නූතන කෙටිකතාකරුවන්ට අමතක නොවුණු ගම | සත්මඬල

නූතන කෙටිකතාකරුවන්ට අමතක නොවුණු ගම

“ලේඛස්‍ය යද්රූපම් චිත්‍රෙභවති තද් රූපම්” ලේඛකයා හට යම් රූපයක් තිබේ නම්, ඒ රූපය චිත්‍රයෙහි වෙයි.”

“ධර්මසේන ස්ථවිරයන් පිටිසර ඉපිද පිටිසරයන් අතර ඇති දැඩි වූවකු පමණක් නොව, ඔවුන් අගය කළ, ඔවුන්ට ඇලුම් කළ, ඔවුන්ගේ ව්‍යවහාරයෙන් පෝෂණය ලත් කවිත්වය ඇත්තකු වූහයි මම සිතමි.”

(සද්ධර්ම රත්නාවලියෙහි ගැමියෝ විචාර ලිපි - මාර්ටින් වික්‍රමසිංහ අටවන මුද්‍රණය 1992)

මෙය අපගේ කතාබහට අත්‍යන්තයෙන් ගෝචර වන්නකි. නූතන සිංහල කෙටිකතාකරුවෝ බොහෝ දෙනෙක් ගමෙහි ඉපදුණහ; ගම ගැන කෙටිකතා ලියූහ; අදත් ලියති. කොක්ගල, කන්නිමහර, යටලමත්ත, දොඩන්දූව, වන්නිය, මේ කිසිවක් අප මතකයෙන් කිසිදිනක ඈත් නොවේ. මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, කේ.ජයතිලක, ගුණදාස අමරසේකර, එදිරිවීර සරච්චන්ද්‍ර, සයිමන් නවගත්තේගම යන නාමයෝ පිළිවෙළින් ඒ සමඟ බැ‍ඳෙත්. මේ නිර්මාණකාරකයෝ උපන් ගම පසුබිමෙහි තබා බොහෝ නිර්මාණ ගොඩනැඟූහ. අවසථෝචිත පරිදි එයින් කැපී පෙනෙන කෙටිකතා කිහිපයක් කෙරෙහි පමණක් අපි අපේ අවධානය යොමු කරමු.

සිංහල කෙටිකතා සාහිත්‍යයෙහි පුරෝගාමී ලේඛකයා වික්‍රමසිංහයන් වන අතර “ගැහැනියක්” ආරම්භක කලාත්මක සිංහල කෙටිකතා සංග්‍රහය ලෙස හැඳින්විය හැකිය. එහෙත් ඔහුගේ කෙටිකතා සංග්‍රහ‍යන් අතරින් අද්විතීය නිර්මාණ සංග්‍රහය වන්නේ “වහල්ලු” බව සඳහන් කිරීම කිසි සේත් සාවද්‍ය නොවේ. කෙටිකතාව පිළිබඳ ප්‍රස්තාවනාව පමණක් නොව, ග්‍රන්ථනාමයට යොදාගත් කෙටිකතාව ද ඊට හේතුවක් වූ බව නිසැක ය. උපාලිස් හා හඳයා මෙය පරිශීලනය කළ කිසිවකුගේ මතකයෙන් නොගිලිහෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

“උපාලිස් උදයෙන් නැඟී හඳයා තමාගේ කූඩු තිරික්කලයෙහි බැඳගෙන පොල් ඔය පාලම අසලට යයි. ගාල්ලේ උසාවියට හෝ එහි වෙන කාරියකට හෝ යන තිදෙනකුත් කරත්තයෙහි නංවා ගන්නා ඔහු නවයවන්ට පෙර කඩවතට ළඟා වෙයි. ඔහු කඩවත පාලම ඉක්මවා නොයන්නේ, ඒ කරත්තය නගරයට ඇතුළු කිරීමට වුවමනා අවසර පත තමාට නැති බැවිනි.”

