කඩා පලු වීර කාලා වතුර බොමු | සත්මඬල

කඩා පලු වීර කාලා වතුර බොමු

මෙරට වැවෙන ලොකු, කුඩා ශාක පිළිබඳ පුළුල් ජනශ්‍රැතියක් ඒ ප්‍රදේශවල ප්‍රචලිතව ඇති ආකාරය විද්‍යමාන වේ. මේ ජනශ්‍රැතිය හා බද්ධ වූ පලතුරු විෂයය කර ගත් ජන කාව්‍ය නිර්මාණ පමණක් වුව සැලකිය යුතු විවිධත්වයක් උසුලයි.

 

 

ශ්‍රී ලංකාවේ ඒ ඒ ප්‍රදේශවල පලතුරු වර්ග ගණනාවක් වැවේ. වනාන්තරගතව ඉබේ වැවෙන පලතුරු වර්ග ද, ගෙවතුවල වගා කර ගනු ලබන පලතුරු විශේෂ ද රාශියකි. ඇතැම්මු වනාන්තරගත පලතුරු කැලෑ පලතුරු යනුවෙන් හඳුන්වති. ඔවුහු මොර, නෙල්ලි, පලු, වීර, කෝන්, මූණමල්, දිවුල්, සියඹලා හා මසන් කැලෑ පලතුරු ගණයේ ලා සලකති (‘ශ්‍රී ලංකා’ සඟරාව 1962 අප්‍රේල් කලාපය). තවත් ලේඛකයෙක්, අඹ, කජු, කොස්, නාරං, වෙරළු හා ජම්බු ගෙවතුවල වවා ගනු ලබන පලතුරු වශයෙන් හඳුන්වයි (කුඩා අපයි, අපේ ගමයි’ යූ.ජී. පී. කාරියවසම්). තේ අඹ, වෙරළු හා ජම්බු වැනි පලතුරු විශේෂ වනගතව ඉබේ වැවෙන ආකාරය ද දක්නට ලැබේ. පලු, , වීර, මොර, කෝන්, හිඹුටු හා මූණමල් ආදිය වනාන්තරවල සුලබව වැවෙන හෙයින්, මේ පලතුරු වර්ග කැලෑ පලතුරු ලෙස හැඳින්වීම යුක්ති යුක්ත යැයි කිව හැකි වේ.

1.1 ශ්‍රී ලාංකේය ශාක ජනශ්‍රැතිය (Plant Lore) :

මෙරට වැවෙන ලොකු, කුඩා ශාක පිළිබඳ පුළුල් ශ්‍රැතියක් ඒ ප්‍රදේශවල ප්‍රචලිතව ඇති ආකාරය විද්‍යමාන වේ. මේ ජනශ්‍රැතිය හා බද්ධ වූ පලතුරු විෂයය කර ගත් ජන කාව්‍ය නිර්මාණ පමණක් වුව සැලකිය යුතු විවිධත්වයක් උසුලයි. පලතුරු වර්ග, ඒ ඵල භාවිතයට ගන්න ආකාරය, පලතුරුවල ප්‍රයෝජන, සංරක්ෂණ විධි හා වාණිජ වටිනාකම ද මේ ජන කාව්‍යයන්ගෙන් විදහා දැක්වෙයි. මේ ලිපියේ එක් අරමුණක් නම්, සමාජ ඓතිහාසික තොරතුරු ඇසුරෙන් පලතුර විශේෂ පිළිබඳව ප්‍රචලිත දැනුම යම් ප්‍රමාණයකින් ඒකරාශී කිරීම ය. දෙවැන්නා, පලතුරු විෂය කර ගත් සිංහල ජන කාව්‍යයන්හි පිළිබිඹු වන ආහාර සංස්කෘතියට අදාළ පොදුජන භාවිතයන්, දැනුම හා ආකල්ප නිරීක්ෂණයට පාත්‍ර කිරීම ය.

1.1.1 වැල හා වරකා:

කොස්, මොරාසේ  (MORACEA) ශාක කුලයට අයත් වන අතර ආටොකොපස් ඉන්ටෙග්රා (Artochapus Intergra) සහ ආටොකොපස් හෙටරෝපිලස් (Artocapus Heterophyllus) යන උද්භිද විද්‍යාත්මක නාමද්වයෙන් හැඳින්වෙයි. කොස් ගසේ මාතෘභුමිය මලයාව යැයි ද, එය ක්‍රිස්තු පූර්ව යුගයේ මෙරටට ගෙන එන ලදැයි ද කියැවේ.

(‘ගසක වතගොත -1 කොටස, සරත් කරුණානායක)

දුටුගැමුණු රාජ්‍ය සමයෙහි මෙරට වැසියන් ඉදුණු කොස් ආහාරයට ගත් බව ‘සීහළවත්ථුවේ’ ඇතුළත් කතා පුවතක සඳහන් වේ (‘ඉතා පැරැණි සිංහල බණකතා’ - පොල්වත්තේ බුද්ධදත්ත හිමි) මෙකලම එක්තරා වෙළෙඳකු කොස් පැළයක හටගත් වරකා ගෙඩියක් කඩා එහි මදුළු භික්ෂුන් වහන්සේලාට දන් දුන් බව ‘මහාවංශයේ’ ද කියැවෙයි.

