ශ්‍රී ලංකාවේ වෙසක් සංස්කෘතිය | සත්මඬල

ශ්‍රී ලංකාවේ වෙසක් සංස්කෘතිය

ලංකා‍වේ පමණක් නොව තායිලන්තය, ජපානය, නේපාලය, මියන්මාරය (බුරුමය), චීනය, සියමය ආදි මහායාන හා ථේරවාදී සෑම බෞද්ධ රටක් ම බුදු ගුණ සිහි කරමින්, වෙසක් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි.

අනෙකුත් බෞද්ධ උත්සවවලට මෙන්ම වෙසක් උත්සවයට ද දීර්ඝ ඉතිහාසයක් ඇත. මේ උත්සවය මැයි මාසයේදී පැවැත්වෙයි. පාලියෙන් වෙසාඛ ලෙස ද, සංස්කෘතයෙන් වෛශාක ලෙස ද, සිංහලයෙන් වෙසක් ලෙස ද මේ උත්සව නාමය ව්‍යවහාර වෙයි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, සම්මා සම්බුද්ධත්වයට පත් වීම හා පරිනිර්වාණය යන බුදු සිරිතෙහි වෙසක් පොහෝදිනවල සිදු වූ තෙමඟුල නිමිති කරගෙන, පවත්වනු ලබන උත්සවය වෙසක් උත්සවයයි. ලාංකික බෞද්ධයන්ට අතිශයින්ම වැදගත් උත්සවයක් වන, වෙසක් උත්සවයේ ප්‍රභවය, විකාශනය, ව්‍යාප්තිය, ඒහා බැඳුණු සංස්කෘතික අංග පිළිබඳ ද බෞද්ධයන්ගේ අවධානය යොමු විය යුතුව ඇත. ලංකා‍වේ පමණක් නොව තායිලන්තය, ජපානය, නේපාලය, මියන්මාරය (බුරුමය), චීනය, සියමය ආදි මහායාන හා ථේරවාදී සෑම බෞද්ධ රටක්ම බුදු ගුණ සිහි කරමින්, වෙසක් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි.

දෙවන පෑ තිස් රාජ්‍ය සමයේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුද්ධාගම ලංකාවට රැගෙන ඒමත් සමඟ බුදු සමයට සම්බන්ධ විවිධ බෞද්ධ උත්සව රාශියක් ආරම්භ විය. වෙසක් උත්සවය ද එසේ ආරම්භ වූවකි. බුදු තෙමඟුල සිහි කිරීමට අමතරව, ශ්‍රී ලාංකික බෞද්ධයන් වෙසක් පොහොය දිනය උත්සවශ්‍රීයෙන් සැමරීමට හේතු වූ කරුණු කිහිපයක් ද වෙයි. මහා වංශයට අනුව බුදුරඳුන් රහත් සඟුන් එකසීයක් පිරිවරා කැලණියට වැඩියේත්, සමන් දෙවිඳු ඇරියුමින් සමන්තකූටයෙහි බුදු සිරිපතුල් ලාංඡනය පිහිටුවූයේත්, අනාගතයේදී ආගමික වැදගත් ස්ථාන කිහිපයක් හඳුනා ගෙන ඒ ස්ථානවල වැඩසිටියේත්, වෙසක් පුර පසළොස්වක දිනකදී ය.

(මහාවංශය පරිච්ඡේදය

1. 72 – 74, 77 – 84 ගාථා)

විජය කුමාරයා ඇතුළු පිරිස ලංකාවට ගොඩබැස ජනාවාස ආරම්භ කර ඇත්තේ, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ වෙසක්පුර පසළොස්වක දිනයදී ය.

