වැදිජන වහරෙන් පිළිබිඹු වන ලාංකේය අනන්‍යතාව | සත්මඬල

වැදිජන වහරෙන් පිළිබිඹු වන ලාංකේය අනන්‍යතාව

බින්තැන‍්නේ අනන්‍යතාව විදහා දක්වන ප්‍රධානතම සාධකය වන්නේ ‘වැදි බස’ යැයි කිව හැකිය. වැද්දන් ශ්‍රී ලංකාවේ ආදීතම ජන වර්ගය බවට මනාව විද්‍යාඥයන් තහවුරු කර ඇත. බුදුන් වහන්සේගේ ලංකා ගමන සිදුවන විටත්, ඔවුන්ගේ මුතුන්මිත්තන් බින්තැන්නේ පදිංචිව සිටි බව මහාවංසය වැනි ඓතිහාසික මූලාශ්‍රයවලින් හෙළි වෙයි.

විජයගේ පැමිණීමෙන් පසු ස්වකීය නායකයන් ඝාතනයට ලක් වීමත් සමඟ වනාශ්‍රිතව ම දිවි ගෙවන්නට වීමේ හේතුවෙන් දඩයම සිය ජීවනෝපාය කරගත් මේ ගෝත්‍රික ජනයා සතුව තිබුණු භාෂා ව්‍යවහාර ප්‍රාදේශීය භාෂා ව්‍යවහාර හැදෑරීමේදී මෙන්ම ආදිවාසී ජන සංස්කෘති හැදෑරීමේදී ද එක සේ වැදගත් වේ. ජන සංගීතය හැදෑරීමේදී වුව ද වැදි ජන ගී මහෝපකාරී වේ. එහෙත් වැදි ගී හැදෑරීමේදී වැදිබස් වහර පිළිබඳ දැනුමක් අවශ්‍ය වේ. වැදි ගී අතර නොඉඳුල් ගී ඇත්තේ ස්වල්පයකි. බොහෝ වැදි ගීත සංචාරකයන් පිනවීම සඳහා ගැමියන් විසින් හෝ වැද්දන් විසින් බින්තැන්නේ ජනවහරෙහි වදන් යොදා සංස්කරණය කරන ලද ඒවා ය. එමෙන් ම ඒවා වැදි ගී දෙක තුනක පදවැල් එකට අමුණා ගයන ලද ඒවා ය. මේ අදහස දඹානේ ගුණවර්ධන ද පිළිගනියි. ඒ බව වැදි ගී අතර ප්‍රචලිතව ඇති පසු කාලීනව සකස් කරගත් ඒවා තුළ ද පැරැණි වැදි ගීතයේ ආකෘතිමය ස්වරූපය නොවෙනස්ව දක්නට ලැබෙන අතර, වැදි වහරෙහි වදන් දෙක තුනක් හෝ දක්නට ලැබෙයි. එමෙන් ම වැදි ජන ගීවල නාද රටාව ජන සංගීතය හැදෑරීමේදී වැදගත් වේ. වැදි බස් වහරෙහි වදන් මාලාවෙන් 95%කටත් වැඩියෙන් දක්නට ඇත්තේ බින්තැන්නේ ජනවහර බව පැහැදිලිව දක්නට ඇත’යි යන ඔහුගේ වැදි ගී විමසුමේ (පිටු 29) සඳහනෙන් පැහැදිලි වෙයි.

බින්තැන්නේ ජනවහර (වන වහර) හා වැදි ජන වහර අතර දක්නට ලැබෙන සාම්‍යතාව හා වෙනස පිළිබඳ නිවැරදි දැනුමකින් තොරව එකී භාෂා ව්‍යවහාර ගැන හෝ ජන සංස්කෘතිකාංග හැදෑරීමට යෑම අඳුරේ අතපත ගෑමක් වැනි ක්‍රියාවකි.

වැදි බස් වහර ලංකාවේ ජනවර්ග අතර පැවැති පැරණි භාෂා ව්‍යවහාරයක් වශයෙන් හැඳින්විය හැකිය. ඉන්දු ආර්ය භාෂා ගණයට අයත් නොවූ වැදිබස මේ වන විට සිංහල ගැමි ජනවහර හා මුසු වීමෙන් පෝෂණය වී ඇතත් පැරැණි වැදි වහරෙහි තිබූ වදන් සමූහයක් කාලානුරූපීව රැඳී ඇත.

‘වැද්දා’ යන වදන සකුවෙහි එන ‘ව්‍යාධ’ යනුවෙන් බිඳී විදින්නා යන අරුත් දීමට යෙදී ඇති බව ඇතැම්හු පෙන්වා දෙති. ඒ අනුව විදින්නා අරුත් දෙන වැද්දා යන්න ඔවුන්ගේ ගෝත්‍රික නාමය බවට පත් වූවා විය හැකි යැයි ඔවුහු නිගමනය කරති.