 

ඇතැම් කොස් විශේෂයක ඵල ඉදුණු කල වඩා මුදුමොළොක් පලතුරක් වන වැල බවට ද, අවශේෂ කොස් ඵල වරකා නමින් හැඳින්වෙන තරමක් දැඩි පලතුර බවට ද පත් වෙයි. වැල සහ වරකාවල ගුණ ආයුර්වේදයෙහි වෙන වෙන ම දැක් වෙයි. වැල වා නසයි; පිනවයි. වරකා මද වඩයි; පිනවයි; සෙම් පිත් නසයි (යෝගපිටකය’)

ගැමි ජනයාගේ දිවි පෙවෙත හා සොබාදහම අතර පැවැති සමීප සබඳතාව නිසාම ගහකොළ විෂයෙහි ඔවුන් තුළ වූයේ දැඩි සංවේදිතාවකි. ගසක කොස් පල ගන්නා අවධිය ද, පැසී ඉදෙන සමය ද, වැල වරකා බුදින සතුන් ද ඔවුහු හොඳාකාර දැන සිටියහ. ගැමි ජනයාගේ මේ සංවේදිතාව ජන කවියෙහි මෙසේ පිළිබිඹු වෙයි.

කලවැද්දෙක් කොස් ගහකටවැදිලා

වැලගෙඩි බරු ගසකෙ යි

උන්ගේ පැටියෝ ඒවා කාලා

අතු දිග දුව පනිතෙ යි

කෝඳුරු හැත්තක් ඒකටවැදිලා

පණ ටික නහ ගනිතෙ යි

කලවැදි සවුදම නටන්න බැරි නම්

කැවුම් කාපු රිහ ය යි

(‘සිංහල සාහිත්‍ය විශ්ව කෝෂය’

ඩේවිඩ් කරුණාරත්න)

 

වැල, වරකා දෙවගයෙන් වඩා අනගි පලතුර වශයෙන් පොදුවේ, සැලකෙන්නේ වරකා ය. රාජ රාජ මහාමාත්‍යාදීහු ද වරකා අනුභවයෙහි රිසි වූහ. මධුර රසයෙන් අග්‍රගණ්‍ය වූ වරකා ‘පැණි වරකා’ ලෙස හැඳින්වෙයි. පෙර දවස විශේෂ වැදගත්කමක් උසුලන පලතුරු රාජ්‍ය නිලධාරීන් විසින් ගස් වටා ලණු බැඳ රජු සඳහා වෙන් කරන ලදී.

(“එදා හෙළදිව’ රොබට් නොක්ස්)

ගසක පැණි වරකා ගෙඩියක් පල ගත් විට එය සුදු රෙද්දකින් වසා රජුට කැප කරන සිරිතක් විය. ඒ ඵලය කවුරුන් හෝ අනුභව කළ හොත්, ඔහුට මරණීය දණ්ඩනය නියම කෙරිණි. ශ්‍රී විජය රාජසිංහ රාජ්‍ය සමය හා සම්බන්ධ ජන කතාවක මෙවැනි වරකාගෙඩියක් හා සම්බන්ධ පුවතක් කියැවෙයි

(‘මග දිගට ජන කතා’ - ඩී. පී. වික්‍රමසිංහ)

එක්තරා සුළු නිලධාරියකු වරකාවලට දැක්වූ මහත් රිස්ස ජන කවියක මෙසේ කියැවෙයි:

 

ගමින් ගමට ඇවිදින්නේ ආරච් චී

ඇවිත් කියන්නේ වරකාවල විත් තී

වරකා දෙන්ඩ එක දවසක බැරි වෙච් චී

ඇඬුවලු එදා නං නාපේ ආරච් චී

(‘සිංහල ජන කවි සංග්‍රහය 2’, හර්බට් පතිරණ)

 

1.1.2 අඹ :

අනකාඩියේසි ( ඒදචජචපඤඪචජඥචඥ) ශාක කුලයට අයත් මැන්ගිෆෙරා ඉන්ඩිකා (ර්චදඨඥ ජ්ඥපච ධ්දඤඪජච) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන අඹ මෙරට අතිශය ජනප්‍රිය පලතුරු විශේෂ‍යකි. අඹ දුරාතීතයේ සිටම මෙරට සුපකළ ශාකයක්ව පැවැති බව වංශකථාවලින් හෙළි වෙයි. දෙවනපෑතිස්ස රජු දවස මිශ්‍රක පච්ච අවට බොහෝ අඹගස් විය. රජු මිහිඳු මාහිමියන්ට පිළි ගැන්වු අඹ ඵලයක් වැළඳු උන්වහන්සේ එහි බිජුවට රෝපණය සඳහා රජුට දුන්හ.

