සිංහල සංස්කෘතියේ අතීත වගතුග | සත්මඬල

සිංහල සංස්කෘතියේ අතීත වගතුග

පාලි භාෂාවෙන් රචිත ‘සීහළවත්ථුප්පකරණය’ හා ‘රසවාහිනිය’, පුරාතන සිංහල සංස්කෘතිය හැදෑරීම සඳහා ඉවහල් කරගත හැකි මාහැඟි මූලාශ්‍රය දෙකකි. ඉපැරැණි දේශීය කතා ප්‍රවෘත්ති අන්තර්ගත ‘සීහළවත්ථුප්පකරණය’, ධම්මනන්දි නමැති තෙරණුවන් විසින් රචිත කතා සංග්‍රහයක් වන අතර එහි සිංහල පරිවර්තනයක් 1969 වර්ෂයේ ‍පොල්වත්තේ බුද්ධදත්ත මාහිමියන් විසින් ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ යන නමින් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. මුලදී හෙළ බසින් රචනා වී පැවැති ‘රසවාහිනිය’ අනතුරුව අනුරාධපුර මහා විහාරවාසී රට්ඨපාල තෙරණුවන් විසින් හෙළ බසට නඟන ලදි. එහි පුනරුක්තාදි දෝෂ විද්‍යමාන වූ හෙයින්, පසු කාලයේ දඹදෙණි යුගය හෙබ වූ වේදහ හිමියෝ එකී දොස් පහ කර ‘රසවාහිනී’ කතා සංග්‍රහය යළි පෙළ බසින් සම්පාදනය කළහ. මේ ග්‍රන්ථයෙහි ‘ලංකාදීපුප්පත්ති කථා’ යනුවෙන් හැඳින්වෙන ලක්දිව හා සම්බන්ධ කතා වස්තු හැටතුනක් අන්තර්ගත වෙයි.

මේ ග්‍රන්ථ රචනා කර ඇත්තේ බෞද්ධාගමික පරමාර්ථ මුල් කරගෙන ය. කුසලයෙහි හැසිරීමේ ආනිශංස අකුසල් කිරීමේ ආදීනව හා තෙරුවන කෙරෙහි ශ්‍රද්ධා භක්ති පුරස්සරව කටයුතු කිරීමේ ඇති අගය ද මේ කෘතිවල හුවා දැක්වෙයි. එහෙත් ඒ අරමුණු එසේම තිබියදී මේ ග්‍රන්ථ ද්වයෙහි ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස පමණ වන විට මෙරට පැවැති සමාජ සංස්කෘතික තතු පිළිබිඹු වෙයි.

‘සීහළවත්ථුප්පකරණය’ හා ‘රසවාහිනිය’ යන කතාසංග්‍රහවල රාජරාජ මහාමාත්‍යාදින් පිළිබඳ පමණක් නොව එකල ජීවත් වූ දුගී දුප්පත් සාමාන්‍ය ජනයා පිළිබඳ ද තොරතුරු සඳහන් වීම හේතු කරගෙන මේ කෘති අගයෙන් වැඩි වෙයි. මේ ග්‍රන්ථ ද්වයෙහි පිළිබිඹු වන සමාජ සංස්කෘතික තත්ත්ව තහවුරු කෙරෙන බ්‍රාහ්මී ශිලාලේඛන ද ගණනාවකි. ඒ හැරුණු විට පසුකාලීනව දඹදෙණි රාජධානි සමයෙහි රචිත ‘පූජාවලියෙහි’ ඇතුළත් තොරතුරුවලින් ද මේ යුගය හා සම්බන්ධ යම් යම් කරුණු සනාථ කෙරෙයි.

ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස පමණ වන විට මෙරට ‍ගොඩමඩ ගොවිතැන යුගයට සාපේක්ෂක වූ වර්ධනයක් අත් කරගෙන පැවැති බව ‘සීහළවත්ථුප්පකරණය’ හා ‘රසවාහිනිය’ යන ග්‍රන්ථවල අන්තර්ගත කතා ප්‍රවෘත්තිවලින් හැඟවෙයි.

‘සීහළවත්ථුප්පකරණයෙහි’ ඇතුළත් ‘හංකාලාව‍ගේ කතාවෙහි’ සද්ධාතිස්ස රාජ්‍ය සමයේ හංකාල නමැති ගමේ බොහෝ ධන සම්පත් සතුව ජීවත් වූ කෙළෙඹි පුත්‍රයකු ගැන කියැවෙයි. ඔහු සතු වූ වී, මුං, මෑ ආදි වූ ධාන්‍ය වර්ග ගැල් දහසක පැටවිය හැකි තරම් මහත් ප්‍රමාණයක් විය. ‘සීහළවත්ථුප්පකරණයෙහි’ එන ඵුස්සදේව තෙරණුවන්ගේ කතාවෙහි ඵුස්සදේව හිමියන් වැඩම කළ මඟ දෙපස වූ කුඹුරු පිළිබඳ සඳහන් වෙයි. ඒ කෙත්වල වැඩෙහි යොදවා සිටි ගොනුන් ළිහා දමා මිනිස්සු තෙරුවන් නමැදීමට ගියහ. ‘සීහළවත්ථුප්පකරණයෙහි’ ඇතුළත් ‘මහාදේව උපාසකයාගේ කතාවේ’ එන මහාදේව, ඇල්වී, මුං, අමු, මෙනේරි සහ මෑ ආදි ධාන්‍ය වර්ග වගා කළ අතර ඔහුට ගැල් දහසක් බරැති සරු අස්වැන්නක් ලැබිණි.

