ඔතැලෝ හි රළු බවත් ශකුන්තලයේ මුදු බවත්... | සත්මඬල

ඔතැලෝ හි රළු බවත් ශකුන්තලයේ මුදු බවත්...

මේ මහා නාට්‍යකරුවන් දෙදෙනාගේ කෘති පිළිබඳ ව අධ්‍යයනයක යෙදීමෙන් තහවුරු වන්නේ ලොව ශ්‍රේෂ්ඨ රචකයන්ට ම පොදු වූ සමාජ වටපිටාව හා සමාජ ධර්මතා ශේක්ස්පියර්ට මෙන්ම කාලිදාසට ද එක සේ බලපෑ බවත්, එවා ඔවුන්ගේ නිර්මාණ ඔස්සේ විශද වන බවත් ය.

මෙරට සිටින අද්විතීය ගණයේ ශේක්ස්පියර් උගතකු වන මහාචාර්ය ඈෂ්ලි හල්පෙ මහතා ශේක්ස්පියර් නාටකයන්ගේ සුවිශේෂතාව පිළිබඳව විවරණය කරමින් මෙසේ සඳහන් කරයි:

“සාමාජික හා සදාචාරාත්මක අදහස් පිළිබඳව සාකච්ඡා කිරීමේදි ශේක්ස්පියර්ගේ නාටකයන්හි එන මානුෂික ක්‍රියා ඉදිරිපත් කර ඇත්තේ ගතානුගතික අදහස් පිළි ගන්නා, රාජාණ්ඩුවක් පැවැති කාලයක, වැඩවසම් යැයි කිව හැකි සමාජ රටාවක බව මතක තබා ගත යුතුය. සදාචාරාත්මක අදහස් නම් එහෙම පිටින්ම මූලික වශයෙන් ක්‍රිස්තියානි ඒවා ය. බොහෝ විටම ආගමික නොවන අදහස් ද ඇත. නිදසුනක් ලෙස පළිගැනීම ක්‍රිස්තියානි ආගම වරදක් ලෙසින් දක්වන නමුත් එළිසබතියානු නාට්‍ය රචකයෝ එය ගුණයක් ලෙසින් පිළි ගත්හ.

ශේක්ස්පියර් නාටකයන් වටහා ගැනීමට ක්‍රිස්තියානි ආගම, වැඩවසම් යුගය හා එළිසබතියානු සමාජය පිළිබඳව පූර්ණ අවබෝධයකින් යුක්ත වීම අවශ්‍ය යැයි සිතීම හරි නැති බව මෙහිදී කීමට සිදු වෙයි. ශේක්ස්පියර් බොහෝ අවස්ථාවල විග්‍රහ කර ඇත්තේ විශ්ව සාධාරණ මනුෂ්‍ය ස්වභාවයයි. නාට්‍යවල දැක්වෙන ක්‍රියා හා සදාචාරාත්මක අදහස් වටහා ගැනීම සඳහා එවැනි දැනුමක් අනවශ්‍ය වුවත් ඒවා ගැන විස්තර සහිත දැනුමක් ලබාගැනුම ඒවා හරිහැටි විඳ ගැනීමට ආධාරකයක් වෙයි.”

මේ හැරුණ විට ශේක්ස්පියර් නාටක අවබෝධ කර ගැනීමට බාධාවක්ව ඇත්තේ ඒවායේ භාෂාව යොදා ගෙන ඇති ආකාරය නිසා බවත්, වර්තමාන ඉංග්‍රීසියට වඩා එහි බරපතළ වෙනස්කම් දකින්නට ලැබෙන නිසා බවත් ඔහු දක්වයි. පද හරඹයෙහි දක්වන නිපුණතාව නිසා පාඨකයා මහත් අසීරුවට පත් වන බවත් මහාචාර්යවරයා තව දුරටත් දක්වයි.

