ප්‍රායෝගික විචාරයට අභියෝග කළ නව විචාර මාර්ග | සත්මඬල

ප්‍රායෝගික විචාරයට අභියෝග කළ නව විචාර මාර්ග

1930 ගණන්වලදී යුරෝපීය විචාර මාර්ගය පැහැදිලි ලෙසම වෙනස් මඟකට අවතීර්ණ විය. ඒ අයි. ඒ. රිචර්ඩ්ස්, එෆ්. ආර්. ලීව්ස්, ග්‍රැහැම් හෆ් ආදි පුරෝගාමීන්ගේ ප්‍රයත්නවල ප්‍රතිඵලයක් වශයෙනි. ඉන් පෙර ශතවර්ෂ ගණනක් ඈතට විහිදෙන, යුරෝපා විචාර ක්‍රමය, බොහෝ සරල කර දැක්වුව හොත් එය ප්‍රධාන අවධි දෙකකට බෙදිය හැකිය.

ග්‍රීක රෝම යුගවලින් ඇරැඹි මධ්‍යකාලීන යුග දක්වා රචිත නිර්මාණ කෘති අගය කරන ලද්දේ පදනම් දෙකක් මත ය. එනම්, පිනවීම හා ගුරුහරුකම් දීම මත ය. නිර්මාණ කෘතියක් උසස් වන්නේ එය ලෝක ස්වභාවය හා මිනිස් ස්වභාවය පිළිබඳ වැදගත් වන සදාචාරාත්මක සංවේදනේන්ද්‍රීයන් පැහැර ගන්නා විලසට ය. සාහිත්‍යය පඨිතයක පැවැතිය යුතු අංගෝපාංග මේ ද්විවිධ අපේක්ෂා ඉටු කරන අයුරින් ගොඩනැඟිය යුතුය.

පිළිවෙළ සත්‍යාසන්න බව හා ආදර්ශය මේ විචාර ක්‍රමයේ ප්‍රධාන ආස්ථාන තුන විය. අනුකරණාත්මක විචාරය නමින් ද හැඳින්වෙන මේ විචාර ක්‍රමයේ පුරෝගාමීන් නම් ඇරිස්ටෝටල්, හොරස්, ලොන්ජිනස් ය. මේ විචාර ක්‍රමයේදී කෘතිය මිස කර්තෘ ප්‍රධාන නොවීය.

13 වැනි සියවසේ යුරෝපා බුද්ධි ක්ෂේත්‍රයේ මතු වුණු පුනර්ජීවන යුගයේ, පුද්ගල භාවය, යම් ධීමතකුගේ කේවල කුසලතාවය බලවත් සේ අවධානය යොමු කළ යුතු ප්‍රදේශයන් ලෙස පිළි ගැනෙන්නට විය. 17 හා 18 වැනි සියවස්වල කුළු ගැන්වුණු රොමාන්තිකවාදී යුගයේදී මේ ප්‍රවණතාව එහි ඉහළ තලයට එසැවිණි. තනි ධීමතාගේ පරිකල්පනය සියලු නිර්මාණවලටම ප්‍රාණය පිඹින ජීව වේගය ලෙස සැලකෙන්නට පටන් ගති. ඒ සමඟ විචාර සම්ප්‍රදාය ද ඒ අනුවම හැඩ ගැසෙන්නට විය. නිර්මාණකරුවා යනු කවරෙක් ද? ඔහුගේ විශේෂත්වය මතු වන්නේ කුමන බලවේගවල එකතුවෙන් ද? ඔහුට මේ ශක්තිය ලැබුණේ කවර හාස්කමකින් ද? ඒ ජන්මයෙන්ම ලද දෙයක් ද? වඩා ගත හැකි දෙයක් ද? නිර්මාණකරුගේ මේ විශේෂ ශක්තිය නිර්මාණයට ප්‍රක්ෂේපණය වී ඇත් ද? එසේනම් ඒ කවර ප්‍රමාණයකට ද? මෙවැනි නානා ඉංගිති මේ විචාර ක්‍රමයේ අනුපාත විය. මෙහිදී විවේචනයේදී - කර්තෘ මූලික - බව බොහෝ සේ පැහැදිලි ය. කෝල්රිජ්, හැස්ලිට් හා ජොන්සන් වැනි විචාරකයන්ගේ විචාර කෘතිවලින් නැගෙන්නේ මෙවැනි හඬකි; මෙවැනි ප්‍රතිරාවයකි.

මේ දෙආකාර විචාර මාර්ග එක් කරුණකදී සමාන ලක්ෂණ ගනී. එනම් ඔවුන් බස - සැලකුවේ, මිනිස් සිතුවිලි බහාලන බහලුවක් වශයෙන් යන්නයි. බසට ම අනන්‍ය සාධාරණ ආවේණික ගුණාංග, භාෂාවේ රටා සමුදා ආදිය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනු නොලැබීය. බස හුදු සේවකයෙකි. ස්වාමියා කර්තෘ ය. බසටම හිමි ස්වාධීනත්වයක් මේ විචාර ක්‍රමවලදී නොපිළිගන්නා ලදි. මේ කරුණ වැදගත් වන්නේ ප්‍රායෝගික විචාරයෙන් ඇරැඹී වර්ධනය වුණු භාෂා ප්‍රමුඛ විචාර වාදවලින් මේ අදහස උඩු යටිකුරු කරන ලද නිසා ය.

