බැද්දේගම නවකතාවෙන් නිරූපිත ජන සමාජය | සත්මඬල

බැද්දේගම නවකතාවෙන් නිරූපිත ජන සමාජය

 

‘නවකතාව’ යන සාහිත්‍යාංගය බටහිරින් අප අතට පත් වූවක් බව ප්‍රකට කරුණකි වෙයි. විශේෂයෙන් ම ප්‍රංස, ඉංග්‍රිසි, රුසියානු හා ඇමෙරිකානු සාහිත්‍යයෙහි වර්ධනය වූ මෙකී සාහිත්‍යාංගය යුරෝපාවතරණයෙන් අනතුරුව මෙරටට ළඟා වෙයි. ඉංග්‍රීසින්ට මේ රට යටත්විජිතයක් ව තිබියදී බටහිර ආභාසයෙන් මෙරට සාහිත්‍යයට නවකතාව අවතීර්ණ විය. එවන් සමයකදී හම්බන්තොට නගරයෙන් සැතපුම් පනහක් පමණ දුරින් පිහිටි එක්තරා වනගත ගමක විසූ ගැමි දනන්ගේ වගතුග අප ඉදිරියෙහි ජීවමාන කරන්නට ‘බැද්දේගම’ නවකතාවට හැකි විය. සැබවින් ම එය එතරම් ම සාර්ථක නවකතාවක් වූයේ දාස් දෙන අවුවේ, ඉරි තැළී ගිය බිමක කඨෝර ජීවන රටාවක් ගෙවූ අසරණ මිනිසුන්ගේ ජීවනය තත්ත්වාකාරයෙන් විස්තර කෙරෙන කතා ප්‍රවෘත්තියක් වූ නිසාවෙනි.

සිංහල ජන ජීවිතය පසුබිම් කරගෙන ‘බැද්දේගම’ නම් නවකතාව ලියූවේ ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් නමැති මෙරට ජනතාවට ඉතා සමීප වූ බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියා ය. එදා හම්බන්තොට දුප්පත් ගැමියාගේ ජීවිතය විනිවිද දුටු ලේඛකයෙක් හැටියට ඔහු ඉතිහාසයට එක් වී සිටියි. ඔහු ලංකාවට පැමිණෙන්නේ 1904 ඔක්තෝබර් මාසයේ එංගලන්තයේ ටිල්බරි වරායේ සිට පී. ඇන්ඩ් ඕ. සිරියා නමැති නැවෙනි. ඔහු ලංකාවට ගොඩ බැස්සේ සති තුනක ගමනකින් පසුව ය. ටික කාලයක් කොළඹ ගත කළ හෙතෙම 1905 ජනවාරි 01 (හෝ 02) වැනිදා යාපනය බලා පිටත් වූයේ ය. වසරකට පවුම් 200 ක වේතනයක් ලබන, ලංකා සිවිල් සේවයේ ආධුනිකයකු වශයෙන් යාපනයේ සේවය කළ වුල්ෆ් අවුරුදු 2කුත් මාස 7කට පසු මහනුවරට ස්ථාන මාරුවක් ලැබුවේ ය. 1907 අගෝස්තු 19 වැනි දින යාපනයේ සිට මහනුවර බලා පිටත් වූ හෙතෙම වසරක් එහි සේවය කෙළේ ය. ලංකාවේ අවුරුදු 3 1/2ක් සේවය කිරීමෙන් පසු ඔහුට උසස් වීමක් ලැබිණි. ඒ අනුව ඔහු 1908 අගෝස්තු 28 වැනිදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහකාර ඒජන්තවරයා වශයෙන් වැඩ බාර ගත්තේ ය. එතැන් සිට 1911 මැයි 20 වැනි දින දක්වා අවුරුදු 2කුත් මාස 9ක් හම්බන්තොට සේවය කළේ ය. අවුරුදු 6 1/2කට ආසන්න කාලයක් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිට වාර්ෂික නිවාඩුවක් ගත කිරීම සඳහා 1911 මැයි 20 දින ආණ්ඩුවේ ඒජන්තට වැඩ භාරදී එංගලන්තයට යන වුල්ෆ් මහතා 1912 දී ඇඩ්ලින් වර්ජිනියා ස්ටෙෆන් මෙනවිය සමඟ විවාහ ගිවිස ගත්තේ ය. ‘වර්ජිනියා වුල්ෆ්’ නමින් ඉංග්‍රීසි සාහිත්‍යාම්බරයෙහි දිදුලන තාරකාවක් ලෙසින් කීර්තිමත් වූයේ ඇය යි. ඔහු 1912 මැයි 20 වැනි දින ලංකා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස් වූයේ ය.