මේ හැරුණ විට චරිත ගොඩනැඟීමේදි ඔහු දක්වන සංකීර්ණතාව, සාමාජික වශයෙන්, සදාචාරාත්මක වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් දක්වනු ලබන සූක්ෂ්ම දෘෂ්ටිවාදය කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුව ඇත. උදාහරණයක් වශයෙන් ශේක්ස්පියර්ගේ ‘ඔතැලෝ’ වැනි නාටකයක චරිත ඊර්ෂ්‍යාව හා පළිගැනීම විසින් ගිලගනු ලබන චරිත ලෙසින් දැක්වීමට බොහෝ දෙනා පසුබට නොවේ. එහෙත් ඒ චරිත පිළිබඳව අදහස් දක්වන නූතන විචාරකයන් පෙන්වා දෙනු ලබන්නේ වාර්ගිකත්වය හා කාමය පිළිබඳව පවත්නා දේශපාලනය ඔස්සේ ඒ චරිත ගොඩනැඟී ඇති බවයි.

 

ඔතැලෝ කළු නීග්‍රෝ ජාතික මුසල්මානුවකු වීම, ඩෙස්ඩමෝනා තුළ පවත්නා සමාජ තහංචි බිඳ දැමීමේ දේශපාලනමය ආශාව, කළු මිනිසකු සුදු තරුණියක් සරණපාවා ගැනීම සම්බන්ධයෙන් ඉයාගෝ තුළ පවත්නා ලිංගික මාත්සර්යය (ප්‍රොයිඩ්වාදීන්ට අනුව) ඔතැලෝ ක්‍රිස්තියානියට නොගැළපීම, වැනි කාරණා නූතන විචාරකයන්ගේ දැඩි අවධානයට යොමුව ඇත්තේය.

විශ්වවිද්‍යාලයේ බටහිර සම්භාව්‍ය අංශයේ ඉගැන්වීම් කළ ඉංග්‍රීසි උගතකු වූ ගම්පහ එච්. ඒ. සිරිවර්ධන මහතාගෙන් මා විශ්වවිද්‍යාල සමයේදී ඔතැලෝ නාටකය පෞද්ගලිකව හදාරමින් සිටින විට එතුමන් එහි එන ඉයාගෝ චරිතය හැඳින්වූයේ ‘ඩෙමි ඩෙවිල්’ චරිතයක් ලෙසින් බව මට මතක ය. ඇත්ත වශයෙන්ම ඔතැලෝ නාටකය ගොඩනැඟෙන්නේ ඉයාගෝ චරිතය හා හසුර වනු ලබන තියුණු භාෂා හරඹ ඔස්සේ බව ඔහු පෙන්වා දුන්නේය.

එළිසබතියානු යුගයේ ඉංග්‍රීසි නාටකය කෙරෙහි බලපෑ පැරැණි සම්භාව්‍ය විචාරක මතවාද හා සමකාලීන සිතුම් - පැතුම් ගැන ද පෙරදිග පැරණි නාටකය කෙරෙහි බලපෑමක් ඇති කළ භරත මුනි, අභිනවගුප්ත, වත්ස්‍යාන වැනි පැරැණි හින්දු උගතුන්ගේ මතවාද ගැන ද අවධානය යොමු කළ නූතන විද්වතුන්ගේ චිවාර කෘති කිහිපයක් පරිශීලනය කිරීමට පසුගිය දිනවල මට ඉඩක් ලැබිණ. ඉන් පසුව ශේක්ස්පියර්ගේ ඔතැලෝ නාටකය හා කාලිදාසගේ අභිඥාන ශාකුන්තලය ගැන යමක් ලියන්නට සිත් විය. මා තරමක් දුරට හදාරා ඇති ඒ කෘති දෙක ගැන නැවතත් අවධානය යොමු කළේ එහෙයිනි.

කාලිදාසයන්ගේ ශාකුන්තල නාටකය කෙරෙහි මූලික ග්‍රහණය රැඳී පවතින්නේ ශකුන්තලාට දුෂ්‍යන්ත කුමරුන් විසින් දෙනු ලබන මුදුව මත බව අපි දනිමු.

