සිනමාවේ අයිතිවාසිකම | සත්මඬල

සිනමාවේ අයිතිවාසිකම

සිනමාවේ අයිතිය හා ‍පරිපාලනය හිමි කාට දැයි යන පැනයට ලැබෙන පිළිතුරු පැහැදිලි ය. ඇත්ත වශයෙන්ම මේ සුලබ පිළිතුරු ද්විත්වයකි. පළමු පිළිතුර වැඩිහිටියන්a ය යන්නයි. දෙවැනි පිළිතුර පුරුෂයන් ය යන්නයි.

ලොව පුරා දැකිය හැක්කේ වැඩිහිටියන්ගේ සහභාගිත්වය ඉලක්ක කරගත් සිනමාපට ය. වැඩිහිටි සිතුම් පැතුම් හා චර්යා ද, වැඩිහිටි චරිත ද, වැඩිහිටියන්ට ම ආවේණික පෙළ ගැසීම් ද මේවායේ නිරූපිතව තිබේ. සිනමාවේ සේම නිර්මාණ ලෝකයේ බොහෝ තැන්හිදී විද්‍යමාන වන බහුල තෝරා ගැනීම වන ස්ත්‍රී - පුරුෂ ප්‍රේමය ද නිරනුමානවම වැඩිහිටි කේන්ද්‍රීය වූවකි. එසේම ත්‍රාසය, භීතිය, හාස්‍ය, සංවේගය, ලිංගිකත්වය ආදි පිවිසුම් විෂයයෙහි වැඩිහිටි දායකත්වය කැපී පෙනෙන සුලු ය.

සිනමාව මුළුමනින්ම හෝ වැඩිපුරම නූතන හා කෙමෙන් වැඩෙන තාක්ෂණය සමඟ සබැඳුණු ප්‍රකාශන කාර්යයක් වන්නේ ය යන සත්‍යය අතීතයේ පටන් ම හසු කර ගන්නේ පුරුෂ පාර්ශ්වයයි. විශේෂයෙන්ම වෘත්තාන්ත සිනමාව, සිනමාකරුවාගේ කාර්යයක් ය යන්න පැවැසෙන හැම විටෙකදී ම මේ පුරුෂ මූලික බව ඉස්මතු කෙරේ. එනම් ලොව පුරාම සිනමාකරුවන් බහුල ය යන්නයි; සිනමාකාරියන් දුලබ ය යන්නයි. එසේම සිනමාවේ බොහෝ තීරණාත්මක අංශවල වැඩිපුර සක්‍රිය වන්නේ පුරුෂයන් ය. ස්ත්‍රී දායකත්වය පුරුෂයන්ට සමානව ප්‍රකට කෙරෙන්නේ එක්කෝ රංගන පාර්ශ්වයෙනි. නො එසේ නම් ගායන පාර්ශ්වයෙනි. පුරුෂ විකල්ප ඊට අදාළ ව භාවිත කළේ අතීතයේ එහෙමත් තැනක ය.

යට කී පැනය ද, සුලබ පිළිතුරු ද්විත්වය ද මේ අනුව වඩා සහේතුක හා වඩා යථාර්ථවාදි වන අන්දම රහසක් නොවේ. සිනමාව ප්‍රතිකියැවීම් සඳහා උත්සුක වන්නවුන්ට ද මෙතැන මඟහැර යෑම අපහසු ය.

මෙහිලා සැඟව යන දෙපාර්ශ්වයකි. ඒ ස්ත්‍රීන් හා ළමයි ය. ඉන් ළමයින්ගේ තත්ත්වය විටෙක ශෝචනීය බැව් පෙනෙයි. ඊට තුඩු දෙන හේතු අතර මූලික වන්නේ සිනමාවේ කිසියම් තීරණාත්මක කාර්යයකට සහභාගි වනු පිණිස ළමයින් සතු අවම අවකාශයයි. එනම් සිනමාවේ අධ්‍යක්ෂණය බඳු කාර්යයන් මුළුමනින්ම ළමයින්ගේ දායකත්වයෙන් තොර වීමයි. ළමයින්ගේ සිනමා දායකත්වය ද තීරණාත්මක වන්නේ එක්කෝ රංගන පාර්ශ්වයෙනි. නො එසේ නම් පසුබිම් ගායන පාර්ශ්වයෙනි.

