පෙළ බස, බුදු දහම සහ හෙළ බස | සත්මඬල

පෙළ බස, බුදු දහම සහ හෙළ බස

පාලිය මළ බසක් වන්නේ ආධ්‍යාත්මික ගවේෂණයෙහි නො යෙදෙන, පරම සත්‍යය සොයා නොයන ජනයාට පමණි. අරුත් නො දැන හෝ දිනපතා ලොව පුරා උදේ සවස ලොව බොදුනුවන් විසින් ව්‍යවහාරික පෙළ බස නිදිගත් බසකි. අරුත් දැල්වීමෙන් ඒ බස පිබිදෙයි. එය බොදු පුබුදුවකි.

බුදුන් වහන්සේ දෙසූ දහම ඇතුළත් ත්‍රිපිටකාගත බුද්ධ වචනය ලෙස පිළිගනු ලබන්නේ පෙළ බසයි; පාලි භාෂාවයි.

බුදුන් වහන්සේ උපන් දේශයෙහි උසස් සංස්කෘතියක් පැවැති බව ජෝන් මාෂල් (1876-1958) පවසන තුරු අපරදිගුවන් විසින් ඒ බව පිළිගනු නොලැබිණි. අපේ භික්ෂූන් වහන්සේලා ද අප රට සහ භාරතීය පඬිවරුන් ද පෙළ බස ඇසුරෙන් දහම රැකීමට වෙහෙසුණු අතර විදේශික වියතුන් පෙළ බසෙහි අක්මුල් සොයා ගියේ ඒ තුළ සැඟවී ඇති නිදන් සොයනු පිණිස ය. ඔවුන් අතර ෆෝස්බෝල් (1821-1908), ටී. ඩබ්. රීස් ඩේවිඩ්ස් (1843-1922), හර්මන් ඕල්ඩන්බර්ග් (1854-1920), විල්හෙල්ම් ගෛගර් (1856-1943), ආර්. ඕ. ෆ්‍රැන්කේ (1862-1928), වින්ටර්නීට්ස් (1863-1937) සිල්වන් ලෙවී (1863-1935), ස්ටෙන් නොව් (1867-1948), ලුඩර්ස් (1863-1943) සහ බේරිඬේල් කීත් (1879-1944) ආදි වියත්හු රැසකි.

මේ විශ්වයේ අප්‍රකට මනුෂ්‍ය වාස පිරික්සනු රිසියෙන් විශ්වයට මුදාහැර ඇති භාෂා අතර ඉංගිරිසි බසට පමණක් දෙවැනි වී ඇති පෙළ බසට විශ්වීය ප්‍රතිචාර ලැබීම ආශ්චර්යජනක ය. ඉදින් පාලිය මළ බසෙක් නොවේ. බහුජන ව්‍යවහාරයෙන් ඈත් වූ බසක් පමණි. පාලිය මළ බස කැයි යන දුර්මතය හට ගත්තේ ව්‍යවහාර නොකර ලේඛනගත කිරීමම අරමුණු කරගත් යුගයක ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාලිය අද ව්‍යවහාර වන්නේ ‘ගිරා බසක්’ ලෙසිනි. එහෙත් පාලිය මළ බසක් වන්නේ ආධ්‍යාත්මික ගවේෂණයෙහි නො යෙදෙන, පරම සත්‍යය සොයා නොයන ජනයාට පමණි. අරුත් නො දැන හෝ දිනපතා ලොව පුරා උදේ සවස ලොව බොදුනුවන් විසින් ව්‍යවහාරික පෙළ බස නිදිගත් බසකි. අරුත් දැල්වීමෙන් ඒ බස පිබිදෙයි. එය බොදු පුබුදුවකි. ගෛගර් සඳහන් කරන පරිදි ම පාලි භාෂාවෙහි විශේෂත්වය වන්නේ එය භාරතයේ විවිධ ප්‍රදේශවල භාෂා ලක්ෂණ සහිත වීමත්, සියවස් ගණනාවක් මුඛ පරම්පරාගතව පවත්වා ගෙන ඒම සහ උපන් දේශය වූ ඉන්දියාවේ නොව ලංකාවේ ලේඛනගත වීමත් ය.

බුදුන් වහන්සේගේ පිරිනිවනින් අනතුරුව මුඛ පාලි හෙවත් මුඛ පරම්පරාගතව පවත්වා ගෙන ආ ත්‍රිපිටක ධර්මය ප්‍රථම වරට ලේඛනාරූඪ වූයේ ශ්‍රී ලංකාවේ ය. එක්තරා ජනපදාධිපතියකුගේ ආරක්ෂාව සහිත ව පන්සියයක් භික්ෂූන් වහන්සේලා විසින් මාතුල දනව්වෙහි අලු ලෙනෙහි ත්‍රිපිටක ධර්මය සංගායනා කර ලේඛනගත කරන ලද බව 14 වැනි සියවසෙහි රචිත නිකාය සංග්‍රහයෙහි සඳහන් වෙයි. වළගම්බා රජු දවස මෙසේ පන්සියයක් භික්ෂුන් වහන්සේලා අලු ලෙන වැඩහිඳ ත්‍රිපිටකය සංගායනා කළ බවට 13 වැනි සියවසෙහි රචිත පූජාවලියෙහි දැක්වෙන සාධකය මෙසේ නිකාය සංග්‍රහයෙන් තව දුරටත් තහවුරු කර ඇත.

