රමණීයත්වය විඳිමු ද? | සත්මඬල

රමණීයත්වය විඳිමු ද?

ලොව බොහෝ ප්‍රසිද්ධ දේශකයෙක් වරක් සිය ගිණිය නොහැකි තරම් වූ ශ්‍රාවක සමූහයාට දේශනයක් පැවැත්වීමට දේශන ශාලාවට පැමිණියේ ය. ශ්‍රාවක පිරිස සතියක් තිස්සේ ඇඟිලි ගනිමින් සිටියේ සිය දේශකයාගේ මේ සාරගර්භ මනරම් දේශනය ඇසීමට ය. සමහරු තම දෛනික රාජකාරීච පසෙක ලා; තවත් සමහරු රැකියාවෙන් එදින නිවාඩු රැගෙන; තවත් සමහරු අත්‍යවශ්‍ය බොහෝ දේ මඟ හැර මේ දේශනයට සවන් දීමට පුල පුලා බලා සිටියහ. දේශකයා පැමිණියේ ය. දේශනය පටන් ගැන්මට ඔහු තම අසුනෙන් නැඟී සිටියා පමණි. කුඩා පක්ෂියෙක් පියඹාවිත් කවුළුවේ ගරාදියක වසා ගීතයක් ගායනා කිරීමට පටන් ගත්තේය. කුරුල්ලා අවට ගැන තැකීමක් නැතිව ම සිහින් ලයාන්විත ස්වරයෙන් දිගින් දිගට ම හද පුරා ගායනා කොට බොහෝ වේලාවකට පසුව නික්ම ගියේ ය. අදට දේශනය එපමණයි කියූ ගුරුතුමා ද කුරුල්ලා අනුව ම නික්ම ගියේ ය.

ඒ ගුරුවරයා කියා දුන්නේ, එසේත් නැති නම් පසක් කර දුන්නේ දේශන දහසකටත් වඩා වටිනා පාඩමක් බැව් ඔබට අවබෝධ වනු නිසැක ය. අපි පොත්පත් රාශියක් කියවමු; සංගීත ප්‍රසංග, නෘත්‍ය, ‍වේදිකා නාට්‍ය ආදිය නැරැඹීමට යන්නෙමු. රූපවාහිනිය නැරඹීම, චිත්‍රපට බැලීම, ඇවිදින්නට යෑම ආදි බොහෝ විනෝදාංශ අපට තිබේ. අපි යහළුවන්, හිතවතුන් සමඟ නිමක් නැතිව අල්ලාප සංලාපයේ නිරත වන්නෙමු. කලාව ගැන බොහෝ දේ සිතමු; කතා කරමු; අප කලාවෙහි මෙපමණ එල්බ සිටින්නේ කුමක් සඳහා ද? එයත් එක්තරා විදියකට ජීවිතයෙන් පැන යෑමක් ද? ‍සොබා දහමෙහි ඍජු පහස ඔබ ලබනවා නම් සියොතුන් විවිධ ලෙසින් සිය පියා සැරියෙහි නිරත වනු දකිනවා නම්, නුබ ගැබ චමත්කාර වෙනස් වීම් දකින්නේ නම්, කඳු අතර සෙවණැලි නරඹනවා නම්, මිනිසුන්ගේ මුහුණෙහි සුන්දරත්වය දකින්නේ නම්, චිත්‍ර නරඹන්නට ඔබට චිත්‍රාගාරය වෙත යන්නට වුවමනා වේ යැයි සිතනවා ද? මේ දේහි සුන්දරත්වය නොදකින නිසා ඔබ වඩාත් හොඳින් දැකීමට යම් උත්තේජනයක් භාවිත කරන්නේ යැයි මා කිවහොත් ඔබ එකඟ වෙනවා ද?