 

එහෙත් මේ අදහසට ඉඳුරා ම වෙනස් මතයක්, ඉදිරිපත් කරන ඇතැම්හු බැද්දේ විසුවන් ‘බැද්දන්’ වශයෙන් නම් කෙරී පසුව ජන ව්‍යවහාරයේදී ‘වැද්දන්’ යනුවෙන් පද පෙරළියක් සිදුවන්නට ඇතැයි කියති. වැද්දා යන වදන සකුවෙහි එන ව්‍යාධ යන්නෙන් බිඳී ආවක් නොවන බවත්, වැදි බසට මුල් වූයේ සකු බස නොවන බවත් පෙන්වා දෙන වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා,

“‘වැදි යන වදන අපේ පඬුවන්ට ඇද එන්නේ සකුවෙන් ය. සකුයේ ව්‍යාධ වැනි වදන් යැ.’ එහෙත් ඒ කාහටත් කලින් අපේ මිනිස්සු බැද්ද යෙදූහ. බැද්ද වනාහි කැලයයි. ගමේ සිටිනුයේ ගැමි නම්, රටේ සිටිනුයේ රැටි නම්, බැද්දේ සිටිනුයේ බැදි බවට කුමට පහයමු ද?” (ඌව දනවුව - පිටුව 23) යනුවෙන් සිය නිගමනය ඉදිරිපත් කරයි.

කෙසේ වෙතත් ශබ්ද හැඳින්වීම සඳහා ලිඛිත භාෂා ව්‍යවහාරයේදී භාවිතයට ගත හැකි හෝඩියක් (සංකේත මාලාවක්) නොමැති හෙයින් කථන භාෂා ව්‍යවහාරයේදී වර්තමානයේදී වැද්දන් භාවිත කරන්නේ සිංහල ගැමි ජනවහර හා මුසු වූ කාර්ය භාෂාවකි (Creole). එහෙත් ඔවුන් වහරන බස් වහරෙහි ඔවුන්ට ම අනන්‍ය වූ වදන් කිහිපයක් ද රැඳී පවතී. ඔවුන් වහරන වදන් අතර අර්ථාන්විත වදන් සමූහයක් දක්නට ඇත.

ක‍ඳේ කොටන්නා - බෙරකරු, ගල්මැදකන - හුනු, හොරතන - හොරා, රුවතන - රුව, කිරිගෙඩිපොජ්ජ - පොල්, ලා කැකුළා - ළදරුවා, මංගච්චනවා - යනවා, කරුකුරුගච්චනවා - ලියනවා ආදි වදන් සියල්ල ම බින්තැන්නේ වන වහර මුසුකොට නිපදවා ගත් ඒවා ය.

වර්තමානයේ දඹානේ වැදි ජන වහරෙහි එන බොහෝ වදන් සංචාරකයන් පිනවීම සඳහා ඔවුන් විසින් සිතාමතා ම යොදාගත් ඒවා මිස වදන්වත් අවශ්‍යතාව නිසාවත් යොදාගත් ඒවා නොවේ. තලගොයා හැඳින්වීමට දඹානේ වැදි ජනයා යොදා ගන්නේ බිම ‘බඩගාන එකා’ යනුවෙනි.

තලගොයා හැඳින්වීමට පැරණි වැදි වහරෙහි යෙදෙන්නේ මුන්දි, මුණ්ඩි යනුවෙනි. ඇතැම් විට ගොයි හික්කා යනුවෙන් ද යොදා ගත්හ. ගෝබිඳු කැලේ යෑම තල ගොයින් දඩයම් කිරීම පිණිස යෑම ය. වැදි ගී අතර ඇති ගෝබිඳු කැලේ යෑමේදී ගැයෙන ජනප්‍රිය ගීතය ප්‍රබන්ධ වී ඇත්තේ වනාශ්‍රිත සිංහල හේන් ගොවියන්ගේ භාෂා ව්‍යවහාරයේ එන වදන්වලිනි.

 

ගෝ බිඳු කැලේ යමු දෙන්නා

හේ බොල;

 

තෙන් තෙඳිනානේ තෙඳිනානේ

තෙන් තෙඳිනානේ තෙඳිනානේ

 

ගෝ බිඳු කැලේ යමු දෙන්නා

ගෝයා පුච්චා කමු දෙන්නා

ගෝ අකුමා ටික මං කඤ්ඤං

ගෝ බඩවැල් ටික තිට දෙඤ්ඤං

 

තෙන් තෙඳිනානේ තෙඳිනානේ

තෙන් තෙඳිනානේ තෙඳිනානේ

 

ගෝබිඳු කැලේ යමු දෙන්නා

ගෝයා පුච්චා කමු දෙන්නා

ගෝ අකුමා ටික තිට දෙඤ්ඤං

ගෝ බඩවැල් ටික මං කඤ්ඤං

 

තෙන් තෙඳිනානේ තෙඳිනානේ

තෙන් තෙඳිනානේ තෙඳිනානේ

 

ගෝබිඳු කැලේ යමු දෙන්නා

ගෝයා පුච්චා කමු දෙන්නා

ගෝටොඹු පුච්චා කමු දෙන්නා

ගෝ කුර පුච්චා කමු දෙන්නා

ගෝ අකුමා ටික තිට දෙඤ්ඤං

ගෝ බඩවැල් ටික මං කඤ්ඤං

 

මේ ගීතයේ වැදි ජනවහරක එකදු වදනක් හෝ අඩංගු වී නැත. ගෝ බිඳු කැලේ යනු ගොයින් වෙසෙන කැලේ ය; ගොයා තලගොයා ය. අකුමා අක්මාව ය; ගෝටොඹුව ගොයාගේ වලිගයයි, ගෝ කුර උගේ අත් පා ඇඟිලි කොටස් ය.