මේ අනුව මුඛ පාලියෙහි හෙවත් මුඛ පරම්පරාවෙන් පවත්වා ගෙන ආ බුදුන් වදාළ දහම ලොව ප්‍රථම වරට ලේඛනගත වූයේ හෙළ බිම හෙළ වර්ණමාලාවෙනි. බුදු දහමත් පෙළ බස සහ හෙළ බසත් අතර ඇති බිඳහළ නො හැකි මේ සබඳතාව වටහා ගත යුතුව ඇත. අප විසින් සමස්ත මානව වර්ගයාට ම මෛත්‍රී, කරුණා පූර්වකව පිළිගැන්විය හැකි උත්තරීතම දායාදය බුදු දහම වීමත්, පාලි අක්ෂර හෙළ වර්ණයෙන් ලංකාවේ ප්‍රථම වරට ලේඛනගත වීමත් දේශාභිමානයට හේතු වෙයි. ඒ අභිමානය පෝෂණය කළ හැක්කේ අති මධුර හෘදයංගම බසක් වූ පෙළ බස උගැන්මෙන් ලද හැකි දහම් දැනුමෙනි. ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කළ හැක්කේ නිසරු ආගමික මතවාද සහ ගැටුම්වලින් නොව, බුදු සමයෙන් උරුම වූ දේශීය සංස්කෘතියේ ආධ්‍යාත්මික හරය ලොවට පිළිගැන්වීමෙනි.

පාලි යනු ‘පා’ ධාතුවට ‘ළි’ ප්‍රත්‍ය එක් වීමෙන් සැදුණු පදයකි. ‘පා’ යන්න රක්ෂණය යන අරුත දෙයි. ධර්ම වාචක ‘පා’ ශබ්දයක් ද ඇති බව වැලිවිටියේ සෝරත හිමියන් දක්වන්නේ පාවචන, පාතිමොක්ඛ පාසණ්ඩ යන වදන් නිදසුන් කර දක්වමිනි. අභිධම්මට්ඨ කතාවෙහි දැක්වෙන පරිදි බුද්ධ භාෂිතයෙහි අරුත දල්වන බැවින් ‘පාළි’ නම් වෙයි. ‘පකට්ඨානං වචනප්පබනධානං ආලිතී පාලි’ යනුවෙන් රක්ෂණ අර්ථය සහිත වදන් මාලාව පාලිය යැයි දක්වා තිබේ. ආලි යනු නියර, වැව් බැම්ම හැඳින්වීමට භාවිත පදයකි. නියර නොහොත් වැව් බැම්මෙන් සිදු කෙරෙනුයේ රාශි භූත ජලය රැක ගැනීමයි. රජුන් පවා සිය අතිජාති පුතුන් කිරි මවුවරුන් භාරයේ තබා වප් මඟුල් පවත්වන කෘෂිකාර්මික සංස්කෘතියක් විසින් ‘ආලි’ යන පදයට පමණක් නොව ‘පාළි’ යන පදයට ද අරුත් සපයා ඇති බව ඒ වදන තුළින් දිස් වෙයි.

වස්කඩුවේ සුභූති මාහිමියන් ‘පාලි’ යන පදයට දෙන එක් අරුතක් වන්නේ ‘වෑ නියර’ යන්න යි. ‘මහතො තලාකසස පාලි’ යන්නෙහි පාලි යනු ඉවුර ය. තලාක යනු නෙළුම් විලයි. සඳහම් නමැති පදුම සංජනිත (උපදවනු ලැබූ) බුද්ධ දේශනාව නමැති මහත් විල රැකගෙන සිටින ඉවුර යන කාව්‍යමය සංකල්පය ධ්වනිත කිරීමට ඒ වදන් තුන පොහොසත් වෙයි. බුද්ධ දේශනාවෙහි අරුත රැක ගැනීම යන්න මෙයින් ගම්‍ය වෙයි. වදන් කිහිපයකින් සවිස්තර අදහසක් පළ කිරීමටත්, පරිකල්පනය පෝෂණය කිරීමටත් සමත් පෙළ බස සම්භාව්‍ය කවීන්ගේ නිර්මාණ ශක්තිය පෝෂණය කළ ‘කිරි සාරය’ බඳු වෙයි. කවිත්වය ප්‍රගුණ කිරීමට පෙළ බසින් ලද හැකි අනුබලය නව කවීන්ට ද හඳුන්වා දිය යුත්තකි. ධමම්පදටඨ කථාවෙහි ‘තනති භාසං මනෝරමං’ යන්නෙන් තන්ති හෙවත් පාලි බසෙහි මේ මනරම් බව සිහි ගන්වයි.

‘පාලි’ යන වදන පළමු වරට සඳහන් වන්නේ 12 වැනි සියවසෙහි වේදේහ හිමියන් විසින් රචිත රසවාහිනියෙහි බව, බෞද්ධ සාහිත්‍යය නම් කෘතියෙහි ලා බද්දේගම විමලවංස හිමියෝ සඳහන් කරති. ‘පාළියා අත්‍ථං උප පරික්ඛන්ති’ යන්නෙහි ‘පාළියා’ යන පදයෙන් ධර්මය අර්ථ වත් වන බව දක්වයි. ‘උප පරික්ඛන්ති’ යන්නෙන් පරීක්ෂාවට ලක් කිරීම අර්ථවත් කෙරේ. මෙය අංගුත්තර නිකායේ තික නිපාතයේ භරණ්ඩු වග්ගයේ 9 වැනි සූත්‍රයෙහි එන ‘.....ධම්ම විනයො විවටො විරොචති, නො පටිචඡනෙනා’ යන පාඨයට අරුතින් නෑකම් කියන්නක් බව පෙනෙයි.

පාලි පදයට වස්කඩුවේ සුභූති හිමියන් සපයන අනෙක් දෙඅරුත වන්නේ ‘පිළිවෙළ’ සහ ‘පේළිය’ යන්න යි. පාළියා නිසීදිංසු යන තැන පිළිවෙළට හිඳගත් බව අඟවයි. පාලිය බෞද්ධ ජීවන රටාවකට පවා කෙතරම් තදින් කාවැදී ඇත් ද යන්න සඟ පිළිවෙළින් වටහාගත හැකි වෙයි.

පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ පාලි සිංහල අකාරාදියෙහි ‘පාලි’ යන වදනට ‘පේළිය, පන්තිය, පාලි භාෂාව සහ බුද්ධ වචනය යන අරුත් දක්වති. ‘පාලියං පාලෙතුං පාලි පාලියෙ පාලියාය පලොභෙති’ (බුද්ධ වචනය රැක ගැනීමට පාලි භාෂා පන්තියේ පිළිවෙළින් පොලඹවයි) යන්නෙන් වදන් කැටිකර, පාලි වදනෙහි අරුත් සිහි කැඳවා ගැනීම පහසු යැයි සිතමි.

‘පාලි සාහිත්‍ය ඉතිහාසය’ නම් කෘතියෙහි බී.සී. ලෝ විසින් සඳහන් කරන්නේ ‘පාලි භාසා’ යන වදන පළමුවෙන් යොදන ලද්දේ ලංකාවේ භික්ෂුන් ද නො එසේ නම් යුරෝපීය පඬිවරුන් දැයි යන්න තවමත් විවාදයට පාත්‍රව පවතින බවයි. ‘භාසා’ යන පදය කෙදිනක ව්‍යවහාර වුවද, අතීත ව්‍යවහාර විසින් ම පාළි යන වදනට භාෂා අර්ථය ගැබ් කරන ලද බව සැලකිය හැකිය. මූලග්‍රන්ථ භාෂාව හැඳින්වීමට ජාතක කතා කරු පාලි යන වදන භාවිත කළ බව වින්ටර් නීස්ද පවසන්නේ යැයි කන්නිමහර සුමංගල හිමියෝ පාලි භාෂා විමර්ශනයෙහි ලා සඳහන් කරති. මාගධී භාෂාව සඳහා ‘පාලි’ යන වදන 12 වැනි සියවසට අයත් රසවාහිනියෙහි යෙදී ඇති බවට බද්දේගම විමලවංස හිමියන් දක්වන මතය පිළි ගැනීමට සිදු වෙයි. පෙළ බස පළමුව ‘මාගධී’ නමින් හැඳින්වුණු බවට මෙය නිදසුනකි. අටුවාචාරීන් විසින් පෙළ බස සඳහා මාගධී, මගධ භාසා, මාගධී භාසා, මාගධී නිරුත්ති යන පද ව්‍යවහාර කර ඇත. මාගධී බසෙහි විශේෂ ලක්ෂණ පාලි භාෂාවෙහි නැති වීම නිසා ඇතැම් විද්වතුන්ගේ පිළිගැනීම පාලි භාෂාව මාගධිය නො වන බව යි. එහෙත් මාගධී බසට අයත් අන්‍ය ස්වරූපයකින් බුදුන් වහන්සේ දහම් දෙසූ බව ගෛගර් සහ වින්ඩිශ් ද පිළි ගනිති. බුද්ධ කාලීන ඉන්දියාවෙහි විශාල ප්‍රදේශයක පැතිර ගිය බස මාගධිය බවත්, එය පැරැණි ශාස්ත්‍රීය කටයුතු සඳහා භාවිත බස බවත් කන්නිමහර සුමංගල හිමියෝ ද අවධාරණය කරති.

කෙසේ වුවද පාලි යන වදන ප්‍රාථමික වශයෙන් ව්‍යවහාර වී ඇත්තේ භාෂා අර්ථයෙන් නොව, වාක්ප්‍රයෝග හැඳින්වීම පිණිස ය. අටුවාවල එය ‘පාඨ’ යන පදයට පර්යාය පදයක් ලෙස භාවිත ය. පාඨ > පාළ > පාල > පාලි යනුවෙන් පාඨය ම පාලිය වී යැයි ද සැලකේ. එපමණක් නොවේ, ‘ධම්ම’ යන පදයට ද ‘පාලි’ ශබ්දය පර්යාය වී ඇත.

සිය පාලි ඉංග්‍රීසි ශබ්ද කෝෂයට පෙරවදනක් සපයන රීස් ඩේවිස් මෙසේ සඳහන් කරයි:

“ ….. perhaps the most silent discovery is the quite unexpected conclusion

that, for about two centuries (both before the Buddha’s birth and after his

death), the paramount power in India was Kosala - a kingdom stretching from

Nepal on the North of the Ganges on the South, and from the Ganges on the

West to the territories of the Vajjian Confederacy on the East. In this, the most

powerful kingdom in India, there had naturally arisen a standard vernacular

differing from the local former of speech just as Standard English differs from

the local (usual county) dialects. The Pali of the canonical books is based on

that standard Kosala vernacular was the mother tongue of the Buddha. He was

born in what is now Nepal, but was then a district under the earliest Pali

documents heis represented as calling himself a Kosalan.”

පාලි භාෂා විමර්ශනයෙහි ලා කන්නිමහර සුමංගල හිමියෝ එහි සංක්ෂිප්ත අර්ථය මෙසේ දක්වති:

‘බුද්ධ ජීවිතය ඇතුළු කරගත් ශත වර්ෂ දෙකක් පමණ කාලයේ ඉන්දියාවේ ප්‍රදාන බලය කෝශලය විය. මේ රාජ්‍ය උතුරින් නේපාලයේ සිට දකුණින් ගංගාවට ද, බටහිරින් ගංගාවේ සිට නැගෙනහිරින් වජ්ජි සංහත රාජ්‍යයේ ප්‍රදේශවලට ද පැතිරිණි. මේ රාජ්‍යයෙහි ජනපද නිරුක්තීන්ගෙන් වෙනස් වූ ඉංග්‍රීසිය මෙන් පිළිගත් පොදු භාෂාවක් ඇති විය. ක්‍රි: පූ: 06 වැනි 07 වැනි සියවස්වල කතා ව්‍යවහාරයෙහි පැවැති මේ කෝශල භාෂාව පදනම් කරගත්තකි ත්‍රිපිටක පාලිය. පාලිය ග්‍රන්ථාරූඪ කරන ලද්දේ බොහෝ කාලයකට පසුව නිසා එය අර කෝශල භාෂාවේ ලිඛිත ස්වරූපය යැයි කිව නො හැකිය. කොසොල් බස බුදු රජුන්ගේ මවු බස ය. බුදුහු කෝශලයෙකි.’