අපට ඇති දුෂ්කරතාවලින් ප්‍රධානම එකක් වන්නේ පැහැදිලි ලෙස දැකීමේ අපහසුවයි. එසේ දැකීම අපහසු වී ඇත්තේ අභ්‍යන්තර දෙය පමණක් ම නොවේ; බාහිර ජීවිතය ද දැකීම අපහසු වී තිබේ. ගසක්, මලක් හෝ පුද්ගලයකු දකින විට අප ඇත්තටම ඒ දේ ඒ තැනැත්තා දකිනවා ද? එසේ නැති නම් අප දකින්නේ වචනය නිර්මාණය කර ඇති ප්‍රතිරූපය ද?

ආලෝකයෙන් හා ප්‍රමෝදයෙන් පිරි සන්ධ්‍යාවක ගසක් හෝ වලාකුළක් දෙස බලන විට ඔබ ඇත්තටම එය දකිනවා ද? ඇසෙන් බැලීම නොව ඇත්තටම ඔබ එය දකිනවා ද?

ගසක් හෝ තරුවක් එසේත් නැති නම් ගලා යන ජල දහරාවක දිදුලත්වය ආත්මීයත්වයෙන් මුළුමනින්ම තොරව බලන්නට හැකි සිතක් පමණි, රමණීයත්වය දකිනුයේ. සාමාන්‍යයෙන් අප රමණීයත්වය හඳුනා ගන්නේ සංසන්දනයෙනි. නැති නම් ඔබ මම පොදුවේ ගත් කල අප සැවොම බොහෝ දේ හඳුනා ගන්නේ මිනිසා එක්රැස් කළ කරුණු මාර්ගයෙනි. එහිදී අපි යම් වස්තුවකට රමණීයත්වය ආරෝපණය කරන්නෙමු. මනහර හා සුන්දර යැයි මා සිතන රූප රාමුවක් තිබේ. මා රමණීයත්වය ලෙස හඳුනාගන්නේම සිතේ වන ඒ රූප රාමුවේ වන සැකිල්ල ය. තවත් එවැනි දෑ සමඟ මම ඒවා සංසන්දනය කරන්නෙමි. සංසන්දනාත්මක රමණීයත්වයක් මිස එවිට එහි අන් යමක් නැත.

නැරැඹීම ජීවිතයේ ඇති ඉතා දුෂ්කර දේවලින් එකකි. ඇසීමත් එසේ ය. නැරැඹීම සහ ඇසීම එක හා සමාන ය. සිතේ කම්කටොළු නිසා ඔ‍බේ ඇස් අන්ධ වී තිබේ නම් ඉර බැස යන සන්ධ්‍යාවේ හෝ චමත්කාරජනක වර්ෂාවේ සෞන්දර්යය ඔබට දැකිය නොහැකිය. අප බොහෝ දෙනකුට ස්වභාව සෞන්දර්යත් සමඟ ස්පර්ශයක් නැත. බොහෝ දෙනකු නගරවල ජීවත් වීමට ප්‍රිය කරති. අපි වඩ වඩා ජනාකීර්ණ තට්ටු නිවාසවල වසන නාගරිකයෝ වෙමින් සිටිමු. උ‍දේ හවස අහසට නෙත් යොමු කිරීමට හෝ සියොත් ගී රාවයක් ඇසීමට හෝ ගලා යන ජලධාරාවක සියුම් ශබ්දයක්, පෙණ කැටවල ස්පර්ශයක් විඳීමට හෝ අපට ඇත්තේ අල්ප අවකාශයකි. සමහර විට අපි එවැනි දේ ගැන කිසිදු සවිඥානකත්වයක් නැත්තෝ වෙමු. එහෙයින් අපි අතිමහත් සුන්දරත්වයක පහස නොලබන්නෝ වෙමු. පායන හා බැස යන රිවි මඬල, හඳපාන, දිය මත වැටෙන ආලෝකයේ පරාවර්තනය, වැහි බිඳු පොළොව මත වැටෙන විට මැවෙන රටාව නරඹන අය අප අතර සිටින්නේ කොතරම් ස්වල්ප දෙනකු දැයි සැක සහිත ය. ඔබ ඒවා දැක ඇත්තකු නම් රමණීයත්වය ස්පර්ශ කළ කෙනකු යැයි අපට සතුටු විය හැකිය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.