ලේඛකයකු ලෙසින් නව ජීවිතයක් ආරම්භ කළ වූල්ෆ් හම්බන්තොට උප දිසාපතිවරයා ලෙස සේවය කළ කාලයේ ලැබූ අත්දැකීම් පසුබිම් කොට ලියන ලද The village in the Jungle නම් කෘතිය 1913 දී ප්‍රකාශයට පත් විය.

 එම කෘතිය ‘බැද්දේගම’ නමින් සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණේ 1949 දී ඒ. පී. ගුණරත්නයන් විසිනි. සිංහල පාඨකයාට ඒ ග්‍රන්ථය පරිවර්තනයකැයි නොසිතෙන තරමටම සමීප වී ඇත්තේ 19 සියවස මුලදී යටත් විජිත පාලන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජන ජීවිතය ප්‍රතිනිර්මාණය කර ඇති බැවිනි. 19 වැනි සියවසේ මුල් භාගයේ සිංහල ජන ජීවිතය පිළිබඳ මූලාශ්‍රය බැද්දේගම කෘතියේ නිදන්ගතව ඇත.

ප්‍රදේශයේ පවතින දේශගුණික තත්ත්වයට අනුවර්තනය වී දැයි සැක සිතෙන තරමට ම සිතෙහි තෙත ගතියක් නොවූ ආරච්චිරාලගේ ද, ණය හිමියන්ගේ ද කූටෝපක්‍රමවලට හසුවීම සහ අකාරුණික සොබාදහමේ අරියාදුව හේතුවෙන් අනවරත අරගලයක නිරත වුවද ජීවිත අභාවයට යන සිලිඳුගේ පවුල කේන්ද්‍ර කරගෙන ගොඩනැඟෙන මේ කතා වස්තුවෙන් සමස්ත බැද්දේගම වැසියන් සජීව ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කෙරෙයි.

“වනයෙහි බල පවත්වන ගතිය ගමෙහි ද එහි ජීවත් වන්නවුන් කෙරෙහි ද එසේ ම බල පවත්වයි. එහි වූවෝ කලකිරීමෙන් මුරණ්ඩු වූ සිත් ඇති, වැඩි කතාවක් බහක් නොකරන චාන් මිනිස්සු ය. උන්ගේ ජීවිතයේ තිබෙන බිය හා දුෂ්කරතා ද කෙනකුට උන්ගේ මුහුණෙන් ම දැක්ක හැකි ය. උන් බෙහෙවින් අවට වනයේ වාසය කරන තිරිසන් සතුන්ට සමාන ය. උන් එකෙක් අනිකකු දෙස බලන්නේ මීහරකකුගේ ඇස්වල දැක්ක හැකි ඉවසිලිමත් දොම්නස් ජඩ බැල්මෙන් හෝ නරියකු කෙරෙහි ඇති කපට බැල්මෙන් හෝ යුතුව ය. වනයේදී පවතින අන්ධ සාහසිකත්වය ද, දිවියකුගේ මෙන් රෞද්‍රභාවය හා වලසකුගේ මෙන් හදිසි කෝපය ද, මේ ගම්මුන් තුළ දක්නට ලැබේ.” (පි. 09)

මෙහි වූවෝ හේන් ගොවිතැනින් හා කුඹුරු ගොවිතැනින් තම ජීවිකාව දුක සේ ගෙවූවෝ වෙති. සෑම අතින් ම පරපීඩනයට හසුව සිටින ගම් වැස්සෝ එකිනෙකා සමඟ වැඩි කතාවක් නුවූ බව ඉහත ප්‍රකාශයෙන් ම පැහැදිලි වේ.

