සංගීතය නොකියවා සින්දු ඇසීම | සත්මඬල

සංගීතය නොකියවා සින්දු ඇසීම

සංගීතය තරම් මිනිසාගේ අධ්‍යාත්මය සුවපත් කිරීමට හැකි ඔසුවක් තවත් නැති තරම් ය. භාවනාවක් කරගත හැකි සංගීතය බොහෝ දුක්ඛ දෝමනස්සයන් පලවා හරින්නටත් සුඛදායි චිර කල්පනයක් ඇති කරන්නටත් පොහොනා ගුණයෙන් යුතුවෙයි. එහෙත් ඒ සංගීතය වර්තමානයේදී හුදු සින්දු සංගීතයක් පමණක් බවට පත්වෙමින් පවතියි. ඒ නිසා වත්මන් මාධ්‍යය මඟින් මිනිසුන්ට සින්දු අස්සවන්නට පොලඹවමින් සිටී. එහිදී සංගීතය යනු ගේයපද අතරට තාල රාග සිර කරවීමකි. අද ඒ හඬවල් තවත් ඉදිරියට යමින් ජංගම දුරකථනවල ‘හැඟවුම් නාද’ (RINGING TONE) බවට පත්ව ඇත. සංගීතය ගැන කතා කරද්දී එවන් කාර්යය සූරාකෑමකැයි යමකු පවසනු ඇත. එහෙත් සූරාකෑම යන්න ඒ ක්‍රියාවලිය ලඝු කරවීමකි. මන්ද ඒ හ‍ඬෙහි හිමිකම හෝ අයිතියට නිසි ගෙවීමක් ඉන් නොලබන, නොගෙවන බැවිනි. ඒ අනුව වත්මන් සංගීතය යනුවෙන් හඳුන්වන ගීතය ඔස්සේ සිදුවෙමින් පවතින‍්නේ ගෝලීයකරණයේ අයිතිය හා හිමිකම් පවරා ගැනීමේ කුමන්ත්‍රණයයි.

මෙහිදී අපට “අඩානෝගේ” විග්‍රහය අමතක කළ නොහැකිය. මෙවන් කෙටි වෙළෙඳ ගීත, ජින්ගල්ස් හැඟවුම්නාද බිහි වන්නේ ධනේශ්වර ක්‍රමයක සේවය හා ලාභය උදෙසා ය. ඒ අනුව මෙවන් සංගීත ව්‍යාපෘති බිහි වන්නේ සූරාකෑමට එහා ගිය ධනේශ්වර ක්‍රමයේ අයිතියක් වශයෙනි.

තියොඩර් අඩානෝ සංගීතය විනාශ විය හැක්කේ කෙසේද කියා එසේ ලියද්දී සංගීතය ආරක්ෂා කරන්නට ඕස්ට්‍රියාව ආක්‍රමණය කළ ප්‍රංස හමුදා පවා එදා යුද්ධයට විරාමයක්දී ඇත. ඒ ඔවුන් පවා ආදරය කළ ගරු කළ බිතෝවන් ඕස්ට්‍රියාවේ සිටින බව ආරංචි වීමෙනි.

ඔවුන්ට ඕස්ට්‍රියාව දිනා ගන්නවාට වඩා කන් නෑසෙන බිතෝවන් වෙඩිහඬ නෑසී එළිමහනට පැමිණ වෙඩි වදිතැයි එදා බියවී ඇත. ඔවුන් බිය වූයේ ඒ මහා සංගීතයටයි. බුදුන්වහන්සේ වැඩම කළත් උන් වහන්සේ ගෙනුත් ලංකාවේ බණ දේශනා කරන්නට කොමිස් ඉල්ලන්නට ඉදිරිපත් විය හැකි මිනිසුන් ඉන්නා අපේ රටේ සංගීතයට කුමක් වුවද කිසිවකුට එය දැනෙනු ඇතැයි සිතිය හැකිද?

ඒසා වටිනා කමක් ඇති සංගීතය අද අපේ රටේ පවතින්නේ කොතනකද? වත්මනේදී ශ්‍රී ලංකාවේ අප අපේ සංගීතය ලෙස භාවිත කරන්නේ උත්තර භාරතීය සංගීතයයි. අපගේ ජන සංගීතය උත්තර භාරතීය හෝ බෙංගාලි සංගීතය හෝ බටහිර සම්භාව්‍ය සංගීතය සමඟ හෝ මුහුන් කරමින් හෝ අපි අපේ ම සංගීත ආරක් බිහිකර ගන්නට තවමත් සූදානම් බවක් නොපෙනෙයි.

