ප්‍රතිනිර්මාණයේ සන්නිවේදනාර්ථ | සත්මඬල

ප්‍රතිනිර්මාණයේ සන්නිවේදනාර්ථ

“ස්වීය නිර්මාණය යනුවෙන් ලොව පහළ වූ සංකල්පයක් ඇතැයි මම නොසිතමි. සිතීමට පටන්ගත් මිනිසා යම් යම් දේ තම පරිකල්පනයේ ශක්තිය අනුව ප්‍රබල ලෙසත් දුබල ලෙසත් පවතින තත්ත්වලට අර්ථ කථනය කළ බව වටහා ගත යුතුය.”

මේ අදහස ප්‍රකාශයට පත් කළේ ප්‍රංසයේ සිට ඇමෙරිකාවට පැමිණ තම අප්‍රකට නවකතා දෙකක් ‍වූ Topic of cancer සහ Topic of Capricorn කෘති ලිවීමෙන් කීර්තියට පත් වූ හෙන්රි මිලර් (Henry Miller) (1891 – 1980) නිර්මාණ ශිල්පියා ය. මිලර් මේගෝ නිර්මාණ කෘති ලියුවේ පුරාතනයේ සිට මානව වර්ගයා අතර පැවැති පුරාවෘත්ත පදනම් කරගෙන ය.

මෙහි අග්‍රඵලය ලෙස කලා විචාරකයන් පෙන්නුම් කරන්නේ (1949 – 60) කාලයේදී විටින් විට වෙනස් කරමින් ලියන ලද Rosy Crucifixion නමැති කෘතියයි. ඔහු විසින් වතාවක් විවරණය කරන ලද පරිදි සෙන් ධර්මය තම නිමැවුම් මග (කලා නිර්මාණ මාර්ගය) පැහැදිලි කරදීමට වහල් කරගත හැකි න්‍යාය හා භාවිතය විය. නිර්මාණකරුවා අමුතුවෙන් තමන්ටම උරුම වස්තුවිෂයයක් ඕපපාතික ලෙස ගොඩනඟනු වෙනුවට අත්පත් කර ගනුයේ සියුම් ධ්‍යාන (trance) මගක් බවත්, ඒ මඟ භාවිතාත්මක අත්පත් වීමක් බවත් ප්‍රකාශ කළේය. මේ තත්ත්වය හඳුන්වා දිය හැක්කේ ‘ප්‍රති නිර්මාණය’ වශයෙනි.

මේ නිර්මාණාත්මක සංකල්පය වෙනත් ආකාරයකින් ප්‍රකාශයට පත් කළේ ප්‍රංස මහා නවකතාකරුවා වූ ආන්ද්රේ ජිද් (1869 – 1951) 1947දී ය. නොබෙල් සාහිත්‍ය සම්මාන පුද ලද ජිද් ප්‍රකාශ කළ එක් අදහසක් මෙසේය.

“මා මෙතෙක් ලියා ඇති හැම කෘතියක්ම උපත ලබන ලද්දේ මවිසින් විටින් විට එක්රැස් කරන ලද මගේ අත්දැකීම්, නිරික්ෂණ, උපුටන, විශ්ලේෂණ යන අර්ථකථනවල ප්‍රතිඵලයක් වශයෙනි. ඒවා මගේ නිහඬ සිතට ඇතුළු වූයේ කිසියම් ගුප්ත ශක්තියකින් හා නව අභ්‍යාස මඟින් බව මා කිව යුතුය.”

මේ ප්‍රකාශය සටහන් වන්නේ Paris Review නම් වූ වාර ප්‍රකාශනයේ බව කිව යුතුය. ජිද් ලියූ නවකතාවල සුලබව දැකිය හැක්කේ ආත්මයාර්ණ (Monologue) හා ප්‍රතිවේද (Insights) සමුදායකි.

ඒ මඟින් ජීද් කරන්නේ පුද්ගලයන්ගේ ඇතුළු සිතට නැඹුරු වී බැලීමකි. ඇතැම් විටෙක ජිද් තම ලිවීම ආරම්භ කරන්නේ සංවාද සමුදායකිනි. ඒ සංවාද දෙදෙනෙක් අතර මෙන්ම දෘශ්‍යමාන කතක් හා අදෘශ්‍යමාන වූ කතක් අතර හටගන්නා සංවාද වශයෙන් ද සැලකිය හැකිය. පවතින තත්ත්වයක් නොපවතින තලයකට ගෙන යෑමක් ලෙස ද එය ‘මායාමය’ යන අර්ථය දිය හැකි ෆැන්ටසියක් ලෙසින් ද සැලකේ.