(‘මහාවංශය’)‍

පළමු වැනි කාශ්‍යප රජ තෙමේ ලක්දිව යොදුනෙන් යොදුන අඹ උයන් කරවීය (‘මහාවංශය’). රටේ රජතුමා අඹ අනුභවයෙහි අතිශය ප්‍රිය වී යැයිද, රටේ නොයෙක් පළාත්වලින් අඹ ඇට ගෙන්වා ගත්තේ යැයි ද රොබට් නොක්ස් සඳහන් කරයි. (‘එදා හෙළදිව’)

දෙවැනි රාජසිංහ රජු අඹ ලබා ගත් ගස බලන තිත්ත වෙරළුව වත්තේ ඇතැයි කියැවේ.

(‘පෙරමඟ’ සඟරාව 1988 ජුලි කලාපය)

විවිධ නාමයන්ගෙන් හැඳින්වෙන අඹ ප්‍රභේද ගණනාවකි. ඒ අඹ වර්ග අතරින් සමහරෙක් ජන කවියා මෙසේ වාර්තා කරයි:

 

මී අඹ රණ අඹ පොල් අඹ එව නේ

කසට ගිරා අඹ කොහු අඹ එව නේ

රස ඇති පැණි අඹ ඇති සොඳ එව නේ

ඇටඹ ද කරඹ ද පල රස එව නේ

 

(‘ශ්‍රී ලංකා’ සඟරාව, 1958 නොවැම්බර් කලාපය)

 

අඹවල හැඩය, ස්වභාවය හා රසය අනුව මෙසේ විවිධ නම් යෙදී ඇති බව පෙනෙයි. වනගතව සුලබව වැඩෙන වල්අඹ, කොහුඹ වැනි අඹ වර්ග හැර වඩා රසවත් අවශේෂ අඹ විශේෂයෙන්ම ගෙවතුවල වගා කර ගන්නට මෙරට මනුෂ්‍යයෝ පුරුදු වී සිටියහ.

මී අඹ දීර්ඝ කාලයක් මුළුල්ලේ මෙරට ජනප්‍රියව පැවැති අඹ විශේෂයකි. ‘මී අඹයේ ලෝභ කරන පුරුෂයකු කදුරු පලෙක්හි තෘෂ්ණා නැත්තා සේ’ යනුවෙන් ‘පූජාවලියෙහි’ එන උපමාවෙන් ද ඒ බව පැහැදිලි වෙයි. මී අඹ වෙසෙසින් හුවා දක්වන ජන කාව්‍යයන්ගෙන් ද මේ අඹ විශේෂයෙහි ඇති ජනප්‍රියත්වය ප්‍රකට වෙයි:

රණාවත්ත හොඳ මී අඹ ගසක් ඇතෙ යි

පුරා අඹ ඉත්ත කොණකට නමා ගතෙ යි

ගිරා රොත්ත ඇවිදින් අඹ උරා බොතෙ යි

රණාවත්ත දැක දැක ඉන්ට යහපතෙ යි

 

මැන්ජිෆෙරා ශෙයිලනිකා (ර්චදඨඥටඥපච ඛඥරතචදඪජච) යන නමින් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවටම ආවේණික වූ අඹ විශේෂයකි. මේ කුඩා අඹ වර්ගය මෙරට වැසියෝ ඇටඹ යන නමින් හඳුන්වති. ඇටඹ අවධාරණය කරමින් ජන කවියකු තබා ඇති සටහනින් එහි ජනප්‍රියත්වය හෙළි වෙයි:

ඇටඹ ගසේ මා ඉඳිකෙයි කියාප න්

ඇටඹ කතා ලෙලි දමකෙයි කියාප න්

මිණි මිණි පොදේ මා තෙමෙතෙයි

කියාපන්

කිරිබුදු මස්සිනේ අක්කා එවාප න්

(“ශ්‍රී ලංකා” සඟරාව, 1963 සැප්තැම්බර් කලාපය)

 

ගස් නැඟීමේ හැකියාවෙන් යුතු සෑහෙන පිරිසක් ගමක විසූහ. ගසකට නැඟී පලතුරු නෙළාගෙන එහි සිට ම හැකිතාක් අනුභව කිරීමට ඔවුන් පුරුදු වී සිටි බව ඉහත උද්ධෘත ජන කවියෙන් කියැවෙයි. ගසක් යට ඉදී වැටුණු පලතුරක් වුව ඒ මොහොතේ ම අහුලා ගෙන අනුභව කිරීම සිරිත විය:

 

නම් තිබූ ගොඩවෙල පුස්සැල් පිටියේ

ගොඩ මැද අඹයක් සැරසෙමි නේ

නිල්වන් පාටින් අඹගෙඩි ඉදිලා

රන්වන් පාටින් දිලිසෙන් නේ

උඩින් අඬායන රෑනගිරා රැළ

අතු අග ඉඳගෙන නද දෙන් නේ

මඟ යන අඟනොත් ගස යට ඉඳගෙන

අඹගෙඩි එක දෙක පැණි‍ බොන් නේ

(“සිංහල ජන කවි සංග්‍රහය”)