උපාලිස් කොතරම් නීතිගරුක අව්‍යාජ ගැමියකු ද යන්නට මීට වඩා සාධක අවශ්‍ය වේද? මේ ගැමි අධ්‍යාත්මයේ යථාරූපී නිරූපණයකි. උපාලිස් හඳයා අතර සබැඳියාව ඉන්ද්‍රිය රූප මවන පරිදි චිත්‍රණය කිරීමට ද වික්‍රමසිංහයෝ සමත් වී ඇත්තා හ;

“අට මසකට පමණ පෙර දවසක කඩවත බලා කරත්තය පදවා ගෙන ගිය ඔහු බෝඩුලීයට ගසා ගත් පය ලිස්සීමෙන් පාර මැද ඇද වැටුණේය. ගලක් ගැසූ කලක මෙන් ඒ වේලේම රිය නොනැවතුණි නම්, ඒ රිය ගමන් කරන්නේ ඔහුගේ පපුව උඩිනි. රිය නැවතු‍ණේ තමා අපොයි කියමින් වැටෙන හඬ ඇසූ ගවයා එහෙමම නැවතුණු හෙයිනියි උපාලිස් හොඳින් දනියි.”

කරත්ත රස්සාව කළ උපාලිස් අද මලපහ කිරීමට පමණක් ඇ‍ඳෙන් නැඟිටින්නකු බවට පත්ව සිටී. ඒ නිසා හැමදා ඔහු වෙත පැමිණ ඔහුව අවදි කරන හඳයා විකුණා දැමීමට බිරිය යෝජනා කළ උපාලිස් ඊට තදින් විරුද්ධ වෙයි. දියණියන් දෙදෙනාත්, බිරියත්, තමාත් යන්තම් කා බී යැපුණේ දෙවනියට මිල දී ගත් ගවයා වූ හඳයා නිසා බව ඔහු පසක් කරගෙන සිටියේ ය. මහලු වියට පත් හඳයාට හිත් පිත් නැති ගැමියන් සලකන ආකාරය ද කතුවරයා විසින් නිවැරදිව සූචිත ය.

බිරිය කොතරම් ගෙතුළට පැමිණ නිදාගන්නැයි ඉල්ලා සිටියත්, වැසි දිනක හෝ ඒ යෝජනාවට එකඟ නොවී ගෙපි‍ෙලහි නිදාගැනීමෙන් ද උපාලිස් මඟින් ගැමි දිවිය කවරාකාර දැයි නිවැරදිව පෙන්නුම් කිරීමට වික්‍රමසිංහ සමත් වී ඇති බව කිව යුතුය.

මේ කතාව වින්දනය කිරීමේදී කිසියම් පාඨකයකුගේ මතකයට ඇන්ටන් චෙකෝෆ්ගේ “ශෝකාලාපය” කෙටි කතාවෙහි කතා නායකයා හා අශ්වයා පිළිබඳ සිහි වීමට ඉඩ තිබේ. එහෙත් කිසිසේත් “වහල්ලු” උක්ත කතාවෙහි අනුකරණයක් නොවේ. මේ හැරුණුකොට වික්‍රමසිංහ ගැමි දිවිය පාදක කරගත් කෙටිකතා රැසක් රචනා කර තිබේ. “නරක් වූ පිටි බඳුන”, “උපාසකම්මා”, “මුදියන්සේ මාමා” “බිත්තරයේ හටන” ඉන් කිහිපයක් පමණකි. “වහල්ලු” කෙටිකතාව පරිශීලනයේදී අපට නිසැකයෙන් ජයවඩු විතාන ලියූ “සේතං ආතාගේ පුත්තු” හා සෝමරත්න බාලසූරියගේ “කරත්තය” කෙටිකතා ද සිහිපත් වීම වළැක්විය නොහැකිය.

