සමුපකාර සාහිත්‍යය | සත්මඬල

සමුපකාර සාහිත්‍යය

1844 දෙසැම්බර් මාසයේ එංගලන්තයේ මැන්චෙස්ටර්හි රොච්ල් නම් උප නගරයේ ‘රොච්ඩේල් සාධාරණ පුරෝගාමීන්ගේ සමිතිය’ පිහිටුවා ගැනීමත් සමඟ ලොව සමුපකාර ව්‍යාපාරය ඇරැඹිණැ’යි පිළිගැනේ.

ශ්‍රී ලංකාවේ සමුපකාර සමිතියක් මුලින්ම පිහිටුවා ගනු ලැබ ඇත්තේ 1906 වසරේ යැයි පැවසේ. කෙසේ වෙතත් යටත් විජිත සමයේ පැවැති ව්‍යවස්ථාදායක සභාව සමුපකාර සමිති ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා නෛතික රාමුව සකසමින් 1911 වසරේ ආඥා පනතක් සම්මත කළේ ය. ඒ අනුව අප රටේ සමුපකාර ව්‍යාපාරයට ද සියවසකටත් වඩා පැරැණි ඉතිහාසයක් තිබේ.

සමුපකාරය යන පදය විග්‍රහ කරමින් සමුපකාර ව්‍යාපාරය ගැන සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි.

‘සමුපකාරය’, ‘ව්‍යාපාරය’ නම් සිංහල වචනය සමඟ එක්වූ විට ‘සමුපකාර ව්‍යාපාරය’ නම් තරගකාරී වෙළෙඳාම ගැන අදහසක් ඇති කරවයි. මේ රටේ සමුපකාර ව්‍යාපාරය ලෙස ඇටවුම් බැස ඇත්තේ එය කූඨ වාණිජ ව්‍යාපාරයක් ය යන අදහස දෙන පරිදි ය. මේ නිසා පළමුව කළ යුත්තේ සමුපකාර ව්‍යාපාරය පිළිබඳ එහි ඉතිහාසය ඇසුරෙන් නිවැරදිව වටහා ගැනීමයි.

මේ සඳහා පළමුවෙන් ම අප කළ යුත්තේ ‘සමුපකාරය’ සහ ‘ව්‍යාපාරය’ යන සිංහල පදවල නිර්වචනය නොව නිරුක්තිය සොයා ගැනීම ය.

ප්‍රථමයෙන් ව්‍යාපාරය යන පදය ගත හොත් ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ ඊට දී ඇති අරුත් මෙසේ ය:

1. ක්‍රියාව (වි8.99/2-20 දහම් 4/10) 2. රස්සාව 3. වෙළෙඳාම 4. උත්සාහය 5. වෙළෙන්දා

මෙයින් පැහැදිලි වනුයේ ව්‍යාපාරය යන පදය පැරැණි සිංහලයේ යෙදී ඇත්තේ ක්‍රියාව යන අරුතින් පමණක් බවයි. එය විශුද්ධි මාර්ග සන්නයේ (සංඝරතන තෙර සංස්කරණයේ) 99 පිටුවේ 2 සිට 20 දක්වා පේළිවල සහ පණ්ඩිත ධම්මානන්ද ස්ථවිරයන් විසින් සංස්කරණය කරන ලද දහම් සරණ හි 4 පිටුවේ 10 පේළියේ ඇති බව දක්වා ඇත. මේ පොත් පිළිවෙළින් 12 සහ 13 සියවස්වල රචිත බව ද එහි සඳහන් ය. ඉහත සඳහන් අනෙක් අර්ථවල මූලය නොහොත් ප්‍රභවය දක්වා නැති හෙයින් ඒවා මෑතකදි භාවිතයට එක් වූ පද ලෙස සැලකිය හැකිය. උක්ත ශබ්ද කෝෂය මුල් වරට මුද්‍රණයෙන් නිකුත් වී ඇත්තේ 1955 වසරේ ය.

