සාහිත්‍යයෙන් හා සිනමාවෙන් මතු වූ බක්මහ මඟුල | සත්මඬල

සාහිත්‍යයෙන් හා සිනමාවෙන් මතු වූ බක්මහ මඟුල

මීට වසර 115කට එපිට එනම් 1904 අප්‍රේල් මාසයේ සිංහල අවුරුද්දට දෙතුන් දහසකට පෙර මහ ගෙදර පවත්වන ලද උත්සවයකින් කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ වගතුග කීමෙන් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය’ නවකතාව ආරම්භ වෙයි. 1944දී මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියනු ලැබූ මේ නවකතාවේ මීට ශතවර්ෂයකට පෙර සිංහල ගමක සිංහල අවුරුද්ද පවත්වන ලද ආකාරය මොනවට විස්තර වෙයි.

“සිංහල අවුරුද්ද නිමිත්තෙන් අවුරුද්දකට දෙතුන් දවසකට කලින් ගමේ ප්‍රධාන පවුල් තුන හතරකට අලුත් වළන් කත් ගෙනෙන කුඹුල්කාරයෝ බතින් ද අනතුරුව රසකැවිල්ලෙන් ද සංග්‍රහ ලබති. වළන් කත් වෙනුවට ඔවුන් ලබන්නේ සහල්, පොල්, මිරිස්, ලුණු, කැවුම්, අතිරස යන ආදියයි. ඔවුහු ඉතා සන්තෝෂයෙන් ඒ ද්‍රව්‍ය ගෙන ගොස් අඹු-දරුවන් සමඟ අවුරුදු කති. කුඹල්කාරයෝ වළන් කත් සමඟ පොඩි වළන් අඩුක්කුව බැගින් ද ගෙනෙති. මේ පොඩි වළන් කුඩා දැරියන් උදෙසා ය.”

‘ගම්පෙරළිය’ නවකතාවේ එන මේ පසුබිම 1963දී ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් අතින් සිනමාවට නැ‍ඟෙද්දී සිංහල අවුරුදු දා සිදු වන පංචකෙළිය රෙජී සිරිවර්ධන අතින් තිරනාටකය නැඟී ඇත්තේ මෙසේය. මෙහි මුල් නවකතාවේ නැති අමතර දෙබස් රචනා කර තිබුණේ තිස්ස අබේසේකර විසිනි. මේ කොටස එන්නේ අමරනාත් ජයතිලක විසින් ලියන ලද ‘චිත්‍රපට පරිචය’ කෘතියේය.

මහගෙදර විසිත්ත කාමරය

ඇතුළ - දවල්

රූපය එළිය වීම  (Shot fade - in)

පංච ක්‍රීඩාව සූදානම් කරනු සමීප රූපයක්. සෙල්ලම් කිරීමට සූදානම් වන අනුලා, තිස්ස, නන්දා සහ අනිකුත් අය පැදුරුවල වාඩි වෙති.

අනුලා - අවුරුද්ද ගිහිල්ලා තුන් මාසයක් යනකලුත් කත්තිරිනා පංච දැමීම නවත්වන්නේ නෑ.

සෝමදාස - ඒ ගෑනි පංචි කෙළිය පටන් ගන්නෙත් අවුරුද්ද ලබන්න මාසෙකට විතර කලින්

තිස්ස - අම්මල තාත්තල ඉඩ දෙනව නම් මේගොල්ලත් අනිත් අවුරුද්ද එනකල්ම පංච දාවි.

අනුලා - කත්තිරිනාට ව‍ාගේ සූදු මතයක් අපට නෑ.

තිස්ස - එහෙනම් අක්කල දිනූ සල්ලි ගන්නේ නැද්ද?

අනුලා - ඇයි නැත්තෙ? අපි සල්ලි දිනන්නම ආසාවෙන් නෙවි නෙවැ, පංචි දාන්නෙ.

තිස්ස - දිනන්න ආස නැති හින්ද තමයි සණ්ඩු වෙවී පංචි දාන්නෙ.