1952 වසරේදී බොහෝ රුසියානු කෙටිකතා සිහිපත් කරමින් “රතු රෝස මල” කතා සංග්‍රහය පාඨකයා අතට පත් කළ ගුණදාස අමරසේකර “එක් ටැමින් පොළොවට” කෘතියෙන් ගමන් ගත් ම‍ඟෙහි සැබෑ වෙනසක් සලකුණු කළේය. එයින් උද්ධෘත “දිසොන්චිනාහාමි” කතා නාමයෙන්ම ගැමි දිවිය චිත්‍රිත බව මැනවින් ධ්වනිත ය. මෙහිදී පාඨක සිත් සසල කරන්නේ ශල්‍ය වෛද්‍ය කුමාර් ජයවර්ධන, ඔහුගේ සහායකයා වූ බන්ධුසේන හෝ අමරදාස නම් රෝහල් සේවකයා නොවේ. වෑඋඩතැන්න, කරවනැල්ල, කුරුණෑගල රෝහල්වල ලැග කොළඹ මහරෝහලට මාරු කර එවූ දිසොන්චිනාහාමි හා ඇගේ සැමියාගේ චරිතයයි.

කතාවෙහි ආරම්භයේදීම අමරසේකරයෝ සැබෑ කම්පාවක් පාඨක සිත මත මෙසේ තැවරීමට සමත් වී ඇත්තාහ:

“පසුගිය සුමාන දෙකෙහිම තමා දිනපතා දුටු කතාබහ කළ දිසෝන්චිනාහාමි දැන් වීදුරු භාජනයක බහාලන ලද උඩුහක්කක් බවට ශේෂ වී ඇති සැටි සිහි කරන බන්ධුසේන...”

රෝහලකින් රෝහලකට මාරු කළත් කවර වෛද්‍යවරයකු කෙලෙස ප්‍රශ්න කළත් දිසොන්චිනාහාමි තම මුහුණෙහි හට ගත් ගෙඩියට හේතුව දරුවකුගේ අත වැදීම බව කියා සිටීම ඇගේ ගැමිකම කදිමට මූර්තිමත් කරන්නකි. දරුවන් සදෙනකුගේ මවක වූ ඕ කොතරම් දුක් අනුභව කළත් සැමියාට ආදරය කළාය; තමන්ට ගැහැට පැමිණවූවත් ඔහු කෙරෙහි කෝප සිතිවිල්ලක්වත් පහළ නොකළාය. ඒ සැබෑ ගැමි ගැහැනියයි:

“කුරුණෑගල ඉස්පිරිතාලෙන් එනකොට මම මිසීට පිංසෙණ්ඩුවෙලා කිව්වා ටැලිග්රෑම් එකක් අරින්නය කියා. ඒක හම්බ උණේ නැද්ද?... මම නිතරම බලාගෙන ඉන්නේ කොයි වේලාවේ ඔයා එනවාද කියා. ඔපරේෂන් කරන්න කැමැත්ත දුන්නා. මේක පුළුවන් ඉක්මනට හොඳ කරගෙන ගෙදර එන්න ඕන නිසා.”

ඔවුන් දරිද්‍රතාවේ පත්ලෙහි වැතිරී සිටින බවත්, ගෙඩිය ඇති වීමට සැබෑ හේතුවක් හෙළි වන්නේ දිසොන්චිනාහාමිගේ මරණයෙන් අනතුරුව සැමියා කම්පාවෙන් රෝහලට පැමිණීමෙනි:

“අනේ බුදු මහත්තයෝ කොහේ යන්නද... මේ ගමන්ම මාවත් කම්මුතු වුණා නම් ඉවරයි මහත්තයෝ. ඕක වුණේ බුදු මහත්තයෝ මගේ අත්වැරැද්දෙන්. පොඩි එකා බඩගින්නෙ අඬනව දැකල මම අතේ තිවුණු පිඟානෙන් දමල ගැහුව. ඒක තමයි මහත්තයො අන්තිමට ගෙඩිය කළේ... මම මේ ගමන ආවෙ හාල් පොත් ටික උගස් තියල. අනේ මහත්තයෝ මම කොහොම ගෙනියන් ද?”

