බක්මහ අසිරිය මවන මඟුල් ගීය | සත්මඬල

බක්මහ අසිරිය මවන මඟුල් ගීය

අනූපම ප්‍රතිභාවකට උරුමකම් කී සිංහල ගේය පදමාලා සාහිත්‍යයෙහි සීයා හැටියට විරුදාවලී ලත් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් නිවැරදි මඟට ගත් මෙකී සාහිත්‍යයෙහි පියා ලෙස නාම ගන්වා ඇති මහගමසේකරයන් හැදූ වැඩූ, සිංහල ගීත සාහිත්‍යය බොහෝ කාර්යභාරවලට යොදාගත හැක්කක් බව සුනිල් ආරියරත්න ප්‍රමුඛ නූතන ගේය පදමාලාකරුවෝ ධ්වනිත කළෝ ය. ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු කිහිපදෙනකු අවඥා සහගත චිත්තයෙන් බැහැර කළ මෙය අද්‍යතනයේත් අධි ජනප්‍රියම සාහිත්‍යාංගය බව අවිවාදිත ය. ගුවන්විදුලි හා රූපවාහිනි මාධ්‍යයන්ගෙන් සුදුසු ගරුත්වය අහිමි වෙද්දී, සිය නිර්මාණ දායකත්වය උදෙසා ගේය පදමාලාකරුවන්, සංගීතඥයන්, ගායක ගායිකාවන් විකල්ප සන්නිවේදන මාධ්‍යයන් යොදා ගැනීමෙන් එය තහවුරු වෙයි.

මෙකී උත්තම කලා මාධ්‍යයෙහි අවාසනාවන්ත කාලවකවානුව පිළිබඳ හොඳින්ම සඳහන් කළෝ අපෙන් ද ගුරුහරුකම් ලැබූ අමිල තේනුවරයෝ වෙති:

“ගීතයේ අවමඟුල් පෙරහරේ ඉදිරියෙන්ම ගෙන ගිය මල් වඩම් තනා තිබුණේ සුදු අරලිය මල්, ඩේලියා මල්, ඇපල් මල්, දෙහි මල්, නියඟලා ආදි මල්වලින් ය. FM අවමංගල අධ්‍යක්ෂවරුන් විසින් සියලු අවමඟුල් කටයුතු භාර ගනු ලැබූ නිසාත්, වියදම් කිරීමට කැසට් කොම්පැනි නොපැකිළිව ඉදිරිපත් වුණු නිසාත් අවමඟුල හොඳින් සිදු විය. කලාව කර්මාන්තයකට පරිවර්තනය වීමේදී සිදු වන ඛේදවාචකයට අප දැන් මුහුණදී හමාර ය.”

(සඳරැස් ඇඟිලි තුඩු - ප්‍රථම මුද්‍රණය 2005)

අන්තර්ජාතික කීර්තිධර එකම සිංහල විචාරකයා වූ මහාචාර්ය විමල් දිසානායකයෝ වරක් මේ උත්තම කලා මාධ්‍යය වර්ගීකරණයකට ලක් කළෝය. බුදු ගුණ ගී මවු ගුණ ගී, පිය ගුණ ගී, දෙව්බැති ගී, දේශාභිමානී ගී, පෙම් ගී යන එකී ප්‍රභේදයට සිංහල අලුත් අවුරුදු ගී ද ඇතුළත් කළ හැකි බව අපේ හැඟීමයි. භාග්‍යවත් මාසය හෙවත් අප්‍රේල් මාසය ළඟා වෙද්දී බොහෝ ජන මාධ්‍යකරුවන්ට මේ ගීත මතකයට නැගෙන බව ද ඉතා පැහැදිලි ය. එහෙත් මේවා අතුරින් සැබෑ සාහිත්‍යමය අගයකින් යුත් නිර්මාණ කීයක් වේ ද යනු ගැටලුවකි.

බුදු තෙමඟුල සැමරෙන වෙසඟ දිනය ආසන්න වෙද්දී සේම සිංහල අලුත් අවුරුද්දේදී ද මුලින්ම සතර වටින් අප දෙසවන් සිප ගන්නේ සිංහල බෞද්ධ හඬක් නොවේ;

උතුම් වූත්, මිහිරි වූත් ගැඹුරු මිනිස් හඬකි.

