ශතවර්ෂයකට පෙර ඇරැඹුණු සාහිත්‍ය මහෝත්සව | සත්මඬල

ශතවර්ෂයකට පෙර ඇරැඹුණු සාහිත්‍ය මහෝත්සව

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මට්ටමින් සාහිත්‍ය මහෝත්සවයක් පවත්වා වසර හැට දෙකක් ගෙවී ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රථම ශාස්ත්‍රීය සම්මේලනයක් පවත්වා ඇත්තේ 1920 ‍ඔක්තෝබර් 20 වැනිදා කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ශාස්ත්‍රාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි. එය සංවිධානය කර ඇත්තේ කොළඹ සිංහල තරුණ සමිතියයි.

සැප්තැම්බරය සාහිත්‍යයට කැප වූ මාසයයි. රාජ්‍ය අනුග්‍රහය ඇතිව සාහිත්‍ය උත්සවයක් මුල් වරට ඇරැඹුණේ 1957 වසරේ ය. එය පැවැත්වූයේ සැප්තැම්බර් 07 වැනිදා කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේත් සැප්තැම්බර් 08 වැනිදා පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනේත් ය. අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1957 සැප්තැම්බර් 07 වැනිදා කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන් මුල්ම සාහිත්‍ය සම්මේලනය විවෘත කළ අතර එදින සාහිත්‍ය සාකච්ඡා, අත්පිටපත් ප්‍රදර්ශන, නාට්‍ය සන්දර්ශන ඇතුළත් විශේෂාංග කැපී පෙනුණේය.

‘කෝට්ටේ යුගයේ සාහිත්‍යය’ එවර සාහිත්‍ය සම්මේලනයේ මාතෘකාව විය. කෝට්ටේ කල්‍යාණි ශ්‍රී සංඝ සභාවේ මහානායක මොල්ලිගොඩ ශ්‍රී ආරියවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාහිත්‍ය සම්මේලනයේ පැපිලියානේ සුනේත්‍රාදේවී පරිවේණාධිපති මැදගොඩ සුමනතිස්ස හිමි, සංස්කෘතික ඇමති ජයවීර කුරුප්පු හා කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොබට් ගුණවර්ධන යන මහත්වරුන් කතා පැවැත්වූහ.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ‘කෝට්ටේ යුගය’ ගැන මුඛ්‍ය දේශනය පැවැත් වූ අතර මුලසුන හෙබවූයේ ලංකාදීප හා සිංහල ශබ්දකෝෂයේ හිටපු කර්තෘ ජුලියස් ද ලැනරෝල් මහතා විසිනි. දෙවැනි සාකච්ඡාවාරයේ විද්‍යෝදය පරිවේණාධිපති වැලිපිටියේ සෝරත නාහිමියන් මුඛ්‍ය දේශනය කළ අතර මුලසුන හෙබවූයේ විද්‍යාලංකාර පරිවේණාධිපති කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමියන් ය. එදින සිදු වූ තවත් සුවිශේෂ කාර්යයක් වූයේ සාහිත්‍ය උපදේශක මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත් කරන ලද ‘සාහිත්‍යය’ සඟරාවේ මංගල කලාපය නිකුත් වීම ය. මෙහි සංස්කාරකවරුන් වූයේ කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි සහ වින්සන්ට් පණ්ඩිත ය. මුල් සාහිත්‍ය උපදේශක මණ්ඩලයට අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත, පණ්ඩිත කෝදාගොඩ ඤාණාලෝක, වැලිපිටියේ සෝරත, ත්‍රිපිටකාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති, බඹරැන්දේ සිරි සීවලී, පණ්ඩිත කහඳාමෝදර පියරතන යන මහා පඬි සඟරුවන ද, මුදලිඳු ඊ. ඒ. අබේසේකර, ඩබ්ල්යූ. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, හොරණ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර පළන්සූරිය, අමරදාස වීරසිංහ, ඇන්. කියු. ඩයස්, පෙරමුණේ තිලක, එම්. ඊ. ඩයස් යන මහත්වරු ද ඇතුළත් වූහ.

