තු‍කාම, ක්ලේශකාමාදීනව ම කලා පරිඥානයකින් පිරිනමා ඇති බව බුද්ධිමත් ප්‍රේක්ෂකයාට වැටහෙනු නොඅනුමාන ය. ඒ නිසා සරච්චන්ද්‍රයන් මූලාශ්‍රය කලාත්මක බවට හැරවීමක් විනා අයහපත් වෙනසක් කර නැති බව ද පැහැදිලිව සඳහන් කළ හැකිය. එය ඉතා ඉහළින් අගය කළ යුත්තකි. ඒ සරච්චන්ද්‍රයන්ගේ කලා කුසලතාවේ පිරිපුන් බවයි.

සද්ධර්මාලංකාරයේ ස්වර්ණතිලකා කතා වස්තුව ආරම්භයේ ධර්මකීර්ති හිමියෝ “එහි පිළිවෙළ කතාව මෙසේ දතයුතු”

යනුවෙන් සඳහන් කර මෙබඳු විස්තරයක් ඉදිරිපත් කරයි.

“ලංකාද්වීපයෙහි අනුරාධපුර නුවර ශ්‍රද්ධාවන්ත එක්තරා ස්ත්‍රියක් නිරන්තරයෙන් මල් කඩා ගෙනවුත් අභයගිරි වෙහෙර දාගබට පූජා කරන්නී ය. ඉක්බිති එක් දවසෙක ඒ ස්ත්‍රී තොමෝ තමාගේ බාල දුවක් කැඳවාගෙන දාගැබට මල් පුදනු පිණිස ගොසින් මලසුන් ගෙයි පැන් නොදැක මල් පැස දුව අතට දී පැන් ගෙනෙනු සඳහා කලය ගෙන පොකුණට ගියා ය. එකල්හි ඒ ස්ත්‍රියගේ දූ තොම මලස්න නොසොදා අත ශුද්ධ නොකොට තමාගේ මව නොඑන තෙක්ම මල් මිටක් ඇරගෙන මණ්ඩලාකාරයෙන් වට කොට පුදා මෙසේ ප්‍රාර්ථනා කළාය.”

සරච්චන්ද්‍රයෝ මේ පසුබිම සහමුලින්ම බැහැර කර ඇත්තාහ. ස්වර්ණතිලකා චණ්ඩාල කුලයක් උත්පත්තිය ලැබීමට හේතුව නාට්‍යකරුවාට අවශ්‍ය වී නැත. ඇගේ මව පිළිබඳ ව කිසිදු සඳහනක් “පෙමතො ජායතී සොකො” නාට්‍යයෙහි නොපැනෙයි. ගීත නාටකයකදී වුව මූලාශ්‍රයයෙන් නාට්‍යෝචිත නොවන දේ බැහැර කළ යුතුය යන උචිතානුචිතභාවය පිළිබඳ අවබෝධයක් සරච්චන්ද්‍රයන් සතු වූ බව මෙතැනින් තහවුරු වෙයි. සිංහල වේදිකාවෙහි සන්ධිස්ථානයක් වූ “මනමේ” නාටකය උදෙසා චුල්ල ධනුද්දර ජාතකය පාදක කරගත් අවස්ථාවේදී ද සරච්චන්ද්‍රයන් මේ ප්‍රතිභාව ම පළ කළ බව අපට හොඳ හැටි මතක ය. ත්‍රිමදගලිත හස්ති රාජයකු එක හී පහරින් විද මැරූ කුමරා මස් පුලුස්සන සොරුන් වෙත මස් ඉල්ලාගෙන ඒමට සිය බිරිය ව සිඟමනේ යවනාකාරය ජාතක කතාවේ පැනෙයි. කුමරුගේ පෞරුෂයට කිසිසේත් නොගැළපෙන එකී සිදුවීම සරච්චන්ද්‍රයෝ නිර්භය ව බැහැර කරති.

 

“පෙමතො ජායතී සොකො” ගීත නාටකය සරච්චන්ද්‍රයන් ආරම්භ කරන්නේ මූලාශ්‍රයට වඩා සිය දහස් ගුණයක් ඉදිරියෙන් සිටින කලාත්මක බවකිනි.

