ප්‍රතිබිම්බ පුපුරවා හැරීම | සත්මඬල

ප්‍රතිබිම්බ පුපුරවා හැරීම

මේ දිනවල දහවල දිගු ය. විඩාබර හිරු සිය රශ්මිය වලාකුළු අතර සඟවා නික්ම ගියේ දැන් ටිකකට කලිනි. ගංගාරාම වැව් තීරය ඝෝෂාවෙන් ම ‍බොහෝ කලබලයට පත්ව තිබිණි. වැව දෙසට මුහුණ ලා තැබූ සිමෙන්ති බංකුවක හිඳ මම වැව් තීරය දෙස බලා හුන්නෙමි. වැව් දිය වරෙක ගැඹුරුව නිසල ව සිටී; තවත් වරෙක හමන මඳනලත් සමඟ ම රැලි තරංග විහිදුවමින් තාලයකට පැද්දෙයි. වැව් දියත් ජීවිතය සේ ම ය. වරෙක නිසල ව සිටින එය තවත් වරෙක කුඩා මඳනලකට පවා සසල වන්නේ ය; කලබල වන්නේ ය. ජීවිතය සේම බොහෝ දේ දරා ගන්නා වැව් දිය නිහඬ ව ඒ සියල්ලට ම උපේක්ෂාවෙන් මුහුණ දෙන්නේ ය. මවුපියන් පරිද්දෙන් ම ඒ සියල්ල ම තම ඇ‍කයේ සඟවා ගෙන මතුපිටට ඒ කිසිවකුත් නොපෙන්වා ශාන්ත ව ඉන්නේ ය.

ඈතින් ඇසුණු වෙඩි හඬකට බිය වූ අවට ගස්වල සැඳෑව ගත කරන්නට පැමිණ සිටි කාක්කෝ කලබල වූහ. කාක්කන්ගේ කරවුවෙන් මුළු පරිසරය ම වැසී ගියේය. ගලා එමින් තිබූ අන්ධකාරය තවත් සිය දහස් ගුණයකින් වැඩි කරමින් මුළු අහස්තලය ම නොපෙනී යන ලෙසින් කාක්කෝ වියනක් ව අහස්තලය වසා ගත්හ. නිහඬ බව බිඳ පරිසරය ම ගිනි ගන්නට මහ වේලාවක් ගත වූයේ නැත. ජීවිතය සේ ම ක්ෂණයෙන් එය ද ගිනි ගත්තේ ය. සිතාමතා කිසිවකුත් කලබල නොවන්නා හා සේ ම කාක්කන් නිසා ගිනිගත් පරිසරය ද එසේ වූයේ ක්ෂණික ව ම ය. කරවු කළ කාක්කෝ වෙඩි හඬ අමතක ව ගිය ඇසිල්ලේ නැවත තුරු හිස් මත සැඳෑව ගත කරන්නට වැහුවෝ ය. කාක්කන්ට බොහෝ දේ අමතක වන්නට ගත වන්නේ සුළු කාලයකි; හරියට ම මිනිසුන්ට මෙනි.

සොබාදහම බොහෝ දේ මෙසේ ඇති කළ ද එයට චින්තනය ඇති කළ හැකි වී ද? මහා ගල් පර්වත ඒ මැදින් ගලා එන සොඳුරු දිය ඇලි සියවස් ගණන් සිය මවුබිමට යුතුකම් ඉටු කරන වනස්පති, ගංගා සමුදුරු ආදි විස්මයජනක සොබාදම් නිමැවුම් මිනිසාගේ නිර්මාණ නොවේ. මිනිසා කරන්නේ ඒවා විනාශ කිරීමට ක්‍රම සෙවීම ය; එසේත් නැති නම් සිය චින්තනය මෙහෙයවා විනාශකාරී යුද උපකරණ සෑදීම ය. යහපත් දේට මෙන් ම අයහපත් දේට ද චින්තනය මෙහෙයවීම මිනිසාගේ ස්වභාවයයි. එහෙත් අප ඉදිරියේ ඇති බොහෝ දේ නිරාකරණය කර ගැනීම සඳහා චින්තනය කොතෙක් ඉවහල් වී ඇති දැයි ඔබට කෙදිනක හෝ සිතී තිබේ ද? එපමණක් නොවෙයි, අවම වශයෙන් චින්තනයේ ක්‍රියාකාරිත්වය කෙබඳු දැයි හෝ අප සිතා තිබේ ද?