මේ සිනමාවට විශේෂිත වූවක් සේ හඳුන්වා දීමට ද පුළුවන. නිසැකවම සිනමාව, රූපවාහිනිය බඳු තාක්ෂණය මත වැඩිපුර රඳා සිටින මාධ්‍ය විෂයයෙහි තීරණාත්මක සාධකයක් වීමේ ඉඩ ප්‍රස්තාව ළමයින්ට නොලැබෙන තරම් ය. එනමුදු නිර්මාණ සාහිත්‍යය, චිත්‍ර ශිල්පය බඳු ක්ෂේත්‍ර කිහිපයකදි ස්වීයත්වයක් සාක්ෂාත් කරගන්නට ළමයින් සමත් වන අවස්ථා බොහෝ ප්‍රමාණයකි.

ඇතැම් තැනෙක මෙබඳු පිවිසුම් අභිවර්ධනය වන්නේ ද ළමයින් නිසාම ය.

වැඩිහිටියන් විසින් ළමා පරපුර උදෙසා සිනමාව භාවිත කරනු ලබන්නේ මෙවැනි පසුබිමකයි. මෙතැන සාකල්‍යයෙන් ම ළමයින් උදෙසා ම නිර්මිත සිනමාපට ද තිබේ. එසේම ළමයින් උදෙ‍සා යැයි පැවැසෙන සිනමාපට ද තිබේ. විචාර කාර්යයන්ගේ එක් බරපතළ වගකීමක් වන්නේ ළමා සිනමාවට අදාළ මේ දෙයාකාරය නිවැරදිව හඳුනා ගැනීමයි. කෙසේ නමුදු සිදු විය හැකි අනර්ථයක් වන්නේ ළමා සිනමාව යන සිනමාපට ප්‍රවර්ගය අලළා සාවද්‍ය හා පසුගාමී අර්ථකථන උත්පාද වීමයි.

ලෝකයේ හැම සිනමා කලාපයක ම පාහේ ළමා සිනමා භාවිතය සම්බන්ධයෙන් පවතින්නේ මෙබඳු වාතාවරණයකි. එහෙයින්ම මේ සිනමාවට පොදු ලක්ෂණයක් සේ වටහා ගැනීම ප්‍රඥාගෝචර ය. එහෙත් ඒ ඒ සිනමා කලාප සතු වපසරිය ආදි මුල් පෙළේ හේතු අබියස උක්ත පොදු ලක්ෂණයේ විචල්‍යතා විද්‍යමාන විය හැකි බව පැවැසිය යුතුම ය.

ලාංකේය සිනමා කලාපය ද, ලෝක සිනමාවේ ම කොටසක් බවට පත් වන්නේ ළමා සිනමා භාවිතය සම්බන්ධයෙන් ‍පවත්නා උක්ත තතු ද හේතුවෙනි. කොහොමත් වර්තමානයේදී සිනමාව හුදෙක් ඊට පිටු දුන් කලාපයට පමණක් සීමා වන්නේ නම් ඒ බොහෝ කොටම භෞතික වශයෙනි. මතවාදීව බොහෝ නිර්මාණාත්මක සිනමා පට කලාපීය සීමා නොතකා හරින්නට පෙලඹෙන වග ද පෙනෙයි. කෙසේ වෙතත් හැම සිනමා පටයක් ම කලාපීය සීමා භෞතික වශයෙන් ඉක්මන් වන්නේ යැයි කිව හැකි නොවේ. ඊට ප්‍රශස්ත හා විධිමත් ක්‍රමෝපායයන් සාක්ෂාත් කරගැනීම අවැසිම ය.

ලාංකේය සිනමාවේ ළමා සිනමා වුවමනා වැඩිපුරම ප්‍රකට කරන්නේ ළමයින් උදෙසා නිර්මිත යැයි පැවැසෙන සිනමාපට ඔස්සේයි. නිරනුමානවම ළමා සිනමාපට යැයි කිව හැකි සිනමාපට ප්‍රමාණාත්මකව සීමා සහිත වුවද ගුණාත්මකව ඉහළ වටිනාකමක් පෙන්නුම් කරන අන්දම පෙනෙයි. එනමුත් මේ මොහොත වන විටත් ගුණාත්මකව ඉහළ වටිනාකමක් පෙන්නුම් කරන - ඇත්ත වශයෙන් ම ළමා සිනමා භාවිතයකට අදාළ සිනමා පට ප්‍රවණතාවක් හෝ නිශ්චිත සිනමා පට මාදිලියක් සේ සක්‍රීයව පවතින ආකාරයක් නම් දැකගත හැකි නොවේ. නිසැකවම මේ කනගාටුදායක තත්ත්වයකි. හැත්තෑ දෙවසරක් ගත වුවද ලාංකේය වෘත්තාන්ත සිනමාවට ජය ගත හැකි නොවූ අභියෝග තවදුරටත් පවතින බව ද ඉන් ගම්‍ය කෙරේ.