මේ විචාර ක්‍රම දෙකම වෙත ළං වී බලන විට ඒවා විද්‍යාත්මක තාර්කික පදනමක ගොඩනැඟී නැති බව පැහැදිලි වනු ඇත. සාහිත්‍ය පඨිතවල ක්‍රියාත්මක වන අභ්‍යන්තර භාෂා ප්‍රයෝග පිළිබඳ ද පැහැදිලි විධි නියාමයක් මේ විචාර ක්‍රමයේ නොවීය. චිත්ත රූපය, සංකේතය හා සංකල්ප රූප ගැන එහෙන් මෙහෙන් කීව ද ඒවායේ විධිමත් ඒකාබද්ධතාවක් දකින න්‍යායක් නොවීය. සාහිත්‍යයේ පරමාර්ථය සත්‍යය හා සුන්දරත්වය සාක්ෂාත් කර ගැනීම යැයි රෝමාන්තික වාදීන් කීව ද එය හුදු ප්‍රකාශනයක් පමණක් විය.

අයි. ඒ. රිචර්ඩ්ස් ප්‍රමුඛ විචාර කුලකය ප්‍රයත්න දැරුවේ මේ අනුමානවලින් ඉවත් වී විද්‍යාත්මක තාර්කික තලයක බටහිර විචාර ක්‍රමය පිහිටුවීම ය. මෙහිදී ඔවුන්ගේ ප්‍රධානම ආරම්භක ආස්ථානය වූයේ සාහිත්‍ය කෘතියක් සංසන්දනය, විග්‍රහය හා ව්‍යඛ්‍යානය කළ යුත්තේ හුදෙක් සාහිත්‍ය පඨිතය මත පිහිටුවා පමණක් බව ය. එහි එන බස, බසෙහි වචන තෝරා ගැනීම, ගොනු කිරීම, සම්මුඛ කිරීම ඒ ඒ වචනවල සාම්‍යය හා වෙනස, එකඟ වීම හා ගැටීම - කෙටියෙන් කිව හොත් පඨිතයේ සිදු වන භාෂා රංගනය - තුළ කෘතියෙහි අගය සෙවිය යුතුය. එය ගොඩනැඟූ තැනැත්තා හෙවත් කර්තෘ මෙහිදී වැදගත් නොවේ. ඔහුගේ චින්තාවන්, ඔහුගේ ජීවන තොරතුරු, ඔහු හැදුණ වැඩුණ සාමාජික පරිසරය සාහිත්‍ය කෘතිය විමසීමේදී කිසිසේත් වැදගත් නොවේ.

මේ අනුව සාහිත්‍ය කෘතියක ගොඩනැගිලි ද්‍රව්‍ය වනුයේ එහි යොදා ගන්නා බසයි. රිචර්ඩ්ස්ගේ නිගමනය අනුව මිනිසුන් වහරන බස ප්‍රධාන ප්‍රභේද දෙකකට බෙදිය හැකිය. එනම් විද්‍යාත්මක නැත හොත් සංකේතීය බස හා සංවේදනීය බස යනුවෙනි. ඔහු මේ මතය මුලින්ම ඉදිරිපත් ක‍ළේ තමාගේ සම්භාවනීය කෘතිය වන ‘The Practical Criticism’ කෘතිය එළි දැක්වීමට පෙර, ඊට පෙරහුරුවක් ලෙස සී. කේ. ඔග්ඩන් සමඟ 1923 ලියා පළ කරන ලද ‘he meaning of Meaning’ ග්‍රන්ථයෙනි.

ඔහු ඒ ග්‍රන්ථයේ මේ වෙනස පිළිබඳ මෙවැනි අර්ථකථනයක් දෙයි:

“විද්‍යාත්මක බස පරිහරණයෙන් කෙරෙන්නේ හුදු ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමයි. එය වාර්තාකරණයකි. බාහිර යොමුවක් (මෙහිදී ඔහු අදහස් කරන්නේ අප පිටත දකින ද්‍රව්‍යමය දේ ය) වචනයෙන් ගොඩනඟා ගෙන නැවත, එයම සන්නිවේදනය කිරීම ය. සංවේදනීය බසක් භාවිත කිරීම යනු ඊට වඩා සරල දෙයකි. එය වේදයිතයන් හා ආකල්ප ප්‍රකාශ කිරීමටත් යොදා ගන්නා භාෂා මාදිලියකි.”

තවදුරටත් මේ කරුණ විග්‍රහ කරන රිචර්ඩ්ස් විද්‍යාත්මක භාවිතයේදී ‍යොදා ගන්නා බස - ඉන් යොමු වන දෙය නිවැරැදි තථ්‍ය ලෙස ප්‍රකාශ කළ යුතු වා පමණක් නොව ඒ ප්‍රකාශනයේදී වචන අතර ඇති කරගත යුතු සම්බන්ධතාව ද දැඩි සේ තර්කානුකූල එකක් විය යුතු බව ද පවසයි.

බසින් ප්‍රකාශ කරන අරුතක රිචර්ඩ්ස් සතර ආකාරයක ප්‍රභේද දකී. එනම් අවධානය, හැඟීම, තානය හා පරමාර්ථයයි. විද්‍යාත්මක බසින් මෙන්ම වේදනීය බසින් ද කෙරෙන්නේ මේ කාර්යයන් ය. එහෙත් ඒ දෙයාකාර බස් මාදිලි එය කරන්නේ දෙවිධියකට ය.