 

“කෙලෙස් මලයෙන් මලින සත හට

ගොදුරු වී තම සිතැඟි පාසෙහි

සැරිසරන තෙක් සසර සයුරේ

පැමිණෙනා තෙක් වැසන හොර දුක්

මරණ පහරේ නැඟී නෙකවර

භවයකින් තව භවයකටවත්

නිවන් වෙරළෙහි ගොඩ බසින තෙක්

වැහිරෙනා නෙක් කඳුළු දහරා”

 

සූත්‍රධාරගේ මුවට නංවා ඇති මෙහැයුම සරච්චන්ද්‍ර නම් උතුම් කවියාගේ මහරු කවිකමට සැබෑ නිදසුනක් නොවේද? මෙය නාටකයේ සමස්තාර්ථය සමඟ කෙතරම් මැනවින් බැඳී ඇද්ද? උද්දාල බමුණාගේ හා ස්වර්ණාතිලකාගේ ඛේදවාචකය මෙහි ගැබ් වී නොමැති ද? සසර සයුරටත්, මරණය පහුරකටත්, නිවන වෙරළකටත් රූපකාර්ථවත් කිරීමෙන් මෙවන් විපත් ජීවිතවලට පොදු බවත්, ඒවයින් මිදීමේ මගක් ඉඟිකර ඇති බව ද පැහැදිලි ය. සැබෑ ප්‍රතිනිර්මාණය නම් මෙය ම ය.

 

මූලාශ්‍රයයෙන් බැහැර නොවෙමින්, බෞද්ධ දර්ශනයේ ප්‍රභාව මතු කරමින් සාර්වතික අගයෙන් යුතු බොහෝ දේ ඉදිරිපත් කිරීමට ද සරච්චන්ද්‍රයෝ පෙමතෝ හි දී සමත් වී ඇති සැටි අගය කළ යුත්තේ එහි ගැබ්ව ඇති අනූපම කලාත්මක බවත්, හේතුකර ගෙන ය.

 

“සිප් සතර පරතෙර පැමිණිය ද

දත මනා දේ ගෙවා දත්ත ද

නිවන තෙක් රා දෝස මොහො ගිනි

සිත් සතන් තුළ දැවෙන නිතියෙන්

 

පුළිඟු මෙන් අළු අතර සැඟවී

තිබේ දැවෙමින් භවේ ආසා

රූ සඳ ගඳ විෂය පවනින්

මෙලවි මෙලවී බුරා නැඟ එයි”

 

මෙමඟින් කතා නායක නායිකා චරිත නිරූපණ ප්‍රශස්ත ලෙස සිදුවී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

 

මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයෝ පන්සිය පනස් ජාතක පොතෙහි පැනෙන අධි ජනප්‍රිය කතාව ලෙස “කුස ජාතකය” හඳුන්වා ඇත්තාහ. එහි වර්තමාන කතාව ආරම්භයේ “මාතුගාමයො නම් පවිටු වූ සත්ත්ව කෙනෙක” යනුවෙන් සඳහන් වෙයි. දෙවෙනි ධර්මකීර්ති හිමියෝ ස්වර්ණතිලකාගේ චරිතය නිරූපණයේදී කිසිසේත් මෙකී යති දෘෂ්ටියෙන් බැහැර වී නැත්තාහ. උත්තර මධුරා නුවර සිට පඤ්ච මධුරා නුවරට යන ගමනේදී ඇයව කාම පිණ්ඩයක් බවට පත් කිරීමට ධර්මකීර්ති හිමියෝ ප්‍රෝත්සාහී වී ඇත්තාහ.

 

“... ස්වර්ණතිලකා තොමෝ නුවන් කෙළවරින් දෘෂ්ටිය හෙළා ස්වකීය වූ ස්ත්‍රී ලීලාවෙන් යුක්තව මඳලස බැල්මෙන් රජහු මුහුණ බලා තමා පෙරව හුන් පලස මඳක් පහකොට ශරීරප්‍රභා දක්වාලුව.”