ලාංකේය සිනමාව සතු විශිෂ්ටතම ළමා සිනමා පට කිහිපයක් පිළිබඳ මතකය අවදි කරන්නට මේ අනගි කාලවකවානුවකි. ඒ විචාරක හා ප්‍රබුද්ධ ප්‍රේක්ෂක පිළිගැනීමට අනුව ලාංකේය සිනමාවට එක්වූ විශිෂ්ටතම ළමා සිනමාපටයක් වන ‘හඳයා’ මේ වසරේදී සිය 40 වැනි සංවත්සරය සැමරීමයි. දශක සතරකට පසුව වුවද ‍යම් සිනමාපටයක් පිළිබඳ මතකය ප්‍රතිකියැවීමක් සේ අවදි කළ හැකි වීමෙන් අවධාරණය කෙරෙන්නේ එය සතු නිර්මාණශීලිත්වය කාලානුරූපව වියැකී නොයන බවයි. ‘හඳයා’ කාලානුරූපව වියැකී නොගිය, නව අර්ථකථන සඳහා වුව සපැමිණි සිනමා පටයක් වෙයි.

‘හඳයා’, එහි අධ්‍යක්ෂ ප්‍රවීණ සිනමාකරු ටයිටස් තොටවත්තගේ අවසන් සිනමා අධ්‍යක්ෂණය වීම තරමක් උත්ප්‍රාසාත්මක ය. ‘හඳයා’ මහජන ප්‍රදර්ශනයේදී ලද සාර්ථකත්වයත්, දේශීය වශයෙන් හා අන්තර්ජාතික වශයෙන් ලද පිළිගැනීමත් කියාපෑවේ ටයිටස් ලාංකේය ළමා සිනමා භාවිතයේ සුපෝෂණය පිණිස දිගින් දිගට ම පියවර ගත යුතු බවයි. එනමුත් ටයිටස් ‘හඳයා’ අධ්‍යක්ෂණය කිරීමෙන් අනතුරුව සිනමා අධ්‍යක්ෂණයට නොපැමිණීම 1980 දශකයේ ලාංකේය සිනමාවේ කලාත්මක හා විවාදාත්මක අභිවර්ධනයට අභියෝගයක් වූයේ යැයි සිතේ.

වර්ෂ 1979 නොවැම්බර් මස 16දා එවකට ක්‍රියාත්මක කලාත්මක හා සම්භාවනීය සිනමාපට ප්‍රදර්ශනය වෙනුවෙන් වූ 5 වැනි සිනමා ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමා ශාලා 15ක ‘හඳයා’ ප්‍රදර්ශනය ඇරඹිණ. ඉන් සිනමා ශාලා 09කම ‘හඳයා’ දින 50ක් ඉක්මවා ප්‍රදර්ශනය කළ බව සඳහන් ය.

(චිත්‍රපට වාර්ෂිකය 31,32,33 - O.C.I.C. අන්තර්ජාතික කතෝලික සිනමා සංවිධානයේ ශ්‍රී ලංකා සිනමා පර්ෂදය, පි. 915)

ටයිටස්ගේ සිනමා භාවිතය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද බව සත්‍යයකි. ඒ පසුපස පවතින්නේ විචාරශීලි ඇවතුම් පැවැතුම් පමණක් ම නොවේ.