බටහිර සංගීතයට රුචි නොවන මිනිසුන් උත්තර භාරතීය සංගීතය වැලැඳ ගන්නේ එය බාහිර දේශයකින් පැමිණ වන අමතක කරමිනි.

“සම්ප්‍රදාය! සම්ප්‍රදාය! සම්ප්‍රදාය! දේශීය සංගීතය! දේශීය සංගීතය! කිය කියා හිටියාට වැඩක් වේද? පැපොල් ගහට හොඳම පොහොර ගොම පොහොර යැයි අපි සිතමු. ඇයි රට පොහොර හොඳ නැත්තේ? රට පොහොරවලින් ගහ හොඳට වැඩේ නම් ගෙඩි හොඳට පිළිගනී නම් එය කොන් කළ යුත්තේ ඇයි?

කවදත් ශාස්ත්‍රීය සිද්ධාන්තවලට ගරු කරන මා ඒ සිද්ධාන්ත නොබිඳ අලුත් නිර්මාණ කිරීමට තැත් කරන හැම කලාකරුවකුට ම ළැදියි. මගේ උදව්වත් ඔහු වෙතයි.”

ලයනල් එදිරිසිංහ

මේ අනුව අපට තවමත් අපේ ම කියා සංගීතයක් නොමැත්තේ සංගීතය හා සම්ප්‍රදාය යන්න දෙකක් බව වටහා ගැනීමට ඇති මැළිකම යැයි මට සිතේ. සංගීතය මැනවින් හදාරන්නවුන් විවිධ සංගීත සම්ප්‍රදායයන් ද හැදෑරිය යුතුය.

එසේ නොකර සිටින තාක්කල් අපේ සංගීතය විශ්ව සංගීතයට එකතු නොවේ. ඒ අනුව අප ළඟට පිහිටි ඉන්දියාවේ රාග මත පදනම්ව ඔවුන් නිපැයූ තාල මත පිහිටා අපගේ ගේය පද ගායනා කිරීමෙන් අපගේ සංගීතයත් බිහි නොවේ. සංගීතය කුමක්දැයි වටහා ගැනීමට හා වටහා දීමට දක්වන අලස සුව කාමිත්වය නිසා දේශීය සංගීතයක් බිහිවීම දිනෙන් දින කල් යයි.

මෙවන් ලඝු ආකල්ප නිසා සංගීතය නම් වූ විශ්ව මානවීය භාව ප්‍රකාශනය අප විසින් කොදෙව් මානසිකත්වයට උකස් කර බලා සිටිමු. සංගීතය කුමක්දැයි හඳුනා නොගෙන අපට මේ අනුව අපේ ම සංගීතයක් සොයාගත හැකිවේද? මේ නිසා මූලික වශයෙන් වත්මන් සමාජයේ සංගීතය පිළිබඳව ඇති මිථ්‍යාව අප පුපුරුවා හැරිය යුතුය.

සංගීතය යනු හුදු වචන මාලාවකට තනු නිෂ්පාදනය කිරීමක් නොවේ. එහෙත් ගේය පදවැලකට කතා කරන තනුවක් රාග මතින් හෝ නොමැතිව නිර්මාණය කරන තැන සංගීතය දැකිය හැකිය. ලංකාවට තමන්ගේ කියා සංගීතයක් නිපදවා ගන්නට නොහැකි ද? ඩබ්. ඩී. මකුලොලුව, සී. ද. ඇස්. කුලතිලක, සුනිල් සාන්ත, ලයනල් රන්වල, රෝහණ බැද්දගේ ද සමඟින් තවත් කීපදෙනකු මේ උත්සාහය දරා තිබුණි. එය ඩබ්. ඩී. අමරදේව හා ප්‍රේමසිරි කේමදාසයන් අතින් ද තවදුරටත් පෙරට ගෙන ගොස් තිබිණි. එහිදී ඒ සියල්ලට ම වඩා ප්‍රේමසිරි කේමදාසයන්ගේ කැපවීම, අත්හදා බැලීම් හා පර්යේෂණ සඳහා මෙරට සංගීතඥයන් කියන අයගෙන් මෙන්ම බලධාරීන්ගේ ද සහයෝගය ලැබුණේ නම් මේ වනවිටත් ශ්‍රී ලංකාවටම ආවේණික සංගීත ‍රටාවක් ඔහු අතින් නිම වෙන්නට ඉඩ තිබිණි.