සීමිත වදන් සංඛ්‍යාවක් හිමිව සිටි වැද්දන්ගේ බස්වහරට බින්තැන්නේ ජනවහරෙහි වදන් රැසක් එක්වී ඇත්තේ දුරාතීතයේ සිට ම වැද්දන් සිංහල හේන් ගොවියන් සමඟ සමීප සබඳතා පවත්වමින් එකිනෙකා අතර යම් තරමක සබඳතා පැවැත්වූ හෙයිනි.

වැද්දන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ඔවුනට බොහෝවිට හේන් ගොවියන්ගේ පිහිට පැතීමට සිදු විය. ගැමියන්ට ද දඩමස්, මී පැණි, වන ඖෂධ ලබා ගැනීමේදී වැද්දන්ගේ සහය අවශ්‍ය විය. මේ ජනවර්ග දෙක අතර සහසම්බන්ධතාව ඇතිවීමේ හේතුවෙන් ඔවුනොවුන් අතර අදහස් ප්‍රකාශ කිරීමේදී වැදි වහරට වඩා දියුණු බස් වහරකට උරුමකම් කියූ සිංහල හේන් ගොවියන‍්ගේ බස් වහරෙහි පිහිට පැතීමට වැද්දන්ට සිදු විය.

මේ නිසා ඔවුහු වනවහරෙහි වදන් කපා කොටා තම බස් වහරට උචිත අන්දමට සකස් කර ගත්හ. මේ එවැනි වදන් කිහිපයකි.

ඉස්සර කාලේ - ඉච්චර කාල පොජ්ජෙ

මයෙ ඇත්තා - මයෙ ඇත්තො

බහිනවා - බච්චනවා

රඳාහිටිනවා - රඳා බච්චනවා

තිබුණා - තිබෙනවා/ තිබලා තිබෙනවා

තිබ්බා - තබැව්වා

පුච්චනවා - පුච්චා කඩනවා (උයනවා)

කතා කරනවා - කතා දමනවා

ඒ කාලෙ - ඒ කාල පොජ්ජෙ/ ඒ කාල පොජ්ජෙදි

මිනිසුන්ට - මිනිගජ්ජුන්ට

තොප/ තොපි/තොපේ - කොපන්නේ, තොපන්නෙලැත්තො/ තොපං

මහ ගොඩක් - මහමක ඇච්චක්/ මහමකැච්චක්

කෑවා/කනවා - කැවිල්ලෑවා/ කැවිල්ලනවා

ඉන්නවා - ඉඳිනවා

කොහෙන් - කොත්තකින්

මේ අන්දමට වැදි වහරේ එන වදන් රැසක් ම ගැමි ජනවහර ඇසුරෙන් සකස් කර ගත් වචන බව දක්නට ලැබෙයි. මේ අතර වෙනස් වීමකට ලක් නොවී ගැමි ජනවහරෙන් (දිගාමඩුලු ජනවහරෙන්) ගත් වදන් රැසක් ද වැදි ජනවහරෙහි යෙදෙයි. එබඳු තත්සම වදන් අතර ඇති ගෝහාලය, දිය මැස්ස, නිල් කොළ, ගිනි, පය, රස්සා, විනා, පැණි, කරදර, වෙන, දවස්, තව, එල්ලෙන, කරලා, දියතත්තෙ, පූවළ, බෙරුම, සකලයන්, මස්, පණ්නො (පණුවො), කුදහනවා, ගිනිබිඳිනවා ආදි වදන් ඔවුහු කතාබහේදී නිරන්තරයෙන් ම යොදා ගනිති.

“ඉච්චර කාල පොජ්ජේදි බුද්දලැත්තො මංගැච්චුවා මයියංගණ පෝරුගම් පෝජ්ජට ඒ තැනේදී ඉඩ තැන මන්දො කර ගත්තා, ඒ කාලපො‍ජ්ජෙ එක්ක ඉඳ තබව්වේ යක් වරිග පොජ්ජෙ මිනිගජ්ජු”

(ඉස්සර කාලෙ බුදු හාමුදුරුවො මහියංගණේට වැඩම කළා. ඒ කාලෙ එහි හිටියෙ යක්ෂ ගෝත්‍රයට අයත් මිනිස් වර්ගයක්).