සරල හා මතුපිට ආශ්වාදයක්ම ප්‍රිය කරන ප්‍රේක්ෂකයන් ද නොපැකිළව ටයිටස්ගේ සිනමා භාවිතයට සැලකිය යුතු අන්දමින් ආසන්න වූ බව සිහිකට යුතුය. හොඳම උදාහරණය වන්නේ ‘චණ්ඩියා’, ‘හාරලක්ෂය’ හා ‘මරුවා සමඟ වාසේ’ යි. මේ අනුව ‘හඳයා’ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබීම අහම්බයක් නොවන වග පෙනෙයි. එනමුත් ඒ තුළ ‘හඳයා’ ළමා සිනමාපටයක් ය යන කාරණය විසින් සිදුකරනු ලබන මැදිහත් වීම තීරණාත්මක ය.

 

‘හඳයා’ ලද ඉහළම අන්තර්ජාතික සම්මානය ලාංකේය සිනමාවේ අන්තර්ජාතික ජයග්‍රහණ විෂයයෙහි හිමිකර ගත්තේ වඩා ඉහළ ස්ථානයකි. වර්ෂ 1980දී පැවැති ඉතාලියේ ගිෆොනි (GIFFONI) අන්තර්ජාතික ළමා හා තරුණ සිනමා උලෙළේදී හොඳම සිනමාපටයට හිමි සම්මානය (GRAND PRIX) හිමි වූයේ ‘හඳයා’ ට ය. කළු - සුදු සිනමාපටයක් වීමත්, උලෙළට ඉදිරිපත් කළ පිටපතේ ඉංග්‍රීසි බසින් උප සිරැසි නැති වීමත් යන දෙකරුණ උක්ත සම්මානය පිරිනැමීමේදී සලකා නොබැලීමෙන් ගම්‍ය වන්නේ ‘හඳයා’ හි රූප රචනය හා රූප පෙළගැස්වීම සතු ප්‍රබලතාවයි.

වර්ෂ 1979දී මුල්වරට ප්‍රදර්ශිත සිනමාපට පාදක කරගෙන පැවැත්වූ දේශීය සිනමා උලෙළ ද්විත්වයකදීම ‘හඳයා’ ට ඉහළ ම පිළිගැනීමක් ලැබුණු වග අමතක නොකළ යුතුය. වර්ෂ 1980 ‘සරසවිය’ සිනමා සම්මාන උළෙලේ හොඳම සිනමාපටය හා හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන ගණනාවක් ම ‘හඳයා’ වෙනුවෙන් වෙන් කෙරිණි. වර්ෂ 1980දීම පැවැත්වූ ඕ. සී. අයි. සී. උත්තමාචාර සිනමා සම්මාන උලෙළේදී ද ‘හඳයා’ ට නිර්මාණශීලි අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන ගණනාවක් පිරි නැමුණේ ප්‍රශස්ත ළමා සිනමා භාවිතයකට ඇති අවකාශයට ඵලදායී වටිනාකමක් එක් කරමිනි.

කෙසේ නමුදු වර්ෂ 1980දී පැවැත්වූ දෙවැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී හොඳම සිනමාපටය හා හොඳම අධ්‍යක්ෂණය යන ප්‍රමුඛ සම්මාන පිරිනැමුණේ වැඩිහිටි කේන්ද්‍රීය විශිෂ්ටතම ලාංකේය සිනමාපටයක් වන ‘පළඟැටියෝ’ ටයි. මෙහිදී ‘හඳයා’ ට විශේෂ ජුරි සම්මානයක් පිරිනැමුණේ එහි විශිෂ්ටත්වය යටපත් කළ නොහැකි වූ නිසාම ය.

‘හඳයා’ හි නිල නිෂ්පාදක වන්නේ ටයිටස් තොටවත්තයි. එහෙත් ‘හඳයා’ නිෂ්පාදනයට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ණය ආධාර ලැබී තිබිණි. සමකාලීනව වසන්ත ඔබේසේකරගේ ‘පළඟැටියෝ’ හා ධර්මසේන පතිරාජගේ ‘සොල්දාදු උන්නැහෙ’ වෙනුවෙන් සංස්ථා ණය ආධාර ලැබුණු වග අමතක නොකළ යුතුය.

‘හඳයා’ හි ආ එක් ගීයක් ඇරැඹෙන්නේ ‘කවුරුද කවුරුද දැන් ලොක්කෝ’ මැයෙනි. ටයිටස් ‘හඳයා’ හි දෙවැනි අදියර නම් කළේ ද ‘කවුරුද කවුරුද දැන් ලොක්කෝ’ යනුවෙනි. ඊට අදාළ තිරනාටකයට චිත්‍රපට සංස්ථාවේ අනුමැතිය ලැබුණ ද යට කී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොවූ බවත්, හඳයා හි චරිත නිරූපණයට එක්වූ ළමුන් උස් මහත් වූ බවත් ටයිටස් පසුකාලීනව පවසා ඇති වග නුවන් නයනජිත් කුමාර පවසයි.