අප මෙහිදී නැඹුරු විය යුත්තේ සංගීතය නිසා ගීතය රැකෙනවා ද ගීතය නිසා සංගීතය මතුවෙනවා ද යන්න ගැටලුවක් මතුකිරීමට නොවේ. ගේය පදමාලාවක් සංගීතයෙන් තොරව ගායනාවක් වන්නේ නැත. ඒ ගායනාව නොමැතිව සංගීතය පදමාලාවක ඇති බවක් දැනෙන්නේ ද නැත. එය තුන්සිතක එක්කාසුවකි. එහෙත් ගීතයට වාහකය සපයනු ලබන්නේ සංගීතයයි. එබැවින් සංගීතය පිළිබඳව විමසිලිමත් වීම ගීතයක පදමාලාව හෝ ගායනය අමතක කිරීමක් නොවේ. මෙහිදී වැදගත් වන්නේ සංගීතයක් මතුකර ගැනීමත් එය අපගේ සංගීතයක් බවට හඳුනා ගැනීමට හැකි වීමත් ය. සූර්යශංකර් මොල්ලිගොඩ, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්තයන් ද මේ සඳහා උපරිම උත්සාහයක් ගෙන තිබුණ ද එය ශාස්ත්‍රීය හා සම්ප්‍රදායාත්මක අධ්‍යයනයක් බවට පැතිර ගියේ නැත.

පසුකාලීනව අමරදේවයන් තමන්ගේ ගායනා සඳහා වන්නම් හා ජන ගායනාවල රිද්ම රටා වරින්වර එකතු කර ගත්තේය. ඒ ගීතයත් ඉතා ජනප්‍රිය වූයේය.

“රන්වන් කරල් සැලෙයි”, ‘කැලේ ගහක මල් පිපිලා’, ‘බඹරෙකු ආවයි’, ‘නේරංජන නදියේ’ ඒ සඳහා නිදසුන් කීපයකි. එහෙත් එතුමා ගැමි ගීයේ නාද මාලාව තමන් ප්‍රගුණ කළ උත්තර භාරතීය සංගීතය සමඟ හෝ බටහිර සම්භාව්‍ය සංගීතය සමඟ කරන ගනුදෙනුවක් මඟින් අපට ආවේණික සංගීතයක් නිර්මාණය කිරීමෙහිලා අත්හදා බැලුවේ නැත. පසුකාලීනව රෝහණ බැද්දගේ තමන්ගේ බොහෝ ගීත සිංහල ජන කලාවේ රූපවලින් සරසා ගන්නට උත්සහ කළේය. මෑත කාලයේදී භාතිය, සන්තුෂ් සහ තවත් නව පරපුරේ ගායකයන් සේම සංගීතඥයන් ද ඒ ආලෝකය ලබාගෙන තිබුණ ද ඒවා පදමාලාවක් සරසාලන ආයිත්තමක් පමණක් වී ඇත.

අමරා - දයා, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, නන්දා මාලිනී, නන්දා පතිරණ, අබේවර්ධන - නිරංජලා, නිරෝෂා විරාජිනී පවා තමන්ගේ ජනප්‍රිය වූ ගීත රැසක් ම නිර්මාණය කර ඇත්තේ ජන ගායනාවල ඇති ශ්‍රැතිය හා ස්වර සංගති ඇසුරු කරමිනි.

ජන සංගීතයේ සංගීත මූලාශ්‍රය ඉතා අවම ය. එසේම කංකාරීවලදී ගායනා කිරීම සඳහා රචනා වූ බලිකවි, වන්නම් මෙන්ම විවිධ ජන කවිවලින් ගත් ගීත ලකුණුවලින් බහුල ගී කාව්‍ය හා සිරිත් රටාව ද අධ්‍යයනය කරමින් අපට අපගේ ම කියා සංගීත මූලාශ්‍රයක් නිපදවා ගත හැකිය. එහි ඇති විෂය සීමාන්තික භාවය නිසා එය අපට බටහිර සම්භාව්‍ය සංගීතයේ සහ උත්තර භාරතයේ මෙන්ම ආසියාකරයේ ඇති වෙනත් විවිධ සම්ප්‍රදායන් සමඟ ද ගළපා අපේ සංගීත ක්‍රමයක් සකස් කරගත හැකිය. අප විසින් මෙවන් අධ්‍යයනයක් නොකළහොත් සංගීත සංගායනා දහසක් සිදුකර හෝ සිදුවිය හැකි අනාගත ව්‍යසනය මග හරවා ගැනීමට නොහැකි වෙනු ඇත.