ඔවුහු කැලයේ කොටස්කරුවෝ වෙති. ගම්මාන වට කරගෙන තෙරපා ගෙන එන වැඩුණු වනාන්තරය ඔවුන්ගේ ජීවිතවලට බලපෑම් කරයි. ඔවුහු ඒවා ඉවසමින් මැරි මැරී ජීවත් වෙති. එමෙන් ම ඔවුන් ජීවත් වන පරිසරය පිළිබඳ සෑහෙන තරම් වන විස්තරයක් කතාව ආරම්භයේදී ම සඳහන් වෙයි. වර්ෂා කාලයට සැපදායක පරිසරයක් වන බැද්දේගම අවට වනයෙහි නියම ස්වභාවය පෙනෙන්නේ නිරිත දිග මෝසම් සුළංවලින් පසුව ඇති වන නියඟ සමයේදී ය.

“උණුසුම් වියළි සුළඟ ගස්කොළන් පිසගෙන හම යි. තණ හා කුඩා පැළෑටි වියළී යයි. කුඩා පඳුරුවල කොළ මැල වී හැකිළ කළු ගැසී ගිලිහේ. හිරු රැසින් පොළොව පැළිවලින් පැළී දූවිල්ල මතු වේ. කුඩා කුඩා ඇළ දොළ වියළී යන අතර මහ ගං හෝ දිය සිඳී, මහවැලි කඳු අතර හෙමි හෙමින් ගලා බසින කුඩා දිය පාරවල් බවට පෙරළේ. සිඳුණු වැව් පොකුණුවල අතන මෙතන වඩා ගැඹුරු තැන්වල හා ගල් කුළු මුදුන්වලත් පමණක් මඩ බොර දිය ටික ටික ඉතිරි වේ.” (පි. 07)

උදයේ සිට රෑ වන තුරු ම දැඩි හිරු රැසින් ගම දැවී යන අතර නිරිත දෙසින් හමා ආ වියළී සුළඟ දූවිලි මතු කරමින් හමා යන්නට වී ය. දිය පොදක් නොමැතිව වියළී ඉරි තැළී ගොස් ඇති ගිනියම් වූ බිමෙන් නැගෙන රශ්මියත්, අහසින් නැගෙන හිරු රශ්මියත් ගස්වැල් සියල්ල අප්‍රාණික කරන්නේ ය. දුඹුරුවන් ගසවැල් පොළොව බදා හුන් අතර බැද්දේගම වනයේ ජීවත් වූ සතා සීපාවා ද ඉන් ලැබූයේ පීඩාවක් පමණි.

“දිය වළවල ලිස්සන ඉවුරු අතරෙන් ඔවුන්ට ළං විය නො හැකි මේ දිය කඩවල් දෙසට හොස්ස දික් කරගෙන රෑ දවල් වටේ කැරකෙති. සමහරු පිපාසයෙන් හා වෙසෙසින් මිය යත්. දිය බීමට කරන උත්සාහයේදී පය ලිස්සා යෑමෙන් මේ දියකඩවලට වැටෙන සමහර සතෙක් හැන්දෑවට එන කොටියාට පහසු ගොදුරක් වන්නේ ය.” (පි. 07)