පාලි භාෂාව, එහි නිරුක්ති සහ භාවිතය පිළිබඳ පෙරපර දෙදිග විද්වතුන් රැසක් පර්යේෂණ පවත්වා සිය මත පළ කර ඇත. ඕල්ඩන්බර්ග් පාලිය කාලිංගයේ භාෂාවක් බව පළ කරන විට, වෙස්ටර්ගාඩ් සහ ඊ. කූන් පාලිය උදේනියෙහි බස බව පවසති. ස්ටෙන් කොනොව් එය වින්ද්‍යා ප්‍රදේශයේ භාෂාව බව කියයි. මැක්ස් මලේසර් පාලිය පාටලී පුත්‍රයේ බස බව පිළිගන්නා අතර, රීස් ඩේවිඩ්ස් පිළිගන්නේ කොසොල් රටේ බස බවයි. වින්ඩිශ්, ඊ. මසුලර්, බෙරිඩේල් කීත්, පී. වී. බාපත් ආදි විද්වතුන් ගණනාවක් ම මෙසේ විවිධ මත පළ කර ඇත. පෙළ බස මෙතරම් වැදගත් සහ පූජනීය වන්නේ එය බුද්ධ දේශිත ත්‍රිපිටකය ලේඛනගත කරගත් භාෂාව හෙයිනි.

ලංකාවේ භාණක තෙරුන් විසින් ක්‍රි: පූ: 03 වැනි සියවසේ සිට ක්‍රි: ව: පළමු වැනි සියවස දක්වා වාචනා මාර්ගයෙන් පවත්වා ගෙන ආ ත්‍රිපිටක ධර්මය තව දුරටත් එසේ පවත්වා ගෙන යෑම දොළොස් වර්ෂ සාගතයත්, දේශපාලනික අස්ථාවරත්වයත් නිසා අර්බුදයට ගියේ ය. තෙවසරකට ප්‍රමාණවත් ධාන්‍ය සමූහය කෘමීන් විසින් එක් රැයකින් කා දැමීම නිසා ආහාර හිඟයෙන් පෙළුණු සිතුල්පව් වාසී සහ තිස්සමහාරාම වාසී රහතුන් වහන්සේලා 24000ක් පිරිනිවන් පෑහ. ගස්වල පොතු මුල් ආදිය අනුභව කරමින්, හිඳගෙන සිටීමට පවා නො හැකි තරම් දුබලව වුවද, ධර්මය සජ්ඣායන කරන ලදි. එහෙත් මේ ව්‍යසනයෙන් මග පෙන්වන ලද්දේ ත්‍රිපිටකය ලේඛනගත කිරීමට ය.

ලක්දිව බුදු සසුන සහ සිංහල සංස්කෘතිය නම් ග්‍රන්ථයෙහි මහාචාර්ය අනුරාධ සෙනවිරත්න සඳහන් කරන අන්දමට කල්ලගාම නම් ජනපදයේ මණ්ඩලාරාමයට රැස් වූ භික්ෂුන් වහන්සේලා විසින් ධර්ම විනය සසඳා බැලීම සිදු කරන ලදි. මේ පිළිබඳ මනෝරථපූරණයෙහි ප්‍රථම භාගයේ ද කරුණු දැක්වෙයි.

පොලොන්නරු යුගයෙහි ත්‍රිපිටකය ලංකාවෙන් බුරුමයට ද රැගෙන යන ලද නමුත් මහනුවර යුගයේ සාසනික පිරිහීමත් සමඟ බුරුමය හා සියම් රටින් උපසම්පදාව ද ලංකාවට රැගෙන ඒමට සිදු විය.

කෑගලු දිස්ත්‍රික්කයෙහි මාතුල අලු ලෙනෙහි ප්‍රථම වරට ත්‍රිපිටකය ලේඛනගත කිරීමෙන් අනතුරුව කෝට්ටේ යුගයේ විනය-සූත්‍ර-අභිධර්ම-තර්ක-ව්‍යාකරණාදිය ඉගැන්වීම පමණක් නොව අටුවා ටීකා ද සහිතව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ ස්ථානය වූයේ පැපිලියානේ සුනේත්‍රා මහාදේවී පිරිවෙනයි. සද්ධර්මරත්නාකරය දක්වන පරිදි මේ පිරිවෙන අමුතු පිරිවෙනක් විය. විහාරස්ථානයක් හෝ පිරිවෙනක් බිහි කිරීමේ අදහසින් නොව ත්‍රිපිටක ග්‍රන්ථය සුලබ කිරීමේ අරමුණින් ඉදිවුණු පිරිවෙනක් වීම මෙහි අමුත්තයි. ලොකුම අමුත්ත අටුවා ටීකා සහිතව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ ආකාරයයි. ත්‍රිපිටක ලියන්නකු මසකට ග්‍රන්ථ 1700ක් ලිවිය යුතු විය. ග්‍රන්ථයක් යනු දෙතිස් අකුරෙකි. ග්‍රන්ථ 1700ක් යනු අකුරු 54,400 කි. අර්ථ කථා සහිත කොට ලියවා දවස් පතා නොහැර ලියන සේ ගම් බිම් කෙත්වත් පුදා පිටකත්‍රය ලියැවූ බව රාජරත්නාකරය සඳහන් කරයි. මේ පිළිබඳ විස්තර සහිත පැපිලියාන සෙල්ලිපිය පෘතුගීසීන් විසින් කඩා දමන ලද නමුත් ශ්‍රීමත් ඩී. බී. ජයතිලකයන් විසින් සංශෝධිතව 1955දී කතිකාවත් සඟරාවෙහි පළ කර ඇත.

