ලොව වෙනස් කළ ලේඛකයෝ | සත්මඬල

ලොව වෙනස් කළ ලේඛකයෝ

මම සිතුවිලි ලොව සිහින දකින්නටත් ලෝක ජනතාවගේ සිහින සැබෑ කරන්නටත් කැමැත්තෙමි

ඒප්‍රකාශය කළේ මීට වසර එකසිය විසිදෙකකට පමණ ඉහතදී ලෝකයෙන් සමුගත් ශ්‍රේෂ්ඨ පුරුෂයකු වන ඇල්ෆ්‍රඩ් නොබෙල් ය. ඒ ප්‍රකාශයේ පරිද්දෙන්ම නව ලොවක් බිහි කරන්නට උර දුන් විද්‍යාඥයන්, ලේඛකයන් සාමයේ සිහින සැබෑ කරමින් වෙහෙසුණ පුද්ගලයන්ටත් සම්මාන පුද කෙරෙන ක්‍රමයක් ඔහු බිහි කළේය. ඒ ලොව ඉහළ ම සම්මානය ලෙස සැලකෙන නොබෙල් සම්මානයයි. සාහිත්‍යය, සාමය, ආර්ථික විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍ර සඳහා නොබෙල් සම්මාන පිරිනැමීම වර්ෂ 1901 දී ප්‍රථමවරට සිදු විය. එහෙත් මේ වසරේ සාහිත්‍ය සඳහා නොබෙල් සම්මානය පිරි නැමෙන්නේ නැත. මෙසේ සාහිත්‍යය සඳහා ස්වීඩන ඇකඩමිය විසින් නොබෙල් සම්මානය ප්‍රදානය කිරීමෙන් වැළකී සිටීමට කටයුතු කරන්නේ වසර 75කට පසුව ය. අවසාන වතාවට සාහිත්‍ය සඳහා නොබෙල් සම්මානයක් ලබාදීම මඟහැර ඇත්තේ 1943 වසරේදී ය. 1901 වසරේ නොබෙල් සම්මානය ප්‍රදානය ආරම්භ කළ පසු එවැනි අවස්ථා උදා වී ඇත්තේ 1914, 1918, 1935, 1940, 1943 යන වසරවල ලෙස හත් වතාවක් පමණි. 1914 හා 1918 වසරවල පළමු ලෝක යුද්ධය නිසාත්, 1940, 1943 යන වසරවල දෙවැනි ලෝක යුද්ධය නිසාත්, සාහිත්‍ය නොබෙල් සම්මානය ප්‍රදානය නොකෙරිණි. 1935 වසරේ සාහිත්‍ය සඳහා නොබෙල් සම්මානය ප්‍රදානය නොකළේ ඒ වසරේ ඒ සඳහා සුදුසුකම් ලැබූ සාහිත්‍යධරයකු නොසිටි නිසා යැයි ප්‍රකාශ වේ. මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානලාභියා තෝරා නොගන්නේ මේ ඇකඩමියේ සාමාජිකාවකගේ ‍ස්වාමිපුරුෂයකු සහ ඒ ඇකඩමිය සමඟ සාහිත්‍ය හා සංස්කෘතික කටයුතුවලදී සමීපව ක්‍රියා කළ හිතවතකු වන ‍ජෝන් ක්ලෝඩ් ආර්නෝල්ඩ් නම් පුද්ගලයා වෙත එල්ල වුණු ලිංගික අතවර චෝදනාවයි. ඊට අදාළ තවත් සාධකයක් වන්නේ නොබෙල් ත්‍යාග අරමුදලේ මුදල් අවභාවිතය හා නොබෙල් සම්මානලාභී නාමලේඛන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පෙරාතුව ඒවා‍ හෙළිදරව් කිරීම ය. කෙසේ වෙතත් 2019 නොබෙල් සාහිත්‍ය සම්මානලාභියා තෝරා ගැනීමේදී ඊට සමගාමීව 2018 වර්ෂය සඳහා ද නොබෙල් සාහිත්‍ය සම්මානලාභියා තෝරා ගන්න බවයි ඔවුන් පවසන්නේ.

නොබෙල් සාම ත්‍යාගය කොංගෝ රාජ්‍යයේ ඩෙනිස් මුක්වේගේ සහ ඉරාකයේ නාඩියා මුරාද් මේ වසර සඳහා ඒ සම්මානය දිනා ගනිති.