සැබවින්ම ගුණදාස අමරසේකර ගැමි සමාජය පමණක් නොව, ඔවුන් නැතිබැරිකම් ද යථාරූපීව විවරණය කිරීම මේ කතාවෙන් අනූපම කරුණා රසයක් ජනනයට හේතු වී ඇති බව කිව යුතුය. ගුණදාස අමරසේකර නම් ධරමාන වෘද්ධතම නිර්මාණකාරකයා ගැමි සමාජය පාදක කරගෙන අද්‍යතනයේත් නිර්මාණකරණයෙහි නිමග්නව සිටින බව “කියනු මැන දිවි අරුත” නම් 2013 වසරේ පාඨකයා අතට පත් කළ කෙටිකතා සංග්‍රහයෙහි පැනෙන “මැයි දිනය” හා “මාලය කඩාගැනීම” වැනි උත්තම කෙටිකතාවලින් පසක් වන බව කිව යුතුය. “දිසොන්චිනාහාමි” කෙටිකතාවෙහි ඇතැම් තැනෙක දරුවන් පස් දෙනකු බවත්, තවත් තැනක දරුවන් සදෙනකු බවත් සඳහන් වීම කිසියම් දුබලතාවක් සේ පෙනේ.

සයිමන් නවගත්තේගම නවකතා, නාට්‍ය හා විචාර ක්ෂේත්‍රයෙහි ප්‍රබලයකු වුවත් කෙටිකතා නිර්මාණයේදී මෙරට සියලු කෙටිකතාකරුවන් අතරින් කැපී පෙනෙන්නා ලෙස හැඳින්වීමේ කිසිදු වරදක් නොපෙනේ. ඔහු විසින් විරචිත “සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා” එදා මෙදාතුර සිංහලෙන් ලියැවුණු දීර්ඝතම කෙටිකතාවයි. නවගත්තේගම යන නාමය පාඨකයා අතර ස්ථාපිත කිරීමට පමණක් නොව, ප්‍රාන්ස් කෆ්කාගේ කතා ශෛලිය කුමක් ද යන්න සිංහල පාඨකයාට වටහාදීමටත් එය හේතු වූ බව සඳහන් කළ යුතුය. අද්‍යතනයේ සිංහල කෙටිකතාවේ ගමන් මඟ නිරීක්ෂණය කිරීමේදී එබඳු දීර්ඝ නිර්මාණයක් නැවත බිහි වේද යන්න පවා සංශයකි.

පෙර සඳහන් කතාද්වයට වඩා ග්‍රාමීය වූ පරිසරයක ස්ථාපිත කොට සූචිත මොහුගේ “ස්නේහය” කතුවරයාගේම පෞද්ගලික ජීවිතය පාදක කොටගෙන නිර්මිත බව පැවැසීම ඔහුට කරන අගෞරවයක් නොවෙතැයි හැ‍ඟේ.

“ලොකු ඉස්කෝලේ මහත්තයා කියාපු විදියටම ඔහු විස්සවිද්දියාලෙට ගියේ ය. ඒ වුණත් අන්තිම විභාගෙ ගන්ඩ හිටියේ නැත. ඒජන්ත උන්නාන්සේ කෙනෙක් වී පුත්ත‍ලමේ දුප්පත් මිනිසුන්ගේ ඉඩම් ප්‍රස්න, වතුර ප්‍රස්න විසඳන්න ආවෙත් නැත. දැන් කොළඹට වෙලා අතේ සතේ නැතුව පොත් වගයක් ලියනවාලු... මොනවද නාඩගම් වගයක් හදනවාලු. බයිස්කෝප් කොරනවලු.”

මේ උපුටා දැක්වීම පිළිබඳව තීන්දු තීරණ ගැනීම ඔබටම පවරා මම නිහඬ වෙමි.