(ම. ව. පරි ර. 47 ගාථාව)

දෙවන පෑ තිස් රජු අශෝක අධිරාජයාගේ උපදෙස් මත දෙවැනි අභිෂේක මංගල්‍යය පවත්වන ලද්දේ වෙසක්මස පුර පසළොස්වක පොහොය දිනක බව ද මහාවංශය සඳහන් කරයි:

“වෙසාඛෙ නරපති පුණ්ණ මාය මෙවං

දේවානං පියවචනොපගුළ්හ නාමො

ලඞකායං පඩිත්ත පීති - උස්සවායං

අත්තනාං ජන සුඛ දෝපා සෙවයිසොති”

(ම.ව. පරි 11, 42 ගාථාව)

දෙවන පෑ තිස් රජු සමයේ සිට වෙසක් දින, උත්සව පැවැත්වීම ආරම්භ වී යැයි සිතිය හැකි අතර, පසුකාලයේදී විවිධ රජුන්ගේ අනුග්‍රහයෙන් ඒ උත්සව පැවැත්වූ බවට තොරතුරු වංශකතාවල දැක්වෙයි. දුටුගැමුණු රජතුමා මුල් පස් පිඩැල්ල කැපීමෙන් මහාසෑයේ වැඩ ආරම්භ කළේ ද වෙසක් පුන් පොහොය දිනකදී ය. ලක්දිව, මුලින්ම වෙසක් උත්සවයක් පවත්වන ලද්දේ ක්‍රිස්තු පූර්ව 161 – 137 දක්වා අවුරුදු 24ක් රජකල දුටුගැමුණු රජතුමා විසින් වෙසක් උත්සව විසිහතරක් පැවැත්වූ බව මහාවංශයෙහි

“මහා වෙසාඛ පූජා චචතුවීසති තාරයිං

දීපෙ සඬගස්ස භික්ඛන්තුං තිචීවරමදාපඨං”

(ම.ව. පරි. 32, 35 ගාථාව)

 

යනුවෙන් දැක්වෙන අතර, පූජාවලියේ ද මේ වෙසක් උත්සවය පිළිබඳ දීර්ඝ විස්තරයක් ද දක්වා ඇත. භාතිකාභය රජු (ක්‍රි.පූ. 10 - ක්‍රි. ව. 9) ඔහුගේ රාජ්‍ය කාලයේදී මහා වෙසක් පූජා විසි අටක් කළ බවත් මහාවංශයේ දැක්වෙයි:

“මහා වෙශාඛ පූජාව උළාර අට්ඨවීසති

චතුරාසීති සහස්සතී පූජාච අනුළාරිකා”

(ම. ව. 34 පරිච්ඡේදය 59 ගාථාව)

ඒ බව “කිරිබත්, මී, ගිතෙල්, සකුරු ආදියෙන් දන්වැට පවත්වමින්” වෙසක් උත්සවය පැවැත්වූ බව වංසත්ථප්පකාසිනී මහා වංශටීකාව විස්තර කරයි.

වසභ රජු (ක්‍රි. ව. 67 – 111) දක්වා වසරක් පාසා වෙසක් උත්සව සූසාළිසක් කළ බව මහාවංශය දක්වයි:

“චතුකාළීස වස්සානි පුරෙ රජ්ජ මකාරයි

චතු කාළිස වෙසාඩ පූජායොච අකාරයි”

(ම. ව. පරි. 35. 100 ගාථාව)

වංශකථාකරුවන් තෝරාගත් රජවරු පිරිසකගේ ශාසනික සේවා විස්තර සහිතව සඳහන් කළ ද, අනිකුත් රජවරුන් ද වාර්ෂිකව වෙසක් පූජා උත්සව පවත්වන්නට ඇතැයි සිතිය හැකි වෙයි. මහජන පක්ෂ පාක්ෂිකත්වය දිනා ගැනීමේ අපේක්ෂාවෙන්, අන්‍ය ආගමික විදේශීය රජවරුන් ද බෞද්ධ ආගමික කටයුතුවලට අනුග්‍රහය දක්වන්නට ඇතැයි සිතිය හැකි අතර, රටේ අභ්‍යන්තර අරගල, විදේශ ආක්‍රමණ ආදි කාලවලදී වෙසක් උත්සව පවත්වන්නට නොහැකි වන්නට ඇත.

