මා යන්නේ සංග්‍රාම භූමියකට... | සත්මඬල

මා යන්නේ සංග්‍රාම භූමියකට...

සමහරු දින පොත් පාවිච්චි කරන්නේ එදිනෙදා කාර්යයන් පිළිබඳ සටහන් තබන්නට ය. තවත් සමහරු තම සිතේ අභ්‍යන්තර ඝට්ටනය ගැන ලියන්නට පෞද්ගලිකව ම දින පොතක් භාවිත කරති. ඕනෑවට වඩා තමන්ගේ ජීවිතය විදාරණය කරමින් ලියූ දිනපොත් නිසා සියදිවි හානි කරගත් අය ගැනද අපි දනිමු. තවත් සමහරුන්ගේ දිනපොත් ලෝක පූජිත වෙමින් සාහිත්‍යයට එක් වූ අවස්ථා ද දැක ඇත්තෙමු. ඈන් ෆ්රෑන්ක්ගේ දිනපොත ද එවැන්නකි. අප හිට්ලර් නමැති චිත්‍ර ශිල්පියා හඳුනාගන්නේ දිනපොත නිසා ය. එනිසා ම දිනපොත් සාහිත්‍යයක් ද නිර්මාණය වී ඇත්තේ ය.

තමන්, තමන් කෙරෙහි ම වන විවිධ කල්පනා අකුරු කළ හොත්, තමාගේ යටිසිත විවරණය කරමින් දිනපොතක් ලියුව හොත් එය ඒ පුද්ගලයාගේ ජීවිතයේ වන ද්විරූපතාව යැයි අපට කිව හැකිද? එක එල්ලේ එසේ කිව නොහැකි වන්නේ චින්තනය, සිතිවිලි වරින් වර වෙනස් වන නිසා ය. වයසින් මෝරන්නට ප්‍රථම සිතිවිලිත්, වයසින් මුහුකුරා යෑමේදී ඇති වන සිතිවිලිත් වෙනස් ය. එපමණක් නොව ඒ ඒ කාල වකවානුවල අප ඇසුරු කරන පිරිස් ද වෙනස් ය. ඒ ඒ ඇසුරේ පරිමාව අනුව ද අප සිත්හි යම් යම් වෙනස්කම් ඇති නොවන්නේ ද? ඉදින් අද සිතන දේ හෙට නොසිතෙන්න තිබෙන ඉඩකඩ වැඩි ය.

මනුෂ්‍ය වර්ගයාගේ සිතිවිලි අතැඹුලක් සේ කියවා ගත් ලේඛකයකුගේ දිනපොතක තිබුණු වැකියක් මට කියවන්නට ලැබිණි. ඒ පුද්ගලයා ඔබට මට වඩා බෙහෙවින් වෙනස් ය. මේ ලෝකය ගැන ඔහුගේ කියවීම අබියස අපි කුහුඹුවන් වැනි ‍ෙවමු. එහෙත් කොතරම් පෘථුල ලෙස සිතුවත්, ලියුවත්, කතා කළත් හෘදය සාක්ෂියේ හඬ ගෑම අබියස මේ සියල්ලෝම නොදරුවෝ ය.

“ලියෝ තෝල්ස්තෝයි, නුඹ ජීවත් වන්නේ නුඹේ ධර්මයට අනුවද?

නැත. මට ලජ්ජාව දරා ගැනීමට බැරි ය. මම වැරදි කාරයෙක්මි. මම ගර්හාවට ලක් විය යුතු මිනිසෙක්මි.”

‘හතර රියන’ ඔස්සේ මුළු මහත් මනුෂ්‍ය සංහතියම කියැවූ යුද්ධය හා සාමය ඔස්සේ අප සැමගේ යටි සිතේ ඝට්ටනය මනාව විවරණය කළ ඇනා කැරනිනා, පුනර්ජීවනය වැනි මහරු සාහිත්‍ය කෘති ලොවට ප්‍රධානය කළ මහ ගත්කරුවාගේ දිනපොතේ එසේ සටහන්ව තිබීම ම සිතට අදහාගත නොහැකි විණි. හෙක්ටයාර් දහස් ගණනක ඉඩකඩම් තම දරුවන්ටවත් පවරා නොදී ගොවි ජනතාවටත්, ප්‍රවේණි දාසයන්ටත් බෙදා දීමට මේ මහා ගත් කතුවරයා තීරණය කරන්නට ඇත්තේ අර හෘදයසාක්ෂියේ අඬගෑම නිසා ද? තොල්ස්තෝයිගේ කෘතිවල නිරූපිත ජීවිතයේ ප්‍රතිවිරෝධතා තත්කාලීන සමාජයේ ම ඇති වූ ප්‍රතිවිරෝධතා වෙතැයි ලෙනින් ප්‍රකාශ කර ඇත්තේ ඒ නිසා ද?