කොංගෝ ජනරජයේ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීම සහ ඉරාකයේ ලිංගික වහල් වෙළෙඳාම හා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම යන කරුණු අරබයා මේ දෙදෙන මෙවර සාම ත්‍යාගයෙන් පිදුම් ලබති. ඩෙනිස් මුක්වේගේ කොංගෝ ජනරජයේ නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. 1993 උපත ලද නාඩියා මුරාද් ඉරාක මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. ඇය ඉරාකයේ යදිසි ගෝත්‍රික යුවතියකි. යදිසි යනු ඉරාකයේ සුළු ජාතික ජන කොටසකි. වර්ෂ 2014 දී අයි. එස්. ත්‍රස්තවාදීන්ගේ නැඟී සිටීම සිදු විය. අද වන විට අයි. එස්. අයි. එස්. එසේත් නැතිනම් ඉස්ලාමික් ස්ටේට්ස් ත්‍රස්තවාදීන් හඳුන්වන්නේ ඩයේශ් තක්පීරි යනුවෙනි. ත්‍රස්තයන්ගේ නැඟී සිටීම සිදු වූයේ ඉරාක‍යේත්, සිරියාවේත් ඔවුන් විසින් අල්ලාගත් පළාත් එක් කරමින් ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවමිනි. ඒ වසරේ අයි. එස්. ත්‍රස්තවාදියෝ නාසියාගේ යදිසි ගමට කඩා වැදී ගමේ සිටි ජනයා මරා දැමූහ. එහිදි නාඩියා ඇතුළු සෙසු තරුණියෝ 7000ක පිරිසක් පැහැර ගනු ලැබූහ. නාඩියා පමණක් නොව යදිසි කාන්තාවෝ රැසක් ඒ අවස්ථාවේ පටන් අයි. එස්. ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහලියන් බවට පත් වූහ. උතුරු ඉරාකයේදී ලිංගික වහලියක ලෙස විකුණා දැමීමෙන් පසු නාඩියා පණ බේරාගෙන ඉතාලියෙන් යුරෝපයට පලා ගියාය. එහිදී ඇය මානව ක්‍රියාකාරිනියක ලෙස තමන්ට පමණක් නොව සෙසු යදිසි යුවතියන්ට සිදු වුණු අසාධාරණය වෙනුවෙන් හඬ නැඟුවාය. ඒ අනුව නාසියා මුරාද් ඉරාකයේ යදිසි සුළුතර ජනතාව වෙනුවෙන් නිරතුරුව පෙනී සිටින්නියක බවට පත් වූවාය. සරණාගත සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් තම ජීවිතය කැප කර ඇති ඇය 2014 දී අයි. එස්. ත්‍රස්තයන්ගේ ගොදුරක් බවට පත් වූවාය. අයි. එස්. ත්‍රස්තයන් මොසුල් නුවරදී ඇය අතවරයට ලක්කළ බව ද පැවසේ. පසුගිය 2016 වසරේදී ද ඇගේ මෙහෙවර වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම යෝජනා වුවද ඇයට එය හිමි නොවුණි. නාඩියා තම මවුබිම වන ඉරාකයට පැමිණෙන්නේ වසර තුනකට පසු 2017 වසරේදී ය.

මුක්වේගේ කොංගෝ ජනරජයේ නැඟෙනහිර පිහිටි නගරයක් වන බුකාවු පන්සි රෝහලේ සේවය කරමින් ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයෙකි. ඔහුගෙන් මේ ආකාරයෙන් ප්‍රතිකාර ලද රෝගී සංඛ්‍යාව තිස්දහසකට වඩා අධික බව මාධ්‍ය පවසයි. ඔහු 1999 වසරේදී සායනයක් ආරම්භ කර ඇති අතර එයට මේ ආකාරයෙන් කාන්තාවන් දහස් ගණනක් පැමිණ ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනා ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන් වන අතර ඔවුන්ගෙන් ද බොහෝ දෙනා ශල්‍යකර්ම සඳහා භාජනය කර යුතුව තිබී ඇත.

නොබෙල් සාම ත්‍යාගලාභීන් දෙදෙනා ම ලිංගික ප්‍රචණ්ඩත්වය අවියක් කර ගැනීම හා එවැනි යුද අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් සුවිශේෂී දායකත්වයක්දී ඇතැයි නොබෙල් සාම ත්‍යාගය නිකුත් කළ හේතු පාඨයේ සඳහන් වෙයි.

ඒ හේතු පාඨය යටතේ මේ දෙදෙනාට නොබෙල් සාම ත්‍යාගය හිමි වන බව නෝර්වේජියානු නොබෙල් කමිටුව ප්‍රකාශ කළේය.