ඉදුණු අඹ ජල කුරුල්ලන් ඇතුළු වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා උපයෝගි කර ගැනුණු සංරක්ෂණ විධි ද ජන කවියෙන් සන්නිවේදනය කෙරෙයි. ගෙවතුවල ඇති අඹ ගස්වල හට ගන්නා ඵල සතුන්ගෙන් රැක ගැනීමේ උපක්‍රමයක් වශයෙන් තුරු මුදුන්වල ටක සවි කරන ලදි. පක්ෂීන් ආදී සතුන් පලතුරු අනුභවය සඳහා වැඩි වශයෙන් පැමිණියේ රාත්‍රී කාලයේ ය. එහෙයින් ටකය හා සම්බන්ධ ලණුව ගෙතුළට ගෙන, රෑ වරින්වර සොලවා සතුන් පලවා හැරීම සිදු කෙරුණු බව පෙනෙයි:

රාලහාමි මම වැඩක් කියන වා

අඹගහ මුදුනේ ටකක් බඳින වා

ටකේ ලණුව ඇද කකුලෙ බඳින වා

නින්දෙන් නින්දට ටක සොලවන වා

(“සිංහල සාහිත්‍ය විශ්වකෝෂය”)

 

1.1.3. කෙසෙල්:

මුසාසාපියෙන්ටම් (ර්භඵච ඵචනඪඥදබභථ) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කෙසෙල් දුරාතීත‍යේ සිටම භාරතීය හා ශ්‍රී ලාංකේය ජනයා අතර ආහාරයක් වශයෙන් භාවිත විය. වෛදික යුගයේ භාරතයේ තෙත් කලාපීය ප්‍රදේශවල කෙසෙල් වවන ලදි.

(“අසිරිමත් ඉන්දියාව”, ඒ. එල්. බෂාම්)

ආර්යයන්ගේ හැම උත්සවයකම කෙසෙල්වලට ප්‍රමුඛ ස්ථානයක් හිමි විය. මංගල්‍ය අවස්ථාවල හා සිංහල අවුරුද්ද වැනි උත්සවවලදී සිංහලයෝ ද කෙසෙල් ගෙඩි උසස් ආහාරයක් වශයෙන් භාවිත කරති.

පුරාණයෙහි ශ්‍රී ලංකාවේ කෙසෙල් වර්ග සියයකට අධික සංඛ්‍යාවක් භාවිතයෙහි පැවැති බව පෙනෙයි. පහත දැක්වෙන ජන කාව්‍යයන්හි ඒ කෙසෙල් වර්ග අතරින් සමහරෙක් වාර්තා වෙයි:

අගවියරු අලු ආනමාලු ද

අඳුන් ආනමාලු කෙසෙලු ත්

ඇටඹුරුව ආනමාලු සහ

අලු ද ‍කලුගල් ආනමාලු ත්

ගිරා මීගොන් ආනමාලු ද

වඳුරු සපු සිහ ආනමාලු ත්

ඇඹුල් ඇල් සුවඳැල් ද කත් සහ

කෑලි සමඟින් තිත්ත කෙසෙලු ත්

පුස්ප කෑලිද කත් ද කන්තන්

 

තෝරු කළුතන්තෝරු කෙසෙලු ත්

දවල කන්තන්තෝරු කළු සහ

කිතල කොච්චි ද කෝලිකුට්ටු ත්

දඩ කෙසෙල් දිය කෙසෙල් දිය කර

නවරි සහ ඇටනවරි කෙසෙලු ත්

තිස්නවරි සුදුහවරි පිස්සී

පූවාලු මා රතුමන් ආදි කෙසෙලු ත්

(“ශ්‍රී ලංකා” සඟරාව, 1951 සැප්තැම්බර් කලාපය)

කෝලිකුට්ටු, ආනමාලු, ඇම්බොන්, ඇඹුල් හා සුවඳැල් ආදි කෙසෙල් වර්ගවල කැන් පැසුණු පසුව ඉදවා පලතුරක් වශයෙන් ආහාරයට ගනු ලැබේ. ඇටමුරු, මොන්දන් හා අළු කෙසෙල් ආදි කෙසෙල් විශේෂවල ඵල, පිස අනුභවයට ගනු ලබන එළවළුවක් ලෙස භාවිත කෙරේ. පලතුරක් හා ව්‍යංජනයක් වශයෙන් උසුලන දෙවැදෑරුම් සප්‍රයෝජනය නිසාම මෙරට මනුෂ්‍යයෝ කෙසෙල් වගාව කෙරෙහි වැඩි උනන්දුවක් දක්වති. නෑ ගමන් යෑමේ දී ද, උත්සව අවස්ථාවල ද, අමුත්තන්ට සංග්‍රහ කිරීමේ දී ද අත්‍යවශ්‍ය වන හෙයින් කෙසෙල්වල වාණිජ වටිනාකමක් ද ගැබ් වෙයි. එහෙයින් ගොවීහු සරු පලදාවක් අපේක්ෂාවෙන් ක්‍රමානුකූලව කෙසෙල් වගා කිරීමට උත්සුක වෙති. මෙය වැදගත් වගාවක් වන හෙයින් ම ගොවීන් සුබ නැකතකට අනුව කෙසෙල් සිටුවීමට නැඹුරු වී සිටි ආකාරය ජන කවියකින් කියැවෙයි:

කළුගඟ දෑලේ වතුපිටි කොට වා

ලිත් පොත් බලමින් රඹ පැළ ඉඳු වා

පතුරු පළාගෙන රතු මුව දුටු වා

මේ හැටි කුමරුට රඹ කැන් ඉදු වා

(“බින්තැන්නේ ජන කවි”, පියසේන කහඳගමගේ)

 

කෙසෙල් වර්ග අතුරින් ආනමාලු හා කෝලිකුට්ටු රසයෙන් හා ගුණයෙන් අධික හෙයින්ම බෙහෙවින් ජනප්‍රිය ය. ඉහළ වාණිජ අගයකින් ද යුතු වූ හෙයින් මේ කෙසෙල් දෙවර්ගය ගොවීහු වැඩි උනන්දුවකින් වගා කළහ. එසේ සුලබ වූ ආනමාලු කෙසෙල් ගස්වල දර්ශනය ජන කවියකුගේ දෙනෙතට හසු වූයේ මෙසේය:

 

එ‍ගොඩක් බැලිමි එ‍ගොඩක් ආනමා ලු

මෙගොඩක් බැලිමි මෙගොඩක් ආනමා ලු

දෙගොඩම බැලිමි දෙගොඩම ආනමා ලු

තොපෙ අම්මාට රදවෙක් බොහොම ය ලු

(පහළ ඌවේ ජන කවි, ස.ජ.

සුමනසේකර බණ්ඩා)

 

තේ කඩවල ඉදිරිපස ඉදුණු කෙසෙල් කැන් එල්ලා ඇති ආකාරය බොහෝ විට දක්නා ලැබෙන සුලබ දර්ශනයකි. ඒ කෙසෙල් කැන් අතර ඇති ආනමාලු, කෝලිකුට්ටු හා ඇම්බොන් ආදිය අනෙකුත් කෙසෙල් වර්ගවලට වඩා මිල අධික ය.

දිනක් කොළොන්නා කෝරලයේ ඕමල්පේ විජේසුන්දර මුහන්දිරම්, අතරමග මුණ ගැසුණු තේ කඩයකින් සීනි පිට්ටු සමඟ කෝලිකුට්ටු අනුභව කළේ ය. ඒ සඳහා ඔහුට සිතුවාට වඩා වැඩි මිලක් ගෙවන්නට සිදු විය. ඔහු ඒ මුදල ගෙවා මඟට බැස මේ කවිය කීවේ ය:

ලෝක රටට පතිරණ අප්පු හඳුන න

පාර කිට්ටු කඩපෙළ කදිමය ඔත න

සීනි පිට්ටු නරකයි විකුණන ගණ න

කෝලිකුට්ටු දීපන් කැට්ටුවේ තු න

(“ශ්‍රී ලංකා” සඟරාව 1954 අප්‍රේල් කලාපය)

1:1:4 පැණි දොඩම්

දෙහි, දොඩම්, නාරං, ජම්බෝල සහ නස්නාරං වැනි පැඟිරි කුලයට අයත් ශාක ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල වැවේ. මේ ශාක අතරින් දොඩම්, පැණි දොඩම් සහ ඇඹුල් දොඩම් යනුවෙන් ප්‍රභේද දෙකකි. පැණි දොඩම් පලතුරක් වශයෙන් ප‍්‍රයෝජනයට ගනු ලබන අතර, ඇඹුල් දොඩම් බෙහෙත් ඖෂධයක් ලෙස යොදා ගැනෙයි. නාරංවල ද ජමනාරං, හීන්නාරං, නස්නාරං සහ යකිනාරං යනාදි ප්‍රභේද දක්නට ලැබේ. මේවා අතරින් පලතුරු ගණයට වැටෙන්නේ ජමනාරං හා හීන්නාරං ය. නස්නාරං හා යකිනාරං බෙහෙත් ඖෂධ වශයෙන් භාවිත කෙරේ.

රුටාසේ (අඋඊඒඛ්ඡ්ඒඡ්) ශාක කුලයට අයත් දොඩම් ගස ශ්‍රී ලංකාවේ බදුල්ල, බිබිල, මොනරාගල, මන්නාරම හා පුත්තලම ආදි ප්‍රදේශවල හොඳින් වැවේ, පැණි දොඩම් සිට්රුස් සිනේන්සිස් (ඉධ්ඊඅඋඉ ඉධ්ව්ඡ්ව්ඉධ්ඉ) යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙයි.