ගීතය පසුකාලීනව වචනාර්ථය ගැඹුරින් සලකන්නට හුරු විය. අප අද ගෙවන්නේ ඒ යුගයයි. එහෙත් ගීතය සමාජ සත්කාරයක් බවට පත්වන්නේ එහි ඇති සංගීතමය කියැවීම නිසා ය. ඒ අනුව අපට අමතක කළ නොහැක්කේ ගීතය යනු සංගීතමය කියැවීමක් බව ය. ඒ අනුව ගීතයට ජන ගී නාදමාලාව අප එකතු කරගත යුත්තේ ඉතා සීරුවෙන් සහ අවබෝධයකින් යුතුව ය. එය එසේ නොවන්නට පරම්පරා ගණනාවක් කටවහරින් පැමිණි ජනනාද ගී මාලා පවා දූෂ්‍ය විය හැකිය. මන්ද ජනනාදමාලා ආභාසය ලබන නව ගීතය ඉතා ඉක්මනින් සහෘදය සිත ඇදගනු ලබයි. එයට හේතුව ජනනාදමාලාවකින් බොහෝ දෙනකුගේ හදවත අභ්‍යන්තරයේ රැඳුණු හැඳුනුම්කම් හා ඥාතිත්ව මතුවීම නිසාවෙනි. එබැවින් එවන් සාධුකර ඇමතීමක් කළ හැකි නාද මාලාවක් අරුත්සුන් වචනවලින් ත්‍රස්ත විය හැකි නිසා එය අ‍වබෝධයෙන් භාවිත කළ යුතු වෙයි.

එහෙත් මෙහිදී අප ගැඹුරින් සලකා බැලිය යුත්තේ සංගීත කලාව ගීත ගායනයට පමණක් ම සීමා විය යුතු ද යන්නයි. ගීතයේ වර්ධනය සිදු වන්නේ සංගීතය සමඟ එය කියැවීමෙනි. ඒ කියැවීමේදී සංගීතය ගීතය සමඟ ම කතා කළ යුතුය. සංගීතය වර්ධනය වීමට එය නාට්‍යරූපී මානවීය නාද මාලාවක් විය යුතුය. එහි වර්ධනය අපේ රටේ ඇතිවීමට සංගීතයෙන් කළ හැකි දේ බොහෝ ය. ඔපෙරා, ඔපරෙටා, කැන්ටාටා මෙන්ම “ඔරටේරියෝ” වන සංගීත කියමන් උදෙසා වත්මන් සංගීතය ව්‍යාප්ත විය යුතුය. එවන් දිගුවකට අත්හදාබැලීම් හා පර්යේෂණ නොකරන තාක් අප නිර්මාණය කරන අපේ සංගීතය වර්ධනය නොවේ. එසේම එය අන්තර්ජාතික තලයට ද නොයනු ඇත. සංගීතය විශ්වීය බසකි. එබැවින් ඒ විශ්ව භාෂාව නම් වූ සංගීතයෙන් අපට අපේකම මුද්‍රාගත කළ යුතුව ඇත.

ස්වර සංගතිවලින් සංගෘහිත වූ සංගීතය මඟින් අප කළ යුත්තේ ගීත ගායනය පමණක් නොවේ. වර්තමානයේදී සමාජගත වූ අදහස වී ඇත්තේ සංගීතය, ගීතයක් ගායනා කිරීමට හා එය ජනප්‍රිය කරවා ගැනීමට ගන්නා උත්සහයක් ලෙසිනි. මේ නිසා සංගීතය යනු උසස් රසවින්දනයක් ‍උදෙසා කරනු ලබන යහපත් ආයෝජනයක් නොව මුදල් ඉපැයීම සඳහා කරන ව්‍යාපෘතියකි. අද දවසේ සිදුවෙමින් පවතින්නේ එයයි. මේ සඳහා ඉවහල් වී ඇත්තේ කුමක් ද? සංගීත ශ්‍රවණයේ පහළ යෑමයි. වර්තමානයේදී සංගීතය යනු හුදු ආදායම් මාර්ගයකි. එමෙන්ම එය ශ්‍රවණයට වඩා ශාරීරික අවයවවලට උත්ප්‍රාසය සපයන ප්‍රාණජීවයකි. ඒ තත්ත්වය බොහෝදුරට ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකා මඟින් කරනු ලබන රියලැටි ෂෝ හා ඩ්‍රීම්ස්ටාර් වැනි වැඩසටහන්වලින් තහවුරු කරමින් සිටී. එසේම ඒ මඟින් ගීත‍යේ පැවැති සම්භාව්‍ය සංගීතය අද වෙනස් කරමින් සිටී. විනාශ කරමින් සිටී. එය විනිසුරුවන් ලෙස පෙනී සිටින ඇතැම් මුග්ධ නායකයෝ හා ගායිකාවෝ ද ප්‍රසිද්ධියේ අගය කරමින් සිටිති.

