ප්‍රායෝගික සාහිත්‍ය විචාරයේ ශ්‍රී ලාංකික භූමිකාව | සත්මඬල

ප්‍රායෝගික සාහිත්‍ය විචාරයේ ශ්‍රී ලාංකික භූමිකාව

නිරුක්ති විද්‍යානුකූලව ‘විචාරය’ යන සිංහල පදයට ඉංග්‍රීසියෙන් යොදන Criticism යන පදය බිඳී ආවේ ග්‍රීක භාෂාවේ Judgement යන්නට සමාන පදයෙනියි විශ්වාසයක් පවතියි. එහෙයින් ‘විචාරය’ යනු විනිශ්චය පිළිබඳ කාර්යයයි. එසේ ගත් කල ‘සාහිත්‍ය විචාරය’ යනු සාහිත්‍ය කෘතියක් හෝ කෘති විනිශ්චය පිළිබඳ කාර්යාවලියයි. ‘විචාරය’ යන පදයට කළ අර්ථකථන විමසා බලන විද්‍යාර්ථියකුට විචාර සිද්ධාන්තයන්ගේ අර්බුදකාරී තත්ත්වයක් ඇති බව පැහැදිලි වනු ඇත.

සාහිත්‍ය විචාරය පිළිබඳ ‍පවත්නා මේ අවුල පිළිබඳ විසඳුමක් සොයා ගත නොහැකි වුවත් ඉතා සරල අර්ථකථනයක් ඒ සඳහා යොදා ගැනීම අපට ප්‍රායෝගික විසඳුමකට පැමිණීමට ඉවහල් වනු ඇත. එසේ නම් “සාහිත්‍ය විචාරයේ ප්‍රමුඛ කාර්යයන් වනුයේ ඇගයීම, අර්ථකථනය හා විස්තර කිරීමයි. සාහිත්‍ය විචාරයේ කාර්යයන් මේවා නම් විචාරකයා ඒ කරුණු සාක්ෂාත් කර ගන්නේ කෙසේ ද?”

මේ ප්‍රශ්නයට පිළිතුරු දෙනු වස් ශතවර්ෂ විස්සකට ආසන්න කාලයක් තිස්සේ පෙරදිග මෙන්ම අපරදිග ද පඬිවරු විවිධ මත පළ කළහ. මේ ලිපියට අපගේ ඍජු සම්බන්ධය ඇත්තේ බටහිර සාහිත්‍ය විචාරයට බැවින් ක්‍රි. පූ. පස්වැනි සහ සතරවැනි ශතවර්ෂවල ග්‍රීසියේ ඇතන්ස් නුවර ශාස්ත්‍රීය හා ඥාන ගවේෂණ කේන්ද්‍රය ලෙස පිළිගෙන ප්ලේටෝ හා ඇරිස්ටෝටල් විසින් ප්‍රකාශිත මතවලින් ඇරැඹුණු බටහිර සාහිත්‍ය විචාරය ක්‍රමයෙන් ග්‍රීක - රෝමානු විචාර අවධිය ‘දුර්භාග්‍යවත් මධ්‍යතන අවධිය’ පසු කර ක්‍රි. ව. 1453දී කොස්තන්තිනෝපල් නගරය බිඳ වැටී තුර්කීන්ට යටත් වීමත් සමඟ පුනරුද විචාර අවධියට පත් විණි.

ඉන් අනතුරුව නව සම්භාව්‍යවාදි විචාර අවධිය, රෝමාන්තික විචාර අවධිය හා වික්ටෝරියානු විචාර අවධිය පසුකර අපි විසිවැනි ශතවර්ෂයේ නූතන විචාර යුගයට පිවිසෙමු. ශතවර්ෂාරම්භයෙහි මැතිව් ආනෝල්ඩ්ගේ හා වෝල්ටර් පේටර්ගේ සම්ප්‍රදායන් අනුගත වුවත්, තුන්වැනි දශකයට සමාසන්න යුගයේ නව සාහිත්‍ය විචාර සම්ප්‍රදායක් එකතු විය. මේ නව විචාර සම්ප්‍රදාය, නූතන විචාර සම්ප්‍රදාය, ප්‍රායෝගික සාහිත්‍ය විචාර සම්ප්‍රදාය යනාදී විවිධ නාමවලින් ප්‍රකට වී ඇත්තේය. කවියකු හා විචාරකයකු වූ ටී. එස්. එලියට් මේ නව මුහුණුවරට මං පෙත් සකස් කර දුන්නේය. “ඔහු කාව්‍යමය නාටකයේ ස්වභාවය හා කාව්‍ය හා නාට්‍ය අතර පවත්නා සම්බන්ධය ගැන කළ විවරණ නූතන යුගයේ කාව්‍යමය නාටකයේ පුනරුත්ථාපනයට අතිවිශිෂ්ට සේවයක් කළ බව කිය යුතුය.”

‘නිව් ක්‍රිටිසිස්ම්’ හෙවත් නව සාහිත්‍ය විචාරය නම් වූ ගුරුකුලය පහළ වන්නේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශය ආශ්‍රයෙනි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට පසුව පහළ වුණු එංගලන්තයේ දෙවැනි පැරැණිතම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පීටර්හවුස් කොලීජිය ආරම්භ වුණේ ක්‍රි. ව. 1284දී ය.