ඡ්පධබඪජඥ ඪද ඉචදඵඬපඪබ චදඤ ඡ්දඨතඪඵඩ ඹ්ඪබඥපචබභපඥ නමැති කෘතියට ලිපියක් සපයන ටී. ඇස්. රුක්මණි පෙන්වා දෙන්නේ රාජකීය ආසියාතික සංගමයේ විලියම් ජොන්ස් ශ්‍රීමතාණන් කාලිදාසයන්ගේ ශාකුන්තල නාටකය යන්තමින් අතපත ගාමින් ශේක්ස්පියර් යනු ඉන්දියාවේ කාලිදාසයන් බව හැඳින්වීමට නිතරම උත්සාහ කරන බව ය. එය එසේ නොවිය යුතු බවත්, ඉංග්‍රීසි සාහිත්‍යට අපමණ සේවයක් කළ ශේක්ස්පියර් යනු එංගලන්තයට කාලිදාසයන් විය යුතු බවත් සඳහන් කර සිටියි. එහෙත් එය එසේ නොවන්නේ ඉන්දියාව එංගලන්තයේ යටත්විජිතයක් වීම නිසාම බව දක්වන රුක්මණි ශාකුන්තලයෙහි හරය වටහා ගැනීමට නොහැකි වුවද ඒ ගැන සඳහන් කිරීම සම්බන්ධයෙන් විලියම් ජොන්ස් ඇතුළු ඉංග්‍රීසි උගතුන්ට සිය ස්තුතිය ප්‍රකාශ කර සිටියි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඉන්දියාව ගැන ලියූ ඉතිහාසඥයකු වන ජේම්ස් හිල් විසින් පෙන්වා දෙනු ලබන්නේ ‘ශාපය දුරු කිරීමේ බලය සහිත මුදුවක් අවශ්‍ය වන අවස්ථාවේ නැති වීමට ඉඩ සැලැස්වීම ඔස්සේ ශාකුන්තල නාටකයෙන් ඉදිරිපත් කෙරෙන්නේ සාහිත්‍යයක් නැති, එසේම ශීලාචාර වී නැති මිනිසුන්ගේ ජනකතාවල දහස් වාරයක් දක්නට ලැබෙන්නා වූ, නූගතුන්ගේ අවිනීත, අශීලාචාර ගතිපැවතුම් වන බවයි.”

එය එසේ වන්නේ නම් ශේක්ස්පියර්ගේ ඔතැලෝ නාටකයෙහි එන ඩෙස්ඩමෝනාට සිය ස්වාමියා විසින් තෑගි කරනු ලැබූ ලේන්සුව පෙන්විය නොහැකි වන්නේ ද අශීලාචාර යුගයක වෙසෙන මිනිසුන්ගේ අවිනීත අශීලාචාර ගතිපැවතුම් නිසා වන බව කෙනකුට තර්ක කළ හැකිය. මෙහි අවසානයෙහි ප්‍රත්‍යක්ෂ වන්නේ ඉන්දීය ජනතාවගේ සිතුම් පැතුම් හා චර්යා රටා හරිහැටි වටහා ගැනීමට එකල සිටි පාලකයන්ට හා විද්වතුන්ට නොහැකි වූ බවයි.

කෙසේ වුවද මේ මහා නාට්‍යකරුවන් දෙදෙනාගේ කෘති පිළිබඳව අධ්‍යයනයක යෙදීමෙන් තහවුරු වන්නේ ලොව ශ්‍රේෂ්ඨ රචකයන්ටම පොදු වූ සමාජ වටපිටාව හා සමාජ ධර්මතා ශේක්ස්පියර්ට මෙන්ම කාලිදාසට ද එක සේ බලපෑ බවත්, එවා ඔවුන්ගේ නිර්මාණ ඔස්සේ විශද වන බවත් ය.