මේ නිසා අද සංගීතය හා ගායනය ද ජංගම දුරකථන සේවා ආයතනයක තොරොම්බලයක් බවට පත්ව ඇත.

සංගීතය ඔස්සේ මෙවැනි සංසිද්ධි අපේ රටේ සිදුවන්නේ ඇයි? සංගීතය පිළිබඳ නියත වූ හැඳින්වීමක් නොමැතිකම සේම සංගීතයේ පෙර ගමනක යෙදෙන පර්යේෂණකාමීන් නොමැතිකමත් නිසාවෙනි. අපේ ය කියා සංගීතයක් සාදා නොගන්නා අපේ ම සංගීතකාරයන් සංගීතය සමඟ අලුතින් කරන ගනුදෙනුවක් අද ඇත්තේ ම නැති තරම් ය. ඒ නිසා ගේයපද රචනයකට තනු නිර්මාණය කිරීමෙන් එහා ගිය සංගීතයක් අද මේ කොදෙව්වේ සිදුවන බවක් නොපෙනෙයි. සංගීතය පිළිබඳව යමක් දන්නවා යැයි කියන නව පරපුරේ තරුණ සංගීතවේදීන් පවා ගීතයේ සෝදාපාළු කරවන තරගවල විනිසුරුවන් වී ධනවාදී ආයතන මඟින් සූක්ෂමථාර්ථයෙන් කරගෙන යෑමේ සංගීත සූරාකෑමේ කුලීකරුවන් බවට පත්ව ඇත. එය සංගීතය ගැන යමක් කීමට වේදිකාවක් නිර්මාණය කර ගැනීමක් කියා යමකු අර්ථ ගන්වන්නේ නම් සැබෑවට ම එය ගහදන්නා අයකුට කොළ කඩා පෑමකි.

සංගීතඥයා විසින් සිය කාර්යභාරය තමා විසින්ම ලඝු කර ගැනීම නිසා වත්මන් බොහෝ ගීතවල පෙරට ගෙනයෑමට තරම් රැඳුණු ඕජෝගුණයක් නැතිතරම් ය. මේ නිසා අද බිහිවන යෞවනයන්ගේ ගීත එහෙමපිටින් ම වෙළෙඳ පොළ බලා කරන නිර්මාණ හෝ අතිශය පෞද්ගලික ශෝකාලාප ය. මේවා නරුමාලා‍ප ලෙස සැලකුව ද වරදක් නොවේ. ඒ අතර ම සමහර යෞවනයන් හා ආධුනිකයන් කරනු ලබන සංගීත සංයෝජන ද නැතිනම් අද වනවිට සංගීතය නැවතී බොහෝ කල් ය.