විද්‍යාත්මක බස මෙන් නොව කවියේදී යොදන වේදනීය බස ගොඩනැගෙන්නේ ව්‍යාජ ප්‍රකාශයක් ලෙසිනි. එහි අඩංගු සත්‍යය යථාරූපි මානයකින් මැනිය නොහැකිය. එහෙත් ඒ නිසාම වේදනීය බස පවසන දෙය “අසත්‍ය” නොවේ. ඒ බසෙහි සත්‍යය අඩංගු ය. ඉන් සත්‍යය පළට වන්නේ එමඟින් අප තුළ පවතින සංවේදනා හා ඉන් සත්‍යය පළට වන්නේ එමඟින් අප තුළ පවතින ‍සංවේදනා හා ආකල්ප ඒවා ප්‍රකාශ කිරීමට උචිත බසකින් නිසිසේ ගොනු කර ඉදිරිපත් කිරීමෙනි. හුදු ආනුභවික සැබෑ බවක් එහි නැතත් ඒ නිසා එය ‘බොරු’ නොවේ. රිචර්ඩ්ස් නැවත මෙසේ කියයි.

“කවිය අනුවේදනීය මෙවලමකි. එයින් අපට හුදු දැනීම නොසපයයි. එහෙත් මිනිස් හැඟීම් සහ වේදයිතයන් පළට කරයි.”

‘කවිය’ හා විශ්වාස පද්ධති අතර කිසිදු සම්බන්ධතාවක් රිචර්ඩ්ස් නොදකියි. කවියා තමන් හිසින් ගත් ඇදහිල්ලක් හෝ දෘෂ්ටියක් කීම කවියේ අරමුණ නොවේ. මෙහිදී කවියා - පුද්ගලයකු වශයෙන් වැදගත් නොවේ. වැදගත් වන්නේ ඔහු පවසන දේ ද නොවේ. ඔහු පවසන්නේ කෙසේ ද? යන්න පමණකි.

කවියාගේ මේ කාර්යය නිසි ලෙස වටහා ගැනීමේදී බාධා ඵලවන නීවරණ අටක් ඔහු තම ‘ප්‍රායෝගික විචාරය’ කෘතියේ හඳුනාගනී.

1. කවියේ එන සමස්ත හඬට අසංවේදී වීම

2. කවියේ හැඩය හා රිද්මය ග්‍රහණය කර ගැනීමට අසමත් වීම

3. කවියේ අඩංගු චිත්ත රූප විශේෂයෙන්ම දෘශ්‍ය චිත්ත රූප නොවැටහීම

4. කවියෙහි නොමැති පරිබාහිර ඉංගිති සොයා යෑම

5. ආචීර්ණ කල්පිත දැඩි කොට එල්බ ගත් මතවාදවල එල්බ සිටීම

6. ප්‍රතික්ෂේපණය හෙවත් කවියෙන් මතු වන සමහර හඬවලට ඇති නොකැමැත්ත

7. විවිධ දෘෂ්ටිවාදවලින් කවිය දෙස බැලීම

8. සම්මත විරිත් නැති නම් එය කවියක් ලෙස නොගැනීම යන මේවා ය.

මේ වංචක ධර්මවලින් මිදී කවියේ ඇතුළු ගුහාවලට පාඨකයා කිමිදිය යුතුය. මෙහිදී රිචර්ඩ්ස් පාඨකයා කෙරෙහි තබන වැදගත්කම ඔසොවා පෙන්විය යුතුය. පසු කලෙක (මෙහි පසුව සාකච්ඡා කෙරෙන) පාඨක ප්‍රතිචාර න්‍යාය කරළියට ඒමට බොහෝ පෙර රිචර්ඩ්ස් සාහිත්‍ය කෘතියක් විඳීමේදී පාඨක සහභාගිත්ව කාර්යයේ වැදගත්කම පෙන්වා දුන්නේය. පඨිතය අරුත් ගන්නේ පාඨක කියැවීමේ ය. ඇත්තෙන්ම විඳීම යනු ස්ථිතික ප්‍රපංචයක් නොවේ. එය පඨිතය හා පාඨක සංස්පර්ශය ගෙනෙන ප්‍රවාහාත්මක සංසිද්ධියකි. මෙය පෙරදිග විචාරයේ රසික සංකල්පය සමඟ බොහෝ සේ ගැළපේ. මේ ගමනින් සාර්ථක වින්දනයක් ලබා ගැනීමට පාඨකයාට සුවිශේෂී නිපුණතා තිබිය යුතුය. රිචර්ඩ්ස් හා ඔහුගේ සන් මිත්‍රයන් පෙන්වා දෙන පරිදි කවියෙහි ගමන ඒ රේඛීය නොවේ. එය ඉලිප්සාකාර ය. විවිධ දිශාවලින් මතු වන අනේකාකාර වේදයිතයන් හා ආකල්ප ප්‍රකාශිත වන්නේ වචනයේ ඇති විරුද්ධාභාෂ ගුණය, ආතතිය, ස්නිග්ධතාව හා ඉංගීතිය අනුව ය. පසු කලෙක මේ ගුරු කුලයේ ප්‍රධාන අනුගාමිකයකු වූ විලියම් එම්ප්සන් නම් විචාරකයා සත් ආකාර ස්නිග්ධතාව නමින් ප්‍රකට කෘතියක් ද ලිවී ය. කවියේ කාර්යය වනුයේ චිත්තවේග හා ආකල්ප මතු කරන මේ අනේක විධ ප්‍රතිචාර කන්දරාව ගෙන ඒවා කෙරෙහි සමස්ත සංකීර්ණ ප්‍රතිචාරයක් දැක්වීමයි.