මේ වූ කලි බැද්දේගම ය. ගම ගොඩනැඟී තිබුණේ ගෙවල් දහයකිනි. වරිච්චි බැඳ මැටි ගසා සකසා ගන්නා ගෙවල් දිළිඳු පැල්පත් ය. මුළු ගමෙන් ම උළු සෙවිලි කළ ගෙයකට තිබුණේ ගම්මුලාදෑනියාගේ නිවෙස පමණි. අනෙකුත් සෑම නිවෙසක් ම පාහේ පොල් අතු සෙවිලි කළ ඒවා විය. ගෙවලට පහළ නැගෙනහිර දෙසින් වැව පිහිටියේ ය. ගම්මු වැව් වේල්ලට පහළින් වූ කුඹුරු යාය වැපිරූහ. අවුරුදු දහයකට වරක් කුඹුර වැපිරුව ද ඔවුන්ගේ රැකියාව ඇසූ කල්හි පැවසූයේ ‘කුඹුරු ගොවිතැන’ යනුවෙනි. ඔවුහු සැම ගොයිගම කුළයේ ඇත්තෝ වූහ. සාමාන්‍යයෙන් මේ ගැමියන් ජීවත් වූයේ හේන් ගොවිතැනෙනි. කුරක්කන්, අමු, මෙනේරි ආදී ධාන්‍ය වර්ග ද, මිරිස්, තියඹරා, වට්ටක්කා ආදී එළවළු වර්ග ද ඔවුන්ගේ හේන්වල වැවිණි. හේන්වල වපුරන මේ ධාන්‍ය මනුෂ්‍ය ශරීරයට හිතකර වූයේ නැති. ශරීරයේ ලේ උණුසුම් කරවීමත් සමඟ ම ඇතැම්හු පරංගි රෝගයෙන් පීඩා වින්දහ. සැරව වැගිරෙන, ඇටය දක්වා වළ ගැසුණු, මැස්සන් පිරිවරාගත් වණ නොසෑදුණු ගම්වාසියකු සොයා ගැනීම පවා උගහට විය. අලුත ඉපදුණු පොඩි දරුවෝ ද මන්දපෝෂණයෙන් යුක්ත වූහ. හේන් ගොවිතැන කිරීමට අලසයෝ දඩයමට හුරු වූහ. සිලිඳු ද එවැන්නෙකි. බැද්දේගම නවකතාවේ ජීවිතය අභාවයට යන සිලිඳු ඔස්සේ කතුවරයා සමස්ත බැද්දේගම වාසීන් සංකේතවත් කර ඇත. මෙහි ආරච්චිරාල ‘බබෙහාමි’ ය. ඔහුගේ සහෝදරියක වූ ‘ඩිංගිහාමි’ සිලිඳුගේ බිරිය වූ අතර ඇය නිවුන් ගැහැනු දරුවන් වැදීම හේතුවෙන් සිලිඳුගෙන් පහර කනු ලබයි. දරු ප්‍රසූතියෙන් දින දෙකකට පසු ඇය මිය යයි. එතැන් සිට සිලිඳු හා ආරච්චිරාල විරසක වෙයි. එහෙයිනි බබෙහාමි සිලිඳුගේ හේන් බලපත්‍රය අවලංගු කරන්නේ. ඒ මඟින් නිරූපණය වන්නේ එදා හම්බන්තොට රදල ක්‍රමය පැවැතුණු බව ය. එහෙයින් දුප්පත් ගොවියන් තළා පෙළා ඔවුන්ගේ ජීවිත අතිශය දුක්ඛිත තත්ත්වයකට ඇද දැමීමට රදලයන් කටයුතු කළ ආකාරය බැද්දේගම මඟින් නිරූපිත ය. එහෙත් ඔවුන් කතා කරන්නේ ඒ කිසිවක් නොදන්නා අන්දමට ය. ආරච්චිරාලගේ බිරිය නැංචොහාමි විසින් අංගොහාමිට පවසනු ලබන අවස්ථාවෙන් ඒ බව වඩාත් පැහැදිලි වේ.

“දැං අවුරුදු පහකින් විතර වියට ගෙඩියක් ඇහැට දැක්කෙ නෑ. ආරච්චිරාල දන් දෙනවා විතරයි. ආපසු ගැනිල්ලක් නෑ ”

(පි. 24)

එහෙත් එවැනි කතා, කතාවට පමණක් සීමා වූ අතර ණයට ගන්නා සෑම කුරුණියකට ම කුරුණි දෙකක් ලබා දීමට ගැමියන්ට සිදු විය.