ආර්ථීක විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය අමෙරිකානු ආර්ථික විශේෂඥයන් වන විලියම් නොර්දෝස් සහ පෝල් රෝමර් අතරේ සමව බෙදී යන බව ස්වීඩනයේ රාජකීය විද්‍යාඥයන්ගේ ඇකඩමිය නිවේදනය කළේය. කාලගුණ විපර්යාස සහ නව තාක්ෂණය බද්ධ වන ආකාරය සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂණ හරහා ඉදිරිපත් කළ දත්ත සැලකිල්ලට ගනිමින් ඉහත නම් සඳහන් දෙදෙනාට ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමි වන බව යථෝක්ත ඇකඩමිය පැවැසීය.

මේ අතර අමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනෙක් සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙක් ද මේ වසරේ නොබෙල් ත්‍යාගය දිනා ගනිති. කැලිෆෝනියාවේ තාක්ෂණික ආයතනයේ විද්‍යාඥවරියක වන ෆ්රැන්සිස් ආර්නෝල්ඩ්, මිසුරු විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ ජෝර්ජ් ස්මිත් සහ බ්‍රිතාන්‍යයේ එම්. ආර්. සී. හි අණුක ජීව විද්‍යා විද්‍යාගාරයේ විද්‍යාඥ ග්‍රෙගරි වින්ටර් මෙසේ මේ වසර සඳහා රසායන විද්‍යාව වෙනුවෙන් නොබෙල් සම්මාන ලැබූහ. මේ තිදෙන ම එන්සයිම සහ ප්‍රතිදේහ විද්‍යාව පිළිබඳ ප්‍රවීණයෝ වෙති.

පරිසර හිතකාමී දියර පිරිසිදු කාරක ජෛව වායු සහ පිළිකා ඖෂධ යනාදියේදී භාවිත කරන නව ප්‍රෝටීන නිෂ්පාදනය කිරීමේ බල විකාශනය පාලනය කිරීම සහ ඉන් ප්‍රයෝජන ගැනීම යන්න හේතු පාඨය වශයෙන් දක්වා ඇත. ඇබිචි ඖෂධ නිෂ්පාදන සමාගම අලෙවි කරන හුමීරා එන්නත ඔවුන්ගේ මේ සොයා ගැනීමේ ප්‍රතිඵලයකි. මේ එන්නත ලොව වැඩියෙන් ම අලෙවි වන ඖෂධවලින් එකකි. මේ එන්නත රක්තවාත, ආතරයිටීස් රෝගයට සහ අනෙකුත් ස්වාභාවික ප්‍රතිශක්තිය හීන වීම නිසා ඇති වන රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගන්නා බව වෛද්‍යවරු පැහැදිලි කරති.

ෆැරැන්සිස් ආර්නෝල්ඩ් රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනූ නවවැනි කාන්තාව ය. ස්වීඩන ක්‍රොනෝර් මිලියන නමයෙන් අඩක් ඇයට හිමි වන අතර ඉතිරි අඩ ස්මිත් සහ වින්ටර් අතරේ බෙදී යන බව ත්‍යාග කමිටුව පවසයි.

මෙවර 2018 වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයෝ තිදෙනකු අතරේ බෙදී යයි. ආචාර්ය ඩෝනා ස්ටීක්ලන්ඩ් ඉන් එක් තැනැත්තියකි. අනෙක් දෙදෙනා අමෙරිකා විද්‍යාඥ ආතර් ඈශ්කින් සහ ප්‍රංස විද්‍යාඥ ජෙරාඩ් මොව්රෝ ය. ‍ඔවුන්ට නොබෙල් ත්‍යාගය හිමි වන්නේ පිළිකා මර්දනයට මෙන්ම අක්ෂි සැත්කම් සඳහා ද යොදා ගන්නා නව ලේසර් තාක්ෂණ ක්‍රමවේද හඳුන්වා දීම අගයමිනි. ආතර් ඈශ්කින් විසින් නිපදවනු ලැබූ ප්‍රකාශ අඬු මඟින් විද්‍යා ක්ෂේත්‍රයේ විවර කරන ලද නව අවකාශය ඇගයීමක් වශයෙන් මේ සම්මානය ඔහුට හිමි වෙයි. ඒ අනුව මේ ප්‍රකාශ අඬු මඟින් ඉතා කුඩා අංශු පරමාණු වෛරස හා අනෙකුත් සජීවී ශෛල වැනි අතිශය කුඩා දේ ග්‍රහණය කර ගෙන එය අවශ්‍ය පරිදි හැසිරවීමේ හැකියාව විද්‍යා ප්‍රජාවට හිමි වෙයි. ඉන් සමස්ත විද්‍යා ක්ෂේත්‍රයට ම එල්ල වී ඇති හා එල්ල විය හැකි බලපෑම ඉතා විශාල ය. දැනට 96 හැවිරිදි වියේ පසු වන ඈශ්කින් නොබෙල් සම්මානයෙන් පිදුම් ලබන වයස්ගතම පුද්ගලයා වීමේ භාග්‍යය ද ඔහුට හිමි විය. ජෙරාඩ් මෙව්රෝ විද්‍යාඥයා හා ඩෝනා ස්ටීක්ලන්ඩ් යන විද්‍යාඥවරිය ලේසර් තාක්ෂණය ආශ්‍රිතව කරනු ලැබ ඇති නව හඳුන්වා දීම ද විද්‍යාවේ උන්නතිය සඳහා ලබාදී ඇත්තේ විශාල දායකත්වයකි. මේ තාක්ෂණය අද වන විට අධි සංඛ්‍යාත ලේසර් කිරණ නිපදවීමේ සම්මතය බවට පත් වී ඇත. අද ලොව පුරා වසරකට මිලියන ගණනින් සිදුවන ඇස්වල දෝෂ ඉවත් කිරීමේ සැත්කම් සඳහා භාවිත වන්නේ ඔවුන් ඉදිරිපත් කළ මේ තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කළ උපාංග ය. වසර 55කට පසු භෞතික විද්‍යාව වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගය කැනඩා ජාතික විද්‍යාඥවරියක වන ඩෝනා ස්ටීක්ලන්ඩ්ට හිමි වීම විශේෂත්වයකි. භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමිකර ගත් තෙවැනි කාන්තාව ද ‍මැය වේ. මීට පෙර නොබෙල් භෞතික විද්‍යා ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ 1903 දී මාරි කියුරි හා 1963 වසරේදී මරියා ගෝපර්ට් මේයර් ය.