එහිම අන්තර්ගත ‘චූලි උපාසකයාගේ කතාවෙහි’ එන මහාචූලි නම් උපාසකයා කුඹුරු වපුරන කාලයට බිත්තර වී ගෙන ගියේ කරත්තවලිනි. ‘රසවාහිනියේ’ ‘ගාමදාරිකා වස්තුවෙහි’ දැක්වෙන අන්දමට බ්‍රහ්මචෝල නමැති ගමේ මිනිස්සු විශාල භූමි ප්‍රමාණයක් සී සා මුංඇට වැපිරූහ.

කෘෂි කර්මාන්තයේදී වන සතුන්ගෙන් වගා ආරක්ෂා කර ගැනීම ගොවීන්ට අභියෝගයක් විය. ‘සීහළවත්ථුප්පකරණයේ’ ඇතුළත් ‘මහාදේව උපාසකයාගේ කතාවේ’ මහාදේව නමැති ගොවියා කුඹුර අසල වනයේ පැලක් සාදාගෙන පැල් රැක්කේ මේ අභියෝගය ජය ගැනීම සඳහා ය. වන සතුන්ගෙන් වගා රැක ගැනීම සඳහා ගොවීන් පැල් රැකීමෙහි නියැළුණු බව දඹදෙණි යුගයේ රචිත ‘පූජාවලියේ’ ද සඳහන් වෙයි. එයින් පෙනී යන්නේ පැල් රැකීම, වන සතුන්ගෙන් සිය ගොවි බිම් රැක ගැනීම සඳහා ගොවීන් පරපුරෙන් පරපුරට පවත්වා ගෙන ආ සම්ප්‍රදායක් වූ බවයි.

මේ අවධියට අයත් වාරිකර්මාන්ත පිළිබඳ අවධානය යොමු කිරීමේදී සද්ධාතිස්ස රජු පදී වැව හෙවත් පදවිය වැව හා මාලදෙණිය වැව ද ඇතුළු වැව් දොළසක් ඉදි කළ බවට ‘පූජාවලියෙහි’ දැක්වෙන ප්‍රවෘත්තිය වැදගත් කොට සැලකිය හැකිය. මේ වැව් කුඩා ජලාශ වී යැයි සිතිය හැකිය. අභිලේඛන මූලාශ්‍රය ද යම් යම් ප්‍රභූන් විසින් තනවන ලද කුඩා වැව් ගණනාවක් පිළිබඳ සඳහන් වෙයි. නක නකරක නම් වූ වැවේ හිමිකරුවා වූ උපාසක දත්ත නම් අයකු පිළිබඳ හඳගල සෙල්ලිපියෙහි කියැවෙයි. ඒ ලිපියෙහිම අනුළපි නම් වූ වැවේ හිමිකරුවා වූ ප්‍රමුඛ මහා වෙබලි සංඝයාට ලෙනක් පූජා කළ බව පැවැසේ. මණ්ඩගම සෙල්ලිපියක දැක්වෙන අන්දමට දාරකතිස්සාව මරගම යන නමින් වැවක් කර වූවා ය. අම්බගාමගේ නවදක ඇළ සංඝයාට පූජා කරන ලද බව නාච්චියාරමලෛ සෙල්ලිපියෙහි සඳහන් වෙයි. මාම්පිට විහාර ලිපියෙහි දැක්වෙන අන්දමට උත්තර නමැත්තකු මෙකල ඇළ මාර්ග භාරව කටයුතු කර ඇත.