ත්‍රිපිටකය නැවත ලේඛනගත කිරීමක් 1867දී සිදු විය. “පැල්මඩුල්ලේ ධර්ම සංගීතිය” නමින් හැඳින්වෙන මෙය පූජ්‍ය වලානේ සිද්ධාර්ථ, පූජ්‍ය හික්කඩුවේ සුමංගල, පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර, පූජ්‍ය ලංකාගොඩ ධීරානන්ද ප්‍රමුඛ යතිවරයන් වහන්සේ විසින් සිදු කරන ලදි.

පැල්මඩුල්ලේ එක්නැලිගොඩ නිලමේ විසින් ඉදි කරන ලද ධර්ම ශාලාවක පැවැති මේ සංගීතියෙන් අනතුරුව ඒ ත්‍රිපිටකය කොළඹ කෞතුකාගාරය, විද්‍යෝදය පිරිවෙන සහ පැල්මඩුල්ල ධර්ම ශාලාවෙහි ද ආරක්ෂිත බව සඳහන් වෙයි.

අබලව පැවැති ත්‍රිපිටකය අද වන විට සැදැහැවතුන් විසින් පවත්වනු ලබන ‘ත්‍රිපිටක පූජා’ දක්වා සංවර්ධනය වීමට හේතු වූයේ බුරුමයේ ද උනන්දුව පිට 20 වැනි සියවසේ පවත්වන ලද බුද්ධ ජයන්ති මහෝත්සවයයි. ථේරවාදී බෞද්ධ රටවල භික්ෂුන් වන්සේලා වැඩම කරවා පවත්වන ලද ත්‍රිපිටක සංශෝධන මණ්ඩලයේ ගරු සභාපති ධුරය හොබවන ලද්දේ පණ්ඩිත ශිරෝමණී පූජ්‍ය වැලිවිටියේ සෝරත නාහිමිපාණන් වහන්සේ ය. අනතුරුව පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි, පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි ආදි හිමිවරුන් විසින් ඒ තනතුර සම්භාවනීය ව ඇත.

“අවුරුදු දහසකට පමණ පසුව ලංකාවේදී පාලියෙන් පොත් රචනා කරන විට පැරැණි පොත්වල ශෛලියට වඩා වෙනස් ශෛලියකින් රචනා කරන ලදි. මේ වෙනසට හේතුවක් නම් කටපාඩම් කිරීම සඳහා නො ලිවීම ය. මේ සිංහල ලේඛකයනට පාලිය මළ බසක් විය. ඔවුහු සිංහල අදහස් පාලියට නැඟූහ. ද්‍රවිඩ ව්‍යාවහාර ද මේ ග්‍රන්ථවලට බලපාන්නට ඇත. පසුව පාලියට හරවා ගන්නා ලද සංස්කෘත රූප යෙදෙන්නට විය. නැවත එකොළොස් වැනි ශත වර්ෂයේ සිට කටපාඩම් සඳහා ලියන ලදි. ලංකා සම්ප්‍රදාය පාලියට මාගධී යැයි කියයි. එහෙත් එයින් ප්‍රාකෘත වෛය්‍යාකරණකයන්ගේ මාගධිය අදහස් කළා විය නො හැකිය. මේ වෛය්‍යාකරණිකයන් ලියා ඇත්තේ ශත වර්ෂ ගණනාවකට පසුව හෙයිනි. ලාංකිකයන් පාලියට මාගධී යැයි කීමෙන් අදහස් කරන්නට ඇත්තේ එය මගධ රාජ අශෝකගේ භාෂාවය යන්න විය හැකිය”

−පාලි භාෂා විමර්ශනය, කන්නිමහර සුමංගල හිමි, 32 පිටුව.

සකාය නිරුක්තිය නම් මාගධී බස යැයි යන මතය පිළි ගන්වන ලද්දේ හෙළටුවා පෙළ බසට නැඟූ බුද්ධඝෝෂ හිමියන් විසිනි. වේද ගීතිකා සඳහා යොදාගත් මාත්‍රා විධික්‍රමය වූ ඡන්දස සකු බස යැයි පිළිගන්වන ලද්දේ ද උන්වහන්සේ විසිනි. ගෛගර් ද බුද්ධඝෝෂ හිමියන්ගේ මතයට අනුගතව සකාය නිරුක්තිය යනු පෙළ බස බව පිළිගන්නා නමුත්, පොල්වත්තේ බුද්ධදත්ත හිමි, බද්දේගම විමලවංශ හිමි, බී. සී. සී. ලෝ වැනි වියතුන් ඒ මතය බැහැර කරති. ජනපද නිරුක්තියෙහි ඇලීමත්, අති ධාවනකාරී ලෙස ලෝක ව්‍යවහාරය හඹා යෑමත් බුදුන් වදාළ මැදුම් පිළිවෙතට ද පටහැනි වෙයි. ජනපද නිරුක්තියෙහි නො ඇලෙන්නටත් ලෝක ව්‍යවහාරය අති ධාවනකාරීව හඹා යෑමත් −ජනපද නිරුතතිං නාභිනිවෙසෙය්‍ය සමඤඤං නාතිධාවෙය්‍ය− බුදුන් වහන්සේ අනුදැන නො වදාළහ. ඒ ඒ පුද්ගලයන්ගේ ස්වභාවය අනුව දහම අවබෝධ කර දීමට ගත් මග සිඟාලක, චුල්ල පන්ථක, කිසාගෝතමී, අංගුලිමාල ආදි අනේක චරිත ඇසුරින් වටහා ගතහැකි වෙයි. එබඳු මගක් ගත් බුදුන් වහන්සේ සකාය නිරුක්තිය නම් මාගධීය ම යැයි අදහස් කළ බව පිළිගත හැකි නොවේ.

ඉන්දියාවේ භාෂා ව්‍යාවහාරය පිළිබඳ විධිමත් නිගමනයක් ගැනීමට උපකාරී වන හොඳ ම සාධකය කෙරේ ඉහත සඳහන් විද්වතුන්ගේ අවදානය යොමු වී ඇති බවක් නො පෙනෙයි. භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයත් නාට්‍ය රචනාත් ඇසුරෙන් ප්‍රමාණවත් උපකාරයක් සපයාගත හැකි වෙයි.