“මහා වෙසාඛ පූජං සො කාරෙක්වාදීපවාසිනං

සබ්බේසං යෙව භික්ෂූනං තිචීවරමධෘපයි”

(ම.ව. 36 පරි. 49 ගාථාව)

ආදි වශයෙන් මහා වංශයෙහි සඳහන් පරිදි ක්‍රි. ව. 269 – 291 දක්වා රජ කළ වෝහාරික තිස්ස රජු වසරක් පාසාම මහා වෙසක් පූජෝත්සව පවත්වා භික්ෂූන්ට තුන්සිවුරු පූජා කළ බව පෙනෙයි. මෙයින් පැහැදිලි වන්නේ වෙසක් උත්සවය පවත්වනු ලබන පොහොය දිනයේදී දන්දීම ප්‍රමුඛ ස්ථානය බවට පත්ව තිබූ බව ය.

ගෝඨාභය රජු (ක්‍රි. ව. 253 – 266) වෙසක් උත්සව පවත්වා තිස්දහසක් භික්ෂුන්ට සිවුරු පූජා කරන ලද බව මහාවංශයෙහි සඳහන් වෙයි:

“තිංස භික්ඛු සහස්සානං ඡචීවර මදා පයි

මහා වෙසාඛ පූජඤ්ච තදා ඵවං ආකාරයි”

(ම.ව. පරි 36 – 109 ගාථාව)

ක්‍රි. ව. 266 – 278 දක්වා රාජ්‍ය කළ දෙටුතිස් රජතුමා වෙසක් පූජෝත්සවය පවත්වා, තිස් දහසක් භික්ෂුන්ට සිවුරු සයක් බැගින් පූජා කර ඇත. එතුමා විසින් වෙසක් උත්සවය අත්‍යලංකාරයෙන් සිදු කළ බව “කාලමන්තිකාවාපිං සොඅදා චේතිය පබ්බතෙ

විහාර පාසාද මහං මහා වේසාඛ මේවච”

(ම:ව: පරි 36. 130 ගාථාව)

යනුවෙන් මහාවංශය විස්තර කරයි. වෙසක් උත්සව දිනයේදී මිනිසුන් පමණක් නොව තිරිසනුන් වුවද නිරාහාරව තැබීම නුසුදුසු යැයි කල්පනා කළ බෞද්ධයෝ සතුන්ට පවා ආහාරවලින් සංග්‍රහ කළහ. ක්‍රි. ව. 618 සිට 623 දක්වා රාජ්‍ය කළ දළ මුගලන් රජතුමා “වෙසක් පූජාදී චාරිත්‍ර සියල්ලක් ම” ඉටුකළ බව මහාවංශයේ සඳහන් වෙයි. මෙයින් පෙනී යන්නේ මහජන පක්ෂපාතිත්වය දිනා ගැනීමට වෙසක් උත්සවය අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු සද් චාරිත්‍රයක් වූ බවයි.

වෙසක් පුන් පොහෝ දිනෙක එක් පින්වතකු කහවනු දහසක් ගෙවා මාතලේ දිස්ත්‍රික්කයේ නිලගම තිස්සමහාරාමයෙහි වහලුන් අටදෙනකු මුදාහළ බව ක්‍රිස්තුවර්ෂ හයවැනි සියවසට අයත් සෙල්ලිපියක සඳහන් වීමෙන් (EPHIGRAPHIA ZEYLANICA – VOL III P. 295) ගිහියන් ද වෙසක් උත්සවය මුල් කරගෙන විවිධූ පුණ්‍ය කර්ම කළ බව සනාථ වෙයි. ආගමික ප්‍රතිපත්ති ස්වරූපය වෙනුවට ක්‍රිස්තු වර්ෂ හත්වැනි සියවසින් පසුව වූ සමාජ විපර්යාස, මහායානයේ බලපෑම සහ හින්දු භක්තිවාදය නිසා ය. වෙසක් උත්සවය සැණකෙළි ස්වරූපයක් ගෙන ඇත. වංශකතාවල මේ යුගයෙන් පසුව ‘වෙ සාඛ ඛීලං’ (වෙසඟ කෙළි) යන වචනය වෙසක් උත්සවය සම්බන්ධයෙන් භාවිත වනු දක්නට ලැබේ.

 දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී (ක්‍රි.ව. 853 – 887) වංශ කථාවල “වෙසාඛ කීලං කිළෙත්වා” යන පදය දක්නට ලැබේ.

“මෙතෙම දුඟී මඟී යාචකාදීන් එක්කොට ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව ආහාරපානාදියෙන් සංග්‍රහ කොට වෙසක් කෙළි කෙළියේය.”

(ම. ව. පරි 49 84 ගාථාව)

යනුවෙන් සඳහන් වීමෙන් සියලු දෙනාගේ ප්‍රීතිය වර්ධනය වන පරිද්දෙන් ජාතික සැණකෙළියක ස්වරූපයෙන් වෙසක් උත්සවය පවත්වන ලද බව පෙනී යයි.

අනුරාධපුර යුගයෙන් පසුව ඇරැඹි පොලොන්නරු යුගයේදී පළමු වැනි පරාක්‍රම බාහු රජුගේ කාලයේදී වෙසක් දිනය ආගමික දිනයක් පමණක් නොව, ජනප්‍රිය ජාතික උත්සව දිනයක් බවට ද පත්ව තිබූ බව “දඹදිව අණසක පතුරුවා අවුරුදු පතා මාලු කමක්, දළදා පූජාවක්, කුලාභාර දානයක්, වෙසක් කෙළියක්, දිය කෙළියක් යනාදී වූ සැට මඟුල්කොට, දවස්පතා පෙත්තක්, පිළිමයක්, සළු අටපිරිකරක් බැගින් නොවරදවාදී තෙතිස් අවුරුද්දක් රාජ්‍ය කොට බුදුන් උදෙසා අප්‍රමාණ වූ පූජා කළේය” යනුවෙන් පූජාවලියෙහි සඳහන් වෙයි. මේ පාඨයට අනුව වෙසක් පොහෝදා පැවැතියේ වෙසක් කෙළියකි.

ක්‍රි. ව. 942 පමණ වන විට පොහෝ දිනට රජයේ නිවාඩු දිනයක්ව තිබූ අතර, එදිනට වෙනත් රැකියාවල නිරත වීම ද තහනම් කර තිබිණි. හතර වැනි උදය රජුගේ බඳුලු ලිපියට අනුව, පොහොය දිනවල වෙළෙඳාමෙහි යෙදුණු පුද්ගලයන්ට දඬුවම් වශයෙන් මහියංගණ විහාරයේ පහන් පූජාවට තෙල් කාලක් හෝ නැළියක් ලබාදිය යුතු බව “පොහෝදා සල් කළාකුගෙන් වැඳ පුදයම් තෙල් පද්දක් ගන්නා ඉසා, මියුගුණ් මහ වෙහෙරැවැපුද පවත්වනු ඉසා”

යනුවෙන් ශිලා ලේඛනයන් හි සඳහන් කර ඇත.

(E.Z VOL III P. 79 හා EZ VOL V. P.191)

දෙවැනි පැරකුම්බා රජු කළ (ක්‍රි. ව. 1243) වෙසක් උත්සවය ‍පිළිබඳ විස්තර කරන පූජාවලි කතුවරයා,“ඒ ඒ තන්හි රඟ මඬුළු මැද නටන ලද නළු පිරිසෙන් හා බුදුන්ගේ ස්තුති ගී තිය තියා ඒ ඒ දිග්හි සිට බුද්ධ ශාන්ති කරන බලිභෝජක මණ්ඩල පඬිත්තීන් හා ඒ ඒ තන්හි...”

