නිහඬ ලෝකයේ සිංහලය | සත්මඬල

නිහඬ ලෝකයේ සිංහලය

සංඥා මඟින් අදහස් දැක්වීම සොබා දහමෙන් මිනිසාට ලැබුණු දායාදයකි. මේ නිසා භාෂා, සංස්කෘතික, දේශසීමා භේදයකින් තොරව මිනිසාගේ මූලික අවශ්‍යතා අදටත් සංඥා මඟින් සන්නිවේදනය කළ හැකිය. තමා නොදන්නා භාෂාවක් භාවිත කරන මිනිසුන් අතරදී පවා කුසගින්න, පිපාසය, නිදිමත, කැමැත්ත, අකමැත්ත වැනි මූලික හැඟීම් ශරීරයේ අංග භාවිත කරමින් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ හැකි වේ.

මිනිසා විසින් තමා ජීවත් වන පරිසරය අනුව තම සන්නිවේදන අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා භාෂාවක් දියුණු කරගැනීම සිදු කළ අතර ඒ මඟින් අද ලොව පුරා විවිධ ජාතින් භාවිත කරන විවිධ භාෂා නිර්මාණය වී තිබේ. මුල් යුගයේදී මිනිසා විවිධ සංඥා දක්වමින්, ශබ්ද නඟා හඬ තළමින් සන්නිවේදනය සිදු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස අවට ඇති දෑ පිළිබඳ විස්තර කිරීමට හැකි වූ අතර ඒ මඟින් සන්නිවේදනය කළ හැකි විය. හඬ තළමින් සිදු කළ සන්නිවේදනය ක්‍රමයෙන් විධිමත් වෙමින් ශබ්ද සහ වචන ඇති වූ අතර ඒ මඟින් කථන භාෂාව බිහි විය. කථන භාෂාව සමඟ වඩා පැහැදිලි සන්නිවේදනයක් සඳහා සංඥා භාවිත කළ ද සංඥා භාවිතයට වඩා කථනය පහසු වීම නිසා එය ශීඝ්‍රයෙන් දියුණු විය. වර්තමානය දක්වාම සංඥා අඛණ්ඩව සන්නිවේදනය සඳහා භාවිත වන නමුත් ඒවා භාවිත වන්නේ කථන සන්නිවේදනය වඩාත් අර්ථවත් කිරීම වෙනුවෙනි. එසේ සැලකූ විට අද පවතින විවිධ භාෂා සහ සන්නිවේදන ක්‍රමවල මූලාරම්භය ලෙස ද සංඥා මඟින් සන්නිවේදනය හඳුන්වා දිය හැකිය.

සංඥා මඟින් අදහස් දැක්වීම සොබා දහමෙන් මිනිසාට ලැබුණු දායාදයකි. මේ නිසා භාෂා, සංස්කෘතික, දේශසීමා භේදයකින් තොරව මිනිසාගේ මූලික අවශ්‍යතා අදටත් සංඥා මඟින් සන්නිවේදනය කළ හැකිය. තමා නොදන්නා භාෂාවක් භාවිත කරන මිනිසුන් අතරදී පවා කුසගින්න, පිපාසය, නිදිමත, කැමැත්ත, අකමැත්ත වැනි මූලික හැඟීම් ශරීරයේ අංග භාවිත කරමින් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ හැකි වේ. එනමුත් මිනිස් සමාජය සංකීර්ණ වීමත් සමඟ සන්නිවේදනය සඳහා සංඥා භාවිතය ප්‍රමාණවත් නොවූ බැවින් කථන භාෂාව හා ලිඛිත භාෂාව සංවර්ධනය කරගැනීම අවශ්‍ය විය. සිංහල, ප්‍රංස, අරාබි, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත වැනි භාෂා බිහි වූයේ ඒ නිසාය. මෙවැනි භාෂා කථන භාෂාවක් ලෙස ප්‍රථමයෙන් බිහි වූ අතර පසුව අක්ෂර මාලා දියුණු කරගනිමින් ලිඛිත භාෂා ලෙස දියුණු විය. භාවිතය මඟින් සහ පාසල් මඟින් ලැබෙන විධිමත් අධ්‍යපනය මඟින් ඒවා පරම්පරාවෙන් පරම්පරාවට සංක්‍රමණය විය.