යන අර්ථය දෙන ඉහත ප්‍රකාශය සඳහා යොදා ගෙන ඇති වචන සමූහය අධ්‍යයනය කිරීමෙන් අප ඉහතින් දැක් වූ නිගමනය නිවැරදි බව පැහැදිලි වෙයි. ආදි වැද්දන් වන ගැබ තුළ ගල්ලෙන් ආශ්‍රිතව දිවි ගෙවද්දී ඔවුන්ට මිනිස් ඇසුරක් ලැබුණේ ම නැත. වන සතුන් හා පරිසරය සමඟ දිවි ගෙවූ ඔවුන්ගේ අවශ්‍යතා සීමිත විය. එමෙන්ම පරිහරණය කළේ ද සීමිත මෙවලම් කිහිපයකි. මේ නිසා ඔවුන් අදහස් ප්‍රකාශ කිරීමේදී යොදා ගත්තේ සීමිත වචන ප්‍රමාණයකි. ඒ වචන ප්‍රමාණය සීය ඉක්මවා නොයන බව වාග් විද්‍යා පර්යේෂණවලදී හෙළි වී ඇත.

වැද්දන් මිනිස් ඇසුරට පත්වීමෙන් පසු ඔවුන්ගේ ව්‍යවහාර වදන් කිහිපය අදහස් ප්‍රකාශ කිරීම සඳහා ප්‍රමාණවත් නොවීමේ ගැටලුවට මුහුණදීමට ඔවුන්ට සිදු විය. එහි ප්‍රතිඵලය වූයේ සිංහල ගැමි ජනවහර හා මුසුකර ගත් (තත් භව වචන) නව වැදිබස් වහරක් ලෙස වර්ධනය වීමයි.

එහෙත් වැදිබස් ඔවුන්ගේ අනන්‍යතාව විදහා දක්වන ප්‍රධාන භාෂාවක් ලෙස ක්‍රමිකව වර්ධනය නොවූයේ මහ ජාතීන්ගේ බස් වහර ඔවුන් වැලැඳ ගැනීම නිසා ය. මෙරට වැදි බස ගැන හැදෑරීමේදී ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන ලක්ෂණයක් වනුයේ මෙය ශබ්ද සංකේතවලින් තොර භාෂාවක් වීම ය. අදහස් ප්‍රකාශනයෙහිලා ආදි මානවයා හා ඉන් පසු විසූ වැදි ගෝත්‍රිකයන් අළුවලින් හා සත්ත්ව ලෙයින් රූ සටහන් ඇන්ද බවට සාධක ඇතත්, ඉන් පසු අදහස් ප්‍රකාශ කිරීමට හැකි භාෂාවක් කරා යෑමට ඔවුන් කිසියම් ප්‍රයත්නයක් දැරූ බවක් දක්නට නැත.

වන පෙතට වැදී ආහාර සොයා ගැනීම සඳහා ම සිය දිවිපෙවෙත ගෙවීමට සිදුවීමත්, ආර්යන්ගේ පැමිණීම නිසා සිය මුතුන්මිත්තන්ගේ විනාශයත්, දියුණු ජීව භාෂාවක් ලෙස වැදි බස වර්ධනය කර ගැනීමට ඔවුන්ට අවකාශයක් නොවූවා විය හැකිය.

ආර්යයන්ගේ පැමිණීමට පෙර මෙරට විසුවේ යැයි සැලකෙන යක්ෂ ගෝත්‍රිකයන්ගේ සම්භවයෙන් වැද්දන්ගේ විකාශනය සිදුවී ඇති බව ශිරාන් දැරණියගල මහතා කියයි. ඔහු ඉදිරිපත් කරන නිගමනය අනුව විග්‍රහ කළ හැක්කේ වැද්දන්ගේ විකාශනය සිදු වී ඇත්තේ ‘ආදි මානවයන් > යක්ෂ ගෝත්‍රිකයන් > වැද්දන්’ ලෙස ය. ඒ අනුව ඔවුන්ගේ භාෂාවේ විකාශනය සිදු වූ අන්දම උපකල්පනය කළ හැක්කේ මෙසේ ය.

ආදි මානවයන්

ශබ්ද හා සංඥා අභිනයන් (හස්ත මුද්‍රා ආදිය)

යක්ෂ ගෝත්‍රිකයන්

ශබ්ද සහිත වදන් සංකේත, යාදිනි සංවාද

වැද්දන්

ශබ්ද සහිත වදන් ස‍ංකේත, සංවාද

ආර්යයන් මෙරටට පැමිණි සමය වනවිට මෙරට විසූ යක්ෂ ගෝත්‍රිකයන් ලංකාපුරදී මංගල උත්සවයක් පැවැත්වූ බව සඳහන් වේ. සංගීත වැනි කලා මාධ්‍යය යොදා ගැනීමටත්, ඇඳුම් - පැලඳුම් හා ආභරණ ආදිය භාවිතයටත් හුරුව සිටි ඔවුන් සතුව තරමක් හෝ දියුණු භාෂාවක් නොතිබුණේ යැයි කිව නොහැකිය.