මහලු රං කිරා, පිංචි මහයියා, මහතෝරව වෙද මහත්තයා, මියැල්ලෑවේ කළු දුගියා උන්නැහේ මඟින් ඉතා කටුක ඉතා දුක්බර වන්නියේ ස්වභාවය නිරූපණයට නවගත්තේගම ප්‍රෝත්සාහී වී තිබේ. රං කිරා ගැන කතාකරුවා වරෙක මෙසේ කියයි:

“අවුරුදු හැත්තෑවක් වනතුරු ගෙදර එක්කෙනා රෑ දවල් ඇවිද්දේ ගියේ ආවේ විසකුරු සතා සර්පයන්ගෙන් ගහන වනාන්තරයේ හේන්වල කුඹුරුවල සහ කැලෑ පාරවල්වල ය. මේ වයස වනතුරු නයා පොළඟා හැර අන් සියලුම වර්ගයේ විසකුරු හා විස නොමැති සර්පයින් ඔහුට දෂ්ට කරනු ලැබ සිටියේ ය. මීට මාස හයකට පෙර රාත්‍රියේ වෙලේ නියරකදී පොළඟකු දෂ්ට කරන ලදී.”

මේ කටුක ජීවිත ගත කරන්නවුන්ට මෙබඳු විපතකට මුහුණ පෑ වෙලේ කරන වෙදකම් පිළිබඳව ද කතුවරයා මනා අවබෝධයකින් යුතුව විස්තර කර තිබේ. “කට ඇරලා නොකීවත් ඔහු ගලවා ගත හැකියයි හීනෙකින්වත් බලාපොරොත්තු වෙන්ඩ බැරි වග වෙද මහත්තයාගේ සියලු ගම්භීර අනියම් ඉරියව්වලින් ප්‍රකට විය. කොටින්ම රෝගියාගේ පපුවේ එළඟිතෙල් කැටයක් තැබූ විට එය මඳකට හෝ දිය වූයේ නැත... බේත් ඖෂධ ගින්නට දමා ඒ උඩින් බැඳි මැස්සක තබා රෝගියාට වේදු ඇල්ලුවේය. රං කිරා උන්දෑ ඇස් ඇරියේ මේ අවසාන ඇඟ තැම්බුමට ය.”

කෙතරම් දුෂ්කර පරිසරයක කොපමණ කටුක ජීවිත ගත කළත් ඔවුන්ගේ කුටුම්බය අති සාර්ථක එකක් විය. අඹු සැමි දෙදෙනාම දෙදෙනාට මැනවින් ගරු කළෝය. ඔවුනට අඩුපාඩුවකට තිබුණේ නූගත්කම හා දුප්පත්කම පමණි. සිය පුතු ගුවන්විදුලියෙන් කතාවක් පැවැත්වූ බව ඇසූ මොහොතේ ඔවුන්ගේ ප්‍රතිචාර ඊට නිදසුන් වෙයි.

ලේඛකයා මෙහිදී එකී පරිසරයට හා බැඳුණු ව්‍යවහාරයෙන් කතාවේ බස පෝෂණය කිරීම මෙය තවත් සාර්ථක නිර්මාණයක් වීමට හේතු වී තිබේ. යාලත්තේ, වතුර පැහෙනවා, කොලොම්බුවේ ඉඳගෙන, වල්කැත්ත, වාම් පතුල්, කුරහන් යේළමුණක, සප්පතේට බුදියන, උප්පිඩිව යනාදිය ඊට නිදසුන් කිහිපයකි.