එලෙස සංවර්ධනය වූ භාෂාවක් භාවිතය සහ වටහා ගැනීම මඟින් ඒ භාෂාව භාවිත කරන සමාජයක ජීවත් වීමට නම් ඒ භාෂාව ප්‍රගුණ කළ යුතුය. ඇසුරු කළ යුතුය. එනම් ඇසීමට සහ දැකීමට සහ අධ්‍යාපනයට හැකියාව තිබිය යුතුය. එනමුත් සවන් දීමට නොහැකි වූ විට භාෂාව වටහා ගැනීමට සහ ඒ භාෂාවෙන් අදහස් දැක්වීමට නොහැකිය. එවිට සිදු වන්නේ මූලික මිනිස් අවධියේ මෙන් තම හැඟීම්, අවශ්‍යතා සංඥා මඟින් දැක්වීමට ය. එනමුත් මූලික සංඥා දැක්වීමෙන් පමණක් සන්නිවේදනය ඉතා අසීරු වන අතර එක් එක් පුද්ගලයා විවිධාකාර සංඥා දැක්වීම නිසා පොදු සන්නිවේදනයක් සිදු කිරීම ද ඉතා අපහසු ය.

අප අවට සමාජයේ ශබ්දය නෑසෙන පුද්ගලයෝ ද විශාල පිරිසක් සිටිති. ඔවුන්ට ශබ්දය නෑසෙන බැවින් වචන සහ භාෂාව වටහා ගත නොහැකි වේ. ඔවුන් යම් සංකල්පයක් දැකීමෙන් වටහාගත්ත ද එය සන්නිවේදනයට එනම් එය ප්‍රකාශ කිරීමට හැකියාවක් නොලැබේ. සමාජයේ පුද්ගලයන් සන්නිවේදනය කරන සාමාන්‍ය ක්‍රමයේ පදනම වනුයේ ඇසීම හා දැකීම ය. ඇසින් දකින දේ හා කනින් ඇසීම අනුව ඒවා පිළිබඳ ප්‍රගුණ කර ඇති භාෂාවෙන් චාවිකව, ලිඛිත මෙන්ම අවශ්‍ය නම් ඉරියව් මඟින් ද ප්‍රතිචාර දැක්වීම සිදු කළ හැකිය. එනමුත් බිහිරි පුද්ගලයන් හට ශබ්ද නොඇසෙන බැවින් ඔවුන්ගේ මොළයට ශබ්දය ගමන් කිරීම සිදු නොවේ. එවිට මොළය ශබ්ද නොහඳුනන බැවින් අප භාවිත කරන භාෂාවේ වන ශබ්ද, වචන ආදි කිසිවක් ඔවුන් නොහඳුනයි. එබැවින් ඔවුන්ට තමා අවට ලෝකය පිළිබඳ සාමාන්‍ය පුද්ගලයන්ට මෙන් ප්‍රතිචාර දැක්විය නොහැකිය.

බිහිරි භාවය ද විවිධ මට්ටම්වල පවතින අතර ඇතැම් අවස්ථාවල ශල්‍යකර්ම, වෛද්‍ය ප්‍රතිකාර, කර්ණ ශංඛ බද්ධය, ඇසීමේ උපකරණ භාවිතය වැනි තාක්ෂණික ක්‍රම මඟින් මේ දුර්වලතාව නිවැරැදි කිරීමට හැකි වේ. එවිට එවැනි පුද්ගලයන් හට ශබ්ද ග්‍රහණය කළ හැකි බැවින් විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් ඔස්සේ යම් පමණකට හෝ චාවික සන්නිවේදන අවස්ථා ඔවුන්ට උදා කර ගත හැකිය. එහෙත් බිහිරි ප්‍රජාවක බොහෝ පිරිසකට එවැනි හැකියාවක් නැති අතර ඔවුන් ජීවත් වන්නේ ශබ්දයෙන් තොර නිහඬ ලෝකයක ය. ඔවුන්ගේ මොළයට ශබ්දය ගෙන යා නොහැකි බැවින් ඔවුන් ලෝකය දකින්නේ දෑසින් පමණි. එබැවින් ඔවුන් සන්නිවේදනය සඳහා තමන් දකින දෙය නිරූපණය සංඥාවක් යොදා ගනී. මෙලෙස තම අවශ්‍යතා නිරූපණය සඳහා සංඥා භාවිතය මඟින් ඔවුන් සන්නිවේදනය කරන අතර ඒවා බිහිරි පුද්ගයන් අතර ගලා යෑම මඟින් මේ සංඥා භාෂාවක් ලෙස වර්ධනය වී තිබේ.