“වරෙල්ල වරෙල්ලා - සිංහල අවුරුද්ද ඇවිල්ලා”

‘ධීවරයෝ’ චිත්‍රපටය උදෙසා ඇම්.කේ. රොක්සාමිගේ සංගීතයෙන් සුපෝෂිත මොහිදීන් බෙග්, ලතා වල්පොළ හා ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරාගේ ගායන කෞශල්‍යයෙන් දීප්තිමත් වූ කරුණාරත්න අබේසේකරගේ පදමාලාව ඔහුගේ අනූපම ප්‍රතිභාවට කදිම නිදසුනකි. වෙන කිසිවදනක් යෙදුමක් අවශ්‍ය නොවේ. දෙවැනි අන්තරා කොටස උත්පාදක ශක්තිය, බන්ධන චාතුර්ය හා රසාවේෂණ ශක්තියේ මහිමය අපූරුවට කියා පායි.

“කොවුලා බට ලී පිඹිනව

කොට්ටෝරුව බෙර ගහනව

ලේන ගසයි කයිතාලම

අවිච්චියා එහි නටනව”

මෙහි එන වදනින් වදන සත්ත්ව ක්‍රියාකාරකම් උපරිම කවිත්වයකින් චිත්‍රණය කිරීමක් විනා අන් කුමක් ලෙස හැඳින්විය හැකිද? මෙය කිසිසේත් ලියූ ගීයක් නොවේ. ලියැවුණු ගේය පදමාලාවකි. කුඩා කල සිට අප මෝහනයට පත් කරමින්, ක්ෂේත්‍රයට අලුත් ගායක ගායිකාවන් හඳුන්වා දෙමින්, ප්‍රමාණ කළ නොහැකි ගේය පදමාලා සංඛ්‍යාවක් සිංහල ගේය පදමාලා සාහිත්‍යයට දායාද කළ කරුණාරත්න අබේසේකරයන්ගේ නිසඟ කවිත්වයට මෙය ද කදිම උදාහරණයක් නොවේ ද?

හෙන්රි තෙන්නකෝන් නම් ගේය පදමාලාකරුවාගේ එක් ගේය පදමාලාවක් හැර අන් කිසිවක් ගැන අපි නොදනිමු. ඒ අයගේ අඩුපාඩුවක් හේතු කරගෙන සිදු වූවක් හෝ ඔහු විසින් වෙනත් නිර්මාණයක් බිහි නොකිරීම නිසා සිද්ධ වූවක් විය හැකිය.

බො‍හෝ ගේය පදමාලා රචකයන් කොතරම් නිර්මාණ බිහි කළත් ශ්‍රාවකයා වෙත සමීප වන නිර්මාණ ද අත‍ළොස්සක් වන බව අපි අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත්තෙමු.

පියසිරි විජේරත්නයෝ ද ජනප්‍රිය ගායක ගායිකා ගොන්නට අසු නොවූවෙකි. එලෙස ජනප්‍රිය වීමේ අවශ්‍යතාවක් ද කිසිවිටක ඔහුට නොවූ බව ද ඔහු හා සම්බන්ධවී නිර්මාණ කිහිපයක් බිහි කළ අපි හොඳින් දනිමු. “මහියංගණේ රන් කොත වාසනාවන්” සුනිල් සරත් පෙරේරා රචනා කර පියසිරි විජේරත්නයන් ගැයූ එකම ටෙලි නාට්‍ය ගීතය ද මේ මොහොතේත් මා දෙසවන ගැටෙන්නාක් වැනි ය. උච්ච ස්වරවල පිහිටා ඔහු ගැයූ එකම ගේය පදමාලාව ද එය විය හැකිය.

“බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස

ඉද්ද පනා මල් කැන් පිපිලා

සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද

නැද්ද කණෙයනි රොන් හැදිලා

බැද්දට මල් වරුසාවක් වැහැලද

නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද

 

පාර වටේ ඇති සේරම ගස්

සරු සාර හැඩයි ගෙඩි හට ගැනිලා

ගෙඩි හටගැනිලා

පේර දිවුල් පලු වීර ඉදී එන

වාරෙ වගෙයි මේ පැණි පිරිලා

බැද්දට පැණි වරුසාවක් වැහැලද

ගස්වල ගෙඩි පැණි වැස්සට තෙමිල ද”

 

හෙන්රි තෙන්නකෝන් විරචිත, පියසිරි විජේරත්න විසින් තනුව නිර්මාණය කර සංගීතය සපයා ඔහුත් අමිතා වැදිසිංහත් එක්ව ගායනා කළ සිංහල අලුත් අවුරුදු ගීතයෙහි ඛණ්ඩ දෙකක් පමණකි ඒ. ඕනෑම පද රචනයක් ගායනයේදී ඔහු තමාට අනන්‍ය වන පරිදි සකසා ගන්නා බව ද අප අවබෝධ කරගත් කරුණකි.