එදා සිට ශතවර්ෂ පහකට පසුව එහි කොලීජි සංඛ්‍යාව තිහකට වැඩි විණි. මහත් වූ කීර්ති ඝෝෂාවකට හිමිකම් පවසන මේ විශ්වවිද්‍යාලය, ෆිට්ස් විලියම් කෞතුකාගාරය, පර්යේෂණාත්මක භෞතික විද්‍යාව පිළිබඳ කැවෙන්ඩිෂ් රසායනාගාරය, කේම්බ්‍රිජ් මුද්‍රණාලය යන කරුණු අතින් විශිෂ්ටත්වයකට පත් වූ අතර ලිබරල්වාදි ශාස්ත්‍ර මධ්‍යස්ථානයක් ලෙස ද එය ප්‍රබල තැනකට පත් වී තිබිණි.

මේ නව ගුරුකුලය හැඳින්වීමට නිව් ක්‍රිටිසිස්ම් යන පද යුගල ‍ප්‍රථමවරට භාවිතයට ගන්නේ ජොඑල් ඊ. ස්පින්ගාර්න් ය. එය ද කළේ කොලම්බියා විශ්වවිද්‍යාලයේ කළ දේශනයකදී ය. ඒ දේශනය නව විචාරවාදයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බවට පත් විය. 1941දී අමෙරිකානු විචාරක ජෝන් ක්‍රෝව් රැන්සම් පළ කළ ද නිව් ක්‍රිටිසිස්ම කෘතිය නිසා මේ පදය බහුලව පොදු ව්‍යවහාරයට පත් විය. එහෙයින් ආර්. ආර්. බ්ලැක්මර්, ඇලන් ටේට් හා රොබට් පෙන්වොරන් වැනි විචාරකයන්ගේ භාවිතය නිසා මේ නව ගුරුකුලය ප්‍රචාරයට පත් විය.

විසිවැනි සියවසේ සාහිත්‍ය විචාරයේ පහළ වුණු ප්‍රබල විචාරකයන්ගෙන් කෙනකු වූයේ අයිවර් ආම්ස්ට්‍රෝං රිචර්ඩ්ස් ය. ඔහු අත්ලාන්තික් සාගරයේ දෑලේම නව විචාරය ක්ෂේත්‍රයට කළ සේවය අංශ කිහිපයකට බෙදා දැක්විය හැකිය. රිචර්ඩ්ස් ආචාර්යවරයා එංගලන්තයේ ද, අමෙරිකාවේ ද, අලුත් විචාරකයන් රැසකට මඟ පෙන්වූයේය. බොහෝ දෙනා තම තමන් රිචර්ඩ්ස්ට ණයගැති බව ද ප්‍රකාශ කළහ.

“කෝල්රිජ්ගෙන් පසුව විධිමත් වූත්, සම්පූර්ණ වූත් කාව්‍ය සිද්ධාන්තයන් හැඩගස්වාලූ ප්‍රථම පන්තියේ විචාරකයා වන රිචඩ්ස්ගේ මත ස්වීයත්වයෙන් පිරී ගිය උද්දීප්තිමත් අදහස් ය.”

අයිවර් ආම්ස්ට්‍රෝං රිචර්ඩ්ස් 1893දී ඉපිද, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි ක්ලිප්ටන් හා මැග්දලේන් කොලීජියේ අධ්‍යාපනය කර, ඒ විශ්වවිද්‍යාලයෙහිම ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ මහාචාර්ය ධුරයට පත් වූ විද්වතෙකි. මේ අයුරින් ආචාර්යවරයකු හා විචාරකයකු ලෙස ආරබ්ධ දීර්ඝ හා කැපී පෙනෙන කාර්යමාලාව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය හා අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය හරහා දෙරටේම ව්‍යාප්ත කරලන්නට ඔහුට හැකි විය.

ඔහුගේ ග්‍රන්ථ කාර්යය ආරම්භ වන්නේ 1922දී සී. කේ. ඔග්දන් සමඟ ය. 1923දී ඔග්දන් සමඟ එක්වී The Meaning of Meaning  ප්‍රකාශයට පත් කර සමස්ත ඉංග්‍රීසි කාව්‍ය විචාරාවලියට නවීන සාහිත්‍ය විචාරය නම් ශාඛාව බිහි කිරීමට උපස්තම්භක වූ ද ප්‍රින්සිපල්ස් ඔෆ් ලිටරරි ක්‍රිටිසිස්ම් 1924දී පළ කළේය. 1929දී තවදුරටත් තම මත තහවුරු කරනු පිණිස පළ කළ ග්‍රන්ථය ප්රැක්ටිකල් ක්‍රිටිසිස්ම් ය. ප්‍රායෝගික විචාර ක්‍රමයෙහි නැත්නම් පාරිහාරික විචාර ක්‍රමයෙහි පුරෝගාමී ලේඛකයා ලෙස තම අදහස් පැහැදිලි කරමින් නව විචාර සිද්ධාන්ත පහළ කිරීම සඳහා සයන්ස් ඇන්ඩ් පොයට්‍රි, කෝල්රිජ් ඔන් ඉමැජිනේෂන්, මෙන්සියස් ඔෆ් ද මයින්ඩ්, ද ෆිලොසොපි ඔෆ් රෙටොරික් හා ද ස්පෙකියුලේටිව් ඉන්ස්ට්රුමන්ට්ස් නම් ග්‍රන්ථ පාඨක ලෝකයට එක් කළේය.

