ප්‍රකාශන අයිතිය අභියෝගයට ලක් වෙයි | සත්මඬල

ප්‍රකාශන අයිතිය අභියෝගයට ලක් වෙයි

ඈත අතීතයේදී ප්‍රකාශන අයිතිය පිළිබඳ නීතියක් අවශ්‍ය නොවූයේ වර්තමානයේ මෙන් නිර්මාණයක පිටපත් විශාල වශයෙන් ප්‍රතිනිෂ්පාදන කර අලෙවි කිරීමක් සිදු නොවූ බැවිනි. අතීතයේදී පොත්පත් සම්පාදනය සඳහා සේද රෙදි, තඹ, රන් පත් සහ පුස්කොළ ආදි අමුද්‍රව්‍ය භාවිත කෙරිණි. ඒ අමුද්‍රව්‍ය භාවිත කරමින් සම්පාදනය කළේ පිටපත් එකක් දෙකක් හෝ කීපයක් පමණි. ඊට‍ හේතු වූ කාරණා රාශියකි. ඒ අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාව ඉන් එකකි. අතීතයේදී සාක්ෂරතාවෙන් යුතුව සිටියේ සමාජයේ අතළොස්සකි. අකුරු ලිවීම සිදු කළ යුත්තේ ද මනා පුහුණුවකින් පසුව ය. විශේෂයෙන් පුස්කොළයක අකුරු ලිවීම විශේෂ පුහුණුවකින් පසු කළ යුතු කාර්යයක් විය. එසේ ලියන ලද පොතපත කියැවීමට හැකියාව ඇති පිරිස ද සීමාසහිත විය. ඒ නිසා පොත්පත්වල පිටපත් විශාල වශයෙන් නිපදවීමේ අවශ්‍යතාවක් ද නොවීය. අතීතයේදී පාඨකයන් වෙනුවට සිටියේ ශ්‍රාවක පිරිසකි. අකුරු දන්නා අයකු ලවා පොතපත කියවාගෙන අසා සිටීමේ පුරුද්දක් පැරැණි සමාජයේ පැවැතිණි.

පොත්පත් සම්පාදනය කිරීමේ දුෂ්කර ව්‍යායාමයේ යෙදුණ කතුවරුන්ට රජවරු ගම්බිම් සහ ධනධාන්‍ය පිරිනැමීමෙන් අනුග්‍රහය දැක්වූහ. එය කර්තෘ භාග ලෙස සඳහන් නොවුවද පොතපත් ලියන පුද්ගලයන් ඒ සඳහා දිරිමත් කිරීමත් ඔවුන්ට වෙනත් වෘත්තියක නොයෙදී පොත්පත් සම්පාදනයෙහි යෙදීමට ඉඩකඩ සලසාදෙනු වස් මේ පරිත්‍යාග සිදු කරන ලද බව පෙනී යයි. පොතපත ලියන ලේඛකයන්ට පමණක් නොව පුස්කොළවල ඒ ලේඛන පිටපත් කරන අයටත් ගෙවීම් කරන ලද බවට වාර්තා වී ඇත. අරමුණු අතින් බලන විට එදා රජවරුන් සිදු කළ ත්‍යාග පිරිනැමීමත්, වර්තමානයේ කර්තෘ භාග ලෙස හඳුන්වා කරන ගෙවීමත් අතර ප්‍රතිපත්තිමය සමානත්වයක් ඇත.