(Practical Criticism පිටුව 248)

එමඟින් පාඨකයා තුළ සමබර තැන්පත් ආකල්පයක් හට ගනී. මෙසේ වැර වෑයමින් අත්පත් කරගන්නා මෙකී සමතුලිතතා සංශ්ලේෂණය මඟින් තමා තුළ ක්‍රමවත් බවක් නිරාකුල බවත්, සාකල්‍යයෙන්ම ඇති කර ගත් මිනිසකු බිහි වෙයි. එය එවැනි සංවේදී මිනිසකු අත්පත් කරගන්නා විශේෂ ජයග්‍රහණයයි. එය විසිවැනි සියවසේ හාත්පසින් ගලා එන අක්‍රමවත්, වෙහෙස කර, අසහනයෙන් පිරි ව්‍යාකුල භාවයට එරෙහිව සබුද්ධිමත් මිනිසා ගොඩනඟාගන්නා ස්ව ආස්ථානයයි (රොබර්ට් ප්‍රොස්ට් තමාගේ ‘කවියේ රුව ගුණ’ නම් ප්‍රකට ලිපියේ කවියේ කාර්යය ගැන මෙවැනිම අදහසක් පවසයි). ආගමික හා සදාචාරාත්මක මත වාද, විද්‍යාව විසින් අභියෝගයට ලක් වන කලෙක කවිය ඒ සන්තාපය හා දාහය සතපා ලන බෙහෙදකි. මෙසේ රිචර්ඩ්ස්ට අනුව සාහිත්‍යය තුළ එක්තරා චිකිත්සක ගුණයක් පවතී.

මේ විග්‍රහයෙන් පැහැදිලි වන එක් කරුණක් වෙයි. එනම් සාහිත්‍යය ව්‍යාපාරයෙහි කිසියම් සාරධර්මික අගයන් පවතින බව රිචර්ඩ්ස් ප්‍රමුඛ ප්‍රායෝගික විචාරවාදීන් පිළිගත් බවයි. එය හුදු කියවා එවේලේ විඳ අමතක කිරීමත් නොවේ. පවතින අගයක් සහිත සද් කාර්යයකි. ඔහු තම ‘ප්‍රායෝගික විචාරය’ නමැති කෘතියෙහි මෙසේ ද පැවැසීය. “සියලු විචාර වාදවලින් ගත හැකි පාඩම වනුයේ අප, අප විසින්ම අපගේ විනිශ්චයන් කළ යුතු බවයි. හොඳ කවියකින් ගත හැකි ආදර්ශය වනුයේ, අප ඒ කවිය වටහා ගත් විට, අප අප තුළම වගා කර ගන්නා ආභ්‍යන්තරිකමය නිරාකුලභාව කෙතරම් ද යන්නයි. එහි ඊට වඩා සෙවිය යුතු දෙයක් නැත (The degree in which we can order ourselves, and nothing more). මේ සියල්ලේ අවසාන ඵලය නම් ප්‍රායෝගික විචාරය සියලු විසිර යන ලක්ෂණ එක්තැන් කර කිසියම් ඓන්ද්‍රීය සමස්තයක් සාක්ෂාත් කරගැනීමට ප්‍රයත්න දරන බවයි. ඒ නිසා ඒ එක්තරා ආකාරයක ආකෘතික වාදයක් ලෙස ලෙස හඳුන්වනු ලැබේ.

නවසිය පණහ හැට ගණන් වන විට ප්‍රායෝගික විචාර වාදය, දලු ලා වැඩෙන්නට පටන් ගනී. එය එංගලන්තයෙන් පිට, විශේෂයෙන් අමෙරිකාවේ සාහිත්‍යධරයන් අතර සාහිත්‍ය විවේචන මාදිලියක් ලෙස භාවිතා වෙන්නට විය. නව විචාර වාදය ලෙස අලුතින් නම් කරන ලද එය ක්ලීනත් බ්‍රෑක්ස්, ඇලන්ටේට්, ආර්. පී. බ්ලැක්මුවර්, රොබට් පෙන් වොරන්, ය්වෝ වින්ටර්ස්, විලියම් විම්සට් හා බියර්ස්ඩ්ලි යන අය අත වැඩි වර්ධනය විය. එෆ්. ආර්. ලීව්ස්, එල්. සී. නයිට්ස් හා ඩෙරෙක් ට්‍රැවර්සි මේ විචාර කුලයේය ඉංග්‍රීසි ඉවුරේ පතාක යෝධයෝ වූහ.

ප්‍රායෝගික විචාරයේ වපසරිය වඩාත් පැහැදිලි කිරීමට උපස්ථම්භක වූ කරුණු දෙකක් විම්සැට් හා බියර්ස්ඩ්ලි ඉදිරිපත් කළහ. ඉන් එක් කරුණක් අඩංගු වූයේ ඔවුන් දෙදෙනා 1946 පළ කළ ‘අධ්‍යාශය පිළිබඳ මිථ්‍යා තර්කය’ නම් ලිපියෙහි ය. මෙයින් ඔවුන් කියා සිටියේ සාහිත්‍ය කෘතියක් අගය කිරීමේදී, ඒ නිර්මාණයේ නිර්මාණකරුගේ අධ්‍යාශය කුමක් ද කියා වෙනම සොයා බලා, සාහිත්‍ය කෘතියේ එය සොයා බැලීමට වෙහෙසීම කාව්‍ය විචාරයට අදාළ නොවන බව ය.