භරත මුනි සිය නාට්‍ය ශාස්ත්‍රයෙහි දක්වන්නේ කුමාරවරුන්, වෙළෙන්දන් පමණක් නොව චේටයන් හෙවත් සේවකයන් ද අර්ධ මාගධිය භාවිත කරන බවයි. (ංඩසස 48, 50) නාටකය සංවාද මූලික කර ගන්නා අතර, පාත්‍රයන්ගේ ගති ලක්ෂණ, සමාජ තත්ත්වය ආදිය අනුව භාෂා ව්‍යවහාරය වෙනස් වන සැටියෙන් පැරැණි භාරතයේ ව්‍යවහාරික බසත්, භාෂාවේ ව්‍යවහාරික ස්වරූපයත් වෙනස් වන සැටි මැනවින් දැකිය හැකිය. නාට්‍ය ශාස්ත්‍රයේ 15 වැනි අධ්‍යායයේ සිට 19 වන අධ්‍යාය දක්වා වාචික අභිනය ගැන විස්තර කෙරේ. නාට්‍යයේ ශරීරය ලෙස භරත මුනි දක්වන්නේ වාචික අභිනයයි. එය බුදු බස සහ පෙළ බස අතර සබඳතාවෙහි වැදගත්කම හඳුනා ගැනීමට ආදර්ශයක් සපයයි. රූපක (නාට්‍යය) වල අති භාෂා, ආර්ය භාෂා, ජාති භාෂා හා යෝන්‍යන්තරී භාෂා යනුවෙන් භාෂා ප්‍රභේද 4ක් දක්වන භරත මුනි භාෂා විධානයෙහි භාවිත ප්‍රාකෘත භාෂා 7ක් දක්වයි. මාගධී එහි එක් භාෂාවකි. අවන්තිජා, ප්‍රාච්‍යා, සෞරසේනී, අර්ධ මාගධී, වාහ්ලිකා, දක්ෂිණාත්‍යා යන මේ භාෂාවලට අවශේෂ වශයෙන් විභාෂා ද දක්වයි. ඒ ශකාර, ආභීර, චණ්ඩාල, ශබර, ද්‍රමිල සහ වනචාරී භාෂාවයි.

මහාකවි කාලිදාසයන්ගේ අභිඥාන ශාකුන්තලම් සිංහලයට පරිවර්තනය කරන පැලෑණේ වජිරවංශ සහ තුඩාවේ හේමාලෝක හිමියන් ද සිය පූර්විකාවෙහි “සංස්කෘත නාට්‍ය ග්‍රන්ථ ලියැවී ඇත්තේ ද අන් බස් හි මෙන් දොඩන බසිනි. එද එක් බසකින් නොවැ කිහිපයකිනි” යි සඳහන් කරති.

රීස් ඩේවිඩ් කෝසල භාෂාව ලෙස පෙළ බස හඳුන්වන පරිදි සංස්කෘත භාෂාව ප්‍රමුඛ කරගෙන ‘සංස්කෘත නාට්‍යය’ නමින් හැඳින්වුණ ද, සංස්කෘත නාට්‍යවල ඒ ඒ පාත්‍රයන් ව්‍යවහාර කරන්නේ තමන් උපන් ප්‍රදේශවලට අයත් භාෂා ය.

නිදසුන් වශයෙන් සකුන්තලා නාටකයෙහි ‘හලා ශකුන්තලෙ, අත්‍රෙ’ව තාවන් මුහුර්තං තිෂඨ’ යනුවෙන් සකු බසින් කිව යුතු වදන් ප්‍රියංවදා පවසනුයේ ‘හලා, සඋන්දලෙ, එත්ථ එව්ව දාව මුහුත්තඅං චිට්ඨ’ (ප්‍රිය ශකුන්තලා, මෙතන ම මොහොතක් ඉන්න) යනුවෙනි.

ශකුන්තලා සිංහලට නඟන ඩී. ඊ. හෙට්ටිආරච්චි සහ පියදාස ඒ වදන් සිය පරිවර්තනයේ දක්වන්නේ ‘සකුන්තලා, ඔහොම ඉන්ඩ ටිකක්’ යනුවෙනි.

රාජා (කර්ණං දත්වා) ‘අයෙ ධීර ප්‍රශාන්ත ස්වරඃ. තපස් විහීර් භවිතව්‍යම්’

(කන්දී) ඔහෝ, ගැඹුරු වෙසෙසින් ශාන්ත හඬෙකි. තවුසන්ගේ විය යුතුයි.

(ඇහුම්කන් දී) ඔහෝ ! ගැඹුරු ශාන්ත හඬේ හැටියට තාපසයො වෙන්ඩ ඕනෑ’

දොරටුපාල ජේදු ජේදු භට්ටා. ඒදෙ දුවෙ ඉසිකුමාර ආ පඩිහාර. භූමිං උවට්ඨිදා.

(ජයතු ජයතු භාත්‍රෘ, ඒතෙ දෙව ඍෂි කුමාරකෞ ප්‍රතිහාර භූමිමුපසඨිතො’ − සකු බසින්)

“දිනේවා දිනේවා. තෙල තවුස් කුමරුවෝ දෙදෙනෙක් බිහිදොරට පැමිණියහ.”

“ජයවේවා! දේවයන් වහන්ස, ජයවේවා! මෙන්න පොඩි තාපසවරු දෙදෙනෙක් දොරටුව ළඟට ඇවිල්ලා ඉන්නවා.”

පාත්‍රයන්ගේ භාෂා ව්‍යවහාරය පමණක් නොව පරිවර්තකයන්ගේ භාෂා ව්‍යවහාරය ද අනුව සංවාද වෙනස් වී ඇති සැටි මින් හෙළි වෙයි.