“... ඒ ඒ තැන්හි අ‍තෝන ලද පංචාංගික තූර්යනාදයෙන් හා ශක්‍රයාගේ හඳුන් උයන්වන් දිව්‍ය උත්සව මෙවැනි යැයි මනුෂ්‍ය ලෝකයට ගෙනහැර දක්වන්නාසේ”

යන විස්තරයට අනුව වෙසක් උත්සවය කෙළි සෙල්ලම්වලට ප්‍රමුඛමය දුන් සැණකෙළියක ස්වරූපය ගත් බව පෙනී යයි.

“සබ්බං වෙසාඬ පූජාදිං - චාරිත්තානුගතං අකා”

(ම: ව: පරි 42 46 ගාථාව)

යන මහාවංශ පාඨයට අනුව, වෙසක් උත්සවය පැවැත්වීමට සම්මත නීති මාලාවක් සහ සිරිතක් රජුන් දවස පැවැති බව පෙනී යයි.

පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යටත්විජිත යුගවලදී බෞද්ධ සිද්ධස්ථාන හා බෞද්ධ ගුණ ධර්ම පරිහානියට පත් විණි. මෙකල වෙසක් උත්සව පැවැති බවට උඩරට රාජධානිය පිළිබඳ විවිධ විස්තර සැපයූ රොබට් නොක්ස්, මේජර් ඩේවි වැනි විදේශිකයන් එකල ලංකාවේ පැවැති විවිධ උත්සව ගැන සඳහන් කළත් වෙසක් උත්සවය පිළිබඳ විස්තර සඳහන් නොකරන්නේ 18 – 19 වැනි සියවස්වල වෙසක් උත්සවය ජාතික ස්වරූපයකින් නොපැවැත්වූ බැවින් විය හැකිය.

පැරැණි රාජ්‍ය සමයේ සිට පැවැත ආ පොහොය දින නිවාඩුව ඕලන්ද ආණ්ඩුකාර විලියම් ඉමාම් ෆැලැක් විසින් 1770 නොවැම්බර් මස 01 දින අවලංගු කරන ලද අතර, ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි. එපමණක් නොව, 1787 වර්ෂයේදී පොහොය දිනය අනිවාර්යයෙන්ම වැඩ කළ යුතු දිනයක් බවට ප්‍රකාශයට පත්කරන ලදි. ඒ අවධියේදී තමන් යටතේ පැවැති ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවලට පමණක් බලපෑ ඒ නීතිය බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ලංකාව සම්පූර්ණයෙන්ම අයත් වීමෙන් පසුව මුළු රටටම බලපාන පොදු නීතියක් බවට පත් විය.

ලංකාවට පැමිණි ඕල්කොට්තුමා විසින් 1880 මැයි මස 29 දින පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ ශාඛාවක් පිහිටු වීමෙන් පසුව ගිහි පැවිදි බෞද්ධ ප්‍රභූන් සමඟ එක්වී නැති වී ගිය බෞද්ධ අයිතිවාසිකම් ලබා ගැනීමට කටයුතු ආරම්භ කරන ලදි. 1883 කොටහේනේ දීප දුක්ඛාරාමයේ පිළිම වහන්සේලාට නේත්‍රා තැබීමේ උත්සව සතියේදී, බොරැල්ලේ සිට කොටහේනේ දීපදුත්තාරාම විහාරය දක්වා ගමන්ගත් පෙරහරට කතෝලික බැතිමතුන් විසින් පොලඹ වන ලද මැරයන්ගේ පහරදීමත්, එහිදී ‘ජුවන් නයිදේ’ නමැති බෞද්ධ සැදැහැතියකු බරපතළ තුවාල ලබා මියයෑමත් සමඟම ඕල්කට්තුමාගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ ආරක්ෂක කමිටුවක් පිහිටුවා ගැනීම සිදු විය. සර් ආතර් ගෝඩන් ආණ්ඩුකරුවන්, විදේශ කටයුතු ලේකම් ඩර්බි සාමිවරයාටත් පෙරහරට පහර දීම සම්බන්ධව විස්තර කරුණු ඔවුන් දෙදෙනා හමු වී ඕලකොට්තුමා විසින් නියෝජිතයකු ලෙස ඉදිරිපත් කරන ලද අතර බෞද්ධයන් වෙනුවෙන් ඉල්ලීම් හයක් ද ඉදිරිපත් කරන ලදි.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1885 මාර්තු 27 වැනි දින අංක 4648 දරන ගැසට් පත්‍රය මඟින් වෙසක් පොහොය දිනය රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, 1886 අංක 4 දරන ආඥා පනත මඟින් නීතිගත කරන ලදි. ‘සරසවි’, ‘සඳරැස’ පුවත්පත මේ බව වාර්තා කර ඇත්තේ මෙසේය.