අයි. ඒ. රිචර්ඩ්ස්ගේ නව විචාරවාදය ගැන අති දීර්ඝ අදහස් ප්‍රකාශයට මෙය අනුචිත ස්ථානයක් වුවත් ආමුඛ වශයෙන්, අතිසංක්ෂිප්තව මෙකී සාහිත්‍ය විචාර සිද්ධාන්තය ගැන කරුණු දැක්වීම අත්‍යවශ්‍ය ය. කලා කෘතියක විශ්ලේෂණය හා ශාස්ත්‍රීය හා වාංමය අධ්‍යයන ගැන එල්ල කළ ඔහුගේ අදහස් ප්‍රකාශනය කරුණු තුනක් මුල් කරගෙන සිදු කරන ලද බව පැහැදිලි ය.

“පළමුව, විචාරකයන්, දාර්ශනිකයන්, ආචාර්යවරුන්, මනෝ විද්‍යාඥයන් ‍හෝ කුතූහලයෙන් පිරුණු පුද්ගලයන් ලෙස සමකාලීන සංස්කෘතිය පවතින තත්ත්වය ගැන අලුත් මාදිලියේ ප්‍රලේඛනකරණයක් හඳුන්වා දීම. දෙවැනිව, කාව්‍ය ගැන හිතන හෝ හැඟෙන ආකාරය තමන් විසින්ම සොයා ගැනීමට තැත් කරන අයට ඔවුන් කාව්‍යයට කැමැති විය යුත්තේ ඇයි? නැත්නම් අකැමැති විය යුත්තේ ඇයිදැයි විස්තර කරන නව ශිල්ප ධර්මයන් හඳුන්වා දීම, තුන්වැනිව, අද්‍යතන අවධියේ භාවිතයට ගෙන ඇති ක්‍රමයට වඩා ඵලවත් අධ්‍යාපනික ක්‍රමවේද ඇසුරු කරගෙන අප කියවන හා අසන දේවල් හොඳ නරක විනිශ්චයට හා අවබෝධ කර ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් පෙන්වා දීම.

ආචාර්යවරයකු ලෙස ඔහු අනුගමනය කළ ප්‍රවේශය අවස්ථානුකූල හා ප්‍රයෝග සිද්ධ කාර්යයක් විය. මනා හික්මීමක් ඇති පාඨක ප්‍රතිචාර දැනගනු වස් ඔහු කේම්බ්‍රිජ් විද්‍යාර්ථින්ට කාව්‍ය දොළහක් ඇතුළත් පත්‍රිකා බෙදා දුන්නේය. ඒ පිළිබඳ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට උපදෙස් දුන්නේය. කවීන්ගේ නාම මෙන්ම අදාළ විස්තර ද ඔහු ප්‍රකාශයට පත් කළේ නැත. ශිෂ්‍යයන් දුන් පිළිතුරු විග්‍රහ කළ මහාචාර්ය රිචර්ඩ්ස් තමන්ගේ විවරණ, අර්ථකථන හා යෝජනා මෙන්ම නිගමන ද ඉදිරිපත් කළේය. මේ ගැන ඔහු වෙනම කළ කෘතිය ‘ප්රැක්ටිකල් ක්‍රිටිසිස්ම්’ ය.

මේ සාහිත්‍ය විචාර ආකල්පය සාහිත්‍ය විචාර වංස කතාවේ අතිප්‍රබල සන්ධිස්ථානයක් සලකුණු කරයි. එදා සිට සාහිත්‍ය රසාස්වාදයේ පදනම වැටුණේ මෙතැනිනි. වාග්මය හා ශාස්ත්‍රීය විශ්ලේෂණය, අර්ථකථනය හා ඇගැයුමට පදනම මෙලෙස විධිමත් කෙරිණි. අයි. ඒ. රිචර්ඩ්ස් මේ කෘති මාර්ගයෙන් සාහිත්‍ය විචාරය සකාරණ විද්‍යාත්මක හා පූර්ණ ශික්ෂණයක් බවට පත් කෙළේය. ඔහු හඳුන්වා දුන් සාහිත්‍ය විචාර ක්‍රම‍වේදය අත්ලාන්තික් සාගරය දෙපස අමෙරිකාවේත්, එංගලන්තයෙත් නව විචාරකයන්ගේ ගමන් මාර්ගයට හෙළන ලද ආලෝක ධාරාවයි.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ආශ්‍රිතව ඇරැඹුණු නව සාහිත්‍ය විචාරයට සිංහල භාෂාවෙන් කියන්නේ ප්‍රායෝගික විචාරය හෝ පාරිහාරික විචාරයයි. මේ පද දෙකම නිර්මාණය කළේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යැයි මම සිතමි. ඒ. එම්. ජී. සිරිමාන්න කථිකාචාර්යතුමා මෙය හැඳින්වීමට 1961දී යෙදුවේ ‘භාවිත විචාරය’ නම් පදයයි. ‘ප්රැක්ටිකල්’යන විශේෂණ පදය වෙනුවට අතීත කෘදන්තයක් යෙදීමෙන් මුල් පදයේ අර්ථය විකෘතියට පත් විය.