පළමුව හමු වූ රජුගේ මරණය ගැන පවසා නිහඬ නොවූ ධර්මකීර්ති හිමියෝ මෙලෙස ද පවසති.

 

 “මෙලෙසින් පඤ්ච මධුරා නුවරට යන අතරමග රාජධානි පසෙක රජ දරුවෝ පස් දෙනෙක් ඇගේ රූප සම්පත්තිය දැක කාමයෙන් මත්ව කඩුගෙන තමන් හිස් තුමූම කපා මළහ.”

මේ කිසිවක් නාට්‍යෝචිත නොවන බැවින් මෙන්ම, තම දෘෂ්ටියට ගෝචර නොවන හෙයිනුත් සරච්චන්ද්‍රයෝ මේ සියල්ල ගීත නාටකය නිර්මාණයේදී පැකිළීමකින් තොරව ඉවත් කර ඇත්තාහ. සරච්චන්ද්‍රයන් කෙ‍දිනත්, කාන්තා චරිත නිරූපණයේදී ප්‍රගතිශීලී දෘෂ්ටියක පිහිටි උදාර නිර්මාණකාරකයෙකි. ඔහු මනමේ කුමරියගේ චරිතය නිරූපණයේදී ගිය මඟෙහි ම මෙහිදීත් ගමන් කර ඇති බව ඉතා පැහැදිලි ය.

“දුක්බර වූ පුවතකි ඒ

ඇදුරුතුම ගුණ නදත්

මපියාට වූ ගැහැට

අපමණය මා නිසා

....

කළ පාප කර්මයක්

පල දෙන්ට වූ බැවින්

නිෂ්කාරණේ ගොදුරු වී රාජ උදහසට

යන්ට වුණි මඟට බැස

ගම හැරා අසරණව”

මේ පළමු හමුවේදී ම ඈ ගුණ ගරුක යථාර්ථවාදී තැනැත්තියක ලෙස නිරූපණයට ගත් තැතක් මෙහිදී පැහැදිලිව දැක්ක හැකිය. එයින් නොනැවතුණු ඈ නැවත මෙසේද කියන්නීය.

“නොවෙමි සම ඔබ බිරිඳ තනතුරට

ඇදුරිනිඳුනි මම සැඩොල් දුවක් වෙමි

හීන කුලයේ උපන්

උභය කුල පරිශුද්ධ

බමුණෙක්ය ඔබතුමා

ලෝ පසිඳු පඩිතුමෙකි

ලද නොමඳ කිත් යසස්

සිප් නොදත් ළඳ බොළඳ කතකි මම”

සරච්චන්ද්‍රයෝ කාන්තාව පුරුෂයාට අහිමි දුර දිග දැකීමේ ශක්තියෙන් යුක්ත තැනැත්තියක ලෙසින් නිරූපිත අවස්ථා බොහෝ වෙති. දෘශ්‍ය කාව්‍යයන්හිදී පමණක් නොව මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා නවකතාද්වයේ නොරිකො සංගේ චරිත නිරූපණය ඊට ප්‍රබල උදාහරණයකි. පෙමතෝහි ද එය වෙනස් නොවේ.

“ගෘහ වාසේ ඇරඹූ අප දෙදෙනා හට

ගත නොවීද සාරමසක් ඇඳුරිඳුසඳ

බලා සිටිති කුමාරයෝ

ඔබ එනතුරු ශිල්ප දෙන්ට

නොපමාව යනු යෙහෙකි

සමීපෙට ඔවුන්ගේ

මුදු මොළොක් තරුණ සිත

සුළු දෙයින් කලකිරේ

බොළඳ සිතුවිලි රැසක්

නැඟ ඒය ක්ෂණයකින්”

උද්දාල බ්‍රාහ්මණයා රාජ සේවයට ගොස් රජුගෙන් සමාව යැද සිප්හල වෙත ළඟා වන බව පැවසූ වේලේ එය සැනසීමට හේතුවක් බව ස්වර්ණතිලකා පවසන්නීය. එයින්ද නොනැවතී සිය නිසඟ බුද්ධියෙන් මෙලෙස ස්වාමියා අස්වසන්නීය.