“මෙම මස විසිඅට වෙනිදාට (1885 අප්‍රේල් 28) පැමිණෙන වෙසඟ පුර පසළොස්වක දින ආණ්ඩුවේ නිවාඩු දිනයක් කොට ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධකර තිබේ. ඉතින් මෙවක් පටන් සංවත්සරයක් පාසා පැමිණෙන වෙසඟපුර පසළොස්වක් දින බෞද්ධයන් උදෙසා ආණ්ඩුව විසින් දෙන නිවාඩු දවසක් ලෙස ලංකාවේ ව්‍යවහාර වන බව මෙයින් සැලකිය යුතුයි.”

(සරසවි සඳරැස 1885 අප්‍රේල් 03)

 

වෙසක් පොහොය දිනය ලංකාවේ නිවාඩු දිනයක් කිරීමෙන් පසුව, වෙසක් උත්සව රටේ සෑම තැනකම පැවැත්වෙන්නට විය. මේ වෙසක් උත්සව පැවැත්වීමේ විශේෂ සිද්ධිය වර්ණනා කරමින් 1892 වර්ෂයේදී කවිපොත් දෙකක් ද නිකුත් කර ඇත. කවි 103කින් සමන්විත‍ වෙසක් පූජාව නම් කවි පොතෙහි එන එක් වෙසක් උදානයකි මේ.

 

“වෙසක් මස පසළොස්වක ලක් දිනේ අප මුනි බුදු උනේ

නොයෙක් සුර බඹ සෙනඟ සුරලොව සාදුකර දෙවමිනේ

සඳහන් පෑවූ විලස තුන්ලොව අඳුර බිඳ ගොස් එළි වුණේ

නිමක් නැති දන සාධු කියමින් ප්‍රීතියෙන් කෙළි කෙළමිනේ”

‘වෙසක් පූජාව’

(සිංහල සාහිත්‍ය වංශය පිටුව 529)

 

‘සර්වඥ ප්‍රීති ගායනා’ නම් වෙසක් උදාන ගීත පොතක් 1892 වර්ෂයේදී මහනුවරින් මේ වැදගත් සිද්ධිය මුල්කොට නිකුත් කර ඇත. විවිධ කාල සහිත ගීත ගණනාවකින් මේ ප්‍රීති ගායනා රචනා කර ඇත.

“සුරන්, බඹුන් මුදුන් සැදූ පංකජන්

අප ලෝක ස්වාමි සම්බුදුන්ට, ප්‍රිති තුති කරව්”

 

“යසෝදරා හිමින් සිද්ධාර්ථ කුමරුවන්

උපන් වෙසක් මඟුල දින මේය අද උතුම්”

(‘සර්වඥප්‍රිය ගායනා’ සිංහල සාහිත්‍ය වංශය - 529 පිටුව)

 