පැණිදොඩම් මෙරට සුලබව හා ජනප්‍රියව පැවැති බව ඇතැම් ජන කවියකින් ඉඟි කෙරෙයි:

තොපට මොටද පැණි දොඩම්

අපට මොට ද පැණි දොඩම්

දුම්මල පන්දම දෑතට අරගෙන

නැන්දට දීපිය පැණි දොඩම්

(“ශ්‍රී ලංකා සඟරාව, 1963 අගෝස්තු කලාපය)

 

සිංහල ජනශ්‍රැතියට අයත් ජන කාව්‍ය නිර්මාණයන්ගෙන් පැණි දොඩම් මෙරට සශ්‍රීකව වැවුණු බවද, කාටත් ප්‍රියමනාප පලතුරක්ව පැවැති බව ද හැඟ වෙයි:

 

දොඩම් දොඩම් අප ගිය රට ගසක දොඩ ම්

වඩම් වඩම් නුඹ කර ලන්ට මල් වඩ ම්

ඉඩම් ඉඩම් එක රෑකට නුදුන ඉඩ ම්

වලියක් තැන් දොළස මේ ගෙට ආයු වඩ ම්

(“ශ්‍රී ලංකා” සඟරාව, 1960 අප්‍රේල් - මැයි කලාපය)

 

අත්තක දොඩම් මට තනියම කන්ට බැ රි

ඒදණ්ඩේ මට තනියම යන්ට බැ රි

පුංචි ගොයම් පැළපත උදුරන්ට බැ රි

මගෙ ගුරුතුමා සිහි වන විට ඉන්ට බැ රී

(ශ්‍රී ලංකා සඟරාව, 1950 ජුනි කලාපය)

 

කලකට පෙර මෙරට දොඩම් සුලබව පැවැති බවට ජන කවීන් කරන ඇණවුම හුදු කල්පිතයක් නොව සත්‍යයක් බව සනාථ කෙරෙන වාර්තා හමු වෙයි. ලංකාවේ දොඩම්වලට ප්‍රසිද්ධියක් ඉසිලූ ඌව පළාතේ නැගෙනහිර මායිමේ පිහිටි බිබිලේ ප්‍රදේශයේ නවසිය හතළිහ දශකයේ සිට පනහ දශකය දක්වා අතර කාලයේ අක්කර හාරදහසක පමණ පැණි දොඩම් වගාවක් දක්නට ලැබිණැයි එච්. එම්. එස්. තැන්දෙණිය පෙන්වා දෙයි.

(දිනමිණ, 1995 සැප්තැම්බර් 29)

එක්තරා ජන කවියකු දොඩම්වල දෙවියන් ගැන සඳහන් කරන අවස්ථාවක දොඩම්වලට ප්‍රසිද්ධ ගුරුගොල්ල නමැති ගම් ප්‍රදේශය පිළිබඳව ද සිහිපත් කරනු දක්නට ලැබේ:

 

දොඩම්වලට ගුරුගොල්ල නමැත් තේ

දොඩම් බොහොම ඇත බිම මැන ගත්තේ

සොඳින් කාසි පට පඬුරු ද ගත් තේ

දොඩම්වලට වැඳ අවසර ගත් තේ

(සිංහල ජන කවි සංග්‍රහය)

1.1.5 පේර :

නිවර්තන කලාපීය අමෙරිකාව නිජබිම කර ගත් පේර වර්තමානයෙහි පෙරපර දෙදින හැම රටකම පාහේ දේශීය ශාකයක් බවට පත්ව ඇත (“ගසක වතගොත” 1, සරත් කරුණානායක) මර්ටේසියා (ර්රපබචජඥචඥ) ශාක කුලයට අයත් පේර සිඩියම් ගුවජාවා (ර්‍ථඵඪඤඪභථ ඳභචණචමච) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. (ගසක වතගොත) ප්‍රමාණයෙන් මෙන්ම හැඩයෙන් ද එකිනෙකට වෙනස් වූ පේර වර්ග ගණනාවකි.

කලකට පෙර මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ඕවිටි, ලඳු කැලෑ ආදියෙහි පේර සුලබ ව වැවුණි. මේ ඉඩම්වලට කම්බි ගසා වැට කඩුළු යොදා නොතිබුණෙන් කාහට වුවද නිදහසේ ගොස් පේර නෙළා ගත හැකි විය. කාන්තාවෝද රංචු ගැසී ගොස් ගස්වලට නැඟී පේර නෙළා ගත්හ. මෙරට ගැමි කතුන් ගත කළ ජීවිතයෙහි ගැබ් වූ නිදහස් පාර්ශ්වය ද මෙහිදී අනාවරණය වෙයි:

 

පේර නෙළති අඟනෝ වල් වැදි ලා

පේර තිබුණි අතු අග්වල ඉදී ලා

හවරිය තිබුණු කටු අත්තක රැඳී ලා

පේර නෙළන අඟානුනි නොකර

කොලහ ලා

(සිංහල ජන සම්මත කාව්‍ය,

ඩබ්ලිව්. ඒ. ද සිල්වා - පී. පී. මලලසේකර)

1.1.6 ගස්ලබු -

නිවර්තන කලාපීය මැක්සිකෝව නිජබිම කරගත් ගස්ලබු ශාකය කරිකාසියේ ශාක කුලයට අයත් වන අතර කරිකා පැපායා යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින් වෙයි. පැපොල් යනුවෙන් ද හැඳින්වෙන ගස්ලබු ශ්‍රී ලංකාවේ මුල්වරට වගා කෙරුණේ ක්‍රි.ව.1880 වසරේ හග්ගල උද්‍යානයෙහි යයි කියැවෙයි (ගසක වතගොත). මේ තොරතුරු නිවැරැදි නම් මෙතරම් කෙටි කාලයක ගස්ලබු ශාකය දේශීය සම්ප්‍රදායට ඇතුළු වී ඒ ආශ්‍රිත මනෝභාව ජනශ්‍රැතීන් මඟින් ප්‍රකාශයට පත් වී ඇති ආකාරය පුදුම සහගත ය.

