නික්ම යෑමට පෙර | සත්මඬල

නික්ම යෑමට පෙර

කහවන් ව හා දුඹුරුවන් ව වියළී ගිය පත්‍ර සහිත තුඟු ගසක් ඈතින් පෙනේ. පරිසරයේ වියළි බවට තවත් කර්කශ බවක් එක්කොට ඇති ඒ ගස දෙස හිරු බැස යන සැන්දෑවේ මම බලා සිටියෙමි. වරින් වර හමන මඳ සුළඟට පවා එහි පත්‍ර එකින් එක බිමට වැටේ. බැස යන හිරුගේ රන්වන් කිරණ වියළි පත්‍ර මතට වැටී අමුතු ම අලංකාරයක් මවා තිබේ. මම ඒ ගස වෙත සෙමෙන් සෙමෙන් පිය මැන්නෙමි. ගිනියම් වූ පොළොව මත තැනින් තැන වියළී ගිය පත්‍ර වැටී තිබේ. මම ඒ පඬුවන් පැහැගත් මැරුණු පත්‍රයක් අතට ගත්තෙමි. මරණය අබියසදී පවා ඒ පත්‍රය අමුතුම සුන්දරත්වයකින් පෙනේ. කොළ හැළී ගිය ගසේ කඳ පවා අපූර්ව චමත්කාරයෙන් යුතුය. මම සියුම් ව ඒ පත්‍රය පරීක්ෂා කළෙමි. එහි මනා හැඩයත්, නාරටිය හා රේඛාත් තවමත් ප්‍රාණවත් බවෙන් යුතු ව රම්‍ය ව හා තේජස්ව තිබේ. මිය යද්දී පවා මෙතරම් සුන්දරත්වයක්? ම සිත විමසයි.

ගසක් මිය යද්දී පවා එය මිහිකතේ සුන්දරත්වයට බාධා නොපමුණුවන්නේ ය. එහෙත් අප මිය යන්නේ අසතුටින් හා බියෙන් ඇලළී ගිය වත ඇතිව අප්‍රසන්න ව නො වේ ද? සිතන්න මඳක්! ඔබ දැක තිබෙනවාද මුහුණේ පියකරු චාම් සිනහවෙන් යුතු ව මිය ගිය පුද්ගලයකු? ජීවිතය බොහෝ සතුටින් ගෙවූව ද මැරෙන්නේ අකැමැත්තෙනි. මිහිකතට තම අවසන් පත්‍ර ද පොහොර කර මිය යන්නට තතනන ගස යට හිඳගෙන මම ඈතින් පෙනෙන කනත්ත දෙස බලාගෙන මරණය ගැන කල්පනා කරමින් සිටියෙමි.

අවමංගල්‍ය පෙරහරක් කනත්තට එනු පෙනේ. වටිනා දිලිසෙන ඇඳුමෙන් සැරසුණු විසල් ජනකායක් විලාප නඟමින්, හඬා වැටෙමින් කනත්ත කරා පියමනිති. ඇතැමෙක් වරින් වර ක්ලාන්ත වෙයි. ජීවත් වන්නෝ, මරණය පසුපස විවිධ ස්වරූපයෙන් ගමන් කරමින් සිටියහ. හොරණෑ වාදකයෝ දුක් ගී වාදනය කළහ. බෙරකරු‍වෝ දුක් හඬින් බෙර වැයූහ. අවසන ස්වාමීන් වහන්සේලාගේ පින් අනුමෝදන් කිරීමෙන් අනතුරුව කැටයමින් අලංකාර කළ සොහොන් කොතට මිනිය බහා විසල් ජනකාය නික්ම ගියහ. හිරු අවරදිග අහසේ ගිලී යමින් සිටියේ ය. එන විට හැඬූවන් යන විට හැඬූයේ නැත. මල්වඩම්, ලියකම් පමණක් මිනියට තනි රැක්කේ ය.

