මහින්දාගමනයට පෙර මෙරට බුදුදහම පැවැතියේ ද? | සත්මඬල

මහින්දාගමනයට පෙර මෙරට බුදුදහම පැවැතියේ ද?

දඹදිව බුද්ධාගම බැබළුණු අවධියක, ලංකාව සමඟ කිට්ටු සම්බන්ධතා පැවතීම සැලකිය යුත්තකි. ඒ හේතුවෙන් ද ලාංකිකයන්ට ඉන්දියාවේ පැවැති බෞද්ධාගම ගැන තොරතුරු දැනගන්නට හැකිවනු ඇත. බුද්ධ ධර්මය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ගියේය. කලක් තිස්සේ වැඩෙමින් ආ ආගමික අදහස්වලට අනුබල දෙන ආගමක් පැවැතීම නිසා එසේ වී යැයි සිතිය හැකිය.

ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දේවානම්පියතිස්ස මහ රජු කල ලංකාවට බුද්ධාගම ගෙනෙන ලදැයි වංශ කථා, සමන්තපාසාදිකා ආදි නොයෙක් තන්හි ප්‍රකටව ගෙනහැර දක්වයි. අශෝක මහරජුගේ ධර්මදූත ව්‍යාපාරයේ නියෝජිතයකු ලෙස මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩි අතර රාජ්‍යානුග්‍රහය ඇතිව බුද්ධාගම පැමිණීම ද සිදු විය. කෙසේ වුවත් මහින්දාගාමනයට පෙර ලක්වැසියා බුද්ධාගම ගැන කිසිත් නොදත්තේ යැයි කිසි සේත් කීමට අපහසු ය.

අපේ පැරැණි ඓතිහාසික මූලාශ්‍රය වන දීපවංශය, මහාවංශය, සමන්තපාසාදිකා ආදි ග්‍රන්ථවල බුදු රජාණන් වහන්සේ තෙවරක් ලක්දිව වැඩි බැව් සඳහන් වේ.

බුද්ධත්වයෙන් නව වන දුරුතු මස මහියංගණයට වැඩ යක්ෂයන් දමනය කොට සුමන දෙවි රජු ඇතුළු පිරිසට බුදු රජාණන් වහන්සේ දහම් දෙසූ බවත් සෝවාන් ඵලයට පත් සුමන දෙවි රජ බුදු රජාණන් වහන්සේගෙන් ලබාගත් කේශධාතු නිදන් කොට සත්රියන් උසැති ඉඳුනිල් මාණික්‍යමය ස්තූපයක් කළ බවත් සඳහන් ය.

බුදු රජාණන් වහන්සේ පිරිනිවීමෙන් අනතුරුව සරභූ තෙරුන් විසින් ශ්‍රී සර්වඥ දේහය ආදාහනය කළ චිතකයෙන් ග්‍රීවා ධාතුව ගෙනවුත් ඒ ස්තූපයේ පිහිටුවා දොළොස් රියන් උස කංචුක චෛත්‍යයක් කළ බව ද මහාවංශය කියයි. මහින්දාගමනයට පෙර ලක්දිව පැවැති සේ නොයෙක් තැන දක්වන මේ චෛත්‍යය වර්තමාන මියුගුණ සෑය දැයි නිශ්චිතව පැවැසීම අපහසු වුව ද ඒ පිහිටි ස්ථානයේ මීට පෙර යම් චෛත්‍යයක් තිබිණ යැයි පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති. චූලෝදර, මහෝදර මැණික් පුටු අරගලය විසඳනු වස් බුදු රජාණන් වහන්සේ පස්වන වස බක් මස අමාවක පොහෝදා ලක්දිව වැඩි අතර විශාල පිරිසක් ධර්මාභිසමය ලදහ. යළි අනුරාධපුරයේ නොයෙක් තැන්වලට වැඩි හෙයින් ඒ තන්හි ජනයා ද බුදුරදුන් කෙරෙහි පැහැදෙන්නට ඇත. බුද්ධත්වයෙන් අටවන වර්ෂයෙහි වෙසක් පසළොස්වක් පොහෝ දින පන්සියයක් භික්ෂුන් වහන්සේ සමඟ කැලණියේ මණිඅක්ඛික නා රජගේ ආරාධනයෙන් තෙවැනි වර ලක්දිව වැඩි අතර සුමන කූටයෙහි සිරිපතුල තැබූහ. මණිඅක්ඛික නා රජ මීට පෙර බුදුරදුන් වැඩි කළ තිසරණයෙහි පිහිටි අතර ඔහු හා සිටින පිරිස ද එසේ වන්නට ඇත.

බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය නිසා විශාල පිරිසක් ධර්මාවබෝධය ලත් අතර විශාල පිරිසක් තිසරණ පන්සිල්හි පිහිටියහ. බුදු සමය වැලඳගත් මොවුන් ‘මනුෂ්‍ය’ ලෙස අදහස් කරන අතර බුදුරජාණන් වහනසේ ජීවමාන අවස්ථාවේ ම මෙරට බෞද්ධයන් වූ බව පෙනේ. බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය වංශ කතා හා තවත් ග්‍රන්ථවල පමණක් සඳහන් වීමත් ත්‍රිපිටකයේ සඳහන් නොවීමත් ඒ කරුණු ඉවත ලෑමට හේතු නොවේ. ලක්දිව දෙසූ දහම් සියල්ල ත්‍රිපිටකයේ අඩංගු නොවන්නට ඇත. ජනප්‍රවාද කරුණු ද එක එල්ලේ ඉවත ලිය නොහේ.

වංශ කථා ආදියේ දක්වන ශ්‍රී සර්වඥ අකු ධාතූන් රැගෙන ලක්දිව වැඩි බුද්ධ ශ්‍රාවක සරභූ තෙරුන් වහන්සේ පිළිබඳව සිත් යොමු කරන කල ප්‍රාග් බෞද්ධ යුගයේ බුද්ධ ශ්‍රාවකයන් ද මෙරට වැඩ සිටි බව කිව හැකි වෙයි.

වංශ කථා දක්වන තොරතුරු අතිශයෝක්තියෙන් ගහන ද විය හැකිය.

විස්තර පිළිබඳ අතිශයෝක්ති ඉවත් කළ විට ඓතිහාසික සත්‍යයක් ලබාගත හැකි වේ. එනම් මහින්දාගමනයට බොහෝ පෙර සිට ම ලංකාවේ භික්ෂුන් වහන්සේලා ස්වල්ප දෙනකු හෝ සිටි බවත් එකල බෞද්ධ චෛත්‍යයන් ගොඩනඟන ලද බවත් ය.

 නාගදීප, කැලණි ආදි චෛත්‍ය ගැන තොරතුරු අවධානයට වටී. කැලණියට වැඩි බුදුහිමි ජලස්නානය කළ නාන කඩය නිදන් කොට චෛත්‍යයක් තැනූ බව කියැවේ. ‘තැන කළ සිවුරු දාගැබ වඳු නො පෑ පිටි’යි සඳහන් වනුයේ ඒ ය.

ප්‍රථම ද්වේවාචක උපාසකවරුන් බුදුරජාණන් වහන්සේගේ කේශධාතු නිදන් කොට ගිරිහඬු සෑය කළ බව කියැවේ. හත්වැනි සියවසට අයත් සෙල්ලිපිවල ද, පූජාවලියේ මේ කරුණු සඳහන් වේ. මෙබඳු බෞද්ධ ස්තූප නිසා මහින්දාගමනයට පෙර සිට ම ලක්දිව බෞද්ධයන් විසූ බවත්, බුද්ධ ධර්මය පිළිබඳ අවබෝධයක් ඔවුන්ට තිබූ බවත් හැඟී යයි.