ගොවිතැනින් ජීවත් වූ ජනයාගේ ජීවිත එක හා සමාන සමෘද්ධිමත් භාවයකින් යුක්ත නොවීය. හරිතාලතිස්ස නම් වූ දිළිඳු තරුණයා කුලියට ගොයම් කපා ලද වී අමුණ රැගෙන පෙරළා නි‍ෙවසට පැමිණි බව ‘සීහළවත්ථුප්පකරණයේ’ සඳහන් වෙයි. එහි ම ඇතුළත් ‘සම්බුද්ධ උපාසකයාගේ කතාවෙහි’ එන සම්බුද්ධ නමැත්තා දිළින්දෙකි. ඔහු සිය කුඹුරේ වී වපුරා ලත් සුළු අස්වැන්න පරිස්සමට තබා අල හා ඵල වර්ග අහර කොට ගෙන ජීවත් විය. ගොවිතැන ජීවිකාව සඳහා නොසෑහුණු කල ඇතැම්මු වෙනත් වෘත්තිවල ද නියැළුණහ. සීහළවත්ථුප්පකරණයේ ‘දුගී ගොවියාගේ කතාවෙහි’ එන ගොවියා සිය දියණිය ද සමඟ ගඩොල් කැපීමෙහි යෙදෙයි. කිසිදු ස්ථිර ජීවිකා වෘත්තියක් නැති ඇතැමකු ජීවත් වූයේ අස්වනු හිමි ගොවීන්ගේ කටයුතු කුලියට කරදීමෙනි. රසවාහිනියේ ‘ධර්මාවගේ කතාවේ’ එන ධර්මා අනුන්ට දර, කොළ, දිය ආදිය ගෙනෙමින් කුලියට වී කොටමින් ගොයම් පාගමින් ජීවත් වූ ස්ත්‍රියකි. ‘සීහලවත්ථුප්පකරණයේ ‘මනෝරම්මංස කතාවට’ අනුව එකල දිළින්දන් අහර කොට ගෙන ඇත්තේ නිවුඩු හාලේ බත් සහ කාඩි හොදි ය.

රසවාහිනියේ ‘උත්තරෝලිය කතාවේ’ එන ගොපලු සේවකයාගේ මව සිය පුතණුවන්ට අනුභවය සඳහා ලබාදෙන්නේ පිළුණු වී ගිය කටු අලයකි.

මේ අවධියට අයත් මිනිසුන්ගේ ජීවිකා වෘත්ති අතර ගව පාලනය ගොවිතැනට පමණක් දෙවැනි වූ බව පෙනෙයි. කුඹුරු සී සෑම, කිරි ලබා ගැනීම හා ගැල්වල යෙදීම සඳහා ගවයන් ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වූ බව පෙනෙයි. ‘සීහළවත්ථුප්පකරණයේ ‘ඵුස්සදේව තෙරුන්ගේ කතාවෙහි’ කුඹුරුවල වැඩෙහි යොදවා සිටි ගවයන් පිළිබඳ කියැවෙයි. ධාන්‍ය ප්‍රවාහනය සඳහා විශාල වශයෙන් ගැල් උපයෝගි කර ගැනුණු බව ‘සීහළවත්ථුප්පකරණයේ’ ඇතුළත් කතා කිහිපයකම සඳහන් වෙයි. ‘මහාදත්තගේ කතාව’ ගවයකු හා ගැල්කරුවකු පිළිබඳ ප්‍රවෘත්තියකි. රසවාහිනියේ ඇතුළත් ‘ශ්‍රද්ධා සුමනාගේ කතාවෙහි’ ද ගැල් භාවිතය පිළිබඳ කියැවෙයි.

මෙකල ආහාර සංස්කෘතියේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමුඛත්වයක් ගත් බව ‘සීහළවත්ථුප්පකරණයේ’ ඇතුළත් කතා ගණනාවකින් ප්‍රකාශයට පත් වෙයි. රසවාහිනියේ ‘තිස්සාවගේ කතාවේ’ එන තිස්සා භික්ෂුන් වහන්සේට සුවඳ ගිතෙල් නැලි ගණනාවක් දන් දෙයි. සීහළවත්ථුප්පකරණයේ එන ‘හරිතාලතිස්සගේ කතාවෙහි’ භික්ෂු සංඝයා විෂයෙහි පූජා කරන ලදැයි දැක්වෙන දාන වස්තු අතර දීකිරි සහ ගිතෙල් ද වෙයි. දීකිරි සහ ඇල්හාලේ බත් උසස් ආහාරයක් වශයෙන් සැලකුණු බව සීහළවත්ථුප්පකරණයේ ඇතුළත් ‘මනෝරම්මංස කථාවෙන්’ පැහැදිලි වෙයි. සීහළවත්ථුප්පකරණයෙහිම අන්තර්ගත ‘මහානාග තෙරුන්ගේ කතාවෙහි’ එන මාපිය දෙදෙනා සිය දියණිය අමතා, ඇල්සාලෙන් බත් පිස, මස් මාළු ද පිළියෙල කර, ගිතෙල් වත්කර එක්තරා භික්ෂුවකට පූජා කරන මෙන් දන්වා සිටිති. රසවාහිනියෙහි දැක්වෙන ආකාරයට සද්ධාතිස්ස රාජ්‍ය සමයෙහි එක් රාජපුරුෂයකු ගමකට ගිය අවස්ථාවේ ගම්වාසීහු ඔහුට ගිතෙල් ව්‍යඤ්ජන සහිත බත්වලින් සංග්‍රහ කළහ. රසවාහිනියේ ‘තිස්සාවගේ කතාවේ’ නොයෙක් සූප ව්‍යඤ්ජන පංච ගව රසය සමඟ දන් දුන් බව කියවෙයි. පංච ගව රසයට අයත් වන්නේ කිරි, දීකිරි, ගිතෙල්, මෝරු සහ වෙඬරු ය. රසවාහිනියේ ‘අරියගාලතිස්ස කතාවේ’ එන තිස්ස නමැත්තා භික්ෂුන්ට පූජා කරන චතුමධුර, ගිතෙල්, වෙඬරු, මීපැණි හා උක්හකුරුවල සම්මිශ්‍රණයකි. මේ නිදර්ශනවලින් පැහැදිලි වන්නේ, මෙකල කිරි සහ ඒ ආශ්‍රිතව පිළියෙල කෙරුණු ආහාර විශේෂ සුලබ වූ බව ය. එහෙයින් ගව පාලනයෙහි මුඛ්‍ය පරමාර්ථයක් වශයෙන් කිරිඑළදෙනුන් ඇති කරන ලද බව පෙනෙයි. රසවාහිනියේ ‘උත්තරෝලිය කතාවෙහි’ ගොපලු ගමක් ගැන සඳහන් වීමෙන් පෙනී යන්නේ ගව පාලනය සමාජ සංවිධානය සමඟ බද්ධ වී පැවැති බව ය.