මහගමසේකරයන්ගේ අකල් සමුගැන්මෙන් මියගියේ ඔහු නොව අමරදේවයන් ය. ඔහුගේ වසර විස්සක පමණ රැකි මුනිවත සිංහල සංගීතයට නැති කළ දෑ බොහෝ ය. කේමදාස මාස්ටර් ද නොසිටින්නට සංගීතයේ ඇති වන්නේ විශාල හිඩසකි. මේ අවකාශය ගැන එක් අයකුට දෙදෙනකුට ඇඟිලි දිගුකර හුදෙකලා විය හැකි නොවේ. සංගීතයේ නාමයෙන් අමරදේවයන්, ප්‍රේමසිරි කේමදාසයන් නැති තැන ඔවුන්ගේ ආභාසය ලැබූ මෙන්ම නොලැබූ එහෙත් සංගීතය සිය විෂය කරගත් සෙස්සෝ සිය උගත් දෙයින් යමක් කළ යුතුය. අවම වශයෙන් ගේයපද හරහා හෝ සංගීතය පවතින්නට ද ශ්‍රාවකයා පෝෂණය කිරීමට ද උත්සාහ කළ යුතුය. එසේ නොවන්නට සිදුවන්නේ විජේවීර පෙන්නා ගෙන ජාමේ බේරා ගන්නා ජේ.වි.පි. ය මෙන්, යුද්ධය නිමා කිරීම පෙන්වා ගෙන බලය සොයන විපක්ෂය මෙන්, දූෂණය හා හොරා යැයි කෑ ගසමින් සොරකමේ යන ආණ්ඩුව මෙන්, බුදුන් වහන්සේ පෙන්වාගෙන බුද්ධ දර්ශනයට නිගා කරන ඇතැම් හාමුදුරුවන් මෙන්, මොහොමඩ් ගවුස්, ලතීෆ් බායි, සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, ෂෙල්ටන් ප්‍රේමරත්න, අමරදේව, ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක වැනි සංගීතඥයන් ගැන කතා කරමින්, ගුණ වනමින් අලුතින් යමක් නොකර සිටීමටයි. එහෙත් එදා මෙදාතුර සංගීතය කියැවූ නව සම්ප්‍රදායන් හැදෑරූ පෙරදිග - බටහිර සංගීතය මෙන්ම සංගීත සම්ප්‍රදායන් ද සමඟ ගනුදෙනු කරන නූතන පරපුර දැන් මේ රටට අවශ්‍ය සංගීතය සොයා යා යුතුය. ඒ පිළිබඳව උත්තම ගණයේ කැපකිරීමක් කිරීමට හැකියාව ඇති පිරිස් අපතර වෙයි. ගලායන රැළිවලට බැණ අඬගසමින් ඒ රැළිවලින්ම තමන්ගේ කුස පුරවා ගන්නට කුමක් හෝ නොකර, නියත දේ නියමිත මොහොතේ නිවැරැදි අන්දමින් කිරීමේ තීරණාත්මක මොහොතට අපි පැමිණ සිටිමු. එසේ නොවන්නට මේ රට නිදහස ලැබුවා යැයි කියා ලද නාමමාත්‍ර නිදහසට පෙර මේ රට තිබූ තත්ත්වයට අපි ආපසු ගමන් කරනු ඇත. එදා බටහිර ජාතීහු අපව පාලනය කළහ. අද සිදුවන දේ අනුව හෙට දිනයේදී මුල් යුගයේ මෙරට සිනමාව, ඉන්දියානු සිනමාවට රෙදි හැට්ට සරොම් ඇන්දුවා සේ හෙට දවසේදී අපේ සිනමාව ඉන්දියානු ශිල්පීන්ගෙන් ම සිදුවිය හැකිය. මඳින් මඳ හෝ යමක් කළ දේශීය ජනනාද රටා මුළුමනින් ම වැසී ගොස් ඉන්දියාවේ වාණිජ සංගීතය මෙරට පැතිර යනු ඇත. මේ වනවිටත් ඉන්දියාවේ කාර්මික ශිල්පීන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සේම නළු නිළියන් ද පැමිණ හමාර ය. මේ සංස්කෘතික ආක්‍රමණ මිතුරු ලීලාවෙන් සිදු වුවද අවසානයේදී විනාශ වන්නේ අපේකමයි. ඒ නිසා තමතමන්ගේ ජාම නොව රට ගැන සිතීම මේ රටේ වඩාත් සංවේදී පුද්ගලයන් වන නිර්මාණකරුවන්ට භාර වෙයි.

‘වොල්ටර් බෙන්ජමින්’ යාන්ත්‍රික නිෂ්පාදන යුගයේ කලාව මුහුණ පෑ ඉරණම හැඳින්වූයේ යම් සේ ද වත්මන් කාල පරාසයේ අපේ සංගීතයට හිමි වෙමින් පවතින්නේ එවැනි ම තත්ත්වයක් නොවේද යන්න අප අද ම නොසිතුවහොත් එය සිතන්නට ‘හෙටක්’ ඉතිරි නොවෙනු ඇත.

මේ අනුව අද දවසේ පවත්නා ස්වාභාවික ලෝකය දෙස අමුතු ඇහැකින් බලන්නට කියාදුන් පෝල් සෙසාන් යළි යළිත් කියැවිය යුතුව ඇත.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.