 

මෙහි සංගීතයෙහි හා ගායන ලීලයෙහි වෙනසක් ඕනෑම ශ්‍රාවකයකුට දැනෙනු නිසැක ය. මෙය සිංහල අවුරුද්ද ළඟාවෙද්දී ගැමි පරිසරයෙහි විද්‍යමාන සෞන්දර්යය වෙයි. ගමට විනා නගරයට කවර අවුරුද්දක් ද? විවිධ හේතු මත ගමේ ඉඩම් විකුණා ගෙවල් අරගෙන කොළඹ ආ අය අලුත් අවුරුද්ද උදෙසා හෝ ගම් බිම් බලා යෑමෙන් එය මැනවින් තහවුරු වෙයි. මනා රූපකාර්ථවත් භාෂාවක් භාවිත කිරීම හේතු කරගෙන ගම පිළිබඳ වදන් චිත්‍රයක් මවන මේ ගීත නිර්මාණය ද කිසිදා නොමැකෙන ගැමි සුවඳින් අනූන සැබෑ අලුත් අවුරුදු ගීයකි.

විචාරයට, විචාරකයාට විනා නිර්මාණයට හෝ නිර්මාණකාරකයාට ආචාර්ය, මහාචාර්ය පට්ටම් ගෝචර නොවේ. ඒ නිසා අපි ඔහුට අජන්තා රණසිංහ යැයි කියමු. අජන්තා සිංහල ගේය පදමාලා සාහිත්‍යයට වූ සම්මාදම සුළු පටු නොවේ. ඔහු ගුවන්විදුලියේ සරල ගී වැඩසටහන් උදෙසාත් චිත්‍රපට හා වෙනත් නිර්මාණ උදෙසාත්, සිංහල අලුත් අවුරුදු ගීත ගණනාවක් නිර්මාණය කර තිබේ. එහෙත් ඒවා ඒකාකාරි බවින් මිදී නැති බව අපගේ පෞද්ගලික ආකල්පයයි. සිංහල අලුත් අවුරුදු ගී රැසක දක්නට ලැබෙන ඔංචිල්ලාව, රබාන, කොහා, එරබදුවලින් ඈත්වීමක් දක්නට අපහසු ය.

“මී අඹ අත්තේ කොහෝ කොහෝ”

“කොහෝ කොහෝ

කොහේ ඉඳන් කොහෝ කියනවදෝ”

මිල්ටන් මල්ලවාරච්චි සමඟ නීලා වික්‍රමසිංහත්, සනත් නන්දසිරි සමඟ සුජාතා අත්තනායකත් ගායනා කරන ගේය පදමාලාද්වය නිදසුන් පිණිස අවස්ථාවෝචිත පරිදි ගෙනහැර දක්වමු. සනත් නන්දසිරිගේ සංගීතය සමඟ හඬ පෞරුෂයක්, සුජාතා අත්තනායක නම් ගායිකාවගේ විරල සුන්දර සුගායනීය බවත් මුසු වී බිහි වූ දෙවැනි නිර්මාණය අලුත් අවුරුදු සමයේ නිසැකව අපේ සවන් පිනවන්නකි.

“කජු නාඹර රස මී අඹ

ගස් යට වැහි වැහැලා

කොහෝ අන්න අර බලපන්

මී වද පැණි පිරිලා

 

රඹන් හඬට බඹරු නටන

ලස්සන ගම් මැද්දේ

කොහෝ උඹත් ගී කියපන්

සිංහල අවුරුද්දේ”

මෙහිදීත් වාං මාලාවෙන් සම්ප්‍රදාය ආක්‍රමණය නොකළත් සංගීතය හා ගායනය මනාව මුසු වීමෙන් රසාලිප්ත බවින් නොඅඩු ය.