පවතින වස්තු විෂ්‍යයක් මුළුමණින්ම වෙනස් කර හෝ අර්ධ වශයෙන් හෝ වෙනස් කර නව අර්ථ සමුදායකින් යුක්තව නිර්මාණයක් බිහි කිරීම ‘විසංයෝජනය’ යන යෙදුමින් සම්මත ලෙස හැඳින්වේ. ඒ යෙදුම ඉංග්‍රීසියෙන් ‘Deconstruction’ යනුවෙන් හැඳින්වේ. බටහිර කලා විචාරකයන්ට අනුව මේ සංකල්පයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැක්කේ ග්‍රීක මහා රංග කලාවේදියකු වශයෙන් සැලකෙන ඊස්කිලස් (ක්‍රි.පු. 525 – 456) ය. ඔහු ලියූ රංග කලා කෘති අතරින් වඩාත් මේ කලා සංකල්පය පිළිබඳ විවරණ සපයනු ලබන්නේ ‘ප්‍රොමිතියස් බන්ධනය’ නමැති කෘතියයි. දේව විමානයට අවතීර්ණ වන උත්තම ගණයේ මානවයකු එහි ගිනිහුල සොරා ගෙන මනුලොවට පැමිණ, මනුලෝවාසීන්ට එමඟින් සහනය සැලැස්වීම ග්‍රීක පුරාවෘත්තයක් වශයෙන් පැවැතීම මේ රංගයේ පරිකල්පනාත්මක නිර්මාණශීලි ආවේගයකින් ප්‍රතිනිර්මාණය කිරීම වටහා ගත යුතුය. ඊස්කිලස් දුරාතීතයේ කල්ගත කළ රංග කලාවේදියකු වුවත්, ඔහුගේ ඒ නිමැවුම නූතනයෙන් ඇමතුමක් ලෙස අවධානය යොමු කළ යුතුය.

‘ගින්න’, ‘ගිනි පූජාව’, ‘ගිනි කෙළිය’, ‘ගිනි සිළුව’ යන භාවිතයේ පවසන යෙදුම්වලට මතුපිටින් හසු නොවන අර්ථ සමුදායක් නිර්මාණශීලි ලෙස හසුවන පරිදි මේ රංගයේ පෙළ සැකසී පවතී. විටෙක දෑසින් කියැවෙන්නේ යාඥාවක ස්වරූපය ගත් කාව්‍ය ඛණ්ඩයකි. තවත් විටෙක කල්පනාවට තුඩු දෙන සංවාද සමුදායකි. මේ සියල්ල පසුබිමේ පවසන අන්තර්ඥානය පුළුල් මානව පරපුරු දෙකක හමුවීමකි.

කාලයක් මුළුල්ලේ මානව සංස්කෘතික උරුම ලෙස පිදුම් ලබන ලිපි ලේඛන, නිර්මාණ කෘති, කලා භාණ්ඩ කොතෙකුත් දැකගත හැකිය. ඒවා අතරින් ප්‍රමුඛතාව ලැබෙන වස්තු හා කලා නිර්මාණ කීපයක් හැම රටකම ජනප්‍රසාදය ලබා ඇත. ග්‍රීසියේ පහළ වූ මහා කවියකු වූ හෝමර් විසින් ලියන ලදැයි සලකන ‘ඉලියඩ් හා ඔඩෙසි‘ භාරතයේ මහා කවියා වූ වාල්මීකි විසින් බිහි කරන ලදැයි සැලකෙන ‘රාමායණය’ හා ‘මහාභාරතය’ මෙබඳු ප්‍රථම පෙළේ කෘතියි. තවද වංශ කථා ලෙස සැ‍ලකෙන අතිශය කෘතිවල ධර්මකතා ලෙස සලකන භගවද්ගීතාව, ධම්මපද හා බයිබලය ද, කුරාණ කෘතිය ද තවත් ප්‍රමුඛ පෙළේ කෘති ලෙස වර්ග කෙරේ. මේ ලැයිස්තුව කතා දිගු ය. ඒ කෘති පිළිබඳ පවත්වා ඇති විමර්ශනාත්මක ය. විශ්ලේෂණාත්මක ය. පරපුරින් පරපුර නව චින්තාවලට හා නව උත්පාදනවලට මග පාදන සුලු ය.

