අමුතු පොතක් | සත්මඬල

අමුතු පොතක්

ඉමක් කොනක් නොපෙනෙන තරමට වෙරළ තීරය දීර්ඝ ය. දැඩි හිරු රැස් විසින් පතොක් පඳුරුවල සෙවණැල්ල පවා ඒ පඳුර මුලට ම ඇද දමා තිබේ. කක්කුටු ගුල්වලින් එළියට විත් වෙනදා මෙන් වැල්ල පුරා දුවන කුඩා කක්කුට්ටන් පවා පෙනෙන්නට නැත. ඇත්තේ සේදෙමින්, නැවත සේදෙමින් මොහොතින් මොහොත වෙනස් වෙස්ගන්නා වැලිතලය ම පමණි. ඉඳහිට කුඩා කක්කුටු ගුලකින් හිස එළියට දමන කුඩා කක්කුටු පැටියකු ඒ ක්ෂණයෙන් නැවත ගුල ඇතුළේ හිස හංගාගත්තේ හිරු රැසේ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීගත නොහැකිව ය. මුළු වෙරළ තීරයට ම ඉපැදෙමින්, මිය යන රළ විනා අන් කිසිවකුත් බලපෑම් නොකරන්නේ ය.

මම ටිකක් උසට නැඟුණු වැටකෙයියා ගසේ කඳට හේත්තු වී ඉඳගත්තෙමි. කෙතරම් උසට සැදුණ ද මේ ගසක හටගත් වැටකෙයියා මලක් නම් ගසේ පිපී තිබියදී දැකගන්නට නොහැකි ය. ඒවා හිමිදිරි පාන්දරටත් පෙරම බුදුන් පුදට ගෙන යන්නට මල් කඩවලට විකුණා ඇතිවාට සැක නැත. මුහුදු සුළං කෝඩයත් සමඟ හමා එන ලුණු මිශ්‍ර මඳ පවන හිරු රැස් හි ප්‍රචණ්ඩත්වය මඳ පමණ අඩු කරයි. එහෙත් රශ්මියේ නම් අඩුවක් නැත. වැල්ලට වත් නොදැනෙන සේ ඒ වැල්ල සෝදාගෙන නඟින බසින මුහුදු රළ දෙස බලාගෙන ම ම සිත බොහෝ දුර යයි.

මම මේ දිනවල අමුතු තාලයේ පොතක් කියවන්නෙමි. එහි පිටුවෙන් පිටුව නොව වදනින් වදන මා පුදුමයට පත් කරයි. සමහර පරිච්ඡේද මුවට සිනහවක් නංවයි. සමහරක් පිටු කියවන විට සිත ශෝකයෙන් වෙව්ලුම්කනු දැනෙයි. සමහර පිටු ඔස්සේ දීර්ඝ චාරිකා බඳු මතක සටහන් ගොඩගැසෙයි. තවත් සමහරකට එය එසේ වූයේ ඇයි දැයි පශ්චාත්තාපයක් ජනිත කරයි. කෙසේ කොහොම මොන පිටුව කියෙව්වත් ඒ හැම පිටුවක ම හැම වදනක ම පිරී ඇත්තේ ජීවිතය ය; එනම් අත්දැකීම් ය.

මා මේ කියවන පොත වෙන කිසිවකුට හෝ කියැවිය නොහැකිය. එය කෙදිනක වත් කිසිදු ප්‍රකාශකයකුට හෝ මුද්‍රණය ද කළ නොහැකිය. පැහැදිලිව කියන්නේ නම් මා හැර වෙන කිසිවකුට හෝ ඒ පොත කියැවිය නොහැක්කේ ය. ඒ පොත කිසිවකුට හෝ කෙදිනක හෝ විශ්ලේෂණය ද කළ නොහැකි ය. ඔබ ඒ පොත කියැවිය යුත්තේ ඉතා පරිස්සමෙනි. ඉවසිල්ලෙන්, පරිස්සමෙන් නොකියෙව්වොත් බොහෝ දේ මඟහැරී යනු ඇත.

ඉක්මන්, කලබලකාරී නිගමනවලට එහි ඉඩක් නැත. ඔබ මේ පොත පරිස්සමෙන් කියවා ගත හොත් මේ සමාජයේ පවතින නන්විධ විෂමතා වෙනස් කිරීමට ඔබට අපහසු නොවනු ඇත.

මා කියන්නේ මා නමැති පොත බැව් ඔබට වැටහෙන්නට ඇතිවාට සැක නැත. මට පමණක් නොව, ඔබට ද ඔබ නමැති පොත කියැවිය හැකිය. එහෙත් වෙන ඕනෑ ම පොතක් කියනවාට වඩා මේ පොත කියැවීම වඩාත් ආයාසකර ය; සංකීර්ණ ය.

ඔබ කියැවූ වෙන ‍ඕනෑ ම පොතක මෙන් මෙහි ද පරිච්ඡේද තිබේ. ඒ පරිච්ඡේද ඔබට, ඔබ කැමැති ආකාරයකට විවිධ මාතෘකා, අනුමාතෘකා යොදමින් කියවා ගත හැකිය. ඔබ මෙතෙක් කර ඇති දේ, ඒ කර ඇති දේ නිසා ඔබ වෙත ලැබුණු දේ, ඒවා ඔබේ ජීවිතයට කළ වෙනස ආදි සෑම දෙයක් ම එහි ඇත. ඔබගේ අවබෝධය, දැනුම හා පරිණත බව අනුව එය කියවාගත හැකිය.