ශබ්ද නෑසෙන බිහිරි පුද්ගලයන්ට ලෝකය ග්‍රහණය කිරීමට, අවබෝධ කර ගැනීමට භාෂාවේ ශබ්ද, අක්ෂර සහ වචන යොදා ගැනීමට නොහැකි නිසා ඔවුන් හට ඒ සංකල්ප අවබෝධ කරදීමට වඩා සුදුසුම ක්‍රමය වන්නේ සංඥා භාවිත කිරීම ය. සංඥා භාෂාව බිහි වන්නේ ඒ අවශ්‍යතාව ඉටු කිරීම වෙනුවෙනි. ආදි යුගයේ මිනිසා අදහස් දැක්වීම සිදු කළේ ද සංඥා මඟිනි. එනම් පරිසරයට අනුගත වෙමින් එහි ඇති ගස්, වැල්, මල්, සතුන්, කඳු, ගංගා වැනි වස්තු දෑතින් හා අනෙකුත් ශරීරාංග මඟින් තමා දකින, තමාට දැනෙන ආකාරයට දැක්වීම ය.

මේ සංකල්ප මඟින් බිහි වූ සංඥා සමස්ත ලෝකයාටම පොදු සංඥා ය. විවිධ භාෂා දියුණු වූ පසුව ද බිහිරි පුද්ගලයන් භාවිත කළේ මේ ස්වාභාවිකව හමුවන පොදු සංඥා ය. සංඥා භාෂාවේ ආරම්භය සිදු වූයේ ඒ අයුරිනි. මෙලෙස ඇති වූ සංඥා භාෂාව ස්වාභාවික සංඥා භාෂාව ලෙස හැඳින්වෙයි. මෙලෙස ස්වාභාවිකව ඇති සංඥා මඟින් අදහස් දැක්වීම ප්‍රමාණවත් නොවන නිසා විවිධ රටවල විවිධ ජාතින් විසින් මේ ස්වාභාවික සංඥා භාෂාව යොදා ගනිමින් තම රටෙහි පොදු භාෂාව ඇසුරෙහි විධිමත් සංඥා නිපදවීමටත්, ඒ මඟින් බිහිරි වූවන් වෙත අධ්‍යාපනය ලබාදීමත් ආරම්භ කරන ලදි. මේ නිසා විවිධ සමාජවලට අනුගත වෙමින් විධිමත් ලෙස සංඥා භාෂා වර්ධනය වූ අතර එක් එක් රටෙහි භාවිත වන භාෂාවල අක්ෂර මාලා නිරූපණය සඳහා ද සංඥා නිර්මාණය සිදු විය. මෙලෙස ඇති වූ සංඥා භාෂා වර්තමානයේ ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බිහිරි ප්‍රජාවන් විසින් විධිමත් ලෙස සන්නිවේදනය, අධ්‍යාපනය ඇතුළු තම කටයුතු සඳහා යොදා ගනී.

විධිමත් ලෙස සංඥා භාෂාව භාවිත කිරීමේ ප්‍රථම සාධක හමුවන්නේ ප්‍රංසයෙනි. මෙහිදී සංඥා භාෂාවෙන් අධ්‍යාපනයට ලබා දීමට ගත් උත්සාහයන් පිළිබඳ සඳහන් වේ. එනමුත් ප්‍රථම වරට විධිමත් සංඥා භාෂාවක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් හට ය. ස්වාභාවික සංඥා භාෂාව මත පදනම් වෙමින් එය වඩාත් සංවර්ධනය කර ගනිමින් බ්‍රිතාන්‍ය සංඥා භාෂාව නිර්මාණය වූ අතර එය වර්තමානයේ පවා භාවිත වෙයි. ඉංග්‍රීසි හෝඩිය නිරූපණය සඳහා අවශ්‍ය සංඥා ද බ්‍රිතාන්‍ය සංඥා භාෂාවේ නිර්මාණය වූ අතර එහිදී අත් දෙක යොදා ගනිමින් ඉංග්‍රීසි හෝඩියේ ඇති අක්ෂර, ඉලක්කම් සහ චවන දැක්විය යුතු විය.

  

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.