ආර්යයන් කළ ඝාතනයෙන් බේරී පලා ගිය පිරිස් වන වැදී කල්ගත කළහ. ඔවුන්ගෙන් පැවැත ආවුන් ද කුවේණිගේ දූ පුතුන් නිසා ඇති වූවන් ද පසු කලකදී එක්වූවා විය හැකි යැයි ඇතමෙක් පෙන්වා දෙති. එසේ නම් කුවේණිගේ දූ පුතුන් රජ මැදුරේදී කතාබහ කළ බස් වහර ද වැදි ජනවහරට එක් වූවා විය හැකිය.

අනුමාන වශයෙන් මෙවැනි අදහස් වැදිබස ගැන ඉදිරිපත් කළ හැකි වුවද ඒවායේ සත්‍යතාව ගැන මූලාශ්‍රය ඉදිරිපත් කිරීමට නොමැත. කෙසේ වෙතත් පැරණි වැදිබස සිංහල භාෂාවට වඩා පැරණි භාෂා ව්‍යවහාරයක් ලෙස පිළිගත හැකිය. ඒ නිගමනය සාධාරණීකරණය සඳහා මෙරට ප්‍රාග් ඉතිහාසය පිළිබඳව සිදු කරන ලද පර්යේෂණාත්මක ගවේෂණවල විද්‍යානුකූල නිගමනය පමණක් වුවද සෑහේ.

‍ලෝකයේ වෙසෙන අනෙකුත් ආදිවාසි ගෝත්‍රිකයන් අතර පවතින ප්‍රචණ්ඩකාරී බව ලාංකික වැදි ගෝත්‍රිකයන් අතර දක්නට නැතත් කතාබහේදී දක්වන වේගවත් උච්චාරණ ශෛලිය වැදි බස් වහර උච්චාරණයේදී ද දැකගත හැකිවේ. දිගාමඬුලු ගැමියන්ගේ ජන වහර උසුරුවීමේ රටාවට වඩා ඉඳුරා ම වෙනස් අන්දමින් වේගවත් ලයකින් කතා කිරීම ඔවුන්ගේ බස් වහරෙහි ක්‍රමවේදයකි.

දිගාමඬුලු බින්තැන්නේ ගැමියන් මෙන් නැවතිල්ලේ ඇද පැද කතා නොකර වැද්දන් ප්‍රශ්නාර්ථයේදී ‘ද’ කාරාර්ථය ද ‍යොදා ගනියි.

බින්තැන්නේ වන වහරෙහි යෙදෙන “උඹලා මස් හොයා ගත්තේ කෙහෙන්ද?” යන්න වැදි වහරෙහි යෙදෙන්නේ “තොපං ලා මස් පොජ්ජක් මන්දෝ කර ගත්තේ කොත්තනින් ද?” යනුවෙනි.

කැලේ පවතින ශබ්ද හා පාරිසරික වස්තුවලින් හා වන සතුන්ගේත් හැසිරීම් ගති ලක්ෂණ පෙන්නුම් කෙරෙන ලෙස, ඔවුන් වැදි බසෙහි වදන් වැල නිපදවා ගෙන ඇති බව වැදි වහරෙහි ඇතැම් වදන් අධ්‍යයනය කිරීමේදී හැඟී යයි.

“හේ... බොල... හේ... දෙයියා... අප්පි... රොප්පි... රොප්පියා...”

වැනි වැදි ගීවල එන වදන් එයට හොඳම උදාහරණ වේ. වරෙක නිශ්ශබ්දව පවතින වන පෙත එක්වර ම මහා ඝෝෂාකාරී හඬක් පතුරවයි. වැදි ගී කිහිපයක ම මේ වනපෙතේ පවතින නිශ්ශබ්දතාවත්, හිටිගමන් ඇතිවන ඝෝෂාකාරී නාදයත් ධ්වනිත කෙරෙන නාද රටා යොදාගෙන ඇත.

“හේ බොල, පැට්ටි මොන්නට ආඬන්නේ

ගෝන ල බොක්කිට ආඬන්නේ

ඒකත් දීපව පැට්ටීට...”

යන දරු නැළවිලි ගීතයේ (හේ) ගුරු අකුර ඔවුන් උච්චාරණය කරන්නේ ලඝු අකුරක් ලෙස ය. වැදි වහරෙහි ‘ස’ ශබ්ද වෙනුවට ‘ච’ යෙදීම තවත් විශේෂත්වයකි. දිගාමඬුලු බස් වහරෙහි සකලයන් (කුරුල්ලන්) යන ව්‍යවහාරය වැදි වහරෙහි චකලයන්/ චප්පි බවට පත්වෙයි. ඉසකෙස්, ඉච කෙච් ය; ඉච කේය; හොස්ස - හොච්ච ය; බස්සනවා - බච්චනවා ය. මේ අන්දමට සිංහල භාෂාවේ ‘ස’ වෙනුවට ‘ච’ යෙදීම නිසා වැදි බසෙහි කඨෝරත්වයක් දක්නට ලැබෙන බව සෙලිග්මාන් පෙන්වා දෙයි. (වැද්දෝ - චන්ද්‍රශ්‍රී රණසිංහ - පිටුව 558)