1924 වසරේ නිකුත් වී ඇති චාල්ස් කාටර් දේවගැති තුමාගේ ‘කාටර් සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂය’ට අනුව ව්‍යාපාරය යන්නට යෙදෙන තත්සම පද මේවා ය: 1. occupation 2. business 3. trade 4. effort 5. work 6. affair 7. operation එහෙත් නූතනයේ භාවිත ප්‍රධානතම ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂය වන මලලසේකර ශබ්දකෝෂයේ ඉහත සඳහන් occupation, effort, work, operation යන පදවල අරුත් ලෙස ව්‍යාපාරය යන්න නොයෙදේ. business, trade, affair යන පදවල අරුත් ලෙස ව්‍යාපාරය යන්න යෙදෙන අතර campaign, movement, project, enterprise පදවල අරුත ලෙස ද ව්‍යාපාරය යන්න යොදා ඇත. ගම්ලතුන්ගේ ඉංගිරිසි සිංහල මහා ශබ්දකෝෂයේ ද වෙනසක් නැත.

සමුපකාර ව්‍යාපාරය ගැන එහි ආරම්භක අවධියේ සිට සඳහන් වන සැම අවස්ථාවකම යෙදී ඇත්තේ ඉහත පද අතුරින් movement යන්නයි. move යන්නෙන් විභින්න වූ movement යන්නට මලලසේකර ශබ්දකෝෂයේ ඇති සිංහල අරුත් මෙසේ ය.: සංචලනය; ව්‍යාපාරය; ගමන; එකම අරමුණකට යන ගමන; යන්ත්‍රයක චලනය වන කොටස.

Oxford Advanced Learners ශබ්දකෝෂයේ movement යන්නෙහි අරුත් මෙසේ ය: (group of people with a)shared set of aims of principles (බෙදාහදාගත් ඉලක්ක සහිත මිනිසුන් කණ්ඩායමක්)

බ්‍රිටැනිකා විශ්ව කෝෂය එය අර්ථ දක්වන්නේ series of organized activities working towards an an objective. also: an organized effort to promote or attain civil rights යනුවෙනි. (යම් අරමුණක් ක්‍රියාවට නැංවිම සඳහා යොමු වූ සංවිධානාත්මක ක්‍රියාකාරකම් මාලාව. එසේම: සිවිල් අයිතිවාසිකම් ප්‍රවර්ධනය හෝ ළඟා කර ගැනීම හෝ සඳහා වන සංවිධානාත්මක පරිශ්‍රමය)

movement යන්නට තත්සම සිංහල පදය ලෙස 12 වැනි සහ 13 වැනි සියවස්වල පැවැති ව්‍යාපාරය යන පදය යොදා ගැනීමේ හෙළ බස් වඩු පඬුවන්ගේ ඌනතාවක් පෙනෙයි. ඒ නිසා දුහුනන්ට දිගින් දිගටම movement යන්න යෙදෙන තැන්වල business යන්නෙහි අරුතට සමාන ව්‍යාපාරය යන්න යොදන්නට සිදු විය. උදා: වාමාංශික ව්‍යාපාරය,

ඉදිරියේදී මෙහි විස්තර කරන්නට අපේක්‍ෂා කෙරෙන සමුපකාර සමිතිවල ව්‍යාපාරික කටයුතු සිදු කෙරෙයි. සමුපකාර සමිති අතරින් වර්තමානයේ පවත්නා ‘විවිධ සේවා සමුපකාර සමිති’ නම් ව්‍යාපාරික ආයතන ප්‍රමුඛ වශයෙන් යෙදී සිටින්නේ පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරික කටයුතුවල ය. ඒවා ප්‍රදේශික වෙළෙඳසල්, කෝප් සිටි, මිනිකෝප් සිටි යනාදි විවිධාකාර පාරිභෝගික වෙළෙඳසල් නොහොත් ස්ටෝරු ජාලයකින් සමන්විත වෙයි. සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය සිදු වූයේත් මෙවැනි වෙළෙඳසලක් පිහිටුවා ගැනීමෙන් වන නිසා එය එහි මූලික ගුණාංගයක් ලෙස අතීතයේ සිට ම පිළිගැනේ. මෙවැනි වාණිජ ක්‍රියා අප රටේ සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ‘බිස්නස්’ යනුවෙනි. මේ නිසා සමුපකාර වෙළෙඳසලක් යනු ’බිස්නස්’ එකකි. මෙහිදී පෙන්වා දෙන්නේ ඒවායේ ‘බිස්නස්’ ස්වරූපයක් නැති බව නොවේ; අනිවාර්යයෙන් ම ඒවා ‘බිස්නස්’ ය. එහෙත් සමුපකාරය යනු එපමණක් ම නොව පොදු ජන ව්‍යාපාරයක් ද වෙයි.