“කවිය විචාරකයාට හෝ කර්තෘට අයත් නොවේ (එය උපන් විගසම කතුවරයාගෙන් ගිලිහේ. ඉන්පසු එය ඔහුගේ පාලනයෙන් හා අධ්‍යාශයෙන් මිදී ලොවට මුදා හැරේ). ඉන් පසු කවිය අයත් වන්නේ පොදු මහජනතාවට ය. එය ගොනුගත වන්නේ භාෂාවෙහි ය. භාෂාව මහජනයා අත පවතින්නකි. ඉන් කියැවෙන්නේ මිනිස් වර්ගයා ගැන ය. එහෙයින් කවිය ගැන කියන යම් දෙයක් ඇද්ද එය අන් කවර භාෂාමය ප්‍රකාශයක් පිළිබඳ වන්නාක් මෙන් භාෂාව ඇසුරෙන්ම එය විභාගයට ලක් කළ යුතුය.”

කවියෙහි අරුත සෙවිය යුත්තේ එය රචිත භාෂාවේ, රටා සමුදායේ මිස, රචනය කළ කවියාගේ අධ්‍යාශයේ නොවේය යන්න මේ ප්‍රකාශය මඟින් දැඩි සේ අවධාරණය කෙරේ.

1954 දී මේ දෙදෙනාම ‘බලපෑම පිළිබඳ මිථ්‍යා තර්කය’ නමින් පළ කළ තවත් ලිපියකින් පෙන්වා දෙන්නේ දහනව වැනි සියවසේ පැවැති තවත් විචාර නම්‍යතාවක අඩංගු අඩුපාඩුවකි. එනම් කිසියම් නිර්මාණයක් විචාරය කිරීමට ප්‍රවිෂ්ට වන විචාරකයා එහිදී පඨිතයෙන් වියුක්ත අයුරින් තමාගේ අනුවේදනීය හැඟීම් ප්‍රකට කිරීමට වැරැදි බව ය. ඒ හැඟීම්වලට පාදක වූ භාෂා නිර්මිතයන්ගෙන් ඈත්ව, හුදෙක් තම උන්මාදනීය ආවේග කියාපෑම කවියේ නියම වින්දනයට වැට බඳින බව ය. වචනයක අන්තර්ගත පඨිතය බද්ධ ගුණාංග නිසා පමණක් එහි සංවේදනා මතු වන බව ඔවුහු ස්ථිරසාර ලෙස ප්‍රකාශ කළහ.

මෙසේ විසිවැනි සියවසේ මැද භාගය වන විට, විචාරවාදයක් වශයෙන් ප්‍රායෝගික විචාරය මුල් ලා ස්ථාපිත වූවක් විය. එහෙත් එහි ඇති ඌනතා පිළිබඳ, ඒ සමඟ තැනින් තැනින් හඬ නැ‍ඟෙන්නට විය. ඊට එරෙහිව නැඟුණු ප්‍රබල හඬක් වූයේ, එය කෘතිය පැන නැඟුණු ඓතිහාසික හා සමාජීය පරිසරයෙන් විනිර්මුක්ත යාන්ත්‍රික එකක් බව ය. කෘතිය පමණක් හු‍ෙදකලා කර ගෙන කරන විචාරය දියෙන් ගොඩ ගත් මාළුවකු මෙන් ප්‍රාණයෙන් විරහිත වන බව ඒ විවේචකයන්ගේ මතය විය.

එය විද්‍යාත්මක විග්‍රහයකට ඕනෑවට වඩා බර වී ඇත. ප්‍රංසයේ පෙර පැවැති යල්පැන ගිය විචාරක්‍රමයක් වන, ගැටපද විචාරණ ක්‍රමයට වඩා මෙහි ඇති වෙනසක් නැත. මෙය තවත් විවේචනයකි.

මේ විචාර ක්‍රමය නිගාමී ලක්ෂණ ගනී. එහි පටු වපසරිය පවසන හැමදේම කල් තබා තම නියම කරන ලද කොටුවක දමා සිර කරයි; එහෙයින් පුළුල් සාහිත්‍ය සංවාදයකට එය නොගැළපේ.

මෙවැනි විචාර මාධ්‍යයේ වුවද, ප්‍රායෝගික විචාර ක්‍රමය විසින් ස්ථාපිත මූලික නිගමන තවමත් මුළුමනින් අවලංගු වී නැත.

1. කවියක සෞන්දර්යය උත්පාදකය වනුයේ බසයි. පසුව කාව්‍ය ආකෘතියට හැරවෙන්නේ මෙකී බස නමැති මූල ද්‍රව්‍යයි. කවියේ බස එදිනෙදා වහරණ බසට වඩා වෙනස් බසකි.

2. කවිය මිනිස් සිරුරක් මෙන් පරිපූර්ණත්වය ලබන ඓන්ද්‍රීය සාධකයකි. එහි එක් අංගයක් අනෙක් අංගයකට මෙන්ම, ඒ සියල්ල සමස්ත සිරුරට ද බද්ධ වෙයි. කවියේ සමමිතිය මතු වන්නේ එවිටයි.

3. කවිය ස්වශක්තියෙන් හිස ඔසොවා සිටින ස්වාධීන සත්තාවකි.

4. පඨිතය පූජනීයයි. විවේචකයා එහි භක්තිවන්තයා ය.

අද පවා මේ නිගමනවල වලංගු භාවය මුළුමනින් වියැකී ගොස් ඇත. කෙසේ වුවද මේ විචාර වාදයට මුළුමනින් විරුද්ධ වන මෙන්ම මේ විචාර වාදය, විවිධ ආකාරයෙන් සංශෝධනවලට ලක් කරන විචාර වාද ඉන්පසු පහළ විණි. මාක්ස්වාදී විචාර න්‍යාය වැනි මින් සමහරෙක් ප්‍රායෝගික විචාර වාදයට පෙර සිටම පැවැති ඒවා ය.

