ලෙස්ටර්: සිනමාවේ ලකුණ | සත්මඬල

ලෙස්ටර්: සිනමාවේ ලකුණ

ලෙස්ටර්ගේ සිනමා භාවිතය විෂයයෙහි නිර්මාණ සාහිත්‍යයට ඇති අවකාශය ඉහළ තැනක පවතී. නිර්මාණ සාහිත්‍යයට යොමු නොවුණු සිනමාපට ඔහුට අදාළව ඇත්තේ කිහිපයක් පමණි ‘දෙලොවක් අතර’ ද ඒ අතර ය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ විශිෂ්ටතම සිනමා පටය කුමක්ද යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුරු කිහිපයකි. බොහෝ විට ඒ ‘ගම්පෙරළිය’ හෝ ‘නිධානය’ යි. කෙසේ වෙතත් සිනමා මාධ්‍ය‍ සතු ප්‍රබල හා සූක්ෂ්ම ප්‍රකාශන සමත්කම් තියුණුව භාවිත කරමින් මනුෂ්‍ය ජීවිතය හා මනුෂ්‍ය සිතුවිලි පිළිබඳ පෘථුල විවරණයකට සපැමිණි සිනමාපට කිහිපයක් ලෙස්ටර්ගේ විශිෂ්ටතම සිනමාපට අතරට එක් කළ නොහැකි නොවේ. හොඳම උදාහරණ වන්නේ ‘දෙලොවක් අතර’ හා ‘අහසින් පොළොවට’ යි.

සුනිල් මිහිඳුකුල කියා සිටින්නේ ලෙස්ටර්ගේ හොඳම සිනමා පට එක්කෝ රදල පන්තිය (‘ගම්පෙරළිය’, ‘නිධානය’) නැති නම් ධනපති පන්තිය (‘දෙලොවක් අතර’, ‘අහසින් පොළොවට’, ‘කලියුගය’, ‘යුගාන්තය’) පසුබිම් කරගත්තේ යැයි කීම සාවද්‍ය නොවන බව ය.

අහසින් පොළොවට, ‘ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සිංහල සිනමාව’, පි. 83, 1 මුද්‍රණය - 1997 අගෝස්තු)

මෙයින් ‘දෙලොවක් අතර’ සහ ‘අහසින් පොළොවට’ කැපී පෙනෙන්නේ නිශ්චිත පුද්ගලයකුගේ ඇතුළාන්තය සිනමානුරූපීව ප්‍රකාශ කරනු පිණිස ලෙස්ටර් දැරූ අතිමහත් වෑයම නිසාවෙනි. නොඅනුමානවම මෙමඟට පිවිසි විශිෂ්ටතම ලාංකේය සිනමා පට අතරට ‘දෙලොවක් අතර’ හා ‘අහසින් පොළොවට’ එක් කළ හැක්කේ කිසිදු මතභේදයකින් තොරව ය. ජී.ඩී.එල්. පෙරේරාගේ ‘දහසක් සිතුවිලි’, රන්ජිත් ලාල්ගේ ‘නිම් වළල්ල’, පරාක්‍රම ද සිල්වාගේ ‘හෙවණැලි ඇද මිනිස්සු’ හා ‘බිත්ති හතර’, ප්‍රසන්න විතානගේගේ ‘අනන්ත රාත්‍රිය’ මේ මාදිලියේ සෙසු ලාංකේය සිනමා පට අතරට ‍එක් වේ.

 

මෙවැනි සිනමා පට ප්‍රමුඛ හා ප්‍රබල සිනමා පට මාදිලියක් සේ හඳුනාගත නොහැකි වීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි. මෙතැනදී දත හැකි වන්නේ ඒ ඒ සිනමාකරුවන් සෙසු ආකාර විෂයයෙහි මෙන් නොව, මෙහිදී යම් දුෂ්කර හා අවදානම් තීරණ ගත යුතු වීමයි. එනම් නිශ්චිත පුද්ගලයකුගේ ඇතුළාන්තය සතු සංකීර්ණ හැඩගැසීම් හා ඒවායේ ගතික ලක්ෂණ හසු කරගැනීමේදී උපකල්පන සේම පූර්ව නිගමන සැණෙකින් වෙනස් විය හැකි බැවිනි. එසේ වුව හොත් සිදු වන්නේ අදාළ සිනමා පටයේ අරුත් ව්‍යාකුල වන පරිසරයක් සැකසීම ය. වැරැදි කියැවීම් හා හැදෑරීම් සඳහා ප්‍රබුද්ධ ප්‍රේක්ෂක - විචාරක පාර්ශ්ව යොමු වීමේ අනතුරු ඉස්මතු වීම ය.