කාලිදාසයන්ගේ නාට්‍ය සම්ප්‍රදාය හික්මවනු ලබන්නේ භාරත නාට්‍ය සම්ප්‍රදායේ එන නීතිරීති මාලාවන්ගෙන් පමණක් නොව, ඔහු විසූ යුගයට අයත්ව තිබුණු ඉන්දීයයන් ‘ධර්ම’ නමින් හඳුන්වනු ලබන සමාජ සාරධර්ම පද්ධතියට අනුකූලව ය. ශේක්ස්පියර්ට එවැනි සීමා දක්නට නැත. එලිසබතියානු යුගයේ ලැබුණ නව නිදහස් සම්ප්‍රදාය ඔස්සේ තම නිර්මාණ හැඩගස්වා ගැනීමට ඔහුට හැකි වූ බව අපට පෙනෙයි. ‘’ශක්තිමත්, ලෞකික ජීවයකින් යුතු නාට්‍ය කලාවක්’ යන්න එලිසබතියානු යුගයේ ආදර්ශ පාඨය විය. ‘ඉන්ද්‍රීය ගෝචර වන ශක්‍යතාවෙන් යුතු, විවිධත්වයට ගෝචර වන කරුණු එකින් එක සවිස්තරව දක්වමින් විනෝදාස්වාදය ලබාදෙන’ නාටක නිර්මාණ ඒ යුගයේ සුදුසුකමක් ලෙසින් සැලකිණි. එහෙයින් ශේක්ස්පියර්ගේ අවධානයට යොමු වුණේ භෞතික ලෝකයේ දක්නා ලැබෙන පුද්ගල චරිතවලට මිස මධ්‍යතන යුගයේ ජීවත් වූ ආධ්‍යාත්මික සුවය සොයා යන තපස් චරිතයන් වෙත නොවේ. එසේම පුනර්ජීවන යුගයේ හා ප්‍රතිසංස්කරණ යුගයේ බලපෑම ඔස්සේ ඔහුට තමන්ට රිසි ලෙසින් සජීව චරිත ගොඩනඟමින් විශාල අවකාශයක නිදහසේ රැඳී සිටීමේ අවස්ථාවක් ලැබිණි. “මුළු ලොවම වේදිකාවකි. එහි රඟන නළුවෝ අපි වෙමු.” ඔහු වරක් ප්‍රකාශ කළේය.

ශේක්ස්පියර් හුදෙක් ම තම චරිතවල පතුලටම බැස, ප්‍රතික්‍රියා ගෙනහැර දැක්වූවේය. එය වූකලි මිනිස් සිත් සතන් ප්‍රීතියෙන් ඔකඳ කිරීමකි; පොදු අවශ්‍යතා විශද කිරීමකි. එක් අතකින් ඔහු තමාට එදිනෙදා සමාජයේ මුණගැසෙන මිනිස් චරිත කෙරෙහි දැනුවත්ව සිටියේය. මිනිස් ක්‍රියාකාරකම් හා ප්‍රතිෂ්ඨා කෙරෙහි මනා සංවේදිතාවක් දැක්වූයෙන් ඔවුන්ට උපදෙස් සැපයීම නාට්‍ය රචනට වඩා දෙවැනි තැනක ලා සැලකුවේ ය. සාහිත්‍ය සිද්ධාන්තවලින් බොහෝ උසස් නිර්මාණ කෙරෙහි බලපෑමක් වන බව සහතික ය. එහෙත් උසස් කලාකරුවන් විසින් බිහි කරනු ලබන සිද්ධාන්ත ඊටත් වඩා වැදගත් වන්නේ ය.

 

ශේක්ස්පියර් විසින් ගොඩනඟනු ලබන සිද්ධාන්ත මහත් ඝෝෂාවක් ඇති නොකරමින් සිත්හි තැන්පත් වෙයි. එහෙයින් කවුරුන් හෝ ඩෙස්ඩමෝනාට ඔතැලෝ විසින් තෑගි කරන ලද විවාහ වීමේ සාධකය වූ ලේන්සුව නැති වීම සම්බන්ධයෙන් හෝ ඉසිවරයාගේ ශාපයෙන් කාලිදාසගේ ශාකුන්තල නාටකයෙහි දුෂ්‍යන්ත රජු තෑගි කළ මුදුව නැති වීම සම්බන්ධයෙන් චෝදනා කරන්නට යන්නේ නැත.