ප්‍රායෝගික විචාරයේ මූලධර්ම, ප්‍රායෝගික විචාරය හා අර්ථයේ අර්ථය යන ප්‍රධාන ග්‍රන්ථත්‍රය ඇසුරු කරගෙන මේ නව විචාර ක්‍රමය යනු කුමක්දැයි විමසා බලමු.

කවියා යමක් රචනා කරන්නේ සන්නිවේදනයටයි. ඒ සන්නිවේදනයට උදව් කර ගන්නා මාධ්‍යය භාෂාවයි. භාෂාව නිර්මාණය වී ඇත්තේ වචනවලිනි. එහෙයින් වචන පිළිබඳ අධ්‍යයනය වඩාත් වැදගත් වන්නේ කලා කෘතියක අර්ථය මැනවින් අවබෝධ කර ගැන්මටයි. වචනවල අර්ථ හතරක් විද්‍යමාන වේ. වෙනත් ආකාරයකට කියත හොත් වචනයක පූර්ණ අර්ථය රඳා ඇත්තේ කරුණු හතරක් පදනම් කරගෙන ය. ඒවා නම් අර්ථය, හැඟීම, තානය හා අපේක්ෂාවයි. අර්ථය යනු භාවිතයට ගන්නා වචනයක මූලික සාහිත්‍යමය අර්ථයයි. සංස්කෘත ආලංකාරිකයන් අතර වාච්‍යාර්ථය වුණේ මෙයයි. අදහසක් පැවැසීමට ගන්නා වචනයයි. හැඟීම යන්නෙන් ප්‍රකාශ වන්නේ භාවයන්. භාවාත්මක ආකල්ප, කැමැත්ත, සතුට, අප්‍රසාදය වැනි මානසික හැඟීම් ය. අප යම්කිසි වචනයක් භාවිතයට ගත් කල ඒ වචනය හා බැඳුණු හැඟීමක් ද කිසියම් ආකල්පයක්, කිසියම් විශේෂ දිශානතියක්, පුද්ගල රුචි අරුචිකමක් හෝ පක්ෂපාතීත්වයක් එමඟින් ප්‍රකාශ කළ හැකිය.

 

තානය යනු පාඨකයා වෙත එල්ල කරන ලේඛකයාගේ ආකල්පයයි. ලේඛකයා වචන තෝරාගෙන ඒවා පිළිවෙළකට ගළපන්නේ ඔහුගේ කාව්‍යය කියැවීමට කැමැති පාඨකයන්ගේ ස්වභාවය මනසට නඟා ගනිමිනි. ලේඛකයා හා පාඨකයා අතර සම්බන්ධතාවක් ඇත. මේ සබඳතාව ප්‍රතිරූපණය වන්නේ ඒ සබඳතාව පිළිබඳ අවබෝධයක් පවත්නා නිසා ය.

හැඟීම යනු මානසික තත්ත්වයක් පමණි. එයින් කිසියම් වස්තුවක් ඇඟ වෙන්නේ නැත. එහෙත් අපේක්ෂාව ඊට වෙනස් ය. අපේක්ෂාව ලේඛකයා දැනුවත්ව හෝ නොදැනුවත්ව අවධානය යොමු කළ යුත්ත පාලනය කරයි. පද පිළිවෙළ පාලනය කරයි. නැත්නම් වැදගත් කරුණ කෙරෙහි අවධානය යොමු කරවයි.

සංස්ථිතියේ වැදගත්කම

විවිධ කවීන්ගේ පරිහරණය නිසා විවිධ සංස්ථිතිවලදී වචනවලට අර්ථ එකතු වෙයි. එහෙත් වචනයක් යොදන පරිසරය ඉතා වැදගත් ය. ඒ ඒ පරිසරයේ ඒ ඒ වචනයට විවිධ අර්ථ සූචනය කළ හැකිය. වචන යනු සංකේත මාලාවකි. එහි පූර්ණ අර්ථය ප්‍රකාශ වන්නේ විශේෂ වූ පරිසරයක පමණි. සාහිත්‍ය කෘතියක් විචාරය කරන්නා වචන යොදන පරිසරය අවබෝධ කට යුතුය. එවිට ඔහුට පූර්ණ අර්ථය ග්‍රහණය කරගෙන කාව්‍යය මැනවින් අවබෝධ කරගන්නට ද අවස්ථාව ලැබේ.

ඒ ඒ පරිසරයේ වචනවල අර්ථය ද වෙනස් වේ. අර්ථය හා හැඟීම යන දෙක අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධ ය.

“වචනයක ශබ්දය වචනය මඟින් මතුකර ගැනීම මතු කර ගන්නට උදව් දෙයි. වචනයක අර්ථය නිසා, හැඟීම් ඇති වේ. හැඟීම මතුකර ගත හැක්කේ අර්ථය ග්‍රහණය කර ගත් කල්හි පමණි. මතු කරන හැඟීම් නිසා අර්ථය උද්දීප්ත වෙයි. තවත් පැත්තකින් සලකා බැලුව හොත් එලෙසින්ම අර්ථය හා හැඟීම යන දෙක පරිසරය නිසා එකට බැඳී පවතියි. මේ කරුණු සියල්ල අත්ලෙහි ඇතිව රිචර්ඩ්ස් විචාරවත් පාඨකයාට කියන්නේ යම්කිසි රචනයක අර්ථය ග්‍රහණය කර ගන්නට නම් එක් වරක් පරිස්සමින් කියැවිය යුතුය. එසේම හැඟීම ග්‍රහණය කර ගන්නට තව තවත් වර කියැවීම අවශ්‍ය ය.”