පේෂ කර්මාන්තය මෙකල පැවැති තවත් ප්‍රමුඛ ජීවිකාවෘත්තියකි. ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීමෙන් පසුව දහස් ගණන් ගිහි ජනයා පැවිදි බිමට පත් වීමේ ප්‍රතිඵල වශයෙන් ඒ භික්ෂු පිරිසට අවශ්‍ය සිවුරු සැපයීම රාජ රජ මහාමාත්‍යාදින් ඇතුළු බෞද්ධ ජනතාව සතු වගකීමක් බවට පත් විය. එහෙයින් මෙරට පේෂකර්මාන්තය වඩා පුළුල් ආකාරයෙන් පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව පැන නඟින්නට ඇත. ඒ හැරුණු විට බෞද්ධ සිද්ධස්ථානවල යම් යම් අවශ්‍යතා සඳහා ද වස්ත්‍ර අවශ්‍ය වූ බව රසවාහිනියේ ඇතුළත් ‘ධර්මාවගේ කතාවෙන්’ පැහැදිලි වෙයි. ඒ කතා පුවතට අනුව ලජ්ජිතිස්ස රජ නා නා වර්ණවත් වස්ත්‍ර ගෙන්වා ගෙන විහාරයෙහි වියන් බැන්දවීය.

මේ සමයෙහි බෞද්ධ භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය තරම් සිවුරු නොවූ බව රසවාහිනියේ ඇතුළත් ‘කිඤ්චිසංඝාවගේ කතාවෙන්’ පැහැදිලි වෙයි. එහි එන කිඤ්චිසංඝා, තමා හැඳි වත භික්ෂුවකට පිරිනමා කොළ අතු ඇඳගත් බව කියැවෙයි. බෞද්ධ උපාසකයන් ඇතැම් අවස්ථාවල භික්ෂුන් වහන්සේලාට සිවුරු සඳහා වස්ත්‍ර පූජා කළ බව රසවාහිනියේ ‘මහා අභය තෙරණුවන්ගේ කතාවෙන්’ හෙළි වෙයි.

සද්ධාතිස්ස රාජ්‍ය සමයේ ඇඳුම් මැසීමෙන් ජීවත් වූ පුද්ගලයකු පිළිබඳ සීහළවත්ථුප්පකරණයේ ඇතුළත් ‘තිස්ස නම් සන්නාලියාගේ කතාවෙහි සඳහන් වෙයි. එහි කියැවෙන පරිදි සද්ධාතිස්ස රජ මේ සන්නාලියාගේ ධාර්මික භාවය ගැන අසා පැහැදී, ඔහුට සියලු උපකරණ සහිත නි‍ෙවසක්දී වස්ත්‍ර සිවුපනස් දහසක් ද ලබා දුන්නේය. එවක් පටන් මෙරට භික්ෂුන් වහන්සේලාට සිවුරුවලින් හිඟයක් ඇති නොවන්නේ තිස්ස සන්නාලියා සිවුරු දන් දීමේ හේතුවෙනි. මරණ මඤ්චකයේ වැඳ හෙව සිටියදී තිස්ස සන්නාලියා ලක්වැසි සියලු භික්ෂුන් වහන්සේලට තුන් සිවුරු පූජා කළේය.

රටේ සාමාන්‍ය ජනයාට අවශ්‍ය තරම් වස්ත්‍ර නොවූ බව සීහළවත්ථුප්පකරණයේ හා රසවාහිනියේ ඇතුළත් ඇතැම් කතාවස්තුවලින් අනාවරණය වෙයි. සීහළවත්ථුප්පකරණයේ ‘දුගී මිනිසාගේ කතාවෙහි’ එන දිළිඳු ගැමියා සතුව පැවැතුණේ වස්ත්‍ර දෙකක් පමණි. රෙදි කඩමාල්ලක් ඇඳගත් ගොපලු සේවකයකු පිළිබඳ රසවාහිනියේ ‘උත්තරෝලිය වස්තුවෙහි’ සඳහන් වෙයි.