ඉන්දියාව අදත් මේ සංකීර්ණ භාෂා ව්‍යවහාරයේ විවිධත්වයට, ගැටුම්වලින් තොරව සාර්ථක ලෙස මුහුණ දෙන බව පෙනෙයි.

භාෂාවෙහි මෙබඳු ව්‍යවහාරික ගුණ සහ ලක්ෂණ නො තකා, තමනට විෂය වන පමණින් නිගමන ගැනීම, අලියා අතපත ගා හඳුනා ගැනීමට තැත් දැරූ අන්ධයන්ට නෑකම් කීමට දරන උත්සාහයක් බඳු වෙයි.

පෙළ බසත් හෙළ බසත් අතර සබැඳියාව පිළිබඳ ලිඛිත සාධක හමුවන්නේ මිහිඳු හිමියන් ක්‍රි: පූ: 236දී ලංකාවට බුදු දහම රැගෙන ඒමේ පුවතත් සමඟ ය. උන් වහන්සේ පාලි භාෂාව මාධ්‍යය කරගත් පෙළ දහම ද එහි අට්ඨ කථා ද මෙරටට රැගෙන ආ බවත්, භාරතයේදී ම දීප භාෂාව හෙවත් හෙළ බස ප්‍රගුණ කර ගෙන, මෙහි වැඩම කර ගෙන හෙළ බසින් ම දහම් දෙසූ බවත් − ධමමං දෙසෙත්‍වා දීප භාසාය එවං − ඒ පුවතට ඇතුළත් වෙයි. මිහිඳු හිමියන් පෙළ බස නිසා හෙළ බස යටපත් කිරීමට හෝ හෙළ බස ගෙන පෙළ බස බැහැර කිරීමට හෝ නො සිතූහ. ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍යය නම් කෘතියෙහි මහාචාර්ය ගුණපාල මලලසේකර මෙසේ සඳහන් කරයි:

“මහින්ද හිමියන් මේ ළැදිකමට පුරෝගාමිත්වය දුන්නේ දීප ‘භාෂාවෙන්’ දේශනා කිරීමෙන් පමණක් නොව එයටත් වඩා පිටකයට කරන ලද අටුවා ඒ බසට පෙරළීමෙනි.’

− මහාචාර්ය ගුණපාල මලලසේකර, ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍යය, 48 පිටුව.

මහා වංශයෙහි 37 පරි: 177-180 ගාථා අනුව බුද්ධඝෝෂ හිමියන් ලංකාවට වැඩම කරනුයේ හෙළටුවා පාලියට පරිවර්තනය කර රැගෙන යෑමට ය. බුද්ධඝෝෂ හිමියන්ගේ ආචාර්යයන් වහන්සේ පවසන්නේ ලංකාවේ පිළිගත හැකි හා නිවැරදි අට්ඨ කථා රැසක් ඇති බවයි. මේ වන විට දියුණු අට්ඨ කථා සාහිත්‍යයක් ලංකාවේ පැවැති බව මින් හෙළි වෙයි. පෙළ බස හා හෙළ බස අතර මේ සබැඳියාවට බාධකයක් වන්නේ හෙළ බස යටපත් කර පෙළ බස බලවත් කිරීමට දැරූ ප්‍රයත්නයයි. එසේ නමුත් දීපවංශය සහ මහා වංශයට ද මූලාශ්‍රය වී ඇත්තේ සිංහල අට්ඨ කථා බව සැලකිය යුතුව ඇත.

බුදුරජුන් විසින් ප්‍රකාශිත යැයි ත්‍රිපිටකයේ එන හැම අදහසක ම මූලෝත්පාදකයා බුදුරජුන් ම යැයි ගැනීම බොහෝ දෙනෙකුන් කරන වරදකැයි සඳහන් කරන කන්නිමහර සුමංගල හිමියෝ අද පාලියේ දක්නට ලැබෙන්නේ බුද්ධ භාෂිත වූ පැරැණි ම ප්‍රාකෘතය යැයි ගැනීම අනුචිත නොවන බව ප්‍රකාශ කරති.

“ආගම කෙරෙහිත්, බුදුන් වහන්සේ කෙරෙහිත්, අපිස් ජීවිතය කෙරෙහිත් බුද්ධිමතකු තුළ ඇල්මක් භක්තියක් බහාලීමෙන් ආගමෙන් හා ධාර්මික ජීවිතයෙන් ආස්වාදයක් ලැබීමට ඔවුන් ප්‍රබෝධ කළ හැක්කේ කෙලෙසුන් නැසූ බුදුන් වහන්සේ දෙසූ දහම් ඒ සැටියෙන් ම සිංහලයට නඟා ඔවුන් අතට දීමෙනි.”

−සිංහල තුන් පිටකය, බණ කථා සාහිත්‍යය, මාර්ටින් වික්‍රමසිංහ, 70 පිටුව.

මාර්ටින් වික්‍රමසිංහයන් සඳහන් කරන්නේ සකාය නිරුක්තියේ අගය පිළිබඳ බව පැහැදිලි ය. එහෙත් ධාර්මික ජීවිතයෙන් ආස්වාදය ලබනු පිණිස දහම සිංහලයට නැඟීමට පැවැසීමෙන් බුදු සමයෙහි මුඛ්‍ය පරමාර්ථ නොතකා හරියි. පාලිය සෙසු ථේරවාදී බෞද්ධ රටවල් සමඟ ආගමික සබඳතා තහවුරු කළ හැකි භාෂා මාධ්‍යයයි. බුදු දහම යථාරූපීව ස්පර්ෂ කළ හැක්කේ සියවස් ගණනාවක් තිස්සේ අප රට භික්ෂුන් වහන්සේ විසින් පෙළ දහම ලෙසින් රැකගෙන ආ බුද්ධ භාෂිතය පෙළ බස හා හෙළ බස ඇසුරින් මැනවින් හැදෑරීමෙනි. එය මනුෂ්‍යත්වය උරුම කරගත් අප විසින් අත්පත් කරගත හැකි විශිෂ්ටතම ජයග්‍රහණය බව නිසැක ය.