ඔබ නිවී සැනහිල්ලේ ඔබ ගැන ම කියවන විට ඔබට අපූර්ව අස්වැසිල්ලක් ‍දැනෙන්නට පටන් ගනු ඇත. ඔබ, ඔබ ගැන ම දුක් වනු, සතුටු වෙනු, පශ්චාත්තාප වනු, පුදුම වනු ඇත. ඔබ, ඔබේ වත්මන් ජීවිතය ගැන පරිච්ඡේදය කියවන විට, පෙර කියැවූ දේ අවබෝධයෙන් කියැවූවා නම් ඔබ වඩාත් අවබෝධයෙන් ‍ඔබ දෙස බලනු ඇත. ඒ ගැන විමසිල්ලෙන් සවන් දෙනු ඇත.

ඔබ, ඔබේ පොත කියවාගෙන යන කල ඔබේ ජීවිතයේ අපිළිවෙළ ගැන ඔබට ඉඟියක් ලැබෙනු ඇත. අප දෙගිඩියාවෙන් යුතුව ජීවත් වන්නේ නම් ඒ දෙගිඩියාව විසින් අපේ සිත් අභ්‍යන්තරයේ ගැටුමක් ඇති කරනු ලබයි. ඒ ගැටුම ගැන අවබෝධයෙන් ඔබ නමැති පොත කියැවූවා ඒ ගැටුම හසුවනු ඇත. උසස්වීම් අභිලාෂයෙන්, අනෙකාගේ දියුණුව ගැන ඊර්ෂ්‍යාවෙන්, අයිති කරගැන්මේ ආශාවෙන් ඈ මේ බොහෝ දේ සම්බන්ධයෙන් ඔබ ඇතුළත ම පවතින ගැටුම ඔබට ම අවබෝධ වනු ඇත. ඔබ නමැති පොතේ පිටුවෙන් පිටුව පෙරළන්න. ඒ සෑම පිටුවක් ම, සෑම වාක්‍යයක් ම, සෑම වචනයක් ම ඔබට ඔබේ ජීවිතය ගැන නිවැරදි තක්සේරුවක් දෙනු ඇත. ඔබේ සිතේ පවතින පරස්පරවිරෝධී භාවය අවසන් වෙන්නේ පරස්පරවිරෝධී බවේ යථා තත්ත්වය වටහාගත් විට පමණක් ඔබ ඔබට ඔබේ පොත පහදා දෙනු ඇත. හින්දු, මුස්ලිම්, යුදෙව්, අරාබි ආදි වශයෙනුත් බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආදි වූ ආගමික වශයෙනුත් බොහෝ දෙනා අතර ගැටුම් පවතී. ‘ගැටුම’ යනු ම අපිළිවෙළ බව ඔබට ඒත්තු ගැන්වෙනු ඇත. ඒ අපිළිවෙළ ගැන ඔබට නිරවුල් මතකයක්, අවබෝධයක් ආ ඇසිල්ලේ ඒ අවබෝධය නිසා ම පිළිවෙළ ඇති වේ. ඔබ, ඔබ නමැති පොත ගැඹුරින් කියවන්නේ නම් මේ සියල්ල ඔබට ලැබෙන්නේ ය. නිරවුල් මනසක් උරුම වීම ස්වාභාවික ලෙස, නැවුම් ලෙස මලක් හටගනු වැනි ය. ඒ මල කිසිදාක පරවන්නේ නැත. මා නමැති පොත හරියට ම කියවන තැනැත්තාගේ මනස නිරවුල් ය.

ඔබේ ඇතුළාන්තයේ පවත්නා අනේකවිධ දුර්ගුණ පිළිබඳවත්, ඒවා කෙතරම් ඔබේ සිතට හානි කරන්නේ ද යන්න ගැනත්, පොත ඔබට පෙන්වා දෙනු ඇත. තමා නමැති පොත අවබෝධයෙන් කියවාගන්නා ඕනෑ ම කෙනකු ජීවත් වන්නේ එළැඹි සිහියෙන් ය. එබැවින් ඔබට, ඔබ ගැන ම පූර්ණ අවධානයක් එමඟින් උරුම වනු ඇත.

මඳක් සිතා බලන්න. මා මෙතෙක් ඔබට කී ඔබේ ම පොත කුමක් ද කියා. ඒ ඔබේ හෘදය සාක්ෂ්‍යයයි. හෘදය සාක්ෂිය තරම් කියවා ගත යුතු තවත් පොතක් වේද? ඒ කියැවීම කිසිසේත් ම පහසු නැත. එහෙත් ඒ ආයාසකර කියැවීම අවසන ඔබ පූර්ණ අවබෝධයකට ලක් වන්නේ ය. එබැවිනි, මා ඔබට ආරාධනා කරන්නේ, ඔබ නමැති පොත අවබෝධයෙන් හා පූර්ණත්වයෙන් කියවාගන්න කියා.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.