මේ විවිධ වූ විචාර මාර්ග පොදුවේ ප්‍රභේද දෙකකට වෙන් කළ හැකිය. එනම් පඨිතය හෙවත් කෘතිය ප්‍රමුඛ විචාර මාර්ග, පඨිතයෙන් පිට සාධක ද සැලකිල්ලට ගන්නා විචාර මාර්ග යනුවෙනි. විටෙක මේ විචාර මාර්ගවලට නිරූඪ විචාර මාර්ග හා පරායත්තවිචාර මාර්ග යැයි හඳුන්වනු ලැබේ. සංක්ෂේප ව‍ශයෙන් මේ දෙගොඩ මෙසේ ලැයිස්තුගත කළ හැකිය.

නිරූඪ විචාර මාර්ග

1. ආකෘතිය වාදය

2. ව්‍යූහාත්මක වාදය

3. පශ්චාත් ව්‍යූහ වාදය

4. ව්‍යූහ විභාගනය

පරායත්ත විචාර මාර්ග

1. මාක්ස්වාදී විචාර මාර්ග

2. මූලා කෘතික විචාර මාර්ග

3. නව ඓතිහාසිකවාදී හා

සංස්කෘතිකමය විචාර මාර්ග

4. පශ්චාත් යටත්විජිත වාදී

විචාර මාර්ග

5. ස්ත්‍රී වාදී විචාර මාර්ග

6. පාඨක ප්‍රතිචාර විචාර මාර්ග

7. මනෝවිද්‍යාත්මක විචාර මාර්ග

8. අර්ථ විචරණ විචාර මාර්ගය

මේ එක් එක් විචාර මාර්ග පිළිබඳ වෙන වෙනම දීර්ඝ ලෙස කරුණු දැක්වීමට මේ කෙටි නිබන්ධනයේදී අදහස් නොකෙරේ. එය කළ යුත්තේ වෙනම ව්‍යායාමයක් ලෙස ය. මෙහිදී ප්‍රායෝගික විචාර ක්‍රමය සමඟ ගටා මෙකී විචාර මාර්ගවල පවතින සුවිශේෂතා දෙස එබී බැලීමකට පමණක් ඉඩ ප්‍රස්ථාව පාදා ගනිමි.

මේ ද්විවිධ විචාර මාර්ග ප්‍රායෝගික විචාරයට ප්‍රතික්‍රියා දැක්වූයේ දෙවිධියකට ය.

නිරූඪ විචාර මාර්ග සාහිත්‍ය පඨිතයේම පමණක් පිහිටුවා එහි අනන්‍යතාව විමසිය යුතුය යන ආස්ථානය පෙරටු කරගත් බව කීමු. ඔවුන් ප්‍රායෝගික විචාරය ද සාහිත්‍ය පඨිතය ප්‍රමුඛ කරගත් බව සැබෑ ය. එහෙත් සාහිත්‍ය කෘතිවල අත්පත් කර ගැනීමට අපේක්ෂිත අවසාන ඵලය කරා යෑමේදී, ප්‍රායෝගික විචාරවාදියා නැවත වරක්, මානව සාධකය පස්සා දොරින් ගෙන ආ බවට නිරූඪ විචාර මාර්ගිකයෝ චෝදනා කළහ.

මිනිස් සංවේදනා විවිධකාර බවත්, සිරුරක අඟපසඟ මෙන්, ඒවා නිසි ලෙස, ගොනු කිරීම කවියේ කාර්යය බවත්, ඒ ගොනු කිරීම නිසා හටගන්නා සමස්ත ප්‍රතිඵලය වූ කලි, සුසමාහිත මිනිසකු, ලෝක ස්වභාවය දැන හැඳින ගත් මිනිසකු බිහි වීම බවත්, ප්‍රායෝගික විචාරයේ පරමාර්ථයන් ගම්‍ය කළේය. මේ ප්‍රායෝගික විචාරය බිහි වුණු සමයේ පැවැති සමාජ කතිකාවතක් වූ ලිබරල් මානව වාදයේ ප්‍රතිරාවයක් බව නිරූඪ විචාරකයෝ පෙන්වා දුන්හ.

ලිබරල් මානව වාදය අනුව තනි පුද්ගලයා සියලු සමාජ හරහා අගයන්ගේ නිර්මාතෘ ය. ඔහු ඉන්නේ ඉතිහාසයට හා සමාජයට ඉදිරියෙනි. ඔහුගේ ක්‍රියා කලාපයට, පෙරටම යෑමට සියලු ඉඩ සලසා දිය යුතුය. සිතන්නේ ඔහු ය. සියලු ආකාරයේ ඥානමය දායාද සමාජයට දෙන්නේ ඔහු ය.

නිරූඪවාදීහු මේ සංකල්පය බැහැර කළහ. ඔවුන් කියා සිටියේ මිනිසාගේ සංකල්පන ක්ෂේත්‍රය - මුළුමනින්ම භාෂාවේම නිර්මිතයක් බව ය. භාෂාව මිනිසුන්ගේ සිතුවිලි දවටා ඉදිරිපත් කරන ඇසුරුමක් නොවන ස්වාධීන රූපකායක් ඇති තත්ත්වයෙකි. එහෙයින් භාෂාව පත්ලේ මිනිස් ගුණ සෙවීම පළක් නැති ව්‍යායාමයක් ය යන්න ඔවුන්ගේ මතය විය. ඔවුහු ප්‍රායෝගික විචාරවාදීන් හැඳින්වූයේ භාෂා යානයේ නැඟී, වැරැදි ගමනක් යන අය හැටියට ය.