කවර විචාරකයකු කෙබඳු මතයක් පළ කළත් ලියනගේ අමරකීර්ති පරිණත බවක් පළකොට ඇත්තේ විචාර ක්ෂේත්‍රයෙහි නොව, නිර්මාණ ක්ෂේත්‍රයෙහි ය. ඒ අතරිනුත් “මම දැන් නිදමි”, “අළු පැහැති ආරංචි” කෙටිකතා සංග්‍රහයද්වය, මොහු පරිපාකයට ගිය කෙටිකතාකරුවකුගේ ලක්ෂණ පිළිබිඹු කරන බව නොසඟවා පැවැසිය යුතුය. ඔහුගේ “රළ” කෙටිකතා සංග්‍රහයෙන් උද්ධෘත “හැත්තෑ ලක්ෂයෙන් එකෙක්” ගැමි නිර්ධන පන්තියේ ජීවිතවල තවත් අඳුරු පැත්තක් විවරණය කරන්නකි. පිලෝරිස්, ඔහුගේ පුතු විමලසේන ජයපාල මුදලාලි හා සයිමන් මුදලාලි යන චරිත මඟින් ගැටුමට ලක් කරමින් පොල් ගස් නැඟ දිවි ගැට ගසාගත්තකුගේ ඛේදවාචකයක් කම්පනීය ලෙස ධ්වනිත ය. පිලෝරිස්ට ගස් බඩගෑමට හැකිය. එහෙත් වැහි කාලයට රැකියාවට බාධා පැමිණෙයි. පොල්වතු අයිතිකාරයන් උස ගස් කපා විකුණා දැමීම ඔහුගේ රැකියාවට තවත් තර්ජනයකි. ඒ නිසා සිය පුතු විමලසේන ගඩොළු කැපීමේ රස්සාව යොමු කිරීමට ඔහු වෙහෙසෙයි. එය වැහි කාලයට කළ නොහැකිය. ගෙදර අගහිඟ වැඩි වැඩියෙන් දැනෙන්නට වූයේ පිලෝරිස් ගහකින් ඇද වැටීමෙන් අනතුරුව ය. අගහිඟකම් නසාගැනීමට පොල් හොරකම් කිරීමට ගිය සිය පුතුට අත් වූ ඉරණමේදී පිලෝරිස් තවත් කරදරයට පත් විය. සයිමන් මුදලාලි ජයපාල මුදලාලි වැන්නන් හිත් පිත් නැත්තවුන් සේ ක්‍රියා කරන ආකාරය ද කතුවරයා සියුම් ලෙස විවරණය කර තිබේ.

ලියනගේ අමරකීර්තිගේ කෙටිකතාකරණයෙහි ප්‍රතිභාව වඩාත් කැපී පෙනෙන්නේ ඔහු චරිත නිරූපණය හා සිද්ධි නිරූපණය උදෙසා බස පරිහරණය කිරීමේ සමත්කම මත බව අපගේ පෞද්ගලික හැඟීමයි.

“ඔහු අවුරුදු විසි පහක් ගස් නැංගේය. දැන් ඔහුගේ දෙපාත් දෑතත් පොල් කඳන් සේ හයි වී ඇත. වයස හතළිහකට ආසන්න වුවත්, දෑතෙත් කලවාවලත් මස්පිඩු යකඩ සේ ශක්තිමත් ය. අවුරුදු විසිපහක් තුළ නැග්ග ගස් එක දිගට තැබුවහොත් දිවිය ලෝකය තෙක් නගින්නට ඉඩ තිබිණි. නගින හැම ගසකින්ම බසින හෙයින් දිවිය ලෝකයට යෑමට සිදුවන්නේ නැත.”

“වැස්ස දින හත අටකින් ටික ටික තුරල් වන විට පිලෝරිස්ගේ ගෙදර පොල් - ලුණු - සීනි, තේ කොළත් වැස්සට ගසාගෙන ගොස් තිබිණි... වැහි මන්දාරම විනිවිඳ හිරු පායන උදෑසනක සයිමන් මුදලාලි ඔළුවේ ලේන්සුවක් බැඳ පිලෝරිස් හමුවට පැමිණියේ ය.”

මේ භාෂා ප්‍රභූත්වය අප ඉහත සඳහන් කළ මොහුගේ කෙටිකතා සංග්‍රහයන් දෙකෙහි මෙන්ම “කුරුලු හදවත”, “අහම්බකාරක” යන නවකතාවල ද විද්‍යමාන වූ බව කිව යුතුය.