 

සිංහල ජනශ්‍රැතියට අයත් එක් තේරවිලි කවියක ගස්ලබු මෙසේ නිරීක්ෂණයට පාත්‍ර වී ඇත:

පොත්ත නිල්වන්

මදේ සුදුවන්

අනේ මේකිගෙ

බඩේ දරුවන්

(සබරගමුවේ ජනකවි

මුනිදාස දොඩන්තැන්න)

ගස්ලබු ප්‍රණීත පලතුරකි. මල බුරුල් කිරීමේ ශක්තියෙන් යුක්ත ය. ආමරෝග නසයි. මේ පලතුරු විශේෂයෙහි ඇති ඖෂධීය ගුණය ද මෙහි ජනප්‍රියත්වය කෙරෙහි බලපා ඇති බව ජන කවියකින් ප්‍රකාශයට පත් වෙයි:

 

නිමල් ලද වයස ලෙළදෙන මද මඬ ල

නිසල්වම තිබෙන සින්දා සිහි වික ල

කිකල් රා ගින්න නිවමැයි සිටින ක ල

පැපොල් කෑවොතින් අළු වෙයි ගත සිය ල

(කාව්‍ය සංග්‍රහව හෙවත් කවි සඟරාව)

1.1.7 කාමරංගා -

මලයාසියාව මාතෘ භූමිය කරගත් කාමරංගා ශාකය කවර කලෙක කවුරුන් විසින් මෙරටට ගෙන එන ලද්දේ ද යන්න අවිනිශ්චිත ය. ඔක්ස්ලිඩියාසේ (ර්‍ණඔඒඹ්ධ්ච්ඒඛ්ඡ්ඒඡ්) ශාක කුලයට අයත් කාමරංගා, ඇබරෝ කරම්බෝල (ඒඋඅඅඩ්ර්‍ණඡ් ඛ්ඒඅර්ඕර්‍ණඹ්ඒ) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙයි.

කාමරංගා ගෙඩිය අධික යුෂ සහිත ය. ඇඹුල් මිශ්‍ර පැණි රසයෙන් යුක්ත ය. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වැවෙන කාමරංගා ජනප්‍රිය පලතුරක්ව පැවැති බව ඒවා අලෙවිය සඳහා තබා තිබීමෙන් පැහැදිලි වෙයි. එක්තරා ජන කවියෙක් ඒ බව මෙසේ සන්නිවේදනය කරයි:

 

කන්දේ ගසේ පල ගත්තේ ඔලොන් ගා

ළඟට නැමුණු අත්තේ පලු මුරුං ගා

නැටිය බරින් ගස මුලමයි රාං ගා

මෙහෙමත් ඇද්ද විකුණන කාමරං ගා

(සිංහල ජන සම්මත කාව්‍ය)

 

 

1.1.6 මොර -

කැලෑ පලතුරු විශේෂයක් වශයෙන් සැලකිය හැකි මොර, දුරාතීතයේ සිටම මෙරට වැවී ඇති බව පෙනෙයි. සැපින්ඩාසියේශාක කුලයට අයත් වූ ද ඉයුහෝරියා, ලොන්ගානා යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන්නා වූ ද මොර ගෝලාකාර හැඩයෙන් යුතු කඩා ඵලයකි. එහි පිට පොත්ත දතින් කඩා ඉවත් කර මදය කටේ දමා ලොඳ උරා බී ඇටය ඉවත විසි කරයි.

(ගසක වතගොත - 1 කොටස)

 

මොර මෙරට ජනප්‍රිය පලතුරක්ව පැවැති බව ජනශ්‍රැතියට අනුව පෙනී යයි. ගැමියන් යන එන ගමන් විනෝදයට මෙන් පලතුරු අනුභව කළ අවස්ථා ජනශ්‍රැතියෙහි නිරූපණය වෙයි. ඔවුන් පලතුරු ආහාරයක් වශයෙන් නොසැලකූ තරම් ය. ඔවුන් අඹ වැනි වෙනත් පලතුරු බුදින්නාක් මෙන්, මොර ද ගසකට නැඟී එහි ම හිඳ හැකි තාක් අනුභව කළ ආකාරය ජන කවියකුගේ නිරීක්ෂණයට පාත්‍ර වූයේ මෙසේ ය:

 

රටක සිට ම රටකට මම ආවා ට

ගසක සිටම මොර සූරා කෑවා ට

ර‍ඟේ නොදැන නුඹ සිව්පද කීවා ට

පුතේ ඔහොම නොකියන් උඹෙ

අප්පා ට

(ශ්‍රී ලංකා සඟරාව, 1958 මාර්තු කලාපය)

 