එදා බැද්දේගම වාසීන් ජීවත් වූයේ ණය ගැනුමෙනි. ගත් ණයෙන් හේන් වගා කර, පසුව ණයට අස්වැන්න හිලව් කරති. තම දුක් මහන්සියෙන් වගා කරගන්නා සොච්චම ද ඔවුනට ඉතිරි නොවේ.

“හේන් කපන කාලයට ගමෙන් හැතැප්ම තිහකට එහායින් පිහිටි කඹුරුපිටිය නම් කුඩා නගරයෙන් අමුත්තෝ සමූහයක් ගමට කඩා වදිති. සියයට සියයේ පොලියට කුරක්කන් ලබා ගැනීමට ගමට රෙදි පිළි සපයන හම්බ කඩේ මුදලාලි වන මොහොම්මදු ලෙබ්බේ අහම්බදු කාසිමුත්, එසේ ම ගමට දුරු මිරිස් සපයන කොඩිකාරගේ අල්විස් අප්පු නම් සිංහල මුදලාලිත්, තව සුළු සුළු ගනුදෙනු කාරයන් අතර වූ ආරච්චිගේ දොන් අන්දිරිස් කියාගන්නා (මොහුගේ නියම නම අන්දිරිසා ය) සුදු කිලිටි කලිසමකින් හා කබායකින් සැරසුණු කඹුරුපිටියේ රේන්දරාලගේ ඒජන්ත කෙනෙකුත් මේ අමුත්තන්ගෙන් සමහරෙකි. කිසිදවසක මොවුන්ගෙන් කිසිම අනුකම්පාවක් ගම්මුන් ලැබුවේවත්, බලාපොරොත්තු වූයේ වත් නැත.” (පි. 25)

බැද්දේගම වාසීන්ට හිරිහැරයක් වූ සිංහල මෙන්ම මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව පිළිබඳව ද මින් කරුණු පැහැදිලි වෙයි. මේ අවස්ථාවටත් වඩා බලවතා විසින් දුබලයා පෙළීමේ කැලෑවේ නීතිය එකල කැලෑ ගම්වාසීන්ට ද උරුම වූ බවට හොඳ ම සාක්ෂ්‍ය වන්නේ ඇඟ බදු ගෙවීමට මුදල් නොමැති සිලිඳුට පාරේ වැඩ කිරීමට බබෙහාමි විසින් අවස්ථාව සැලසනු ලැබීමෙනි.

එකල ගැමියෝ අමනුෂ්‍ය දෝෂ, යකුන් වැනි අදෘශ්‍යමාන බලවේග පිළිබඳ විශ්වාස කළහ. කතාව ආරම්භයේ පටන් අවසානය දක්වා ම ඇති විවිධ අවස්ථාවන්ගෙන් එය වඩාත් පැහැදිලි වේ.

“අගෝස්තුවෙ තමයි ළමයි මැරෙන මාසෙ”

(පි. 24)

“ගිය අවුරුද්දෙ මේ මාසෙ මගෙ ළමයකුයි අපේ අයියාගෙ හාමිනේගෙ ළමයකුයි දෙන්නෙක් ම වැළලුවා” (පි. 24)

“තමාට අපල ගෙන දෙන කිසියම් අමනුෂ්‍ය දෝෂයක් තමා පිට වැටී ඇතැ යි ඔහුගේ හැඟීම විය” (පි. 34)

“නුග ගහත් පාළු වූ ගමත් යක්කුත් ඔහුගේ සිතේ අරක් ගත්හ” (පි. 63)

“දෙයියො කීවෙ එක්කෙනෙක් දෙන්ඩ ඕනෑ කියල යි. ඉතින් ඒක එහෙම කළා. මාව දුන්න මිනිහා මාව ගත්තා. දෙයියො බොරු කියනවයැ? යක්ස දිසටිය අහක් කරලා දැම්මා.” (පි. 96)