මේ අපූරු ලේඛකයාගේ දිනපොතට එබී බැලීමෙන් පසු ඔහුගේ නිර්මාණ ගැන අලුතින් සිතන්න මාවතක් විවර විණි. ඒ හැම නිර්මාණයක ම ඇත්තේ හද කකියවන මිනිස් සන්තානයේ පුපුරු ගසන වේදනාබරිත සංවේදනා ය. සංකීර්ණත්වය යටි පෙළේ බහා ඔහු විසින් නිර්මාණය කළ මනුෂ්‍යත්වය අපූර්ව විය; අසමසම විය; සුන්දර විය. ඒවා සැබෑ අරුතින් ම අපේ ම කතා වූයේය.

තොල්ස්තොයි ගැන කතා කරන්නට, කරන්නට ඔහු කියැවූ ඔබේ මගේ ජීවිත ගැන මතයට ඒම වැළැක්විය ‍ෙනාහේ. කළුබෝවිල සිරිල් සී. පෙරේරා, අපේ ජ්‍යෙෂ්ඨ පරිවර්තකයා තොල්ස්තෝයි කියවා ගැන්මට හොඳ ම පාර අපට පෙන්වන්නේ යුද්ධය හා සාමය පරිවර්තනය කරමිනි. ඒ සා මහා ග්‍රන්ථයක් ලියන්නට තොල්ස්තෝයි කොතරම් විසල් චින්තනයක් සහිත ලේඛකයකු වන්නට ඇත් ද? යුද්ධයේ විශාලත්වයත් කාලයේ අල්පත්වයත් එක්තැන් කර නිමැවූ මේ සාහිත්‍ය ගංගාවේ සිහිල් පැන් රිසි සේ විඳින්නට නම් නිවි සැනහිල්ලේ ඉවසිලිවන්ව එය කියැවිය යුතුය.

මේ මහා නවකතාවෙන් තොල්ස්තෝයි ලියා දක්වන්නේ නැපෝලියන් බොනපාට්ගේ රුසියානු ආක්‍රමණය පිළිබඳ කතා පුවත ය. ඒ කතාව විවරණය කරන්න ඔහු රුසියාවේ රාජකීය හා රදල පවුල් හතරක තොරතුරු විශ්ලේෂණය කරයි. ඒ ඔවුන්ගේ කතාව වුවද ඇන්ඩ්‍රි වොල්කොන්ස්කි හා පියෙරි ඔස්සේ තොල්ස්තෝයි කියන්නේ වර්තමාන කතාව වැනිම කතාවකි. මේ සියල්ලේ චරිත පමණක් වෙනස් වී අනෙක් සියල්ල සමාන වෙයි. ඒවා අපේ කතාව ද කියන්නට පටන් ගනී. ලෝකයේ හැටි එහෙම ය. ඕනෑ ම දෙයක් වන ස්වරූපය මිස අන් කිසිවක් වෙනස් වන්නේ නැත. ක්‍රියාව එක ම ය; විඳින්නේ එක ලෙස ය; එන වේශය පමණක් වෙනස් වේ.

ඇන්ඩි කුමරු තම මිත්‍රයාට අපූරු අන්දමේ අවවාදයක් දෙයි:

“මම දැන් යන්ඩ යන්නේ සංග්‍රාම භූමියට. අපි මෙතෙක් කල් දැනගෙන හ හිටිය ලොකුම සංග්‍රාමයට.”

මේ සංග්‍රාමය කුමක්දැයි දැන ගැනීමට නම් ඔබ ‘යුද්ධය හා සාමය’ කියැවිය යුතු ම ය. මට කිව හැක්කේ කියැවීම අවසන ඔබේ මුවට සෝපාහාස සිනාවක් නැඟෙන බව ඒකාන්ත යැයි කියා පමණි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.