(සොඳුරු අදියුරු වත, සොඳුරු අදියුරු සකසුවාණෝ පි - 229)

ටයිටස්ගේ මේ ප්‍රයත්නය ව්‍යර්ථ වීම පසුපස රූපවාහිනියේ ආගමනය ද අවිඥානකව හෝ පවතී. 1980 දශකයේ සිට ටයිටස් කැපී පෙනෙන්නට වූයේ රූපවාහිනිය ඔස්සේ ප්‍රශස්ත හා ආනන්දජනක ළමා වැඩසටහන් නිර්මාපකයකු ලෙසිනි. සිනමාවේ පැළපදියම් වූ ඇතැම් සිනමාකරුවන්ට රූපවාහිනිය ජය ගත නොහැකි අවස්ථා තිබූ වග පැහැදිලි ය. විශේෂයෙන් ම ඒ වෘත්තාන්ත සිනමාවෙන් ටෙලි නාටකයට අවතීර්ණ වීමේදීයි. මෙහිලා ජයග්‍රහණ වාර්තා කළ සිනමාකරුවන් අතර වඩාත් ම කැපී පෙනෙන්නේ ධර්මසේන පතිරාජ හා තිස්ස අබේසේකර විය යුතුය.

‘හඳයා’ අධ්‍යක්ෂණය කිරීමෙන් අනතුරුව ටයිටස් රූපවාහිනියට අවතීර්ණ වන්නේ රූපවාහිනී ප්‍රාසංගික ටෙලි නාට්‍යකරුවකු ම නොවෙමිනි. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් ආ ‘රන් කහවණු’ ප්‍රාසංගික ටෙලිනාටකය තවදුරටත් සැලකෙන්නේ අපූර්ව හා විධිමත් විනෝදාස්වාදයකට බර අවස්ථාවක් ලෙසිනි. එනමුත් ටයිටස් විදේශ ළමා රූපවාහිනී වැඩසටහන් සිංහලට හඬකවා ඉදිරිපත් කිරීමේදී ප්‍රකට කළ ප්‍රතිභාව වඩාත් කැපී පෙනෙයි. අදත් ටයිටස්ව ඊට අදාළව හඳුනා ගන්නවුන් බොහෝ දෙනෙකි. ඉන් කියැවෙන්නේ ‘හඳයා’ ගෙන් අනතුරුව ටයිටස් සිය සිනමා ගමන නතර කළ ද ළමා පරපුර උදෙසා වන සිය මනාපය අත්නොහැරිය බවයි. ඒ අනුව ටයිටස් යනු ළමා පරපුරේ උසස් රසඥතාව වෙනුවෙන් සිනමාව ද, රූපවාහිනිය ද ප්‍රබලාකාරයෙන් භාවිත කළ නිර්මාණකරුවෙක් වෙයි.

‘හඳයා’ හැරුණු කොට හැත්තෑ දෙවසරක ලාංකේය කතානාද සිනමාවේදී හමු වන වෙනත් ළමා සිනමාපට කෙරෙහි අවධානය යොමු කරලන්නට ද මේ සුදුසු ම අවස්ථාවකි. එහෙත් එබඳු සිනමාපට ඇත්තේ අතළොස්සක් පමණක් වීම අභාග්‍යසම්පන්න ය.

මේ පසුපස සිනමාවේ අධිකාරි බලය වැඩිහිටි පුරුෂයන් අතම පවතින්නේ ය යන කාරණාව පවතී. එනම් ඔවුන් සිනමාව තම වුවමනා සඳහා උපයෝගිකර ගැනීමයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘පිං හාමි’ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘හෝ ගානා පොකුණ’ මෙහිලා කැපී පෙනෙන ළමා සිනමාපට ය. ප්‍රශස්ත ළමා සිනමා භාවිතයකට උනන්දු වූ සිනමාපට ද හඳුනා ගත නොහැකි නොවේ. ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘අරුමෝසම් වැහි’ එක් උදාහරණයකි.