මේ ලිපියට නිමිත්ත වන්නේ මෙසේ නිශ්චිත පුද්ගල අභ්‍යන්තරයක සංකීර්ණ හා ගතික ස්වරූපයත්, ස්වභාවයත් සිනමානුරූපීව ප්‍රකාශ කරලීමට ආ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘අහසින් පොළොවට’, ඉකුත් දෙසැම්බර් 15 දා සතළිස් වසරක් සම්පූර්ණ වීමයි. තිරනුමානවම ‘අහසින් පොළොවට’ යනු පශ්චාත් විමර්ශන වෙතින් බැහැර කළ යුතු සිනමා පටයක් නොවේ. ප්‍රතිඅධ්‍යයන කාර්යයන් සඳහා නොපමාව විෂයය කරගත යුතු සිනමා පටයකි. එසේම නිශ්චිත පුද්ගලයකුගේ ඇතුළාන්තය සිනමානුරූපීව ප්‍රකාශයට පත් කරලීමේ අරමුණු සාක්ෂාත් කර ගනු පිණිස එය යළි කියැවීමේ හැකියාව ද අමතක නොකළ යුතු ය.

‘අහසින් පොළොවට’ හි එන නිශ්චිත පුද්ගල භූමිකාව සම්බන්ධයෙන් ලෙස්ටර් කරන සඳහන ‘අහසින් පොළොවට’ හසු කර ගත හැකි හොඳම ආකාරයකි. පසුගිය ජීවිතයේදී තමා අතින් සිදු වූ කිසියම් වැරැද්දක් නිසා පසුතැවිලි වන පුද්ගලයකුගේ චරිතයක් වටා ‘අහසින් පොළොවට’ නිර්මාණය වී තිබෙන බවත්, මේ ශෝකාන්ත චරිතයක් බවත් ලෙස්ටර්ගේ උක්ත ප්‍රකාශයේ සඳහන් ය.

(සරසවිය, 1976.12.10)

මේ අනුව ‘අහසින් පොළොවට’ හා ‘දෙලොවක් අතර’ කිසියම් සමානතාවක් පෙන්නුම් කරන්නේ යැයි සිතේ. ‘දෙලොවක් අතර’ හි එන්නේ ද නිශ්චිත පුද්ගලයකුගේ පශ්චාත්තාපයක් සිනමානුරූපීව ප්‍රකට කිරීමකි. ඔහු ද තමා අතින් සිදු වූ එක්තරා වරදක් නිසා පසුතැවිලි වන්නකු සේ නිරූපිත ය.