එසේ සඳහන් කරන්නේ වුවද පොදුජන ව්‍යාපාරයක් යනු ලාභ ලැබීමේ අපේක්‍ෂාවෙන් තොරව ක්‍රියාත්මක වන කිසියම් අස්ථිත්වයක් වෙයි. දැන් මෙතන පරස්පරයකි. මේවා එකකින් අනෙක නිෂේධනය වන බවත් පෙනෙයි. සමුපකාරයේ විශේෂත්වය ද එයමැයි. එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක් එහි එක්වර දකින්නට ලැබෙයි. මෙය ඉතා සියුම් ව වටහා ගතයුතු තත්ත්වයක් වෙයි.

මිනිසුන් සාමුහිකව වැඩෙහි යොදවන විට එමඟින් නිෂ්පාදනය කෙරේ ඇතිවන බලපෑම විග්‍රහ කිරීම සඳහා කාල් මාක්ස් සිය ‘දාස් කැපිටාල්’ ග්‍රන්ථයේ පළමු කොටසේ 13 වැනි පරිච්ඡේදය සම්පූර්ණයෙන් ම වෙන් කළේ ය.

සෑම ආයතනයක්ම ලාභ ඉපැදිය යුතු ය යන්න ගුරු කොට ගත් නූතන ව්‍යවසායකත්ව සිද්ධාන්තවලට අනුව සුබසාධක ව්‍යාපාරවලට ඉඩක් නැත. ලාභය කෙසේ වෙතත් අඩු තරමින් සිය පිරිවැය හෝ සොයා ගැනීම අනිවාර්ය සාධකයකි. මේ අනුව සමුපකාරය නමැති වාණිජ ව්‍යාපාරය නොයෙකුත් තර්ජනවලට මුහුණ දෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස සමුපකාර ව්‍යාපාරය නැති පොදුජන ව්‍යාපාරය අර්බුදයකට මුහුණ දීම වැළැක්විය නොහැක්කකි.

1844 දෙසැම්බර් මස 21 දින රොච්ඩේල්හි සාධාරණ පුරෝගාමීන්ගේ සමිතිය පිහිටුවූ දින සිට ඉංග්‍රීසියේ co-operative යන පදය ද වෙනස්කමකට භාජනය විය. එතෙක් එය භාවිත වූයේ සහයෝගිතාව, සහක්‍රියාව වැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පදයක් ලෙසිනි. එනමුත් ඉහත සඳහන් සමිතියේ ක්‍රියාකාරකම්වල ඇතුළත් වන සහයෝගිතාව ඉක්මවා ගිය තත්ත්ව නිසා එය ගැන විශේෂයෙන් කියැවෙන වෙනත් පදයක අවශ්‍යතාව පැන නැංගේ ය. ඒ සඳහා අලුතින් වචනයක් නිෂ්පාදනය නොවුණු අතර පැවැති co-operative යන්න ම එහි මුල් අකුර කැපිටල් කිරීමෙන් සහ මැද ඉර ඉවත් කිරීමෙන් සාදා ගත් cooperative යන්න ඒ සඳහා භාවිත කිරීම ඇරැඹිණි. තවද ඉහත co-operative යන්න යෙදෙන්නේ නාම හෝ ක්‍රියා විශේෂණයක් ලෙසින් වන අතර cooperative නාම පදයක් ලෙසින් ද වැහැරේ.

co-operative යන්නේ නාම පදය ලෙස co-operation හෝ (මැද කෙටි ඉර නොමැතිව) cooperation යන්න යෙදෙනු ඇති අතර (සමුපකාර යන අරුත් සහිත) cooperative යන්නේ නාම පදය ලෙස cooperation හෝ cooperative ම හෝ යෙදේ. එහිදී මුල අකුර වන c කැපිටල් අකුරකි.

මීළඟට අපගේ අවධානය යොමු වන්නේ ‘සමුපකාර’ යන සිංහල පදයටයි.