ප්‍රකාශන හිමිකම් සංකල්පය ආරම්භ වූයේ යුරෝපයේ මුද්‍රණ ශිල්පයේ ව්‍යාප්තියක් සමඟ ය. පොතපත ලිවීමට කඩදාසි යොදා ගැනීම ආරම්භ වීමත් එතෙක් කල් අතින් ලියනු ලැබූ සීමාසහිත පිටපත් සංඛ්‍යාව ලබා ගැනීමේ දුෂ්කර කාර්යය වෙනුවට යන්ත්‍රානුසාරයෙන් පිටපත් විශාල සංඛ්‍යාවක් එක්වර ලබා ගැනීමට හැකි වීම බ්‍රිතාන්‍යයේ නව වෙළෙඳ ව්‍යවසායක් ඇරැඹීමට හේතු විය. ඒ ව්‍යවාසය ව්‍යාප්ත වීමත් සමඟ කඩදාසි නිෂ්පාදනය සහ මිලට ගැනීම, මුද්‍රණාල සඳහා ගොඩනැගිලි ඉදි කිරීම, මුද්‍රණ යන්ත්‍ර මිලට ගැනීම, ශ්‍රමිකයන්ට වැටුප් ගෙවීම ආදි කාරණා සඳහා විශාල මුදලක් ආයෝජනය කිරීමට මේ නව ව්‍යවසායකයන්ට සිදු විය. තමන්ගේ ආයෝජනය මඟින් ප්‍රමාණවත් කාලයකදී ප්‍රතිලාභ ලබා ගැනීමට නව ව්‍යවසායකයෝ අපේක්ෂා කළහ.

එහෙත් පොත්පත් පළ කිරීම පිළිබඳ නීති නොපැවැති හෙයින් අනවසරයෙන් පොත්පත් මුද්‍රණය කර අලෙවි කිරීම නිසා මේ නව ව්‍යවසායට පිවිසි බොහෝ ව්‍යාපාරිකයෝ තමන් ආයෝජනය කළ මුදලවත් ආපසු උපයාගත නොහැකිව බංකොලොත් වූහ. මේ නිසා පොත්පත් මුද්‍රණය කිරීම සඳහා කිසියම් නෛතික රැකවරණයක් සැලසීමේ අවශ්‍යතාව පැන නැඟිණි. එබැවින් එංගලන්තයේ සහ ප්‍රංසයේ පොත්පත් මුද්‍රණය කිරීමේ අයිතිය රජතුමාගේ වරප්‍රසාදයක් සේ සලකනු ලැබිණි. ජර්මනියේ ප්‍රාන්තවල විසූ කුමාරවරුන්ට මේ බලය ලැබිණි. රජතුමා සතු මේ වරප්‍රසාදය පිළිබඳව 17 වැනි සියවසේදී කර්තෘවරුන්ගේ දැඩි විවේචන එල්ල වන්නට විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් 1709 වර්ෂයේදී ඈන් ආඥා පනත පනවනු ලැබීය. මෙය ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් එංගලන්තයේ පැනවූ මුල්ම ආඥා පනත ලෙස සැලකේ. මෙමඟින් පොත්පත් මුද්‍රණය කිරීමට අවසර දීමේ අයිතිය රැජනට පැවැරිණි.

18 වැනි ශතවර්ෂයේ ප්‍රකාශන හිමිකම් ක්ෂේත්‍රයේ විවිධ ආරවුල් සහ නීතිමය ගැටලු පැන නැඟිණි. එය අවසන් වූයේ 1774 ඩොනල්ඩ්සන්ට එරෙහිව බෙකට් නඩුවේදී සාමි මන්ත්‍රී මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයෙනි. ඒ තීරණයට අනුව පොත්පත් මුද්‍රණය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීමේ පරම අයිතිය කර්තෘවරුන්ට හිමි විය.

මේ සම්බන්ධයෙන් ප්‍රංසයේ පැවති තත්ත්වය ප්‍රංස විප්ලවයත් සමඟ වෙනසකට බඳුන් විය. විප්ලවය විසින් රජතුමා සතු සියලු බලතල සහ වරප්‍රසාද ඉවත් කරනු ලැබීය. 1791 සහ 1793 වර්ෂවලදී ප්‍රංසයේ ව්‍යවස්ථාදායක සභාව විසින් ආඥා දෙකක් නිකුත් කරනු ලැබීය. එමඟින් ප්‍රංස ප්‍රකාශන හිමිකම් නීතියේ පදනම ද වැටිණි.