පැරණි ලක්දිව පේෂ කර්මාන්තය පිළිබඳ යම් යම් තතු අභිලේඛන මූලාශ්‍රයේ ද දැක්වෙයි. වෙහෙරකෙම සෙල්ලිපියේ පේෂකාරයන්ගේ සංස්ථාවක් පිළිබඳ සඳහන් වෙයි. හිට්ටාරගම හින්න සෙල්ලිපියෙහි මත්ත නම් වූ පේෂකාරයකු පිළිබඳ කියැවෙයි.

ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස පමණ වන විට මෙරට ලෝහ කාර්මිකයන් වුසූ බව ද ලෝහ උපකරණ භාවිතයෙහි පැවැති බව ද සීහළවත්ථුප්පකරණයේ ඇතුළත් ඇතැම් කතා වස්තුවලින් හෙළි වෙයි. ‘සාලි කුමරුගේ කතාවෙහි’, ලෝකඩ වැඩෙහි දක්ෂ කම්කරුවකු පිළිබඳ සඳහන් වෙයි. දිනක් ඔහු ලවා උපකරණ තනවා ගනු පිණිස පැමිණි ගොවියෙක් ඊට හිලව්වට දීම සඳහා ඇල්හාල්, ඌරුමස් හා වේවැල් කරටි ගෙන එයි. සීහළවත්ථුප්පකරණයේ ම එන ‘තම්බසුමන හිමියන්ගේ කතාවෙහි’ ද අතීතයේ අනුරාධපුරයේ වුසූ ලෝකුරු වැඩට දක්ෂ කම්කරුවකු ගැන කියැවෙයි. ලෝහමය ආයුධ කිහිපයක් පිළිබඳ ද සීහළවත්ථුප්පකරණයෙහි ඇතුළත් කතා වස්තු කිහිපයක සඳහන් වෙයි. ‘ඛුද්දක තිස්ස තෙරුන්ගේ කතාවෙහි’ එන දර කපන්නා සිය කාර්යය සඳහා පොරොව සහ වෑය භාවිත කරයි. එක් භික්ෂුණියක් කිඹුලකුගේ ග්‍රහණයට හසු වූ වේලේ මිනිසකු ඇය මුදාගනු පිණිස කිරිච්චියක් ද අතැතිව දියට බට බව ‘තරුණ භික්ෂුණීන් දෙදෙනාගේ කතාවේ’ සඳහන් වෙයි. එයින් ප්‍රකාශයට පත් වන්නේ පොරොව වෑය හා කිරිච්චිය ද මෙකල භාවිත වූ අවි ආයුධ අතර වූ බව ය.

ඵුස්ස නම් වූ ලෝහ කාර්මිකයකු පිළිබඳ බ්‍රාහ්මණයාගම පිහිටි සෙල්ලිපියක ද, මජ්ඣිම නමැති ලෝහ කාර්මිකයකු පිළිබඳ මුතුගල්ලේ පිහිටි සෙල්ලිපියක ද, දින්න නම් වූ ලෝහ වැඩ කරන්නකු පිළිබඳ ගල්ලෑව විහාර ලිපියේ ද සඳහන් වෙයි.

ඊට අමතරව සාහිත්‍යයික හා අභිලේඛන මූලාශ්‍රයන්හි රන්කරුවන් හා මැණික් කපන්නන් පිළිබඳ ද තොරතුරු කියවෙයි. කුත්ත නම් වූ රන්කරුවාට රන් ලබාදී තලියක් තනා දෙන ලෙස සද්ධාතිස්ස රජු දැනුම් දුන් බව ‘සීහළවත්ථුප්පකරණයෙහි සඳහන් වෙයි. මිහින්තලේ අනෛකුට්ටි කන්දේ පිහිටි සෙල්ලිපියක නාග නමැති රන්කරුවා පිළිබඳ ද, මණ්ඩගල සෙල්ලිපියක සුමන නම් වූ රන්කරුවා පිළිබඳ ද කියැවෙයි.

කල්ලංචිය සෙල්ලිපියක බමතිය නම් වූ මැණික් වැඩකරුවා පිළිබඳ සඳහන් වෙයි. පණික්කන්කුලම සෙල්ලිපියක කියවෙන මැණික් වැඩකරුවා තිස්ස නම් වූ අයෙකි. මාම්පිට විහාර ලිපියෙහි ඵුස්ස නමැති මැණික් වැඩකරුවා ද, ගල්ගමුව සෙල්ලිපියෙහි නාග නමැති මැණික් වැඩකරුවා ද පිළිබඳ සඳහන් වී ඇති ආකාරය විද්‍යමාන වෙයි.

රන්කරුවන් හා මැණික් කපන්නන් විසින් ආභරණ තනන ලද්දේ ය. රසවාහිනියේ ‘උත්තරෝලිය කතාවේ’, එක්තරා මෑණියක සිය දරුවාගේ අකුරු කියැවීමේ මංගල්‍යය නිමිත්තෙන් ඔහුට ආභරණ පැලඳවූ බව සඳහන් වෙයි.