කීර්ති වැලිසරගේ විරචිත “නිදහස් උදෑසන” මෙන්ම නිශ්ශංක විජේමාන්න විරචිත “ගස්” ගැමි දිවිය රුදුරු වූ දේශපාලනය සමඟ බද්ධ කොට ඉදිරිපත් කළ අගනා කෙටිකතා ද්වයකි. සරනේරිස් නම් අසරණ ගැමියා තම නිවසාසන්නයේ වූ කොස් ගස කපා ඉවත් කරගැනීමේ අවශ්‍යතාවෙන් පෙළෙද්දී ග්‍රාම සේවක නිලධාරියාත්, දිසාපති කාර්යාලයේ මුරකරු වූ සෝමසිරි නම් කෛරාටික තැනැත්තාත් මේ අසරණයාව මඩවන ආකාරය කරුණා රසයෙන් අනූනව ඉදිරිපත් කිරීමට වැලිසරගේ සමත් වී තිබේ. මුළු රටම නිදහස සමරද්දී පෙබරවාරි හතර වැනිදා සරනේරිස් කොස් ගස කපා ඉවත් කරගැනීම උදෙසා පෝරමයක් ලබාගැනීමට දිසාපති කාර්යාලයට පැමිණෙයි. මෙය කොතරම් උත්ප්‍රාසාත්මකද? රටට නිදහසක් ඇද්ද? නිදහස යනු කුමක්ද? එය සමරන්නේ කෙදිනකද? අහිංසක ගැමියෝ ඒ පිළිබඳව කිසිවක් නොදනිති. එසේ පැමිණි අහිංසක සරනේරිස් හද්දා මෝඩයකු බවට පත්කොට සෝමසිරි ඔහුව ගස් නග්ගවයි. තමන්ට පැවරූ ජාතික කොඩිය දැමීමේ කටයුත්ත සරනේරිස්ගෙන් කදිමට ඉටු කරගනී. උදෑසන තේ සංග්‍රහයට ද ඔහු ලවා මුදල් වියදම් කරවයි.

“ඔහු සරම ඔසවා වම් කකුල පෙන්වා සිටියේ ය. සරනේරිස් ද උනන්දුවෙන් ඔහුගේ කකුල නැරැඹුවත් එහි කිසි අමුත්තක් දැක ගත හැකි වූයේ නැත.”

“මේ උලුක්කු වෙලා තියෙන්නෙ... අර මං හින්ද උහුලගෙන ඉන්නෙ. ගහකට ගොඩවෙන්න තියා ඇවිදින්නවත් බෑ හරියකට... ඔය පේන්නෙ නැද්ද? පිට්ටු ගෙඩිය වගේ තිබුණෙ... දැං බැහැල... හොඳ වෙලාවට තමුසෙ හම්බ උණේ” වැලිසරගේ සුපුරුදු ප්‍රතිභාවෙන් මේ අත්දැකීම උපහාසයත් කැටිකොට දයාබරව සූචිත ය. මොහුගේ අවසන් කෙටිකතා සංග්‍රහය වූ “සංක්‍රාන්ති සහ තවත් කතා” කෘතියෙහි “දේවතා” නම් කෙටිකතාව මේ මොහොතේත් මගේ මතකයට ඇදී එයි. කීර්ති වැලිසරගේ නවකතාකරුවකුට වඩා ප්‍රශස්ත කෙටිකතාකරුවකු බව මගේ පෞද්ගලික හැඟීමයි.