1790 සිට ක්‍රියාත්මක වූ අමෙරිකා එක්සත් ජනපද ප්‍රකාශන හිමිකම් නීතියෙන් පොත්, සිතියම් සහ සටහන් එය ප්‍රථම වරට ප්‍රසිද්ධ කළ දින සිට වසර 14ක් දක්වා ආරක්ෂා කරනු ලැබීය.

ප්‍රකාශන හිමිකම් අන්තර්ජාතික මට්ටමින් ආරක්ෂා කිරීම ආරම්භ වූයේ ජර්මනියෙනි. ජර්මනියේ වාසය කළ ඛාන්ට් ඉමානුවෙල් (1724 – 1804 වැනි දාර්ශනිකයන්ගේ අදහස වූයේ ප්‍රකාශන හිමිකම් ආර්ථික අයිතිවාසිකම් පමණක් ලබාදෙන නීතියක් පමණක් නොවිය යුතු බව ය. කර්තෘවරයකුගේ නිර්මාණයක ඔහුගේ පෞද්ගලිකත්වය පිළිබිඹු වෙයි. ස්වාභාවික නීතිය යටතේ ඔහුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා විය යුතුය. මේ සංකල්පය යුරෝපයේ වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් කර්තෘවරුන්ගේ සදාචාර අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය විය.

ප්‍රකාශන හිමිකම් නීතියේ ප්‍රධාන අරමුණ ආර්ථික, විද්‍යාත්මක, කාර්මික, සාහිත්‍ය සහ කලා ක්ෂේත්‍රවල බුද්ධිය මෙහෙයවා සිදු කරන ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන් බිහි වන නිර්මාණවලට නෛතික ආරක්ෂාව ලබාදීමයි. ඕනෑම රටක සමාජ, ආර්ථික සහ සංස්කෘතික සංවර්ධනය උදෙසා නිර්මාණ බිහි වීම අත්‍යවශ්‍ය සාධකයක් බව පිළිගත් සිද්ධාන්තයකි. එබැවින් නිර්මාණ සහ නිර්මාණකරුවා රැක ගැනීම රජයක වගකීමක් වෙයි. නිර්මාණකරුට තම නිර්මාණය වෙනුවෙන් සීමිත කාල සීමාවකට ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීමට ඉඩ සලසා දීම මෙවැනි නීතියක් සම්පාදනය කිරීමේ අදහසයි. නිර්මාණයක් පොදු ජනතාව අතට පත් වීමෙන් පසු නිර්මාණකරුගේ සදාචාර සහ ආර්ථික අයිතිවාසිකම්වලට හානිකර තත්ත්වයක් ඇති වුව හොත් ඔවුන්ව ඉන් ආරක්ෂා කිරීම රජයේ වගකීමකි. තමන්ට ආර්ථික ප්‍රතිලාභයක් නොලැබෙන්නේ නම් සහ තමන්ගේ නිර්මාණවලට නෛතික ආරක්ෂාවක් නොසැලසෙන්නේ නම් කිසිවකු නිර්මාණ කිරීමට ඉදිරිපත් නොවනු ඇත. මෙවැනි ආරක්ෂාවක් සලසා නොතිබුණ හොත් තුන්වැනි පාර්ශ්වයක් විසින් නිර්මාණ හිමිකරුගේ අවසරයකින් තොරව ඔවුන්ගේ නිර්මාණ ප්‍රතිනිෂ්පාදනය කර ලාභ උපයනු ඇත.