බින්තැන්නේ ගල්ලෙන්වල ජීවත් වූ (අමිශ්‍ර වැද්දන් යැයි පැවසෙන) වැදි පවුල් කිහිපයක් ස්පිට්ල් විසින් පොල්ලේබැද්දේ ගම ආශ්‍රිතව පදිංචි කරවීම නිසා 1939 – 1941 සිට ඔවුන් සිංහල ගැමියන්ගේ බස් වහර භාවිත කරන්නට විය. එහෙත් ඇතැම් වදන් ඔවුන් තම ආවේණික බස් වහරට අනුකූල වන ලෙස සකස් කර ගැනීමට උත්සුක විය. පොල්ලේබැද්ද ගම්මානය වැඩිමනත් සංචාරකයන්ගේ අවධානයට ලක් නොවීම නිසා ඔවුන්ට තම අනන්‍යතාව පෙන්වීමට වැදිබස හෝ වැදිකම රැක ගැනීමට අවශ්‍ය නොවීය. අසරණ තත්ත්වයට පත්ව සිටියදී රැකවරණයදී රැකබලා ගැනීම සඳහා ගමට ගෙනැවිත් පදිංචි කර වූ ඔවුන් දිගින් දිගට ම අසරණ බව ප්‍රදර්ශනය කරමින්ම කල් ගෙවී ය.

දඹාන වැදිජන කොටස සංචාරකයන්ගේ මෙන්ම පාලකයන්ගේ දැඩි අවධානයට ලක්වීම නිසා ඔවුන් තම අනන්‍යතාව රැක ගැනීම උදෙසාත්, ජීවන මාර්ගයක් ලෙසත් වැදිබසත් වැදි ජන සංස්කෘතියත් ඊට ගැළපෙන ලෙස සකස් කර ගත්හ.

“දඹානේ වර්තමාන වැදි බස නියම පැරණි වැදි බස නොවුව ද එය සංචාරකයන් නිරන්තරයෙන් ගැවසෙන පරිසරයට සුදුසු අන්දමින් සැකසී ඇත. ඒ තත්ත්වය කාලානුරූපී වැදිබසේ වර්ධනීය අවස්ථාවකි. වැදි බස ජීවමාන ව්‍යවහාරයක් බවට පත් වන්නේ මේ අලුත් ව්‍යවහාරයක් එක්වීම නිසා” යැයි වැදිබස ගැන ‘වන්නියැලැත්තෝ’ කෘතියෙන් දඹානේ ගුණවර්ධන පෙන්වා දෙයි.

වැදි බසෙහි ද ප්‍රාදේශීය වශයෙන් වෙනස්කම් දක්නට ඇත. බින්තැන්නේ උතුරු දෙසට වන්නට සිටි වැද්දන් තමන්ගේ රුකුල් ‍පොජ්ජවල් පිහිටි පෙදෙස හඳුන්වන්නේ දැලිගම් පොජ්ජ යනුවෙනි; එය දඹානේදී පෝරුගම් පොජ්ජ බවට පත් වෙයි. උතුරු බින්තැන්නේ වැදි වහරෙහි වැද්දන් යන ගෝත්‍රික නාමය එසේම වහරන ඔවුහු ඇත්තන් යන්න අගට යොදා වැද්දන්ලැත්තෝ, වැද්දන්ලැත්තන් ආදි වශයෙන් යොදාගත් දඹානේ වැදි ගෝත්‍රිකයන් ‘වන්නියැලැත්තෝ’ යනුවෙන් මෑත භාගයේ සිට යොදා ගනිති.

එහෙත් ගච්චනවා, කතා දමනවා, ඇත්තෝ, කොදුයි මන්දෝ වෙනවා වැනි වදන් සමස්ත වැදි පරපුරේ ම ‍පොදු ව්‍යවහාරයන් බව දක්නට ඇත. පැරණි වැදිබස් වහරෙහි මංගච්චනවා යනුවෙන් යෙදුන පදය වර්තමානයේ ගච්චනවා යන වදන පමණක් යොදා ගැනීම පහසුව සඳහා වූවක් විය හැකිය.

ගමන් කිරීම යන අරුත දීමට පැරණි දිගාමඬුලු ජනවහරෙහි යෙදී ඇත්තේ ‘මංගස්සනවා’ යනුවෙනි. මගෙහි යන්නේ අතපය ගස්සවමින් ය. එබැවින් ඔවුන් මං ගස්සනවා යැයි කිවූ වචනයෙහි ‘ස’ අකුර වෙනුවට ‘ච’ යොදා මං ගච්චනවා යැයි වැද්දන් තම වහරට උචිත ලෙස යොදා ගෙන ඇත. “ගච්චනවා” යන පදය වැදි බසට පාලි භාෂාවෙන් ආවක් බව ඇතැම්හු අනුමාන කරති. එහෙත් එය සකස් කිරීමට සාධක කිසිවක් නැත.