“මගෙ සඳහන ඔබේ සිතින්

මුළුමනින්ම ඉවත් නොකොට

නිමවා ඔබ සතු කටයුතු

පෙරළා එනු මැන නොලසා”

කාන්තා රූපය තරම් පුරුෂයන් ආකර්ෂණය කරන තවත් යමක් මිහිපිට නොමැත යන ආගමික ධර්මතාවට එකඟව ධර්මකීර්ති හිමියනුත්, සරච්චන්ද්‍රයනුත් උද්දාල බ්‍රාහ්මණයාගේ චරිතය නිරූපණය කළේ යැයි පැවසීමේ වරදක් නොපෙනේ. තම සිසු කැලට වැරදි අධ්‍යාපනයක් ලබාදුන් කතා නායකයා ස්වර්ණතිලකා මුණගැසීම හේතු කොටගෙන නිවැරදි මඟට යොමු වූවාය යන හැඟීමක් ජනනයට නාට්‍යකරුවා උත්සාහ කළ බවක් ඇතැම්විට පෙනී යන්නේ යැයි පැවසිය හැකිය.

“වැලඳගෙන හුන්නෙමිය දඬු රූ

කවි ලොවේ ඇති මිනිස් පිළි රූ

සුස්ම නොහෙළන හදවතක් නැති

ප්‍රාණ වායුව කැවූයෙමි මම

තුළට දඬු රූ

මගේ සුස්මෙන් සුස්ම දෙන්නට

නොලද්දේ ජීවයක් දඬු රූ”

සද්ධර්මාලංකාරයෙහි ශිෂ්‍ය චරිතවල කිසිදු ජීව ගුණයක් නොපෙනේ. ගීත නාටකයෙහි අග්නිදත්ත, දප්පුල, පිංගල යන සිසු චරිත විවිධ ගුණාංගයන්ගෙන් යුක්තවුන් විලස නිරූපණය නාටකයට සැබෑ ජීව ගුණයක් එක් කිරීමට හේතු වී තිබේ.

ස්වර්ණතිලකා කතා වස්තුවෙහි මෙන්ම පෙමතො ජායතී සොකො ගීත නාටකයෙහි ද මඳ කිපුණු ඇතකුට රා පොවා හෙණ්ඩුවලින් ඇන කුපිත කරවා කතා නායිකාව මරා දැමීමට යත්න දැරීමක් පිළිබඳ ව සඳහන් වෙයි. එහෙත් මෙය ලියන මා තුළ ජනිත ගැටලුවකි. මා වැරදි නම් කවුරුන් හෝ නිවැරදි කරනු මැනව. මත් ගිජිඳකුට රා පෙවීමට තබා ළං වීමට හැකියාවක් ඇත්තේ කාටද? නාටකයෙහි සිසුන් සැම දෙනාගේ මුවට නංවා ඇති ගැයුමෙන් උත්ප්‍රාස රසයක් ද මතු වෙයි.

“මොළ ඇතා රකීවා

ගුරුතුමගේ පිය බිරිඳ

මේ සියුම් දෙඅත්පා

බිඳින්නට නොදේවා.”

නාටකයෙහි ඇතා රුදුරු ලෙස ස්වර්ණතිලකාව මරණයට පත් කළ බව කියැවුණත් මූලාශ්‍රය ඊට හාත්පසින් වෙනස් ය.

“එකල්හි රා බී මත්ව කෝපයෙන් සොඬ ගෙන බිම පහරමින් මහත් වූ කුඤ්ච නාදයෙන් දස දිග් පුරමින් ඒ ඒ අත මිනිසුන් ලුහුබඳවමින් සෙණ පහරන සේ දිව අවුත් වන්නාවූ ඒ ඇත් තෙම ස්වර්ණතිලකාව දැක එකෙණෙහි උපන්නා වූ ස්නේහයෙන් සොඬින් ගෙන ඔසවා තමාගේ කුඹ මත්තෙහි තබා‍ ගත.”

