
“ජීවිතය යනු නිෂ්ඵල වූත්, වේදනාකාරී වූත්, නිර්භීත ක්‍රියාවකි” මෙතැන යම් හෝ සඵලදායක අවබෝධයක් ඇත්නම් එය ඇත්තේ ‘නිර්භීත ක්‍රියාවක්’යන තැන පමණි. කොහොම වුණත් එය ද ඔහු ලබන්නේ අවබෝධයක් වශයෙන් නොව ශිෂ්ටාචාරයේ මුල සිට ම ඔවුන්ගේ ජානවල ම පැවැති ගුණාංගයක් ලෙස ය.
බොබ් මාලේ සමාජ කියැවීමක් වශයෙන් මෙන් ම ඉතිහාස ප්‍රකාශයක් ලෙසින් හඳුනාගැනීම බොහෝ විට නොකළ කටයුත්තක් වේ එය එලෙසින් ම අදටත් දැකිය හැකි වේ. විශේෂයෙන් ම ඔහු පරහිතකාමී මිනිසකු යැයි හඳුන්වා දීම බොහෝ විට සිදු වන්නකි. මේ නිසාම ඔහු ව ඔසවා තැබූ ඉතිහාස පදනම්, සමාජ කියැවීම්, දේශපාලන විග්රහ මතු නොවන ආකාරයෙන් යටපත් කර දැමීමට ද හැකි වී තිබේ. මාලේගේ මේ කියන පරහිතකාමි බව පුද්ගල ගුණාංගයක් වශයෙන් තහවුරු කිරීමට රීටා මාලේගේ (ඔහුගේ බිරිය) ව්‍යාපාර පවා නිදසුන් කරගන්නා ආකාරයක් ද දකින්නට පුළුවන. මේ ආකාරයට ඔවුන් බොබ් මාලේ නම් පුද්ගල ප්‍රතිරූපය අමුතුවෙන් කිව යුතු කාරණාවක් නොවේ. එනමුත් පුද්ගල ප්රතිරූප එසේ නඟාසිටුවීම තුළ ඉතා පහසුවෙන් ඒ පුද්ගල හැසිරීම් සමඟ ගැට ගැසුණු සමාජ සංස්කෘතික මෙන්ම දේශපාලන බලවේග හුදෙකලා කර දමන්නට ද පුළුවන් බව අමතක නොකළ යුතු ය. විශේෂයෙන් ම බටහිර විචාරකයන් මෙය සියුම් ක්රමෝපායක් වශයෙන් වැඩිදියුණු කළ ලේඛන සම්ප්රදායක් හැටියට එය භාවිත කරයි. මෙතැනදී බොබ් මාලේ සම්න්ධයෙන් ද ඒ දේම නො සිදුවන්න විශේෂ හේතුවක් නැත.