 

සැප්තැම්බර් 08 වැනිදා පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනේ පැවැති සාහිත්‍ය සම්මේලනයේ දෙවැනි දිනයේ ප්‍රධාන දේශනය වූ ‘කෝට්ටේ යුගයේ සන්දේශ කාව්‍ය’ මැයෙන් ආචාර්ය පී. බී. සන්නස්ගල මහතා පැවැත්වූ අතර මුලසුන දැරුවේ මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මහතා ය. සාහිත්‍ය උත්සවයක සම්මාන ප්‍රධානයක් මුල්වරට සිදුව ඇත්තේ මෙදින ය. එහෙත් එය සාහිත්‍ය උපදේශක මණ්ඩලය මඟින් පිරිනැමුණු සම්මානයක් නොව ‘රසවාහිනී’ සඟරාව මඟින් පිරිනැමුණු සාහිත්‍ය ත්‍යාගයකි. ‘රසවාහිනී’ සඟරාවේ පළ වූ හොඳ ලිපිය ලෙස ‘බමුණු කුලය බිඳ දැමීම’ ලියූ මාර්ටින් වික්‍රමසිංහ මහතාට රු. 5000ක ත්‍යාගය හිමි විය.

මේ අයුරින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මට්ටමින් සාහිත්‍ය මහෝත්සවයක් පවත්වා වසර හැට දෙකක් ගෙවී ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රථම ශාස්ත්‍රීය සම්මේලනයක් පවත්වා ඇත්තේ 1920 ‍ඔක්තෝබර් 20 වැනිදා කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ශාස්ත්‍රාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි. එය සංවිධානය කර ඇත්තේ කොළඹ සිංහල තරුණ සමිතියයි. එහි දෙවැනි සම්මේලනය 1921 නොවැම්බර් මස 26 ‍දින පවත්වා ඇත්තේ ද ආනන්ද විද්‍යාලයේ ම ය. මේ පිළිබඳ තොරතුරු රැසක් කේ. ඩී. පරණවිතාන මහතා විසින් ‘සාහිත්‍ය උත්සව 1920 – 1928’ මැයෙන් ‘සාහිත්‍යය’ සඟරාවේ 1988 විශේෂ කලාපයට ලියා ඇත.

1920 සහ 1921 වර්ෂවල පවත්වන ලද මේ සාහිත්‍ය සම්මේලන දෙක ඉතා සාර්ථක ලෙස පැවැත්වීම නිසාත්, විවිධ ශාස්ත්‍රීය කරුණු අලළා සංවාදයක් පැවැත්වීම ද හේතු කරගෙන ඒ පිළිබඳ විද්වත් ජනයාගේ ප්‍රබෝධය වැඩි වී ගිය අයුරු පරණවිතාන මහතාගේ ඒ ලිපියෙන් විස්තර කර ඇත.

මේ සමස්ත ලංකා ශාස්ත්‍රීය සමිති සම්මේලනය බිහි කිරීමට පුරෝගාමි වී ඇත්තේ, ශාස්ත්‍රාචාර්ය ගුණපාල මලලසේකර, ශාස්ත්‍රාචාර්ය ඩී. බී. ජයතිලක, ඩබ්ලිව්. ආතර් ද සිල්වා, මුදලිඳු ඩබ්ලිව්. ඇෆ්. ගුණවර්ධන, පී. ද ඇස්. කුලරත්න, ඇල්බට් ගොඩමුනේ, අයි. ඒ. හේවාවිතාරණ, ගරු සයිමන් ද සිල්වා දේවගැතිතුමා, මුදලිඳු ඊ. ඒ. අබේසේකර, පී. ඩී. ඇස්. වීරසූරිය, ඩබ්ලිව්. ආර්ය සුමිත්‍ර හා ශාස්ත්‍රාචාර්ය පෝල් ඊ. පීරිස් ය.

1920 – 1928 දක්වා කොළඹින් බැහැරව පැවැත්වූ සාහිත්‍ය - ශාස්ත්‍රීය සම්මේලනවල කියවා ඇති ශාස්ත්‍රීය දේශන මෙසේය. ‘ව්‍යාකරණ ශාස්ත්‍රය’ (විද්‍යෝදය පරිවේණාධිපති කහවේ ශ්‍රී රතනසාර නාහිමි), ‘ශබ්දාර්ථ චින්තා’ (පැළෑණේ වජිරඤාණ නාහිමි), ‘පූර්ව අර්ථ ශාස්ත්‍රය’ (එම්. එච්. ජයතිලක), ‘ඡන්දස් ශාස්ත්‍රය’ (වල්පොළ ශ්‍රී ධම්මවංශ හිමි) ‘සිංහල භාෂොත්පත්තිය’ (බද්දේගම පියරතන නාහිමි), ‘ඓතිහාසික ග්‍රන්ථ’ (යගිරල පඤ්ඤානන්ද හිමි), ‘සිංහල භාෂාව හා එහි අභිවෘද්ධිය’ (ගුණපාල මලලසේකර), ‘වීදාගම හිමියෝ’ (ඩී. බී. ජයතිලක). මේ අවස්ථාවලට සූරියගොඩ සුමංගල හිමි, ඩබ්ලිව්. එෆ්. ගුණවර්ධන වාසල මුදලි, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ආචාර්ය ආර්. මාර්ස්, තියඩොර් ජී. පෙරේරා පියතුමා, මුදලිඳු ඒ. සී. ජී. ඇස්. අමරසේකර, වෛද්‍යශේඛර විජයසිරිවර්ධන වෙදමුදලි, ශ්‍රීමනි ලෝරන්ස් අබේගුණවර්ධන මහත්මිය සහභාගි වී කතා පවත්වා ඇත. මහනුවර ධර්මරාජ, ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ද මේ ශාස්ත්‍රීය සම්මේලනය පවත්වා ඇත.