රිද්මය හා විරිත

කාව්‍යයක රිද්මය හා විරිත ද වැදගත් වේ. වචනවල අර්ථය තීරණය වන්නේ රිද්මය හා වෘත්තය නිසා ය. රිද්මය පහළ වන්නේ විශේෂ වූ ශබ්ද යළි යළිත් යෙදවීමෙනි. ඒ පුනරුච්චාරණය නිසා මනසෙහි අපේක්ෂාවක් ජනිත වේ. විරිත යනු රිද්මයේ විශේෂිකෘත ආකෘතියකි. රිද්මය හා විරිත කාව්‍යයක ඓන්ද්‍රීය සබඳතාවක් ප්‍රකට කරවයි. කවියා භාවිත කරන වචනවල අරුත තීරණය කරන්නේ මේ දෙකේ එකතුවෙනි.

“රිද්මය, විරිත හා අර්ථය එකිනෙකින් වෙන් කළ නොහැකි අංගය. මේ සියල්ල ඒක පද්ධතියක් නිර්මාණය කරයි. ඒවා වෙනස් වූ ඒකක නොව, ඓන්ද්‍රීය සම්බන්ධයකින් යුක්ත වූ වස්තු ය. ඒ නිසා ගද්‍ය සන්නයක් හෝ අන්වය රචනයක් මඟින් කාව්‍යයේ අර්ථය පහදා ගත නොහැකිය.”

කාව්‍යමය සත්‍යයේ ස්වභාවය වටහා ගැනීමට අවශ්‍ය නම් කාව්‍යය යළි යළිත් කියැවීම අවශ්‍ය ය. කාව්‍යයෙන් හෙළි කරන සත්‍යය, විද්‍යාවෙන් එළිකරන සත්‍යයට අසමාන ය. පළමුවැන්න හැඟීම්වලට ආසන්න වූවකි. දෙවැන්න බුද්ධියට ළඟා වන්නකි. කාව්‍යයේ එන කියමන් නිවැරදි ද වැරදි ද කියා බලා ගන්නට නොහැකිය. එහි ඇත්තේ ආකල්පය හා නාට්‍යමය ප්‍රතිචාර පමණි. රිචර්ඩ්ස් කියන ආකාරයට කාව්‍යවල එන බොහෝ කියමන් නිරවද්‍ය දැයි සොයන්නට තැත් කරන්නා මෝඩයෙකි. ඒවා හරි ද වැරදි ද කියා පරීක්ෂා කරන්නට කළ ප්‍රකාශන නොවේ.

සන්නිවේදනයේ පරමාර්ථ ඉටුකර ගනු වස් කවියා භාවිත කරන රූපකාත්මක භාෂාව ද වැදගත් වේ.

“වචනයක අර්ථය වෙනත් අර්ථයක් සඳහා මාරු කිරීම රූපකයකි. සාමාන්‍ය භාවිතයෙන් වෙනස් කර අලුත් ආකාරයට භාවිතය එහිදී සිදු වේ.”

රූපකය දෙයාකාරයි.

1. අර්ථ රූපක

2. භාව රූපක යනුවෙනි.

අයි. ඒ. රිචර්ඩ්ස්ගේ මෙහෙවර හා කාර්ය සාධනය වැදගත් වන්නේ එංගලන්තයේ හා අමෙරිකාවේ සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයට පමණක් නොවේ. නව විචාරකයෝ රිචර්ඩ්ස් මග අනුයමින් කාව්‍යයක ශාස්ත්‍රීය හා වාක්මය අධ්‍යයනය ගැන අවධානය යොමු කළහ. සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාෂාවේ වචන අධ්‍යයනය, වචනවල චතුර් ප්‍රකාර අර්ථ සූචනය, කාව්‍යයේ රිද්මය හා විරිත ගැන කළ ප්‍රකාශන නවීන ස්වාධීන අදහස් ය. 20 වැනි ශතකයේ සාහිත්‍ය විචාර මාර්ගය පාදා ගන්නට මේ මතාවලිය ඉවහල් විය. එය අමෙරිකාවට හා එංගලන්තයට බලපෑ අතර ඔහුගේ විචාර ක්‍රමවේද, කලා කෘතියක වාංමය හා ව්‍යුහාත්මක විශ්ලේෂණය, අර්ථකථනය හා ඇගයීම කලා කෘතික අලුත් අත්හදා බැලීම්වලට හා සාහිත්‍ය විචාර විශ්ලේෂණයට මඟ පෑදුවේය. හදිසි කියැවීම් මෙන්ම පදගතාර්ථ විමසා අන්වය අනුව කියැවීම ද කාව්‍යයේ අර්ථය අවබෝධ කර ගැනීමට බාධක ය. මෙය සාහිත්‍ය විචාරය හා විස්තරය ඉගැන්වීමට ද නව මඟක් විවෘත කර දුන්නේය. බහු වාඬ්මය විශ්ලේෂණයට දැක්වූ අවධාරණය ගැන නම් ටී. එස්. එලියට් වැඩි කැමැත්තක් දැක්වූයේ නැත.