මත් ඇතෙක් කවරකුට කෙදිනක කෙලෙසක මෙසේ ඇලුම් කරයි ද? මෙය අභව්‍ය සිද්ධියක් ද? මෙයින් මත් ඇතකු වුව මාගමකගේ රූ සිරියට වසඟ වූවා යැයි කීමේ අවශ්‍යතාවක් පළාබත්ගල වනවාසී නිකාය පාර්ශ්වයට අයත් දෙවන ජයබාහු ධර්මකීර්ති හිමියන්ට තිබුණේ ද? කෙසේ වුවත් ඒ හිමියෝ නැවත මෙසේ ලියා ඇත්තාහ.

“එපවත් දැක රජකුමරුවෝ නොසතුටුව එපරිද්දෙන් ස්වර්ණතිලකාව මරාගත නොහැකි හෙයින් දෙවන දවස් මිනිසුන් යවා රාත්‍රී භාගයෙහි මරවාපීහ.”

පෙමතො ජායතී සොකො නිර්මාණයේදී ඇගේ මරණය පිළිබඳ ව විවරණය කරන්නේ ද කරුණ රසයක් මුල් කොටගෙන අනූපම වූ කාව්‍යමය ගුණයක් පළ කරමිනි.

“සියුමැලි අත් පා පතිතව පොළොවේ පොළොව වැලඳගෙන ඒලෙසම වැතිරේ මහ පොළොවෙන් යදිනා ලෙස පිහිටක් සිත් පිත් නැති මිනිසාගෙන් නොලැබුණු”

කාන්තා චරිත නිරූපණයේදී සරච්චන්ද්‍රයන් අනුදත් යහපත් දැක්ම මෙයින් ද තහවුරු වන බව අමුතුවෙන් කිව යුතු නොවන තරම් ය.

සරච්චන්ද්‍රයන්ගේ බොහෝ නිර්මාණවල ආදරය පිළිබඳ විවිධ අර්ථකථන දක්නා ලැබේ.

“අසිරිමත් වූ දේකි

මෙලොව ප්‍රේමය නමිනා”

වරෙක ඔහු පැවසීය. තවත් වරෙක මෙවන් සඳහනකි.

“ආදරයේ ප්‍රතිරූපය ආදරයට වඩා හොඳ ය. සැබෑ ආදරය ජීවිතයේ පතුලට කිඳා බැස එහි ඇති දුකින් තැවරෙයි. ආදරයේ ව්‍යාජය ජීවිතයේ මතුපිට පාවෙයි. එය ක්‍රීඩාවකි. එයින් ඇලුම් බැඳුම් හට ගන්නේ නැත.”

(මළගිය ඇත්තෝ ප්‍රථම මුද්‍රණය 1959 -77 පිටුව)

දෙවැනි ධර්මකීර්ති හිමියන්ගේ සද්ධර්මාලංකාරයෙහි පැනෙන ස්වර්ණතිලකා කතා වස්තුවෙන් සරච්චන්ද්‍රයන්ගේ පෙමතො ජායතී සොකො වෙනස් වන ප්‍රබලම හේතුව ප්‍රේමය පිළිබඳ විග්‍රහය යැයි දැක්වීමේ වරදක් ද නොපෙනේ.

“භක්ති ප්‍රේමය ගෞරවය හෝ

කුමක් කීවද ඒ එකක්වත්

නොවේ සෙනෙහස

දිවා රෑ දෙක හද සමීපේ

දෑස නොපියා බලා ඉන්නා

දෙයක් සෙනෙහස”

අපි මූලාශ්‍රයට ගරු කරමු. මූලාශ්‍රය නැතොත් ප්‍රතිනිර්මාණයක් කොහිද? එපමණක් නොවේ තවත් නිර්මාණයකට අමුද්‍රව්‍ය සැපයිය හැක්කේ උත්තරීතර නිර්මාණයකින් ම පමණකි. එනමුත් මුල් නිර්මාණකරුවාට වඩා පරිචයක් ඇති කතාකරුවා මුල් නිර්මාණයට වඩා වැඩි රසයක්, ජීවන දර්ශනයක් පිරිනැමීමට සමත් වන බව ද අවසාන වශයෙන් කිව යුතුය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.