හතළිහ දශකයේ විටින් විට සාහිත්‍ය ප්‍රබෝධය ඇති කිරීමට හා ශාස්ත්‍රීය සම්මේලන පැවැත්වූ බවට සාධක තිබේ. ලංකා විශ්වවිද්‍යාලය මෙහිදී මුල්තැනක් දක්වා ඇත. මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය හා ඇස්. ‍ජේ. ද ඇස්. වීරසිංහ දේවගැතිතුමා ද එයට පුරෝගාමි වී ඇත.

1943දී කොළඹ 14, ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ පාරේ අංක 285 නිවසේ දී ‘නව කලා මණ්ඩලය’ නමින් සංවිධානයක් බිහි විය. සාහිත්‍ය කලාව, සංගීත කලාව, නාට්‍ය කලාව, චිත්‍ර කලාව ආදි කලාවල දියුණුව සඳහා කටයුතු කරන කලා රසිකයන්ට, කලාකාරයන්ට රුකුල් දීම මේ කලා සංවිධානයේ අරමුණු විය. ඒ. ඩී. ජේ. මාතුපාල නම් නව යොවුන්වියේ සිටි තරුණයකු මෙයට මූලික වී ඇත. ඔහුගේ සහායට තවත් කලාකාමි තරුණයන් කිහිපදෙනකු එක් වී ඇත. ආර්. ප්‍රේමදාස (හිටපු ජනාධිපති), එම්. වින්සන්ට් පෙරේරා (හිටපු නගරාධිපති හා අමාත්‍ය), ජී. ඇස්. ප්‍රනාන්දු (ප්‍රවීණ චිත්‍රශිල්පී), ජී. එල්. ඒ. සෝමපාල (චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ), වින්සන්ට් වීරසේකර (ඡායාරූප ශිල්පී හා චිත්‍රපට නළු) මේ පිරිසයි.

නවකලා මණ්ඩලයේ අනුශාසක මණ්ඩලයට ශාස්ත්‍රාචාර්ය බඹරැන්දේ සිරිසීවලී හිමි, මහාචාර්ය ගුණපාල මලලසේකර, චිත්‍රාචාර්ය ජේ. ඩී. ඒ. පෙරේරා මහතා, ඩී. ජේ. ඇන්තනි පියතුමා ඇතුළත් විය. නිලධාරි මණ්ඩලය මෙසේය. සභාපති - ඇම්. ඒ. වීරසේන, උප සභාපති ඒ. ඒ. සංඝදාස, සම ලේකම්වරු - ඒ. ඩී. ජේ. මාතුපාල සහ ඇම්. ඒ. රූපසේන, භාණ්ඩාගාරික - ඇම්. වින්සන්ට් පෙරේරා, පරීක්ෂක - ආර්. ප්‍රේමදාස, නත්‍ය පිළිබඳ කෘත්‍යාධිකාරී - ඒ. ඩී. ඇඩ්මන්.

නවකලා මණ්ඩලය මඟින් වර්ෂයක් පාසා ‘සමස්ත ලංකා සාහිත්‍ය තරගයක්’ 1944 ජූනි 22 වැනිදා පවත්වා ඇත.

ශ්‍රී ලංකාවේ කලා සංවිධානයකින් දීප ව්‍යාප්තව පවත්වන ලද ප්‍රථම සාහිත්‍ය තරගය මෙය බව පැවසේ.