මේ වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට අමෙරිකා හා ජපාන මහාචාර්යවරු දෙදෙනෙක් සමත් වූහ. ඇමෙරිකා එක්සත් ජනපදයේ මහාචාර්ය ජේම්ස් පී. ඇලිසන් හා ජපානයේ මහාචාර්ය ටසුකු හොන්ජෝ ඍණාත්මක ප්‍රතිශක්තිකරණ නියාමනයේදී සිදු වන නිෂේධනය සඳහා වන පිළිකා ප්‍රතිකාර වෙනුවෙන් මොවුන් දෙදෙනා 2014 වසරේදී කළ පර්යේෂණය සඳහා ටෑන්ග් සම්මානයෙන් ද පිදුම් ලැබූහ. ටෑන්ග් සම්මානය නොබෙල් ත්‍යාගයේ ආසියානු සංස්කරණය ලෙස ද හැඳින්විය. පිළිකා මර්දනය කිරීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යොදාගත හැකි ආකාරය සම්බන්ධයෙන් මොවුන් කළ පර්යේෂණ මේ සඳහා හේතු වී ඇත. පිළිකා සඳහා ප්‍රතිකාරයක් ලෙස සලකන අප සිරුරේ ඍණාත්මක ප්‍රතිශක්ති යාමනය මර්දනය කිරීමට හැකි ඖෂධයක් සොයා ගැනීමේ ක්‍රියාවලිය ඇගයීමට ලක්කරන ලදී. අප සිරුරේ පවතින ස්වාභාවික ප්‍රතිශක්ති ක්‍රියාවලිය සහ පද්ධතිය සතුව ඇති පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව උද්දීපනය කිරීමේ ක්‍රමයක් ද මෙහිදී ඇගයීමට ලක් විය. ඇලිසන් විසින් පර්යේෂණ කරන ලද්දේ මානව ප්‍රතිශක්ති පද්ධතියේ තිරිංගයක් ලෙස හැසිරෙන එක්තරා දන්නා ප්‍රෝටීනයක් පිළිබඳව ය. එහිදී ඔහු සොයාගත් විශේෂ ක්‍රියාවලිය වන්නේ ඉහත කී තිරිංගය සෙමෙන් නිදහස් වන විට ප්‍රතිශක්ති සෛල මඟින් පිළිකා සෛල විනාශ කර දැමීමයි. මීට සමාන්තරව ජපන් විද්‍යාඥ හොන්ගෝ ද ඉහත කී යන්ත්‍රණයට වඩා වෙනස් වූ යන්ත්‍රණයකින් ක්‍රියාත්මක වන ප්‍රතිශක්ති පද්ධතියේ තිරිංගයක් ලෙස ක්‍රියා කරන වෙනත් ප්‍රෝටීනයක් පිළිබඳව ද අධ්‍යයනය කරන ලදී. කෙසේ වෙතත් ඔහුගේ සොයා ගැනීම තහවුරු වූයේ මෙකී යන්ත්‍රණ දෙක නිසා ම ක්‍රියාකාරී වන ප්‍රතිශක්ති සෛල මඟින් පිළිකා සෛල විනාශ කරන බව ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.