සාහිත්‍යයික හා අභිලේඛන මූලාශ්‍රයන්හි විවිධ තරාතිරම්වලට අයත්, විවිධ වෘත්තිවල නියුතු වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සඳහන් වෙයි. රසවාහිනියේ ‘කිඤ්චිසංඝාවගේ කතාවේ’ සංඝ නම් වූ අමාත්‍යයකු පිළිබඳ කියවෙයි. මණ්ඩගල සෙල්ලිපියක සඳහන් වන නුගය නමැත්තා ගණකාධිකාරීවරයෙකි. පෙරිය පුලියන්කුලමේ සෙල්ලිපියක සඳහන් වන වේලු නමැත්තා පරුමකවරයකු මෙන්ම අශ්ව අධ්‍යක්ෂවරයෙක් ද වෙයි. සිතුල්පව්වේ සෙල්ලිපියක සටහන් වන පරුමක තිස්ස අශ්වා රෝහක හමුදාවේ නිලධාරියෙකි. අශ්ව ශිල්පය උගන්වන ලද බව ද පෙනෙයි. හිට්ටාරගම හින්න සෙල්ලිපියෙහි අශ්වාචාර්යවරයකු පිළිබඳ කියවෙයි. අශ්ව ශිල්පය මෙන්ම හස්ති ශිල්පය ද උගන්වන ලද අතර තන්තිරිමලේ සෙල්ලිපියක බති නම් වූ හස්ත්‍යාචාර්යවරයකු පිළිබඳ සඳහන් වෙයි.

වාණිජ කටයුතුවල නිරත වූවෝ ද නාවිකයෝ ද තොටියෝ ද වඩුවෝ ද, කුඹල්ලු ද මෙකල වූහ. පෙරිය පුලියන්කුලමේ සෙල්ලිපියක විශාඛ නම් වූ දමිළ වෙළෙඳා පිළිබඳ ද මණ්ඩගල සෙල්ලිපියක සුමන නම් වූ වෙළෙඳා පිළිබඳ ද කියැවෙයි. විල්බා විහාර ලිපියේ, සංඝයාට ලෙනක් පූජා කළැයි කියවෙන වෙළෙඳා තිස්ස නම් විය.

අනුරාධපුරයේ අභයගිරි පෙදෙසේ ගල්කුලක ඇති සෙල්ලිපියක හා ආඬියාගල පිහිටි සෙල්ලිපියක නාවිකයන් පිළිබඳ කියවෙයි. හඳගල සෙල්ලිපියෙහි දැක්වෙන අන්දමට භික්ෂුන් වහන්සේ විෂයයෙහි ලෙනක් පූජා කළ සමණි නම් වූ උපාසිකාවගේ පුත්‍රයා වූයේ ද නාවිකයෙකි. මුතුගල්ලේ සෙල්ලිපියක සෝණ නමැති තොටියකු පිළිබඳ සඳහන් වන අතර රසවාහිනියේ ‘අරියගාල තිස්ස කතාවේ’ ගංගාතරණය සඳහා භාවිත වූ ජල යාත්‍රා විශේෂයක් පිළිබඳ පැවැසේ.

රසවාහිනියේ ‘අරියගාල තිස්ස කතාවේ’ භික්ෂූන් වහන්සේට පූජා කරන ලද ඇඳ, පුටු ආදිය ගැන සඳහන් වීමෙන් පෙනී යන්නේ මෙකල දැව භාණ්ඩ තැනීමෙහි සමත් වඩු කාර්මිකයන් සිටි බව ය. කුම්බකාරක තිස්ස, භික්ෂූන් වහන්සේට ලෙනක් පිදූ බව පතහමුල්ල විහාර ලිපියේ දැක්වෙයි. රසවාහිනියේ ‘ගම් දැරියගේ කතාවේ’ දිය ගෙන ඒම සඳහා කළගෙඩි භාවිත වූ බව කියැවෙයි. එවක ලක්දිව කුඹල් කර්මාන්තය භාවිතයෙහි පැවැති බව මෙයින් තහවුරු වෙයි.

සංස්කෘතියේ අභෞතික අංශය හා බද්ධ වූ කලාකරුවන් ද එකල වුසූ බව අභිලේඛනවලින් හෙළිවෙයි. සිතුල්පව්ව කොරවක්ගල සෙල්ලිපියක තිස්ස නම් වූ නාට්‍ය ශිල්පියකු පිළිබඳ ද මැදගම විහාර ලිපියේ තිස්ස නමින් ම හැඳින්වුණු නාට්‍යකරුවකු පිළිබඳ ද සඳහන් වෙයි. බිල්ලෑවේගල සෙල්ලිපියේ දැක්වෙන චිත්‍ර ශිල්පියා දත්ත යන නමින් හැඳින්වුණු අයෙකි. සීහළවත්ථුප්පකරණයේ ඇතුළත් ‘මහාදත්තගේ කතාවේ’ මහාදත්ත නමැති ගවා මරණාසන්නව බැතිර සිටියදී අයකු වීනා තැනීම සඳහා උගේ නහර ගලවා ගත් බව සඳහන් වීමෙන්, එවක භාවිතයෙහි පැවැති සංගීත කලාව පිළිබඳ ඇඟවීමක් කෙරෙයි.