වැද්දන් වදන් නිපදවා ගෙන ඇත්තේ ද වනාශ්‍රිතව විසූ දිගාමඬුලු ගැමියන් මෙන් නාම හා ක්‍රියාවන්ගේ ස්වභාවයන්ට අනුකූලව ය. ඒ අනුව ගමන් කිරීමේදී දෑත් හා දෙපා ගැස්සෙයි. ඒ ක්‍රියාවේ ස්වභාවය අනුව ගස්සනවා > ගච්චනවා යනුවෙන් ක්‍රියා පදය සෑදී මාර්ගය හැඳින්වීමට යෙදෙන නාමපදය මග > මං යනුවෙන් බිඳී මං+ගච්චනවා - යනුවෙන් සැකසී ඇතැයි කිව හැකිය.

එක් එක් භාෂාවල එක සමාන ශබ්ද ඇති පද ඇති වීම මත ම පිහිටා ඒ ශබ්ද සියල්ල එක ම මූලයකින් ඇති වූවා යැයි කිව නොහැකි ය. එමෙන්ම එකම වස්තුවක් හෝ ක්‍රියාවක් හැඳින්වීමට අසමාන ශබ්ද යෙදීම නිසා ඒ භාෂා එක ම මූලයකින් ඇති නොවූවා යැයි නිගමනය කිරීමට ද නොහැකිය.

පැරණි වැදි බසෙහි ස්වභාවය පිළිබඳ සඳහන් කරන පාකර් මහතා එය බොහෝදුරට සිංහල කටවහර නමුදු එහි ආකාරය හා උච්චාරණ විධිය අනුව එය ඊට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා බව පවසයි. (Ancient Ceylon,p.123)

වැද්දන් ඔහුගේ නිරීක්ෂණයට ලක් වන කාලය වන විට වැදි බස කෙරෙහි සිංහල ගැමි බසෙහි ආභාසය ලැබී තිබිණි. එහෙත් වැද්දන්ට නිතර දෙවේලේ කතාබහ කිරීමට සිදු වන සතාසීපාවා, ගස්, වැල්, ඇළ, දොළ, ගංගා ආදි පිළිබඳව ඔවුන්ට ම ආවේණික වචන මාලාවක් භාවිත කර ඇත. ඒවා බොහෝ විට ඔවුන්ගේ ම භාෂාවේ පැරැණි වදන් මෙන්ම සිංහල භාෂාවේ හෝ වෙනත් භාෂාවල සම්භවයකින් බිඳගත් ඒවා විය හැකිය.

 වැදි වහරෙහි උච්චාරණ ස්වරූපය රැඳී ඇත්තේ ඒ වදන් කිහිපය නිසා ය.

වැද්දන් පිළිබඳ ගවේෂණයන් සිදු කළ වාර්තා සසඳා බලමින් වැදිබස පිළිබඳ ඇතමුන් කරන නිගමන නිවැරදි ම නොවේ. වැදි බස් වහර සිංහල භාෂාවේ උප භාෂාවන් ලෙස ඇතැම් වාග්විද්‍යාඥයන් කරුණු දක්වා ඇත්තේ වැදි බසෙහි සිංහල වදන් දක්නට ලැබෙන හෙයිනි. එහෙත් ශබ්ද ශික්ෂාව අනුව ගත් කල වැදි බස් වහරට වඩා පැහැදිලි වෙනසක් සිංහලයෙහි ඇත.

සැරසින් සහෝදරයන් එක්රැස් කළ වැදි ජන වහරෙහි වදන් ඇත්තේ 22කි. වැදි වාග් මාලාව ගිලිහී යමින් තිබූ අවධියක බහුලව භාවිත වන්නට ඇත්තේ වාග් ප්‍රපඤ්ච ය. එබදු යෙදීම්වල අවශේෂ තවමත් වැදි බසෙහි රැඳී ඇත. එසේම වර්තමාන වැදි බස පෝෂණය වී ඇත්තේ ද වාග්ප්‍රපඤ්චවලිනි. ‍එවන් සංවාද කිහිපයක් ම THE VEVDDAS - වැද්දෝ පරිවර්තන කෘතියෙහි 558, පිටුවෙහි දක්වා ඇත.

වැදි බසෙහි මෙබදු වාග්ප්‍රපඤ්චයන් තවමත් භාවිතයේ පවතින බව බිම බඩගාන එකා - තලගොයා, ක‍ඳේ කොටන්නා - බෙරකාරයා, උඩකෙළිඤ්ඤා - වඳුරා, හොච්චි දික්කා - ඌරා, කංකුණා - ගෝණා ආදි වදන්වලින් පැහැදිලි වෙයි.

වැද්දන්ගේ භාෂා ඥානය දියුණුව තිබුණ සමයක කියූ වැදි ගීයක් ලෙස හැඳින්විය හැකි ‘කොක්කා ගාලට වැචි වෑලා’ ගීතයෙන් දිස්වෙන්නේ සිංහල ගැමි වහර හොඳින් ප්‍රගුණ කළ වැදි මිනිසකුගේ ගීතයක් බවයි. තත්භව වචන බහුලව යොදාගෙන නිබන්ධනය කර ඇතත් මේ ගීතයෙන් ඔවුන්ගේ අනන්‍යතාව මැනවින් දිස් වේ. ඒ සඳහා උච්චාරණ ශෛලිය මෙන්ම ‘චප්පී’ වැනි ඔවුන්ගේ ම (නිෂ්පන්න) වචන ලෙස හඳුනා ගත හැකි ය.