සමුපකාර යන පදය සම සහ උපකාර යන පද ද්වය පූර්වස්වර ලෝපයෙන් සන්ධි වී සැදුණු බව සාමාන්‍ය මතයයි. එහෙත් එය පුරාතන සිංහලයේ භාවිත බවක් අනාවරණය නොවේ. ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ පවා ඒ පදය නැත. වෙනත් ආකාරයකින් කියන්නේ නම් සමුපකාර යන සිංහල පදය ‘කාර්ටර් සිංහල ඉංග්‍රීසි අකාරාදිය’ට පෙර සිංහලයේ භාවිත බවක් සොයා ගත නොහැකිය. ඒ ග්‍රන්ථයේ කර්තෘ චාල්ස් කාර්ටර් දේවගැති තුමා මේ පදය නිර්මාණය කරන්නට ඇත්තේ self help යන පදයේ සිංහල පරිවර්තනය වන ස්වයං උපකාර යන්නෙහි සුඛොච්චාරණය (පහසුවෙන් ඉසිරැවිය හැකි ආකාරය) ලෙස ය.

තම ආර්ථික තත්ත්වය වැඩි දියුණු කර ගැනීමේ අටියෙන්, ප්‍රජාතන්ත්‍රවාදි ලෙස පාලනය ගෙන යන, ඕනෑම සාමාජිකයකුට සමාන අයිතිවාසිකම් තහවුරු කෙරෙන, මිල දී ගැනුම් මත ප්‍රතිදාන ලබා දෙන සහ කොටස් ප්‍රාග්ධනයට අසීමිත ලෙස පොලි ගෙවීමෙන් වළකින, ස්වයං උපකාරය පිණිස ඇරැඹූ වෙළෙඳ සල් ව්‍යාපාරය හැඳින්වීම සඳහා එතුමන් විසින් ‘සමුපකාරය’ යන සිංහල පදය අලුතින් නිර්මාණය කරන ලද බව මෙයින් පැහැදිලි වෙයි.

තවත් පෙන්වා දිය යුතු කාරණයක් නම් සමුපකාර යන්න මෙන්ම සහයෝගිතාව, සාමුහික වැනි වචන පවා අතීත සිංහලයේ පැවැති බවට සාධක නැති බවයි. සමූහය යන පදයට සමාන ලෙස එකල යෙදී ඇත්තේ ගණ යන පදයයි (සංඝ යන්නේ අරුත ද සමූහය යනුයි). සහයෝගී යන්නට සමාන ලෙස සමගි යන්න යෙදී ඇත. කයිය යනු එවැනි සාමූහික ක්‍රියාකාරකම්වලට අතීත ලංකාවේ ගැමියන් වැහැරූ පදයක් බව ප්‍රකට ය. පෙර සඳහන් කළ පද සිංහල භාෂාවට එක් වී ඇත්තේ අලුතෙන් හඳුනා ගත් ඉංග්‍රීසි වචනවලට පර්යාය පද ලෙසිනි. co-operation, co-operative යන පද ඉංග්‍රීසියට එක් වී ඇත්තේ ද 14 වැනි සිය වස තරම් මෑත කාලයක බව එහි ඉතිහාසය පිරික්සීමෙන් දත හැකිය.

එබඳු ක්‍රියාකාරකම් හැඳින්වීමට පද තිබුණත් නැතත් සංගමය, සහයෝගීතාව, හවුල, සාමූහික බව යන ඒවා මනුෂ්‍ය සමාජය තරම්ම පැරැණි ය. ඉන් අදහස් කෙරෙනුයේ දෙදෙනකු හෝ වැඩි දෙනකු එකිනෙකාගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කිරීමයි. සමාජ ප්‍රගතිය රැඳී පවත්නේ ඒ මත ය. එසේම මනුෂ්‍ය ශිෂ්ටාචාරයට ඒවායින් තොරව පැවැතිය නොහැකිය. එමඟින් සම්පත් විවිධාංගකරණය කරන අතර මිනිසුන්ගේ දැනුම ද, නව සොයා ගැනීම්වලට පාදක වන අදහස් ද පොදුවේ මනුෂ්‍ය සමාජය කළමණාකරණය සඳහා උපයුක්ත ක්‍රමෝපායයන් ද හුවමාරු කරයි.