ශේක්ස්පියර් නාටකයෙහි දක්නට ඇති තවත් විශේෂයක් නම් ඔහු කිසිවිටෙකත් යහපත් බවේ හා ක්‍රෑරත්වයේ සීමා පැහැදිලිව දක්වන්නට නොයෑම ය. එසේම ක්‍රෑරත්වයේ අපේක්ෂාභංගත්වය ලෙසින් යහපත් බව හුවා දැක්වීමට ඔහු පරිස්සම් වෙයි. ඒ නිසා ශේක්ස්පියර්ට තම නාටක මඟින් වීරයන් බිහි කිරීමේ අපේක්ෂාවක් නොතිබුණ බව සමහරු පෙන්වා දෙති. ‘හැම්ලට්’ වැනි නාටකයක එන වීරයාගේ ආත්මය අපාය මෙන් අන්ධකාර ය; ශෝකාත්මක ය. එසේම ඔහුගේ ඔතෙලෝ නාටකයෙහි දැක්වෙන ප්‍රේමය පිළිබඳ සංකීර්ණ සංකල්පය බොහෝ රසිකයන් බෙහෙවින් චංචල කරවනසුලු ය. එහෙත් ඉන්දියාවේ භරත, අභිනවගුප්ත වැනි සංස්කෘත විචාරකයන්ගේ සාරධර්ම අනුව බිහි වන නාටකවල වීරයා ත්‍යාගශීලි ය; උදාර මහත්මා ගුණයන්ගෙන් පරිපෝෂිත ය. එහෙත් හැම්ලට්, ඔතැලෝ වැනි නාටකවල වීරයා තුළ එවැනි චරිත ලක්ෂණ අපට දක්නට නැත.

ඉන්දීය විචාර සම්ප්‍රදායෙහි එන ‘රස’ පිළිබඳ සංකල්පය ඒ ඉංග්‍රීසි නාටකවල සහමුලින්ම බිඳ දමා ඇති බව අපට දැකගත හැකිය. හොඳ ඉන්දීය නාටකයක ‘රස’ පිළිබඳ විචාර සංකල්පය මුළු නාටකය පුරා පැතිර යමින් රසිකයා තුළ රසාත්මක අත්දැකීමක් ලබා දෙමින් මහත් ප්‍රහර්ෂයක් ඇති කරයි.

සංස්කෘත නාට්‍යකරුවාගේ අරමුණ වන්නේ භාවාත්මක අත්දැකීමක් ඔස්සේ නාට්‍ය රසය කුළුගැන්වීම ය.

එහිදී තම මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස අත්දැකීම් සූචනය පිණිස ආධාරකයක් ලෙසින් විශවසනීය වූත් සවිස්තර වූත් තොරතුරු ඉදිරිපත් කරමින් නාටකය ප්‍රබල අවසානයක් කරා විකාශනය කරයි. සංස්කෘත නාටකයේ එන මේ රීති මාලා උල්ලංඝනය නොකරමින් කාලිදාස තම ප්‍රධාන වීරයා එහි වටපිටාවට උචිත අයුරින් නිර්මාණය කරයි; සංවාද හසුරුවයි.

උදාහරණයක් ලෙස ශාකුන්තල නාටකයෙහි කාලිදාස තම ප්‍රධාන චරිත හසුරුවනු ලබන සැටි බලමු. කොතරම් නොඉවසිල්ලකට හෝ කෝපයකට පත් වුවද ශාකුන්තලයෙහි එන දුෂ්‍යන්ත රජු නොහොබිනා, නින්දිත බසක් පාවිච්චි නොකරයි. ශකුන්තලා සිය අනන්‍යතාව තහවුරු කරමින් තමන්ට එරෙහිව නඟන චෝදනාවලට මුහුණ දෙන විට රජු කෝපයට පත් වෙයි. එසේ කෝපයට පත් වුවද තම ගෞරවය රැකගෙන ම ඇයට මෘදු ආකාරයෙන් දොස් පවරමින් සාධාරණ තීරණයකට එළැඹීමට උත්සාහ කරයි; අවිනීත භාෂාවක් පාවිච්චි කරමින් කාන්තාවක වූ ඇයට දෝෂාරෝපණය නොකරයි.