ටී. එස්. එලියට් හා අයි. ඒ. රිචර්ඩ්ස් නව විචාර ක්‍රමයේ පිතෘවරු ය. රිචර්ඩ්ස් නිසා විචාර ලෝකය දුටු නව විචාරකයන්ගේ ගණයට ‍ජෝන් ක්රෝව් රැන්සම් හා විලියම් එම්ප්සන් ගිණිය හැකිය. එක් අතකින් බලන විට රිචර්ඩ්ස් මේ නව විචාරක පරිපුරින් වෙනස් වෙයි. නව විචාරකයන්ගේ අවධානය දැඩිව යෙදුණේ සැලකිල්ලට ලක්වන කාව්‍යය සඳහා පමණි. රිචර්ඩ්ස් ඊට වෙනස් වූයේ පාඨකයන් වෙත කාව්‍යයෙන් කෙරෙන බලපෑම ගැන අවධානය යොමු කළ හෙයිනි. කාව්‍යයේ අගය රඳා පවතින්නේ එය නිර්මාණ කරන ප්‍රතිචාර හා ආකල්ප මෙන්ම කාව්‍යය වඩාත් වැදගත් භාවමය සමතුලිත භාවයකට පාඨක සිත සමාධියට පත් කිරීමට ඇති ප්‍රවේගකාරීත්වය නිසා ය.

ප්රැක්ටිකල් ක්‍රිටිසිස්ම්: අ ස්ටඩි ඔෆ් ලිටරරි ජජ්මන්ට්’ කෘතියෙහි අයි. ඒ. රිචර්ඩ්ස් විස්තර කරන වැදගත් කරුණක් වන්නේ Figurative Languag සාලාංකාර භාෂාව ය. කතුවරයා මෙහිදී කාව්‍යය නිරවද්‍යාකාරයෙන් අවබෝධ කර ගැනීමට බාධා වන අංග හතරක් ගැන සඳහන් කරයි. ඒ එකිනෙකා වෙන් වෙන්ව නොව අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධ අන්දමට ක්‍රියාවට නැංවෙයි. එහෙයින් එකක් අනිකෙන් වෙන්කර දැක්වීම ද දුෂ්කර ය. එය ලිහා ගැනීම අවුල් වූ නූල් පන්දුවක් ගැට ඇර ගැනීමට වඩා දුෂ්කර ය. මෙවැනි රතු එළිදැක්වීමෙන් අනතුරුව රිචර්ඩ්ස් මහාචාර්යවරයා ඒ කරුණු විස්තර කරයි.

1. කාව්‍යයේ අර්ථය ඵඥදඵඥ ගැන අනවබෝධය.

2. කවියා අර්ථයේ ඒකාබද්ධතාව අවුල් කිරීම නිසා මතු වන අනවබෝධය.

3. ව්‍යාජ පාණ්ඩිත්‍යය නිසා ඇති වන කාව්‍ය අනවබෝධය.

 

4. කාව්‍ය රචනය හා ගද්‍ය රචනය අතර වචන භාවිතය දෙආකාර බව ගැන අනවබෝධය.

කවියා භාවිත කරන්නේ ජ්ඪඨභපචබඪමඥ භාෂාවකි.

අයි. ඒ. රිචර්ඩ්ස් ‘ප්රැක්ටිකල් ක්‍රිටිසිස්ම්’ නම් කෘතිය පළකරන්නේ 1929දී ය. මෙයට දුන් උප ශීර්ෂය නම් ‘අ ස්ටඩි ඔෆ් ලිටරරි ජජ්මන්ට්’ ය. තම කෘතිය ඔහු කරන්නේ ප්‍රධාන පරමාර්ථ තුනක් පෙරදැරි කරගෙන ය. පළමුව විචාරකයන්, දාර්ශනිකයන්, ගුරුවරුන්, මනෝ විද්‍යාඥයන් හෝ එසේත් නැත්නම් කුතුහලලෝල පුද්ගලයන් ලෙස සමකාලීන සංස්කෘතියේ ස්වභාවය ගැන උනන්දු වන අයට නව ප්‍රලේඛන රටාවක් හඳුන්වා දීමට ය.

දෙවැනිව, කාව්‍යය (සහ සමජාතික කරුණු) සම්බන්ධයෙන් තමා සිතන මතන හා දකින ආකාරය ගැන සොයා ගැනීමට ගැළපෙන ශිල්ප ධර්ම සැපයීමත්, ඔවුන් එයට කැමැති වීමට හෝ අකැමැති වීමට හේතු කවරේදැයි දැක්වීමත් ය. තුන්වැනිව, අද වැඩි වර්ධනය වන විශේෂතා දැක්වීම හා අප අසන හා කියවන දේ අවබෝධ කර ගැනීමේ බලය වැඩි වන ආකාරයෙන් සාර්ථක අධ්‍යාපනික ක්‍රම සකස් කිරීමත් ය.

පළමු වැන්න ඉටු කරගැනීමට රිචර්ඩ්ස් මහාචාර්යවරයා කේම්බ්‍රිජ් හා අන්‍ය විද්‍යාස්ථානවලදී උද්ධරණ ලැබී ඇත. කාලයක් තිස්සේ ඔහු මුද්‍රණය කරන ලද කාව්‍යාවලි දෙමින් පාඨකයන්ගෙන් ඒවා ගැන නිදහසේ අදහස් ප්‍රකාශ කරන ලෙසට ඉල්ලීම් කළේය. එසේ බෙදා දුන් කවි අතර ශේක්ස්පියර් සිට එල්ලා වීලර් විල්කොක්ස් දක්වා විශාල පරාසයක රචනා විය. ලියූ කතුවරයාගේ නම වසන් කර එය කළ අතර බොහෝ අවස්ථාවල රචකයා එළිවූයේ ද නැත.