අතීතයේ කෘෂිකර්මාන්තයේ යෙදුණු ඇත්තෝ (වර්තමානයේ වුව ද තත්ත්වය එසේම ය.) සීසාන, වපුරන, අස්වනු නෙළන අවස්ථාවල සමගිව සහයෝගයෙන් කටයුතු කළෝ ය. එඬේර යුගයෙන් පසු සත්ත්ව පාලනය ජීවිකාවෘත්තිය කැර ගත් ගෝත්‍රවල මිනිස්සු සාකච්ඡා සභා පවත්වා මුර ක්‍රමයට ගව පට්ටි සමඟ වනයට යෑම සඳහා ‘නියෝජිතයන්’ තෝරා ගත්හ. මෙහිදී ක්‍රියාත්මක වූයේ සාමූහික බවයි. පෞරාණික මෙසපොතේමියාවේ සහ අතීත ඕලන්දයේ වගා කටයුතුවලට අවශ්‍ය ජලය සැපයීමට මෙන්ම වර්ෂාව නිසා එක්රැස් වන වැඩිපුර ජලය ඉවත් කිරීමටත් අවශ්‍ය වන ජලාශ, ඇළවේලි, සොරොව් යනාදිය ඉදි කිරීමට, නඩත්තුවට සහ පාලනයට සාමූහික ශ්‍රමය යොදාගන්නා ලදි. වර්තමානයේ අප දකින දියුණු වාරිමාර්ග ක්‍රමවල ආරම්භක අවස්ථාව ඒ ය. සකසන ලද වාරි ක්‍රම විනාශ කරන්නට සතුරු ගෝත්‍ර නිරතුරු උත්සාහ කළ හෙයින්, ඒවා රැකගැනීම සඳහා විශේෂ ආරක්‍ෂක විධිවිධාන යෙදීමට ද එසේම සිදු විය. මෙලෙස සාමූහික ක්‍රියාකාරකම් පවත්වා ගෙන යෑමට සත්ත්ව පාලනය සහ වගාව පමණක් ම හේතුකාරක වූවා නොවේ. තවත් බොහෝ හේතු තිබිණි. සතුරු ආක්‍රමණ සහ සටන් තවත් උදාහරණ ය. සාමුහික ක්‍රියාකාරකම්වල අවශ්‍යතාව වඩාත්ම දැනුණේ සතුරු ආක්‍රමණවලදී ය. කෘෂිකාර්මික ඉතිහාසය මිනීමැරුම්, මංකොල්කෑම්, සහ විනාශ කිරීම්වලින් පිරී තිබේ. එසේම ස්වාභාවික ව්‍යසනවලට සහ ආපදාවලට ද මුහුණ දිය යුතු වූයේ ය. සාමූහික ක්‍රියාමාර්ග මානව අවශ්‍යතාවක් බවට පත් වූයේ මෙවැනි කරුණු නිසා ය. විවිධ රටවල විවිධ ජාතීන් අතුරින් බොහෝ උදාහරණ මීට සපයාගත හැකිය. එහි ඡායාමාත්‍ර අදහස් බොහෝ ජාතීන්ගේ ඉතිහාස පුරාවෘත්තවල ඇතුළත් ය.

අතීත ස්ලොවැක් රටවල පැවැතියේ සාමූහික ජීවන ක්‍රමයක් බව පොත්වල සඳහන් වෙයි. ඥාති සබඳකම් මත පවත්වා ගෙන ගිය රුසියාවේ ‘මර්’ සහ ‘සැඩෘගා’ ද සහයෝගිතා හවුල් සංවිධානයෝ වූහ. ඉතාලිය, රුසියාව, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඉන්දියාව යනාදි රටවල නොයෙකුත් නම් භාවිත කළ සමිති තිබී ඇත. මුදල් භාවිතයට පැමිණි පසු කාසි හා නෝට්ටු රැස් කර තැබීම සඳහාත් අවශ්‍ය අවස්ථාවල ප්‍රයෝජනයට ගැනීමට මෙන්ම අතමාරු ඉල්ලා ගැනීම සඳහා ද පැවැති මේවා සහයෝගිතාව සිය ක්‍රියාකාරකම්වලදී අඩුවැඩි වශයෙන් භාවිත කළ බැව් පැහැදිලි ය.

දෙදෙනකු අතර අන්‍යෝන්‍ය උපකාරය නිසා දෙදෙනාම ලබාගත් පහසුකම් පිළිබඳ අගේ ඇති කතාවක් උම්මග්ග ජාතකයේ එයි. එලක ප්‍රශ්නය නමින් හැඳින්වන මේ අතුරු කතාව එහි කතා නායකයා වන මහෞෂධ පණ්ඩිතයන්ගේ නැණ නුවණ වර්ණනා කිරීම සඳහා නිර්මිත වූවකි.