ඔතෙලෝ නාටකයෙහි ද එවැනි අවස්ථාවක් දක්නා ලැබේ. ඩෙස්ඩමෝනා තමා රවටන බව සිතමින් කෝපයට පත් වන ඔතෙලෝ නීච ගති ඇති ඉයාගෝ ඉදිරියේ ඇයට බැණ වදින්නේ හැදියාවක් නැත්තකු පරිදි අශ්ලීල බසකිනි. “ච්චථද ඩඥප; තඥඹඤ ථඪදය ධඤචථද ඩඥප ජධථඥ ඨධ ඹඪබඩ ථඥ චනචපබ ධ් ඹඪතත ඹඪබඩඤපධඹ බධ ටභපදඪඵඩ ථඥ ඹඪබඩ ඵධථඥ ඵඹඪටබ ථඥචදඵ ධට ඤඥචබඩ ටධඥ බඩඥ ටචඪප ඤඥමඪත!”

‘මැක්බත්’ නාටකයෙන් ද මෙවැනි උදාහරණ සොයාගත හැකිය.

කාලිදාසයන්ගේ දුෂ්‍යන්ත හා ශකුන්තලා චරිත තුළ ඇති වන සැක සාංකා, රැවටිලි ආදි මනෝභාව පිටතට නොපෙන්වා හදවත්වල ම ගිලී ඇත්තේ ය. ඒ වීර චරිත දෙපසට වී විඳ ගන්නා ඒ කුරිරු වේදනා එසේ තිබෙන්නට හරිනුයේ ඉන්දීය ජීවිතය හා අත්‍යන්තයෙන් ම සම්බන්ධව ඇති ‘අර්ථ හා ධර්ම’ නමැති සංකල්ප යටතේ කතාකරුවා ඒවා පිටතට විදාරණය නොකළ යුතු හෙයිනි. සිය යහපත වෙනුවෙන් ක්‍රෑරත්වයට එරෙහිව කරන අරගලය පුද්ගල සිරුරු වෙතින් විද්‍යමාන නොවේ. දුෂ්‍යන්ත රජු විඳින දුක් වේදනාව ඔහුගේ පාලන කටයුතු හා ක්‍රියාකාරකම් ඔස්සේ නිරූපණය නොකෙරේ. චරිත අභ්‍යන්තරයේ පවත්නා භාව වේග පරිසර වර්ණනාවලින් විටෙක දැක්වෙයි. ශෝකය වැනි භාව වේගයන් විකටයාගේ හැසිරීම් ඔස්සේ පාලනය කෙරෙයි.

කාලිදාසයන් මෙන් නොව ශේක්ස්පියර් තම පාත්‍ර වර්ගයා මුහුණ දෙන්නා වූ තත්ත්වයන් සැබෑ ආකාරයෙන් ම නිරූපණය කිරීම අරමුණ කරගනියි. ඒ සඳහා සංවාද හා කථන විලාස හා විවරණ යොදා ගනියි. ඔහුගේ සමහර නාටකවල මේ තත්ත්වය පමණ ඉක්මවා ගිය බවක් දකින්නට ලැබෙන්නේ නාටකයට අදාළ නොවන කථන හා විවරණ පවා ඒවාට එක්ව ඇති බැවිනි. ‘ලෝකය රඟහලකි’ වැනි ප්‍රකාශන අපට නිතර දැකගත හැකිය. ශේක්ස්පියර් තම නාටකවල භාෂාව ඉතා සූර ලෙස හසුරුවනු ලබන්නේ සැබෑ යථාර්ථය පසක් කරවීමේ අරමුණිනි. සැබෑ ජීවිතයේදී මිනිසා හැසිරෙන ආකාරය කතා කරන විලාසය ඔහු ඒ ආකාරයෙන් ම දැක්වමින් සාමාන්‍ය චරිත ස්වභාව විවරණය කරයි.