‘සම්භාව්‍ය’ ගණයේ කෘතිවල පරපුරු චින්තනය හා සර්වභෞමික ලක්ෂණ රැඳී පවතීය යන ප්‍රචලිත මතයක් පවතී. එබැවින් එක් සංස්කෘතියක ඵලයක් වුවද ඒ ඵලය සදාතනික මානව උරුමයක් ලෙසින් පිදුම් ලැබීම වටහාගත යුතු සංකල්පයකි.

සම්භාව්‍ය සාහිත්‍ය කෘති අධ්‍යයනය කිරීමෙන් අතිරේක නිර්මාණ ශක්තියක් නිර්මාණශීලි සන්නිවේදනයක් ජනිත කරවිය හැකිය යන්න ප්‍රචලිත අධ්‍යාපන මතයකි. ඒ අනුව සම්භාව්‍ය කෘති අධ්‍යයනයට අනුව එමඟින් ලබාගත හැකි නිර්මාණශීලි කුසලතාව හා නිර්මාණශීලි අාභාසය ඇගයුමට ලක් කෙරේ. මේ සංකල්ප වඩාත් මැනැවින් වටහා ගැනීමට නම් විවිධාකාර සම්භාව්‍ය කෘති මඟින් අත්පත් කරගන්නා ලද කුසලතාව හා ආභාසය යන සංකල්ප වටහාගත යුතුය.

මේ සංකල්පය හඳුන්වන්න ‘පුනර් නිර්මාණය’ හා අර්ථ ඌන යනුවෙනි.

අපි නිදසුනක් ගනිමු. ‘රාමායණය’ නම් වූ සම්භාව්‍ය කෘතිය කියවා පසෙක තබන ලද නිර්මාණ ශිල්පියකුට තම පරිකල්පනය උපයෝගී කර ගෙන එහි එන එක් ජවනිකාවක් (episode) හා ජවනිකා කීපයක් සම්මිශ්‍රණයෙන් සුවිශේෂ නිර්මාණයක් බිහි කළ හැකිය. එහෙත් එය හුදු අභ්‍යාසයකින් උපන් නිර්මාණයක් විනා ස්වීය නිර්මාණයක් ලෙස සැලකිය හැකි ද යන පැනයක් ද නැගෙනු ඇත. මේ සම්බන්ධයෙන් වඩාත්ම පැහැදිලි විවරණයක් සපයන්නේ මහා රංග කලාවේදියකු වූ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් (1998 – 1956) ය. ඔහු මෙසේ කීය.

“මගේ නාට්‍ය කෘති රැසකට මා වස්තු විෂයය කර ගත්තේ සම්භාව්‍ය කෘතිවල අන්තර්ගත මානව සම්බන්ධතා ය. මගේ අභිප්‍රාය වූයේ ඒ සම්බන්ධතා මගේ පරිකල්පනයට ගෝචර වන පරිදි වෙනස් ස්වරූපයක් දීමකි.”

ලෝක ප්‍රකට අපදාන (Profiles) ආශ්‍රිතව ද දුරාතීතයේ සිට ම ප්‍රතිනිර්මාණ කාර්යය සිදු වී පවතී. එහිදී මුල් තැනක් ගන්නේ ආගමික නායකයන්ගේ අපදාන ය. බුද්ධාපදානය, පච්චේක බුද්ධාපදාන, අර්යන් අපදාන මෙහිලා බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබෙන ප්‍රති නිර්මාණ ය. යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ අපදානය ද විවිධාකාර ලෙස ප්‍රතිනිර්මාණය වී පවතී. බුද්ධාපදානය Light & Asia නමින් කාව්‍යමය ප්‍රති නිර්මාණයක් බවට පත් කරන්නේ මහා කවියකු වූ එඩ්වින් ආර්නෝල්ඩ් විසිනි. ‘බුද්ධ චරිතය’ යනුවෙන් අප මෙතෙක් හඳුනාගෙන ඇති බොහෝ පැදි හෝ ගැදි නිර්මාණ හඳුනාගත යුත්තේ ප්‍රතිනිර්මාණ කෘති වශයෙනි. ඉංග්‍රීසි ජාතික මහා ලේඛකයකු ලෙස පිදුම් ලබන ලොයිඩ් ඩග්ලස් විසින් ලියන ලද ‘ශුද්ධ වූ සළුව’ යන අර්ථය දෙන ‘The Role’ නමැති නවකතාව බෙහෙවින් සාකච්ඡාවට භාජනය වූවකි. එය අසුරු කර එනමින්ම චිත්‍රපටයක් ද බිහි විය. තවද ‘ජේසු නසරේනු’ යන අර්ථය දෙන ‘Jesus & Nazareth’ කෘතිය ද විශේෂ ගණයේ ප්‍රතිනිර්මාණයක් වශයෙන් සැලකේ. ආගමික නායකයන්ගේ චර්යා හා ධර්මය ප්‍රචලිත කිරීම සඳහා ද ප්‍රතිනිර්මාණ කාර්යය උපයෝගි කර ගැනේ. එහිලා විශේෂිත ලක්ෂණයක් වන්නේ ප්‍රතිනිර්මාණ කාර්යය නියැළෙන නිර්මාතෘවරයා විසින් මවනු ලබන මායාමය හා ප්‍රාතිහාර්යාත්මක සිද්ධි කෙරෙහි අවධානය යොමු කිරීමයි.