මේ කරුණ වැඩිදුරටත් වටහා ගැනීම පහසුවීම සඳහා, නිරූඪ විචාර වාදයේ පුරෝගාමි ප්‍රයත්නය වන ව්‍යූහාත්මක වාදයේ ප්‍රධාන ආස්ථාන සිහිකර ගැනීම වටී.

පර්ඩිනැන්ඩි සෝසියුරේ (1857 – 1913) නම් භාෂාවේදියා විසින් කළ දේශන මාලාවක්, එක්කර පළ කරන ලද ‘Course in General Linguistics’ නම් ග්‍රන්ථයෙන්, භාෂාව පිළිබඳ විප්ලවීය අදහස් මාලාවක් ඉදිරිපත් විණි. පසුකලෙක ඩෙරිඩා, ලැකාන්, ෆුකෝ, බාර්තේස්, හිල්ස්මිලර්, පොල්ඩිමාල් ආදීහු මේ විචාර වාදයෙන් ගමන් අරඹා තවත් බොහෝ සංස්කරණ කරා ගියහ.

භාෂාව යනු යමකු විසින් එහෙ මෙහෙ කරන රූකඩයක් නොව එයටම අනන්‍ය ඉන්ද්‍රීය සහිත ජීවි සත්ත්වයකු බව සෝසියුරේගේ නිගමනය විය. ඔහුගේ මේ තර්කය ප්‍රධාන ආස්ථාන දෙකක් මත පදනම් වෙයි. භාෂාවේ දෙආකාරයකට විග්‍රහ කළ යුතු වෙයි. එනම් භාෂා මූල ස්වරූපය හා භාෂා භාවිතය යනුවෙනි. පාරම්පරික වාග් විද්‍යාඥයන් තම අවධානය යොමු කළේ භාෂා භාවිතය කෙරෙහි පමණි. එහෙත් සෝසියුරේ ප්‍රකාශ කළේ භාෂාව භාවිතයට ඒමට පෙර එයට තවත් ස්වරූපයක් ඇති බව ය. ඔහු නමින් හැඳින්වූයේ එයයි. වචනයක් අරුත් ගන්නේ සූචකය හා සූචිතය (මෙය සංඥාකාරකය හා සංඥාව නමින්ද හැඳින්වේ) එකතුවෙනි. සූචකය යනු යම් වාංමය ක්‍රියාකාරිකමකදී නඟන හඬයි. සූචිතය යනු අවධානයට හසුවන සාධකයයි. එකී සාධකයට නාමකරණයක් සිදු වන්නේ මේ දෙආකාර ක්‍රියාකාරිත්වයේ සමුච්චිත ප්‍රතිඵලයක් වශයෙනි. යමකු නැඟූ හඬත්, හඬින් ආමන්ත්‍රීත සාධකයත් අතර, සමුද්දේශ සම්බන්ධයක් නැත. මෙය තවදුරටත් පැහැදිලි කළොත්, බල්ලා යන වචනය ගත් විට ඉන් නැඟෙන හඬ සූචකයයි. එහෙත් ඉන් හඳුනා ගැනීමට අදහස් කළ සිව්පා සතා බල්ලා වූයේ ඌ තුළ හඳුනා ගත් විශේෂ බලු ගතියක් නිසා නොවේ. අනෙක් සිව්පා සතුන්ගෙන් මේ සතා වෙන් කර හඳුනාගැනීමට ඒ වචනය සුදුසු යැයි පිළිගන්නා ලද්දේ, අප විසින් කාලාන්තරයක් තිස්සේ පිළිගත් පොදු සම්මුතියකිනි. බල්ලා හට බල්ලා මිස පූසා නොකියන්නේ මේ පොදු සම්මුතිය නිසා මිස ඒ වචනවල අඩංගු පූස්කමක් හෝ බලුකමක් නිසා නොවේ. සෝසියුරේ මෙහිදී පෙන්වා දෙන්නේ භාෂාවක ඇති සූචකයන් සියල්ලම සංස්කෘතික නිර්මිත බව ය.

ඒ සමඟ ඔහු තවත් කරුණක් පෙන්වා දෙයි. බල්ලා වචනයට භාෂා සමාජයේ තනිව අර්ථ ගැනීම කළ නොහැකි බව ය. නිල් පාට, නිල් වන‍්නේ එය රතු පාට නොවන නිසා ය. රතු පාට රතු වන්නේ එය කොළ පාට නොවන නිසා ය. මේ සියලු යෙදුම් අපගේ චිත්ත අභ්‍යන්තරයෙන් මතු කර නොගෙන අපට රතු, නිල් හෝ කොළ වටහා ගත නොහැකිය. එක වචනයක අරුත් ගැනීමට නම් භාෂා මංජුසාවේ ඇති අනෙකුත් වචන ද සිතින් ගත යුතුය. අපගේ බල්ලා පිළිබඳ කතාවටම ගියොත්, බල්ලා, බල්ලා වන්නේ ඌ පූසා යන වචනය නොවන නිසා ය. මෙහිදී බල්ලා යන වචනය උසුරුවන විට පූසා යන වචනය එහි නොතිබුණත් බල්ලා යන වචනය වටහා ගැනීමට නම් අප ඒ අනෙක් වචනය සිතින් ගත යුතුය. මෙය ‍සෝසියුරේ හැඳින්වූයේ Absence (නොපෙනී සිටීම), Presence (පෙනී සිටීම) යන වචනවලිනි. සෝසියුරේ භාෂාවේ අරුත් විභාග කළ යුත්තේ ඒ භාෂාවේ එන අනෙක් සෑම සූචක සමඟ එක්කාසු කර එකමුතු බව හැඳින්වීමට යෙදූ යෙදුම නම් භාෂාවේ ඇති සංවර්ණ සම්බන්ධතාව යන්නයි. එය බහුරූපී සම්බන්ධතාවකි. පැරැණි භාෂාවේදීහු වචනවල දැක්කේ ද්විවර්ණ සම්බන්ධතාවකි. එහිදි වන්නේ නම් කිරීම හා නම් ගැනීම යන ද්විවිධ ගනුදෙනුව පමණි.