එනමුත් සංස්කෘත නාටකයෙහි මිනිසාගේ එදිනෙදා ක්‍රියාකාරකම් හා හැසිරීම් විලාස ඒ ආකාරයෙන් නිරූපණය නොකරයි. මන්ද යත් අප ඉහත සඳහන් කළ ‘රස’ නමැති සංකල්පය ඔස්සේ නාටකයේ එන ‘ධර්ම’ නමැති ශික්ෂාව කෙරෙහි අනුගත විය යුතු බැවිනි.

ඒ අනුව චරිතයන්ගේ අභ්‍යන්තර ගැටුම් විනිවිද දැකීමට උත්සාහ නොකරයි. පළිගැනීමේ චිත්ත වේග කෙමෙන් වර්ධනය වන බැවින් ශේක්ස්පියර්ගේ ඔතෙලෝ නාටකයෙහි ඔතෙලෝ තම සොඳුරිය වූ ඩෙස්ඩමෝනාට එක වචනයක් හෝ කතා කරන්නට ඉඩ නොදී මරා දමයි. හැම්ලට් නාටකයේ හැම්ලට් චරිතයේද පවතින අභ්‍යන්තර ගැටුම අපට to be or not to bo ක්‍රියා කලාපය මඟින් ගම්‍ය වෙයි.

නාට්‍යකරුවකු ලෙසින් ශේක්ස්පියර් තුළ පැවැති ජීවිත පරිඥානය චරිත විකාශන මඟින් මනාව දිස් වෙයි. සමහර විටක එවැනි අවස්ථා නිරූපණය කිරීමේදී ඔහු මහත් ප්‍රමෝදයෙන් යුතුව සියුම් පදහරඹවල යෙදෙයි. එවැනි විටක ඔහුට තමා නාටකයේ කතුවරයා වන බවවත් අමතකව උචිතානුචිත බවකින් තොරව සමහර සංවාදවලට පිවිසෙන බව පෙනෙයි. එවැනි එක් අවස්ථාවක් ඔතෙලෝ නාටකයෙන් දැක්විය හැකිය.

Iago - lie
Othello - with her
Iago - with her, or her, what you will
Othello - Lie with her lion her. We say lie on her when they belie her. Lie with her that's fulsome


කාලිදාස භාව නිරූපණයේදී උචිතානුචිත බව පිළිබඳ මනා අවබෝධයකින් යුක්ත වෙයි. අවීනීත අවස්ථා හා ලජ්ජාසහගත අවස්ථා වේදිකාව මත නිරූපණයෙන් වැළකී සිටියි. ඒ භාරත නාට්‍ය මූලධර්මවලට ගරු කිරීමක් වශයෙනි. මේ නිසා ම ඔහු සතුව පැවැති නිර්මාණ හැකියාව වැනසී යන්නට ද ඇතැයි සමහරු තර්ක කරති.

කාලිදාසයන්ගේ ශාකුන්තල නාටකය නරඹා ඇති තාගොර් කවියා මෙසේ පවසයි.

“නාටකයේ අවසාන අංකයට පසුව තිරය පහත් කරද්දී චිතකයක් දවා හළු වන කලෙක මෙන් සියලු පාප විනාශ කරන ලද බව අපට හැඟී යයි. පරිපූර්ණ හා සාධාරණ පසුබිමකින් ජනිත වන්නා වූ ශාන්ත භාවය අප සිත්හි ඇති වෙයි. දුෂ්‍යන්ත හා ශකුන්තලා යන දෙදෙනාගේ ශාරීරික සංයෝගය ශෝක ගමන් මඟ පසු කර සදාචාරාත්මක සංයෝගයකට ඉඩකඩ සපයා ඇති බව අපට පසක් වෙයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.