ගීත සාහිත්‍යයට නැවත ජීවය... | සත්මඬල

ගීත සාහිත්‍යයට නැවත ජීවය...

සිංහල සාහිත්‍යාංග අතර අධි ජනප්‍රිය කලා මාධ්‍ය ගීතය බව අවිවාදිත ය. ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචාර්ය කුලතිලක කුමාරසිංහ වැන්නෝ මේ මාධ්‍ය දෙස අසුබවාදීව බලති. අමරසේකර අවජාතක සාහිත්‍යාංගයක් ලෙස ගීතය සාහසික අන්දමින් හඳුන්වන අතර, කුමාරසිංහයන්ගේ මතය වන්නේ ගීතය සාහිත්‍යාංගයක් ලෙස පිළිගත නොහැකි බවයි. එහෙත් අද්‍යතනයේත් ගීතය උපයෝගි කර නොගන්නා උත්සවයක්, ගුවන්විදුලි හෝ රූපවාහිනි වැඩසටහනක් වෙතොත් ඒ ඉතා කලාතුරකිනි. උපාසක උපාසිකාවන්ගේ බුදු බැතිය, බුදුදහම පිළිබඳ අවබෝධය තියුණු කිරීම උදෙසා කැප වූ බෞද්ධ කතිකාවලට පවා ගීතයෙන් ඈත් විය නොහැකි වී ඇති බව ප්‍රකට සත්‍යයෙකි. කොළඹ යුගයේ පළමු වැනි හා දෙවැනි පරපුර කවිය මඟින් හිමි කරගෙන තිබූ ස්ථානය අද්‍යතනයේ ගීතය විසින් පැහැර ගෙන ඇති බව නොසඟවා පිළිගත යුත්තකි. සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ, බන්ධුල නානායක්කාරවසම්, රත්න ශ්‍රී විජේසිංහ මෙහිදී මතකයට නැඟෙන නම් කිහිපයක් පමණි. සියොතුන්ට රැකවල්, තිවංක රේඛා, කඩදාසි ‍ගොඩක ගීතය, පළමු තිදෙනාගේ සම්ප්‍රාප්තිය කාව්‍ය සංග්‍රහ ය. රත්න ශ්‍රී අදත් කාව්‍ය නිර්මාණයෙහි නිමග්න වෙයි. බුද්ධදාස ගලප්පත්ති, ජයලත් මනෝරත්න සමඟ එක්ව පළ කළ ‘දොළොස් මහේ පහන’ කෘතියෙන් අනතුරුව සුනිල් ආරියරත්න කවි ලියූ තැනක් නැත. මගේ පෞද්ගලික හැඟීම සුනිල් ආරියරත්නයන් ගීත රචනයටම කැප නොවූයේ නම් ඔහු අතින් හොඳ නවකතා, කෙටිකතා බිහි වීමට ද ඉඩහසර තිබුණු බවයි. ‘ජීවිතය ගීතයක් වේවා’, ‘නරියා සහ මිදිවැල’, ‘නවකතා ද්වයක්’, ‘සුසානය යාබද නි‍ෙවස’ වැනි කෙටිකතා එය තහවුරු කරයි. එහෙත් වරක් ඔහු අපට පැවැසුවේ තමන්ට ලැබෙන සියලු අත්දැකීම් ගීතය උදෙසා යොමු කරන බවයි.

මෙවන් වූ ගේය පදමාලා සාහිත්‍යයෙහි වර්ධනයට සම්මාදම් වූවෝ බොහෝ වෙති. රචකයන් ලෙස ආනන්ද සමරකෝන්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර, විමල් අභයසුන්දර, අරීසෙන් අහුබුදු, කරුණාරත්න අබේසේකර මුල් යුගයේ අත්තිවාරම සැකසුවෝ වෙති. මඩවල ඇස්. රත්නායක, ඩොල්ටන් අල්විස්, බණ්ඩාර කේ. විජේතුංග, සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, දයා ද අල්විස් දෙවැනි පරපුර නියෝජනය කළෝ වෙති. තුන්වැනි පරපුර ලෙස සම්මාදම් වූ සියල්ලෝ අද වනතුරු ගේය පදමාලා රචනයෙහි නිමග්න වන්නෝ ය.

ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ආර්. ඒ. චන්ද්‍රසේන වැන්නන් සංගීතඥයන් ලෙස ගෙන ගිය මාර්ගයේ සෝමදාස ඇල්විටිගල, ඔස්ටින් මුණසිංහ, ලයනල් අල්ගම, ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක, රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන ආදීහු ගමන් ගත්හ.

