මරණය බෙදාගැනීමට නම්... | සත්මඬල

මරණය බෙදාගැනීමට නම්...

උද්‍යානයේ කෙළවරට වන්නට ඇති ලී බංකුවේ වාඩිගෙන අවට ලෝකය ගැන හාංකවිසියක හෝ අවධානයකින් තොරව එකිනෙකා හා සෙමෙන් කතා කරමින් සිටින මහලු යුවළක් වෙයි. ඔවුන් ඉඳගෙන සිටින බංකුව තනා ඇත්තේ රොබරෝසියා ගසක් යට ය. ළා දම් පැහැති රොබරෝසියා පෙති යායක් ගස් අවටත් බංකුව පිහිටි බිමත් වැටී තිබේ. ඉඳහිට හමන මඳ සුළඟට නැළවෙන රෝබරෝසියා මලක් දෙකක් අර බංකුවේ ඉඳගෙන සිටින ජීවිතයේ සැඳෑ සමය ගත කරන යුවළ වෙත ද පාවී එන්නේ ය. සිය වියපත් ගැහෙන ඇඟිලි තුඩුවලින් ඉඳහිට අල්ලා ගන්නා මලක් සිය ජීවිතය කලක් තිස්සේ බෙදාගත් තම බිරිය වෙත දිගු කරන වියපත් සැමියාගේ නෙත් එදා මෙන් ම අදත් ආදරයේ කාන්තියෙන් ශෝභාවත් ය. මේ අපූරු බැඳීම ම සිත බොහෝ දුර ගෙන යයි. ජීවිතය මේ සියල්ලේ ම එකතුව නොවේ දැයි සිතෙයි.

අප බොහෝ දෙනකු යම් යම් විෂයයන් පිළිබඳ, වෘත්තීන් පිළිබඳ විශේෂඥතා දැනුමක් සහිත වූවන් වුවත්, අප දිවියෙහි නොවිසඳූ අරගල මෙන්ම වේදනාව හා දුක් විඳීම් ඇත. කම්කරුවකු වුවත් රටේ ජනාධිපති වුවත් මේ තත්ත්වය පොදු ය. අරගල, වේදනාව මෙන්ම අප ජීවිතවල ප්‍රීතිය හා ආස්වාදය ද නැත්තේ නොවේ. අප ජීවිතයෙන් අඩකටත් වඩා කාලයක් කාර්යාලයට ගොස් පැය අටක් හෝ ඊට වැඩි කාලයක් වැය කරමින් මොළය හා සිත නැත් නම් ගත කිසියම්ම හෝ දෙයක නිරත කරවමින් ජීවත් වන්නේ කුමක් සඳහා ද?

අපට කිසි විටෙක නිශ්චලතාවක් හෝ සාමයක් නැත; නිරන්තරයෙන් අපි වැඩ කරන්නෙමු; සිතන්නෙමු. ඒකාකාර වූ අඩ වශයෙන් තෘප්තිකර හෝ අතෘප්තිකර වූ දෛනික ජීවිතයක් අප සැමට හිමි ය. විවිධාකාර විනෝදාස්වාදන ක්‍රම සොයමින්, විවිධ ආගමික මතවාද ගුරු කරගනිමින් අපි ජීවිතයට මුහුණ නොදී පලා යෑමට උත්සාහ කරන්නෙමු. එහෙත් අවසානයෙහි අප රැඳී සිටින්නේ අද අප රැඳී සිටි තැන ම ය. වයස ගොස් ය; චින්තනය එදා මෙන් ම ය. වෙනසකට ඇත්තේ එදාට වඩා අපට ප්‍රශ්න වැඩි වීම ය. වයසට යෑම, ලෙඩ රෝග ඇති වීම, ජීවිතය ගැන වන අහිංසක බිය හැම විට ම අප සිතෙහි ඇත. ළමා වියේ සිට මරණය තෙක් ම මේ හැඟීම් මාලාව පොදු ය.

ඔබ හෝ ඔබ අවට සිටින්නන් ගැන ඔබට බොහෝ අත්දැකීම් ඇති. අප වයසට යත් ම අපට අපගේ අතීතය මතක් වන්නට පටන් ගනී. වේදනාව ඇති වූ අවස්ථා, සතුට ඇති වූ අවස්ථා, දුක් කඳුළු ගැලූ අවස්ථා මතක් වෙයි. සෙවණැලිවලින් පිරුණු, මඳ සනීපවත්, සුගන්ධවත් සුළඟ හමා යන පරිසරයක සිටින්නේ වුව ද මා ඔබට පෙර කී වියපත් යුවළට තම අතීතය සිහි වෙනවා ඇත; තම

දූ දරුවන්ගේ ජීවිතයේ විවිධ අවස්ථා උදා වුණු සැටි මතකයට නැඟෙනවා ඇති; ඔවුන් පැය ගණනක් තිස්සේ ඉවසිල්ලේ කතා කරමින් සිටින්නේ ඒ ගැන වන්නට හැකිය.