සතියක් ගතවුණු පසුව ඒ අදහස් පැවැසීම් ඔහු විමසා බැලුවේය. හැම විටම ඒ රචකයන් ද නමින් දැන ගැනුණේ ද නැත. එවිට ඔහුට පූර්ණ නිදහසක් තිබේ. කිසිවකුට කවියට පක්ෂව හෝ විපක්ෂව ලියන්නට ද බල කිරීම් කර නැත. ඊළඟ සතියේ ආචාර්යවරයා කාව්‍ය ගැන විශේෂයෙන් අදහස් පැවැසීම් පදනම් කරගෙන දේශන පැවැත්වූයේය.

රිචර්ඩ්ස් කියන අන්දමට මේ ‘විචාර’ ලියා ඇත්තේ සරල වැඩක් ලෙස සිතාගෙන හෝ තනි පාරක් කියැවීමකින් නොවේ. මේ ගැන දැනගන්නට ඔහු රහස්‍ය ක්‍රමයක් ද යොදා ගත්තේය. ‘විචාර’ ලියූ අයට තමා කවිය කී වරක් කියැවූයේ දැයි දක්වන්නට ද උපදෙස්දී තිබිණි. සමහරු අවම වශයෙන් ඒ කවිය දහවරක්වත් කියවා ඇත. තවත් අය හතර වරක්වත් කියවා තිබිණි. එහෙයින් එය හොඳ කියැවීම් සැසියක් විය. මේ කියැවීම් නිසා කවිය ගැන වැදගත් අදහසක් ප්‍රකාශයට මේ පාඨක පිරිසට අවස්ථා ලැබුණු බව ද ආචාර්යවරයා ප්‍රකාශ කරයි.

මේ පාඨකයෝ කවරහු ද? ඔවුන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ගෞරව උපාධියක් කරනු පිණිස ඉංග්‍රීසි විෂය හදාරන උපාධි අපේක්ෂකයෝ ය. වෙනස් විෂයයන් සඳහා කියවන අය ද සිටියහ. තවත් ටික දෙනෙක් ශාස්ත්‍රීය ගණයට නොවැටෙන පිරිසකි. ගැහැනු හා පිරිමි එක සමාන සංඛ්‍යාවන් යොදවා තිබිණි. කෙනකුට අවශ්‍ය නම් ‘අදහස්’ ලියූ කඩදාසිය බාර නොදීමට ද නිදහසක් විය. සියයට හැටක් පමණ තම ‘විචාර’ රචනා කළහ. ඒ අය සාමාන්‍ය කවි කියැවීමකට වඩා වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වූහ.

මේ නව විචාර ක්‍රමය කාලීන ඉල්ලුමක් වෙනුවෙන් කළ සැපයුමකි. කිසියම් කවියක් ඉදිරිපිට පාඨකයාට මුහුණදීමට ඇති ගැටලු රැසක් ඔහු අංකනය කර දැක්වූයේය. 1929 වන විට ඉංග්‍රීසි සාහිත්‍ය විචාරකයා ඉදිරියෙහි නැඟී සිටි දුෂ්කරතා ලේඛනය සංක්ෂිප්තව මෙසේ දැක්විය හැකිය.

1. කාව්‍ය‍යේ සරල අරුත වටහා ගැනීම.

2. සංවින්දක අවබෝධය

3. සංකල්ප රූප

4. ස්මෘති වර්ධක අයෝග්‍යතා

5. ස්ථාවර ප්‍රතිචාර

6. භාවාතිශයභාවය

7. අප්‍රහතභාවය

8. මතවාදී ආසක්තභාවය

9. තාක්ෂණික පූර්ව නිගමන

10. සාමාන්‍ය විචාරාත්මක පූර්ව සංකල්ප

ප්‍රායෝගික සාහිත්‍ය විචාරය

විසිවැනි සියවසේ එංගලන්තයේ හා අමෙරිකාවේ සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයේ පහළ වුණු, නානාප්‍රකාර විචාර සිද්ධාන්තවල හා ක්‍රියාකාරකම්වල විවිධත්වය සාහිත්‍ය රසිකයා වික්ෂිප්ත භාවයට පත් කරනසුලු ය. මනෝ විද්‍යාව, මානව විද්‍යාව, සමාජ විද්‍යාව හා ආර්ථික විද්‍යාව වැනි නවීන ශික්ෂණ ප්‍රභවය ලැබ ව්‍යාප්ත වීමත් සමඟ, විචාරාත්මක ක්‍රමවේදයෙහි ද විප්ලවීය ස්වරූපයක් පහළ විණි. මේ නිසා දහනව වැනි ශතවර්ෂයේ පැවැතුණු සාහිත්‍ය විචාරය විසිවැනි සියවසේ පූර්ණ පරිවර්තනයකට ලක් විය.