ෂඩ්වර්ණයෙන් යුක්තව අලුතින් නිර්මාණය කරන ලද බෞද්ධ ධජය ද මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් ප්‍රථමයෙන්ම ඔසවන ලද්දේ 1885 අප්‍රේල් 28 වැනිදාට යෙදුණු වෙසක් පුර පසළොස්වක දා කොටහේනේ දිපදුත්තමාරාමයේදී ය. ලංකා ඉතිහාසයේ වෙසක් පොහෝ දිනවල සිදු වූ විශේෂ සිද්ධි අතරට කනගාටුදායක සිද්ධි ද වාර්තා වී ඇත. සිංහල මුස්ලිම් කොලහල සමයේ 1915 මැයි මස 28 වැනි වෙසක් පොහෝ දින මහනුවර කාසල් වීදියේ බෞද්ධ භක්ති ගීත කණ්ඩායම් දෙකකට මුස්ලිම් පල්ලියක් අසල රැස්ව සිටි මරක්කල පිරිසක් කණ්ඩායම්වලට ‘හූ’ කියන්න වීම නිසා, දෙපිරිස අතර අරගලයක් ද ඇති වූ බව ධර්මපාල අපදානයෙහි සඳහන් කර ඇත.

බෞද්ධයන් තෙමඟුල සැමරෙන වෙසක් පොහෝ දිනයේදී අතීතයේ සිට ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරත විය. බෞද්ධ බාල, තරුණ, මහලු වැඩිදෙනකු විහාරස්ථාවලට ගොස් සිල් සමාදන් වීම, බණ ඇසීම හා භාවනා කිරීම සිදු කරන්නේ වසරකට වරක් එළැඹෙන වෙසක් පොහොය දිනයේදී ය. වෙසක් උත්සවය ක්‍රමිකව විකාශනය වෙමින් අද වෙසක් උත්සවය ආශ්‍රයෙන් වෙසක් සංස්කෘතියක් ද බිහි වී ඇත. වෙසක් දිනවල භක්ති ගීත ගායනා, වෙසක් සැරසිලි, වෙසක් කුඩු ප්‍රදර්ශනය, වෙසක් තොරණ ඉදි කිරීම, වෙසක් සැරසිලි සිදු කිරීම නගරයේ මෙන්ම දුඟී පැල්පත දක්වාම විවිධ මට්ටමින් දක්නට ලැබීම, දන්සල් පැවැත්වීම, වෙසක් නාට්‍ය, වෙසක් ගීත, වෙසක් සිනමාපට නිෂ්පාදනය කිරීම, වෙසක් සුබපැතුම් යැවීම, වෙසක් පෙරහර සංවිධානය කිරීම ද වෙසක් සංස්කෘතියේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකිය.

1998 නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැති අන්ර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ යෝජනාවක් පදනම් කොට 1999 දෙසැම්බර් 13 වැනි දින ‘වෙසක් දිනය’ සමස්ත ලෝකවාසීන් විසින් අනුස්මරණය කළ යුතු දිනයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ද පිළිගෙන ඇත.

 

ආශ්‍රිත ග්‍රන්ථ

1. මහාවංශය (ඌන පූර්ණ සහිත) තෙල්වත්තේ බුද්ධ දක්කිත හිමි (1959)

2. වංසත්ථප්පකාසිනිය අතුරැටියේ අමරවංශ හිමි 1994

3. පූජාවලිය - වේරගොඩ අමර මෝලී හිමි (1999)

4. ලක්දිව බුදු සමයේ ඉතිහාසය වල්පොළ රාහුල හිමි (1989)

5. අපේ සංස්කෘතිය බද්දේගම විමලවංශ හිමි (1964)

6. අනගාරික ධර්මපාල අපදානය කේ. බී. සුගතදාස (1986)

7. EPHIGRAPHIA ZEYLANICA VOL – III, V

8. සිංහල සාහිත්‍ය වංශය පුංචි බණ්ඩාර සන්නස්ගල (1994)

9. දිනමිණ වෙසක් කලාපය 1973, 1985 බුදුසරණ පුවත්පත්

10. වෙසක් උත්සව පුරාණය සජීවනී දිසානායක - (2008)

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.