අපේ සිතිවිලි ඇති වන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය නිසා ය. මොළයේ ක්‍රියාකාරීත්වය නිසා හටගන්නා දැනුම ප්‍රායෝගික තලයට ගෙන එන්නේ අත්දැකීම් මඟිනි. ලක්ෂ සංඛ්‍යාත වූ අත්දැකීම් සම්භාරයක් මිනිසා සතු ය. ඒ අත්දැකීම් නිසා යථාර්ථය හා ගැළපෙන සේම නොගැළපෙන දැනුම් සම්භාරයක් ද හට ගෙන තිබේ. ඒ දැනුම ස්මෘතියෙන් ඊට ලැබෙන ප්‍රතිචාරය චින්තනයයි. මඳක් සිතුවොත් ඔබට ම එය වැ‍ටහෙනු නියතයි.

අපි මේ ගැටලුව මඳක් ලිහිල් කරගනිමුද? ඔබට, මට අත්දැකීම් තිබේ. ඒ අත්දැකීම්හි ඵලය වන්නේ අප වෙත ඒකරාශී වූ දැනුමයි.

ඒ දැනුම ඇත්තේ ඔබේ, මගේ මතකයෙහි ය. මතකයෙන් හෙවත් ස්මෘතියෙන් සමන්විත ඒ දැනීම චින්තනය බිහි කරයි. ඔබ ම ආදර්ශයට ගෙන මේ ගැන සිතා බලන්න. අත්දැකීම් නැති නම් ඔබට සිතන්නට හැකියාව ලැබෙන්නේ නැත.

ඔබ යම් යම් දේට ප්‍රතිචාර දක්වන්නේ තම අත්දැකීම් ඔස්සේ පහළ වූ දැනීම හේතුවෙන් නොවේ ද?

ඔබට යම් අභියෝගයක් හෝ ප්‍රශ්නයක් පැනනඟින්නේ නම් ඔබ ඊට ප්‍රතිචාර දක්වන්නේ චින්තනය උපයෝගි කරගනිමිනි. එහෙත් ඔබට දැනී තිබෙනවා ද අත්දැකීම් ඔස්සේ තිළිණ වූ දැනීම බොහෝ විට සීමාසහිත බව. කිසි ම විටෙක කිසියම් දෙයක් ගැන පරිපූර්ණ වූ දැනුමක් උත්පාදනය නොවන‍්නේ ය. යථාර්ථයේ සත්‍යය එයයි. එපමණක් නොවෙයි; ඒ ඔස්සේ හට ගන්නා චින්තනයත් සීමාසහිතයි. චින්තනය කොතරම් රමණීය වුවත් කදිම පන්සලක්, විස්මය දනවන පිළිමයක්, ශ්‍රේෂ්ඨ නවකතාවක් හෝ කාව්‍යයක් යනාදි මේ කවර අන්දමේ චින්තනයේ ප්‍රතිඵලයක් ගෙන බැලුවත් පෙනෙන්නේ ඒවායේ අඩුලුහුඬුකම් ඇති බව ය. එනම් සීමාසහිත බව ය; ඊට වඩා හොඳ දෙයක් නිර්මාණය කරගත හැකි බව ය. ඔබට ම ආදේශ කරගෙන බලන්න, ඔබ කරන ඕනෑ ම දෙයක් ඊට වඩා හොඳින් කරන්නට තිබුණා නොවේ දැයි ඔබට ඒ ක්‍රියාවෙන් අනතුරුව සිතෙනවා නොඅනුමානයි.

ඔබේ ඒ චින්තනයේ ප්‍රතිඵල වශයෙන් ඔබ විසින් ම විවිධ අය අරභයා විවිධ ප්‍රතිබිම්බ සාදාගෙන ඇත. ඔහු මෙසේ ය; ඔහුගේ නිර්මාණ කෞශල්‍ය මෙපමණ ය; ඔහුගේ චරිත ලක්ෂණ මේ වැනි ය යනාදි වශයෙන් ඔබ විවිධ ප්‍රතිබිම්බ සාදා ගෙන ඇති බවට සැක නැත.

මා ඔබට ආරාධනා කරන්නේ ඔබ ඔබෙන් ම වටහාගත් පරිද්දෙන් මේ සීමාසහිත අත්දැකීම් ඔස්සේ ඔබ විසින් සාදාගත් ප්‍රතිබිම්බ පුපුරුවා හරින ලෙසයි. ඒවා දෙස තවත් එක් කෝණයකින් පමණක් නොබලා ඒවා ක්ෂණයෙන් වෙනස් විය හැකි බැව් වටහාගෙන ඒ දෙස විවෘතව බලන ලෙසයි. එවිට ඔබට මේ ලෝකය වෙනස් ම අයුරකින් පෙනෙනා බැව් මට සහතික වශයෙන් ම කිව හැකි ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.