ප්‍රාග් බෞද්ධ යුගයේ මෙරට ආගම් හා ආගමික ආයතනවලින් පිරී පැවැතිණි. මේ ගැන අගනා තොරතුරු රැසක් මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහු දක්වති.

පණ්ඩුකාභය රජු කල මිසදිටුවන් යැයි හැඳින්වූවෝ කවරහුද? පන්සියයක් මිථ්‍යා දෘෂ්ටික කුලයන් අනුරාධපුරයට බටහිර පෙදෙසේ විසූහයි මහාවංශයේ දැක්වේ. මොවුහු බෞද්ධාගමෙන් බැහැර අන්‍යාගමික කොටස් විය හැකිය. දඹදිව පැවැති සෑම ආගමක් ම පාහේ මෙරට පැවැති බව පිළිගන්නේ නම් වැදගත් වූ ද, ප්‍රසිද්ධ වූ ද, බෞද්ධාගම ගැන මෙරට වාසීන් නොදැන සිටින්නට හේතු නැතැයි කිව යුතු වේ. පණ්ඩුකාභය රජු විසින් ආගමික ගොඩනැගිලි ආදිය අන්‍ය ආගමිකයන් උදෙසා තනවා ඇති අතර බෞද්ධයන් උදෙසා තුබූ ගොඩනැගිලි ගැන සඳහන් නොවීම විස්මයකි. වංශ කථාවල මෙය සඳහන් කර නැතත් එකල මෙහි බුදුසමය පැතිර තිබෙන්නට ඇතැයි ද පණ්ඩුකාභය රජු විසින් බෞද්ධයන් උදෙසා ආගමික ගොඩනැඟිලි තනවන්නට ඇතැයි ද හැ‍ඟේ. ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් මහතා මෙසේ කියයි.

“මිහිඳු මාහිමියන් විසින් ලක්දිව බුදුසසුන පිහිටුවීම ඉතා ආශ්චර්යවත් අන්දමින් සිදු කළ බැව් විසිතුරු ලෙස දැක්වීම සඳහා ඊට කලින් කිසිම බෞද්ධයකු නොසිටියේ යැයි, අඳුරු පසුබිමක් මවා පෙන්වීමේ පරමාර්ථය මේ නිශ්ශබ්දතාවට හේතුවම යනු මට දිය හැකි එකම පිළිතුර වේ.“

සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ දිනයේදී හෝ ඊට ආසන්න දිනයකදී ලංකාවටම පැමිණි විජය ඇතුළු පිරිස ඉන්දියාවේ පැවැති බෞද්ධාගම ගැන දැන සිටින්නට ඇත. මෙරටට පැමිණි එකල විදේශිකයන් ගැන සලකන විට ද බුදුසමය මෙහි දැන ගැනීමට නොයෙක් අවස්ථා ඇති වූ බැව් පෙනේ. පණ්ඩුකාභය කුමරුට අග මෙහෙසිය වීම සඳහා භද්දකච්චායනා කුමරිය දඹදිවින් මෙහි පැමිණියේ පරිබ්‍රාජිකාවකගේ වේශයෙනි. ඇය සමඟ තවත් කුමාරියෝ තිස්දෙනෙක් පැමිණියහ. සුදොවුන් රජුගේ සොහොයුරු අමිතෝදන රජුගේ පුත් පණ්ඩු ශාක්‍ය රජුගේ දියණිය වු ඇය ශාක්‍ය වංශික කුමාරිකාවකි. එමෙන්ම ඈ බෞද්ධ කාන්තාවක් වන්නට ඇතැයි හැ‍ඟේ. බුදුරදුන්ගේ ඥාතීහු ය. ඇය පැමිණි මේ වේශය බෞද්ධ පැවිදි වේශය විය හැකිය. පැවිදි වෙස් ගත් සියල්ලෝ මෙහි ගොඩ බටහ.