මෙබඳු සිනමා පටයකදී අවශ්‍යයෙන් ම සාක්ෂාත් කරගත යුත්තක් වන්නේ වඩා පළපුරුදු හා පරිණත රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක සහභාගි කරගැනීමයි. ඔහුට හෝ ඇයට සිනමාව මතු නොව ජීවිතය හා එහි හැඩගැසීම් ගැන ද ප්‍රමාණවත් වැටහීමක් තිබීම වැදගත් ය. එසේම ඔහු හෝ ඇය කෙතෙක් දුරට ජීවිත පරිඥානයෙන් පොහොසත් ද යන පැනයට සුබවාදී පිළිතුරක් සපයාදීම සප්‍රයෝජනවත් වේ. ‘දහසක් සිතුවිලි’ හි හෙන්රි ජයසේන, ‘හෙවනැලි ඇද මිනිස්සු’ හි ධර්මසිරි බණ්ඩාරනායක, ‘බිත්ති හතර’ හි නීල් අලස් හා ‘අනන්ත රාත්‍රිය’ හි රවීන්ද්‍ර රන්දෙණිය මේ අභියෝගය ජය ගනු පිණිස දැරූ ප්‍රයත්න සුළු පටු නොවේ. කෙසේ නමුදු සිනමා අධ්‍යක්ෂණයට නවකයකු වූ රන්ජිත් ලාල් සිය ප්‍රථම හා එකම වෘත්තාන්ත සිනමා පටය වන ‘නිම් වළල්ල’ හි ප්‍රධාන චරිතය නිරූපණයට එක් කරගත්තේ කිසිදාක සිනමාවට සම්බන්ධව නොසිටි නිශ්ශංක අමරසිංහ ය. ‘නිම් වළල්ල’ මුල් වරට ප්‍රදර්ශනය වී වසර 48කි. ආපසු හැරී බලන කළ ‘නිම් වළල්ල’ නව්‍යතාවකින් යුතු සිනමා පටයක් සේ ප්‍රතිකියැවීමකට ලක් කළ හැකි වේ. නිශ්ශංකගේ රංගනය වුව ඒ නව්‍යතාව තුළ පවතින වග හැ‍ඟෙන්නේ නිරායාසයෙනි.

‘දෙලොවක් අතර’ හි ප්‍රධාන චරිතය නිරූපණය සඳහා එක් වන්නේ ටෝනි රණසිංහයි. ඔහු හැරුණු කොට නිශ්චිත පුද්ගලයකුගේ අභ්‍යන්තරයක සංකීර්ණ හා ගතික බව සිනමානුරූපීව ප්‍රකාශ කරන්නට ඉහළින් ම සමත් අන් රංගන ශිල්පියකු ලාංකේය සිනමාව සතුව නැතැයි අද ද සිතේ. හෙන්රි ජයසේන, ධර්මසිරි බණ්ඩාරනායක, නීල් අලස් හා රවීන්ද්‍ර රන්දෙණිය සිනමා රංගන ශිල්පීන් වශයෙන් නොයෙක් ප්‍රමාණ සහිතව සාර්ථක වන්නේ අන් ආකාරයේ චරිත නිරූපණය ද සමඟින් බව සත්‍යයකි.

‘දෙලොවක් අතර’ හා ‘අහසින් පොළොවට’ එහෙම පිටින් ම අදාළ චරිත ද්විත්වයේම ප්‍රකාශන බඳු ය. වෙනත් චරිත හා සිදුවීම් තිබුණ ද ඒවා පවතින්නේ මේ චරිත ද්විත්වය තුළයි. හැම රූප රාමුවකම මේ චරිත රැඳී සිටින අයුරු පැහැදිලි ය. ඒ දෘශ්‍යමානව හා අදෘශ්‍යමානව ය.

‘අහසින් පොළොවට’ හි ටෝනි නිරූපණය කළ චරිතය හඳුන්වා දෙන්නේ ප්‍රභූ පවුලක මැදිවියට එළැඹුණු වෛද්‍යවරයකු ලෙසිනි. හේ සරත් ය. බිරියගේ යම් පෙම් සබඳකමක් ගැන ඔහු අනිවාරතේ සැක පහළ කරයි. එනිසා ම බිරිය හා ඔහු අතර නොයෙක් එකඟතා නොවන දේ උත්සන්න වේ. බිරිය නිරතුරුවම පීඩාවට ලක් වන්නීය. පළමු දරු ප්‍රසූතියේදී මිය යයි‍‍. ඇගේ අකල් වියෝව ස්වකීය ජීවිතය දෙස ගැඹුරින් බලන්නට සරත්ට ලැබෙන අවස්ථාවකි. සිනමා පටය ඇරඹෙන්නේ සරත්ගේ අතීතාවර්ජන ද සමඟිනි. නිශ්චිත පුද්ගලයකුගේ අභ්‍යන්තරයක රූප රාමු කරාගෙන ඒමට අතීතාවර්ජනය පිටිවහලකි. ලෙස්ටර් මේ පිළිවෙත ප්‍රශස්ත අන්දමින් සාක්ෂාත් කරගන්නට ‘අහසින් පොළොවට’ හිදී සමත් වෙයි. මෙතැනදී ඔහුගේ ‘නිධානය’ ද සිහිපත් කරලීම වටී.