නිර්මාණකරුවකුට තම නිර්මාණය වෙනුවෙන් ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට ලබාදී ඇත්තේ සීමිත කාලසීමාවකි. කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව නිර්මාණයක් කළ අවස්ථාවේ ම මේ අයිතිය හිමි වෙයි. අන්තර්ජාතික බර්න් සම්මුතියට අනුව ඒ කාලසීමාව කර්තෘගේ ජීවිත කාලය සහ ඔහුගේ මරණින් පසු වසර 50ක කාලයකි. අපේ දේශීය නීතිය අනුව නම් ඒ කාලසීමාව කර්තෘගේ ජීවිත කාලය සහ ඔහුගේ මරණින් පසු වසර 70කි. කර්තෘගේ මරණින් පසු ඒ බලය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙනුයේ ඔහුගේ උරුමකරුවන්ටයි. ඒ කාල සීමාව ඉකුත් වීමෙන් පසු එය පොදු අයිතියක් බවට පත් වෙයි. එවිට ඕනෑම කෙනකුට අවසරයක් නොලබා එය ප්‍රති නිෂ්පාදනය කර අලෙවි කළ හැකිය. එහෙත් කර්තෘගේ නම වෙනස් කිරීම හෝ නිර්මාණය විකෘති කිරීමට අයිතියක් නැත.

වර්තමාන ඩිජිටල් තාක්ෂණය හමුවේ ප්‍රකාශන හිමිකම් නීතිය අභියෝගයකට ලක් වී ඇත. අන්තර්ජාලය, වයි ෆයි කලාප හරහා නිර්මාණකරුවන්ගේ නිර්මාණ අව භාවිත කිරීම ශීඝ්‍රයෙන් වැඩි වී ඇත. මේ නිර්මාණ මංකොල්ලය මැඩ පැවැත්වීමට දැනට පවත්නා නීතිරීති කිසිසේත් ප්‍රමාණවත් නොවේ. එබැවින් මේ පිළිබඳ ඩිජිටල් තාක්ෂණය ද යොදාගෙන විසඳුම් සෙවීමේ වැඩ පිළිවෙළක ලෝක බුද්ධිමය දේපළ සංවිධානය දැනටමත් යෙදී සිටී.

සාහිත්‍ය නිර්මාණ නිදහසේ පරිහරණය කිරීමට ඉඩ සැලසීම වැදගත් වුවත්, ඒ නිසා නිර්මාණවල හිමිකරුවන්ට ප්‍රතිලාභ නොලැබෙන්නේ නම් ඔවුන් තවදුරටත් නිර්මාණ කිරීමෙන් වැළකී සිටීමට ඉඩ ඇත. එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීම ද බලධරයන්ගේ මෙන්ම සාහිත්‍ය සහ කලාකාමී රසවතුන්ගේ ද වගකීමකි. ව්‍යාපාරිකයන්ට නම් පොතපත අවසරයකින් තොරව පළ කිරීමට ඉඩ ලබාදීම ඉල්ලමක් පෑදීමකි. පොත්පත් එහි කර්තෘවරුන්ගේ අවසරය නොගෙන ගෙඩිපිටින් අන්තර්ජාලයට සහ වෙබ් අඩවිවලට ඇතුළු කිරීමට සැදී පැහැදී සිටින නවතම ජාවාරමක් ක්‍රියාත්මක වෙයි. ඒ පොත්පත් අන්තර්ජාලයට සහ වෙබ් අඩවිවල පළ කිරීමට ඔවුහු හොර රහසේම විශාල වශයෙන් මුදල් ලබාගනිති. එහෙත් ඒ පොත්පත්වල සැබෑ හිමිකරුවෝ මේ පිළිබඳ කිසිවක් නොදනිති. සාහිත්‍ය සහ කලාත්මක නිර්මාණ ඕනෑම කෙනකුට නිදහසේ පරිහරණය කිරීම ඉඩදීම සාධාරණිකරණය කිරීමට උත්සාහ දරන්නෝ මේ ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ නියෝජිතයෝයි. මේ ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ නිර්මාණකරුවන් අවදියෙන් සිටිය යුතු කාලය එළැඹ ඇත.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.