සෝසියුරේ ප්‍රමුඛ වාග්වේදීන් භාෂාවේ ඇති තවත් වැදගත් මුහුණුවරක් ගැන කතා කළහ. එනම් එහි ඇති ද්විපාද ප්‍රතිවිරෝධයයි. වචනයක් අරුත් ගැනීමට එහි විරුද්ධ වචනය බලපාන බව ඔවුහු පෙන්වා දුන්හ. මෙසේ සුදු යන වචනය හුදකලා කරගත් විට එහි සත්‍ය අරුත සනිටුහන් වන්නට නම් කළු යන වචනය තිබිය යුතු ය. එහෙත් සුදු යැයි වහරන විට කළු එතැන නැත; නැත්තේත් නැත. භාෂාවේ සියලු ප්‍රකරණ පාහේ මේ ස්වරූප ගනී. ඥානවන්ත, මෝඩ, කරුණාවන්ත, කෲර, දිවීම - සිටීම ආදි වශයෙනි.

මුලින් ද ප්‍රකාශ කළ පරිදි ඉන් පසුව මේ ගුරු කුලයේම දිගු වීම් වන පශ්චාත් ව්‍යූහ වාදය හා ව්‍යූහ විභාගනය යන විචාරවාදවලින් කළේ මේ සිද්ධාන්තයම තවදුරටත් පුළුල් කිරීම ය. එහි ඇති හිස්තැන් පිරවීම ය. පශ්චාත් ව්‍යූහවාදීන් මෙන්ම, ව්‍යූහ විභාගයනට පිළිපන් හැමදෙනාම පාහේ මුලින් ආකෘතිකවාදීහු වූහ.

පශ්චාත් ව්‍යූහවාදයේ පියා ප්‍රංස දාර්ශනික ජැක්වෙස් ඩෙරිඩා ය. ඔහු තම න්‍යාය ප්‍රකට කිරීමට බොහෝ කෘති සම්පාදනය කළත්, පශ්චාත් ව්‍යූහවාදය පිළිබඳ හස්තසාර ග්‍රන්ථය ලෙස හඳුන්වනුයේ ඔහු පළ කළ ‘Grammatology’ නම් ග්‍රන්ථයයි. කෙසේ වුවත් ඩෙරිඩාගේ මතවාදය කෙරෙහි සෝසියුරේට අමතරව නීෂේ, හයිඩේගර්, හුසර්ල් වැනි ඔහුට පෙර යුරෝපීය දාර්ශනික ක්ෂේත්‍රයේ පෙරළිකාර දාර්ශනිකයන්ගේ අදහස් බලපා ඇත.

ඩෙරිඩාගේ න්‍යාය තරමක් සංකීර්ණ වූවකි. එහෙත් එය දුරවබෝධ අභිධර්මයක් නොවේ. සෝසයුරේගේ භාෂා විභාගය මත, ස්ථිරසාරව සිටගන්නා ඔහු ඉන් තව පෙරට යයි. භාෂාවේ ඇති සුචක/සූචිත ගුණය ඔහු පිළි ගනී. එහෙත් ඔහු මේ භාෂාත්මක සම්බන්ධයට අර්ථස්ථාපන වෙනස නමින් අලුත් අර්ථකථනයක් ගෙනාවේය.

ව්‍යූහවාදීන්ට අනුව කිසියම් වචනයක් මඟින් බාහිරව පවතින වස්තුවක එහි අභ්‍යන්තරව ඇති කිසියම් ගුණයක් සලකා නාමකරණය සිදු නොකෙරේ. (සිහි කරගන්න බල්ලා - බලු ගති) එය හුදෙක් සූචකය විසින් සංස්කෘතික භාවිතය පදනම් කරගෙන කරන නාම කරණයකි. මෙහිදී ව්‍යූහවාදීන් සූචකය හා සූචිතය යන දෙආකාර යෙදුම් පැහැදිලිව වෙන් කර දකිති. පශ්චාත් ව්‍යූහවාදීන් පවසන්නේ මේ සංසිද්ධි දෙක අතර, එසේ කපා වෙන් කර දැකිය හැකි වෙනසක් නොව ඇත්තේ එකකට එකක් බලපෑම් කරමින්, වෙනස් කරමින්, කෙළවරක් නැතුව ඉදිරියට යන අනන්ත සම්බන්ධයක් බව ය. එක් සූචනයක් හැමවිටම තවත් සූචනයක් බලාපො‍රොත්තු සිටී.

ඉතිරිය ලබන කලාපයට

ආරියවංශ රණවීර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.