අභෞතික සංස්කෘතිය මත පදනම් වූ භෞතික ඉදි කිරීම් පිළිබඳ තොරතුරු ද මේ අවධියට අයත් සාහිත්‍යයික මූලාශ්‍රයන්හි ඇතුළත් වෙයි. රසවාහිනියේ ‘ශ්‍රමණග්‍රාම කතාවේ’ සුදු වැලි අතුල මළු, සිහිල් දිය පිරුණු පොකුණු සහ පතස් ආදියෙන් සමන්විත වූ මිස්සක පව්වේ පිහිටි චෛත්‍ය හා ප්‍රතිමා ගෘහ පිළිබඳ සඳහන් වෙයි. එහි ඇතුළත් ‘බණ ඇසූ උපාසිකාවගේ කතාවෙහි’ මහගම නම් වූ ග්‍රාමයෙහි පිහිටි මැණික් වෙහෙර හා එහි දොරටුව සමීපයෙහි වූ ධර්ම ශාලාව ගැන ද, ‘අරියගාලතිස්ස කතාවේ’, අනුරාධපුරයේ පිහිටි පඤ්චම හා ආවාසය පිළිබඳ ද කියැවෙයි. ඒ වන විට දුටුගැමුණු රජු විසින් මහසෑය හෙවත් රුවන්මැලි සෑය ද ගොඩනඟනු ලැබ තිබිණි. සද්ධාතිස්ස රජු තිසා වැවේ ජලයට නොයෙක් සුවඳ වර්ග මුසු කර අහසට ගෙන ගොස් මහසෑයේ වැගිරෙන්නට සැලැස්වී යැයි සීහළවත්ථුප්පකරණයේ දැක්වෙන ප්‍රවෘත්තියෙන් එවක පැවැති තාක්ෂණික වර්ධනයේ එක් පැතිකඩක් අනාවරණය වෙයි.

මේ වන විට බුදුසසුන මෙරට කොතෙක් දුරට ස්ථාපිතව පැවැතිණි ද යත්, බුදුසමය වැලඳ ගත් බොහෝ දෙනා හඳුන්වන ලද්දේ උපාසක උපාසිකාවන් වශයෙනි. සීහළ වත්ථුප්පකරණයෙහි එන මහාදේව උපාසකයා, සම්බුද්ධ උපාසකයා රසවාහිනියේ එන බණ ඇසූ උපාසිකාව හා හඳගල සෙල්ලිපියේ සඳහන් වන උපාසක දත්ත ද මේ තරුණ නිදර්ශිත කරති. ඔවුන් ඇතුළු මෙරට බුදුසමය වැලඳගත් ස්ත්‍රී පුරුෂයෝ භික්ෂූන් ඇසුරෙහි දිවි ගෙවමින් උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කළහ.

භික්ෂූන් වහන්සේ විෂයයෙහි පූජා කරන ලද ආහාරපාන ප්‍රණීත ආකාරයෙන් පිස ගන්නා ලදි. අහර පිසීම සඳහා සූප ශාස්ත්‍රය ප්‍රගුණ කළ ස්ත්‍රීන් වූ බව රසවාහිනියේ ඇතුළත් ‘කිඤ්චිසංඝාවගේ කතාවෙන්’ පැහැදිලි වෙයි. මේ කතාවේ එන සංඝ අමාත්‍යයා සහ ඔහුගේ බිරිය, දෙවඟනක මෙන් රූපශ්‍රීයෙන් බැබළුණු සිය දියණියට සූප ශාස්ත්‍රය උගන්වති. සීහළවත්ථුප්පකරණයේ ඇතුළත් ‘හා මස් පිළිබඳ කතාවෙහි’ ද දිගු කලක් නරක් නොවී පවතින පරිදි හා මස් පිසීමෙහි සමත් ස්ත්‍රියක් පිළිබඳ සඳහන් වෙයි. ඇය මස් පිසින විට ඒ සුවඳ මුළු නගරය සිසාරා පැතිර ගිය බව කියැවෙයි.

කවර ආපදා අවස්ථාවකදී වුව බොදු සැදැහැවත්හු සංඝයා වහන්සේ අමතක නො කළහ; උන්වහන්සේලා සමඟ එක්වම දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දුන්හ. සීහළ වත්ථුප්පකරණයෙහි ඇතුළත්‘ භාණ්ඩාගාරික තිස්ස ඇමතිගේ කතාවෙහි’ දැක්වෙන අන්දමට එළැඹුණු මහා දුර්භික්ෂ සමයේ මේ ඇමතිවරයාගේ පවුල සතු වූ සියලු ධන සම්පත් නිමාවට පත් වෙයි. තිස්ස අමාත්‍යයා ද ඔහුගේ බිරිය ද, නියළු ඥාතිමිත්‍රාදීහු ද දුර්භික්ෂයෙන් මිය යති. පවුලේ ඉතිරි වී සිටි පුතුන් සත්දෙනා සහ එකම දියණිය ද තමන් ඉසුරුමත් කළ දන්දුන් භික්ෂූන් වහන්සේ සමඟ වනගත වෙත්. ඔවුහු භික්ෂූන් වහන්සේට වාසය සඳහා ශාලාවක් තනාදී තුමූ, මල්, ගෙඩි ආදිය අනුභව කරමින්, භික්ෂුන්ට ද දෙමින් රුක්මුල්වල වෙසෙති.