මොර රසවත් පලතුරක් වන හෙයින්ම වනගහන මැදින් දුරබැහැර වන්දනා ගමන් ගොස් පෙරළා පැමිණෙන විට බරටම මොර කඩා ගෙන ඒමට ඇතැමෙක් පෙලඹුණහ. දිසාවේරයකුගේ අනුග්‍රහය ද ඇතිව වන්දනාවේ ගිය පිරිසක් මඟුල් මඩුව පිරෙන්නට මොර ගෙනා බවක් එක්තරා ජන කවියක කියැවෙයි. මඟුල්මඩුව පිරෙන්නට තරම් මොර ගෙනා බවක් කීමෙන් ඔවුන් කොතරම් විශාල ප්‍රමාණයක් මොර ගෙන එන්නට ඇත් ද යන බව හැඟ වෙයි. කෙනකුට මෙහි වෙනත් ධ්වනිතාර්ථයක් ද දැකිය හැකිය:

සොඳයි කරුණාව මාතර දිසා වේ

ගියයි කීප‍ ගමනක් වන්දනා වේ

ඇඹුල් ඇතුව පල රසමයි ගෙනා වේ

මඟුල් මඩුව පිරෙන්න මොර ගෙනා

වේ

(සිංහල ජන කවි සංග්‍රහය)

කැලෑ පලතුරු වර්ග අතර පලු සහ වීර විශේෂ ස්ථානය් හිමි කර ගනියි. වර්තමානයෙහි මෙන් මාර්ග පහසුකම් නොපැවැති අවධියේ මංහසර නොදැන මංමුලා වූවන්ට ද, සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමේ අටියෙන් වන්දනා ගමන් ගියවුන්ට ද කුසගිනි නිවාගැනීම සඳහා පලු, වීර ගස්වල ඵලයන්ගෙන් ආශීර්වාදයක් බඳු පිළිසරණයක් සැලැසිණි. මේ බව ජනශ්‍රැතියෙහි අතිශය නිර්ව්‍යාජිකාරයෙන් පළ වෙයි:

ආරදෙණි‍ය ගුරුදෙණිය කැලේ යා

වීර ද පලු මොර තිබුණි කැලේ යා

පාර නොදැන ගොස් දුවපු කැලේ යා

උළුවෙන් කෝවිල ගුරුදෙණියේ යා

(බින්තැන්නේ ජන කවි - පියසේන කහඳගමගේ)

 

මෑත අතීතයේ පවා මෙරට මනුෂ්‍යයෝ වන්දනා ගමන් යන විට කරත්තවල බඩු පටවා පයින් ගමන් කළහ. කරත්ත ගමන් කළ නොහැකි දුර්ග මාර්ගවල ද පාගමනින්ම යෑමට ඔවුන්ට සිදු විය. දුම්බර බැද්ද හරහා මහියංගණය වැඳ පුදාගන්නට ගිය ලියන් පිරිසක් පලු, වීර බුදිමින් දිය බොමින් ආහාරපාන අවශ්‍යතාව සපුරා ගත් අයුරු තවත් ජන කවියකින් කියැවෙයි:

දුම්බර බැද්දෙ මඟ සිටලා මැදින් ය මු

කඩා පලු වීර කාලා වතුර බො මු

අඬන ළමයි මඟ සිටලා කිරි පොව මු

මහියංගණයේ වැඳලා අඬ අඬා ය මු

(ඉසුර සඟරාව, 1994 දෙසැම්බර් කලාපය)

 

මෙසේ මෙරට වෘක්ෂ ජනශ්‍රැතියට අයත් පලතුරු ආශ්‍රිත ජන කාව්‍යයන්ගෙන් වර්තමානයෙහි බොහෝ දුරට අවිද්‍යමාන ජනයාගේ පාරිසරික සංවේදිතාව ප්‍රකාශයට පත් වෙයි. පැරැණියන් පලතුරු අනුභවයේදී එළඹ ගත් සැහැල්ලු ප්‍රවිෂ්ටය මේ කවිවලින් විදහා දැක්වුණ ද දුරබැහැර වන්දනා ගමන් වැනි අවස්ථාවල ඔවුන්ට කුසගිනි නිවා ගැනීම සඳහා ද පලතුරු උපයෝගී වූ ආකාරය කියැවෙයි. ජන කවීන්ගේ මුවින් මේ කවි ගිලිහුණේ ද්විත්ව ස්වභාවයෙන් යුතු සමාජ පසුබිමක ය. එහි එක් අතකින් වැටකඩුලු යොදා වට නොකළ නිදහස් පලතුරු උයන් විය. අනෙක් අතින් සමාජීය වාණිජකරණය පසුබිම් කරගත් අක්කර දහස් ගණනක පලතුරු වගා බිම් විය. එවක පලතුරු අතින් මෙරට ඉසිලූ සශ්‍රීකත්වය මේ ජන කාව්‍යයන්ගෙන් අනාවරණය වෙයි. මේ සියලු කාරණා පිළිබඳ ලේඛනගත වාර්තා අබිබවා ලන සජීව බවක් මේ නිර්මාණවල ගැබ් වන්නේ කවීන්ට ආවේශය සැපයූ සජීව අත්දැකීම් හේතු කර ගෙනම බව පෙනී යයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.