 මේ මහා සාහිත්‍ය තරගයට කවි, විරිඳු, ගී ගායන, වාදන, වන්නම්, වාග් විලාසය, චරිත නිරූපණය, ලිවීමේ ගද්‍ය රචනා, ලිවීමේ පද්‍ය රචනා ක්ෂණික කතා අංග ඇතුළත් වී ඇති අතර එහි විනිශ්චයකරුවන් ලෙස සිරි සීවලී හිමි, වල්පොළ රාහුල හිමි, ජුලියස් ද ලැනරෝල්, ඩී. ඊ. හෙට්ටිආරච්චි, ඩබ්ලිව්. ඒ. සිල්වා, පියසේන නිශ්ශංක, ඇස්. ඩී. ස්ටීවන් සිල්වා, සෝමවීර චන්ද්‍රසිරි, සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර, ජී. එච්. පෙරේරා, ජේ. ඩී. ඒ. පෙරේරා, ඩී. ඩබ්ලිව්. වික්‍රමාරච්චි, ඇඩ්වින් කෝට්ටේගොඩ, හරිචන්ද්‍ර කවිතිලක, පියදාස පලන්සූරිය, පී. බී. අල්විස් පෙරේරා ආදීන් කටයුතු කර ඇත.

නව කලා මණ්ඩලයේ තරග ඉසව්වලින් ජය ගත් පසුව ප්‍රකට කලාකරුවන් වූ ජයග්‍රාහකයෝ මෙසේය:

1. ගී වාදන - කොරලවැල්ලේ සිරි කලණ මිතු සමිතියේ ඇල්බට් පෙරේරා (පසුව ආචාර්ය, පණ්ඩිත් අමරදේව)

2. පද්‍ය රචනා - කොළඹ නාලන්දා විද්‍යාලයේ කරුණාරත්න අබේසේකර (ප්‍රවීණ ගීත රචක)

3. පද්‍ය රචනා - පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ කේ. ඩී. පී. වික්‍රමසිංහ (ප්‍රවීණ ලේඛක)

4. විරිදු ගායනා - සමස්ත ලංකා එක්සත් ළමා සමිතියේ ඇග්නස් තිසේරා (සිරිසේන) ප්‍රවීණ රංගන ශිල්පිනි

5. ගද්‍ය රචනා - කොරලවැල්ල සිරි කලණ මිතු සමිතියේ ආරියදාස සෝමතිලක (ප්‍රවීණ ලේඛක)

6. ලිවීමේ ගද්‍ය රචනා හා ක්ෂණික කතා සමස්ත ලංකා එක්සත් ළමා සමිතියේ රොබට් ජයවර්ධන (පසුව ප්‍රවීණ පත්‍ර කලාවේදී)

ශ්‍රී ලංකාවේ කලා සංවිධානයකින් ප්‍රකාශයට පත් කර ඇති මුල් සාහිත්‍ය සඟරාව බිහි කළේ නවකලා මණ්ඩලය මඟින් බව මෑතදී වියෝ වූ ප්‍රවීණ ගීත රචක පියසේන කොස්තා මහතා අප සමඟ ප්‍රකාශ කළේය. එහි නම ‘නවකලා’ ය. තමා සතු එකම පිටපත ඔහු මට තෑගි කළේය. නවකලා මණ්ඩලයේ රැස්වීමකට සහභාගි වූ කොස්තා මහතා 1992 නිකුත් වූ ‘පී. එල්. ඒ. සෝමපාල ගී සලකුණ’ සංග්‍රහයට ලියූ ලිපියක (පිටුව 18) මෙසේ සඳහන් කරයි:

“දිනය 1945 ජුලි 01 වැනිදායි. තැන මරදානේ ස්කිනර් පාරේ (දැන් සංඝරාජ මාවත) පිහිටි රජයේ විද්‍යාල ශාලාවයි. ඒ. ඩී. ජේ. මාතුපාල නම් වූ තරුණ කලා රසිකයාගේ පුරෝගාමි බවෙන් එදින එතැන පැවැති නවකලා මණ්ඩල. රැස්වීමට මම ද සහභාගී වීමි. පූජ්‍ය බඹරැන්දේ සිරි සීවලී හිමි, එස්. ජේ. ද ඇස්. වීරසිංහ දේවගැතිතුමා සහ මහාචාර්ය ගුණපාල මලලසේකර, කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරා, බොරලැස්ගමුවේ ‍ජී. එච්. පෙරේරා ආදි වියතුන්ගේ අනුශාසකත්වයෙන් අපේ කලා ශිල්පවල උන්නතිය පතා ඇරැඹූවකි නව කලා මණ්ඩලය. කොළඹින් බොහෝ ඈත සිටි මම ද එහි සාමාජිකයෙක් වීමි. ඒ සභා රැස්වීමේදී එක් අංශයක් වශයෙන් වයලීන වාදනයක් ඉදිරිපත් කිරීමට තිබිණි. පෙනුමින් හුරුබුහුටි තරුණ වාද්‍ය ශිල්පියකු විසින් ඉදිරිපත් කළ ඒ වයලීන් වාදනයට සවන් දුන් සියල්ලෝ ඉමහත් ආස්වාදයක් ලදහ. වාදනය හමාර වීමෙන් ඉක්බිති නැඟුණු අත්පොළසන් නාදය බොහෝ වේලාවක් යනතුරු ශාලාව පුරා ගිගුම් දුන් අයුරු මට දැනුදු සිහිපත් වෙයි. ඒ එදා ඇසූ දුටුවන් විස්මයට පත් කළ ළාබාල වයලීන වාද්‍ය ශිල්පියා නම් ප්‍රතිභාපූර්ණ අග්‍රගණ්‍ය සංගීතඥ අමරදේව සූරීන් බව ඉමහත් සොම්නසින් හෙළි කරමි.”

ඒ. ඩී. ජේ. මාතුපාල මහතා විසින් සංස්කරණය කළ ‘නවකලා’ කලාවන්ගේ උන්නතිය පතා ඇරැඹුණ විශේෂ සඟරාව ගැන නව කතු වැකියෙන් මෙසේ අරමුණ පැහැදිලි කර ඇත:

“කලාව කෙරේ වර්තමාන ජන සමාජය විශේෂයෙන් වර්තමාන තරුණ පෙළ සැලකිය යුතු උද්‍යෝගය නොකඩවා පවත්වා ගෙන යෑම පිණිස කලා සඟරාවක් බෙහෙවින් උපකාර වේය යන චින්තාවෙක් කලාවේ දියුණුව පතා ඇරැඹුණ අප නවකලා මණ්ඩලයට පහළ වී.

(නවකලා - 1945 අංක 1)

‘නවකලා’ විශේෂ සඟරාවට ඇතුළත් ලිපි මෙසේය: අපේ ගම්බද කලා - මහාචාර්ය ගුණපාල මලලසේකර, සාහිත්‍ය කලාව - ශාස්ත්‍රාචාර්ය සිරි සීවලී හිමි, නියම කලාව කුමක් ද? - ඩී. ඩබ්ලිව්. වික්‍රමාරච්චි, මිනිහාගෙන් දුරුව (පද්‍ය) - මීමන ප්‍රේමතිලක, නවීන විෂයයන් පිළිබඳ පොත්පත් සැපයීම - ඇස්. ජේ. ද ඇස්. වීරසිංහ දේවගැතිතුමා, පිරිවෙන් අධ්‍යාපනය - කොටහේන පඤ්ඤාකිත්ති හිමි, මගේ රට (පද්‍ය) - ධර්ම ශ්‍රී කුරුප්පු, රසවිඳීම - ධර්මසේන අමරසිංහ, සිංහල නාටකය - ආනන්ද ලාල්. ජේ. ඇස්. ප්‍රනාන්දුගේ පිටකවරයකින් සැරසී ඇති මේ සඟරාවේ මිල රුපියලකි.

නවකලා මණ්ඩලය, සාහිත්‍යය, සංගීතය, චිත්‍ර ශිල්පය නාට්‍ය ආදි කලාවන්ගේ උන්නතිය පතා ඇරැඹුණු කලා සංවිධානයක් වූ අතර එහි සාමාජිකයන් සඳහා පුස්තකාලයක් හා කියැවීම් ශාලාවක් ද පවත්වා ගෙන ගියේය. ඇතුළත් වීමේ ගාස්තුව රු. 2කි. අමතරව ‘ගමේ වෙදා’ හා ‘කානිවල්’ නමින් වේදිකා නාට්‍ය දෙකක් ද ‘ළමා හඬ’ නමින් දෙසතියක වරක් නිකුත් වූ ළමා සඟරාවක් ද එළිදැක්වීය. ඔහු නවකතා කිහිපයක් එළිදැක්වූ අතර සැණකෙළියක් හා ප්‍රදර්ශනයක් ද පවත්වා ඇත. නවකලා මණ්ඩලයේ නිර්මාතෘ ඒ. ඩී. ජේ. මාතුපාල මහතා වයස අවුරුදු 25දී (1948) මියයෑම නිසා නවකලා මණ්ඩලයේ ආයුෂ අවසන් විය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.