දොන්ත බබක්කයි මල් සූටික්කයි, තම්බි හාමුදුරුවෝ වැනි ගම පසුබිම් කොටගත් අලුත්ම කෙටිකතා කිහිපයකින් අප ඇමතූ නිශ්ශංක වි‍ෙජ්මාන්නගේ “ගස්” දේශපාලනය සියුම් ලෙස තැවරුණු ගම පදනම් කර ගත් උත්තම කෙටි කතාවකි. සියඹලාවේ සිරිපාල කර්තේලිස් මුදලාලි හා රතු සිරිසේන වැනි චරිත කිහිපයක් මඟින් ගැමි සමාජයේ සිදු වූ අසාධාරණ මනුෂ්‍ය ඝාතනයක් මෙයින් මැනවින් සූචිත ය. උදලු මිටකට වෙලා ගසක අත්තක් කැපීම නිසා උසාවියෙන් දඩ කෑ ගුණපාල උසාවියෙන් පිටවෙද්දී කෝපයෙන් පැමිණියත්, එදින රාත්‍රියේම ඔහු වෙනස් විය. වනය මහත් කිරීමටත් ආරක්ෂා කිරීමටත් කැප විය. එහෙත් රුදුරු වන විනාසකරුවෝ ඔහුව සියුම් ලෙස මරා දමා ගසකට යටව මිය ගිය බව තහවුරු කිරීමට සමත් වූහ. කතාකරුවා ගුණපාලගේ වෙනස සලකුණු කළේ මෙලෙසය:

“ගිනියම් දහවල් කළ අධිෂ්ඨානය ඒ රාත්‍රියේ හීල හෙවණේදී හිතෙන් ඉල්ලා අස්කර ගන්න සිදු විය. ලී කැපීමේ විජ්ජා ගැන ඔහු කොතෙකුත් දනී. සතුන් මරා මස් කරනවා සේ ගස් කපා තීරුවෙන් තීරුවට ඉරන හැටි බලන්ට ඔහු පිළිකුල් කළේය.”

මේ කෙටිකතාව අප මෙතෙක් සාකච්ඡා කළ කතාවලට වඩා වෙනස් වන්නේ කතුවරයා සතු සංකේත භාවිතයේ සියුම්කම හේතුකොටගෙන ය.

“කර්තේලිස් මුදලාලිගේ ඇහැට ලී කුඩු වැටිණ”

“කර්තේලිස් මුදලාලිගේ ඇහැ එන්න එන්නම රතු විය.”

“මේ ඇහැ කෙවිල්ලයි ඔක්කොටම මුල. මේකට ගොඩ බෙහෙත් බැඳලා බැහැ. හොඳ වෙදෙක් අල්ලමු.”

ගැමි සමාජයේ විද්‍යමාන අත්දැකීමක් වුවත් මෙය ඉතා රුදුරු ය. එවැන්නක් මෙලෙස සංකේතානුසාරයෙන් ඉදිරිපත් කිරීම ඉතා ඉහළින් අගය කළ යුත්තකි.

නිශ්ශංක විජේමාන්න මේ කෙටිකතාව නිම කරන්නේ ද, සංකේතාත්මක රමණීය පරිසර වර්ණනයකිනි. “අඩක් කැපුමෙන් කඩා වැටුණ මහ පලු වෘක්ෂයට යට වී සියඹලාවේ ගුණපාල මිය ගොස් සිටියේ ය... සුළඟ නිහඬ වී ගස් නිසල කළේ ය. මේ මෞන වෘතයෙන් කර බාගත් ඒවා අවමඟුලට සහභාගි වන මිනිසුන් මෙනි. පතනශීලී කහපාට පත්‍ර ද වියළී, අන්දර මල් ද නිරාවරණ මුහුණ සිපගනිමින් තිබිණ. ඔහුගේ නිසල හිස අසල දෙපෙති වී මහ ගසක් වන්ට තවත් පැළයක් අවදි වී සිටිනු කිසිවකු නොදක්නා ලදී.”

මේ අප විසින් සාකච්ඡා කරන්නට යෙදුණේ ගම අමතක නොකළ සිංහල කෙටිකතාකරුවන් කිහිප දෙනකුගේ නිර්මාණ පමණි. තවත් එවන් බොහෝ නිර්මාණ බිහි වී තිබේ; හෙටත් බිහි වනු නොඅනුමාන ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.