‘හඳයා’ දශක සතරකට පසුව වුව නැවුම් හා ආකර්ෂණීය සිනමාපටයක් වන්නේ වර්ණ සිනමා බලපෑම මධ්‍යයේ කළු - සුදු සිනමාව සතු සුවිශේෂත්වය අවධාරණය කිරීම ද ‍නිසාවෙනි. එක අතකට ‘හඳයා’ හි ප්‍රකාශන විලාසය ද, අන්තර්ගතයේ හැඩය ද ඉඟි කරන්නේ ඊට කළු - සුදු වර්ණ ද්විත්වය අතිශයින්ම උචිත බවයි. ස්වකීය චරිත සම්මත කළු - සුදු චරිත බවට පත්කිරීම ටයිටස්ගේ ක්‍රමෝපායයක් විය හැකිය. එහෙත් අවසනදී ඔහු කළු - සුදු මිශ්‍රණයකින් චරිත ඔප් නැංවීමට සමත් වෙයි. මෙබඳු විටෙක කළු - සුදු වර්ණ භාවිතය තියුණු අන්දමින් උපයෝගි කර ගන්නට පුළුවන.

ඇතැම් විචාර - ප්‍රතිචාර මෙතැනදී ‘හඳයා’ ප්‍රශ්න කරන්නට වූයේ සහේතුකව ය. ඒ තුළ වුව ‘හඳයා’ නො ඇගයූ අවස්ථා සීමිත බැව් පෙනෙයි. සුනිල් මිහිඳුකුල කියා සිටින්නේ ‘හඳයා’ හි එන පුවත අර්ථවත් ය යන්න විවාද රහිත බව ය. එනමුත් දෘෂ්ටිමය දුබලතා ‘හඳයා’ ට අභියෝග කරන්නේ යැයි ද අනතුරුව ඔහු දැක්වූ අදහස් වෙතින් ගම්‍ය වෙයි. එසේම සුදන දුදන චරිත වර්ගීකරණය ළමා සිනමාපටයකට කෙතරම් උචිත ද යන ප්‍රශ්නය මෙහිදී පැන නඟින බවත් සුනිල් මිහිඳුකුල කියා සිටී.

(‘හඳයා’ සිංහල සිනමා සිහිවටන පි - 232)

ටයිටස් තොටවත්ත ලාංකේය සිනමාවේ වඩාත්ම ප්‍රකට සිනමාකරුවකු ලෙස පමණක් ම නොවේ. සිනමා සංස්කරණ ශිල්පියකු වශයෙන් ද, ඔහු ප්‍රකට වන්නේ 1950 දශකයේ පටන් ම ය. ලාංකේය කලාත්මක - සම්භාවනීය සිනමාවේ පුරෝගාමි අවස්ථාව සේ සැලකෙන වර්ෂ 1956දී මුල්වරට ප්‍රදර්ශිත ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ සඳහා වූ ටයිටස්ගේ සංස්කරණ දායකත්වය ඊට හොඳම උදාහරණයකි. එසේම ලාංකේය සමාන්තර සිනමාවේ එක් ප්‍රාරම්භක අවස්ථාවක් වන ‘රන්මුතු දූව’ හි ආ ටයිටස්ගේ සංස්කරණ සහභාගීත්වය ද කැපී පෙනෙයි. අනෙක් අවස්ථා වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘සංදේශය’ හා ටයිටස්ගේ ම ‘චණ්ඩියා’ යි. ටයිටස් මේ සිනමාපට ද්විත්වයේ ම සංස්කරණ ශිල්පියා ය යන්න කිසිසේත්ම අමතක නොකළ යුත්තකි.

‘හඳයා’ සංස්කරණයේදී ටයිටස් ළමා සිනමාපටයකට උචිත රිද්මය සාක්ෂාත් කර ගත්තේ සතතාභ්‍යාසයෙන් පමණක් ම නොවේ. ඇත්ත වශයෙන් ම ඔහු ‘හඳයා’ ට ප්‍රථම ළමා සිනමාපටයක සංස්කරණය නොකළ වග සිහිකට යුතුය. මෙතැනදී ඔහු ‘හඳයා’ හි එන ක්‍රියාදාම ස්වරූපය කෙරෙහි ද නොමඳ සැලකිල්ලක් දැක්වූ අන්දම පෙනෙයි. ‘හඳයා’ හි රූප රචනය ප්‍රවේගවත් විලාසයක් ගන්නේ එහෙයිනි.