“මේ ගම දැන් හොල්මන් අඩිකෝඩ පිරුණු යකුන් අරක් ගත් කාලකණ්ණි ගමකි. ළමයින් හා මහල්ලන් ද නැසී යන්නාක් මෙන් ගමත් දැන් නැසී යයි. එහි දැන් ළමයි නූපදිත්. අවුරුදු දහයකින් මුළු ගම ම අලින්ට යනවාට කිසි ම සැකයක් නැත.’ යනු ඇගේ හැඟීම වී ය.” (පි. 232)

නගරවලත්, නගරබද ගම්වලත් මෙන් බැද්දේගම වාසීන්ට එදා විවාහ චාරිත්‍ර ක්‍රමයක් නොවීය. දෙපාර්ශ්වයේ කැමැත්ත මත ඥාතී පිරිස පිරිවරා කැටුව යෑමේ චාරිත්‍ර නොවීය. ඥාතී පිරිසට සංග්‍රහ කිරීම් ආදිය නොවීය. තම තමන්ගේ ජීවනෝපාය උන් විසින් ම යොදා ගත යුතු වූයෙන්, තරුණයකුට සහායිකාවක් තෝරා ගැනීමේ ඉඩකඩ එදා පැවැතිණි. තරුණ තරුණියන් එකිනෙකා හොඳහැටි දත් හෙයින් සුදුසු ඉඩකඩ ඔහුට ලැබිණි. ගම්මුන් බොහෝ දිලිඳු වූ නිසා දායාද ගැන කතාවක් එදා බැද්දේගම නොවීය.

මේ ආකාරයට ආරච්චිරාලගේ බිරියගේ සහෝදරයා වන බබුන්, සිලිඳුගේ එක් දියණියක වන පුංචි මැණිකා තම බිරිය බවට පත් කර ගනියි. එයට බබෙහාමි හා නැංචොහාමි විරුද්ධ වෙති. ගම්මුන්ට ලබා දුන් ණය එකතු කිරීමට පැමිණි ප්‍රනාන්දු මුදලාලිට පුංචි මැණිකා සමඟ අනියම් ඇසුරක් පවත්වා ගැනීමට අවශ්‍ය හෙයින් එයට ආරච්චිරාලගෙන් උදවු ලබා ගනී. බබුන් එයට විරුද්ධ වීම නිසා ඔහු ආරච්චිගේ නිවෙසේ භාණ්ඩ සොරා ගත්හ යි බොරු නඩුවකට පටලා මාස හයකට හිරේට යවයි. ඉන් කම්පාවට පත් වන සිලිඳු ආරච්චිරාලත්, ප්‍රනාන්දු මුදලාලිත් වෙඩි තබා මරයි. සිලිඳුට විසි වසක සිර දඬුවම් නියම වෙයි. ඉන් පසු පුංචි මැණිකා බැද්දේගම තනි වෙයි. තම නැඟණියත් පුංචිරාල වෙදාගේ උසිගැන්වීමෙන් මුව යක්ෂ අවතාරයකැය සිතා මරා දැමෙන හෙයින් ඇගේ නිවසේ වූයේ කර්ලිනාහාමි පමණකි. සමස්ත බැද්දේගම වාසීන්ගේ අභාවය කර්ලිනාහාමිගේ වියපත් වීම මඟින් කතුවරයා දක්වා ඇති ආකාරය ප්‍රශංසනීය වෙයි.

“දැන් කර්ලිනාහාමිගේ වයස අවුරුදු පනහක් පමණ වෙයි. කැලෑබද ගමක ගැහැනියකට විශේෂයෙන් වැන්දඹු ගැහැනියකට අවුරුදු පනහ ලොකු වයසකි. ජීවිතයේ අවසාන භාගකට බොහෝ ළං වූ වයසකි. අව්ව හා සුළඟත් වෙහෙසත් බඩගින්නත් ලෙස දුකත් ශරීර ශක්තිය මෙන් ම මානසික ශක්තිය ද උරා බොයි. ඇගේ සම ඇටයට ඇලී රැලි වැටී ගියේ ය. ළැම වියැළී ගොසිණ. මේ ගම්වල ගැහැනියක් අවුරුදු තිහ හතළිහ වන විටත් මැහැල්ලකි. මෙහි කිසි ම මිනිහෙක් හෝ ගැහැනියක් හෝ පරමායුෂ වැලඳීමෙහි සමත් නො වේ.” (පි. 228)