අමරදේව පූර්වාදර්ශ කරගත් සනත්, වික්ටර්, නන්දා, නීලා, මාලිනී, සෝමතිලක, එඩ්වඩ්, සුනිල් එදිරිසිංහ ආදීහු ගායක ගායිකාවන් ලෙස ගීතයේ අභිවර්ධනයට සම්මාදම් වූහ. මොවුනතුරෙන් බොහෝ දෙනකු තනු හා සංගීත සංයෝජකයන් ලෙස ද කැපී පෙනෙන මෙහෙයක් කර ඇති බව සඳහන් කළ යුතුය.

ශ්‍රී ලංකා ගුවන්විදුලිය පමණ සිංහල ගේය පදමාලා සාහිත්‍යය සුපෝෂණයට දායක වූ කිසිදු ආයතනයක් පිළිබඳ අපට සිහිපත් කළ නොහැකිය. රිජ්වේ තිලකරත්න යුගය එහිදී සුවිශේෂී ස්ථානයක් අත්කර ගන්නා බව ද අවිවාදිත ය. මහගමසේකර යුගයෙන් අනතුරුව මඩවල එස්. රත්නායකයන් නිෂ්පාදිත ‘ස්වර වර්ණ’ වැඩසටහනින් බිහි වූ නිර්මාණ කිසිවක් දුර්වල යැයි කිසිවකුට පැවැසිය නොහැකිය. ඉතා ඉහළ සාහිත්‍යයික අගයෙන් යුතු පදමාලා පමණක්ම තෝරා ප්‍රවීණ සංගීතඥයකු ලවා සංගීතවත් කර ඉදිරිපත් කිරීම මඩවල ගත් ක්‍රියාමාර්ගය විය. එහිදී ඇතැම් ප්‍රවීණ රචකයන්ගේ නිර්මාණ පවා ඔහු නොබියව බැහැර කළ අවස්ථා බොහොමයක් වූ බව අපි පෞද්ගලිකව දනිමු. උත්තම ගේය පදමාලා විනා රචකයාගේ ජනප්‍රියත්වය හෝ බොහෝ ගීත ලියා තිබීම, මඩවල ඇස්. රත්නායකයන් කිසිසේත් සුදුසුකමක් ලෙස නොසැලකීය. ‘මධුවන්ති’ වැඩසටහන හැරුණු කොට උත්තම ගීත නිර්මාණ ශ්‍රාවකයාට ප්‍රදානය කළ හොඳම වැඩසටහන ලෙස ‘ස්වරවර්ණ’ එකහෙළා හඳුන්වාදිය හැකිය. ‘පුබුද්ධ ගී’ නව පද මාලා, ගීත තරංගනී, ඊට සමීප වූ සංගීත වැඩසටහන් විය. මසකට වරක් විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පියකුට හෝ ශිල්පිනියකට ලබා දුන් සරල ගී වැඩසටහන් මඟින් ද සිංහල ගේය පද මාලා සාහිත්‍යයට සිදුවූ සම්මාදම අනල්ප ය. සනත්, වික්ටර්, නන්දා වැනි උත්තම ගායක ගායිකාවන් අතින් හරවත් බොහෝ ගීත බිහි වීමට එය මහඟු හේතුවක් විය. සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද මාලාවන්ගෙන් පමණක් සුපෝෂිත වූ සනත් නන්දසිරිගේ සරල ගී වැඩසටහනක් මෙන්ම සිරි ගුණසිංහයන්ගේ කාව්‍ය නිර්මාණ ඇසුරෙන් හඳුන්වා දුන් වික්ටර් රත්නායකගේ එක් සරල ගී වැඩසටහනක් මෙහිදී මගේ මතකයට ඇදී එයි.

මේ හැරුණු විට ඇතැම් තැටි සමාගම් රැසක් ද ගේය පදමාලා සාහිත්‍යයෙහි සම්මාදට දායක වූ බව පැවැසිය යුතුම ය. සූරිය, තරංගා, ජෙම්ටෝන්, නිල්වලා, සිංග් ලංකා ඉන් කිහිපයක් පමණක් බව පමණක් බව නොසඟවා පවසමි. ඇතැම් ගීත පමණක් නොව ගායක ගායිකාවන් සංගීත කණ්ඩායම් බිහි කිරීමට ද මේ ආයතන පුරෝගාමි වූ බව ලියා තැබිය යුතුය. මිල්ටන් මල්ලවආරච්චි යන නාමය එක් නිදසුනක් ලෙස ලියා තැබීමේ වරදක් නැතැයි හැ‍ඟේ.