සෝමා - අපට කත්තිරිනාගේ විත්තියක් ඕනෑ නෑ. ඒ ගෑණි වාගේ බඩු උකස් තිය තිය පංචි දාන්න අපි ගොඩේ ඇවිදින්නෙ නෑ.

පියල් එළියට එයි. කැමරාව ඔහු පසුපස ඉස්තෝප්පුවට යයි.

1962 බලපිටියේ මහකප්පින වලව්වේ ගම්පෙරළිය මේ දර්ශන රූපගත අවස්ථාව නැරැඹීමට මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා මැතිනියත් සමඟ ගියෝය. පංච සෙල්ලම් කරන දර්ශනය රූපගත කිරීමට පෙර එහි රඟපෑ පුණ්‍යා හීන්දෙණිය, ට්‍රිලිෂියා අබේකෝන් (පසුව ගුණවර්ධන), චන්දන ජයවර්ධන (කුඩා තිස්ස ලෙස රඟපෑ) හෙන්රි ජයසේන සමඟ පංචි සෙල්ලම් කරමින් ඉමහත් සතුටට පත්ව ඇත.

මඩවල ඇස්. රත්නායක විසින් ලියූ ‘අක්කර පහ’ නවකතාවේ ද සිංහල අවුරුද්ද ගත කළ කුමාරි අක්කා, සේන හා සඳවති නම් චරිත ඔබට මතකයට නංවා ගත හැකි වෙයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ම අධ්‍යක්ෂණය කළ ‘අක්කර පහ’ චිත්‍රපටයේ රඟපෑ කුමාරි (මාලිනී ‍ෆොන්සේකා) සේන (මිල්ටන් ජයවර්ධන) හා සඳවතී (අනෝමා වත්තලදෙණිය) මේ චරිත ජීවමාන කළහ. සිංහල අවුරුදු කාල‍යේදී ‘ගම්පෙරළිය’ හා ‘අක්කර පහ’ අපට සිහිවෙනු නොඅනුමාන ය.

මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ ‘උපන්දා සිට’ කෘතියේ ඔහු තම බාල විය මතක් කරමින් මෙසේ ලියා තිබිණි.

“සියලුම ගැමියන්ගෙන් අවුරුදු තෑගි ලැබූ දෙදෙනකුගෙන් අපේ තාත්තා ද එකෙකි. අනිකා උපාලිස් හාමි වෙදා ය. අලුත් අවුරුද්දට දෙදවසකට පමණ පෙර සිට තෑගි ගෙන එන්නෝ පෙරහරක් මෙන් පැමිණෙති. බොහෝදෙනකුගේ අවුරුදු තෑග්ග කැවිලි බන්දේසියකි. ගමේ වෙළෙන්දෝ තුන් හතරදෙනා හාල් සිල්ලර බඩු රෙදිපිළි හා කැවිලි බන්දේසිය ද බැවින් ගෙනෙති. හාල් ගෝනියක් හා ලුණු මිරිස්, සීනි, උම්බලකඩ ආදිය බර බාගයක් පටවාගෙන අවුරුද්දට දවසකට පෙර තාත්තා දකින්නට ආ ලොකු වෙළෙන්දෙක් විය.”

විශිෂ්ට පත්‍ර කලාවේදියකු, ග්‍රන්ථ කර්තෘවරයකු වූ ඩේවිඩ් කරුණාරත්න හැටේ දශකයේ ‘දවස’ පත්‍රයට ‘හිතුණාට හිතුණා’ නමින් තීරු ලිපියක් ලියා ඇත. 1962 අප්‍රේල් 14 වැනි සෙනසුරාදා අවුරුද්ද ගැන ලියූ සංකල්පනාවෙන් කොටසකි මේ (පසු කලෙක මේ සංකල්පනා ‘හිතුණාට හිතුණා’ නමින් 1963 වසරේ ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් විය:

“අද අවුරුදු දා මට ඇති වූයේ අවුරුදු හැට හැත්තෑවක් වයස්ගත මහදැනමිත්තකුගේ හැඟීම්. එහෙයින් ඒ අදහස් මහලු ගැමියකුගේ බසින් ම ලිවීම වඩා හොඳ ය.”