කාව්‍ය නිර්මාණයෙන් ගේය පදමාලා සාහිත්‍යයට අවතීර්ණ වූ රත්න ශ්‍රී විජේසිංහයෝ “වසන්ත මියුරුසර” ජාතික රූපවාහිනිය උදෙසාත්, “චාරුවසන්තය” ශ්‍රී ලංකා ගුවන්විදුලිය උදෙසාත් චිරචිත සිංහල අලුත් අවුරුදු ගීතාවලී වෙයි. දෙවැන්න ගීත නාටකයකි. පළමු වැන්නෙහි සංගීත නිර්මාණය ඔස්ටින් මුණසිංහයන්ගේ වන අතර දෙවැන්න ආනන්ද ගමගේ සංගීතඥයා සතු ය. මේ නිර්මාණද්වය අතුරින් පළමු වැන්නේ ගේය පදමාලා වේ පාරිසරික ක්‍රියාකාරකම් හේතු කරගෙනම සහෘදය සන්තානගතව තිබේ.

“ලන්දෙ උකුළ උඩ

නින්ද ගිහින් හිටි

එරබදු ඇහැ ඇරිලා

අන්න හිනාවෙනවා”

රත්න ශ්‍රී විජේසිංහ සතු කවිකම මේ ආරම්භයෙන්ම ඕනෑම සහෘදයකුට පසක් කර ගැනීම අපහසු නොවේ. අනෙක් රචකයන්ගේ වර්ණිතයම නැවුම් ස්වභාවයෙන් සුචිත ය. අපූර්වත්වය යනු මෙය විනා අන් කවරක් ද?

“පන්සල් කන්දට සිරස නමන්

ඉර දෙයියො ඇවිත් නවතා සක්මන්

තෙල් දැමුව දොළොස්මහ පහන් ටැඹෙන්

ගම්මානෙට එනවද පාන්දරම

රන් එළිය අරන්”

 

මෙය වෙනත් සිංහල අවුරුදු ගීයක නොවූ වාං මාලාවකි. ජැක්සන් ඇන්තනී සහ කුමාරි මුණසිංහගේ ගායන සම්මාදම ද අමතක නොකර ඇගයිය යුත්තකි.

“මල් මද බිසෝ ඉතින්

ඩිංගක් හිනාවෙයන්

අරගෙන රිදී කළේ

රිදී වතුර - ගෙදර යමන්

දෝතක් බොන්න දියන්

 

නෑ මට රජ වාසල

සීනි කන්න කෑදරකම්

අතිරහ කැවුම් කොකිස්

හැම ගෙදරම ඕන තරම්

මේ මල් පිපෙන රටට

තව මොකටද සුවඳ සඳුන්

අපි දෙන්නට දෙන්නා

සුවඳ වෙලා ඉන්නව නම්”

 

“අන්දරේගේ ගීතය” ලෙසින් රොඩ්නි වර්ණකුල සිය රංගනයත් මුසු කරමින් මෙය ශ්‍රාවකානන්දය උදෙසා ඉදිරිපත් කරයි.

රෝහණ වීරසිංහයන්ගේ තනුව හා සංගීතයට, සුනිල් එදිරිසිංහයන් ගයන

“අම්මෙ පෙම්බරා

තොප කර දෙන්නට අවසරා

ජෝර්ජ් මහරජා ගුණකඳ

කරමි සිහි සොඳා”

සුනිල් සරත් පෙරේරා නම් ගේය පදමාලා රචකයා මෙතෙක් බිහි කළ උත්තම ගේය පදමාලාව බව අවිවාදි ය. එවන් වූ මේ නිර්මාණකාරකයා කිසිවිටක ජනප්‍රියත්වය හඹා නොගිය බව ද නිසැක කරුණකි. එනමුත් මොහු උක්ත සංගීතඥයාගේ තනුව හා සංගීතයට ඉහත කී ගායකයා හට රචනා කළ සිංහල අලුත් අවුරුදු ගීය ජනප්‍රියත්වය අපේක්ෂාවෙන් නිර්මිත වූවක් ද යන සැකය පහළ වීම නොවැළැක්විය හැකි කරුණකි.