‘අහසින් පොළොවට’ හි ටෝනිගේ රංගය ලාංකේය සිනමාව විෂයයෙහි මුණගැසෙන විශිෂ්ටතම අවස්ථාවක් ය යන්න රහසක් නොවේ. ටෝනි පසුකාලීනව වඩා විශිෂ්ට සිනමා රංගන ශිල්පියකු සේ හමු වන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පවුරු වළලු’ හිදීයි. මේ අනුව ටෝනිගේ ‘අහසින් පොළොවට’ රංගනය ධනාත්මක නැඹුරුවක් සලකුණු කරන්නේ ‘දෙලොවක් අතර’ හා ‘පවුරු වළලු’ අතරතුරේ ය.

 

වර්ෂ 1979 දී පැවැති ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කළ ප්‍රථම ජනාධිපති සිනමා සම්මාන උලෙළේ දක්ෂතම අධ්‍යක්ෂ ලෙස සම්මාන හිමි කරගත්තේ ‘අහසින් පොළොවට’ වෙනුවෙන් ලෙස්ටර් ය. දක්ෂතම අධ්‍යක්ෂ ලෙස තවත් සම්මානයක් පිරිනැමුණේ ‘බඹරු ඇවිත්’ අධ්‍යක්ෂණය වෙනුවෙන් ධර්මසේන පතිරාජට ය. ‘බඹරු ඇවිත්’ නිසැක වශයෙන් ම ලාංකේය සිනමාව සතු විශිෂ්ටතම සිනමා පටයකි‍. දක්ෂතම නළුවා වූයේ ‘අහසින් පොළොවට’ හි ටෝනියි. මේ අතිශය අභියෝගාත්මක තෝරා ගැනීමකි. ‘බඹරු ඇවිත්’ හි විජය කුමාරතුංග හා ජෝ අබේවික්‍රම ප්‍රකට කළ සමත්කම් හමුවේ ටෝනි ලද මේ සම්මානය අවතක්සේරු නොකළ යුතු ය.

ටෝනිගේ ‘අහසින් පොළොවට’ රංගනය මුල් කරගෙන ග්‍රන්ථයක් සම්පාදනය කරන ජීවන්ත දයානන්ද, ඊට තමා ටෝනි හා කළ දීර්ඝ සංවාදයක් ද ඇතුළත් කරයි. එහි එක්තැනක ටෝනි, ‘අහසින් පොළොවට’ හි සරත්ගේ චරිතය විනිශ්චය කරන්නේ ස්වකීය පූර්ව සිනමා රංගන අත්දැකීම් නොවළහා ඉවහල් කොටගනිමිනි. දොස්තර සරත්ගේ චරිතය, රඟපෑමට දුෂ්කර සංකීර්ණ චරිතයක් බවත්, ඔහු සිය බිරියගේ මරණය නිසා හෘදයසාක්ෂියෙන් දඬුවම් ලබන්නකු බවත්, එහිදී ටෝනි පවසයි. තවදුරටත් ඔහු කියා සිටින්නේ ඒ චරිතය නිසි පරිදි නිරූපණය කළ හැකි වූයේ රඟපෑම යන විෂය සම්බන්ධයෙන් ඒ වන විට තමා ලද අත්දැකීම් හා පරිචය නිසා ය යන්න ය.