‘හඳයා’ හි සංස්කරණය වෙනුවෙන් වර්ෂ 1980දී පැවැති ඕ. සී. අයි. සී. උත්තමාචාර සිනමා සම්මාන උලෙළේදී ටයිටස් වෙත පිරිනැමුණු නිර්මාණශීලි සංස්කරණයට හිමි සම්මානය වෙනුවෙන් වූ හේතු පාඨය ඉහත සඳහන සනාථ කරයි.

“ඒ තේමාව හා සිද්ධි සමුදායක් නිර්මාණශීලි අන්‍යොන්‍ය සංකලනයෙන් යුතු කතා වස්තුවක් මඟින් සිනමාත්මක ලෙස තෝරා ගන්නා ලද අවස්ථා මාලාවකට අඛණ්ඩ ප්‍රවණතාවක් සහ තර්කානුකූල ඒකාබද්ධතාවක් ආරෝපණය කිරීම උදෙසාත්, කල්පිතය සහ යථාර්ථය එකට යා කෙරෙන සේ තැනෙන සිනමා රූපාවලි අමුණමින් අහ්ලාදජනක ළමා විය පදනම්කර ගත් චිත්තාකර්ෂණීය වීර කතාවක් ප්‍රකාශ කිරීම උදෙසාත් නිර්මාණශීලි සංස්කරණයට හිමි සම්මානය ටයිටස් තොටවත්තට පිරිනැමෙන්නේය” යනුවෙනි.

(OCIC - SIGNIS ඉතිහාසය සහ උත්තමාචාර හේතු පාඨ, පි - 58, සංස්කරණය: සුගත් මහින්ද සෙනරත්/ ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා)

බොහෝ විට ළමා සිනමාපට හා ළමුන් උදෙසා නිර්මිත යැයි පැවැසෙන සිනමාපට සඳහා විෂය වන්නේ අතිශය සුන්දර හා සුරතල් ළමුන් ය. ඒ සාපේක්ෂ දැක්මකට යටත්වයි. එසේම දිළිඳු බවින් පීඩා විඳිමින් සිටියද විශේෂයෙන් ම මැද පන්තික ප්‍රේක්ෂක ආකර්ෂණයට පාත්‍රවන ළමුන් ද මෙතැනදී හමුවන්නට ඉඩ තිබේ. දුක දිනා ජය ගන්නා සම්ප්‍රදායික ළමා හපනුන් ද මෙහිලා හඳුනා ගන්නට පුළුවන. වර්තමාන ළමා සිනමා අත්දැකීම් ඇසුරෙන් ද මෙකරුණු විශද කළ හැකි වේ.

එහෙත් ටයිටස් ‘හඳයා’ නිර්මාණය කරන විට කල්පනා කර ඇත්තේ ඊට වඩා වෙනස් ආකාරයෙනි. ඔහු නොපැකිළව හා සෘජුවම අග නගරයේ අව වරප්‍රසාදිත ළමා පිරිසක් ඉලක්ක කර ගන්නේ දෘශ්‍යමාන සුන්දර ළමා සිනමාපට පිළිබඳ ඇමැත් විදේශීය අත්දැකීම් ද ප්‍රශ්න කරලීමේ හැකියාවක් ප්‍රේක්ෂකයනට ලබා දෙන අතරතුර ය. එසේම ටයිටස් ඒ ඔස්සේ අග නගරයේ අව වරප්‍රසාදිත ජන ජීවිතය ද හසුකර ගන්නට සූදානම් වෙයි. ඔවුන් දොඩන බස, නිරත වන රැකියා, අන්තර් පුද්ගල සබඳතා සිනමාපටයේ ළමා ගුණය සුරැකෙන පරිදි උපයෝගිකර ගැනීමේදී ටයිටස් දැක්වූ සමත්කම අතිශයින්ම තියුණු ය. එසේම ප්‍රබල ය. එය තහවුරු වන්නේ එමඟට එලෙසින්ම පිවිසෙනු පිණිස පසුකාලීන සිනමාකරුවන් උත්සුක නොවීමෙනි. ඉන් ද ‘හඳයා’ හි ප්‍රබලතාව නිශ්චය කරගත හැකිය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.