පණ්ඩුකාභය දවස ‘සමණ’ නමින් හැඳින්වුණු ආගමික පිරිසක් වූ බව මහාවංශය කියයි. මේ ශ්‍රමණයන් කවුරුන් දැයි නිශ්චිත නැතත් ශ්‍රමණ යන්න බොහෝ විට යෙදී ඇත්තේ භික්ෂුන් උදෙසා බැවින් එකල ශ්‍රමණ යන්න භික්ෂුන් විය හැකිය.

දඹදිව බුද්ධාගම බැබළුණු අවධියක, ලංකාව සමඟ කිට්ටු සම්බන්ධතා වීම සැලකිය යුත්තකි. ඒ හේතුවෙන් ද ලාංකිකයන්ට ඉන්දියාවේ පැවැති බෞද්ධාගම ගැන තොරතුරු දත හැකිවන්නට ඇත. බුද්ධ ධර්මය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ගියේය. කලක් තිස්සේ වැඩෙමින් ආ ආගමික අදහස්වලට අනුබල වන ආගමක් පැවැතීම නිසා එසේ වී යැයි සිතිය හැකිය. පටහැණි අන්‍ය ආගමක් පැමිණියේ නම් එසේ නොවනු ඇත. පැරැණි අදහස් එකවරම ඉවත ලෑම අපහසු හෙයිනි.

බුදුසසුන ඇරැඹුණු පසු ඊට පෙර මෙහි සිටි ඇතැම් දෙවි දේවතාවුන් බෞද්ධ ගණයට ඇතුළත් කරගත් බව පෙනේ.

මිහිඳු හිමියන්ට දහම් දෙසීමට පෙර මෙරට වාසීන් දමනය කිරීමට අවකාශයක් නොවූයේ බුදුදහම ගැන දත් පිරිසක් මෙහි වීම විය හැකිය. මිහිඳු හිමියන්ට පෙර ලක්දිව බුද්ධාගම දැන සිටින්නට ඇති බව මෙතෙක් දැක්වූ කරුණුවලින් පෙනී යනු ඇත. එකල බුදුසමය නොවී යයි වංශ කථාකරුවන් පෙන්වීමට ගත් උත්සාහය ව්‍යර්ථ වන බව පැරැණි මූලාශ්‍රය දක්වන කරුණු මඟින් ම පෙනේ. කෙසේ වුවත් නිශ්චිත ස්ථාවර, විධිමත් ආගමක් ලෙස ගැනෙන්නට මනා සේ සකස් වූ පැහැදිලි සංඝ ශාසනයක් නොසිටින්නට ඇත.

උන් වහන්සේ විසින් ඉටු කරන ලද්දේ සංඝ ශාසනය ස්ථාපිත කිරීමකි. උත්තම ශ්‍රී ලංකාද්වීපයට වැඩමවා සම්බුද්ධ ශාසනය ස්ථිර කොට පිහිටුවා ලක්වැසි බොහෝ ජනයන් සංසාර බන්ධනයෙන් මිදෙව් සේක. පස්නමක් කැටුව වැඩියේ සංඝ ශාසනය ස්ථාවර වීමට උපසම්පදා කාර්යයට අවශ්‍ය ප්‍රමාණය හෙයින් විය හැකිය.

මේ පරිද්දෙන් බලන කල අපට පැහැදිලි පෙනී යන්නක් නම් මහින්දාගමනයට පෙරාතුව බුද්ධ ධර්මය දත් ජනතාවක් මෙරට විසූ බවයි. එහෙත් සංවිධානාත්මක බෞද්ධ ජන සමාජයක් නොවන්නට ඇති බව පැහැදිලි ය.