වියළී මැරී යමින් සිටි පඬුවන් පත්‍රය අතැති ව කේඩෑරි ව ගිය අතු ඉපල් සහිත ගස යට සිටිමින් මම තව දුරටත් කනත්ත දෙස බලා සිටියෙමි. ස්වල්ප වේලාවක් ගත විය. හිරු අස්තංගත වී සැඳෑ කළුවර ගලා එමින් තිබිණි. පෙට්ටියක් වැනි යමක් කරතියා ගත් කිහිපදෙනෙක් පිටුපස, ඉරී වැරහැලි වී ගිය දුර්වර්ණ වූ සුදු ඇඳුමින් සැරසීගත් කාන්තාවක නිහඬව වැලපෙමින්, සුසුම්ලමින් පැමිණෙමින් සිටියා ය. ලියකම්, මල්කම්, මල්වඩම් කිසිවක් තිබුණේ නැත. හඬ නඟා වැලපෙන, ක්ලාන්ත වී ඇද වැටෙන, විලාප නඟන කිසිවකු හෝ සිටියේ නැත. තම දරුවා තුරුලු කරගත් කාන්තාවගේ ඇස් කෙවෙනි අග රූරා වැටෙන්නට ඔන්න මෙන්න වූ කඳුළු කැටයක් දිලිසෙමින් තිබුණේ ය. දරුවා සිටියේ නිදිගත් වනමය. නිකම් ම හෑරූ වළක් වෙත ඔසවා ගෙන ආ පෙට්ටිය බහාලූ මිනිස්සු කාන්තාව දෙස බලා නික්ම යෑමට සැරසුණහ. වළ අසල දණගසා ගත් කාන්තාව දරුවා ද තුරුලු කරගෙන මොහොතක් ඒ දෙස බලා සි‍ට අර මිනිසුන් හා නික්ම යෑමට පෙර නැවත හැරී බැලුවා ය. ඇගේ දෑසේ වූ වේදනාව අඳෝනා සියල්ල පරදා ම සිත තැන්පත් විණි.

මිය යමින් සිටි ගස යට හිඳිමින් මම සියැසින් මරණ දෙකක් දැක ගතිමි. හිරු අහසේ ගිලී ගොසිනි. සඳ පායා එමින් තිබිණි. සඳවතට පිටුපා හෙමි‍ හෙමින් ඇවිද ගිය කාන්තාවගේ ශෝකී දෑස ම සිත ගැඹුරු ම තැන තුවාල කර තිබිණි. ඇය නැවත නොඑන තම ප්‍රියයා ගැන නිහඬ ව දුක් වෙමින් සිටියා ය. ඊට පෙර මහ හඬින් හඬමින්, විලාප දෙමින් පැමිණි පිරිස මේ වන විට කුමක් කරනු ඇත් ද? හදවත කොඳුරනු ඇසෙයි.

ශෝකය එකක් ම ය. එහෙත් එය දැනෙන ආකාරය වෙනස් ය. කෙනකුට ජීවත් වීම ශෝකයක් වන අතරම තවෙකකුට මරණය ශෝකයක් වන්නේ ය. එහෙත් මරණයට සංයමයෙන් මුහුණ දෙන්නේ කීයෙන් කී දෙනා ද?

මට ඛලීල් ජිබ්රාන්ගේ ‘සිඳුණු තටු’ නම් රම්‍ය ප්‍රේම වෘත්තාන්තය සිහිපත් වේ. මනාලියක සේ සුදු සේද ඇඳුමින් සැරසුණු ‘සෙල්මා’ තම බිලිඳු දරුවා ද සමඟින් එක ම පෙට්ටියක අවසන් ගමන් යමින් සිටියා ය. ඇගේ බේබදු සැමියා හැර ඇය නික්ම යන ඒ මොහොතේ සියල්ලෝ ම ශෝකයෙන් වැලපුණහ. සැවොම නික්ම ගිය කල ජිබ්රාන් තම ප්‍රේමවන්තියගේ සොහොන් කොත අබියසට පැමිණ මෙසේ කොඳුරයි.

“ඔව්, නුඹලා මගේ හදවතත් මෙහි වළදා ඉවරයි.”

සෙල්මා ‍සන්සුන් ව මිය ගියද ජිබ්රාන්ට සැනසීමක් නොවීය. කෙනකුගේ මරණය තවෙකකු ජීවත් වෙද්දී පවා මරණයට පත් කරන්නේ එපරිද්දෙනි.

මැරුණු පත්‍රය අතැති ව මම ගස මුලින් නැඟී සිටියෙමි. මා අතැති පත්‍රය මතු නොව බිම වැටී පණ අදිමින් සිටින පත්‍ර ද, බිම වැටෙන්නට ඔන්න මෙන්න තිබෙන පත්‍ර ද තව නොබෝ දිනකින් ම මිහිකතට ‍පොහොර වනු නිසැක ය. මඳ කලකින් ම ‍ඒ පත්‍රයේ වූ අපූර්ව සුන්දරත්වය ද ඔබට අමතක ව යනු ඇත. ජීවිතය යනු එය ම නොවේද? දුප්පත්, පොහොසත්, සුන්දර, අසුන්දර සෑම දෙයක් ම පිටුපස ම ඇත්තේ වෙන් ව යෑමයි. ඔබට හැකිද ඒ සනාතන ධර්මය තේරුම් ගෙන ජීවත් වීමට....

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.