ප්‍රාතිහාර්යය හා ස්වප්න ජවනිකා වටහාගත යුත්තේ අනථ්‍ය නිර්මාණශීලි මැවීම් වශයෙනි.

මෙබඳු මැවීම් කොතෙකුත් නිර්මාණය වී පවතින්නේ යම්කිසි සිද්ධි මාලාවක් හුදු යථාර්ථවාදි රටාවකින් ප්‍රකාශනය කිරීම උගහට වන බැවිනි. එබැවින් මේ නිර්මාණාත්මක සංකල්පය මුල් බැස‍ ගෙන ඇත්තේ ජනශ්‍රැතියේ එන ගුප්ත හා සුරංගනා කතා අනුසාරයෙනුයි අනුමාන කළ හැකිය. ඒවා හැම රටකම බහුල ය. සුරංගනා කතාවක යටිතලයෙන් ප්‍රකාශිත අර්ථය ප්‍රතිනිර්මාණයක් වශයෙන් සැලකිය යුතුය. පුරාතන පර්සියානු කතා කලාවට අනුව බිහි වූ ලෝක ප්‍රකට, ‘අරාබි නිසොල්ලාස කතන්දර’ තවද අපර නාමයකින් හැඳින්වෙන්නේ ‘එක් දහස් එක් රැයක්’ මුළුල්ලේ ප්‍රතිනිර්මිත කතා සමුදායක් වශයෙනි. පාඨකයා ඒ කතා මඟින් ඇදගනු ලබන්නේ එහි පවතින අද්භූත නිර්මාණ ආවේශයට අනුකූලව ය.

බෞද්ධ සාහිත්‍යයේ අග්‍රගණ්‍ය සම්භාව්‍ය කෘතියක් ලෙස පිදුම් ලබන ‘ජාතක පොත’ හෙවත් ‘පන්සිය පනස් ජාතක‍ පොත’ ප්‍රතිනිර්මාණ කාර්යය සලසා මූලාශ්‍රය වූ කෘතියක් ලෙස සැලකේ. ජාතක පොතේ එන කතා ඇසුරු කර ප්‍රතිනිර්මිත අතිරේක නිර්මාණ කෘති අනල්ප ය. කාව්‍ය, නාට්‍ය, චිත්‍ර කර්ම, සංවාද, උපමා කතා, කෙතරම් දැයි සිතාගත නොහැකිය. මුල් කෘතියේ ජන 547ක් වූ නිර්මාණ මඟින් බෝධිසත්ත්ව පාරමිතා දහයක මහිමය ප්‍රකට කැරෙන අතර ඊට අතිරේකාර්ථ සපයමින් කොතෙකුත් නිර්මාණ බිහි වී පවතී.

මීට අතිරේක වශයෙන් ධම්මපදය ආශ්‍රිතව ද ‘සද්ධර්මරත්නාවලිය’ බිහි විය. සද්ධර්මරත්නාවලියේ කතා ඇසුරු කරගෙන ප්‍රතිනිර්මිත නිර්මාණ සමුදාය ද අපමණ ය. මෙලෙසින් හැම ආගමික කෘතියක් ම ප්‍රථම කොට ධර්මදේශනය සඳහා උපයෝගි වූ නමුත් කෙමෙන් ඒවාෙයන් පළමු මහඟු සන්නිවේදනාර්ථ හේතු කරගෙන ප්‍රතිනිර්මාණ සමුදායක් බිහි විය. ඒවා සමාන්තර රේඛා දෙකක් සේ විටෙක විදග්ධ නිර්මාණ වූ අතර විටෙක නිර්නාමික නිර්මාණ වූ බව ද අප වටහා ගත යුතුය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.