බුදුන් දවස ලිච්ඡවි රජදරුවන් සිය රාජ්‍යය පාලනය කළේ වර්තමානයේ අප සමුපකාරය යනුවෙන් හඳුන්වන මූලධර්ම ඉක්මවා ගිය සාමූහික භාවයේ ප්‍රතිපත්ති මාලාවක් පදනම් කරගනිමින් බැව් බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. මාගධියේ අජාසත්ත රජුට ලිච්ඡවීන්ගේ මල්ල දේශය යටත් කොට සිය රටට ඈඳාගන්නට අවශ්‍ය විය. බුදුන් පිරිනිවන් පාන්නට කිහිප දිනකට පෙර රජුගේ නියෝජිත වස්සකාර නම් බ්‍රාහ්මණයා බුදුන්ගෙන් පිළිවිසින්නේ ලිච්ඡවීන් පරාජය කළ හැක්කේ කෙසේ ද කියායි. ලිච්ඡවීන් අපරිහානිය ධර්ම රකිනා හෙයින් ඔවුන් පරදවා ඔවුන්ගේ දේශය දිනාගත නොහැකි බව එහිදී බුදුහු වස්සකාර බ්‍රාහ්මණයාට පැහැදිලි කර දෙති. එක්ව තීරණ ගැනීම, එක්ව කටයුතු කිරීම යනාදී කරුණු විශාල සංඛ්‍යාවක් අපරිහානීය ධර්මවලට ඇතුළත් ය. අපරිහානීය ධර්ම සප්තක හයක් සහ තවත් හයක් (48ක්) ලිච්ඡවීන් විසින් සුරකිනු ලබන බව මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවේ අඩංගු ය.

ශ්‍රී ලංකාවේ අතීතයේ සමුපකාර ක්‍රමය පැවැතුණේ යැයි ද, පුරාතන සිංහලයන් දාගැබ් මහා වැව් බැන්දේ සමුපකාර ක්‍රමයට යැයි ද ශ්‍රී ලාංකික සමුපකාර මත නයුවන් ඇතැම් විට ප්‍රකාශ කරනු අපට ඇසිය හැකිය. මේ දේශන බොහෝ විට මුද්‍රිත මාධ්‍යයට ද එක් වෙයි. මෙවැනි අතාර්කික කරුණු සිංහලයේ සමුපකාර සාහිත්‍යයේ දක්නට ලැබෙයි. ඒවා සාවද්‍ය සහ නොමඟ යවනසුලු ය. ථූපවංශය පරිශීලනය කළ හොත් එතැන තිබී ඇත්තේ සමගි සම්පන්න බවක් විනා වර්තමානයේ කියැවෙන ‘සමුපකාර’ ක්‍රමයක් නොවන බව පැහැදිලි වනු ඇත.

සමුපකාරය යන්න පාරිභාෂික පදයකි. ඊට නිශ්චිත අර්ථයක් ඇත. සමුපකාර යන පදයට ඇතුළත් කළ හැක්කේ රොච්ඩේල් පුරෝගාමීන්ගේ සමිතියෙන් පසු ලොව පසිඳු වූ, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය ගෙන යන, ඕනෑම සාමාජිකයකුට සමාන අයිතිවාසිකම් තහවුරු කෙරෙන, මිල දී ගැනුම් මත ප්‍රතිදාන ලබා දෙන සහ කොටස් ප්‍රාග්ධනයට අසීමිත ලෙස පොලී ගෙවීමෙන් වළකින, ස්වයං උපකාරය පිණිස ඇරැඹූ වෙළෙඳ සලෙන් මොබ සමිති හා ව්‍යාපාරවලට පමණක් බව ද ඒ සමඟම වටහාගත යුතුය.

 

ආශ්‍රිත ග්‍රන්ථ

1. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය

2. කාටර් ශබ්ද කෝෂය

3. මහා පරිනිර්වාණ සූත්‍රය

4. ඩිග්බි, මාර්ගරට්, ලෝක සමුපකාර ව්‍යාපාරය (සිංහල පරිවර්තනය: විජේසූරිය, එස්. කොළඹ, 1967)

5. නන්දලාල්, එස්. සමුපකාරය අධ්‍යයනයට ප්‍රවේශයක්, කොළඹ 2003

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.