1. මහාවංශය 1. පරි. 19

2. සමන්තකුට පර්වත වාසී වූ සුමන නම් දෙවි රජ සෝවාන් ඵලයට පැමිණ පූජාගර්භ වූ සර්වඥයන් වහන්සේගෙන් පූජනීය ඉල්ලී ය. සත්ත්වයන් කෙරෙහි හිත වු නීල නිර්මල වූ කේශවන් වූ සර්වඥ තෙම හිස පිරිමැද කේශයන් අත්ලක් පමණ ප්‍රදානය කළ සේක. ඉක්බිත්තෙන් හෙතෙම එය ස්වර්ණමය වූ උතුම් කරඬුවකින් ගත්තේ සර්වඥයන් වහන්සේ වැඩහුන් තන්හි කරන ලද්දා වූ අයම් විතරින් සත්රියන් වූ අවටින්, එක්විසි රියන් නන් වැදෑරුම් රුවන් රැසෙහි තබා හෙතෙම ඉන්ද්‍රනීලයම වූ ථූපයකින් වසා නමස්කාර කළේය. මහාවංශය 1 පරි 33 – 37

3. ඒ සමාගමෙහි ශාස්තෘෘන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළ ගණන් සත්ත්වයන්ට සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේය. සංඛ්‍යාපථාතිත සත්ත්වයෝ තිසරණ පන්සිල්හි පිහිටියේය. මහාවංශය 1 පරි 31 – 32

4. මහාවංශය1 පරි. 44

5. දිය වැසි වූද ගොඩ වැසි වූද අනූ කෙළක් නයින් තුන් සරණයෙහි ද ඵලයෙහි ද පිහිටු වූ සේක. මහාවංශය 1 පරි 62 -64

පර්වත සමුද්‍රවාසී වු අනූ කෙළක් නාගයෝ සතුටු වූවාහු ශීලයෙහිද සරණයෙහි ද පිහිටියහ. පාලි දීපවංශය 78 ගාථා.

6. මහාවංශය 1 පරි. 72

7. මහාවංශය 1 පරි. 33

* දේසයිත්වාන සද්ධම්මං සග්ගමොක්ඛ සුඛාවහං

සො සත්ථා සුමනෙකූටෙ දස්සෙසි පද ලාඤ්ණං - දාඨා වංශය 85 ගාථා

8. පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය - ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම්

9. සැළලිහිණි සන්දේශය - තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි 69 පදය

10. මේ පුදබිමෙහි.... මේ සෙල්ලිපිය පල්ලව ග්‍රන්ථ නම් අක්ෂරවලින් ලියා ඇත. ගිරිකණ්ඩික නම් මේ චෛත්‍යයෙහි වැඩ විසූ අවලෝකිතේශ්වර, මංජු ශ්‍රී යන මහායාන බෝධිසත්ත්වයන් උදෙසා රචිත ස්ත්‍රෝත්‍ර මේ සෙල්ලිපියේ සඳහන් වී ඇත. වටදා ගෙය තුළ ඇති කුඩා දාගැබ වූ ගිරිකණ්ඩික චෛත්‍යය තපස්සු-භල්ලුක යන වෙළෙඳුන් දෙදෙනා විසින් ඉදි කළැයි මෙහි විස්තර වේ.

තිරියායේ ගිරිහඬු වෙහෙර (කේශමුතු චෛත්‍යය) සිරි‍සමන් විජේතුංග පත්‍රිකා අංක 9 0 ප්‍රකාශනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1999

11. Journal of the Royal Asiatic Society, Ceylon Branch vol 31 no. 82

12. මහාවංශය 10 පරි. 100 - 101

13. පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය

ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම්

14. මහාවංශය 8 පරි. 24 - 25

15. මහාවංශය 10 පරි.

16. බො‍හෝ ශ්‍රමණයෝ ද විසූහ. මහාවංශය 11 පරි. 93 - 98

17. ලංකාවේ බුදු සමයේ ඉතිහාසය - ආචාර්ය වල්පොළ රාහුල හිමි පි. 73

18. දීප වංශය - පරි. 8

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.