අප වැනි කුඩා රටකට නොගැළපෙන පරිදි බොහෝ ගුවන්විදුලි සේවා පහළ වීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට හිමි වී තිබූ ගෞරවනීය ස්ථානය අහිමි විය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් හා පෞද්ගලික තැටි, පටි සමාගම් මඟින් බිහි කළ ගීත ද ඇතැම් චිත්‍රපට, ටෙලි නාට්‍යවලින් බිහි වූ ගීත ප්‍රචාරය කිරීම විනා නව ගීත නිර්මාණ බිහි කිරීමක් කිසිදු පෞද්ගලික ගුවන්විදුලි සේවාවකින් නොසිදු වූ බව කනගාටුවෙන් වුවද කිව යුතුය. ශ්‍රී ලංකා ගුවන්විදුලිය සහ මැදිරි සංකීර්ණ හෝ වාදක මණ්ඩල, පෞද්ගලික ගුවන්විදුලි ආයතන සතුව පවතී ද? සිදුවූ එකම දෙය බස වනසන නිවේදක නිවේදිකා පරපුරක් බිහි වීම හා ප්‍රමිතියකින් තොරව අවර ගණයේ ගීත ප්‍රචාරය කිරීමයි. ශ්‍රී ලංකා ගුවන්විදුලිය ගීතයක් පටිගත කිරීමේදී මෙන්ම, ඒවා තැටිගත කිරීමේදී පදමාලාව, තනුව සංගීතය හා ගායනය පිළිබඳ කොතරම් සැලකිලිමත් වී ද යන්න තතු දන්නවුන්ට පහදා දිය යුතු නොවේ. ඇතැම් ගීතයක් පටිගත කළත්, ජනතා හිතවාදී නොවේ යැයි පරීක්ෂණ මණ්ඩලය තීරණය කළ හොත් එකී ගීත ප්‍රචාරයෙන් ඉවත් කෙරේ. විමල් දිසානායකයන්ගේ කවිත්වයෙහි අග්‍රඵලය ලෙස අදත් බොහෝ විචාරකයන් පවසන ‘ඉන්ද්‍රවාහය’ කෘතියෙහි පැනෙන ‘අපේ ගුරුතුමිය’ මැයෙන් විරචිත (නටමින් එන්නී පන්තිය ඔකඳ කරන්නී) පැදි පෙළ දයාරත්න රණතුංගයන් ගීතයක් බවට පත් කළත් ගුරුවරියන් උපහාසයට ලක් වෙතැයි ප්‍රචාරයෙන් ඉවත් කෙරිණි. කුලරත්න ආරියවංශයන් රචනා කොට වික්ටර් රත්නායක සංගීතය සපයා අබේවර්ධන බාලසූරිය ගැයූ ‘එකම දවසේ එකම මොහොතක එකට මිය යමු අපි දෙදෙනා’ ගීතය එලෙස ඉවත් කළ තවත් නිර්මාණයකට නිදසුනකි. පිටතින් පටිගත කර හෝ තැටිගත කර ගුවන්විදුලියට පිරිනැමූ ඕනෑම ගීතයක් ප්‍රචාරය කිරීමට පෙරාතුව පදමාලාව මෙන්ම, ගායනය කෙරෙහි සුවිශේෂ සැලකිල්ලක් දැක්වූ බව අපි හොඳින්ම දනිමු. මඩවල ඇස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, ශාන්ති දිසානායක වැන්නන් එහිදී කළ මෙහෙය අනූපම වෙයි. මුදලක් සමඟ පිරිනමන්නේ නම් ඇතැම් පෞද්ගලික ගුවන්විදුලි සේවා ඕනෑම කුණු සින්දුවක් ප්‍රචාරයට කැපවන බව ද රහසක් නොවේ.

ගුවන්විදුලි සේවා යටපත් කර රූපවාහිනි නාළිකා බිහිව ඇති බව අද කුඩා දරුවෝද දනිති. පෞද්ගලික නාළිකා පසෙකින් තැබුවත්, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනී සේවාවට ගීතය උදෙසා හරවත් කාර්යභාරයක් ඉටුකළ නොහැකි ද? ‘සංඛ පද්ම’ ජාතික රූපවාහිනිය මඟින් නව ගීත නිර්මාණ බිහි කළ උත්තරීතර වැඩසටහනකි. සනත් නන්දසිරි, නන්දා මාලනී වැනි විශිෂ්ට ශ්‍රේණි‍යේ ශිල්පීන් සංඛ පද්ම වැඩසටහන මඟින් බිහි කළ ඇතැම් ගීත පිළිබඳ විද්වත් රසිකයෝ අදත් කතාබහ කරති. හිටි අඩියේ නතර කර දැමූ එවන් උත්තම සංගීත වැඩසටහන් නැවත අරඹන්නැයි ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර දැරූ බොහෝ දෙනකුගෙන් අපි පෞද්ගලිකව ඉල්ලා සිටියෙමු. එනමුත් සියල්ලෝ නෑසූ කන් ඇත්තෝ වූහ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.