“රා රා රා බොම්බියේ

මුවා වෙයන් නංගියේ

ජපන් මැන්ඩලින් නදකර

අවුරුදු එයි හන්දියේ

 

උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ

දේසේ හැටියට නොමවෙයි එන එන බාසේ

සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ

මිහිරට ගයමු කොමල්ලියේ සීපද ගීතේ”

 

මේ එහි ස්ථායි හා අන්තරා කොටසක් පමණකි. මෙය අප ඉහත කී සම්ප්‍රදායෙන් බැහැර වුවත්, උතුම් සිංහල අවුරුදු ගීයක් යැයි පැවසීමේ ඉඩහසර තිබේ දැයි සැකයකි. බොහෝ විට අප රට ගායක ගායිකාවෝ විචාර ප්‍රඥාවෙන් තොර වචන අමුණන්නකු පුරුද්දන ඕනෑම වචන මාලාවක් කිසියම් සංගීතයකට ගායනා කරති. එසේ නොවන සුනිල් එදිරිසිංහයන් මෙය ගායනයට පෙර දෙවරක් සිතා නොබැලුවේ ඔහුට ද ජනප්‍රියත්වය අවශ්‍ය වේ යැයි සිතූ නිසා විය හැකිය.

කයින් මිය ගියත් කිසිදා නොමියෙන එච්.ආර්. ජෝතිපාලයන්ගේ සිංහල අලුත් අවුරුදු ගී කිහිපයකුත්,

“මේ අවුරුදු කාලේ හිනාවෙයන් රාලේ

තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ”

 

යනුවෙන් ජයතිස්ස බොරලුගොඩ විරචිත ලයනල් රන්වලයන් සංගීතය සපයා ගායනා කළ නිර්මාණයත්, වසන්ත කුමාර කොබවක “බක්මාසේ මල් මංගලලේ” රූපවාහිනි විචිත්‍රාංගයට විරචිත රචනා කිහිපයකුත් මේ අවස්ථාවේ අපේ මතකයට ඇදී එයි. සනත් නන්දසිරි තනු හා සංගීතය සපයා සනත්, මල්කාන්ති, එඩ්වඩ්, නිර්මලා, කෝලිතභානු මියුරු නදින් ශ්‍රාවකයාට පිරිනැමූ අපගේ ගේයපදමාලා රැසක් ද ඇති නමුත් අද ඒවා ශ්‍රාවක සවනට පිරිනමන්නෝ කවුරු ද?

මෙතෙක් අප විසින් සාකච්ඡා කරන්නට යෙදුණ නිර්මාණ සියල්ල පරයා නැඟී සිටින නිර්මාණද්වයක් ඇති බව අපේ හැඟීමයි.

“සිංහල අවුරුදු ආවා

ගම හිනැහී රස වෙනවා

යෞවනියෝ පේළි සැදීලා

නටති, ගයති, විනෝදෙනී

 

දොඩම් කපලා ඇඹුල් තනාලා

නාන්න යන හැටි බලන් කලූ

සේලේ ඇඳලා නෙරිය තියාලා

මිදුලේ සක්මන් කරයි කලූ

 

දහසක් දීලා වළලු තනාලා

දෑත පටළා බලයි කලූ

දුනකේ මල සේ උළුගෙයි ඇඳ පිට

ඔලිඳ කෙළින හැටි බලන් කලූ”

 

මේ ඉන් පළමුවැන්නයි. මහගම සේකර, අමරදේව සුසංයෝගයේ උත්තම නාද ඵලයයි. සේකර, අමරදේව සුසංයෝගයෙන් බිහි වූ ගේය කාව්‍ය රැසකට චූල සම්ප්‍රදායට අයත් ජන කවියේ ප්‍රභාව ලැබී ඇති බව ප්‍රචලිත කරුණකි. අවශ්‍ය අවස්ථාවලදී ඔවුහු සම්භාව්‍ය සාහිත්‍යය ද සේවනය කළෝය. මේ ඔලිඳ කෙළිය පාදක කරගෙන ලියැවුණු ජනකවි ඇසුරෙන් නව නිර්මාණයකට මග හෙළි කරගත් අමරණීය අවස්ථාවකි. මෙයට මුල් වී ඇත්තේ අලුත් අවුරුදු චාරිත්‍ර අතර ආරෝග්‍යය උදෙසා වෙන් වී ඇති හිස තෙල් ගෑමේ චාරිත්‍රයයි. මෙය බොහෝ අවුරුදු ගීතවල දක්නට නොලැබෙන්නක් ලෙස හැඳින්වීමේ ද කිසිදු වරදක් නොපෙනෙයි. අමරදේවයන් මෙය ඉමහත් කැපවී‍මකින් සංගීතය සපයා ගායනා කරද්දී ගීයක ප්‍රමුඛස්ථානය හිමි වන ස්ථායී කොටසට වඩා දෙවැනි අන්තරා කොටස පුන ගැයියක් කරගෙන තිබේ. මෙය ඔවුන් දෙදෙනාගේ නොව, රසඥතාවෙන් සපිරි සිංහල ගීත ශ්‍රාවකයාගේ පිනට පහළ වූවකි. එය ඒ තරම්ම මනසානන්දනීය වෙයි. ඒ මිහිර ලබාදුන්නාට ඔවුන් සිටින තැනකට පින් පතමු.