ශතවර්ෂ විසිපහකට පමණ පෙර, ග්‍රීසියේ පහළ වුණු ප්‍රථම විධිමත් විචාරකයා ලෙස හැඳින්වෙන ප්ලේටෝගෙන් පසුව කාව්‍යශාස්ත්‍රයේ විශිෂ්ටත්වය සැලකිල්ලට ලක් කළ ඇරිස්ටෝටල් පහළ කළ ග්‍රීක සාහිත්‍ය විචාර අවධිය, ග්‍රීක රෝමානු සාහිත්‍ය විචාරකයන් වන හොරස් හා ලොන්ජිනස් ඉදිරියට ගෙනාහ. පුනරුද යුගයේ සර් පිලිප් සිඩ්නි හා බෙන් ජොන්සන්ගෙන් පසුව නව සම්භාව්‍යවාදි විචාරවාදය පහළ විය. රෝමාන්තික හා වික්ටෝරියානු විචාරවාදි යුග පහළ වීමෙන් පසුව විසිවැනි ශතවර්ෂය මතුව ආයේය. මේ පසුතලය යටතේ වර්ධනය වුණු බටහිර සාහිත්‍ය විචාරය ක්‍රි. ව. 1900 වන විට ප්‍රධාන ප්‍රවාහ දෙකක් යටතේ පැවැතිණි. ඒ දෙක නම්,

අ. මැතිව් ආනෝල්ඩ් ප්‍රවාහය

ආ. වෝල්ටර් පේටර් ප්‍රවාහය

කලාව හා ජීවිතය අතර පවත්නා සම්බන්ධය ගැන මේ දෙදෙනා දැරූ මත වෙනස් විය. ආනෝල්ඩ්ගේ විචාර මත සර්වකාලීනව අඛණ්ඩව බලපෑම් කළ විචාරවාදයකි. ටී. එස්. එලියට් මේ බලපෑම ගැන වරක් සඳහන් කළේ “අප තවමත් ජීවත් වෙන්නේ ආනෝල්ඩ්ගේ විචාර සම්ප්‍රදාය ඇතුළත” බවයි. එසේ වුවද, මැතිව් ආනෝල්ඩ්ගේ බැරෑරුම් භාවය ක්‍රමයෙන් ලිහිල් වී යන්නට විය.

පේටර්, බ්ලූම්ස්බරි කණ්ඩායමට අයත් ඊ. එම්. ෆෝස්ටර්, වර්ජිනියා වුල්ෆ්, ලිට්න් ස්ට්‍රැන්ෂි හා ක්ලයිව් බෙල් යන විචාරකයන් කෙරෙහි ආනුභාව පෑ ලේඛකයා ය. මොවුහු කලා රසාස්වාදය හා සෞන්දර්ය ආස්වාදය ජීවිතයක උත්තම පාරිභෝජනීය අවස්ථා ලෙස පිළිගත්හ; එහෙයින් කලාව හැම විටම සදාචාරවාදි වැටකඩුලුවලින් සීමා කළ නොහැකි බව පෙන්වා දුන්හ. ඔවුහු සාහිත්‍ය කෘතියක් විනිශ්චය කරන්නාහු ඔවුන්ට ලබා දෙන ආස්වාදය පදනම් කරගෙනයි.

උක්ත විචාර ප්‍රවාහ දෙක විසිවැනි ශතවර්ෂයේ මුල් දශක දෙකෙහිත්, අමෙරිකානු හා ඉංග්‍රීසි විචාරකයන් කෙරෙහි ප්‍රබල බලපෑම් එල්ල කළ බව පෙනෙයි. ඒ කාලයේ ඒ මාර්ග අනුගමනය කරමින් නියත නව විචාර චින්තාවක් පහළ කළ හැකි එකද විචාරකයෙක් හෝ පහළ නොවූයේය. මේ වියළි මරු කතරේ පැහැදිලිව පෙනුණු ලක්ෂණයක් වූයේ සාහිත්‍ය විචාරය හුදු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර ප්‍රචලිතව යන ශාස්ත්‍රාලයීය ශික්ෂණයක් බවට පත් වීමයි. මේ ආචාර්ය මහාචාර්යවරු දුක් වේදනා විඳිමින්, ඓතිහාසික සමාජීය, ජීවන වෘත්තික තොරතුරු සොයා යමින් මේවා පදනම් කරගෙන ලේඛකයන් ගැන ඇගැයුම් කරන්නට වූහ. එහෙයින් මේ ශාස්ත්‍රධරයන්ට නව දෘෂ්ටිකෝණයක් හෝ මතවාදයක් හෝ ස්වතන්ත්‍ර අදහසක් හෝ ඉදිරිපත් කරන්නට හැකියාවක් තිබුණේ නැත.

විසිවැනි සියවසේ මුල් දශක දෙකෙහි මේ තත්ත්වය මඳකට වෙනස් කෙළේ ටී. ඊ. හියුම්ය. ආගමික, සම්භාව්‍යවාදි හා ශෝකාන්ත දෘෂ්ටිකෝණයකින් සාහිත්‍ය දෙස, විශේෂයෙන් මනුෂ්‍ය ජීවිතය දෙස බලන්නට ඔහු පුරුදු කෙළේය. භවසත්තාවාදීන්ගේ චින්තනය අනුව ගිය ඔහු මනුෂ්‍ය ජීවිතය ඛේදාන්තයක් බව පිළිගත්තේය. මිනිසා දුක් විඳින්නේ ඔහුගේ අඩුපාඩුකම් නිසා ය. මිනිසා අසම්පූර්ණ ය. දෙවියන් වහන්සේ පූර්ණ අනන්ත වස්තුවකි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.