 

 

භාෂාවෙහි මෙබඳු ව්‍යවහාරික ගුණ සහ ලක්ෂණ නො තකා, තමනට විෂය වන පමණින් නිගමන ගැනීම, අලියා අතපත ගා හඳුනා ගැනීමට තැත් දැරූ අන්ධයන්ට නෑකම් කීමට දරන උත්සාහයක් බඳු වෙයි.

පෙළ බසත් හෙළ බසත් අතර සබැඳියාව පිළිබඳ ලිඛිත සාධක හමුවන්නේ මිහිඳු හිමියන් ක්‍රි: පූ: 236දී ලංකාවට බුදු දහම රැගෙන ඒමේ පුවතත් සමඟ ය. උන් වහන්සේ පාලි භාෂාව මාධ්‍යය කරගත් පෙළ දහම ද එහි අට්ඨ කථා ද මෙරටට රැගෙන ආ බවත්, භාරතයේදී ම දීප භාෂාව හෙවත් හෙළ බස ප්‍රගුණ කර ගෙන, මෙහි වැඩම කර ගෙන හෙළ බසින් ම දහම් දෙසූ බවත් − ධමමං දෙසෙත්‍වා දීප භාසාය එවං − ඒ පුවතට ඇතුළත් වෙයි. මිහිඳු හිමියන් පෙළ බස නිසා හෙළ බස යටපත් කිරීමට හෝ හෙළ බස ගෙන පෙළ බස බැහැර කිරීමට හෝ නො සිතූහ. ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍යය නම් කෘතියෙහි මහාචාර්ය ගුණපාල මලලසේකර මෙසේ සඳහන් කරයි:

“මහින්ද හිමියන් මේ ළැදිකමට පුරෝගාමිත්වය දුන්නේ දීප ‘භාෂාවෙන්’ දේශනා කිරීමෙන් පමණක් නොව එයටත් වඩා පිටකයට කරන ලද අටුවා ඒ බසට පෙරළීමෙනි.’

− මහාචාර්ය ගුණපාල මලලසේකර, ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍යය, 48 පිටුව.

මහා වංශයෙහි 37 පරි: 177-180 ගාථා අනුව බුද්ධඝෝෂ හිමියන් ලංකාවට වැඩම කරනුයේ හෙළටුවා පාලියට පරිවර්තනය කර රැගෙන යෑමට ය. බුද්ධඝෝෂ හිමියන්ගේ ආචාර්යයන් වහන්සේ පවසන්නේ ලංකාවේ පිළිගත හැකි හා නිවැරදි අට්ඨ කථා රැසක් ඇති බවයි. මේ වන විට දියුණු අට්ඨ කථා සාහිත්‍යයක් ලංකාවේ පැවැති බව මින් හෙළි වෙයි. පෙළ බස හා හෙළ බස අතර මේ සබැඳියාවට බාධකයක් වන්නේ හෙළ බස යටපත් කර පෙළ බස බලවත් කිරීමට දැරූ ප්‍රයත්නයයි. එසේ නමුත් දීපවංශය සහ මහා වංශයට ද මූලාශ්‍රය වී ඇත්තේ සිංහල අට්ඨ කථා බව සැලකිය යුතුව ඇත.

බුදුරජුන් විසින් ප්‍රකාශිත යැයි ත්‍රිපිටකයේ එන හැම අදහසක ම මූලෝත්පාදකයා බුදුරජුන් ම යැයි ගැනීම බොහෝ දෙනෙකුන් කරන වරදකැයි සඳහන් කරන කන්නිමහර සුමංගල හිමියෝ අද පාලියේ දක්නට ලැබෙන්නේ බුද්ධ භාෂිත වූ පැරැණි ම ප්‍රාකෘතය යැයි ගැනීම අනුචිත නොවන බව ප්‍රකාශ කරති.

“ආගම කෙරෙහිත්, බුදුන් වහන්සේ කෙරෙහිත්, අපිස් ජීවිතය කෙරෙහිත් බුද්ධිමතකු තුළ ඇල්මක් භක්තියක් බහාලීමෙන් ආගමෙන් හා ධාර්මික ජීවිතයෙන් ආස්වාදයක් ලැබීමට ඔවුන් ප්‍රබෝධ කළ හැක්කේ කෙලෙසුන් නැසූ බුදුන් වහන්සේ දෙසූ දහම් ඒ සැටියෙන් ම සිංහලයට නඟා ඔවුන් අතට දීමෙනි.”

−සිංහල තුන් පිටකය, බණ කථා සාහිත්‍යය, මාර්ටින් වික්‍රමසිංහ, 70 පිටුව.

මාර්ටින් වික්‍රමසිංහයන් සඳහන් කරන්නේ සකාය නිරුක්තියේ අගය පිළිබඳ බව පැහැදිලි ය. එහෙත් ධාර්මික ජීවිතයෙන් ආස්වාදය ලබනු පිණිස දහම සිංහලයට නැඟීමට පැවැසීමෙන් බුදු සමයෙහි මුඛ්‍ය පරමාර්ථ නොතකා හරියි. පාලිය සෙසු ථේරවාදී බෞද්ධ රටවල් සමඟ ආගමික සබඳතා තහවුරු කළ හැකි භාෂා මාධ්‍යයයි. බුදු දහම යථාරූපීව ස්පර්ෂ කළ හැක්කේ සියවස් ගණනාවක් තිස්සේ අප රට භික්ෂුන් වහන්සේ විසින් පෙළ දහම ලෙසින් රැකගෙන ආ බුද්ධ භාෂිතය පෙළ බස හා හෙළ බස ඇසුරින් මැනවින් හැදෑරීමෙනි. එය මනුෂ්‍යත්වය උරුම කරගත් අප විසින් අත්පත් කරගත හැකි විශිෂ්ටතම ජයග්‍රහණය බව නිසැක ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.