මෙහි ස්ථායි කොටස හැර අන්තරා කොටස් දෙක 1935 වර්ෂයේදී ‘සිංහල ජන සම්මත කාව්‍ය යනුවෙන් මහාචාර්ය ගුණපාල මලලසේකර හා ආතර් ද සිල්වා සංස්කරණය කරන ලද කෘතියට ඇතුළත් කර ඇති ඔළිඳ කෙළි වර්ණිත පද්‍යයත් වෙන් කර දැක්වීමකි. මේ ඛාණ්ඩ දෙකම ඔළිඳ කෙළියේ එක් පද්‍යයකි.

දෙවැන්න හෙළ හවුල නියෝජනය කරමින් බොහෝ ගේය කාව්‍ය, පද්‍ය කාව්‍ය, දෘශ්‍ය කාව්‍යයන්ට සම්මාදම් වූ අරීසෙන් අහුබුදු සූරීහුගේ ය. කවියේත්, ගීතයේත් වෙනසක් නුදුටු ආචාර්ය, මහාචාර්යවරුන් මෙය නූතන උසස් පෙළ සිංහල නිර්දේශය උදෙසා නිර්දිෂ්ට කර තිබේ. අහුබුදුවෝ කවියටත් වඩා සිනිඳු ගීතය උදෙසා වුවද සුන්දරයයි සම්මත වචන මාලාවක් ඇතැයි නොසිතූහ. අනභිභවනීය භාෂා ඥානයකට හිමිකම් කී මොහු ඕනෑම අසුන්දර වදනක් සුන්දර ලෙස පරිහරණයට සමත්කම් පෑහ. අහුබුදු සතු කවිකම රැඳී තිබුණේ එතැන බව අපගේ මතයයි.

“පුරුතුගීසිකාරයා රටවල්

අල්ලන්න සූරයා

හතුරු රාජ මාරයා

මුළු ලෝ හොලවන්න වීරයා”

 

“අපේ තුවක්කූ ඉහළම

කාලතුවක්කු

ගහන්න වෙනවා වැදුණොත්

ලෝකෙට මුක්කූ”

 

“මැරු හිටියත් පෙරමුණේ

ඔහු අමුණවු කඩු මුණේ

සිංහලයා පෙර දිනේ

මරුවාටත් මරු වුණේ”

 

“නැගෙන වැටෙන වැටී නැගෙන

පෙරළෙන ලෝකේ

වාසනාවෙ දාදු කැටේ අපේ ජීවිතේ

ගැටෙන් ගැටේ ගැටී වැටේ

මහ දහන් ගැටේ”

 

මේ එවන් උතුම් නිර්මාණ කිහිපයකින් උද්ධෘත අවස්ථා කිහිපයක් පමණකි. මෙවන් භාෂා පරිචයකින් යුතු ගේය පදමාලාකරුවකුගේ රචනා ගායනයට ඉඩ හසර ලද ජෝතිපාලයන් දෙස ලඝුකාරක දෘෂ්ටියකින් බැලිය හැකි ද?

“මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී

මී වදවල පැණි පුරවන්නී

කුරුලු සරින් කන් පිනවන්නී

මුළු ලොව උයනක් කරවන්නී”

 

භාග්‍යවත් මාසයේ භාග්‍යය කාට නම් මීට ඉහළින් වර්ණනා කළ හැකිද? මී පැණිවල පරයන තවත් කිසිවක් ලොව ඇද්ද? මේ ඖෂධීය ගුණයෙන් යුතු මීවදවල පැණි පිරෙන කාල‍යයි. ගතානුගතික ලෙස කෝකිල කූජනය ගැන නොකියන ගුණය තුන්වැනි පාදයෙහි ගැබ් වී තිබේ.