මේ සාගත සමයේ ම වන්දනාවේ යමින් සිටි භික්ෂූන් වහන්සේ සත්නමක් එක්තරා ගමකට පැමිණි විට එය මිනිසුන් විසින් අත්හරිනු ලැබ ජනශූන්‍යව පැවැති බව ද, එහි ඉතිරි වී සිටි එකම මහලු ස්ත්‍රිය භික්ෂුන්ට අනුභවය සඳහා කර කොළ තම්බා පිළිගැන්වූ බව ද සීහළවත්ථුප්පකරණයෙහි කර කොළ ‘දන්දුන් කතාවෙන්’ පැවැසෙයි.

ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසෙහි පමණ අයත් වූ කාලපරිච්ඡේදය සිංහල සංස්කෘතිය හැදී වැඩී එමින් පැවැති අවධිය වශයෙන් හැඳින්විය හැකිය. ගොඩ මඩ ගොවිතැන, ගව පාලනය, පේෂකර්මාන්තය හා වෙළෙඳාම ආදි ජීවිකාවෘත්තිවල නියැළෙමින් දිවි ගෙවූ මේ යුගයට අයත් මනුෂ්‍යයෝ යම් ප්‍රමාණයකින් ලෝහ උපකරණ භාවිතය දැන සිටියහ. ලෝකඩ, යකඩ වානේ,රන් හා මැණික් , වැඩට යොදා ගන්නා ආකාරය දත් ශිල්පීහු මෙකල විරල නොවූහ. රාජ්‍ය පාලනයට සහාය වීම සඳහා ඇමැති, භාණ්ඩාගාරික හා ගණකාධිකාරී ආදීන්ගෙන් සමන්විත වූ නිලධාරි පිරිසක් වූහ. උසස් නිලධාරීන් යටතේ පාලනය වූ හස්තීන් හා අශ්වයන් හා සම්බන්ධ කාර්යාංශ පවත්වා ගෙන යන ලද්දෙත්, හස්ති ශිල්පය හා අශ්ව ශිල්පය උගන්වන ලද්දේත් ආරක්ෂක හා යුද කටයුතු අරමුණු කරගෙන විය හැකිය.

සමාජ ජීවිතය ගත් කල මේ යුගයෙහි ධන ධාන්‍යාදියෙන් ‍හිඟයක් නොවූ ඉසුරුමතුන් මෙන්ම කිසිදු ස්ථිර ජීවිකා වෘත්තියක් නැති දිළින්දන් ද වූ බව පෙනෙයි. ඒ වනාහි නිෂ්පාදන විධිය හා බද්ධ වූ තත්කාලීන සමාජ සංස්ථානය මඟින් ජනිත කරන ලද අනිවාර්ය ප්‍රතිඵලයකි.

ජන ජීවිතය කෙරෙහි බුදු සමය පැතිර වූ ආධිපත්‍යය සංස්කෘතියේ අභෞතික අංශයෙහි ප්‍රමුඛව ඉස්මතු වෙයි. ගිහි-පැවිදි සම්බන්ධය ඉහළ මට්ටමක පැවැතිණි. මේ යුගයට අයත් කල් පවතින අයුරින් තනන ලද ස්තූප හා ප්‍රතිමා ගෘහ ආදියෙන් ද ප්‍රකාශයට පත් වන්නේ ආගම මුඛ්‍ය කර ගත් අභෞතික සංස්කෘතියේ ආධිපත්‍යය ම ය.

මේ යුගයේ වියළි කලාපීය ජනාවාසවල වාසය කළ ලක් වැසි ජනයාගේ ජීවිතයේ ප්‍රමුඛ ඌනතාව වශයෙන් වාරිකාර්මාන්ත ක්ෂේත්‍රයෙහි පැවැති, යුගයට සාපේක්ෂ වූ සීමිත වර්ධනය දැක්විය හැකිය. එහෙයින් තත්කාලීන ජනයාට එළැඹුණු මහා දුර්භික්ෂවලට මුහුණ දීම දුෂ්කර විය. මේ තත්ත්වයට වෙනස් වී මානුෂික පැවැත්මෙහි යම් ස්ථාවරත්වයක් ඇති වන්නේ ක්‍රිස්තු වර්ෂ පළමු වැනි සියවසේ මධ්‍යම ප්‍රමාණයේ මහ වැව් තැනීම ආරම්භ වීමෙන් පසුව ‍ය.

මහාචාර්ය ජිනදාස දනන්සූරිය

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.