 

“කැලෑ ජීවිතයෙහි ලකුණු ඇගේ ශරීරයෙහි ඇඳී තිබුණේ ය. නිරිත දිග තද සුළඟට ඇඹරවී ඇටුවන් බැහී ගිය ගහක් මෙන් ඇගේ ශරීරය ද නැමී ඇඹරී තිබිණ. මුහුණේත් සිහින් ව ගිය අත්පාවලත් සම ගසක පොත්තක් මෙන් ගොරහැඩි ව රැලි වැටී ඇටයට ඇලී ගියේ ය. කුඹුක් වැනි ගස්වල පිට පොත්ත තැනින් තැන ඉගිළී සුදුව යන්නාක් මෙන් ඇගේ සමේ ද තැනින් තැන දුඹුරුවන් සුදු පුල්ලි නැඟී තිබිණ. කම්මුල්වල මස දිය වී සම ඇකිළී ගොසිනි. දත් නැති කට ඇතුළට වැදුණු දෙතොල නාසයට යටින් පෙනුණේ කෙළවලින් තෙමුණු රේඛාවක් ලෙසිනි. අප්‍රාණික පටල සහිත දෙනෙත රැලි වැටුණ නළල් තලයට යටින් සිය ගණන් රැලි අතර ගිලී තිබිණ.”(පි. 228)

කර්ලිනාහාමිගේ විය පත් වීම ඔස්සේ බැද්දේගම ජීවී සාධකයන්ගේ පරිහානියත්, ආරච්චිරාලගේ නිවෙස අභාවයට යෑමෙන් බැද්දේගම භෞතික වස්තූවල විනාශයත් අපූර්වයෙන් ගොනු කිරීමට මෙහි කතුවරයාණෝ සමත් වූහ.

“බිත්තිවල තැනින් තැන මැටි ඇද වැටීමෙන් වරිච්චි කෝටු තෙත් සුළඟට අසුවීම නිසා ඉන් මුල් ඇද දලු ලියලා රිකිලි ලා වැඩෙන්නට වන. කුරුල්ලන් ගෙනවුත් දැමුවා වූ ද, සුළඟින් ගසාගන ආවා වූ ද ඇට නිසා ගෙයි වහලේ උළු අතර ලොකු කුඩා පඳුරු හැදෙන්නට පටන් ගති. ලොකු දළුක් පඳුරක් වහල මත වැටී උළු එහා මෙහා කරමින් මුල් ඇදුණේ ය. බිත්ති අතර කැලය වැඩී ගෙය ඔබා ගත්තෙන් බිත්ති බිඳ වැටී වහල බිමට පාත් විය. කුඩා රතු උළු ගොඩ තණ හා වල් පඳුරුවලින් වසා ගත්තේ ය. බිත්තිවල වරිච්චි කෝටු විශාල පඳුරු බවට වැඩුණේ ය. ලොකු ගස් ද මතුවන්ට පටන් ගති. තුන් වැනි වැස්ස අවසානයේදී මුළු වත්තේත්, ගෙයිත්, කැලයේත් වෙනසක් නොපෑ ය.” (පි. 231)

ගම් මුලාදෑනින්ගේ නිවෙස අභාවයට යන්නේ නම් අන් ගම්මුන්ගේ නිවෙස් ගැන කවර කතා ද? තෙත වරිච්චි බිත්ති දිය වී යන්නේ නිරන්තර කඳුළින් තෙත් වූ ගැමියන්ගේ ජීවිත මෙනි. මේ ආකාරයට කැලෑ ජීවිතයෙහි කටුකත්වය සිංහල පාඨකයාට වඩාත් සමීප වූයේ ඒ. පී. ගුණරත්නයන්ගේ ළගන්නාසුලු බස්වහර නිසා ය. ලෙනාඩ් වුල්ෆ් මහතාගේ The village in the Jungle නම් ඉංග්‍රිසි කෘතියට වඩා ‘බැද්දේගම’ කෘතිය ස්වාධීන බවකින් යුක්ත බව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ දක්වති.