කොක්කා ගාලට වැචි වෑලා

මාමිනි මා මිනි මා දෙයියා //

කාකුරු කන්දේ කෝබෙයි යා

කඳුරුන් කඳුරුන් කීයන්නා

කොක්කා ගාලට වැචි වෑලා

දිය ගං ඇල්ලේ ගච්චන්නේ

 

චප්පී චරිතිරි චී යන්නේ

ඒකිගෙ බාචේ චී යන්නේ

කට්රූන් කට්රූන් චී යන්නේ

අත්තෙන් අත්තට පනින්නේ

 

මා මිනි මා මිනි මා දෙයියා

මා මිනි මා මිනි මා දෙයියා

 

කෑ‍ඳෙන් කෑමෙන් පණ නොයේ...ය්

සීතෙන් සුළ‍ඟෙන් පණ නොයේ...ය්

වැච්චෙන් චීතෙන් පණ නොයේ...ය්

කුඩිපත නැත්තත් පණ යන්නෙ...යි

“කොක්කා ගලට වැස්සක් වැහැලා: වැහි වතුර පිරිලා දිය ඇල්ලක් ගලා බහිනවා: ඒ ලස්සන දැකලා කාකුරු ක‍ඳේ වහලා ඉන්න කොබෙයි කුරුල්ලෙක් කට්රූං... කට්රූං... යැයි නාද කරමින් ප්‍රීතියෙන් ගී ගයන්නේ අත්තෙන් අත්තට පනිමිනුයි. කොබෙයි කිරිල්ලිත් ඒ වගේ ම ප්‍රීතියෙන් ගී ගයනවා. කුරුල්ලන් මේ අන්දමට සතුටු වන්නේ අත්තෙන් අත්තට පියඹා යමින් දෙන්නත් එක්කයි; කැඳ නැතුවත්, කෑම නැතිවත් පණ යන්නේ නෑ. (කෑම බීම නැතුව මිය යන්නේ නෑ) සිතෙන්, සුළඟෙන් වත් වැස්සෙන්, පින්නෙන් වත් පීඩාවට පත්වෙලා මියැදෙන්නේ නෑ...

ඒ වුණත් කුඩිපත (බිරිය) නැතුව නම් ඉන්න බෑ...”

යන අර්ථය දෙන මේ ගීතයේ අර්ථ රසය ඉතාමත් ඉහළ අගයක් ගනියි. ශබ්ද රසයත්, අර්ථ රසයත් මනාව සුසංයෝගී කරගෙන ඉතා චමත්කාර අන්දමින් සෞන්දර්යාත්මක පරිසර වර්ණනයක යෙදෙන කවියා වැස්ස නිසා ඇතිවන පාරිසරික සුන්දරත්වයෙන් උමතුව කොබෙයි පෙම් යුවළක් ප්‍රීතිමත්ව පෙම් ගී ගයන අන්දම කියන්නේ... තමාට පෙම්වතියක්, නැතිලැත්තියක් නැති අඩුව ඉවසා ගත නොහැකි බව ව්‍යංග්‍යාර්ථවත් ව ඉදිරිපත් කරමිනි.

මේ ගීතයේ එන චප්පී යන ව්‍යවහාරය හැර අනෙක් වදන් බොහොමයක් ම සිංහල භාෂා ව්‍යවහාරයෙන් වැදිබස් ආරට සරිලන ලෙස සකස් කර ගත් ඒවා ය.

කට්රුං > කදුරුං, කොබෙයියා > කෝබෙයියා, කොක්කාගල > කොක්කාගාල, වැසි වැහැලා > වැචි වෑලා, භාෂා > භාසෙ > බාසෙ > බාචෙ, කැඳ > කෑ‍ඳෙන්, දියගංඇල්ල, කාතුරු, කියන්නා, චිරිබිරි, යන්නේ (යනුවෙන්) ඒකිගෙ, කෑමෙන්, පණ, නොයයි යන වචන සියල්ල සිංහල ගැමිජන වහරෙහි වදන් ය.

කුඩිපත යන ව්‍යවහාරය පැරණි හෙළ බස් වහරෙහි භාවිත වූවකි. සද්ධර්මාලංකාරය, උම්මග්ග ජාතකය, පූජාවලිය වැනි පැරණි සම්භාව්‍ය කෘතිවල සඳහන් මේ වදන වෙනත් කිසිදු වැදි ගීතයක හමු නොවෙයි. එසේ හෙයින් ‘චන්දදෝමා බිලින්දේ’ ගීතය මෙන් ප්‍රතිභාපූර්ණ කවියකු විසින් මේ ගීතය නිර්මාණය කරන ලද්දේ යැයි සැකයක් මතු වෙයි. එසේ නොමැති නම් කුඩිපත, කුඩිය වැනි පැරැණි හෙළ වදන් ඔවුන් එකල භාවිත කළා විය හැකිය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.