දොළොස් මහක් ගෙවී දොළොස් මහක් ලබන දවසෙ පොළොස් ගැටේ වුණත් එකට එක්කහුවෙලා උයන් පිහන් ප්‍රීතියෙන් කන්න ඕනෑයි කියල අපේ කාලේ තිබුණ, නමුත් අන්තිම දුප්පත් පැල්පතේ උනත් අලුත් අවුරුද්දට අලුත් හාලේ කිරිබතක්මයි ඉදුණේ, කිරිබතක්මයි බෙදුණේ, ඒක සකවරුස ගණනාවකට ඉස්සර නත්තා පණත්තා කාලේ හිටම අපට ඇබ්බැහි වෙච්ච ජාතික සිරිතක්.

අපි ඉස්සෙල්ලම බලමු. මේ අවුරුදු මංගල්ලේ මුලපිරුණු හැටි. තමන්ගෙ ජීවිතේ ඔට්ටුවට තබලා මොට්ට යසලාලක තිස්ස රජ්ජුරුවෝ ශුභ මරා දා වසභ රජ්ජුරුවො මේ රටේ රජ කරද්දී දකුණු දඹදිව රජ කරපු අපේ ඔය මොන හඳහනෙන් මුලටම කියන ‘ශාලි - වාහනාරූඪ ශ්‍රී ශුද්ධ ශකරාජ වරසප් ප්‍රමාණයෙන්’ පළමු වැනි අවුරුද්දෙ, ඒ ශක රජ්ජුරුවො සතුරු රාජ පරාජය කරල ජය පැන් බීපු පළහිලව්වක් සිහිවෙන්න එහෙ පවත්තපු උත්සවේ, ඒ හඳහන දිගේම මෙහාටත් ආවයි කියමුකො. කොහෙමෙන් කොහෙමෙන් වුණත් දැන් ඒක අපේ පොදු ජාතික උත්සවයක් වෙලා තියෙනවා. අවුරුද්දක් මුළුල්ලේ ඇති වුණු දුක් කරදර අමතක කරලා, තරහ මරහ ඉවර කරලා, වැරදි සමා කරවාගෙන, කා බී කෙළි සෙල්ලමෙන් ගත කරන්න අපට තියෙන එකම උත්සවේ මෙන්න මෙච්චරෙයි කිව්වත් වරදක් නැහැ. කොහා අඬන කාලෙට, බක් මහේ ‍කොස් ගස් ගෙඩි බරින් බර වෙන කාලෙට, අහේනි කාලේ තෝර ගහ යටට ඇස්වහ දම දමා බොහොම අමාරුවෙන් ගිය ඇත්තනුත් අළු ගසා දමා හරහට කෙට්ටු වන කාලෙට කැවුම් කොකිස්වල ඉව අල්ලන කෝඳුරු සේනාව උඩහල්ලේ ලණු පොටවල් දිගේ එල්ලී ගිමන් හරින කාලෙට, රැකී රස්සාවට දුර බැහැර ගිය කොයි කවුරුත් අත හිත පුරා ගම රට බලා එන කාලෙට

“අවුරුද්දත් කිට්ටු කිට්ටු

එරබොදු මල් මොට්ටු මොට්ටු”

කියන්නා වාගේ එරබදු මල් විතරක් ද, නැහැ, වෙන මොන මලුත් මොට්ටු දමාගෙන එන කාලෙට අපි දන්නවා අලුත් අවුරුද්ද ළං වෙච්ච බව.

ජිනදාස විජයතුංග හා මාගම් තෙන්නකෝන් යන ලේඛකයන් තම ජීවන අත්දැකීම් අතර අලුත් අවුරුදු උත්සව ගැන සඳහන්ව ඇත. 1902 ගාල්ලෙන් මයිල දහතුනක් දුරින් පිහිටි ඌරල ගමේ උපත ලැබූ ජනදාස විජයතුංග ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ ‘ට්පචඵඵ ජ්ධප ර්ර ජ්ඥඥබ’ කෘතියේ (‘මා පයට තණ නිල්ල’ නමින් මේ කෘතිය නිව්ටන් ජයසේන විසින් සිංහලයට පරිවර්තනය කර ඇත). ‍මීට ශත වර්ෂයකට පමණ පෙර ගාලු පළාතේ ඌරල ගමක සිංහල අවුරුදු අසිරිය මොනවට විස්තර කර ඇත:

“අවුරුද්ද මුළුල්ලේ ම අපි බලාපොරොත්තුවෙන් සිටින දෙය දැන් දැන් මේ අත ළඟට ම ඇවිත් සේ ය. හමන සුළඟින් පවා ළං ළංව එන්නා සේ දැනේ. කඳු බෑවුමේත් පැල්පත්වල හා මාළු අල්ලන්නන් ජීවත් වන ගම්වලත් සෑම තැනකට මේ අවුරුදු හැඟීම් ඇත. දැන් ගොවීන්ගේ ප්‍රශ්නය මෙයයි. අලුත් අවුරුද්දට පෙර ගොයම පැගී කපා ගැනීමට හැකිවේ ද? යන්නයි. ඔවුහු දවසක් නෑර තම කුඹුර වෙත ගොස් තම ඇස් ඉදිරියේම ලා කොළ හා කහ පැහැයෙන් දිලිහි දිලිහී රන්වන් පාටට හැරී පැසෙන ගොයම් කරල් දෙස බලා සතුටු වෙති. අවුරුද්දට පෙර අස්වැන්න ගෙට ගැනීමට තරම් ඇතැම් ගොවීන් වාසනාවන්ත ය.”

ප්‍රවීණ ලේඛකයන්, කලාකරුවන්, කවියන්, ගේය පද රචකයන් සිංහල අලුත් අවුරුද්ද පසුබිම්කර නිර්මාණ කර ඇත. ගුණදාස අමරසේකරගේ ‘අවුරුදු සිහින’ කේ. ජයතිලකගේ ‘එකගෙයි අවුරුද්ද’ කෙටිකතා අවුරුදු සමයේ අපට එකවර මතකයට එන නිර්මාණය. මඩවල එස්. රත්නායක, සෝමවීර සේනානායක, ඇරැව්වල නන්දිමිත්‍ර, ඩී. බී. කුරුප්පු, ගුණදාස ලියනගේ ඇතුළු ලේඛක ලේඛිකාවන් ද මේ තේමාවෙන් නිර්මාණාත්මක කෙටිකතා ලියා තිබිණි.

 

තම ස්වයං අාපදානවල ප්‍රවීණ ලේඛකයන් නිරනුමානව ම සිංහල අලුත් අවුරුද්ද ගැන කීමට අමතක කර නැත. කෑගලු දිසාවේ අටුළුගම කෝරලයේ මාහින්ද කන්දේ තම උපන් ගම්මානයේ අලුත් අවුරුදු සම‍ය ගැන මාගම් තෙන්නකෝනුත් කර ඇති විස්තරයකින් කොටසකි මේ.

“1936 සිංහල අලුත් අවුරුදු සමය එළැඹී තිබිණි. එසමයේ එක් ප්‍රබෝධවත් උදෑසනක් මට මතක ය. පලබර බක් මහේ නැවුම් සුවඳ දසත විසිරෙමින් පැතිරිණි. අපගේ අවට පලතුරු ගස්වල ගෙඩි සරුවට පල ගෙන තිබිණි. පිළිවෙළකට නැතිව සිටුවන ලද මල් ගස් නා නා වර්ණ මල්වලින් ගැවසී ඇත. ඉදෙන ගෙඩි කජු පුහුලං අඹ කෑමට වන් කපුටු, ලේන, මලිති හඬ මිස වෙනත් හඬක් නෑසේ. පායන හිරුට මුහුණලා පිහිටි මිදුලේ සුදු වැලි කැට හිරු රස් පරාවර්තනය කරමින් දීප්තිමත් සුදු ආස්තරයක් ලෙස මිදුල පුරා පැතිර තිබේ.”