 එය ද ආධුනික නිර්මාණකාරයකුට සපයන නිහඬ උපදෙසකි. අලුත් අවුරුදු සමයෙහි විකසිත වන ගහකොළ ගැන අවසන් පාදයෙන් ධ්වනිත ය.

 

“ජම්බු ගහට රත පොරවන්නී

බක් මී ගහ කහ අන්ඳන්නී

අඹ දලු ළා රත තවරන්නී

ලෝ කත විසිතුරු කැරැලන්නී”

 

පළමු, දෙවැනි, තෙවැනි පාද කොපමණ කවිකමකින් ආඪ්‍ය ද? පලු, පල ආදියෙන් ගහ වැල විසිතුරු වීමෙන් ලොව ද විචිත්‍රවත් වන බව ධ්වනිත කරන්නේ ලෝකය කාන්තාවකට රූපකාර්ථවත් කරමිනි. අවසාන පාදයේ අවසන් වදනේ “ඇ” කාර භාවිය කිසිසේත් රසයට හානියක් නොවන පරිදි යෙදීම ද අහුබුදුගේ කුසලතාව මූර්තිමත් කරයි.

“ගමේ මැ පුහුලන් ඉදවන්නී

සොරුන් බවට වවුලන් ලන්නී

නෙතැනැ වවුලු පළවල් දෙන්නී

ගම් දරුවන් හට වැඩ දෙන්නී”

මේ සංකීර්ණ වත්මන් සමාජය අසංකීර්ණ අතීතයට අත අල්ලා කැන්දන් යෑමකි. ඈත පිටිසර ගමක වුවද අද වවුලු පළක් සොයා ගත හැකි ද? අප කුඩා වියේදී නිදි පැදුරෙන් නැඟිට ගිය ගමන මෙහිදී සිහියට නැගේ. වවුලු පළේ විවිධ පලතුරු වැටී තිබේ. ඒවායින් හොඳ ඒවා පමණක් අපි තෝරා ගතිමු. අපේ පැටි වියේදී නුගේගොඩ පවා රමණීය ග්‍රාමයකි.

“වෙන් වූවන් සිත කලඹන්නී

පැරණි තරහ හැම යට ලන්නී

ආයෙත් එකමුතු කරවන්නී

පවුල් අවුල් විසඳාලන්නී”

 

මෙය සිංහල අලුත් අවුරුද්දේ සැබෑ වටිනාකම ගම්‍ය කරන්නක් නොවේද? වැඩිහිටියෝ මේ වකවානුවේ පැරැණි කෝන්තර අමතක කර දමති. සිංහල අවුරුදු ගීයක රබාන, ඔංචිල්ලාව, කොවුලාට සීමා නොවී කොතරම් දෙයක් පැවැසිය හැකි ද? ආධුනිකයෝ මෙය නොදන්නෝම ය. පරිණත කවි කිවිඳියන්ට ගරු කළ යුත්තේ මෙබැවිනි.

“කෙල්ලන් කොල්ලන් පොබයන්නී

මහලු සිතෙත් කෙළි රිසි ලන්නී

ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී

අවුරුදු කිරිබත උයවන්නී”

 

මේ අදත් බක්මහ සැණකෙළි පවත්වද්දී වුවත්, දක්නට ලැබෙන්නෙකි. මුදල් මත පවත්වන තරග ක්‍රීඩාවලදී වුව වයස් භේදයෙන් තොරව එක්ව සතුටු වීම මෙහිදී මසැසත් , මනැසත් එක්ව ග්‍රහණය කරයි. මේ අනුව අරීසෙන් අහුබුදුගේ ‘මඟුල් ගීය’ සිංහල අලුත් අවුරුද්දේ සිදු වන සෑම දෙයක්ම යථාරූපීව චිත්‍රණය කරන බව කිව යුතුය. මෙය ද අවශ්‍ය පරිදි අමරදේවයෝ සංගීතවත් කර සුගායනීය ලෙස පාඨක සවන් දෝතට පිරිනමති.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.