ටෝනි, දොස්තර සරත් ලෙස, පි. 29/30, 1 මුද්‍රණය - 2017)

ලෙස්ටර්ගේ සිනමා භාවිතය විෂයයෙහි නිර්මාණ සාහිත්‍යයට ඇති අවකාශය ඉහළ තැනක පවතී. නිර්මාණ සාහිත්‍යයට යොමු නොවුණු සිනමාපට ඔහුට අදාළව ඇත්තේ කිහිපයක් පමණි ‘දෙලොවක් අතර’ ද ඒ අතර ය. කෙසේ වෙතත් ‘අහසින් පොළොවට’ වෙනුවෙන් ලෙස්ටර්ට පාදක වූ අයිලින් සිරිවර්ධන එනමින් ම ලියූ වර්ෂ 1973 දී ප්‍රකාශිත නවකතාව, සමකාලීන හා පසුකාලීන මහා සාහිත්‍ය කතිකා සඳහා විෂයය වූයේ අවම මට්ටමකිනි. ‘අහසින් පොළොවට’ සිනමා පටයට පෙරාතුව ද, ඉනික්බිතිව ද ලෙස්ටර්ගේ තෝරාගැනීම් වූ නවකතා හා කෙටිකතා රචනා කළෝ මාර්ටින් වික්‍රමසිංහ, මඩවල එස්. රත්නායක, ජී.බී. සේනානායක වැනි දැවැන්තයෝ ය. ‘ගොළු හදවත’ සිනමා පටයට කරුණාසේන ජයලත් එනමින් ම ලියූ නවකතාව ලෙස්ටර් විසින් විෂයය කරගනු ලැබීම එදවස නම් තරමක ආන්දෝලනාත්මක වන්නට ඇත. එනමුත් අද කරුණාසේන ජයලත්ගේ නවකතා භාවිතය සම්බන්ධයෙන් කෙරෙන විශ්ලේෂණ ඉදිරියේ ලෙස්ටර්ගේ ඒ තෝරාගැනීම සහේතුක විය හැකි ලක්ෂණ නිශ්චය කරගත හැකිය. මෙබඳු පසුබිමක අයිලින් සිරිවර්ධනගේ ‘අහසින් පොළොවට’ නවකතාව පාදක කොටගෙන සිනමා පටයක් අධ්‍යක්ෂණයට ලෙස්ටර් ගත් තීන්දුව දෙස බැලිය යුත්තේ විවෘතවයි. ලෙස්ටර් එහි යටි පෙළ නිවැරැදිව ඥානනය කරගත් බවයි ඉන් කියැවෙන්නේ.

අයිලින් සිරිවර්ධන පවසන්නේ ‘අහසින් පොළොවට’ සිනමාගත කරනු පිණිස නිෂ්පාදකවරුන් ‍තිදෙනකු තමා හමු වන්නට ආ වග ය. ඔවුන්ගේ පොදු ඉල්ලීමක් වූයේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මුල් කරගෙන ඇතැම් විනෝදාත්මක අංග සිනමාපටයට එක් කළ යුතු ය යන්නයි. තමා ඊට එකඟ නොවූ බව ද, ලෙස්ටර්ගේ යෝජනාව පිළිගත් බව ද අනතුරුව ඇය කියා සිටී.

(ලේඛන ලෝකය, ‘ජීවන ගීතය’ පි. 303, I මුද්‍රණය - 2011)‍

‘අහසින් පොළොවට’ ලද අන්තර්ජාතික සම්මානයක් අතිශය විවාදාත්මක විය. ඒ තුන්වැනි කයිරෝ අන්තර්ජාතික සිනමා උලෙළේදී ඊජිප්තුවේ සිනමා, නාට්‍ය හා සංගීතය පිළිබඳ සංවිධානය විසින් තුන්වැනි ලෝකයේ හොඳම සිනමා පටය වෙනුවෙන් වන ‘අක්නේටන්’ (AKHNATON) සම්මානය ‘අහසින් පොළොවට’ ඉදිරිපත් කොට තිබුණේ ‘WHITE FLOWERS FOR THE DEAD’ මැයෙනි. යටකී විවාදාත්මක බවට හේතු වූයේ ඊජිප්තුව සමකාලීන අන්තර්ජාතික දේශපාලනය තුළ නිරූපිත භූමිකාව ය.