මහලු වියෙහි වන ඊළඟ අවස්ථාව වන මරණය ගැන ඔවුහු කතා කරති; එහෙත් ඒ කතාව සෑම විට ම මරණයෙන් කෙළවර කරනවාට වඩා ඊළඟ භවයේදීත් හමු වීම, පුනරුත්පත්තිය වැනි දෙයකින් අවසන් කරන්නට උත්සුක වනවා නො වේ ද? කුමක් ද ඒ වියපත් යුවළ, ඔබ මම මේ කරන්නේ? මරණය යන නොදන්නා ගැටලුවෙන් පැන ගොස් තවත් එළැඹුමක් ගැන සිතීම නොවේද? මරණයෙන් කෙළවර වීමක් ගැන කතා කරන්නට අපි බය වෙමු.

අප දන්නේ ජීවත් වීම හා මරණය පමණකි. ඉන් බැහැර වූ සියල්ල හුදු නිර්මාණ ය; න්‍යායවාද ය; පැවැත්ම උදෙසා ගොඩනඟා ගන්නා මතවාද ය. අපට, අපේ ප්‍රියතමයන්ට යම් සුරක්ෂිත හැඟීමක්, බලාපොරොත්තුවක් ගෙන දෙන යම් මතවාදයක්, විශ්වාසයක් පිටුපස හඹා යෑම, ලුහුබැඳ යෑම අපගේ සාමාන්‍ය ස්වභාවයයි. යම් යම් මතවාද, න්‍යාය ඔස්සේ අප සකස් කරගත් පරමාදර්ශ, සැකිලි අපට ඇත. අප ජීවිත කාලය පුරා කරන්නේ ඒවා සාක්ෂාත් කරගැනීමට වැරදැරීම ය. මහා බලාපොරොත්තු, හඹා යෑම් නැති ළාබාල වියේ පවා අප ජීවත් වන්නේ ඒ ආකාරයෙනි.

අපේ මොළය මුළුමනින් ම පරිපූර්ණ ආකාරයෙන් කිසිවිටෙකත් ක්‍රියා කරන්නේ නැත. විද්‍යාව ගැන දැනුමක් ඇති ඔබ ඒ ගැන දනී. අප පාවිච්චි කරන්නේ අපේ මොළයෙන් ඉතා ස්වල්ප කොටසකි. ඒ කොටස චින්තනය නම් වූ කොටසයි. අපේ මොළය ක්‍රියා කරන්නේ ඉන්ද්‍රීයයන්ගේ සහභාගීත්වයෙනි. ඉන්ද්‍රියන්ට ද ඇත්තේ සීමාසහිත භාවයකි; අසම්පූර්ණත්වයකි. ඒ ගැන මොළය බොහෝ විට ක්‍රියා කරන්නේ ඉතා පටු ක්ෂේත්‍රයක ය. ඒ නිසා කිසි විටක සකල ඉන්ද්‍රීය රාශිය ම නිදහස්ව හෝ අවදිව පවතින්නේ නැත. එනිසා ම අපි අපගේ බොහෝ දෑ ආදේශකයක් වෙත බාර දෙන්නෙමු. අනතුරුව ඒ ආදේශකයේ පිහිටෙන් ලෝකය දෙස බලන්නෙමු. ආගම යනු එවන් ආදේශක අතර ඉහළින් ම තිබෙන්නකි. මිනිසා සෑම කාලයක ම භෞතික ජීවිතයෙන් එපිට වූ දෙයක් ගැන සොයා ඇත. අපට පෙනෙන, දකින දෙයින් ඔබ්බට වූ දෙයක් ගැන සිතා ඇත. ඒ සඳහා ගවේෂණය කර ඇත; විමසා ඇත; දුක් විඳ ඇත. එහෙත් ඒ කිසිවකින් නිෂ්ටාවක් හමු වී නැත.

ජීවත් වීම, මරණය, ආගම මේ ඕනෑ ම දෙයක් ගැන විමසීමට නම් ඔහු හෝ ඇය නිදහස් මනසකින් යුතු වූවෙක් විය යුතුය; ආගම විසින් පෙන්වන චින්තනය විසින් නිපදවා ඇති නිර්මාණවලින් නිදහස් විය යුතුය; වැඳීම්, පුද පූජා කිරීම්, යාග හෝම කිරීම් ආදි සර්ව ප්‍රාථමික හැම දෙයකින් ම නිදහස් විය යුතුය. පෙර සොයාගත් දැයෙන් නිදහස් වූ සිත එවිට නිදහස් ගමනකට පාර පෙන්වනු ඇත.

මහලු යුවළ රොබරෝසියා මල් නොපෑගෙන්නට සීරුවට අඩිය තබමින් සෙමෙන් සෙමෙන් නික්ම යනු පෙනේ. ජීවිතය බෙදාගත්ත ද මරණය බෙදා ගැනීමට තරම් ඔවුන්ගේ මනස නිදහස් දැයි මම තවමත් කල්පනා කරන්නෙමි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.