‘අපේ සංස්කෘතිය’ නමින් විශාල ග්‍රන්ථයක් ලියූ බද්දේගම විමලවංශ හිමියන් ‘සිංහල සිරිත් ඔප ගන්වන බක්මහ මඟුල’ නමින් විශේෂ ලිපියක් ‘සිළුමිණ’ (1973-04-06) ලියමින් මෙසේ ලියා තිබූහ. එහි සඳහන් කර ඇති ආකාරයට අවුරුදු උත්සවයේදී තම පවුලට සම්බන්ධ කිසිවකු අමතක නොකිරීමට ද විශේෂයෙන් ගම්බද ජනතාව වගබලා ගන්නා බව ය. නුවර යුගයේ අගභාගයේ ලියැවුණු ‘අවුරුදු මාලය’ නම් කවි පොතේ සිංහල අවුරුද්ද ගැන සිත් ගන්නා විස්තරයක් ද ඇති බව එහි සඳහන් කර ඇත:

“අවුරුද්ද වෙනුවෙන් දෙන තෑගි බෝග ගැන ද ඒවා දිය යුත්තන් ගැන ද විශේෂ විස්තරයක් කරයි. වෙද හෙදකම් කළ වෙදා, යකැදුරා, ගෙදරට හුනු සැපයූ තැනැත්තා, බෙර ගසන්නා, රෙදි නැන්දා, අවුරුදුපත් බෙදූ අය වැදගත් නිලධාරීහු මේ වට්ටෝරුවට ඇතුළත් වෙති. මේ අයට දිය යුතු හාල් පොල්, දුරු, මිරිස්, ඇඳුම් කැඩුම්, මිල මුදල් ගැන ද විස්තර කරයි. මේ සෑම දෙනාම අවුරුදු සංග්‍රහ ලැබිය යුත්තෝ ය.”

එසේ ම එකල රබන් ගැසීම විනෝදය මෙන්ම ආරංචි දීමට ද යොදා ගන්නා ලදි. රට මැද පාලකයන්ට ඉක්මනින් යම් යම් අදහස් දීම සඳහා රබාන පාවිච්චි කර තිබේ. සමහර රබන් පදවලින් කියන්නේ එවැනි අදහස් ය. “කොක්කු දෙදහසක් පුත්තලමට ගොඩ බැස සිටිතෙයි තෙයි” ආදි රබන් පදවලින් කියන්නේ සුදු මිනිසුන් ලංකාවට ගොඩ බට ආරංචි යයි. අවුරුදු ක්‍රීඩා සකස් වී ඇත්තේ කවර කවර අවශ්‍යතාවලට උචිත අන්දමින් දැයි මේ කරුණුවලින් තේරුම් ගත හැක්කේය. මේ උත්සවයේදී බාලයන් පමණක් නොව මහලු අය ද එක ලෙසට විනෝද වූ බව ‘අවුරුදු මාලයේ’ එන මේ කවෙන් තේරුම් ගත හැකියි:

අදයි අපිත් කෙළි සෙල්ලම්

කරන දිල සියල්

නුඹයි මමයි ගසමු නෑනො

කියා පද දවුල්

බොල අපට දියව් කියා

‍අනේ බෙර කබල්

ගසයි නාකි ගෑණු

බෙරේ කොටන ලෙස මොහොල්

 

මේ කවිවලින් පැහැදිලි වන්නේ වයසක අය පවා විවෘතව හැඟීම් ප්‍රකාශ කරමින් කෙළි සෙල්ලම්ලට සහභාගි වූ බවයි. කතුරු ඔන්චිල්ලාවේදීත් පංච දැමීමේදීත් ගැහැනු පිරිමි වෙනසක් නැතිව එක් වී විනෝද වූහ. වයස යන විට ගේ මුල්ලකට වී සිටීම හෝ සිල් රැකීමේ යෙදීම හෝ බෞද්ධ අදහස නොවේ. එය හින්දු මතයකි. බෞද්ධ ඉගැන්වීමේ අන්දමට සිල් රැකීමට මෙන්ම ක්‍රීඩා කිරීමට හා විනෝද වීමට වයස සීමාවක් නැත.”

මේ ආකාරයෙන් සාහිත්‍යයෙන්, සිනමාවෙන් නිරූපිත සිංහල අලුත් අවුරුද්ද කලා ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කරමින් ඉදිරියටත් නොනැසී පවතිනු ඇති.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.