‘අහසින් පොළොවට’ නිශ්චිත පුද්ගලයකුගේ අභ්‍යන්තරය සතු සංකීර්ණ හා ගතික ස්වභාවයත්, ස්වරූපයත් නිරූපිත විශිෂ්ටතම සිනමා පටයක් වීම පසුපස තිස්ස අබේසේකර ලියූ තිර නාටකය ද තිබේ. කොහොමත් තිස්ස මෙබදු තිරනාටක රචනයට සමතෙකි. ඔහුගේ කෙටි සිනමා භාවිතය ද ඊට උදාහරණ සපයයි. අයිලින් සිරිවර්ධනගේ නවකතාව ඉක්මවා යන තිස්ස එහි මූලිකාංග ප්‍රවර්ධනය කරන්නේ ලෙස්ටර්ගේ සිනමා අධ්‍යක්ෂණ විලාසය පිළිබඳ මහත් වූ අවබෝධයකිනි. තිස්ස සාර්ථක තිරනාටක රචකයකු වන්නේ තම සිනමාකරුවා අරබයා දක්වන මේ සාධනීය ආකල්පය ද නිසාවෙනි.

ලෙස්ටර්ගේ සිනමා භාවිතය අලළා විචාරක පාර්ශ්ව දක්වන ප්‍රතිචාර විටෙක විවිධත්වයක් ද පෙන්නුම් කරයි. ‘අහසින් පොළොවට’ ලද විචාර - ප්‍රතිචාර ඊට එක් උදාහරණයකි. සුනිල් මිහිඳුකුල ඇතුළු සිනමා විචාරකයන් ගණනාවක් ම ‘අහසින් පොළොවට’, ලෙස්ටර්ගේ සිනමා අධ්‍යක්ෂණ සමත්කම් ප්‍රකට කරන සිනමාපටයක් බව පැවසූ අවස්ථා බොහෝ ය.

එසේ ම රෙජී සිරිවර්ධන, ගුණසිරි සිල්වා බඳු සිනමා විචාරකයන් ‘අහසින් පොළොවට’ ප්‍රශ්න කළ වග අමතක කළ යුතු නොවේ.

රෙජී සිරිවර්ධන උත්සුක වන්නේ ‘අහසින් පොළොවට’ ලෙස්ට‍ර්ගේ ම ‘නිධානය’ හා සසඳන්නටයි. ‘නිධානය’ හි වූ සංකීර්ණත්වය එහි තේමාවේ ඇති ගැඹුරු බව නිසා මතු වූ වගත්, ‘අහසින් පොළොවට’ හිදී ශිල්පීය අංශයට දී ඇති වැදගත්කම නිසා එහි මූලික අත්දැකීම වසාගෙන ආකෘතිය ඉස්මතු වී තිබෙන වගත් එහිදී ඔහු කියා සිටී.

(සිංහල සිනමාව පංතිමය හා පෞද්ගලික සම්බන්ධතාව, ‘කලාව සහ සමාජය’ - ලංකා ගාඩියන් ප්‍රකාශන 1, පි. 55)

මේ අතර ගාමිණී දිසානායක කියා සිටින්නේ ‘අහසින් පොළොවට’ සිනමාකරුවාගේ (ලෙස්ටර්) පිරිහීම පැහැදිලි ලෙස පිළිබිඹු කරන බව ය.

(චිත්‍රපට නිර්මාපකයා හා විවේචකයෝ ‘කලාව සහ සමාජය’ ලංකා ගාඩියන් ප්‍රකාශන 1, පි. 53)

මෙයින් පෙනී යන්නේ ‘අහසින් පොළොවට’ හතළිස් වසරකට පසුව වුව ද නොවිමසා සිටිය නොහැකි මාදිලියේ සිනමා පටයක් වන බව ය. ‘රේඛාව’, ‘ගම්පෙරළිය’, ‘නිධානය’ බඳු ලෙස්ටර්ගේ සිනමාපට කෙරෙහි තවදුරටත් පවතින්නේ සුහද හා ධනාත්මක ප්‍රතිචාරයි. ඊට සාපේක්ෂව ‘අහසින් පොළොවට’ ලෙස්ටර්ගේ සිනමා භාවිතය විෂයෙහි සුවිශේෂත්වයක් ප්‍රකට කරන වග සැබැවින් ම පැහැදිලි ය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.