“ඒ. පී. ගුණරත්න මහතා විසින් ව්‍යවහාර කරන ලද මටසිලුටු වාග්මාලාව වනාහි මේ නවකතාවෙහි ස්වාභාවිකත්වයට අතිශයින් තුඩු දෙන්නකි. ඔහු විසින් උපයෝගී කරගෙන තිබෙන සරල, ඍජු, අලංකාර රහිත රචනා විලාසය වනාහි මුල් කතාවෙහි තාත්වික රස සමූහය උද්වහනය කිරීමෙහි ලා අතිශයින් යෝග්‍ය වූ මාර්ගයක් බව මේ පරිවර්තනය, මුල් පොත හා සසඳන්නකුට පෙනී යනු නිසැක යි.”

“හේන් ගොවිතැන කෙරෙන ඇතැම් පළාත්වල ව්‍යවහාර වන අප්‍රකට දේශීය වචන කීපයක් මෙහි ඇතුළත් වේ. ඒ හේතු කොටගෙන මේ පරිවර්තනය, අමුතු ජීවමාන ස්වරූපයක් ගනි යි. භාෂා විලාසය, හැකි තාක් කතා ව්‍යාවහාරයට ළං කිරීමට තැත් කරන ලද බව ද පැහැදිලි ය.”

(එදිරිවීර සරච්චන්ද්‍ර - බැද්දේගම - ප්‍රස්තාවනාව)

නවකතාවකට මාධ්‍යය වන්නේ භාෂාව යි. අර්ථවත් භාවය, අපූර්වත්වය මෙන්ම ප්‍රසාදනීය ගුණයෙන් යුතු ව දක්වා ඇති බැද්දේගම නවකතාව මඟින් අතීත ලංකාවේ වගතුග රැසක් ම හෙළි කෙරෙන බැව් නොකිවමනා ය. එය ඉදිරිපත් කරන භාවික ගුණයෙන් යුක්ත සියුම් ශෝකී රිද්මය එහි අගය තව දුරටත් වැඩි කරයි. පසුකාලීන ව මේ නවකතාව පාදක කරගත් සිනමා පටයක් ද බිහි විය. එය මේ ශ්‍රේෂ්ඨ කෘතියේ විකෘතියක් බව ද කිව යුතු ය. එහි පුංචි මැණිකා සහ බබුන් චරිතයන්ට පණ පොවනුයේ මාලිනී ෆොන්සේකා හා විජය කුමාරතුංගයන් ය. ඔවුන්ගේ රුවැති සිරුරු බැද්දේගම වාසීන්ට නොගැළපේ. හිසකෙස් හා ඇහි බැමට මෝස්තර පැමිණ ඇත. එහි ඉදිකර ඇති නිවෙස් අලුත් ය. පිරිසිදු මිදුල ය. කෝවිලෙහි නව තාලයේ පොල්තෙල් පහන් ය. මා මේ කරුණ පවසන්නේ ද එක් හේතුවත් මත ය. බැද්දේගම අ.පො.ස. සාමාන්‍ය පෙළ නව විෂය නිර්දේශයට ඇතුළත් ව ඇත. බොහෝ පාසල් හා උපකාරක පන්ති ගුරුවරු ද ඉහත කිවූ විකෘති සිනමාපටය සිසු දරු දැරියන්ට පෙන්වා මේ බැද්දේගම යැයි කියති. බස පිළිබඳ අවධාරණය නොකරති. බැද්දේගමින් නිරූපිත එදා සමාජ තත්ත්වය ළමුන් වටහාගන්නේ සිනමා පටයෙනි. එය අභාග්‍යයකි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.